Breaking News

වෘත්තිකයන් රැසක් රට හැර ගිහින් – වෘත්තීය සංගම්වලින් අනාවරණයක්

රටේ පවතින අවිනිශ්චිත ආර්ථික තත්ත්වය හේතුවේ වෘත්තිකයන් රැසක් වෙනත් රටවලට ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්වෙමින් පවතියි.

වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා ද පවසා තිබේ.

යෝජිත බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය.

ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ඇස්තමේන්තුව අනුව දැනට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජුවම 150,000 ක පමණ රැකියා කරන බව කී දමිත් හෙට්ටිහේවා, 2021 වසරේ කළ සමීක්‍ෂණයට අනුව තොතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජු ශ්‍රම බලකාය 125,000 පමණ වූ බව ද සඳහන් කරයි.

හතර වැනි තාක්‍ෂණ විප්ලව ඩිජිටල් විප්ලවක් වීම නිසා තොරතුරු තාක්‍ෂණ ඉන්ජිනේරුවන්ට සහ වෘත්තිකයන්ට හොඳ ඉල්ලුමක් ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 10,000 ක් පමණ රටහැර ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

 

 

leave a reply