Breaking News

ගිලිහුණු බලය රැකගන්න අදත් සාකච්ඡා

රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 02.00ට ආරම්භවීමට නියමිතයි.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත් වන අතර, මෙම සතියේ හෝ ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන අයගේ නම් යෝජනා වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී ඔවුන් දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකගතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව සඳහන්.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරලගේ නුගේගොඩ පිහිටි නිවසේ ඊයේ (10) පස්වරුවේ පවත්වා තිබුණා. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී ඇතැයි සඳහන්.

පාර්ලිමේන්තුව තුළ බෙදීමක් ඇති නොකර එක් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් තැනැත්තා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ජනතාව අරගලය තුළ මතුකරන ලද ප්‍රධාන සටන් පාඨයක් වුවේ 225ම එපා යන්නයි. එහිදී ඔවුන් පවතින පාර්ලිමේන්තු ව්‍යුහය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද පිරිස විසින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී නැවත බලය ලබාගැනීම සඳහා කුමන්ත්‍රණය කරන ආකාරය දක්නට ලැබේ.

leave a reply