Tag: human rights

  • සුළුතර ප්‍රජාවන් හෝ ආණ්ඩු විරෝධීන් මර්දනයට යොදාගත හැකි පුනුරුත්ථාපන පනත එපා – හියුමන් රයිට්ස් වොච්

    සුළුතර ප්‍රජාවන් හෝ ආණ්ඩු විරෝධීන් මර්දනයට යොදාගත හැකි පුනුරුත්ථාපන පනත එපා – හියුමන් රයිට්ස් වොච්

    පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ, පනත් කෙටුම්පත මගින් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබා දෙන බවත් එමගින් රැඳවියන් අපයෝජනයට ලක්වීමේ විශාල අවදානමක් ඇති බවයි.

    පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත 2022 සැප්තැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    “මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, හිටපු සටන්කාමීන්, ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම කණ්ඩායමක්” මධ්‍යස්ථානවල අනිවාර්යයෙන් රඳවා තබා ගැනීමට අවසර දෙනු ඇතැයි හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

    පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන නව පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලබන්නේ හමුදා කාර්ය මණ්ඩලයක් සහිත “පුනරුත්ථාපන” මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා බව හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කරයි.

    හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ යෝජිත කෙටුම්පත මගින් “පුනරුත්ථාපනය” සඳහා යැවීමේ පදනම විස්තර නොකරන බවයි.

    මෑත කාලීන රජයේ ප්‍රතිපත්ති මගින්, වැරදිකරුවන් නොවූ පුද්ගලයන් බලහත්කාරයෙන් “පුනරුත්ථාපනය” සඳහා අත්තනෝමතික සහ නොපැහැදිලි බලතල සපයන බව හියුමන් රයිට් වොච් අවධාරණය කරයි.

    එම සංවිධානය පෙන්වා දෙන්නේ, පුනරුත්ථාපන පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව තුළ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමට අවසර දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වැනි දිගු ඉතිහාසයක් ඇති නීතිවල නවතම පියවර බවයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “අන්තවාදී” ලේබලය අලවා ඇති සුළුතර ප්‍රජාවන් හෝ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ඉලක්ක කිරීමට මෙම නීතිය යොදා ගත හැකි බවද හියුමන් රයිට් වොච් අවධාරණ කරයි.

    නිවේදනයේ දැක්වෙන්නේ, අධිකරණ අධීක්‍ෂණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ඉඩ සලසන පුනරුත්ථාපන පනත් කෙටුම්පත යටතේ, රජයේ නිලධාරීන් “සද්භාවයෙන්” ක්‍රියා කළහොත් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා අපරාධ වගකීමෙන් ආරක්ෂා වනු ඇති බවයි.

    නිර්වචනය නොකළ “අවම බලය” භාවිතා කිරීමට ද පනත් කෙටුම්පත මගින් නිලධාරීන්ට බලය ලබා දෙන බව හියුමන් රයිට් වොච් අනාවරණය කර තිබේ.

    තවත් විධිවිධානයක් අනුව, “සාධාරණ හේතුවක් නොමැතිව” පහරදීම්, තුවාල කරන, අයහපත් ලෙස සලකන, හෝ පුනරුත්ථාපනය යටතේ සිටින ඕනෑම කෙනෙකුට හිතාමතාම නොසලකා හරින නිලධාරියෙකුට මාස 18ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි අතර, රැඳවියන්ට හානි කිරීමට “සාධාරණ හේතුවක්” තිබිය හැකි බව යෝජනා කරන බවද හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

    එම සංවිධානය කියා සිටියේ ජාත්‍යන්තර නීතිය මගින් වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් සම්පූර්ණයෙන්ම තහනම් බවයි.

    සැප්තැම්බර් 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ වෙනම පනත් කෙටුම්පත මගින් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යැයි කියන පුද්ගලයින් අනිවාර්යයෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇත.

    හියුමන් රයිට් වොච් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට” යලි යලිත් සංසන්දනය කර ඇති “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේදී දැනටමත් අපයෝජන කර ඇති නීති සහ භාවිතයන් මෙම නව නීතිය යටතේ තවත් නරක අතට හැරෙනු ඇති බවයි.

  • ළමයින්ටත් ප්‍රකාශනයේ නිදහස හිමියි  – ළමා ප්‍රඥප්තිය

    ළමයින්ටත් ප්‍රකාශනයේ නිදහස හිමියි – ළමා ප්‍රඥප්තිය

    විරෝධතාවලට දෙමාපියන් විසින් ළමුන් රැගෙන යාම සහ විරෝධතාවලදී ළමුන්ට හිංසා කිරීම යන කරුණ සම්බන්ධයෙන් මේවනවිට සංවාදයක් මතුව තිබේ. මෙම තත්ත්වය උද්ගත වූයේ පසුගිය දිනවලදී දරුවන් සමඟ විරෝධතාවලට සහභාගි වී සිටි දෙමාපියන් පිරිසක් විසුරුවා හැරීමට උත්සහ දරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමඟ ය. එයට අලුතින්ම එකතුවූවේ රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ප්‍රකාශයයි. ඔහු එම ප්‍රකාශය කරන ලද්දේ දරුවන් අපයෝජනය කළ සාරුවා සුනිල් නැමති කුප්‍රකට දේශපාලනඥයෙකු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමෙන් දිනකට පසුව වීමද විශේෂත්වයකි.

    රනිල් පවසන්නේ දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බවයි.

    කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දී ඇත.

    රනිල්ට ඇති ජාත්‍යන්තර සබඳතාවයක් නැති බව පසුගිය කාලයේ ඔප්පු විය. දැන් පෙනෙන පරිදි රනිල් රටේ ලෝකේ වෙන්නේ කුමක්ද කියාවත් නොදනී. ලෝකයේ ප්‍රධාන නගරවල දරුවන් ද සහභාගි කර ගනිමින් සිදුවූ විරෝධතා ඕනෑතරම් තිබේ.

    1989 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කර ගන්නා ලදුව 1991 වසරේදී ශ්‍රී ලංකාව ද අත්සන් තැබූ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතියට අනුව වයස අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යයෙකුම ළමයෙකු යනුවෙන් අදහස් කෙරේ.

    අදාළ ප්‍රඥප්තියට අනුව, ‘ළමයා ආරක්ෂා වන බවට වග බලා ගැනීම පිණිස සියලු සුදුසු පියවර රාජ්‍යය විසින් ගනු ලැබිය යුතු ය.’

    එසේම එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියේ සදහන් වන පරිදි ‘ප්‍රකාශන නිදහස සදහා අයිතිය ළමයෙකුට තිබිය යුතු ය.’

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    ඊට අමතරව, විවිධ අයිතිවාසිකම් වෙනුවෙන් ඍජුව ළමුන් විරෝධතාවල නිරත වූ අවස්ථා ලෝකයේ දැකිය හැකි ය.

    ඒ අතරින්, අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පකිස්ථාන ළමා ක්‍රියාකාරිණියක වන මලාලා යූසෆ්සායි කැපී පෙනන චරිතයකි.

    ඇය අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දියත් කළ අරගල හේතුවෙන් නොබෙල් සාම ත්‍යාගයට පවා නිර්දේශ විය.

    ස්වීඩන් ජාතික ළමා ක්‍රියාකාරිණියක වන ග්‍රේටා තන්බර්ග් ද එවැන්නියකි.

    ඇය දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ලෝක නායකයින්ගේ අවධානය යොමු කිරීම සදහා කළ මෙහෙය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානවලට පවා පාත්‍ර විය.

    එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියේ 21 වන වගන්තිය අනුව සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය අනුව සාමකාමීව රැස්වීමේ අයිතිය රටේ පුරවැසියන්ට තිබේ .

    මේ අතර, පසුගිය දා ළමුන් සහ විරෝධතාකරුවන්ට එරෙහිව සිදුවූ බව කියන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කර කරුණු දක්වන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

    ඒ අනුව ‘කොළඹ ගාලු මුවදොරදී පැවති සාමකාමී විරෝධතාව විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද?’ යන්න පිළිබදව ද කරුණු දක්වන්නැයි පොලිස්පතිවරයාට දන්වා ඇත.

    මෙහි රනිල්ලා තක්කඩි ලෙස සැඟවීමට හදන කාරණය වන්නේ සාමකාමීව රැස්වීමේ අයිතිය ඕනෑම පුද්ගලයෙකුට ඇතැයි යන ව්‍යවස්ථාව තුළ පවා පිළිගත් අයිතිය පොලීසිය විසින් උල්ලංඝණය කිරීමයි. දරුවන් සහ වැඩිහිටියන් සාමකාමීව රැස්වී සිටි ස්ථානයකට පොලීසිය මැදට පැන යකා නැටීම වරදක් බව රනිල්ට සැඟවීමට අවැසිය.නමුත් රනිල්ලාට සහ රනිල්ගේ පොලීසියට එවැනි දේ සිදුකළ හැකි වන්නේ ඉතා කෙටි කාලයක් වනු ඇත.

     

  • ලංකාව ගැන මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

    ලංකාව ගැන මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

    ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ ගෙන ආ 51/5 යෝජනාව අද (06) සම්මත වී තිබේ. එහෙත් ශ්‍රී ලංකාව එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

    යෝජනාවට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විරුද්ධ ලැබුණේ ඡන්ද 07 ක් පමණි.

    ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 20කි.

    යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල්:
    ආර්ජන්ටිනාව
    ආර්මේනියාව
    චෙක් ජනරජය
    ෆින්ලන්තය
    ප්‍රංශය
    ජර්මනිය
    හොන්ඩුරාස්
    ලිතුවේනියාව
    ලක්සම්බර්ග්
    මලාවි
    මාෂල් දූපත්
    මෙක්සිකෝව
    මෙන්ටිනිග්රෝ
    නෙදර්ලන්තය
    පැරගුවේ
    පෝලන්තය
    කොරියානු ජනරජය
    යුක්රේනය
    මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානිය
    ඇමරිකා එක්සත් ජනපදය

    විරුද්ධ ඡන්දය දුන් රටවල්:
    බොලිවියාව
    චීනය
    කියුබාව
    එරිත්‍රියාව
    පකිස්ථානය
    උස්බෙකිස්තානය
    වෙනිසියුලාව

    ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල්:
    බෙනින්
    බ්‍රසීලය
    කැමරූන්
    අයිවරි කෝස්ට්
    ගැබොන්
    ගැම්බියාව
    ඉන්දියාව
    ඉන්දුනීසියාව
    ජපානය
    කසකස්තානය
    ලිබියාව
    මැලේසියාව
    මොරිටේනියාව
    නැමීබියාව
    නේපාලය
    කටාරය
    සෙනගල්
    සෝමාලියාව
    සුඩානය
    එක්සත් අරාබි එමීර් රාජ්‍යය

    අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් මේ යෝජනාවේ ගෙන ආ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හමුවේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි එම යෝජනාවට තම විරෝධය දැක්විය.

    මෙවර සම්මත වූ යෝජනාවේ සඳහන් වන්නේ මොනවාද?

    ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතට කරුණු 19 ක් ඇතුළත් ය.

    ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර ඇත.

    යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ය.

    ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර ඇත.

    ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එහි දැක්වෙයි.

    සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගී වූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදුවූ මරණ, තුවාලවීම් හා දේපළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුකර තිබේ.

    මානව හිමිකම් කවුන්සිලයට මෙම රටවල් කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි.

    මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා ඇත.

    51 වැනි සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

    කෙසේවෙතත් විදේශ අමාත්‍ය අලී සබ්‍රි සඳහන් කළේ, ආර්ථික අපරාධ සිදුවී ඇත්නම් ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඔවුන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

    දැනටමත් විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් අධිකරණ තුළ නඩු දමා ඇති බවද ඔහු සඳහන් කළේය.

    අමාත්‍ය අලි සබ්‍රි කියා සිටියේ “මානව හිමිකම් කොමිසම කළ යුත්තේ මානව හිමිකම් කොමිසමට අදාළ දේවල්. ඒ හින්දා තමයි අපි කියන්නේ, අපට මෙතනින් ගැලවෙන්න දෙන්නේ නැතිව බිලී කොක්කක් දාගෙන ඉන්නවා, සදාකාලිකව මෙතන හිර කරන්න. ඔවුන්ට අවශ්‍ය දේවලටයි අවශ්‍ය නැති දේවල්වලටයි හැම දේටම ඇඟිලි ගහනවා”

  • SYU විරෝධතාවයට පහරදීමට එරෙහිව මානව හිමිකම් නඩු

    SYU විරෝධතාවයට පහරදීමට එරෙහිව මානව හිමිකම් නඩු

    පෙරේදා (24 වැනිදා) කොළඹදී පැවති සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණයට පොලීසිය සිදුකළ පහරදීම සහ අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව අත්අඩංගුවට පත් වූ එක් පුද්ගලයාට එක බැගින් මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    උද්ඝෝෂණයට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නීතිමය පදනමක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වූ අතර නීතිඥවරුන්, මේ උද්ඝෝෂණයට පහරදීම සම්පූර්ණ අනීතික ක්‍රියාවක් බවත්, විත්ති කූඩුවේ සිටිය යුත්තේ පොලීසිය බවත් පෙන්වාදෙන ලදී.

    මෙම උද්ඝෝෂණය අවස්ථාවේ පුද්ගලයන් 84 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පහරදීමෙන් හත්දෙනෙකු රෝහල්ගත කරනු ලැබීය. එක් අයෙකුට දිනකට ආසන්න කාලයක් සිහිය නොතිබුණි. අත්අඩංගුවට ගත් අය අතර අවුරුදු 14ක දරුවෙක්ද සිටි අතර, එම දරුවාව නීතිඥවරු මැදිහත් වී පසුව නිදහස් කරනු ලැබීය.

    සැප්තැම්බර් 25 වැනිදා මෙම අත්අඩංගුවට ගත් සියලුදෙනාම මහේස්ත්‍රාත් අධිකරණයකටවත් ඉදිරිපත් නොකෙරුණු අතර පසුව 81 දෙනෙකුට පොලීස් ඇප ලබාදෙන්නට කටයුතු කර තිබුණි. අධිකරණයට ඉදිරිපත් කළ එරංග ගුණසේකර, කොස්වත්තේ මහානාම හිමි සහ සමාලි මන්දිරාට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබුණි.

  • මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනා කෙටුම්පතක්

    මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනා කෙටුම්පතක්

    ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ලංකාව සම්බන්ධ යෝජනා ඇතුළත් නව කෙටුම්පතක් ප්‍රසිද්ධ කර තිබේ.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ 46/1 යෝජනාවේ තේමාව වූ මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරලීමේ තේමාව යටතේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රට වලින් සැඳුම් ලත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කණාඩායම (Core Group) විසින් සම අනුග්‍රහය දක්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනා කෙටුම්පත ඒ අනුව අද (සැප්තැම්බර් 14 වැනි බදාදා) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

    උග්‍රවන ආහාර අනාරක්ෂිත භාවය, දැඩි ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය සහ ගෘහාශ්‍රිත ආදායම් අඩුවීම ඇතුළු ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම් පිළිබඳව යෝජනා කෙටුම්පතෙන් අවදානය යොමු කර ඇත.

    ඉන් දෛනික වැටුප් ලබන්නන්, දරුවන්, වැඩිහිටි පුද්ගලයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු බොහෝ ආන්තික සහ අවාසි සහගත පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.

    එය 2022 අප්‍රේල් මාසයේ සිට සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම් මෙන්ම රජයේ ආධාරකරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය, මරණ, තුවාල, විනාශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුකිරීම ඇතුළු අනෙකුත් මානව හිමිකම් වර්ධනයන් පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.

    ස්වාධීන පරීක්ෂණවල වැදගත්කමද යෝජනා කෙටුම්පත මඟින් අවධාරණය කරන අතර සියලු ප්‍රහාර හා ඊට සම්බන්ධ වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒම පිළිබඳව ද යෝජනා කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික කණ්ඩායම කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිවිල් ආණ්ඩු කටයුතු අඛණ්ඩව මිලිටරිකරණය කිරීම ගැන සැළකිලිමත් වන බවයි.

    එනම්

    මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන ආයතනවල සහ අධිකරණයේ ස්වාධීනත්වය ඛාදනය වීම
    දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දීර්ඝ කාලීන දුක්ගැනවිලි සහ ඉල්ලීම් විසඳීමේ ප්‍රගතියක් නොමැතිකම
    මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයින්, අතුරුදහන් වූවන්ගේ පවුල් සහ අනුස්මරණ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් බිය ගැන්වීම සහ හිරිහැර කිරීම
    ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය
    යන කරණු පිළිබඳව යෝජනා කෙටුම්පතින් අවදානය යොමු කර තිබේ. ස්වාධීනත්වයක් නොමැතිකම,අපක්ෂපාතීත්වය සහ දේශීය යාන්ත්‍රණවල අඛණ්ඩව විනිවිදභාවයක් නොමැතිකම, මානව හිමිකම් නඩු ප්‍රමාදයන් මෙන්ම මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සම්බන්ධ අපරාධවලට සම්බන්ධ චූදිතයන්ට හෝ වරදකරුවන්ට ජනාධිපති සමාව ලබා දීම තුළින් යටපත් වී ඇති බව කෙටුම්පත මගින් පෙන්වා දී ඇත.

    කෙටුම්පත් යෝජනාව තුළින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙසයි.

    එය නැවත සිදු නොවීමට සහයක් ලෙසත්, රාජ්‍ය නිලධාරීන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ විමර්ශනය කිරීම සහ නඩු පැවරීමේ අවශ්‍යතාවයද කෙටුම්පත මඟින් අවධාරණය කරයි.

    මේ සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන ප්‍රයත්නයන්ට සහාය වීමට ද කෙටුම්පත මඟින් යෝජනා කර තිබේ.

  • ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමකම් වාර්තාව කියන දේ

    ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමකම් වාර්තාව කියන දේ

    ශ්‍රී ලංකාවේ යුද සමයේ හා ඉන් අනතුරුව ඇතිවූ මානව හිමිකම් පිළිබඳව වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් කලක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමුකර තිබූ අතර මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් ට එරෙහිව ක්‍රියා කිරීමද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

    ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳ ප්‍රශ්නය මතු කර ඇති අතර රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බවට මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ වාර්තාවක් ඉදිරිපත්කරමින් අවධාරණය කර තිබේ.

    ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් වත්මන් ආර්ථික අර්බුදයට මුල්වූ සාධක හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම, ආර්ථිකමය අපරාධ සහ දුෂණය මැඩලීම සඳහා පියවර ගැනීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

    ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කඩිනමින් වගවීම පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ ආයතනික, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සඳහා ද යොමුවිය යුතු බවය.

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය සැප්තැම්බර් 6 වැනිදා මෙම වාර්තාව නිකුත් කර තිබේ.

    එහි සඳහන් වන්නේ මෙරට නව රජය මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ජාතික කථිකාවතක් කඩිනමින් ආරම්භ කළ යුතු බවත් ක්ෂේත්‍ර කිහිපයක ප්‍රතිසංස්කරණ සමග වගවීම පිළිබඳ ක්‍රියා කළ යුතු බවය.

    වත්මන් ආර්ථික අර්බුදය සමග ශ්‍රී ලංකාව මේ වනවිට දේශපාලනිකව අතිශය බැරැරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවද සඳහන් කර තිබේ.

    මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 – ඔක්තෝබර් 07 වැනි දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය. සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මේවන විටත් ජිනීවා නුවරට ගොස් ඇත.

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ පූර්ණ වාර්තාව මගින් දක්වා ඇති නිර්දේශ:

    • ආර්ථික අර්බුදය තුළ මිනිසුන්ගේ ආර්ථික හා සමාජ අයිතීන් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම; වෙනස්කම් නොකිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ වඩාත්ම ආන්තික සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහා ක්ෂණික සහන සහතික කිරීම සහ මූල්‍යකරණය වැඩි කිරීම සහ සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරීම;
    • මිලිටරි වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීම, දූෂණයට තීරණාත්මක ලෙස මුහුණ දීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ සහ අධ්‍යාපනය සඳහා ආයෝජන වැඩි කිරීම; ජාත්‍යන්තර මූල්‍ය ආධාර වැඩසටහන්වල ඇති විය හැකි මානව හිමිකම් බලපෑම් තක්සේරු කිරීම සහ එය අවම මට්ටමකට අඩු කිරීමට පියවර ගැනීම;
    • අධිකරණය සහ මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය සහතික කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම.
    • විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් සහ තාවකාලික විශේෂ අධිකරණයක් මෙන්ම ආරක්ෂක අංශයක් පිහිටුවීමට අදාළ පියවර ගැනීම ඇතුළු කැපී පෙනෙන කැපවීම් ක්‍රියාවට නැංවීම සඳහා කාලානුරූපී සැලැස්මක් සමඟින් සංක්‍රාන්ති යුක්තිය සහ වගවීම පිළිබඳ පුළුල් උපාය මාර්ගයක් සකස් කිරීම. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය නැවත පණ ගැන්වීම;
    • මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සංකේතාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම; පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධව පෙර සිදු කරන ලද විමර්ශනවල සම්පූර්ණ සොයාගැනීම් නිකුත් කිරීම සහ ජාත්‍යන්තර සහාය ඇතිව සහ වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පසු විපරම් ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් ස්ථාපිත කිරීම;
    • සිවිල් ක්‍ෂේත්‍ර කෙරෙහි හමුදාවේ බලපෑම අවසන් කිරීමට සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා යෙදවීම අඩු කිරීමට පියවර ගැනීම;
    • හමුදාව සතු සියලුම පෞද්ගලික ඉඩම් ආපසු ලබා දීම සහ ආගමික ස්ථාන ඉදිකිරීම පිළිබඳ අන්තර් ආගමික සංවාදය ඇතුළුව ඉඩම් ආරවුල් අපක්ෂපාතීව විනිශ්චය කිරීම;
    • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට නව නීති සම්පාදනය කිරීම සහ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ යෝජිත නීති ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීති බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන බවට සහතික වීම; ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය පිළිබඳ දැඩි තහනමක් නිරීක්ෂණය කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් සහ දිගුකාලීන සිරකරුවන් නිදහස් කිරීම කඩිනම් කිරීම;
    • හදිසි අවස්ථා රෙගුලාසි වල අවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය සමාලෝචනය කිරීම සහ සාමකාමීව රැස්වීමේ, ඇසුරු කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සහතික කිරීම;

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එම වාර්තාවේ සඳහන් කරුණු මෙසේය:

    වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.

    2022 මාර්තු මාසයේ සිට, සියලුම ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම තරුණ තරුණියන්, ආණ්ඩු වෙනසක් ඉල්ලා සිටීම සහ වගවීම සහ ගැඹුරු ප්‍රතිසංස්කරණ ඉල්ලමින් පුළුල් විරෝධතා ව්‍යාපාරයකට එක්වී ඇති බවට එම වාර්තාවේ දැක්වේ.

    මේ අතර අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවන් සත්‍යය, යුක්තිය සහ සහනය අපේක්ෂාවෙන් සිටින් අබ්වත් පවසන එම වාර්තාව මානව හිමිකම් සහ සංහිඳියාව ඉදිරියට ගෙන යන ජාතික සංවාදයකට අවතීර්ණ වන ලෙසත්, අතීතයේ සිදු වූ උල්ලංඝනයන් යළි ඇති නොවීමට අවශ්‍ය ගැඹුරු ආයතනික හා ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙසත් මහ කොමසාරිස්වරිය නව රජයෙන් ඉල්ලා සිටී.

    වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තවදුරටත් ප්‍රචණ්ඩත්වයේ අවදානම ඇතුළු බොහෝ අභියෝග ඉදිරියෙහි ඇත.

    ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා පමණක් නොව, මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය ඇතුළු අර්බුදයට යටින් පවතින හේතූන් ආමන්ත්‍රණය කිරීමේදී ශ්‍රී ලංකාවට සහය දෙන ලෙස මහ කොමසාරිස්වරිය ජාත්‍යන්තර ප්‍රජාව දිරිමත් කරයි.

    ජාත්‍යන්තර මට්ටමින් වගවීම ඉදිරියට ගෙන යාම සඳහා විකල්ප ගණනාවක් අනුගමනය කිරීමෙන් සාමාජික රටවලට යුක්තිය, සංහිඳියාව සහ මානව හිමිකම් සෙවීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට උපකාර කළ හැකිය.

    මෙම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට අනුව සකස් කර ඇතැයි මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය සඳහන් කළාය.

    වත්මන් වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට අනුව ඉදිරිපත් කර ඇති අතර, වගවීම ඉදිරියට ගෙන යාම සඳහා වැඩිදුර විකල්ප සමඟ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් (OHCHR) කාර්යාලයෙන් මීට පෙර ඉල්ලා තිබුණි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව සකස් කිරීම සඳහා රජය දක්වන සාධනීය මැදිහත්වීම පිළිබඳව කෘතඥ වන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් විසින් රජයට ප්‍රශ්න යවා එහි ප්‍රතිචාරය 2022 ජූලි 21 දින ලබා ගෙන ඇති බවත් වාර්තාවේ දැක්වෙයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් 2022 මැයි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාර දෙකකට රජය පහසුකම් සලසා ඇත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් විසින් සත්‍ය අදහස් සඳහා කෙටුම්පත් වාර්තාව රජය සමඟ හුවමාරුකර ගෙන ඇත.

    මෙම අභියෝගාත්මක අවස්ථාවේ රාජ්‍ය ආයතන මුහුණ දෙන සැලකිය යුතු බර සහ බාධාවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් පිළිගනී.

    තම කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කළ සිවිල් සමාජ සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ද මහ කොමසාරිස් කාර්යාලය සිය කෘතඥතාව පළ කර ඇත.

    2022 ජූලි වන විට, එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි මගින් මෙරට සංචාර සඳහා රජයට අපේක්ෂිත ඉල්ලීම් 6ක් ඉදිරිපත් කර ඇත.

    වාර්තාව මගින් පෙන්වා දෙන්නේ 2020 ඔක්තෝම්බර් මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය හරහා නැවත හඳුන්වා දුන් බලවත් විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග හැරුණු බවයි.

    විසිවැනි සංශෝධනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන කොමිෂන් සභා සහ අධිකරණය වැනි ආයතනවල ස්වාධීනත්වය ඛාදනය කළ බවද එහි දැක්වෙයි.

    සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණ සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර
    2020 මාර්තු මාසයේදී, පැවති රජය 30/1 යෝජනාව සහ ඊට අදාළ යෝජනා සඳහා සම අනුග්‍රහයෙන් ඉවත් වූ නමුත් “ඇතුළත්, දේශීයව සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද සංහිඳියා සහ වගවීමේ ක්‍රියාවලියක්” අනුගමනය කිරීමට කැපවී සිටියේය.

    එතැන් සිට වසර දෙකකට වැඩි කාලයක් තුළ, වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ විශ්වසනීය නව මාර්ග සිතියමක් තවමත් ඉදිරිපත් කර නොතිබුණි.

    ඒ වෙනුවට, පසුගිය අපරාධ සඳහා වගවීමේ ක්‍රියාවලීන්ට බාධා කිරීම, අපරාධකරුවන්ට ජනාධිපති සමාව ලබා දීම සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) සහ වන්දි ගෙවීමේ කාර්යාලය – ස්ථාපිත කර ඇතැත් – වින්දිතයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වී ඇත.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 දී පත් කරන ලද විමර්ශන කොමිසමක් විසින් “පෙර පත් කරන ලද විමර්ශන කොමිෂන් සභා වාර්තා සමාලෝචනය කරමින් 2022 පෙබරවාරි 18 වන දින දෙවන අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලද අතර, එය නැවත සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට යෝජනා කළේය.

    මෙම පරීක්ෂණ කොමිසම හට ඉතා සීමිත වරමක් තිබීම, වින්දිතයන් සහ සිවිල් සමාජය අතර විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය නොමැති වීම සහ බොහෝ කලකට පෙර ක්‍රියාත්මක කළ හැකිව තිබූ අතීත මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කිරීම ගැන මහ කොමසාරිස්වරිය කනස්සල්ලට පත්ව සිටී.

    අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු කරන්න
    යුද්ධය අවසන් වී වසර දහතුනක් ගතවී ඇතත්, අතුරුදහන් වූවන්ගේ පවුල් තවමත් සත්‍යය සහ බලහත්කාර අතුරුදහන් කිරීම් සඳහා යුක්තිය සොයමින් සිටිති.

    විශේෂයෙන්ම 2020 වසරේ සිට ගැටලු සහගත සභාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පත්කිරීම් මාලාවකින් පසු අතුරුදන්වූවන්ගේ කාර්යාලය තුළ වින්දිතයන්ගේ ඥාතීන්ගේ විශ්වාසය හා ස්වාධීන මෙන්ම විශ්වසනීය ජාතික යාන්ත්‍රණයක් ලෙස දැඩි ලෙස ඛාදනය වී ඇත.

    එය නැවත ස්ථාපිත කළ යුතුව ඇතැයි මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය සඳහන් කළේය.

    2022 මැයි මාසයේදී, එක් කොමසාරිස්වරයෙකු වූ ශිරාස් නූර්දීන් අතුරුදන් වූවන්ගේ කාර්යාලයෙන් ඉල්ලා අස්විය.

    වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලය හට ස්වාධීනව ක්‍රියා කිරීමට නොහැකි වූ බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

    අතුරුදන් වූවන්ගේ කාර්යාලයෙහි අරමුණ අතුරුදහන් වූවන් ගැන සෙවීම වුවද, අතුරුදහන් වූවන් සොයා ගැනීමට හෝ අතුරුදහන් වූවන්ගේ ඉරණම අර්ථවත් ආකාරයෙන් පැහැදිලි කිරීමට නොහැකි වී ඇති තිබේ.

    එහි වත්මන් දිශානතිය වන්නේ ලිපිගොනු වසා දැමීම කඩිනම් කිරීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය සඳහන් කළේය.

    2022 අගෝස්තු වන විට පවුල් 1,341 කට “නොපැමිණීමේ සහතික” නිකුත් කර ඇත. 2018 දී මන්නාරමේ සමූහ මිනීවළක් කැණීම සහ ගොඩගැනීම හැරුණු විට අතුරුදන්වූවන්ගේ කාර්යාලය විසින් අනෙකුත් සමූහ මිනීවළවල් යැයි සැක කෙරෙන ස්ථාන විමර්ශනය කිරීමට හෝ සමූහ මිනීවළවල් හඳුනාගැනීමේ ක්‍රියාවලියට නායකත්වය දීමට ක්‍රියාශීලී ප්‍රවේශයක් ගෙන නොමැත.

    පාස්කු ප්‍රහාර පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කරන්න

    එලෙසම, 2021 ඔක්තෝම්බර් මාසයේදී පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25 දෙනෙකුට චෝදනා ගොනු කළ අතර, 2019 වසරේ සිදුවූ එම බිහිසුණු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍යතාව තහවුරු කිරීමට සහ විමර්ශනය කිරීමට දේවස්ථානවල පූජකවරුන් සහ වින්දිතයින් සම්පූර්ණ හා විනිවිද පෙනෙන වාර්තාවක් අඛණ්ඩව ඉල්ලා සිටියද එහි කිසිදු ප්‍රගතියක් නැතියි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

    ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සම්පූර්ණ කොටස් තවමත් නිකුත් කර නොමැත.

    මහ කොමසාරිස්වරිය මෙම තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙසත්, වින්දිතයින් සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වය ඇතිව, වැඩිදුර විමර්ශන කරගෙන යාමට ජාත්‍යන්තර සහාය ඇතිව පසු විපරම් ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටී.

    වගවීම සහතික කිරීමට සියලු ආණ්ඩු අසමත් වෙලා

    ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම චෝදනා ලබන අපරාධකරුවන් රාජ්‍ය නියෝජිතයන් වන අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීමට දිගු කලක් තිස්සේ අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් අසමත් වී ඇතැයි මානව හිමිකම් පිළිබඳමහකොමසාරිස්වරිය අවධාණය කළාය.

    “වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි සංරක්ෂණය කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ වැදගත්කම” හඳුනා ගනිමින් මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලයේහි ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා 46/1 යෝජනාවේ 6 වන ඡේදය මගින් තීරණය කළේය.

    “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ තොරතුරු සහ සාක්ෂි එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ සහ අනෙකුත් ක්‍රියාදාමයන්ට සහාය වීම ඊට අයත්ය.”

    මෙම වරම ක්‍රියාත්මක කිරීමේදී, කවුන්සිලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලයේහි විසින් ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන් සහ ඕනෑම කණ්ඩායමකට එරෙහිව, ඕනෑම භූගෝලීය ප්‍රදේශයක සිදු කරන උල්ලංඝනයන් සහ අපයෝජනයන් සලකා බලයි.

    2022 ජූලි 8 වන දින කවුන්සිලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය ශ්‍රී ලංකා රජය වෙත ගොස් එහි වැඩකටයුතු සාකච්ඡා කිරීමට ව්‍යාපෘති කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙන ලෙස අවසර ඉල්ලා සිටියේය.

    2022 ජුලි 18 වැනි දින රජය ඊට තිචාර දැක්වූයේ 46/1 යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඔවුන්ට මෙරට සංචාරයක් ලබා දිය නොහැකි බවට යැයි වාර්තාවේ දැක්වෙයි.

    මෙම කාර්යයට අදාළව රජයෙන් සහයෝගිතාව සහ තොරතුරු ඉල්ලා සිටීමට කාර්යාලය දිගටම කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය පැවසීය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය, එක්සත් ජාතීන්ගේ නීති සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව, අදාළ තොරතුරු සහ සාක්ෂි බෙදාගැනීම හරහා නිසි අධිකරණ බලය සහිත අධිකරණ සහ අධිකරණ නොවන ක්‍රියාදාමයන් සඳහා සහාය දක්වයි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
    දිගු කලක් බලා සිටි නීතිමය ප්‍රතිසංස්කරණයක දී, 2022 මාර්තු 22 දින පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරන ලද අතර එම සංශෝධන මඟින් යම් ආරක්‍ෂාවක් වැඩි දියුණු කර ඇතත්, පනතේ වඩාත් ගැටලු සහගත විධිවිධාන කිහිපයක් නොවෙනස්ව තබා ඇත.

    2022 ජුනි මාසයේදී රජය නිවේදනය කළේ මාර්තු මාසයේ සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය පිළිබඳ තහනමක් ක්‍රියාත්මක කරන බවයි.

    කෙසේ වෙතත්, තැතිගන්වන සුලු වර්ධනයක් ඇති කරමින් ශිෂ්‍ය නායකයින් තිදෙනෙකු 2022 අගෝස්තු 18 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ වාර්තාවේ දැක්වෙයි.

    2021 අගෝස්තු මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ පිහිටුවන ලද උපදේශක මණ්ඩලය 2022 ජූලි වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබූ රැඳවියන් 103 දෙනෙකු නිදහස් කිරීමට පහසුකම් සලසා ඇති බව රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය වෙත දැනුම් දී ඇත.

    ඔවුන්ගෙන් 22 දෙනෙකු සිරදඬුවම් විඳිමින් සිටින අතර 25 දෙනෙකු අභියාචනාවේ විවිධ අවස්ථා වල සිටිති.

    විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෑත වසරවල රැඳවියන් විශාල සංඛ්‍යාවක් රඳවා සිටිති.

    2022 අගෝස්තු 1 වන දින, රජය විසින් ත්‍රස්ත විරෝධී රෙගුලාසි යටතේ ලැයිස්තුගත කර ඇති ආයතන 6 ක් සහ පුද්ගලයින් 316 ක් ඉවත් කරන ලද නමුත්, මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස දහඅටක් රඳවාගෙන සිටි තරුණ මුස්ලිම් කවියෙකු වන අහනාෆ් ජසීම් ඇතුළුව සංවිධාන තුනක් සහ පුද්ගලයින් 55 දෙනෙකු තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට අලුතින් එකතු කරන ලදී.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් සභාගත කිරීමට සැලසුම් කර ඇති බව රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දන්වා ඇත.

    ඩිජිටල් අවකාශයේ සයිබර් ආරක්‍ෂාව නියාමනය කිරීම සඳහා වෙනත් කෙටුම්පත් නීති ගණනාවක් ද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතක් ද ඇතුළුව නීති සූදානම් වෙමින් පවතී.

    මෙම නීති කෙටුම්පත් කිරීමේදී සිවිල් සමාජ පාර්ශ්වකරුවන් සමඟ උපදේශන දිගටම කරගෙන යාමටත්, තම කාර්යාලයෙන් සහ අදාළ එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටිවලින් තාක්ෂණික උපදෙස් ලබා ගැනීමටත් මහ කොමසාරිස්වරිය රජය දිරිමත් කරයි.

    හමුදාකරණය
    සිවිල් රාජ්‍ය කටයුතුවල මිලිටරිකරණය වේගවත් වීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට වල කැපීමක් බවට මහ කොමසාරිස්වරයා පෙර වාර්තාවල අනතුරු අඟවා ඇත.

    2020 සිට 2022 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජයේ අමාත්‍යාංශවලට, සේවයේ නියුතු හෝ හිටපු හමුදා නිලධාරීන් 28කට වැඩි සංඛ්‍යාවක් පත් කළේය. 2022 අප්‍රේල් 3 වන දින කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසු, අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ භූමිකාවන් දැරූ හමුදා නිලධාරීන් ගණනාවක් ස්වයංක්‍රීයව සිය තනතුරු අත්හැරියහ.

    කෙසේ වෙතත්, ජනාධිපති වික්‍රමසිංහ එතැන් සිට හමුදා පත්වීම් ලැබූවන් මත දිගටම විශ්වාසය තබා නීතිය ක්‍රියාත්මක කිරීමේදී හමුදාව සම්බන්ධ කර ඇත.

    2022 ජුලි 13 වන දින ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා “හදිසි නීතිය සහ ඇඳිරි නීතිය භාවිත කිරීමට” ඔවුන්ට “පූර්ණ බලය ලබා දුන්නේය”.

    ජනාධිපතිවරයා විසින් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළි ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කළේය. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2022 ජූනි මාසයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

    දෙදෙනාම මීට පෙර වාර්තාවල පෙන්වා දී ඇති පරිදි සිදුකළ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් නම්කර ඇත.

    වගවීම වැඩි දියුණු කිරීම සඳහා තවත් විකල්ප
    නව පරිපාලනය දූෂණය ඇතුළු ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වන ජනතා ඉල්ලීමට මෙන්ම දණ්ඩමුක්තිය අවසන් කිරීමට නව කැපවීමකින් ප්‍රතිචාර දක්වනු ඇතැයි මහ කොමසාරිස්වරිය බලාපොරොත්තු වේ.

    2016 දී ජනාධිපති වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටියදී පත්කළ ජාතික උපදේශන කාර්ය සාධක බලකායේ වාර්තාව ජාතික මට්ටමින් වගවීම ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් නිර්දේශ සපයයි.

    විශ්වසනීය හෝ ඵලදායී දේශීය පිළියම් නොමැති විට, ජාත්‍යන්තර මට්ටමින් සහ සාමාජික රටවල (ශ්‍රී ලංකාවෙන් පිටත) වගවීම ඉදිරියට ගෙන යාම සඳහා යම් යම් වර්ධනයන් සිදු වී ඇත.

    නිදසුනක් වශයෙන්, රෝම ප්‍රඥප්තියේ 15 වැනි වගන්තිය යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාට ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා 2021 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සන්නිවේදන ඉදිරිපත් කරන ලදී.

    ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට රාජ්‍ය පාර්ශවයක් නොවන අතර, සන්නිවේදනයන් ඉදිරිපත් කරන්නේ චෝදනා එල්ල වූ අපරාධ රාජ්‍ය පාර්ශවයන්ගේ භූමි ප්‍රදේශයේ අර්ධ වශයෙන් සිදු වූ බවටයි.

    වින්දිතයින්ගේ නියෝජිතයින් විසින් රාජ්‍යයන් විසින් විශ්ව අධිකරණ බල ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට හෝ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව අධිකරණ බල ප්‍රදේශ කිහිපයක සිවිල් නඩු පැවරීමට උත්සාහ කර ඇත.

    සමහර මුල පිරීම් සම්බාධක සහ වෙනත් සීමාකාරී පියවරයන් මත කේන්ද්‍රගත වී ඇත.

    නිදසුනක් වශයෙන්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2020 පෙබරවාරි සහ 2021 දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කරන ලද පරිදි, රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ ශ්‍රී ලාංකික නිලධාරීන් තිදෙනෙකු නම් කරන ලදී.

    උපුටා ගැනීම – BBC සිංහල

  • අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවත සිදු නොවීමට වගබලාගන්න – එක්සත් ජාතීන්

    අතීතයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවත සිදු නොවීමට වගබලාගන්න – එක්සත් ජාතීන්

    අතීතයේ සිඳු වී අති මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතත් මෙරට තුළ සිඳු නොවීමට වඟ බලා ගන්නා ලෙසත් ඒ සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ, නව රජය කඩිනමින් මානව හිමිකම් සහ ප්‍රතිසංධානය පවත්වාගෙන යාම සඳහා ජාතික සංවාදයකට පැමිණිය යුතු බවයි.

    ශ්‍රී ලංකාව දේශපාලනමය වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

    එහි දැක්වෙන්නේ රට ආයතනික වශයෙන් මෙන්ම ආරක්ෂක අංශ ද වහා ප්‍රතිසංස්කරණ වෙත යොමු විය යුතු බවයි.

    ආර්ථික අර්බුදය, සෑම ජන කොටසකම සෑම තරාතිරමකම ජනතාවගේ මානව හිමිකම්වලට දැඩි බලපෑමක් ඇති කර ඇතැයි මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ, දරුණු ආරක්ෂක නීති මත යැපීම මෙන්ම සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහා අවසන් කළ යුතු බවයි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම මෙන්ම මහජන විරෝධතා මර්දනයට රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

  • අරගලකරුවන්ට එරෙහි මර්දනයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විරෝධය දක්වයි

    අරගලකරුවන්ට එරෙහි මර්දනයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විරෝධය දක්වයි

    ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් එල්ලකරමින් සිටින මර්දනය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙහිදී ලංකාව තුළ දැනට සිදුවන අත්අඩංගුවට ගැනීම්, බිය ගැන්වීම් සහ ගෝල්ෆේස් අරගල භූමියට ජූලි 22වනදා එල්ල කළ ප්‍රහාරයට මෙම සංවිධාන විරෝධය දක්වා තිබේ.

    ලංකාවේ ආණ්ඩුව වහාම සාමකාමී අරගලකරුවන් මර්දනය කිරීම නැවැත්විය යුතු අතරම ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව මෙම සංවිධාන අවධාරණය කර තිබේ.

     

  • බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි

    බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමට ඉඩ නොදෙයි

    දැනට බන්ධනාගාරගතව සිටින අරගලකරුවන් බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවස්ථාව ලබා දී නොමැති බව වාර්තා වේ.

    පොලිසිය විසින් පැහැරගෙන ගොස් පසුව අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කර සිටින නිදහස් මාධ්‍යවේදී සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණේ නැත.

    එසේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි පැතුම් කර්නර් හමුවීමට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබා නොදීම වැරදි පූර්වාදර්ශයක් බවත්, එය ව්‍යවස්ථාපිත බලයට අභියෝග කිරීමක් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි. මෙම ප්‍රකාශය සිදුවුවේ පැතුම් කර්නර් සම්බන්ධ නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු සහ විමර්ශන නිලධාරියකු ඊයේ (3) වෙරංග සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඇති අතර ඔහුට පොලිසියෙන් වූ වධ හිංසා ගැන තොරතුරු ලබා ගැනීම අරමුණ වී තිබේ. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු හමුවීමට අවස්ථාව දිය නොහැකි බවයි.

    කොළඹ කොටුවේ පැවැති විරෝධතාවකින් පසු ගුරු මැදුර ශාලාවට යෑම සඳහා වෙරංග පුෂ්පික බස් රථයට නැග සිටියදී සාමාන්‍ය ඇඳුමෙන් පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසක් වෙරංග පැහැරගෙන ගොස් තිබිණි. නීතිඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඔහු ගැන සොයා බැලීමට පොලිසිය කිහිපයකට ගියද තොරතුරක් නොලැබිණි. පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත්වී පොලිසියෙන් විමසද්දී ප්‍රකාශ කර තිබුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් එම කොට්ඨාසයට මානව හිමිකම් නිලධාරීන් සහ නීතිඥවරුන් යද්දී වෙරංග එහි සිටියේ නැත.

    වෙරංග පොලිසි කිහිපයකට රැගෙන ගොස් පසුදින නීතිඥ නියෝජනයද අවහිර කර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 ඩී සහ 28.2 යටතේ ඕනෑම ස්ථානයක රඳවාගෙන සිටින පුද්ගලයකු බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බලයක් ඇති බවත්, එය වැලැක්වීම වැරදි පූර්වාදර්ශයක් බවත් අද පැතුම් කර්නර් සම්බන්ධ නඩුවේදී ප්‍රකාශ විය.

  • ‘ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්’ – රමණි මුත්තෙට්ටුවේගම

    ‘ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්’ – රමණි මුත්තෙට්ටුවේගම

    ත්‍රස්ත මර්දන පනතට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එකතු කරන්නට සූදානම් වන සංශෝධනවලින් රැඳවුම් භාරයේ තබා ගෙන සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තව දුරටත් බරපතල ලෙස උල්ලංඝණය කෙරෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ හිටපු කොමසාරිස්වරියක් විසින් දැඩි දෝෂ දර්ශනයට ලක්කර තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව රජය විසින් පෙබරවාරි මස 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    “නීති වෙනස් කළත්, සංශෝධනය කළත් ගන්න ඕනේ ප්‍රධානතම තීන්දුවක් තමයි රැඳවුම් භාරයේ තියාගෙන ඉඳලා නිදහස් කරන පුද්ගලයන්ට කොහොමද යුක්තිය, සාධාරණත්වය ඉෂ්ඨ කරන්නේ කියන එක,” යි මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන රමණි මුත්තෙට්ටුවෙගම JDS සමග විශේෂ අදහස් දැක්වීමකට එක්වෙමින් පැවසුවාය.

    “නිරපරාදේ අවුරුදු ගණන් හිර ගෙවල්වල හිරකරන් ඉන්න මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන එක අමතක කරලා, ගෙන එන කිසිම නීතියකින් හෝ පනත් සංශෝධනයකින් පලක් නෑ.”

    යුක්තිය උදුරා ගත් පනතක්

    නීතිඥ රමණි මුත්තෙට්ටුවෙගම අවධාරණය කරන්නේ අවම වශයෙන් නඩු පැවරීමකින් හෝ තොරව වසර ගණන් රැඳවුම් භාරයේ තබා ගෙන සිට පසුව නිදහස් කරන සෑම පුද්ගලයකුටම යුක්තිය ඉටු විය යුතු නොවෙනස් නෛතික යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇති බව ය.

    “අපි දන්නවද ත්‍රස්ත මර්දන පනත යටතේ කී දෙනෙක් අත්අඩංගුවේ ඉන්නවද කියලා? කී දෙනෙක් රැඳවුම් භාරයේ ඉන්නවද කියලා අපි දන්නවද? නෑ. ඒ වගේම තමයි කී දෙනෙකුට නඩු පවරලා තියෙනවද කියලත් අපි කවුරුත් දන්නේ නෑ. සමහර අය අවුරුදු ගණන් රැඳවුම් භාරයේ ඉන්නවා අඩුම තරමින් චෝදනාවක් වත් ඉදිරිපත් කරන්නේ නැතුව. සමහර අයව උසාවියකට ඉදිරිපත් කරන්නෙත් බොහෝම කලාතුරකින්. ඒ මිනිස්සු ගැන හැමෝටම අමතකයි. එහෙම අවුරුදු ගණන් හිරකරන් තියාගෙන ඉඳලා අන්තිමට හිටපු ගමන් කියනවා ‘නඩු පවරන්නේ නෑ , චෝදනා නෑ’ කියලා. එහෙම කියලා නිදහස් කරනවා. දැන් මේ මහ ඉහළින් වර්ණනා කරන පනතේ ඒ මිනිස්සු වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේ කොහොමද කියලා සඳහන් කරලා තියෙනවද? මම දන්න විදිහට කිසිම දෙයක් නෑ,” ඇය ප්‍රකාශ කළාය.

    දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ එයට සංශෝධන සහිතව ගෙන එන නව පනත් කෙටුම් පත අතර කිසිම වෙනසක් නැතැයි අවධාරණය කරන හිටපු කොමසාරිස්වරිය, නීතියෙන්ම හිංසාවට, පීඩාවට ලක් වන පුද්ගලයකුට යුක්තිය ඉටු කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති පනතක ඇති වැදගත් කම කුමක් දැයි විමසා සිටියාය.

    එමෙන්ම දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන සිට අවසානයේ චෝදනා නොමැති බව කියමින් නිදහස් කරන පුද්ගලයන් පිළිබඳ අදහස් දක්වමින් ඇය ප්‍රශ්න කර සිටින්නේ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ අහිමිවන කාලය පිළිබඳ කවුරුන් වගකියන්නේද යන්න ය.

    ‘කවුද මේවට වග කියන්නේ?’

    “පහුගිය දවසක එක් පුද්ගලයෙක්ව අවුරුදු අටකට පස්සේ උසාවියෙන් නිදහස් කළා. ඒ අවුරුදු අටම ඒ මනුස්සයාව රඳවගෙන ඉඳලා තියෙන්නේ කිසිම චෝදනාවක්වත් ඉදිරිපත් කරන්නේ නැතුව. අවුරුදු අටකට පස්සේ නීතිපති උසාවියට කියනවා ‘නඩු පවරන්න චෝදනා නෑ – නඩුවකට අවශ්‍ය සාක්ෂි නෑ’ කියලා. අවුරුදු අටක් කියන්නේ දවස් අටක් නෙමෙයි. දවස් අටක් වුණත් අනීතිකව හිරකළා තියෙන කෙනකුට සිදුවන අයුක්තිය කොයිතරම්ද?”යැයි ඇය අවධාරණයෙන් කීවාය.

    ත්‍රස්ත මර්දන නීතිය යටතේ අත් අඩංගුවට ගනු ලැබ දීර්ඝ කාලයක් සිරභාරයේ පසු වූ දෙමළ ජාතිකයන් විශාල පිරිසක් අවසානයේ චෝදනාවලින් නිදොස් කොට මුදාහැරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා විය. මේ සම්බන්ධයෙන් ඇති මෑතකාලීනම නිදසුන වන්නේ 2010 ඔක්තෝබර් 19 වැනිදා මෙසේ ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා සිටි යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කන්දප්පු රාජසේකර් 12 වසරකට පසු ඉකුත් පෙබරවාරි 15 වැනිදා සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබීමේ සිද්ධියයි.

    “කවුද ඒ අයුක්තීන්ට වග කියන්නේ? කවුද වන්දි ගෙවන්නේ? පොලීසියද? නීතිපතිද? උසාවියද? එහෙමත් නැත්නම් නිර්දෝෂී මිනිස්සුන්ව මේ විදිහට හිරකරන්න නීති හදලා ඒ නීති පවත්වාගෙන යන රාජ්‍ය ක්‍රමයද? මේ වගේ අයුක්ති සහගත දේවල් නීති බවට පත් කරන රාජ්‍ය ක්‍රමය, නිලධාරින් සහ දේශපාලනඥයෝ සෘජුවම මේවට වග කියන්න ඕනි බවයි මම කියන්නේ”.

    නීතිඥ මුත්තෙට්ටුවේගම වැඩිදුරටත් පැවසුවේ යම් පුද්ගලයකුට වන්දි ගෙවන්නේ නම් එය සාමන්‍ය මහජනතාවගේ බදු මුදලින් නොව, සිද්ධියට වගකිව යුතු නිලධාරීන්ගේ සිට රැඳවුමට අත්සන් කරන ආරක්ෂක ඇමැතිවරයා දක්වා වු පුද්ගලයන්ගේ පෞද්ගලික මුදලින් ගෙවිය යුතු ලෙස නීතියක් සම්මත කළ යුතුව ඇති බව ය.

    මිනිස් අයිතිවාසිකම් වලට දැඩි සේ සීමා පැනවෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දෙයකට සංශෝධන ගෙන ආ පමණින්ම එවැනි පනත් නිසා වින්දිතයන් බවට පත්වන පුද්ගලයන්ට යුක්තියක් ඉටු නොවන බව ය. එනිසාම රඳවා තබා ගන්නා කාල සීමාව සංශෝධනය කිරීමෙන් පමණක් කිසිදු පලක් අත් නොවන බවද ඇය පවසා සිටින්නීය.

    ‘වැදගත් වන්නේ මිනිස් අයිතිවාසිකම්’

    “ආණ්ඩුව නව පනත් කෙටුම්පත යුක්ති සහගත කරන්න කියන එක දෙයක් තමයි රැඳවුම් කාලය මාස 18 සිට 12 දක්වා අඩු කළා කියන එක. මම අහන්නේ ඒකේ තියෙන වැදගත්කම මොකද්ද? ආණ්ඩුව කියනවා ‘ඔන්න අපි රැඳවුම් කාලය මාස හයකින් අඩු කළා, දැන් ත්‍රස්ත මර්දන පනත හරිම හොඳයි’ කියලා. යම් පුද්ගලයෙක්ව හිරකරලා තියෙන කාලය මාස කිහිපයකින් අඩු කළ පලියට ඒ නීතියේ තියෙන මර්දනකාරි බව වෙනස් වෙනවද? අනෙක මෙතන තියෙන ප්‍රශ්නය කාලය පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්නම් යුක්තිය සහ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ මූලික ප්‍රශ්නයක්ද? මේ වගේ මර්දන නීති, අණ පනත් යුක්ති සහගත කරන්න කවුරු මොනව කිවුවත් මම නම් කියන්නේ අවුරුද්දක් රැඳවුම් භාරයේ තියාගෙන ඉන්න එකත් දඬුවමක්. ”

    නීතීඥ මුත්තෙට්ටුවේගම පවසන ආකාරයට යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් හෝ රිමාන්ඩ් බන්ධනාගාරයේ හෝ වෙනත් තත්වයක් යටතේ හෝ රඳවා සිටියද එම පුද්ගලයා එම මුළු කාල සීමාවම ගත කරන්නේ යම් ආකාරයක දඬුවමක් ගෙවන පරිද්දෙනි. නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසින් දඬුවම් නියම කර රැඳවුම් හෝ බන්ධනාගාර ගත කළද, නොඑසේ නම් නඩු විමසීමකින් තොරව ඒ ආකාරයෙන්ම රඳවා තැබුවද, ඒ කවර ආකාරයෙන් වුවත් අහිමිවන්නේ පුද්ගල නිදහස බැවින් එය දඩුවමක් ලෙස සැලකීමට සිදුවන බවට ඈ තර්ක කරන්නීය. නමුත් නිසි අධිකරණ ක්‍රියාදාමයකින් තොරව සිදුවන රඳවා තබා ගැනීමක් සේ සැළකිය හැකි එම තත්ත්වය අනීතික බවද ඇය පෙන්වා දෙන්නීය.

    “රඳවා තබා ගන්නා අවුරුද්දක කාලය වුණත් රඳවා ගන්නේ නිසි චෝදනා ඉදිරිපත් කිරීමකින් හෝ අධිකරණ ක්‍රියාවලියකින් හෝ තොරව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම මත පමණක් නම් ඒක අයුක්ති සහගත අනීතික රඳවා තබා ගැනීමක්. සාමාන්‍යයෙන් අවුරුදු පහක සිර දඬුවමක් ලබා දෙනවා කියන්නේ ඒක ඉතාම බරපතල ගණයේ වරදකට දෙන දඬුවමක් විදිහටයි සලකන්නේ. නමුත් කිසිම චෝදනාවකුත් නැතුව, නිසි නඩු පැවරීමකුත් නැතුව මේ ත්‍රස්ත මර්දන පනත යටතේ අහිංසක මිනිස්සුන්ව අවුරුදු ගණන් රැඳවුම් නියෝග ඇතිව හෝ නැතිව තියාගෙන ඉන්නවා. නීති විරෝධීව වැඩ කරන, මිනිස් අයිතිවාසිකම් සෙල්ලමට ගන්න පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතියෙන්ම දඬුවම් දෙන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා මම කියන්නේ ඒ නිසායි.”

    යම් පුද්ගලයකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමකදී එය අභියෝගයට ලක් කර ශ්‍රේෂ්‍ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකරන නිලධාරීන්ට දඩුවම් පැමිණ වීමේ හා වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් පැවතුනද, ත්‍රස්ත මර්දන පනත වැනී සුවිශේෂි පනතක් යටතේ අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබා ගන්නා පුද්ගලයන්ට යුක්තිය ඉටු කර ගැනීමේ සුවිශේෂි ක්‍රමවේදයක් ම අවශ්‍ය නොවන්නේ දැයි ජේඩීඑස් විසින් කරන ලද විමසීමට පිළිතුරු ලෙස නීතිඥ රමණි මුත්තෙට්ටුවෙගම කියා සිටියේ අනිවාර්යෙන්ම එය සාමාන්‍ය වන්දි ක්‍රමවේදයෙන් බැහැර එකක් විය යුතු බවට තමන්ද විශ්වාස කරන බව ය.

    ජාතීන්ට එරෙහිව යෙදවෙන පනතක්

    ත්‍රස්ත මර්දන නීති යටතේ අත් අඩංගුවේ පසුව සාතිශය බහුතරයක් දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවන්ට අයත් බව නීතීඥ මුත්තෙට්ටුවේගම පෙන්වා දෙන්නීය. දෙමළ දේශපාලන සිරකරුවන් 300කට වැඩි ප්‍රමාණයක් තවමත් අත් අඩංගුවේ පසුවන බව පසුගිය 15 වැනිදා ශ්‍රී ලංකාවේ දණ්ඩ මුක්තිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ පැවති ජාත්‍යන්තර සාකච්ඡාවකට අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරියක වන අනන්දි සසීදරන් කියා සිටියාය. මීට අමතරව, විධිමත්ව ලේඛනගත නොකළ මුස්ලිම් දේශපාලන සිරකරුවන් සිය ගණනක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටිති.

    “මේ පනත යටතේ අත්අඩංගුවට අරන් හිරකරලා තියන් ඉන්න මිනිස්සුන්ගෙන් අති බහුතරයක්, මම හිතන්නේ ඉතාම අහිංසක කිසිම බලයක් නැති මිනිස්සු. ඒ වගේම ඒ සියළු දෙනාම බොහෝදුරට දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්. ත්‍රස්ත මර්දන පනතට පිටස්තරව නීති විරෝධිව සිදුවෙන අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් වගේ ඒවට සාමාන්‍ය නීතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිහින් මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුලුවන්. නමුත් මේ පනත යටතේ අත්අඩංගුවට අරන් රැඳවුම් භාරයට පත් කරන හෝ රිමාන්ඩ් භාරයට පත් කරන පුද්ගලයකුගේ හෝ නිදහස සහ ජීවිතය ඉතාම අවිනිශ්චිතයි. කොයි අවස්ථාවක නොකළ වරදකට දඬුවම් ලබයිද කියන බිය සහ සැකයත් එක්ක අවුරුදු ගණන් හිරේ ඉන්නවා. බහුතරයකට තමන්ගේ දරු පවුල් එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්නවත්, නීතිඥ සහයක් නිසි පරිදි ලබා ගන්නවත් ඉඩක් ලැබෙන්නේ නෑ. බොහෝදෙනෙක්ව පාපෝච්චාරණ ගන්න ඉතා දරුණු වධහිංසාවලට ලක් කරනවා. ඒ මිනිස්සුන් අවසානයේ චෝදනා නැතිව එළියට ආවම ඔවුන්ට පුලුවන්ද තමන්ට වුණු අකටයුත්තට විරුද්ධව නීතියෙන් සටන් කරන්න? බැහැ! මේ වර්ණනා කරන අලුත් කෙටුම්පතේ ඇත්තෙන්ම නම් වින්දිතයා වෙනුවෙන් යුක්තිය ඉටුවන කිසිම දෙයක් නෑ කියලා මම කියන්නේ ඒකයි. සරලව ගත්තොත් මේ සංශෝධන පනත් කෙටුම් පත මුල් පනත ශක්තිමත් කරන්නම ගෙනාපු දිගුවක්.”

    ජනාධිපතිකමට මුවා වෙලා කරන අපරාධයක්

    ත්‍රස්ත මර්දන පනත යටතේ සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ රැඳවුම් පිළිබඳව සමාජය මෙයට වඩා ගැඹුරින් සිතා බැලිය යුතු බවත්, ආණ්ඩුවෙන් ආණ්ඩුවට සිදුකරන මේ අනීතික ක්‍රියාදාමය නතර කර දමන ලෙස බල කළ යුතු බවටත් රමණි මුත්තෙට්ටුවෙගම වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

    “අපේ රටේ ජනාධිපතිවරයට තියෙන අසීමිත බලය යටතේ තමයි මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. ඒක හරියටම කිවුවොත් ජනාධිපති ධූරය කියන තනතුරට මුවාවෙලා, හැංගිලා තමයි මේ රැඳවුම් නියෝග කියන දේ අත්සන් කරන්නේ. මම ඒක එහෙම කියන්නේ අපි කාටවත් පුලුවන් කමක් තියෙනවද ආරක්ෂක ඇමැතිවරයා විදිහට ඔහු අත්සන් කරන රැඳවුම් නියෝගය අභියෝගයට ලක් කරන්න. බැහැ! අනෙක් දේ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩු සමයේ අත්අඩංගුවට අරන් රැඳවුම් භාරයට පත් කරපු ඇතැමුන්ව චෝදනා නෑ කියලා නිදහස් කරන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු සමයේදීයි. ඔහුගේ ආණ්ඩුව යටතේ රැඳවුම් භාරයට පත් කළ ඇතැමුන්ව නිදහස් කළේ ඊළඟ ආණ්ඩු සමයේ. හැබැයි ඒ ආණ්ඩුවෙන් රැඳවුම් භාරයට පත් කළ සමහර පුද්ගලයන්ව චෝදනා නෑ කියලා නිදහස් වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ. ඔහුගේ ආණ්ඩුව යටතේත් විශාල වශයෙන් පුද්ගලයන්ව මේ වනවිට රැඳවුම් භාරයට පත් කරලායි තියෙන්නේ. එතකොට ඒ මිනිස්සුන්ගේ නිදහස? මේ විෂම චක්‍රයෙන් පේනවා නේද ත්‍රස්ත මර්දන පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම්වල සැබෑ ස්වරූපය?” ඇය විමසා සිටියාය.

    (මාධ්‍යවේදී කිත්සිරි විජේසිංහ විසින් jdslanka.org වෙබ් අඩවියේ පළකර තිබු ලිපියකි.)