Breaking News

අදින් පසු…..

පුබුදු ජයගොඩ

මැතිවරණය අවසන්ය. මැතිවරණයේ ජනතා මතය පැහැදිලිය. පොදුජන පෙරමුණට අති විශාල බලයක් ලැබී තිබේ. ඔවුන් ඉල්ලු තුනෙන් දෙක ලබා දීමට ඡන්ද දායකයා තීරණය කර තිබෙන බව පෙනේ. සමාජයට ප්‍රගතිශීලී දේශපාලනයක් යෝජනා කළ බලවේග දැවැන්ත පසුබෑමකට ලක්ව තිබේ. රාජපක්ෂවරුන්ගේ පාලනයක් හරහා තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බවට ජනතාවට විශ්වාසයක් තිබෙන බව පෙනේ. නව ආණ්ඩුව ඉදිරියේ අභියෝගයක් තිබේ. ඒ දරිද්‍රතාවය, මන්දපෝෂණය, ආර්ථික අසමානතාවය, දූෂණය, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්න, සමාජමය පිරිහීම්, පැරණි සමාජයේ පසුගාමී ඉතුරු-බිතුරු, පාරිසරික ව්‍යසනය, සංස්කෘතික අර්බුදය, අධිරාජ්‍යවාදී මැදිහත්වීම්, ගෝලීය වසංගත ආදී ප්‍රශ්න සියල්ලට ආණ්ඩුව විසඳුම් දිය යුතුව ඇත. එලෙස විසඳුම් සම්පාදනය කළ යුතුව ඇත්තේ ධනවාදය පවතින තත්වයක් තුළය. ගෝලීය මට්ටමින් ඒකාධිකාර ප්‍රාග්ධනයේ බල ව්‍යුහයක් ස්ථාපිත වී ඇති තත්වයක් තුළය. ජනතාව විශ්වාස කර ඇත්තේ මේ සියල්ල මැද, මේ ව්‍යුහය මෙලෙසම පවතිද්දී ගෝඨාභය රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂට වඩා යහපත් ජීවිතයක් ලබා දිය හැකි බවටය. අපි දිගින් දිගටම කීවේ ධනවාදය මෙලෙසම පවතිද්දී අපේ කිසිදු ප්‍රශ්නයක් විසඳාලීම ප්‍රායෝගික නොවන මනෝ රාජ්‍යයක් බවය. ජනතාවට ඇත්තේ විශ්වාසයකි. අපට ඇත්තේ අවබෝධයකි. එම අවබෝධය සමාජයට සම්ප්‍රේෂණය කිරීමේ කර්තව්‍යයේදී අපගේ අසමත්වීම විසින් මෙම ප්‍රතිඵලය ජනිත වී තිබේ. කොහොමත් ජනතාව තීරණ ගන්නේ සිය අත්දැකීම් මත මිස මූලධර්මයක්, න්‍යායක් වෙතින් ආලෝකය ලබාගෙන නොවන බවට අපට අවබෝධයක් ඇත.

ජනතාව යහපත් අනාගතයක් සම්බන්ධයෙන් තැබූ විශ්වාසය නව පාලනය කෙසේ සුරකිනු ඇතිදැයි අපට බලා සිටිය හැකිය. එහෙත් අවසානයේ ඉතිරි වන්නේ විශ්වාසභංගයක් බව අපටනම් පැහැදිලිය. එය කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණි. අපට සමාජයේ බොහෝ දෙනෙකුට මෙන් යහපත් සමාජයක් පිලිබඳ වියුක්ත අදහසක් නැති අතර අපටනම් එය නිශ්චිතවම සමාජවාදී සමාජයකි. මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ අප අප උත්සාහ කළේ ඒ සමාජවාදී සමාජය සඳහා පදනමක් සකස් කර ගැනීමටය. එමෙන්ම ඒ සඳහා ජනතාවගේ දේශපාලන සක්‍රියත්වය ඉහල නංවන මහජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහාය. හෙටත් අපේ වැඩබිම වන්නේ එයයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය වැඩි වීමෙන් පෙනී යන්නේ අපේ ආරම්භක වැඩබිම තරමක් පුළුල් වී ඇති බවය. මන්දයත් මේ කිසිවක් හුදු ඡන්ද නොව නව දේශපාලන ක්‍රියාධාරයන්ගේ ජාලයක් එලා ගැනීමක් වන හෙයිනි. සමාජයේ රැල්ල මුළුමනින් එක අතකට ගසාගෙන යද්දීත් සමාජවාදී දේශපාලනය සොයා පැමිණි ඒ පිරිස අපට ඉදිරි වැඩපිළිවෙල තුළ වටිනා නිධානයක් බඳුය. අපට පටන් ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය පමණින් ලැබී ඇති බව අපට විශ්වාසය.

මැතිවරණ ප්‍රතිඵලය දැක බොහෝ දෙනෙක් තමන්ගේ බලාපොරොත්තුවේ ප්‍රමිතිය පහල හෙලාගෙන, තම සිහිනයේ වපසරිය පටු කරගෙන මේ යතාර්ථය භාරගෙන කාලයක් බලාගෙන සිටීමේ ප්‍රවණතාවයක් පෙනේ. බලාපොරොත්තුවේ ප්‍රමිති පහත දමා ගැනීම ඉතාම භයානක වන අතර සමාජය මේ සිටින අර්බුදයේ එක මූලයක් වන්නේද සමාජයේ අපේක්ෂාවේ මට්ටම් පවා පහත හෙලීමයි. එය ප්‍රකාශයට පත් වන්නේ තම ප්‍රශ්නය පවා විග්‍රහ කර නොගැනීමෙන් සහ විසඳුමක් සම්බන්ධයෙන් මල්වෙඩි සංදර්ශන මත විශ්වාසය තැබීමෙනි. මෙතරම් ගැඹුරු ප්‍රශ්නයක් කාට හෝ කතිරයක් සලකුණු කර, කොන්ත්‍රාත්තුව භාරදී, ජනතාව නිෂ්ක්රියව අත පොරවාගෙන සිටීමෙන් විසඳිය හැකියයි සිතන්නේනම් එය විශාල වැරදීමකි. ඉතිහාසයේ බොහෝ විට ජනතාවට වරදින අතර ජනතාවට සිදුවන වැරදීම් ඉතිහාසයේ මහා ඛේදවාචක නිර්මාණය කර තිබෙන බව සිහිපත් කර තැබිය යුතුය. ඒ නිසා වරද නිවැරදි කර ගත යුතුය. වරද නිවැරදි කිරීම සඳහා වන බර කරට ගැනීමට අපි සූදානමින් සිටිමු. අපි එක්ව ඒ සඳහා පියවර තබමු. එහි මූලික අවශ්‍යතාව ලෙස එළඹගත් සිහියෙන් ඉන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

leave a reply