Tag: lockdown

  • ඉංදියාව බෙදී වෙන්වීමෙන් පසු මුහුණ දුන් ඛේදජනක ඉරණම මෙයයි..

    ඉංදියාව බෙදී වෙන්වීමෙන් පසු මුහුණ දුන් ඛේදජනක ඉරණම මෙයයි..

    පසුගිය අඟහරුවාදා බිලියන 1.3 ක් එනම් කෝටි 130 ක් ජීවත්වන ඉංදියාව අගමැති මෝඩි ගේ අණින් වසා දැමුණා..ලක්ෂ සංඛ්‍යාත කුලීකරුවන් ඇතුළු සැතපුම් සිය දහස් ගණනක් දුරින් පිහිටි ප්‍රාන්ත වලින් පැමිණි එදාවේල සරිකර ගන්නා මිනිසුන් එම තීන්දුවත් සමගම කබලෙන් ලිපට වැටුනි.

    තමන් වැඩකල වැඩබිම් වෙළඳසැල් ඇතුළු සියල්ල වැසී යනවිට විකල්පය වූයේ තම ගම්බිම් පමණි. එහෙත් පැනවූ නීතියත් සමගම සියළු ප්‍රවාහන සේවාද ඇණ හිටියේය. ඉතා අඩු වැටුප් ලබන බොහෝ පිරිසකට ටැක්සි රථ ඇණවුම් කර තම ගම්බිම් කරා යෑමද සිහිනයක් විය. ඔවුන්ට තිබූ එකම විකල්පය දෙපයින් ඇවිද යාමය. එහෙත් තේ කහට කෝප්පයක් හෝ මග තොටකදී බීමට අවස්ථාවක් නැති කර දින 21 රටම වසා තබන නියෝගය ඉහළින් පැමිණ තිබුණි. එසේ ගම්බිම් කරා සැතපුම් සිය ගනනක් දින කිහිපයක් තිස්සේ ගමන් කල තරුණ යුවලක් වූ මම්තා හා ඇගේ සැමියා එරට මාධ්‍යයට තම අත්දැකීම් එක්කල අයුරු බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මෙසේ විස්තර කර සිටියේය..
    ” අපට ජීවත් වීමට ගමට යෑම හැර විකල්පයක් තිබුණෙ නෑ. ගෙදර අන්තිමට ඉතුරු වුන පිටි ටිකෙන් අපි පූරි හැදුව ගමනට ගෙනියන්න. ඊට පස්සෙ මමයි දරුවො දෙන්නයි සැමියයි බදාදා උදේම දිල්ලියෙන් පිටත් වුනා. දරුවො දෙන්න මාරුවෙන් මාරුවට අපි වඩා ගත්තා. ඒත් එයාල ගොඩක් දුර පයින් ගියා. අන්තිමට කකුල් ඉදිමුණා. අපි ඉරිදා හවස සිද්දමායි කියන අපේ ගමට (උත්තර ප්‍රදේශ් හි ගමක් ) ආවා. මේ වගේ නපුරු භයානක අත්දැකීමක් අපි ජීවිතේ විඳල නෑ. හදාගෙන ආපූ පූරි ටිකෙන් අපි අපේ පන යාංතං ගැට ගහ ගත්තා ”

    සත්‍යය වශයෙන්ම ඉංදීය ජනයා මෙවැනි ඛේදජනක මොහොතකට මුහුණ දෙන්නේ ඉංදියාව හා පකිස්ථානය වෙන් වීමේදී එරට ඇතිවූ තත්වයෙන් පසුවය. මෙවර අනපේක්ෂිත තත්වයක් තුලදී මෙසේ විසිර ගිය ලක්ෂ සංඛ්‍යාත අඩු ආදායම්ලාභී ශ්‍රමිකයන් තම දීර්ග පා ගමන තුලදී 20 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

     

  • හදිසි රෝහලක් New York , Central Parkහී

    හදිසි රෝහලක් New York , Central Parkහී

    ඇමරිකාවේ නිව්යෝක් නගරයේ රෝහල් පිරී යන තරමට covid-19 අසාදිත රෝගීන් ප්‍රමාණය වැඩිවී තිබේ . New York හි Central Park එකේ තාවකාලික කූඩාරම් රෝහල් පද්ධතියක් ඉදිකරන්නට දැන් කටයුතු අරඹ වි තියනවා. මෙම කූඩාරම් රෝහල් පද්ධතිය පැය 48 ක් ඇතුලත සාදා නිම කිරීමට බලාපොරොත්තු වෙන අතර රෝගීන් 68කට පහසුකම් සපයන්න පුළුවන් බව වාර්තාවෙනවා.

    මෙම තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථානය, විශේෂයෙන් ශ්වසන සත්කාර ඒකකයක් ලෙස තමයි ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ . ඇඳන් 68 කින් සමන්විත රෝහල අඟහරුවාදා වන විට විවෘත කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

    නිර්මාණය කර ඇති අතර එය සමරිතානු පර්ස් සහ මවුන්ට් සීනයි සෞඛ්‍ය පද්ධතිය අතර සහයෝගීතාවයක් බව නගරාධිපති සහ සීනයි කන්ද ප්‍රකාශකයෙක් පැවසීය. “මිනිසුන් කිරීටක වෛරසයෙන් මිය යති, රෝහල් ඇඳන් වලින් තොරය, වෛද්‍ය කාර්ය මණ්ඩලය යටපත් වී ඇත,” සමරිතානු පසුම්බියේ සභාපති ෆ්‍රෑන්ක්ලින් ග්‍රැහැම් පැවසීය. මෙම බර උසුලන්න අපි අපගේ හදිසි ක්ෂේත්‍ර රෝහල නිව්යෝක් වෙත යවමු.

    ඇඳන් 68 කින් සමන්විත රෝහල අඟහරුවාදා වන විට විවෘත කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

  • ඉතාලිය ඔබ අපව කම්පනයට පත් කරමින් සිටී.

    ඉතාලිය ඔබ අපව කම්පනයට පත් කරමින් සිටී.

    අප බලාපොරොත්තු දල්වාගෙන සිටිය කොරෝනා වෛරසය  අප දෑස් අබියස ඛේදවාචකයක් නිර්මාණය නොකරාවි කියා. එහෙත් එම බලාපොරොත්තු බිඳවැටෙමින් තියෙයි.  අවසානය පිළිබඳව ආනුමානික අදහසක් ද කිව නොහැකිය. මිනිස් ජීවිත සිය ගණනින් අපට දිනපතා අහිමි වෙමින් තිබේ. අදත්  හිත පහුරුගාන වේදනාව   දරුණුවටම දැනුනී.

     ඊයෙ මරණය පරාජය කරන්නට පොර බදමින් සිටි ජීවිත 969 රුදුරු කොරෝනා වෛරසය ඉතාලියට අහිමි කර තිබේ. අලුතින් covid-19  ආසාදිතයින් 4401  එකතු වී තිබේ .Lombardia  ප්‍රාන්තයෙන් අද දිනයේ දී මරණ 541 වාර්තා වෙනවා.

  • මාධ්‍ය වාර්තා වලට වැඩිය ඉතාලියේ තත්ත්වය බරපතලයි, La varita su Bergamo බෙර්ගමෝව පිළිබඳ ඇත්ත.

    මාධ්‍ය වාර්තා වලට වැඩිය ඉතාලියේ තත්ත්වය බරපතලයි, La varita su Bergamo බෙර්ගමෝව පිළිබඳ ඇත්ත.

    බෙර්ගමෝ රිෆොන්දසියෝන කොමුනිස්ත පක්ෂයේ ලේකම් බෝර්ගෝ දි තෙර්සෝ කොමූනෙ (ප්‍රාදේශිය සභාව) නියෝජිත Francesco Macario මහතා.
    බෙර්ගමෝව තුළ සිදුවන දේ පිළිබඳ මාධ්‍ය තුලින් සිදුකරන කතාබහ සත්‍යයෙන් තොර බවයි. මියයන සංඛ්‍යාව මාධ්‍යයෙන් කියන්නේ ඉතා අඩු අගයක් බවත් සත්‍ය අගය ඊට දහගුණයකින් වැඩි බවත් ඔහු පවසයි.

    මිලියන එකහමාරක් පමණ ජීවත්වන කොමූන (ප්‍රාදේශීය සභා) 243 කින් සමන්විත මේ කලාපය තුළ සිදුවන ඇත්ත සගවන හෙයින් මේ හෙලිදරව්ව සිදුකරන බවයි.
    නෙම්බ්රෝ කොමූනෙ පෙබරවාරි 24 වැනිදා මුලින්ම සිදුවූ මරණ සංඛ්‍යාව 14 ලෙස පවසන විට එදින ඇත්ත ගණන 120 කි. අල්සානෝ ලොම්බාර්දෝ කොමූනෙ පෙබරවාරි 23 වනදා 62 ක් මිය ගිය අතර නිල වශයෙන් ප්‍රකාශ කළේ 9 දෙනෙක් බවයි. සෙරියාතෙ ප්‍රදේශයේ 62 ක් මියයන විට නිල ප්‍රකාශය වූයේ 6 දෙනෙකු යන්නයි . කර්වාජ්ජෝ 50 මියයන විට නිල ප්‍රකාශය වූයේ 2 ක් බවත් දල්මාසියා ප්‍රදේශයේ 70 මිය යන විට නිල වශයෙන් ප්‍රකාශ කළේ 2 බවයි. ඒ අනුව බෙර්ගමෝව ප්‍රදේශය තුළ මේ වන විට මියගිය සංඛ්‍යාව පන්දාහක් දහදාහක් අතර ප්‍රමාණයක් බවයි ඔහු පවසන්නේ.

    ඇයි බෙර්ගමෝව ප්‍රදේශයට මෙසේ සිදුවුයේ ඔහු පවසන්නේ මූලිකම හේතුව අවශ්‍ය මොහොතේ එය හඳුනාගෙන ඊට අනුව කටයුතු නොකිරීමයි.

    ප්‍රධාන හේතුව

    බෙර්ගමෝව යනු කර්මාන්තපුරයකි. නවීන කර්මාන්ත ශාලා වලින් යුත් ඉතා ඉහල ආර්ථික වටිනාකමක් සහිත කලාපයකි. පසුගිය කාලය තුළ විශාල කර්මාන්තශාලා විශේෂයෙන්ම රෙදිපිළි කර්මාන්ත ශාලා ප්‍රමාණයක් ඉන්දියාව හා චීනයට ගෙන යන ලදී. අනෙකුත් කර්මාන්ත ශාලා සඳහා ද බොහෝ යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ඇත්තේ චීනයෙනි. ඒ නිසා චීනය සමඟ ඉතා සමීප ගනුදෙනු සිදුවන ප්‍රදේශයකි. පසුගිය ජනවාරියේ සිට චීන මැනේජර් වරු, තාක්ෂණ නිලධාරීන්, වෙළඳ නියෝජිතයින් මේ සමග විශාල ගනුදෙනු ප්‍රමාණයක නියැලී සිටි බව ඔහු ප්‍රකාශ කරයි. පෙබරවාරි 21 කොරෝනා ආසාදිතයින් හමුවන මොහොත වෙන විට බෙර්ගමෝව ප්‍රදේශයේ එය පැතිරී ගොස් හමාරය. කාගෙන් කාට කොහොම ආවා දැයි නිශ්චිත කර ගැනීමට නොහැකි වීමෙන් මෙය ඉතා වේගයෙන් අවට කලාපයටත් පැතිරී ගිය බවයි ඔහු පවසන්නේ.

    දෙවන ප්‍රධාන කාරණය ලෙස ඔහු පවසන්නේ පසුගිය කාලය පුරාවටම මහජන සෞඛ්‍යය හකුලමින් වැඩි වැඩියෙන් පුද්ගලීකරණයට අතහිත දෙමින් කටයුතු කළ ප්‍රාදේශීය පාලකයින් මෙයට වගකිව යුතු බවයි. උදාහරණයක් ලෙස මෙම කලාපයේ දක්ෂිනාංශික පාලකයින් සන් ජොවාන්නි බියන්කෝ රෝහල ද පුද්ගලීකරණය කළ යුතු බවට යෝජනා කල බවත් බොහෝ අරගල හේතුවෙන් එය රැක ගැනීමට තමන්ට හැකිවූ බවත් පවසන මොහු අද වනවිට බොහෝ ප්‍රමාණයකට මෙම රෝහල් අස්වැසිල්ලක් වී ඇති බව පවසයි. එනිසා අද වන විට සිදුවන මරණවලට මේ ප්‍රදේශයේ රෝහල් පුද්ගලීකරණයට අතහිත දුන් දේශපාලනය වගකිවයුතු බවට ඔහු චෝදනා කරයි.

    ඊළඟ ප්‍රධාන කාරණය ලෙස දක්වන්නේ කර්මාන්තශාලා දිගින් දිගටම විවෘතව තබා ගැනීමයි. ඒ හේතුවෙන් ඒවායෙහි සේවකයින් වෛරසය රැගෙන නිවෙස් වලට හා අවට ප්‍රදේශ වලට යන බවත් තවදුරටත් එය සිදුවන බවයි. අත්‍යවශ්‍ය සේවා හැර අන් සියලු කර්මාන්ත හා සේවා වසා දමන්නට යෝජනා කලත් මේ දක්වා ඔවුන් ඊට සූදානම් නැත. ඊට හේතුව මේ දේශපාලකයින් වැඩිදෙනෙක් කර්මාන්ත ශාලා හිමියන් ද වන හෙයිනි.

    වැඩිපුර රෝගීන් හමුවන ප්‍රදේශ පළමු මොහොතේම රතු කලාප ලෙස නම් කරන ලෙසට ඉල්ලා සිටියත් ඒවායෙහි නගරාධිපති වරුන් දෙදෙනාම ලේගා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයින් දෙදෙනාම කර්මාන්ත හිමිකරුවන් වන බැවින් එසේ නම් කළ යුතු නැති බවට පවසමින් දිගින් දිගටම කර්මාන්තශාලා විවෘතව තබා ගැනීමෙන් මුළු ප්‍රදේශයටම වියසනය කැඳවන්නට ඔවුන් මුල් වූ බවට චෝදනා කරයි. එසේ මුල් අවස්ථාවේම වසා දැමුණු ප්‍රදේශ මේ වන විට ආරක්ෂිත ප්‍රදේශ වී ඇති හෙයින් එය සනාත වන බව පවසයි.

    ඒ විතරක් නොව පසුගිය සති අන්තයක ජනතාව ඒකරාශි වීම වළක්වනවා වෙනුවට බෙර්ගමෝව නගරාධිපති ගෝරි විසින් නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් එම සති අන්තයේ සියලූ කඩසාප්පු, ආපනශාලා විවෘතව තබමින් මිනිසුන්ට රිසිසේ shopping කටයුතු කිරීමට ඉඩ හැරීමෙන් ද තවදුරටත් මෙය පැතිරවීමට ඔවුන් හවුල් වූ බවට ඔහු චෝදනා කරයි. මේ විදිහට වයස අවුරුදු 80 න් ඉහළ සම්පූර්ණ පරම්පරාවක් අතුගා දමන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවද ප්‍රකාශ කරයි.

    එනිසා හදිසි තත්වයන්ට කිසිසේත්ම අදාල නොවන කර්මාන්තශාලා පවා තවදුරටත් විවෘතව තබා ගැනීම ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් බව ප්‍රකාශ කරන ඔහු උදාහරණ සපයමින් සමහර ප්ලාස්ටික් කර්මාන්තශාලා, තීන්ත කර්මාන්ත ශාලා පවා විවෘතව තබා තිබෙන බව පවසයි.

    මෙය කිසිසේත්ම අවතක්සේරුවට නොගත යුතු කාරණයක් බවත් හොඳින් සියලු දෙනා තේරුම්ගෙන තව තවත් විනාශයක් නොවන්නට කටයුතු කල යුතු බවත් මේ වන විටත් අනෙකුත් කලාප සඳහා බෙර්ගමෝව මූලික වී මෙය පතුරුවා හරිමින් සිටින බවත් වහාම මෙයට පිළියම් යෙදිය යුතු බවත් තවදුරටත් ප්‍රකාශ කරයි.

  • දැන්වත් මේකට මැදිහත් වෙයල්ලා බූරු හැත්ත

    දැන්වත් මේකට මැදිහත් වෙයල්ලා බූරු හැත්ත

    වගකීම් විරහිත ආණ්ඩුව කටුනායක වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ ජීවිත බරපතළ අවදානමකට පත් කර තිබේ. ඇඳිරි නීතිය පැනවීමත් සමග නිවෙස් වෙත යාමට නොහැකි වූ දහස් ගණනක් කම්කරුවන් වෙළෙඳ කලාපය තුළ සිරවී සිටි අතර ඔවුන් නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය. කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති, කලාපයේ සිර වී සිටින කම්කරුවන් සහ මාධ්‍යවලින්ද මෙම ඉල්ලීම් ඉදිරිපත් විය.

    ඊට ප්‍රතිචාරයක් ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග ඊයේ පැවසුවේ සියලුම කම්කරුවන් නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා බවයි. කම්කරුවන් විශාල පිරිසක් නැති බවත් බොහෝ දෙනකු නිවෙස් වෙත ගොස් තිබෙන අතර 500ත් 1000ත් අතර පිරිසක් පමණක් සිටින බවත් ඇතැමුන් බොරු ප්‍රචාර ගෙන යන බවත් ඔහු පැවසුවේ කම්කරුවන් දහස් ගණනක් සිරවී සිටින බවට කෙරුණු දැනුම්දීම්වලට ප්‍රතිචාර වශයෙනි.

    කොතරම් කම්කරුවන් පිරිසක් නවාතැන්වල සිරවී සිටින්නේද යන්න පිළිබඳ කිසිදු අවබෝධයක් වගකීම් විරහිත ආණ්ඩුවට නොතිබූ බව පැහැදිලිය. එසේම අද උදෑසන 5ට මෙම කම්කරුවන්ට වෙළඳ කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසල රැස්වෙන ලෙස දන්වා තිබුනත් උදෑසන 10පමණ වනවිටත් ඒ සඳහා ඔවුන්ට කිසිදු කෑම බීමක් හෝ නොමැතිව ඒ අසල රැඳී සිටීමට සිදුව තිබේ. ආණ්ඩුවේ බලධාරීන් පවසා ඇත්තේ උණ තිබේදැයි පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරු පැමිණෙන තුරු මෙලෙස රැඳී සිටිය යුතු බවයි. ආණ්ඩුව විසින් ඇඳිරි නීතිය පනවා ඇත්තේ ජනතාව එක් රැස්වීම වළක්වා කොරෝනා වසංගතය පාලනය කිරීමට බව පවසමිනි. එසේනම් මෙම කම්කරුවන් එකපොදියට රැස්කිරීම හරහා වයිරසය පැතිරීමේ අවදානමක් නැතිවෙන්නේ කෙසේද යන පැනය මතුවේ.
    උපුටා ගැනීම www.lankaviews.com



    මේ ආණ්ඩුව කොච්චර තක්කඩිද? වගකීම් විරහිතද? කියලා මේ ෆොටෝවලින් පේනවා. ටීවී එකට ඇවිත් අපිට මීටරෙන් ඉන්න කියන, මාස් දාගෙන නැති උන්ට පොලිසිය ලව්වා කමිස ගලවලා මූණු වහන ආණ්ඩුවේ තක්කඩි, කටුනායක කම්කරුවන් ‍‍‍හෙළා තිබෙන අවදානමක තරම… දැන්වත් මේකට මැදිහත් වෙයල්ලා බූරු හැත්ත
    ජනක තුෂාර

  • වෛරසයෙන්  ආරක්ෂාවීමට කොටු වුණත්, සමාජීය වගකීම අත්  නොහරිමු

    වෛරසයෙන් ආරක්ෂාවීමට කොටු වුණත්, සමාජීය වගකීම අත් නොහරිමු

    සෑම පුරවැසියෙකුගේම ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු!
    මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භවීමත් සමග පසුගිය දින දහයකට ආසන්න කාලයක සිටම රටේ දෛනික ජන ජීවිතය සහ ආර්ථික කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක් වුණේ නැහැ.ඒ වගේම මේ වන විට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා දින දෙකක කාලයකට දිවයිනටම ඇදිරි නීතිය පනවා තිබෙනවා.එය තව දුරටත් දීර්ඝවන තත්වයක් තමයි පෙනෙන්න තියෙන්නෙ.ව්‍යසනයට මුහුණදීම සදහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වන අතර නමුත් එමගින් පීඩාවට පත්වන ජනතාව සදහාද වැඩපිළිවෙලක් සකස්විය යුතුයි.

    අපි දන්නව මේ රටේ දෛනිකව ලබන සුළු ආදායම් මාර්ග වලින් ජීවිතය සරි කරගන්න මිනිසුන් විශාල ප්‍රමානයක් ඉන්නවා.ත්‍රීරෝද රථ වැනි කුලී රථ රියදුරන්,පාරවල් අයිනෙ පොඩි පොඩි ව්‍යාපාර කරපු මිනිස්සු,සයිට් වල වැඩ කරන අය,වතු කම්කරුවන්,සප්පු සේවකයින්, එදිනෙදා පොඩි කුලී වැඩක් කරපු මිනිස්සු…මේ මිනිස්සුන්ට හදිසියේ මෙවැනි තත්වයකට මුහුණ දෙන්න බැංකු පොත් වල ඉතිරි කරන ලද මුදල් හෝ ගෙවල් වල ගබඩා කරගනිපු බඩු තොග නැහැ.ඉතින් මේ තත්වය හමුවේ ඔවුන් තමන්ගෙ දරුවන්ගෙ කුසට අහරක් දෙන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බැරිව අසරණ වෙලා ඉන්නෙ.එම නිසා මෙම ව්‍යසනකාරී තත්වය පවතින තුරු එයට මුහුනදෙමින් තමන්ගෙ සහ දරුවන්ගෙ ජීවිතය පවත්වාගෙන යාම සදහා ආපදා අවස්ථාවලදී ලබාදෙනවාක් මෙන් සහනාධාරයක් ලබාදීමට වැඩපිළිවෙලක් රජය විසින් කඩිනමින් සකස්කල යුතුව තිබෙනවා.එවැනි විධිමක් ක්‍රමවේදයක් සකස්වන තුරු අප ද අපේ අසල්වැසියන් සම්බන්ධව වගකීමකින් මැදිහත්වෙමු.

    ඒ වගේම ආර්ථික කටයුතු අඩාල වී තිබෙන මොහොතක, ලීසිං වාරික ගෙවන ත්‍රීරෝද රථ ඇතුළු කුලී රථ රියදුරන් සහ නිවාස ණය ඇතුළු විවිධ ණය වාරික ගෙවමින් සිටින සාමාන්‍ය ජනතාව ඒවා ගෙවාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.එම නිසා ජනාධිපති තුමා විසින් ජාතිය ඇමතීමේදී ව්‍යාපාරිකයන් සදහා මාස හයක කාලයකට ලබාදුන් ණය වාරික ගෙවීමේ සහන කාලය එවැනිවත් ආර්ථික හැකියාවක් නොමැති මේ සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන්ද කඩිනමින් ලබාදියයුතුව තිබෙනවා.

    මේ මොහොත වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 70කට අධික ප්‍රමාණයක් වාර්ථාවී තිබෙනවා.ඉදිරියේ දී මෙය තවදුරටත් ව්‍යාප්ත වන තත්වයක් ඇතිවුවහොත් එයට සාර්ථකව මුහුණ දීම සදහා සෞඛ්‍ය පහසුකම් පුළුල් විය යුතුයි.එසේ නොවුනහොත් රෝගය තව තවත් ව්‍යාප්ත වීම සදහා එය හේතුවක් වෙනවා.ඉතාලිය තුළ ඇති වූ ඛේදනීය තත්වයට හේතුපාදක වී තිබුණේ ද මුල සිට සෞඛ්‍ය පහසුකම් පුළුල්ව සැපයීමට අපොහොසත් වීමයි.එම නිසා එවැනි ඛේදණීය තත්වයක් ඇතිවීම වැළැක්වීම සදහා රජය මැදිහත් වී මේ ව්‍යසනයට මුහුණදීම සදහා, ස්පාඥය වැනි රටවල කලාක් මෙන්, පෞද්ගලික රෝහල් වලින්ද ජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් කරගැනීමට අවස්ථාව සළසාදීය යුතුයි.මොකද ආර්ථික අපහසුතා නිසා හෝ ජනතාව මෙම පරීක්ෂණ අවස්ථා මගහැරීම තුළ එය රෝගය තව තවත් ව්‍යාප්තවීමට බලපාන බැවිනි..තවද ජනතාව මෙවැනි ගෝලීය පරිමාණයේ ව්‍යසනයකට මුහුණපා තිබෙන මොහොතක,මෙරට ජනතාවගෙන් ලබාගන්න මුදල් වලින් ලාභ උපයන ලද පෞද්ගලික රෝහල් වලට මේ ජනතාව වෙනුවෙන් ඉටකලයුතු සමාජ කර්යභාර්‍ය මගහැර යා නොහැක.

    ප්‍රබලයා සුරැකී දුබලයා විනාශ වීමට ඉඩ නොදී, මෙම ඇතිව තිබෙන ව්‍යසනකාරී තත්වයට මිනිසුන් ලෙස සාමූහිකව සමාජ වගකීමකින් මුහුණ දෙමු! සෑම පුරවැසියකුගේම ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනීසිටිමු..

    ඒ වෙනුවෙන් හඩක් නගන්න එකතුවෙන්න. මෙම සටන් පාඨය සහිත ඡායාරූපයක් පළකරන ලෙස ඉල්ලා සිටිනවා.

    Let’s face the situation as a society with social responsibility.

    It’s not only the privileged but also the common people deserve to be safe!
    Let’s stand for all citizens’ right to live!
    I invite you all to raise voices by posting a picture

  • එදිනෙදා ජීවත් වන ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කවුද

    එදිනෙදා ජීවත් වන ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කවුද

    දින කිහිපයකට ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ දී රජය විසින් ඊට සමඝාමීවම ඉන් පීඩාවට පත්වන පහළ පාංතික ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස්කල යුතුයි.

  • Lockdown ඉල්ලා සිටින අය ඉල්ලා සිටින්නේ මේ දුෂ්ට වෛරසය සමග සටන් කරන පාලකයෙකුද?

    Lockdown ඉල්ලා සිටින අය ඉල්ලා සිටින්නේ මේ දුෂ්ට වෛරසය සමග සටන් කරන පාලකයෙකුද?

    දැන් ගෝලීයවත් ජාතිකවත් හදිසි තත්ත්වයක් උදා වී ඇත. ජියෝජි අගම්බෙන්ගේ වචනයෙන් කිව හොත් ව්‍යතිරේකීය තත්ත්වයක් (state of exception) නිර්මාණය වී තිබේ. විසිවන සියවසේ විසූ තවත් වැදගත් දේශපාලන චින්තකයෙකු වූ කාල් ෂ්මිට්ට අනුව, ව්‍යතිරේකීය තත්ත්වයකදී ස්වාධිපති පාලකයාට නීතියේ පාලනය ඉක්මවා යා හැකිය; ඒ මහජන සුබ සිද්ධිය ඇති කිරීමේ නාමයෙනි. විශේෂයෙන්ම අර්බුද සමයකදී මහජන සුබසෙත සලසනු පිණිස විධායකයට මූලික නීතිය සහ දේශපාලන ඇගයුම් නොතකා කටයුතු කළ හැකිය යන්න එහි අරුතයි. ෂ්මිට් පැවසූ ලෙස ස්වාධිපති බලයේ සාරය වන්නේ ව්‍යතිරේකීය තත්ත්වයක් තුළ තීරණ ගැනීමේ අධිකාරත්වය එය සතුව පැවතීමයි. අගම්බෙන්ගේ තර්කය වන්නේ මෙම ව්‍යතිරේකීය තර්කනය සමකාලීන ලෝකයේ ආණ්ඩුකරණයේ අධිපති මාදිලිය බවට පත්ව තිබේය යන්නයි. ඒ අනුව, දැන් ව්‍යතිරේකය සාමාන්‍ය තත්ත්වය බවට පරිවර්තනය වී ඇත.

    ලිබරල් සටන් පාඨ තුළ සැඟවුණු අධිකාරීවාදී ෆැන්ටසිය

    මේ දිනවල ලොව පුරාම සෘජුව තීරණ ගන්නා ශක්තිමත් පාලකයින් ලෙස හැසිරෙන්නැයි තම තමන්ගේ රටවල පාලකයින්ගෙන් ඉල්ලා සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අඩුවක් නොමැත. ශ්‍රී ලංකාවේද පාලකයා හට වඩා සෘජු සහ ශක්තිමත් ලෙස හැසිරෙන්නැයි ඉල්ලමින් සමාජ මාධ්‍ය තුළ ඝෝෂාවක් සිදුවෙමින් තිබේ. සැබවින්ම මෙසේ ශක්තිමත් පාලකයෙකු පරිකල්පනය කරමින් සිටින්නේ වත්මන් පාලනයේ අනුගාමිකයින් පමණක් නොවේ. කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා ඉක්මනින් රට වසා දමන්නැයි (“lockdown Sri Lanka”) අයැදිමින් සිටින ලිබරල් කොටස්ද පරිකල්පනය කරන බව පෙනෙන්නේ පුරවැසියන් නිවෙස්වලට වී සිටින අතර ශක්තිමත් ලෙස ඔවුන් වෙනුවෙන් මේ දුෂ්ට වෛරසය සමග සටන් කරන පාලකයෙකු නොවේද? පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාව හාස්‍යයට නංවමින් පළ කෙරෙන සමාජ මාධ්‍ය පෝස්ටු රැසක යටි පෙළෙහි ඇත්තේද වඩා ශක්තිමත් පාලකයෙකු පිළිබඳ පරිකල්පනය බව මගේ නිරීක්ෂණයයි.

    මනා දේශපාලන සිහි කල්පනාවකින් තොරව තෝරන ඇතැම් ලිබරල් සටන් පාඨ වුවත් ඇතැම්විට අධිකාරීවාදී පාලනයක් කරා මග හෙළි කළ හැකිය. මේ දිනවල මෙරට වාම-ලිබරල් කොටස්වල දේශපාලන සිහි කල්පනාව මොට වී යමින් තිබෙන්නේ පාලන තන්ත්‍රය සහ වාණිජ මාධ්‍ය එක්ව නිර්මාණය කොට තිබෙන “කොරෝනා-භීතිකාව” කරණ කොටගෙනය. බියෙන් තැති ගත් විට සිහි කල්පනාව නැතිව යන බව නොදන්නෝ කවරහුද? කොරෝනා වසංගතය ඉතාම බරපතල ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන එය මැඩ පැවැත්වීමට අප සියලු දෙනාම ක්‍රියා කළ යුතු බව අවිවාදිතය. නමුත්, ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ සහ ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ මහජන භීතිකාව පදනම් කොටගෙන නොවේ. භීතිකාව විසින් අපව රැගෙන යනු ඇත්තේ පළමුව සමාජ කැළඹීමක් වෙතත් දෙවනුව එම කැළඹීම පාලනය කළ හැකි අධිකාරීවාදී පාලකයෙකු පිළිබඳ ෆැන්ටසියක් වෙතත් පමණි. එහෙයින්, මේ මොහොතේ වාමාංශික බුද්ධිමය අරගලය කොරෝනා වෛරසයට එරෙහි එකක් වන අතරම කොරෝනා භීතිකාවට එරෙහි එකක්ද විය යුතු බව මගේ අදහසයි.

    මා පසුගිය සතියේදී ආරම්භ කළ පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා පිළිබඳ විශ්ලේෂණය මදකට පසෙකින් තබා කොරෝනා වෛරසය ගැන ලිවීමට තීරණය කළේ ඉහත හේතුව නිසාය.

    “ලොක් ඩවුන්” ව්‍යාපාරයේ අපරිණතකම

    අපේ යුගයේ විශිෂ්ටතම මහජන බුද්ධිමතෙකු වන ස්ලේවෝයී ශිෂෙක් දින කිහිපයකට පෙර ලියා පළ කළ “Monitor and Punish? Yes, Please!” නමැති ලිපියේ ඉහත ගැටළුව තියුණු ලෙස සාකච්ජාවට ලක් කරයි. අද බටහිර ලිබරල් ප්‍රජාතාන්ත්‍රික සමාජයන් තුළ අන් කවර කලෙකවත් නොවූ විරූ පරිදි පුද්ගලයන් පාලනය කිරීමේ සහ නියාමනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරිපත් වෙමින් තිබේ. එය යුක්ති සහගත කෙරෙනුයේ කොරෝනා වසංගතය මගිනි. ඉතාලිය මේ සඳහා කදිම නිදසුනයි. චීනය සමාජ පාලනය සහ නියාමනය ඩිජිටල්කරණය කොට තිබේ. කොරෝනා වෛරසය සමග කරන සටනේදී චීනය අනුගමනය කළ යුතුය යන සමාජ මානසිකත්වය උග්‍ර වෙමින් පවතින තත්ත්වයක් තුළ ශිෂෙක් අසන්නේ “චීනය අපගේ අනාගතයදැ”යි යනුවෙනි. විශේෂයෙන්ම පාලන තන්ත්‍රයන් සහ මාධ්‍ය සමාගම් එක්ව උත්සන්න කරන භීතියේ පරිසරය තුළ පුද්ගලයන්ව නිරන්තර පරීක්ෂාවට, සෝදිසියට, පාලනයට සහ නියාමනයට ලක් කිරීමට විශාල අනුමැතියක් හිමිව තිබේ. පාලකයින් නිතරම නිවේදනය කරන්නේ මහජනයාට බිය නොවී සිටින ලෙසය; නමුත්, ඔවුන් ඒ සමගම ගෙන හැර දක්වන්නේ බිය විය යුතු හේතූන් ගණනාවකි!

    අප පවත්නා අනතුර ගැන සාධාරණව සිතා බලන විට, පුද්ගලයන් නිරෝධානය කිරීමත් යම් සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීමත් මේ මොහොතේ කළ යුතු දේ බවට විවාදයක් නොමැත. එහිදී පුද්ගල සහ සමාජ නිදහස යම් දුරකට සීමා කරන්නට සිදු වීමද නොවැලැක්විය හැකිය. ඇතැම්විට, ශිෂෙක් ඔහුට සුපුරුදු උත්ප්‍රාසාත්මක වචනයෙන් පවසන පරිදි මේ මොහොතේ සාමූහිකත්වය ප්‍රදර්ශනය කළ හැක්කේ එකිනෙකාගෙන් හුදෙකලාව සහ දුරින් සිටීම මගින් විය හැකිය. නමුත්, මේ වෛරසය සමග සටන් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ එක් ප්‍රවේශයක් පමණක් නොවන බව ඔහු අපට පෙන්වා දෙයි. අප දැනටමත් දන්නා අධිපති ප්‍රවේශය වන්නේ අධිකාරීවාදී පාලනයේ ක්‍රමවේදයයි. ඒ ප්‍රවේශය අනුව, යම් තෝරාගත් ප්‍රදේශ හෝ සමස්ත රාජ්‍යයම වසා දැමීම පවා යෝජනා කළ හැකිය. ශ්‍රී ලංකාවේ දැනට මෙම අධිකාරීවාදී ප්‍රවේශය යෝජනා කරන පුද්ගලයන් අතර 2015 යහපාලන ව්‍යාපෘතියට සක්‍රීයව සහාය දැක්වූ අලුත් පරපුරේ ක්‍රියාකාරීන් පවා සිටිති!

    මගේ හැඟීම නම් මෙම ප්‍රවේශය අප රට තුළ ඉදිරිපත් කෙරෙමින් තිබෙන්නේ කිසියම් පංතිමය පක්ෂපාතීත්වයක් සෘජුවම ප්‍රකාශයට පත් වන ආකාරයෙන් බවයි. නිදසුනක් ලෙස, මේ දිනවල මුහුණු පොතේ රැල්ලක් බවට පත්ව තිබෙන “Lockdown Sri Lanka” ව්‍යාපාරය තුළ සහමුලින්ම නොතකා හරිනු ලබන කාරණයක් වන්නේ අප රටේ අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන ලක්ෂ ගණනක් ජනයාගේ ගැටළුය; දෛනික සේවා සැපයීමෙන් එදා වේල සොයා ගන්නා අති විශාල සමාජ තීරුවක් ඒ අතර වෙයි. මෙම පිරිස් සඳහා කිසියම් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් යෝජනා කිරීමෙන් තොරව මුලු රටම හෝ කිසියම් ප්‍රදේශයක් “ලොක් ඩවුන්” කිරීමට ඉල්ලා සිටීම අප වටහාගත යුත්තේ කෙසේද? චීන පාලනාධිකාරය කොරෝනා වෛරසය සමග සටන් කිරීමේදී විවිධ සුභ සාධන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාවට නැගීය. මහජන ආරක්ෂණ දායකත්ව ගෙවීම් කල් දැමීය. පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය සහ අත්‍යවශ්‍ය සේවාවලට අදාළ වැට් බදු අහෝසි කොට දැමීය. ඉතාලියේ අසරණභාවයට පත් වූවන් හට රජයෙන් සුභසාධක දීමනා ගෙවයි. කැනඩාවේ අගමැති ජස්ටින් ත්රූඩෝ පසුගියදා නිවේදනය කළේ තම රටේ ලක්ෂ ගණනක් ජනයාට මූල්‍ය සහන ලබාදීමට තමන් කටයුතු කරන බවයි. තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක් සමග මෙවන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග අත්වැල් බැඳගෙන යා යුතු බැව් මෙරට “ලොක් ඩවුන්” ව්‍යාපාරයේ ඇතැම් පිරිස් අවබෝධ කරගත්තේ ඔවුනගේ ප්‍රවේශය සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක් කළ පසුව පමණි.

    නමුත්, එපමණක් වුව ප්‍රමාණවත් නොවේ. සමස්ත හෝ තාවකාලික “ලොක් ඩවුන්” කිරීමක සමාජයීය සහ ආර්ථිකමය පල විපාක පිළිබඳ මනා තක්සේරුවකින් තොරව හුදෙක් එය මන්ත්‍රයක් ලෙස ජප කිරීම අතිශය දේශපාලන වගකීම් විරහිතභාවයක්ද වේ. ඒ සියල්ල ආණ්ඩුව විසින් බලා ගත යුතුය යන ආකල්පය වනාහී යළිත් වරක් පරම බලැති අධිකාරීමය පාලකයෙකු පිළිබඳ ෆැන්ටසිය තුළින් ගලා එන්නකි. වඩා පුළුල් චිත්‍රය නොදැක ඉක්මන් ගැලවුම්කාර විසඳුම් ඉල්ලා සිටීම යනු භීතියේ පාලනයට යටත් වීමට අමතරව දේශපාලනික ළදරුභාවය ප්‍රකට කිරීමක්ද වේ. එවන් දේශපාලනිකව නොමේරූ ප්‍රතිචාර සඳහා තවත් නිදසුනක් නම්, පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් ඉල්ලා සිටීමෙන් තොරව “මැතිවරණය කල් දමනු!” යන සටන් පාඨය ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුව නොකැඳවා, මැතිවරණය කල් දැමූ වාතාවරණයක් තුළ “ලොක් ඩවුන්” කිරීමක්ද කළ හොත් එයින් උද්ගත විය හැකි දේශපාලන පල විපාක කවරාකාර වනු ඇත්ද? කොහොමටත් ඊළඟ මැතිවරණය පැවැත්වෙන තුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවකි. මෙම කාල පරිච්ජේදය තුළ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය පවතින්නේ විධායකයට වාසි සහගතවය. හදිසි ආපදා තත්ත්වය තුළ විධායකය තවදුරටත් බලවත් වීම අපේක්ෂා කළ යුතුය. දැනටමත් කොරෝනා වෛරසය සමග කරන සටනේ ප්‍රධාන ඒජන්තයා බවට සන්නද්ධ හමුදාව පත්වී අවසන්ය. මෙම සිදුවෙමින් පවතින ක්‍රියාවලිය තියුණු ලෙස විශ්ලේෂණය කොටගෙන එකී පුළුල් චිත්‍රය දකින්නට අපට බාධා කරන්නේ කොරෝනාව ආශ්‍රිත “භීතිකා කර්මාන්තය”යි.

    ඉහත කරුණු සාරාංශ කොට කිව හොත්, සමස්ත “ලොක් ඩවුන්” කිරීමක් කරා යා යුත්තේ එය නොවැළැක්විය හැක්කක් වූ තත්ත්වයක් තුළ ගන්නා අවසන් පියවර ලෙස පමණි. එය කෙසේවත් පළමු පියවර නොවිය යුතුය. කොරෝනා වෛරසයේ ප්‍රහාරයට ලක් වූ අපගේ අසල්වැසි රටවල්ද තවමත් එවන් පියවරක් කරා යාමට කලබල නොවී ඇත්තේ එනිසාය. එසේම, එවැන්නක් කරා ගියද නොගියද මෙම කොරෝනා භීතිය හමුවේ පහර කෑමට ලක්ව සිටින අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන සමාජ කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එය රාජ්‍යය මගින් පමණක් කළ යුත්තක් නොවේ. අපගේ සමාජය සතුව අනෙකාට පිහිට වීමේ පොහොසත් ජාතික සම්ප්‍රදායක් තිබේ. මෙරට සියලු දෙනාම සුපිරි වෙළඳසැල් හිස් කරමින් නිවසේ හුවමාරු භාණ්ඩ පුරවාගෙන සමාජ මාධ්‍ය තුළට පිවිස රට “ලොක් ඩවුන්” කරන්නැයි ඉල්ලා සිටින අයවලුන් නොවේ. විශේෂයෙන්ම වාමාංශික පක්ෂ සහ කණ්ඩායම්වලට මේ කාරණයට අදාළව නිර්මාණශීලී මැදිහත්වීම් කළ හැකිය. (මෙරට වමේ ව්‍යාපාරය ආරම්භ වූයේම මැලේරියා මර්දන ව්‍යාපාරයෙන් නොවේද?) දෙවනුව, මැතිවරණය කල් දමන්නට කරන ඉල්ලීම සමග පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම අතිනත ගෙන යා යුතුය. කළ හැකි හොඳම දේ වන්නේ මේ අර්බුදයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් පුළුල් යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් පෙරට ගෙන ඒමයි.

    ශිෂෙකියානු කොමියුනිස්ට්වාදය

    අවසන් වශයෙන්, ශිෂෙක් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය එක් අතකින් ගෝලීය නිදහස් වෙළඳපලවාදී පුද්ගලවාදයත් අනෙක් අතින් ජාතික රාජ්‍යවාදයත් අසාර්ථක බව පෙන්වා දුන් සංසිද්ධියක් බවයි. නමුත්, විසඳුම ඇත්තේ සාධනීය අරුතින් ගෝලීයකරණය තුළය. නිදහස් වෙළඳපලවාදයේ අසාර්ථකත්වය ගැන අපට අපගේම කදිම නිදසුනක් පසුගියදා ලැබුණි. එනම්, මධ්‍යම පංතික පාරිභෝගිකයන් තරඟයට කඩ සාප්පු හිස් කිරීමේ අත්දැකීමයි. එසේම මේ අර්බුදයට ජාතික විසඳුමක් කිසිවෙකුටත් නොමැති බව දැන් සක් සුදක් සේ පැහැදිළිය. වෛරසය තම රටවලට ඇතුළු වීම පාලනය කිරීම පිණිස විවිධ රටවල් තම දේශ සීමා සහ ගුවන් තොටුපලවල් වසා දමන බව සැබෑය. නමුත්, මේ අභියෝගයට මුහුණ දිය හැක්කේ වඩා පුළුල් සහ විවෘත ගෝලීය සහයෝගීතාවක් ඔස්සේ පමණක් බව ඒ අතරම සියල්ලන්ට පිළි ගන්නට සිදුව තිබේ. මෑතකදී දකුණු ආසියාතික රාජ්‍ය නායකයින් මේ අර්බුදය සම්බන්ධයෙන් සමූහ කතිකාවක නිරත වීමෙන් සංකේතවත් වූයේ එයයි. අන්ත දක්ෂිණාංශික හින්දූත්වවාදයේ ප්‍රමුඛයා හට එහිදී තම සදාතනික සතුරා වන පාකිස්තානයේ නියෝජිතයා සමග එක්ව වැඩ කරන්නට සිදු විය.

    ශිෂෙක් සීමිත අරුතින් කොමියුනිස්ට්වාදය යැයි කියන්නේ අප සියලුම දෙනාගේ පොදු පැවැත්ම සහ යහපත වෙනුවෙන් එක්ව සහ සහයෝගීව වැඩ කිරීමේ මෙම ප්‍රවේශයටය. මෑතකදී ඉතාලියේ කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා චීන සහ කියුබානු වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉදිරිපත් වීමෙන් සංකේතවත් වන්නේද එයයි. කොරෝනා රෝගීන් සහිත එක්සත් රාජධානියට අයත් නෞකාවක සිටි පිරිසකට තම රටට ඇතුල් වීමට කියුබාව අවසර දුන් බවද පසුගියදා වාර්තා විය. එහිදී කියුබානු රජය ප්‍රකාශ කළේ සෞඛ්‍යය යනු මානව අයිතියක්ය යන්න තමන් පිළිගන්නා බවයි. මේ අතරම ඇතැම් රටවල වයසින් වැඩි රෝගීන් නොතකා හැරීම වැනි දුක්ඛදායක සිද්ධීන් වාර්තා වූ බවද සැබෑය. නමුත්, ශිෂෙකියානු සීමිත කොමියුනිස්ට්වාදයට අනුව, මේ අර්බුදය ජය ගැනීම සඳහා අප මිනිසුන් ලෙස අපගේ ශිෂ්ටත්වය ප්‍රකට කිරීමට සමත් විය යුතුය. මිනිසුන් තුළ තවමත් පවතින කොමියුනිස්ට් ගති සොබාවයට ආමන්ත්‍රණය කරන්නේ නම්, අප දැකිය යුතු දර්ශනය වන්නේ පුද්ගලයන් සහ පවුල් කලින්ම රැස් කරගත් පාරිභෝජන භාණ්ඩ තොගයක් මැදට වී තම අසහාය පාලකයා සහ ඔහුගේ හමුදාව තමන් වෙනුවෙන් කොරෝනා වෛරසය සමග යුද වදින අයුරු රූපවාහිනී තිරයෙන් බලා සිටින දර්ශනයක් නොවේ. නිරෝධානය සඳහා එකිනෙකාගෙන් දුරස් සහ හුදෙකලා වන අතරම, අනෙකාට පිහිට වීමට සක්‍රීයව මැදිහත් වීමේ නිර්මාණශීලී ක්‍රම සොයා ගන්නා දැනුවත් සමාජයකි. මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මේ අර්බුදය ජය ගැනීම සඳහා සක්‍රීය මහජන සහභාගීත්වය ලබා ගන්නා මාවත් ගැන අප සොයා බැලිය යුතු නොවේද?