Breaking News

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමේ වංචාව – දේශපාලනඥයන්ට චෝදනා නැහැ

චීනයේ සිට මෙරටට ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ගෙන්වීමේ වංචාවට කිසිදු දේශපාලඥයෙකු සම්බන්ධ නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව පවසන්නේ හරිහැටි මේ සම්බන්ධව විගණකාධිපති වාර්තාවට අනුව පරීක්ෂණයක් පවත්වා නොවේ.

පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ චීනයේ සිට ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආයනයන කිරීමේ සිද්ධියට සහ එහි සැපයුම්කරුට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමේ සම්බන්ධයක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික විමර්ශනවලදී මෙම වංචාවට රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

මහින්ද අමරවීර මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමක් පත් කිරීමට නියමිත බවයි.

කාබනික පොහොර තොගය චීනය වෙත ආපසු හරවා තිබුණද සැපයුම්කරු වෙත ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවා ඇති බව අමාත්‍යවරයා මෙහිදී පිළිගෙන තිබුණා.

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) ශ්‍රී ලංකා රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

එසේම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020- 21 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අදාල පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛන ගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණකාධිපතිවරයා දැනුම්දී තිබේ.

තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇත.

මෙම සිදුවීම වූ සමයේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සිටියේ මහින්දානන්ද අලුත්ගමගේයි. පොහොර සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටි බැවින් තමන් මේ සම්බන්ධයෙන් වග නොකියන බව ඔහු කිහිප අවස්ථාවකදී ප්‍රකාශ කර තිබුණි. කෙසේවෙතත් විෂය බාර ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව අමාත්‍යාංශ ලේකම්වරු පමණක් මේ සිදුවීමට වගකියන්නේ කෙසේද යන්න ගැටලුවකි.

leave a reply