Tag: gohomeranil

  • පාස්කු ප්‍රහාර චෝදනාවලින් රනිල් ඇඟ බේරගන්න සැරසෙයි

    පාස්කු ප්‍රහාර චෝදනාවලින් රනිල් ඇඟ බේරගන්න සැරසෙයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් රනිල් වික්‍රමසිංහ ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

    පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව දක්වමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති බැවින් ඔහුට එරෙහි නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් ඔහුගේ නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් හෙට (27) දිනයේ කරුණු දක්වන ලෙස අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නීතීඥවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

    අදාළ නඩුව පසුගියදා කැඳවූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේ, තම සේවාදායකයා ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

    කෙසේවෙතත් අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ එම විරෝධතාව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිය විරෝධය පළ කිරීම හේතුවෙන් ඊට අදාළව හෙට දිනයේ කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දමා පැනගිය පසු අලුත් ජනාධිපතිවරයෙකු පත්කරගන්නා බව නිවේදනය කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ජනතාවට පොරොන්දු වූවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අවසන් කරන බවයි. අවසානයේ ඔහු සිද්ධ කරන්නට යන්නේ විමර්ශන අවසන් කිරීම කෙසේවෙතත් තමන් එයින් ගැලවීමට බව පෙනේ.

  • ලංකාවට ලබාදෙන ආධාර නවත්වන්න රනිල් ගහපු ගේමක් ගැන WikiLeaks හෙළිදරව්වක්

    ලංකාවට ලබාදෙන ආධාර නවත්වන්න රනිල් ගහපු ගේමක් ගැන WikiLeaks හෙළිදරව්වක්

    පසුගියදා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ 2007 වර්ෂයේදී විපක්ෂ නායකවරයා වශයෙන් සිටියදී ජපාන රජයෙන් කල ඉල්ලීමක් WikiLeaks විසින් හෙළිදරවු කර ඇත.

    මෙම කේබල් පණිවුඩයේ සඳහන් පරිදි එවක විපක්ෂ නායකවරයා “ශ්‍රී ලංකාවට ලබා දෙන ආර්ථික ආධාර අත්හිටුවන ලෙස” ජපානයෙන් ඉල්ලා ඇති එයට පිළිතුරු ලෙස ජපානය පවසා ඇත්තේ “ඔවුන්ගේ නායකයන් විසින් සිදුකල ක්‍රියාවන් සහ නොසලකා හැරීම් සඳහා” එහි ජනතාව දඬුවම් නොවිඳිය යුතු බවයි.

    ජාත්‍යන්තර සහයෝගය හරහා රටේ ආර්ථිකය ගොඩනැංවිය හැකි ඩොලර් මැවිය හැකි පුද්ගලයෙකු ලෙස හුවා දක්වන රනිල් වික්‍රමසිංහගේ නිරුවත පසුගියදා ගෝල්ෆේස් අරගලයට එල්ල කළ ප්‍රහාරය අවස්ථාවේ හෙළිවූ අතර කුමන්ත්‍රණ කිරීම ඩිල් ගැසීම හැර ඔහු වෙනත් දෙයක් නොදන්නා බව WikiLeaks හෙළිදරව් කිරීම හරහාද පැහැදිලි වේ.

  • රනිල් මතක්කර දෙන පාඩම

    රනිල් මතක්කර දෙන පාඩම

    මේවනවිට අරගලය අවසන් බව ඇතැමෙකු පවසමින් සිටියත් අද රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශය මගින් පැහැදිලිවන්නේ එය එසේ නොවන බවයි. ධූරකාලය වසර දෙකක් පමණක් ගතවූ අසීමිත බලතල සහිත ජනාධිපතිවරයෙකු ජනතාව විසින් පන්නා දැමුවේ අරගලයකිනි. එහිදී ජනතා බලය ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තුවට, අධිකරණයට යන සියල්ලට ඉහළින් ක්‍රියාකළ හැකි ආකාරය දැකිය හැකිවිය. නමුත් රනිල් විසින් අද කරන ලද ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ ඔහු ජනතා මතයට පයින් ගසමින් නැවතත් පරණ තත්ත්වයටම රට ගෙනයාමට උත්සාහ කරන බවයි.

    රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11) පැවසුවේ තමන් සිටින්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට බවයි.

    අපිට දැන් අවශ්‍යව ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවද ඔහු මෙහිදී පැවසීය.

    ආණ්ඩුවක් වැඩ කළ යුත්තේ නීතිය අනුව බව ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියා නොකරන බවත් මෙහිදී රනිල් වික්‍රමසිංහ පැවසීය. පිටින් ඉඳගෙන මේ වැඩ කරන්න කියලා පාර්ලිමේන්තුවට බලකරන්න බැරි බවද මෙහිදී ඔහු පැවසීය.

    කඩා වැටුණු ආර්ථිකය දවසෙන් දෙකෙන් හදන්නට නොහැකි අතර මූලික පියවර තැබීමට වසරක්වත් ගතවන බව ද රනිල් පවසයි.

    තම පෞද්ගලික නිවස ගිනි බත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙම ගිනි තැබීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් වෙත චෝදනා කරනුද මෙම ප්‍රකාශය තුළ දැකිය හැකිවිය.

    දැන් අවශ්‍යව ඇත්තේ රනිල් වැනි බල ලෝභී පාලකයන් පන්නා දැමීමට අමතරව අරගලය තුළ එළිදැක්වූ ක්‍රියාකාරී සැලැස්මට අනුව මහජන කවුන්සිලයක් හරහා ගොඩනැගිය යුතු නව අන්තර්කාලීන පාලනය තුළ ජනතාවගේ දැවෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබා ගත යුතුව ඇත. ඒ සඳහා දැරිය යුතු පිරිවැය සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්, අයුක්තිසහගතව උපයන ලද අධික ලාභ, දේශපාලන තන්ත්‍රය ඇතුළු නිළධාරීන් විසින් සොරා කෑ ධනය යළි පවරා ගනිමින් ලබා ගත යුතුය. ඒ අතරම යළි කැඳවීමේ බලය, ජනමත විචාරණ කැඳවීමේ බලය හා විධායක ජනාධිපති ධූරය අහෝසි වන ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත කරගන්නා තුරු අරගලය අඛණ්ඩව පෙරට ගෙන යා යුතුය.