Tag: human rights

  • මේ වසරේදී පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් 20ක් මියගිහින්

    මේ වසරේදී පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් 20ක් මියගිහින්

    2023 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා.

    ඒ අනුව පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කර ඇත්තේ මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ ගොස් ඇති බවයි.

    ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බව, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

    පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයෙකු මිය යාමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 26 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් මිය යාමයි.

    යාපනය වඩුක්කෝඩෙයි⁣ පොලිසිය භාරයේ සිටියදී පහරකෑමට ලක්ව දින කිහිපයකට පසුව නාගරාසා ඇලෙක්ස් මිය යාම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි.

    මීට මාස කිහිපයකට පෙර ගෘහ සේවිකාවක වූ රාජ් කුමාරි පොලිසිය සිදුකළ පහරදීමකින් මියගිය බව සාක්ෂි ඉදිරිපත් වී තිබුණි.

  • උසාවිය ඇප මත නිදහස් කළ අහ්නාෆ් ජසීම් කවියා ආණ්ඩුවට ත්‍රස්තවාදියෙක්

    උසාවිය ඇප මත නිදහස් කළ අහ්නාෆ් ජසීම් කවියා ආණ්ඩුවට ත්‍රස්තවාදියෙක්

    කවියෙකු සහ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකා රජය විසින් තව දුරටත් ලැයිස්තුගත කර තිබේ.

    2023 ජුනි මස 8වැනිදා ආරක්ෂක අමාතාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් නිකුත් කරන ලද අංක 2335/16 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පුද්ගලයන් 301 ක් හා සංවිධාන 15 ක් නම් කර ඇත.

    “කලින් කලට සංශෝධිත සහ 2022 අගෝස්තු මස 1 වන අංක 2291/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, ලැයිස්තුවට කරන ලද සංශෝදන මගින් අවසන් සංශෝධිත, 2014 මාර්තු මස 21 වන දින අංක 1854/41දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ අස්ථිත්ව ලැයිස්තුව එහි උපලේඛන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛන ආදේශ කිරීම මගින් තවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ,” යි එම අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන්ව තිබේ.

    2022 වසරේ අගෝස්තු මස පළමුවැනිදා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් නිකුත්කළ අංක 2291/02 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පුද්ගලයන් 316 ක් හා සංවිධාන 15ක් නම් කර තිබු අතර අහ්නාෆ් ජසීම්ගේ නම එයට ඇතුලත්ව තිබුනි.

    අහ්නාෆ්ගේ නීතිඥ සංජය විල්සන් ගුණසේකර ට්ව්ටර් පනිවිඩයක් හරහා පෙන්වා දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තියට පින්සිදුවන්නට අහ්නාෆ් ජසීම් රැකියාවක් පවා සොයා ගත නොහැකිව මේ වන විට ගොවිතැන් කරන බවයි.

    “ඔහු අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට UNWGAD හඳුනාගෙන තිබේ.” එම ට්ව්ටර් පනිවිඩයේ වැඩි දුරටත් සදහන්ය.

    UNWGAD යනු අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳ විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමයි.

    2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමින් 2020 මැයි 16 දා පන්ඩාරවේලියේ පිහිටි ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගන්නා ලද අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ජාත්‍යන්තර මානව හිමිකම් වල විරෝධය නොතකා දින 579ක් සිරගත කොට තිබුනි.

    අධිකරණය විසින් ඇප මත නිදහස් කර යැවීමෙන් පසුත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඔහු ලැයිස්තුගත කර තිබේ.

  • වතු කම්කරුවන් ස්ථිර ලිපිනයක් ඉල්ලා පෙත්සමක්

    වතු කම්කරුවන් ස්ථිර ලිපිනයක් ඉල්ලා පෙත්සමක්

    වතු කම්කරුවන්ට ස්ථිර තැපැල් ලිපින ලබා දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා විසින් අද (මැයි 25 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය

    ඒ, වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම, මුවන්කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

    මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සොයා බලන බවය.

    ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන ආකාරයට වතුකම්කරුවන්ට තැපැල් ලිපින නිකුත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරන බවත් එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.

    මෙරට වතු කම්කරුවන් සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා වතු කම්කරුවකු විසින් පසුගිය මාර්තු 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.

    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ.

    වතු කම්කරුවන්ට අභියෝග රැසක්

    පෙත්සම්කරු කියා සිටින්නේ ශත වර්ෂ කිහිපය තිස්සේ මෙරට වතු කම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරීත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ය.

    ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ පුරවැසියෙකුට ජීවත්වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම ප්‍රධාන අයිතිවාසිකමක් වශයෙන් සඳහන් කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

    එහෙත් මෙරට වතුකම්කරුවන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බව පෙත්සමේ දැක්වෙයි.

    තමා පදිංචිව සිටින මුවන්කන්ද වතුයායේ වතු කම්කරු පවුල් 300ක් පමණ ජීවත්වන අතර ඒ කිසිවෙකුට ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.

    මේ නිසා වතුකම්කරුවන්ට තමන් පදිංචි ස්ථානවලට පෞද්ගලිකවම ලිපි ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

    ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක වතුකම්කරුවන් ලක්ෂ හතරක පමණ පිරිසක් වාසය කරන අතර ඒ කිසිවකුට පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බවත් පෙත්සමේ දැක්වෙයි.

    ඒ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබා ගැනීම, විභාග සඳහා ලියාපදිංචි වීම, පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී වතු කම්කරුවන්ට දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුවන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

  • මානව හිමිකම් කොමිසමට ටිරාන් අලස් කැඳවීම ගැන කොමිසමෙන්ම විරෝධයක්

    මානව හිමිකම් කොමිසමට ටිරාන් අලස් කැඳවීම ගැන කොමිසමෙන්ම විරෝධයක්

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවීමේ තීන්දුවට තමන්ගේ කිසිඳු සම්බන්ධයක්

    නොමැතිව එම කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතර දෙනෙකුම ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.

    මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල ආසන්නයේ පැවති විරෝධතා පාලනය කළ ආකාරය පිලිබඳ විමර්ශනය සඳහා එලෙඹන 13 වන සඳුදා දින මහජන අමාත්‍යවරයාට කැඳවීමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (09) නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිය වන අතර පුජ්‍ය කළුපහන පියරතන හිමි, වෛද්‍යාචාර්ය නිමල් කරුනාසිරි, ආචාර්ය විජිත නානායක්කාර , අනුෂියා ෂම්මුගනාදන් එහි සෙසු සාමාජිකයින් වේ. එම සියලු පත්වීම් සිදුකර තිබුනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිය හැර අනෙකුත් සාමාජිකයින් සියලුදෙනාම ඇතැම් මාධ්‍යවෙත පවසා ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා කොමිසමට කැඳවීමේ තීරණය කොමිෂන් සභාව විසින් ගනුලැබූ තීන්දුවක් නොවන බවයි. පුජ්‍ය කළුපහන පියරතන හිමියන් මේදිනවල විදේශගතව සිටියි.

    කෙසේවුවද කොමිසම විසින් සිදුකරන විමර්ශනයක් සඳහා කිසියම් පුද්ගලයකු කැඳවීමට විමර්ශනය සිදුකරනු ලබන නිලධාරියට හෝ නිලධාරිනියට බලය තිබේ. ඒ සඳහා කොමිසමේ සාමාජිකයින්ගේ එකඟතාවයක් අවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය. අඩුම වශයෙන් සභාපතිනිය ගේ හෝ එකඟතාවයක් අවශ්‍ය නොවනබව ද වාර්තා වේ.

     

  • බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!

    බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!

    පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙන සැකකරුවන් සම්බන්ධයෙන් වන ඉතා වටිනා නඩු තීන්දුවක් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ තිබෙනවා. යමෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ වහාම අපරාධකාරයෙකැයි තීන්දු ලබා දෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් නම් මේ නඩු තීන්දුව ගැන කට හොලවන්නැති බව නිසැකයි. විකල්ප මාධ්‍ය කතිකාවන්වලවත් එතරම් සඳහන් නොවුණ මේ නඩු තීන්දුව ඉතා වැදගත් එකක්.

    මෙකී තීන්දුවට අදාළ නඩුවෙ එන විදිහට 2008 වසරෙදි මොහොමඩ් ඉර්ෆාන් කියල කෙනෙක් කොම්පඤ්ඤ වීදිය පොලිසිය අත්අඩංගුවට අරන් තියන්නෙ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ කොල්ල කෑමේ චෝදනාවලට. ඔහු සැකපිට අත්අඩංගුවේ ඉද්දි එල්ල කෙරුණු පොලිස් වෙඩි පහර දෙකකින් තමා මරණයට පත් වුණ බව සඳහන් වෙන්නෙ.

    ශ්‍රී ලංකා පොලිසියේ චිරාත් කාලීන තිරපිටපත – සැඟවූ ආයුධ පෙන්වන්නට යෑමේදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ තුවක්කු පැහැරගන්න කරපු උත්සාහයෙදි, ආත්මාරක්ෂාවට වෙඩි තැබුවා කියලා තමා වැඩේ අවසන් වෙලා තියන්නෙ.
    හැබැයි සුලබ ම විදිහට මේ සිද්ධිය මෙතැනින් අවසන් නොවී, මිය ගිය අයගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තියනවා. වසර වසර 15කට පමණ පස්සෙ එහි තීන්දුව ලැබෙන්නෙ එවක කොම්පඤ්ඤවීදියෙ පොලිසියේ සේවය කරපු ,

    ❌ එන්.සී.පී.කළුආරච්චි (ස්ථානාධිපති පො.ප.)
    ❌ කේ. ඩබ්ලිව්.ජී. නිශාන්ත (පොලිස් සැරයන් 31118),
    ❌ සිද්ධික් (පොලිස් කොස්තාපල් 5004)
    ❌ කරුණාතිලක (පොලිස් සැරයන් 30342)

    යන අයගෙ පෞද්ගලික මුදලින් පැමිණිලිකාරියට රුපියල් 475000.00ක මුදලක් ගෙවන්න නියම වෙලා. ඊට අමතරව රජයෙන් (ජනතාවගෙ මුදලින්) රුපියල් 250000.00 ක මුදලක් ගෙවන්නටත් නියෝග කෙරුණා.
    මෙහි වැදගත්ම කරුණු ඒවා නොවෙයි.
    පොලිස් අත්අඩංගුවට පත් වෙන සැකකරුවන් මෙලෙස ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය දැඩි අවධානය යොමු කරන බව මේ තීන්දුව හරහා පෙන්නුම් කරලා තිබීම.

    පොලිසියේ මේ එකම පිටපතකට ලියන මගඩි නාටකය සමාජ කතාබහට ලක් වෙන්නෙ සෑහෙන කාලෙක ඉඳන්. අඩු තරමෙ ඒ පිටපත වෙනස් කරන්න තරම් වත් වෑයමක් නොගෙන මිනිස්සු මරා දමන්න පොලිසිය නිර්භය වුණ ඉතිහාසයක් අපට තියනවා. ( අත්අඩංගුවට ගන්න සැකකරුවන්ගෙ ජීවිතවල වගකීම අදාළ පොලිසියෙ ස්ථානාධිපතිවරයාට පැවරෙනවා. ඒ නිසා අත්අඩංගුවෙදි සිදුවන ඝාතනවල වගකීම පොලිසිය නිසැකව බාරගත යුතු යි.)
    උක්ත තීන්දුවෙ සඳහන් වෙන වැදගත් කරුණු මොනවද?

    ????️ අදාළ සිද්ධිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),13(4) යන විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණය කෙරුණ එක වැදගත්ම කාරණය.

    ????️ දෙවැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් විවිධ විමර්ශන සඳහා රැගෙන යාමේදී පළා යාමට තැත් කළ බැවින් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කොට සියලුම පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කරලා තියන එක.

    ????️ උක්ත සිදුවීමේදී මාංචු දමා සිටි සැකකරු සමඟ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සිටියදී පළායෑමට තැත් කළ අතර, ආත්මාරක්ෂාවට වෙඩි පහර දෙකක් එල්ල කර ඇති බව කියැවුණත් එය බරපතළ සැකයකට බඳුන් වන්නක් බවත් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබුවා යන්න කිසිසේත් පිළිගත නොහැකි බවත් තීන්දුවේ තවදුරටත් සඳහන් වෙනවා.

    ????️ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ඊට ගරු කොට ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද එය ප්‍රතික්ෂේප කිරීමට හෝ කප්පාදු කිරීමට ඔවුන්ට නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවේ සඳහන් කරනවා.

    මිනීමැරීමට ලයිසන් ඇති චණ්ඩින් ලෙස පොලිසියේ හැසිරීම සමාජයේ කොයි කවුරුත් දන්නා කාරණයක්. සමාජයේ අනුකම්පාවද නොලැබෙන බැවින් පාතාල , කුඩු වැනි ලේබල් ගැසූ සැකකරුවන් සෑහෙන ගණනක් මේ ආකාරයෙන් අවසන් ගමන් ගිය බවත් කවුරුත් දන්නවා. ත්‍රස්ත මර්දන පණතින් අත්අඩංගුවට ගෙන අඩවසරකට ආසන්න කාලයක් බන්ධන අඩස්සියෙ තැබුව අන්තරේ කැඳවුම්කරුත් ඇප පිට ඇවිත් මාධ්‍යයට කිව්වෙ, පොලිසිය තමන්වත් රැගෙන ගිහින් එයාලගෙ මගඩි නාටකය පෙරහුරු කළා කියලා.

    ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රමුඛ නීතිවේදීන් පිරිසක් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටිය මේ නඩුවේ තීන්දුව බොහෝ සාකච්ඡාවට ප්‍රසිද්ධියට බඳුන් වෙන්න ඕන එකක්. ඒ වගෙ ම මේ මගඩි නාටකය මේ තීන්දුවෙන් පසුව හරි අවසන් කරන්න රටක් සමාජයක් විදිහට පෙරමුණ ගන්න ඕන.

  • අරගලය මර්දනයේදී රජය මානව හිමිකම් උල්ලංඝණය කරා – මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය

    අරගලය මර්දනයේදී රජය මානව හිමිකම් උල්ලංඝණය කරා – මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය

    ලංකාවේ ඇතිවූ “සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිර්දය ලෙස මර්දනය කර ඇතැයි,” මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) පවසයි.

    එම ආයතනය ඒ බව පවසන්නේ, අරගලය මර්දනය කිරීමට අදාළව නිකුත් කළ වාර්තාවක දත්ත පදනම් කර ගනිමිනි.

    “Anatomy of a crackdown – The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව පිටු 60කින් සමන්විතය.

    “පොලිසිය, හමුදාව සහ රජයට පක්ෂපාතී පිරිස් විසින් අතිමහත් ජනතාවට එරෙහිව සිදුකරන ලද බරපතළ හා ක්‍රමානුකූල මානව හිමිකම් කඩකිරීම් සවිස්තර වාර්තාවක්.” එමගින් සපයන බව පෙන්වා දී තිබේ.

    කොළඹදී ආරම්භ වූ අරගලයට බලපෑ කරුණු පිළිබදව ද අදාළ වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.

    “ශ්‍රී ලංකා ආණ්ඩුවේ දීර්ඝ කාලීන ආර්ථික අවපාලනයත්, දූෂණය සහ ඥාති සංග්‍රහය කෙරෙහි වර්ධනය වූ මහජන අතෘප්තියත් අරගලය නමින් හැදින්වූ විරෝධතාවලට මුල පිරූ,” බව අදාළ වාර්තාව මගින් හදුනාගෙන තිබේ.

    මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනයේ (FIDH) මහ ලේකම් ඇඩිලර් රහ්මන් ඛාන් පවසන්නේ, “අරගලය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ සම්පූර්ණ දණ්ඩ මුක්තිය සහිත ප්‍රමිතීන් ක්‍රමානුකූලව උල්ලංඝණය කරනු ලැබූ,” බවය.

    ඊට අමතරව, “නැවත අරගලයක් ඇති වීම වැළැක්වීම සදහා මිලිටරි බලය සහ හදිසි අවස්ථා බලතල භාවිත කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී දුන් ප්‍රතිඥාව රතු එළියක් ලෙස සැලකිය යුතු,” බව ද මහ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

     

    සාමාකාමී රැස්වීම් විසුරුවා හැරීමට අනවශ්‍ය බලය භාවිත කිරීම
    සාමකාමී රැස්වීමේ නිදහස සදහා ජනතාවට ඇති අයිතිය උල්ලංඝණය කරමින් එවැනි රැස්වීම් විසුරුවා හැරීම සදහා බලධාරීන් විසින් සජීවී පතොරම්, කදුළු ගෑස්, ජල ප්‍රහාර ආදී අනවශ්‍ය හෝ අසමානුපාතික බලය නිතර භාවිත කිරීමේ රටාවක් දැකගත හැකි වූ බව අදාළ වාර්තාවේ සදහන් වේ.

    ඊට අමතරව, පොලිසිය අරගලයේ ක්‍රියාකාරීන් සහ සංවිධායකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට “අධිකරණ හිරිහැර, බිය ගැන්වීම් සහ සෝදිසි කිරීම් ඇතුළු හිරිහැර හරහා ක්‍රමානුකූල මර්දනයකට යටත් කළ,” බව ද එහි දැක්වේ.

     

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම

    අරගලයට සහභාගි වූවන්ට සීමා පැනවීම සදහා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු නීිති අනිසි ලෙස භාවිත කළ බවට ද මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

    එහි දැක්වෙන්නේ, ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කරන අතරතුර අරගලයේ විරෝධතාකරුවන්ට කළ අපයෝජනයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගවීමක් නොමැති බවය.

    මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) සමග ඒකාබද්ධව මෙම වාර්තාව සකස් කර තිබේ.

    මෙම වාර්තාව පිළියෙල කිරීමේදී 2022 අගෝස්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ පුද්ගලයින් 42 දෙනෙකු සමග කළ සම්මුඛ සාකච්ඡා ද පදනම් කරගෙන ඇත.

    BBC පළවූ වාර්තාවක් ඇසුරිනි

  • ගෝඨාට සහ මහින්දට කැනඩාවෙන් සම්බාධක

    ගෝඨාට සහ මහින්දට කැනඩාවෙන් සම්බාධක

    කැනඩා රජය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව සම්බාධක පනවා තිබේ.

    ඒ, එරට විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි සංශෝධනය කරමින්ය.

    මේ යටතේ අදාළ පුද්ගලයින්ට ඉලක්කගත සම්බාධක පනවන බව කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි සඳහන් කොට තිබේ.

    මෙම සම්බාධක මොනවද?
    කැනඩාවේ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි මගින් ලැයිස්තුගත පුද්ගලයන්ට ගනුදෙනු තහනම් සහ වත්කම් තහනම් පැනවීමට ක්‍රියා කෙරෙනු ඇත.

    මේ යටතේ කැනඩාවේ සිටින ඕනෑම පුද්ගලයෙකුට සහ කැනඩාවෙන් පිටත ඕනෑම කැනේඩියානුවෙකුට ලැයිස්තුගත පුද්ගලයෙකු විසින් සෘජුව හෝ වක්‍රව – අයිති – හෝ රඳවාගෙන සිටින හෝ පාලනය කරනු ලබන ඕනෑම දේපලක ගනුදෙනු කිරීම තහනම් කර ඇත.

    අදාළ ඕනෑම ගනුදෙනුවකට සම්බන්ධ වීම හෝ පහසුකම් සැලසීම, කිසියම් මූල්‍ය හෝ අදාළ සේවාවන් සැපයීම ද තහනම් කර තිබේ.

    ලැයිස්තුගත පුද්ගලයකුට හෝ ලැයිස්තුගත පුද්ගලයකු වෙනුවෙන් ක්‍රියා කරන තැනැත්තකුට ඕනෑම තැනක පිහිටි ඕනෑම භාණ්ඩයක් ලබා දීමට සැලැස්වීම; හෝ ලැයිස්තුගත පුද්ගලයකුට හෝ ප්‍රයෝජනය සඳහා කිසියම් මූල්‍ය හෝ අදාළ සේවාවන් සැපයීමද තහනම් වෙයි.

    රෙගුලාසිවල ලේඛනයේ ලැයිස්තුගත කර ඇති පුද්ගලයින් කැනඩා ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට පිළිනොගන්නා පුද්ගලයින් බවට පත්වනු ඇත.

    කැනඩාව සම්බාධක පැනවුයේ ඇයි?
    කැනඩා විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග පනත යටතේ මෙම සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාර වශයෙන්ය.

    කැනඩා රජය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේදී (1983-2009) මානව හිමිකම් කඩවීම් සිදු වූ බවය.

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් සඳහා දණ්ඩමුක්තිය අඛණ්ඩව පැවතීම මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම, පීඩාවට පත් ජනගහණයේ යුක්තිය පිළිබඳ ප්‍රගතිය සහ සාමය සහ සංහිඳියාව සඳහා වූ අපේක්ෂාවන් අනතුරේ හෙළන බවද කැනඩා රජය අවධාරණය කළේය.

    පශ්චාත් ගැටුම් නිරාකරණය, වගවීම සහ සංහිඳියාව උදෙසා ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ සීමිත ක්‍රියාමාර්ග පමණක් බවද කැනඩා රජය පෙන්වා දෙයි.

    විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් යුද අපරාධවලට සම්බන්ධ වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් රැසකට එරෙහිව තිබූ චෝදනා අත්තනෝමතික ලෙස ඉවත් කර හෝ දඬුවම් අවලංගු කර ඇති බව කැනඩා රජය පෙන්වා දී තිබේ.

    මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සහ කැනඩාව ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව මූලික මිනිස් අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කිරීම සහ දණ්ඩමුක්තිය අවසන් කිරීම සඳහා නිරන්තරයෙන් පෙනී සිටින බවද කැනඩා රජය මෙහිදී අවධාරණය කොට තිබේ.

  • මහින්ද රාජපක්ෂ පාලනය විසින් ලලිත් සහ කුහන් පැහැරගෙන වසර 11ක්!

    මහින්ද රාජපක්ෂ පාලනය විසින් ලලිත් සහ කුහන් පැහැරගෙන වසර 11ක්!

    ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කළේ අද වැනි දිනකය.

    මීට හරියටම වසර 11කට පෙරාතුව 2011 දෙසැම්බර් 9වැනිදා ලලිත්ට හා කුහන්ට ජීවිතයේ තීරණාත්මක වූ දිනය උදා විය.

    පෙරවරු 11ට පමණ, අවිස්සාවේල්ල සිරිනිවාස වත්තේ ජීවත්වූ ලලිත්ගේ පියාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණි. තමන් කවුරුන්දැයි හඳුන්වා නොදී කතා කළ පුද්ගලයා පවසා ඇත්තේ පුතා වහාම යාපනයේ සිට නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. එසේ නොකළොත් තමන් විසින් එය කරන බව ඒ තැනැත්තා ලලිත්ගේ පියාට තර්ජනය කර තිබිණි.

    සවස 5.00ට පමණ අවරන්ගල්හි කුහන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත් වූයේ පසු දින එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනයේ අතුරුදන්වූවන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත වූ ජනමාධ්‍ය සාකච්ඡාවක් සඳහා කටයුතු සූදානම් කිරීමටය. එහෙත් ඉන්පසුව ඔවුන් ගැන තොරතුරක් නොමැති වුවත් ඔවුන් ගමන්ගත් යතුරුපැදිය පොලිස්භාරයේ තිබී හමු විය.

    පැහැරගැනීම ගැන ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් පැහැරගැනීමක් සිදුව නැති බවද ඔවුන් ආරක්ෂක අංශ විසින් මහෙස්ත්‍රාත් වෙත පමුණුවනු ඇති බවද පැවසුවේ එවකට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල විසිනි.

    ලලිත් හා කුහන් පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධව අනාවරණය කිරීමට කාරණා ඇතත් ඒවා තවත් කාරණා හා සම්බන්ධ නිසා එසේ නොකරන බව කීවේ තවත් ඇමතිවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.

    ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස එවකට සේවය කළ මහජනතාව විසින් එළවා දැමූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලලිත් හා කුහන් සම්බන්ධ දන්නා යමක් අනාවරණය කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවන ලද නමුත් ජනාධිපතිවරයා කැඳවන්නට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බව තීන්දු කළේ අභියාචනාධිකරයයි.

    ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ සාක්ෂි ලබාදීමෙන් ‘පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ’ ගැලවී සිටියේ මුක්තිය ඉදිරියට දමමිනි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්තිය යටතේ ජනාධිපතිවරයකුට ධුරය දරන කාල සීමාවේදී මුක්තියක් හිමි වේ.

    එනම් ඔහුව හෝ ඇයව හෝ අධිකරණය ඉදිරියට කැඳවිය නොහැකිය. ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අවධාරණය කරන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂට එරෙහි සියලු නඩු පවත්වාගෙන යා හැකි බවයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ මූලික ම කරුණක් වන සියලු පුරවැසියන්ට නීතිය සමාන බව තහවුරු කිරීමට එය අත්‍යවශ්‍ය බව ද ඔවුන් පෙන්වා දෙයි. නමුත් දැන් ගෝඨාභයට එවැනි මුක්තියක් නැත.

    අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධව 2012 වසරේ සිට යාපනයේ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් හොඳින්ම පැහැදිලි වූයේ ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ යටතේ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූ රජයේ ආරක්ෂක අංශ ලලිත් හා කුහන් පැහැරගෙන ගිය බවය.

    ඒ නිසා යුද සමයේ දහස් ගණනක් අතුරුදන් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පමණක් නොව, ලලිත් කුහන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට මෙන්ම මහින්ද රාජපක්ෂ ද තවදුරටත් චෝදනා එල්ලවීම වැළැක්විය නොහැකිය.

  • ව්‍යවස්ථාවට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගන්න බැහැ – මානව හිමිකම් කොමිසම

    ව්‍යවස්ථාවට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගන්න බැහැ – මානව හිමිකම් කොමිසම

    සිවිල් විරෝධතාවල දී පොලිස් ආඥා පනත යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

    ඉන් දක්වා ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැතිබවට පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස ය.

    මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 14(1) අ, ආ, යන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥාපනත යොදාගැනීමෙන් වැළකිය යුතු බව ය.

    භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට සෑම පුරවැසියෙකුට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මෙම වගන්තිවලින් තහවුරුකර ඇතැ යි මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවූ නඩු කිහිපයක තීන්දු උපුටා දක්වමින් මේ බව පැහැදිලිකර තිබේ.

    1984 අංක 41 පනත මඟින් සංශෝධිත 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ 77(3) වගන්තියෙන් බලය ලබා දෙනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව වන අතර, ඒ අනුව පමණක් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත.

    විරෝධතා පැවැත්වෙන අවස්ථාවලදී පොලීසිය පැමිණ පොලිස් ආඥා පනත උපුටා දක්වමින් එම විරෝධතා නීති විරෝධී බව සඳහන් කර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම මෙන්ම විරෝධතාවයේ නිරත පිරිස් අත්අඩංගුවට ගැනීම දක්නට ලැබෙන්නකි. නමුත් ඉහත මානව හිමිකම් කොමිසම පැහැදිලි කර ඇති ආකාරයට එවැනි දෙයක් කිරීමට පොලීසියට හැකියාවක් නැත.

  • වසන්තලා PTA යටතේ රඳවාගෙන සිටින සාධාරණ නැහැ – මානව හිමිකම් කොමිසම

    වසන්තලා PTA යටතේ රඳවාගෙන සිටින සාධාරණ නැහැ – මානව හිමිකම් කොමිසම

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි තවදුරටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිරගතකර තැබීම සධාරනීකරණය කල නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබේ.

    එසේම ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදී චෝදනා පවතින්නේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණ රටේ තිබෙන සාමාන්‍ය නීතිය යටතේ සිදුකළ හැකිව තිබ්යදී ත්‍රස්තවාදී පනතක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැති බවද එම නිවේදනයේ දැක්වේ.

    එසේම මානව හිමිකම් කොමිසම පවසන්නේ රැඳවියන්ගෙන් ලද තොරතුරු අනුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේද ඉතා සීමිත සංඛාවක් බවයි.

    ඒ අනුව තවදුරටත් වසන්ත මුදලිගේගේ සහ සිරිධම්ම හිමි රඳවාගෙන සිටින කාලය දීර්ඝ නොකරන ලෙස මානව හිමිකම් කොමිසම ඉල්ලා තිබේ.