Breaking News

නාරම්මල වෙඩි තැබීම සමාජ මාධ්‍ය වෙත මුදා හැරි පුද්ගලයා ගැන සෙව්වේ කවුද?

නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් කළ වෙඩි තැබීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පියා මරණයට පත් වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පළමු වරට සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් සොයා බලා ඇතැයි, නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා (පෙබරවාරි 2 වැනිදා) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ අනාවරණය විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු යම් සංවිධානයකින් යැයි පවසා වඩු කාර්මික ශිල්පියා ඝාතනය වූ ස්ථානයේ පිහිටි එළවළු වෙළඳ සැලෙහි සේවකයින්හට (පෙබරවාරි 01 වැනිදා) පවසා ඇත්තේ මෙම සිද්ධියෙහි වීඩියෝ දර්ශන මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරී පුද්ගලයා පිළිබඳ හෙළි කරන්නේ නම් මුදල් ත්‍යාගයක් දෙන බවය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද දෙවැනි දිනටත් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දෙමින් එළවළු වෙළෙඳසැලේ සේවකයින් අධිකරණය හමුවේ මේ බව කියා තිබේ.

ඔහු නැවත පැමිණෙන බව ප්‍රකාශ කර පිටව ගිය බව ද සාක්ෂි කරුවෙකු සඳහන් කර ඇත.

ඒ අනුව මේ පිළිබඳ විමර්ශනයක් කරන බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

 

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බව හෙළිවෙයි

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව වෙනම බී වාර්ථාවක් මගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත් එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

එම වරද සම්බන්ධයෙන් අධිකරණය සැකකාර පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්ද නියම කරනු ලැබීය.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවය.

 

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ්
සිද්ධියට අදාළ නඩුව (පෙබරවාරි 02වැනිදා) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිව්වැනි දිනට කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී සාක්ෂි විමසීම පෙරවරු 10ට පමණ ආරම්භ වූ අතර අධිකරණ කටයුතු ආරම්භ වී පස්වරු 12.30 පමණ වනතුරු පළමු නඩුව ලෙස මෙය විභාගයට ගැනිණි. එහිදී වින්දිත පාර්ශවය නියෝජනය කරමින් තිදෙනක් සාක්ෂි ලබා දුන්හ.

අද දින සාක්ෂි ලබා දුන්නේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ එළවළු වෙළෙඳසැලේ හිමිකරු සහ සේවකයින් දෙදෙනෙකි.

 

leave a reply