Breaking News

ආනවිලුන්දාව අභය භූමියේ අලුතින් සිටවූ කඩොලාන ගැලවූ 04 ක් රක්ෂිත බන්ධනාගාරයට

ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියේ සිටුවා තිබූ ‍කඩොලාන පැළ 1000 කට වැඩි ප්‍රමාණයක් ගලවා විනාශ කිරී‍ම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් සිව්දෙනා ලබන 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ආනවිලුන්දාව වනජීවි කාර්යාලයේ නිළධාරීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් සිව්දෙනා පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

වනජීවී නිළධාරීන්ට සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද අධිකරණයෙන් අවසර ලබා දී ඇත.

ඉකුත් ලෝක තෙත්බිම් දින සැමරුමට සමගාමීව ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කඩොලාන රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් වූ අතර ගලවා දමා තිබෙන්නේ එම ව්‍යාපෘතියට අදාලව රෝපණය කර තිබූ කඩොලානයි.

leave a reply