Breaking News

ලිංගික අපයෝජන සිදුවීමකට අදාළ නඩුව වසර 20ක් විභාග වෙලා

තරුණියකට ලිංගික අපයෝජනට ලක් කිරීම සම්බන්ධ නඩුවක් වසර 20ක් පුරා විභාගවන පුවතක් නුවරඑළියෙන් වාර්තා වේ.

අවුරුදු 18ක තරුණියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවක් දිනපතා විභාගයට ගැනීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි පසුගියදා (7) නියෝග කර තිබේ.

මෙම සිදුවීම 2001 වසරේ අගෝස්තු මාසයේ සිදුවී ඇති අපරාධයකී. මෙය දීර්ඝ කාලයකට පෙර සිදුවීමක් බැවින් තවදුරටත් පමා නොකර දිනපතා විභාගයට ගත යුත බව පසුගියදා නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කර තිබේ.

2001 වස⁣⁣රේ අගෝස්තු මාසයේ 12 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තලවාකැලේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියක පල්ලිය⁣ට ගොස් එමින් සිටියදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපයෝජනය කළ බවට විත්තිකරුවන් දෙදෙනකුට එ⁣⁣රෙහිව මෙම නඩුව පවරා තිබේ.
2001 වස⁣රේදී සිදුවූ සිද්ධියට අදාලව ලඝු නොවන නඩු විභාගයෙන් පසු 2004 වස⁣රේදී නීතිපතිවරයා විසින් නුවරඑළිය මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
ඊට අදාලව මහාධිකරණයේ වසර 10ක කාලයක් නඩුව විභාග වූ අතර 2015/12/28 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ මධ්‍යම පළාත්බද නුවරඑළිය මහාධිකරණ විනිසුරු ඊ ඩබ්ලිව් එම් ලලිත් ඒකනායක මහතා චූදිතයන් දෙදෙනා එම තරුණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර පළමු චෝදනාවට චූදිතයන් දෙදෙනාටම වසර 05ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමක් ද, දෙවැනි සහ තෙවැනි චෝදනා සඳහා චූදිතයන් දොදනාට වසර 18ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ද නියම කර ඇත.

එම තීන්දුවට එ⁣රෙහිව චූදිතයන් දෙදෙනා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව නඩු විභාගයට පෙර චූදිතයන්ගෙන් නඩු විභාගය කළ යුත්තේ ජුරි සභාවක් ඉදිරිපිටද නැතිද යන්න විමසූ බවට මහාධිකරණ නඩුගොනුවේ සඳහන්ව නැති බව තීරණය කළ අභියාචනාධිකරණය, මහාධිකරණ තීන්දුව අහෝසි කර නැවත මුල සිට නඩුව විභාගයට ගත යුතු බවට තීන්දු කර තිබේ. ඒ අනුව නැවත නඩු විභාගයක් සඳහා ⁣නුවරඑළිය මහාධිකරණට යොමු කර තිබිණි.

ඉන් පසු 2019 පෙබරවාරි මස 04 වැනිදා නඩුව කැඳවූ අතර ඒ වන විට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලෙන කටයුතු කළේ මෙම නඩුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්වූ විනිසුරුයා විය. ඒ අනුව ඒ මහතා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් විනිසුරුවරයකු පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පසුගියදා නුවරඑළිය මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය (අපයෝජනය වූ තරුණිය) වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් නඩු විභාගය සඳහා සාක්කි ලබා දීමට අගතියට පත් පාර්ශ්වය සූදානම් බව දැනුම් දී ඇත.

අපරාධය සිදුවූ කාලය සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය මෙය දිනපතා විභාගයට ගත යුතු යැයි තීන්දු කළාය. ඒ අනුව මාර්තු මස 15, 16 සහ 24 වැනිදා මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය.

එවකට 18 හැවිරිදි තරුණියක වූ අපයෝජනයට ලක්වූ තරුණිය දැන් 39 වැනි වියේ පසුවන තිදරු මවක් බවද වාර්තා වේ.

විශේෂයෙන් ස්ත්‍රීන්ට සහ දරුවන්ට එරෙහි ලිංගික අපයෝජන සම්බන්ධයෙන් සිදුවන නඩු කටයුතු විභාග කර අවසන් කිරීමට ඉතා දීර්ඝ කාලයක් ගතවීම විශාල ගැටළුවක් ලෙස පවතියි. මේ හරහා වින්දිතයින් සමාජය ඉදිරියේ තව තවත් අපහසුතාවයට පත්වීම දක්නට ලැබෙන්නකි. එම නිසාම අපයෝජකයන්ට නීතියෙන් ගැලවී යාමටද අවස්ථාව උදා වී ඇත.

medialk.com පළවූ පුවතක් ඇසුරිණි

leave a reply