Category: අරගලය2022

  • මධ්‍යම පාන්තිකයිනි,

    මධ්‍යම පාන්තිකයිනි,

    එදා වේල වෙනුවෙන් දහඩිය වගුරන පහළ සමාජ ස්ථරයට මේ මොහොතේ ශිෂ්ටත්වය ඉගැන්වීමට යෑම තේරුමක් නැත. ඔවුන්ට මේ පීඩනය දැනෙන්නට පටන් ගත්තේ ඔබට දැනුණාට වඩා බොහෝ කලිනි. ඔවුන් ඔබට වඩා බොහෝ කල් ඉවසා සිටින්නට ඇත. ශිෂ්ටත්වය කරා යා හැක්කේ සමාජ සාධාරණත්වය, සමානාත්මතාව හරහා පමණි. ඔවුන් වෙනුවෙන් අප මීට පෙර නැඟී සිටිය යුතුව තිබුණි. එහෙත් අපි එසේ නොකළෙමු. අපි අපට දැනෙන තරමට අර්බුදය උඝ්‍ර වූ විට අපට රිසි ක්‍රමවලින් අරගලයට පැමිණ සිටිමු. ඒ ද අපේ ප්‍රශ්න විසඳාගැනීමටය. ඔවුන්ද ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට පැමිණ ඇත. ඔවුනටද කවි ගී කියන සංස්කෘතියක් ඇත. එහෙත් බඩගින්න ඊට වඩා ප්‍රබල බව අප තේරුම් ගත යුතුය. මධ්‍යම පන්තියට වඩා ඔවුන් ජීවත්වන්නේ අසීරුවෙනි. ඔවුනට දිගු කාලයක් කවි ගී කියමින් කොළඹ නගරය මැද ගෙවන්නට මේ මෙහොතේ අපහසු වන්නට පුළුවන. ඔවුනට දේශපාලන විඤ්ඤාණය ලබා දීමටද මේ හදිසියේ බැරිය. එය මීට පෙර කළ යුතුව තිබිණ. එහෙත් එය කළ හැකිව තිබූ කණ්ඩායම් පවා එය නොකර කාලය ගතකළහ. එනිසා මේ සමාජ ස්ථරයද පසු ගිය කාලයේ තක්කඩින්ට රැවටී සිටින්නට ඇත. එහෙත් දැන් ඔවුන් එය ඔබ අපට වඩා තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත. මේ අරගලය ගෝල්ෆේස් පිටියෙන් පටන් ගත් සති කිහිපයක අරගලයක් ලෙස පටු ව ගෙන ඔවුන්ව අරගලයෙන් බැහැර නොකරමු.

    අරගලය පටන් ගත්තේ මීට බොහෝ කලිනි. ගොවි බිම්වල ගොවියෝ බොහෝ උද්ඝෝෂණ කළහ. ධීවරයෝද උද්ඝෝෂණය කළහ. ඉඩම් අහිමි වූවෝ උද්ඝෝෂණය කළහ. මිනිස් ඝාතන, තාඩන පීඩන වලට එරෙහිව හුදකලා නැගී සිටීම් අපි දුටුවෙමු. ඒ නිසා අරගලයට උප්පැන්න සහතික දීමට හදිසි නොවන මෙන් ඉල්ලමු.

    අරගලයේ තීරණාත්මක සාධකය ඔබ අපට වඩා මේ කම්කරු ජනතාවයි. එනිසා, පීඩාවට පත්ව සිටින සමාජ කොටස් තවත් පීඩාවට පත් නොවන ආකාරයෙන් ක්‍රියා කරමු. පවතින අර්බුදයට තාවකාලික විසඳුමක් හෝ ගෙන ආ හැකි දේශපාලනික වැඩපිළිවෙලක් ගැන කඩිනමින් සිතා බලා ක්‍රියාත්මක වන ලෙස වගකිවයුතු, ශක්‍යතාවක් සහිත සියලු මානවවාදී, ප්‍රගතිශීලී බලවේගවලින් ඉල්ලා සිටිමු.

     

  • ලංකාවේ අනාගතය සහ දේශපාලන සිනාරියෝ

    ලංකාවේ අනාගතය සහ දේශපාලන සිනාරියෝ

    ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම

    අරගලයේ කෙටි සටහන් ලෙස ලියන්නට බොහෝ මාතෘකා හෝ වැදගත් යැයි හිතෙන හෝ අදහස් බොහොමයක් ඇතැත්, ගෝටා ගෝ හෝම් අරගලය සහ සමස්ථ දේශපාලන අර්බුදය ගැන අනාගත සිනාරියෝවක් ගොඩ නගා ගැනීම වැදගත් යැයි යළි සිතන්නෙමි. මේ නිසා සිනාරියෝ ගොඩ නැංවීම ප්‍රයෝජනවත් දෙයක් ද නැතිද යන්න ගැන නැවත සිතීමට පොළඹවන්නේ, එනම් 2009 යුද ජයග්‍රහනයෙන් පසුව රාජපක්ෂ පාලනය පිළිබඳව මා විසින් 2013 නොවැම්බර් ලියන ලද ලිපියක් යළි කියවීමෙනි. මෙම ලිපිය මහින් ලංකාවේ අනාගතය 2020 දක්වා සිනාරියෝ ගත කර ඇති අතර, එය කොතෙක් දුරට නිවැරදි ද, යථාර්ථයක් වී ඇත් ද නැද්ද යන්න මැන ගැනීමට ඉවහල් වන්නාක් මෙන්ම අප විසින් අභිඋපගමනය කරන අනාගතය මනස සහ ශරීරය අතර නැතිනම් ඇතුළත හා පිටත යථාර්ථය වෙනස් වන්නේ හෝ පෑහෙන්නේ කෙසේ ද යන්න ගැන තේරුම් ගැනීමට වැගත් වේ. එම නිසා 2013 දී ලියන ලද මෙම ලිපිය කිසිදු සංස්කරණයකට ලක් නොකොට පළ කරනු ලබන්නේ, අනාගතය කොහොමද යළි ඥාණයය කර ගන්නේ යන්න සිතා බැලීමට යම් හෝ ඉවහල් වීමක් සිදු වේ යැයි යන චේතනාවෙනි.

    හැදින්වීම

    ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම දරුණු පැන නැගීම සමාජය තුල හා එහි වැසියා තුලම හිර වී ගෙවෙමින් යන දේශපාලන ජීවිතය සුවදායක නොමැති බැවින්, ඉන් නිදහස් කර ගැනීම පිණිස දේශපාලන සමාජයේ ප්‍රමුක ප්‍රගතිශීලී පිරිස් හට දිගු හා කෙටි කාලීන අත්‍යවශ්‍ය වගකීමක් ඉතිහාසය විසින් උරුම කිරීමට බලකෙරෙමින් තිබේ.

    මේ සඳහා බල දේශපාලනික වේදිකාවේ දේශපාලනික කණ්ඩායම් හා පුද්ගලයන් හට වෙන් වෙන් වශයෙන් දේශපාලනික හා සාමාජීය සිනාරියෝ ඇත. ගැටලුව ඇත්තේ දේශපාලනික බලයෙන් හෝ සමාජීය බලයෙන් රට වෙනස් කිරීමට කල්පනා කරන්නන්ගේ සිනාරියෝ සතුව ඇති සක්‍රීය ධාරීතාවයෙහි ඇති ගැටලු සහගත බවය. එබැවින් ලාංකීය දේශපාලනයේ සුසමාදර්ශී වෙනස උදෙසා දේශපාලනික සිනාරියෝවන් හඳුනා ගැනීම හා නිර්මාණය කර ගැනීම වැදගත් වන අතර එය මුල් තැනක් ගන්නකි. නමුත් පුද්ගලයන්ට හා දේශපාලනික පක්ෂ කණ්ඩායම්වලට අනුව අඩු වැඩි වශයෙන් මෙකී සිනාරියෝ ගොඩනගා ගැනීම සිදු වුවත් එවා යථාර්ථවාදී ශක්‍යතා ගුණයෙන් යුක්ත වන්නේ දැයි කල්පනා කළ යුතු අතර ඒ පිලිබඳ නැවත සලකා බැලීම පිණිස සිනාරියෝ යන්න කුමක් දැයි හඳුනා ගැනීම හා සිනාරියෝ ගොඩ නැගීම පිළිබඳ න්‍යායික කතිකාවකට පිවිසුමක් මෙම ලිපිය මගින් පෙන්වා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් දේශපාලන සමාජය වර්ගීකරණය කරමින් සිනාරියෝ ගොඩ නැංවීම කරනු අතර ඒ සඳහා පහත සඳහන් සාධකයන් ප්‍රස්තුථ කර ගත හැකි වේ.

    රාජපක්ෂ සිනාරියෝව
    විපක්ෂ සිනාරියෝව
    විකල්ප සිනාරියෝව
    වමේ සිනාරියෝව
    සිනාරියෝවක් යනු කුමක්ද

    සිනාරීයෝවක් යනු අනාගතය පිළිබඳව විය හැකි විස්තාරිත දැක්මන් හෝ අනාගතයේ වියහැකි පැතිකඩයන් හෝ මානයන් පිළිබඳ කතාන්තරයකි. එය බොහෝවිට ආදර්ශමය දැක්මක් හෝ අනාගතය පිළිබඳ අධ්‍යයන ක්‍රමවේදයකි. සිනාරියෝවක් යනු අනාගතය පිළිබඳ අනාවැකි කියවීමක් නොවන අතර එය තරමක් සමාන වන්නේ අනාගතය පිළිබඳ යම් (simulation) ආභාසනයකටය. නැතිනම් සමාකරණයකටය. එසේත් නැතිනම් ව්‍යාජ වේශයකටය. ඒ අනුව සිනාරියෝ යන්න පැහැදිලිකර ගැනීමේ ක්‍රමයක් හෝ තීරණ ගැනීමේ උපකරණයන් යන දෙයාකාරයම භාවිතයට ගැනීම සිදු වේ. ප්‍රධාන වශයෙන් වර්තමානයේ ඇති (discontinuities)අසන්තතීන් පැහැදිලිව හඳුනා ගැනීමට හා ඒවායේ පවතින තෝරාගැනීම් සහ එහි ශක්‍යතාවන්වන්ගේ විපාකයන් හෙලිදරව් කරගැනීම සිනාරියෝවක් මගින් සිදු වේ. සාමාන්‍යෙයන් සිනාරියෝ ගොඩනැංවීම පිළිබඳ න්‍යාය හා ක්‍රමවේදයන් පදනම් වනුයේ ආයතන හා ව්‍යාපාරයන් පිළිබඳ අනාගතය සැලසුම් කර ගැනීමට හා එය සාර්ථකකර ගැනීම පිණිසය. මෙම සංකල්පය දේශපාලන ව්‍යාපාර හෝ සංවිධාන හෝ පුද්ගලයන් සම්බන්ධකර ආදේශකර යම් කිසි කතාන්තර ගොඩ නැගුවහෝත් එය ද අනාගතය ගැන යම් චිත්‍රයක් ඇති කර ගැනීම තුලින් සමාජයේ ඇති විය හැකි චලිතය හඳුනාගතහැකි වනු ඇත.

    සිනාරියෝ අධ්‍යයනය ලාංකීය දේශපාලන සන්දර්භයට ගලපා තේරුම් ගැනීමේ දී වර්තමානයේ ඇති අසන්තතීන් මොනවාද යන්න හා මෙම වාස්තවිකයන් හරහා අනාගතයට පිවිසීමට ඇති තෝරා ගැනීම් කුමක් දැයි යන අදහසින් සිනාරියෝ ගොඩ නැගීම කරනු ලැබිය යුතුය. මෙයට කාලය හා අවකාශය පදම්කර ගනිමින් අනාගතයේ විය හැකි යැයි සිතිය හැකි ශක්‍යතාවයන් සැලකිල්ලට ගත හැකි අතර සාමාන්‍යෙයන් ලාංකීය දේශපාලනයේ සිදු වන්නාවූ ගොඩනැංවිම කරනු ලබන්නේ මැතිවරණ ක්‍රමය පදනම් කරගෙනය. ආණ්ඩු බලය වෙනස් විම පිළිබඳ සිනාරියො ගොඩනගා ගනිමින් ඊට සම්බ්න්ධ ක්‍රියාකාරී සැලසුම් කිරීමය.මෙතෙක් පැවැති පශ්චාත් යටත් විජිත දේශපාලනයේ ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයන්ගේ ඉලක්ක කේනද්‍රගතවූයේ මෙකී බල කේන්ද්‍රයන් අරමුණු කරගෙනය. ආණ්ඩු මාරු වී ඇති කාලයන් හා අවකෘශයන් අධ්‍යයනය කිරීමේ දී බලය මාරු කිරීම සඳහා ක්‍රියා කර ඇති ආකාරය ද, බලය වෙනත් ආකාරයකින් අල්ලා ගැනීම පිණිස විප්ලවීය අර්ථයෙන් ක්‍රියා කොට අසාර්ථක වූ සිනාරියෝ අපට ඉතිහාසය පුරා දැකිය හැකිය.අතීතයේ සිදු වූ සිනාරියෝ පසෙක තබමින් අනාගතය පිළිබඳව දේශපාලනික වශයෙන් සිනාරියෝ වර්ග දෙකක් යටතේ තේරුම් ගත හැකිය.

    විය හැකි සිනාරියෝ
    විය යුතු සිනාරියෝ
    විය හැකි සිනාරියෝ
    පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත. එය විය හැකි සිනාරියෝවක් වනු ඇති අතර එය විවිධ හැඩයන් මෙන්ම චලනයේ වෙනස් කම්වලට භාජනය වීමට නියමිත විය හැකිය. මෙම වෙනස් වීම්වල ඇති අසන්තතීන් පරීක්ෂා කළහොත් රාජපක්ෂ බල ව්‍යුහය පදනම් කර ගත් සිනාරියෝ පහත පරිදි න්‍යයගත කළ හැකිය.

    සිනාරියෝ ගොඩ නැංවීම- Scenario Building No 1
    රාජපක්ෂ සිනාරියෝව-Rajapaksha Scenario
    කාලය 2013- 2020
    පියවර 1
    කේන්ද්‍රීය කාරණා හඳුනාගැනීම (සිනාරියෝ සඳහා පසුතලය සැකසීම)

    ලංකා දේශපාලනයේ අනාගතය සඳහා වන පසුතලය ගොඩනැංවීමේ දී ප්‍රශ්නාවලියකින් ප්‍රවිෂ්ටව ප්‍රධාන කාරණාවලට අවතීර්නය විය හැකිය.

    ප්‍රශ්න

    ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විහ හැක්කේ කවරෙක් ද
    ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද
    ඇති විය හැකි ප්‍රතිවිරෝදතා කෙබඳු වේද
    සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද
    පියවර 2- ප්‍රධාන කාරණා හඳුනාගැනීම හා විෂ්ලේෂණය
    ඉහත ප්‍රශ්නවලට පිළිතුරු රාජපක්ෂ බල කේද්‍රය තුල ස්ථානගත කළ හොත් මේ සඳහා ප්‍රධාන සහ උප ප්‍රධාන සිනාරියෝ ගොඩ නැගිය හැකිය.

    ඊ ලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විය හැක්කේ කවරෙක් ද

    ඒ අනුව පළමු ප්‍රශ්නයේ ප්‍රධාන පිළිතුර වන්නේ ඉදිරි කාලය සඳහා මහින්ද රාජපක්ෂ නම් වන වර්තමාන ජනාධිපතිවරයාම රටෙහි නායකයා වනු ඇති බවය.ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය පසුලතය සැකසෙන විට අභ්‍යන්තරිකව උප සිනාරියෝ ගණනාවක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි වුව ද එම සිනාරියෝ නැවත තමා සතු කර ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය රාජපක්ෂ වටාම ගොඩ නැගෙනුයේ ඒ සඳහා විකල්ප බලවත් ශක්‍යතාවයකින් වෙනත් දිශාවකට ගමන් කිරීමට නොහැකි කම නිසාය.

    ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද

    ඒ අනුව ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය වනු ඇත්තේ ෆ්‍රට් සැලට් කැඳ හැලියකි. එහි ඇති ගුණය වන්නේ ෆ්‍රට් සැලට් අඩංගු වීමය. නමුත් එය කැඳ හැලියකි. ආණ්ඩුවේ සංයුතිය තවත් ප්‍රසාරණය වීමෙන් යම් කේවල් කිරීමේ හෝ බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති කොටස්වල බලය තව තවත් තනුක කරනු ඇත.එය සිදු වන්නේ පිටත සිටින, එනම් විපක්ෂයේ ඊනියා විකල්ප පිරිස් හා විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් අවසානයේ රාජපක්ෂ හා එකතු වීමෙනි. සජිත් ප්‍රෙමදාස හා ඔහුගේ අනුගාමික කොටස් වන ශිරාල් ලක්තිලක වැනි ඊනියා ලිබරල් වාදීන් මෙම අවසාන නිමේෂයේ රාජපක්ෂට සහයෝලය දෙනු ඇත. කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂයේ තත් කාලීන භූමිකාව ද විමල් වීර වංශ, චම්පික රණවක වැන්නන්ගේ කට හඬට හෙම්බිරිස්සාව වැළදෙනු ඇතත්, දෘෂිටිවාදයෙන් ශක්කි සම්පන්න චම්පික වැන්නෙක් කුමන්ත්‍රණකාරී ලෙස හැසීරීමෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ ඇත.

    ඇතිවිය හැකි ප්‍රතිවිරෝධතා

    ගණන් කළ නොහැකි තරමේ ප්‍රතිවිරෝදතාවන් ගොඩ නැගිය හැකි අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ඇත්තේ රාජපක්ෂ පවුලේ පිරිස් අතරය. ඉන් ප්‍රමුක වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශ්‍රාමයෙන් අනතුරුව සිහසුන තම පුත්‍රයාට උරුම කිරීමට කරන ප්‍රායෝගික දේශපාලනික හා සමාජීය ක්‍රියාවලිය තුලය. පළමු ප්‍රතිවිරෝධය එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂ වටා ගොඩ නංවන සුපිරි සිංහල බෞද්ධ බලවේගය ප්‍රමුක කර ගත් පිරිස්ය. මේ සඳහා චම්පික රණවක උපක්‍රමිකව විශාල කාරයයක් කරනු ඇත්තේ, ජාත්‍යන්තරව වර්ධනය වන මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පීඩනය හා තින්දු තීරණ උපකාර කරගනිමින් සිංහල ජාතියේ නියම ගැලවුම් කරු ගෝඨාභය රාජපක්ෂ බවට සුජාතකරණය කරමිනි. විමල් වීරවංශ ද එම පිලට පැනීමට බොහෝ ශඛ්‍යතාවක් ඇති නමුත් ඔහුගේ දූෂණ හා ක්ෂය වන ජනප්‍රියත්වය විසින් කිසිවකුට අත්‍යවශ්‍ය නොවනු ඇත. එ බැවින් ඔහු රාජපක්ෂ පරපුර පවත්වාගෙන යෑමට දිවිහිමියෙන් කටයුතු කරනු ඇත.

    බැසිල් රාජපක්ෂ රටේ නායකයා වීමේ සිහින සිනාරියෝවක් ගොඩ නගනු ඇතත් එහි ශඛ්‍යතාව අල්ප වනු ඇත්තේ ඕනෑම විටෙක ඔහුව පාලනය කළ හැකි පරිදි තබා ගැනීමට උපදෙස් සැපයීම තමා තුලම සිටින ධම්ම දිසානායක වැන්නන් නාමල් රාජපක්ෂට සහයෝගය දැක්වීමෙනි. මතු වීමට තැත්කරන ඕනෑම අවස්ථාවක ඔහුව අදෘශ්‍ය ලෙස මෙහෙය වීම සඳහා ඩලස් වැනි මාධ්‍ය චැනලයන් යොදාගනු ඇත. කෙසේ වෙතත් පවුල තුල ගොඩ නැගෙන ප්‍රතිවිරෝදතාව තීව්‍ර වනු ඇත්තේ රාජ පක්ෂටම වාසි ගෙනදෙන අයුරින් නිසා, ඇති වන කුමණ්ත්‍රණවලින් මැක්බත් නාටකයේ සවරුපයක් අත්කර නොගනු ඇත. මන්ද රාජපක්ෂ ලේ ඥාතිත්වය රාජ්‍ය හා ජනතාවට වඩා ඝණකම් බැවිනි.

    ඉතිරි උප සිනාරියෝ විපක්ෂය හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධාන හා ගැට ගැසුනද පලක් අත්නොවනු ඇත. ( මේ සියල්ල පවත්නා තත්තවය අනුව විපක්ෂයේ හා සෙසු කොටස් (විචල්‍ය ) වෙනස් නොවන ලෙස සලකමින් හා ජනතාව වෙනස් වුවද ඔවුන්ව සුසමාදර්ශී වෙනසකට සූදානම් නොවන බැවින් මෙම මෙසේ සිදු විය හැකිය)

    සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද

    දෙමාපියන්ට අනුව දරුවන් හැඩ ගැසෙන්නාක් මෙන් රටේ නායකයාට හා ඔහුගේ භාවිතාවට අනුව සමාජය නිර්මාණය වීම මේ වන විටත් සිදුවනු ඇති බැවින් පීඩනය යන්න මහගමසේකරගේ කවියක් වනු ඇත. එනම් “දුක ඇතුලේ තියෙන සතුට දුක් විඳලම ඉගෙන ගන්න” යන්න තුල ජනතාව එහි යථාර්ථයක් වනු ඇත. වංචාවට දූෂණයට අනුවර්තනය වූ ජනයා ද අඩු වැඩි වශයෙන් එහි ශුද්‍ර කොටස් කරුවන් බවට පත් වී, ඒ පිළිබඳ පාර්ලීමේන්තුවේ රූපවාහිනියේ බණ කියන අනුර දිසානායක වැන්නන්ට සිනාසෙනු ඇත. එය නාට්‍යාකාරව නරඹනු ඇත. සමාජය අපූරු පන්නයේ සිහිනය වෙනුවට බොරුව කරපින්නාගත් ක්‍රමයකට හැඩ ගැසෙන විට සිහිනයක් සහිත දේශපාලන න්‍යායන්ට හා කැපවීම්වලට මෙම දෙයාකාර අසන්තතින් හඳුනා ගත්ත ද ජනයා මුදා ගැනීම නැමැති මෙහෙයුම්වලින් හෙම්බත්වනු ඇත. අධ්‍යාපනයේ සිටම බොරුව ක්‍රමයක්(System) බවට පත්වීම නිසා අගයයන් (Values)හා ධර්මතා (Norms)ද, බෞද්ධාගම ද යොහෝවාගේ ආගමක් හෝ එසේත් නැතිනම්, සිංලයා බේරා ගැනීම යන මිථ්‍යා අභිමතාර්ථයෙන් සිංහල ජනයා තව තවත් ප්‍රපාතයටම හෙලීමට ලක් වන ජන වර්ගයක් වීම නොවැල්විය හැකි ආරම්භයක් වනු ඇත.

    විපක්ෂයේ විය හැකි සිනාරියෝව ඊ ලඟ කොටසට

    උපුටා ගැනීම: Urumaya Lanka

    උදය ආර්.තෙන්කෝන්

  • රටම අවුළන තෙල් – සතර අත විරෝධතා

    රටම අවුළන තෙල් – සතර අත විරෝධතා

    රටම අවුළන තෙල් – සතර අත විරෝධතා

    ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතාව පැවැත්වෙමින් ඇති අතර මේ විට රඹුක්කන ටයර් පිලිස්සීම හේතුවෙන් රඹුක්කන සිට කෑගල්ල, මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලට ගමන් ගන්නා මාර්ග අවහිර කර ඇත.

    තවද ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මහනුවරින් සහ අලුත්ගමින් ධාවනය වන සියලු බස් රථ ධාවනයෙන් ඉවත්වී ඇත.

    බස් ධාවනයෙන් ඉවත්ව මේ වන විට ඔවුන් සිය විරෝධය පළ කරමින් සිටිති.

  • මාවත් දෙකක්,  ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්

    මාවත් දෙකක්, ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්

    අපේ පරම්පරාව, ඒ කියන්නේ යටත් විජිත පාලනයේන් පස්සේ ඉන්න දෙවැනි කණ්ඩායම. තවත් විදිහකට කිව්වොත්, 1971 අරගලයෙන් පස්සේ ඉන්න කොටස. අපිට කලින් පරම්පරාව කියන්නේ මේ රටේ සමාජ දේශපාලන වෙනසක් සඳහා අරගලයක් කරපු පරම්පරාව. මේ පරම්පරා දෙකම හොඳටම ඩැමේජ් වුණු කට්ටිය. මේ අයට හොඳටම තුවාල ඇති වෙලා එක එක කාලවලදී පැරී පැරී වේදනාවට ලක් වුණු අය. තවමත් ඒ තුවාල සුව කර ගන්න බැරි වුණ අය. එක පැත්තකින් මේ අපි හැමෝම දේශපාලන හා සමාජ තුවාල විසින් ඇති කරන ලද ක්ෂතියකින් පෙලෙන අය. මේක නිසා තමයි මේ වගේ අරගලයකට එකතු වෙන්න අමාරු වෙන්නේ. පුලුල් නායකත්වයක් දෙන්න බැරි වෙලා තියෙන්නේ. කොහොම ඇතුල් උණත් කොහේ හරි ඔළුව වදිනවා. එත් මේ අය තවමත් ඒ තුවාල තියාගෙනම තවත් ජීවත් වෙන්නේ අරගලය කියන වචනයට අර්ථයක් හොයාගෙන. මේ පරම්පරා දෙක හරහා ඉපදුනු තුන් වැනි පරම්පරාව අද එම අරගලය අතට අරං. මේ දෙකටම වඩා වෙනස් වෙන්නෙත්, ලස්සන වෙන්නෙත් ඒක නිසයි. මේ තුන්වැනි පරම්පරාව ගැන වෙනම කතා කළ යුතු උණත් මෙතැනදී මේ අරගලයට හැරුණොත්, කියන්න තියෙන්නේ, හොඳ වැඩ්ඩෝ ගොඩක් ඉන්නවා. පට්ට නිර්මාණාත්මකයි. හැබැයි ඒක හැදිලා තියෙන්නේ මේ ඩිජිටල් ආකෘතිය ඒකට උදව්කරගෙන. මම අර මුලින් කිව්ව පරම්පාරා දෙකම ඇනලොග්. ඇනලොග් ඔළුවලිනුත් ඩිජිටල් වැඩ කරපු පරම්පරාවක් තමයි එදා, ඒ කලායට අනුව. මේ වැඩ දෙපැත්තටම අදාලයි. හොඳ විතරක් නෙවෙයි නරකත්, ඒ විතරක් නෙවෙයි කැතැත්. මේ තුනම ඇතුළත්. (trainary oppositions). එම නිසා අපි තුන් ගොල්ලෝ කාලයෙන් හා අවස්ථාවෙන් වෙනස් උණත් පරමාර්ථ වශයෙන් අරගලය තුල සමානයෝ. මොකද අපි කාටවත් අපි ප්‍රාර්ථනා කරපු යහපත් ලෝකය ලැබිලා නැති නිසා.

    එදා අසාධාරණයට විරුද්ධව, සමානාත්මතාව ඉල්ලා , ජාතිවාදයට, වර්ගවාදයට විරුද්ධව නැගී හිටපු මිනිස්සුන්ගේ හඬ අද අපේ තුන් වැනි පරම්පරාවෙන් ප්‍රකාශ වෙනවා. ජාතිවාදය මාකට් කරන වුන්ට කර කියා ගන්න බැරි කරලා තියෙනවා. ඔවුන්ට හැකි වෙලා තියෙනවා අපි ඔක්කෝම එකම මිනිස්සු කියලා පෙන්නන්න. ඒකම ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒක ආර්ථික කාරණේ දී විතරක් විය යුතු නෑ. ඒත් අපට තවම නො හැකි වී ඇති දේ තමයි, යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට කර ගැනීම. ඒක එක දවසක වැඩක් නෙවෙයි. එක මිහිහෙකුගෙ වැඩකුත් නෙවෙයි. හැබැයි දැන් ඒකට පොට පැදිලා තියෙන්නේ. පාර විවෘත වෙලා තියෙන්නේ. දැන් තමයි වැඩේ තියෙන්නේ. වැඩේ ඇදගෙන යන එක. වැඩේ දවසින් දවස ට්‍රාන්ස්ෆෝම්( විපරිවර්තනය) කරන එක. ඒක හරියට ඩිසයින් කරන්න ඕනැ. ඒකට නායකත්වයක් ඕනෑ. නායකත්වය කිව්වම, එක පුද්ගලයෙක් හෝ එක සංවිධානයක් කියන එක නෙමෙයි. හැබැයි යූනියන් (ඒකත්වයක්) එකක් තිබිය යුතුයි. ඒක විවිධත්වයට යටත් විය යුතුයි. පරමාර්ථය සහ ක්‍රියාමාර්ග යුක්තිය සහ සමානත්වය (Justice and Equity) යන දෙකෙන් සහ සම්බන්ධ විය යුතුයි.

    රාජපක්ෂලා එලවලා දාන එක අංක එකෙන් පහළට ගත යුතු නෑ. මොනම විදිහකින් වත් ඔවුන්ට කිසි සමාවක් ලැබිය යුතු නෑ. ඒ පියවරට ගමන් කරන්නේ කොහොමද කියන එක උද්ඝෝණයෙන් එහාට යන්න ඕනෑ. මුලින්ම මේ අරගලය පැන නගින්න හේතූ භූත වුණ දේවල් බලනකොට අවබෝධ කර ගන්න තියෙන්නේ මේක බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් කියන එක. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් කියන එක. රාජපක්ෂලා හරි විදිහට එලවලා, ඒ කියන්නේ අත්අඩංගුවට අරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය නීතිය සම්පාදනය කර ගෙන ඒක ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට හෝ කරවීමට වග බලා ගැනීම මේ අරගලයේ කළ යුතු වැඩවලින් අංක එකේ වැඩක්. මේක කරන්න වෙනවා නම් වෙන්නේ විධි දෙකකින්.

    එකක් වන්නේ, ජනතාව විසින් බලය අල්ලා ගැනීම.

    එහෙම වෙනවා නම් පාර්ලීමේන්තුව සහ ඔය කියන ඔළු අදාල නැහැ.

    ගෝටා ගෝ හෝම් (Gota Go Home) කියන එකේ අවසාන බලාපොරොත්තුව ඒක බව පෙනෙන මහ හඬකුත් ඇහෙනවා. හැබැයි. ඒ හඬ සංවිධානාත්මක බවක් අරගලය තුල පෙනෙන්න නෑ. නමුත් ඒක එහෙම වෙන්න පුලුවන්. ඒකත් මේක ඇතුලෙනම නිර්මාණය කළ යුතු දෙයක්. ඒ දෙසට ගමන් කළ යුතුයි. ඒක තමයි කරන්න පුළුවන් නම් හොඳම එක. ඒකට තමයි නායකත්වයක් ඕනෑ කරන්නේ.

    මේ අරගලයේ ගෝටා ගෝ හෝම් කියන දිශාවේ දෙවැනි විසඳුම වන්නේ රාජ්‍ය ගොඩ නැගීමට පවතින තත්ත්වයට ප්‍රතිසංස්කරණයක් ගෙන ඒමට මේ සටන මෙහෙයවන එක. ඒ මාර්ගයේ ගියොත් රාජපක්ෂලා එලවලා මේ එපා කියන පාර්ලීමේන්තුව කනපිට හැරවීම. ඒකට යන්න වෙන්නේ මේ ව්‍යවස්ථාදායකය ඇතුලෙන්. ඒක ඇතුළට ගහින් රුඩිකල්කරණයකට නීති ලක් කළ යුතු වෙන අතර තුර ඊට අරගලයම මේ හඬම තියා ගන්න වෙනවා. ජනතාව සංවරණ තුලණය බාර ගත යුතුයි. එතකොට ඔය 225 පිළිබඳ අදහස වෙනස් කරන්න පුලුවන් ද කියන එක බලන්න පුළුවන්.

    මිනිස්සුන්ගේ පීඩාව නිවීමට වග බලා ගැනීමට රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමත්, ඊට අදාල ජාතික හා ජාත්‍යන්තර සහය ගන්න එක අලුත් විදිහකට කරන්න බලන එක මේ මාර්ගයේ තියෙන ප්‍රධාන වැඩක්.

    මේ මාර්ග දෙකෙන් යථාර්ථවාදී, සහ පොළොවේ උවමනාව පෙනෙන්නට ඇත්තේ දෙවැනි මාර්ගය. ඒ කියන්නේ ප්‍රතිසංස්කරණමය විපරිවර්තනයකට (Reform and Transformation) ගමන් කරන එක. ඒක මේ අරගල බිමේ බහුතරයකගේ අභිලාෂය වුණත්, ඒ අභිලාෂයේ ප්‍රකාශනය තුල තිබෙන්නේ පළමු කාරණය එනම් පාර්ලීමේන්තුවෙන් එලියේ බලය ලබා ගැනීම. ඒකට හේතුව අද දකින නියෝජනය වියෝජනය වී තිබීම.

    මගේ වැටහීම නිවැරදි නම්, වාස්තවික හා මනෝ මූලික යථාර්ථයන් දෙක අතර අසමපාතබවක් ඇති වී තිබීම විසින්ම මේ අරගලයේ දිශාව අපහැදිලි කර තිබෙනවා. ඒ කියන්නේ මනෝමූලිකත්වය පාර්ලීමේන්තුවෙන් එලියේ බලයක් නිර්මාණය කිරීම වුවත්, වාස්තවික තත්ත්වය ඇත්තේ මේ පවතින ක්‍රමය තුල ම වෙනසක් කිරීමයි. මේ ක්‍රියා මාර්ග දෙකෙන් මොකක් කරන්න ගියත් මේ අපහැදිලිකමට කණ්ණාඩියක් දමා ගනීම හැකි ඉක්මනින් කළ යුතු යි.

    අරගලයක් ගොඩාක් කල් ඇදෙන්න දීම කියන්නෙම බටහිර නව ලිබරල් ආකෘතියේ තිබෙන ගැටුම් නිරාකරණ න්‍යායන්ගේ එක ලක්ෂණයක්. ඒවා රාජපක්ෂලාට මහවුෂධ කම් කරන අය නො දන්නවා නෙවෙයි. එහෙම ඇදෙන ගැටුම් නිරාකරණය වෙන්නේ සුභවාදී විදිහට නෙවෙයි. ඒක නිසා මේ අරගල එක තැන එක විදිහට ඇදෙන්න දෙන්න නරකයි. ලෝකයේ හැම තැනම පැන නැගපු ජනතාවාදී නැගිටීම් අසාර්ථක කරන්න භාවිත කරපු එක උපක්‍රමයක් තමයි, එයට ඔහේ යන්න දෙන එක. එක තුල ප්‍රතිවිරෝධතා ඇති කරන්නටත්, ක්‍රමන්ත්‍රණ කරන්නටත්, බෙදා වෙන් කිරීමටත් අවස්ථාව යොදා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ දී, රාජපක්ෂලාගේ හැකියාව අඩු තක්සේරු කළ යුතු නෑ. එ්ක අවබෝධ කර ගත්තොත් අරගලය දිග් ගැදස්සේන්නේ නම්, එය ඩ්‍රැමටයිස් (dramtize) කර ගන්න එකත් වැඩක්. ඒකටයි නායකත්වය, ශික්ෂණය හා දර්ශනය අවශ්‍ය වෙන්නේ. දැනුම හා භාවිතාව ටෙස්ට් කරන්න වෙන්නේ.

    අපි ටෙස්ට් කරමු. වැරදිලා වැරදිලා කෙලවාගත්තත්, විදුලිය හොයා ගත්ත තොමස් අල්නා එඩ්සන් උනත් එමෙයි. කෙලවාගෙනයි වැඩේ අල්ලාගත්තේ. ඒ නිසා දෙකම උරුමයි. මේදා නම් කෙලවෙන්න ඕන 74ක පවුල් පාලනයටයි.

    තවත් පිටුවකින් නැවතත්

    ජය

    උදය ආර්. තෙන්නකෝන්

    ගෝඨා ගෝ හෝම් (Gota Go Home)අරගලයට දර්ශනයක් හා දිශාවක් තිබේ ද?

    ලංකාවේ අරගලය අමෙරිකාවේ ද ඉන්දියාවේ ද

    මාවත් දෙකක්, ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්

  • විනෝදයක්, කානිවල් එකක් කියා බණින අරගල බිම 

    විනෝදයක්, කානිවල් එකක් කියා බණින අරගල බිම 

    ස්ථිර අරගල බිමක් නිර්මාණය කරගෙන මුළු රටකම මිනිසුන් තමන්ට හැකි පමණ, හැකි විට ඇවිදින්, අරගලයට දායකත්වය සපයන රටක් වේ නම් එය ඉතිහාසයට එක් කළේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ය. දැවැන්ත  අරගල කරමින් ජයග්‍රහන ලබාගත් ඉතිහාසයක් ලෝකයට හිමිව තිබෙනවා. එහෙත් අරගලය වෙනුවෙන් ස්ථානයක් තෝරා ගෙන අරගලයට අවශ්‍ය කරන සාධනීය දේ එක්රැස් කරමින්, එය වැඩි දියුණු කරමින්, සටන්කාමිත්වය දිනෙන් දින හීන කරගන්නේ නැතිව එය ජීවිතයේ අඩුපාඩුකම් පවා මගහරවා ගනිමින් අධ්‍යාපනය ලබමින්, විනෝද වෙමින්, අනෙකාට ගරු කරමින්, අනෙකාට තමන්ගේ විශ්වාසය තහවුරු කරමින්, එකට සිටි තැනක් වේ නම් ඒ ලෝකයටම එකක් වූ ලංකාවේ ගෝඨාගෝගම සටන් බිමයි.

    මෙබිම බොහෝ අපූරු මිනිසුන් හමු විය. සංවර්ධනය කරන්නට බොහෝ මිනිසුන් තමන්ගේ දැනුම ඥාණය ශක්තිය යෙදවීය සටන් බිම ගැන මහාචාර්ය උයන්ගොඩගෙ විග්‍රහය!

  • ගෝල්ෆේස් සටනෙහි, රාජ්‍ය මංකොල්ලකාරීත්වය පෙනේ රාජ්‍ය අපාරාධකාරීත්වය කෝ ?

    ගෝල්ෆේස් සටනෙහි, රාජ්‍ය මංකොල්ලකාරීත්වය පෙනේ රාජ්‍ය අපාරාධකාරීත්වය කෝ ?

    වත්මන් මහජන නැගීටීම අවසන් විය යුත්තේ කෙසේ දැයි යෝජනා කරන ‘සටන් පුවරුවකට’ අදාලව (මෙහි වන) ට්වීට්ටුව්ස්කට, අද උදේ මම ප්‍රතිචාර දැක්වීමි. මා කීවේ, මේකී විගණනයට’ රාජ්‍ය අපරාධකාරීත්වය ඇතුළත් ද යන්න යි.
    ‘ගෝල් ෆේස් ග්‍රීන්’ ෆුල් ෆේස් සටනෙහි සටන්කාමී ‘සතුට’ හා ‘ප්‍රමෝදය’ රැක ගන්නට ‘හොරා හොරා ගෝඨා හොරා’ වැනි හෝ මවිසින්ම ලියැවුණු ‘පල්හොරුනි, පල්හොරුනි’ වැනි රාජ්‍ය මංකොල්ලකාරීත්වයට අදාල සටන් පාඨ ඉවහල් විය හැකි වුවත් සටනෙහි ‘අනුරාගය’ පිණිස නම් රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ සටන් පාඨ අතට ගත යුතු ය.

    මීනි මෝරු – ඇති කෙරුවා
    උන්ට කන්න – මිනි මැරුවා
    ඇමෙරිකානු – රණවිරුවා
    ඉන්දු සයුරු – රතු කෙරුවා

    නමුත් මෙවන් සටන් පාඨ ‘ගෝල් ෆේස් ග්‍රීන්’ සටන් බිමේ ඇසෙන්නේ නැත. ඒ වෙනුවට රණවිරුවන්ට මල් පුදයි. පොලීසියට තේ බෙදයි.
    ඉතිහාසය පුරා රාජ්‍යය මර්දනයේ ‘උපරකරණය’ ලෙස සිටි ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගෝඨභයගෙන් පසුව නිශ්චිතවම රාජ්‍ය පාලනයේ පංගුකාරයන් කර ගැනුණි.

    මංකොල්ලකාරීත්වය සේම දීර්ඝ අපරාධ ලැයිස්තුවක් ‘ගෝල් ෆෙස්’ සටන් බිමෙහි දක්නට නො ලැබිම අතිශය දේශපාලනික ප්‍රවේශයක් බව පෙනේ. එහි ලීවරය සොයා පහදා ගැනීම මෙම මහජන සටනට අදාල වැදගත් සහ තීරණාත්මක කාරණාවන් බව අවධාරණය කළ යුතු ය.

    පක්ෂ දේශපාලනය ගෝල්ෆේස් සටන් බිමට වැද්ද නොගත යුතුයි යැයි කියන ‘සටන් තාරුණ්‍යයේ’ සටන් පාඨය නිර්මාණය වීම ස්වයං සිද්ධ නැත. එහි පසුබිමෙහි අතිශය බරපතල ‘සිංහල ජාතිකවාදී’ දේශපාලනයක් තිබේ.  දින කිහිපයක් එය මතුපිටට ඒම අල්ලාගෙන ඉන්නට ගෝල්ෆේස් සටන් බිමට හැකි වුවද ඉන් ඉක්බිති ක්‍රමයෙන් එය නිරාවරණය වන්නට විය.

    ‘’පව් සමාකරගැනීමේ කලාකාර පෝලිම්’ ඇති විය.

    ජාතික කොඩියේ සිංහයා අධිනිෂ්චය විය.

    සටන් ගී වෙනුවට ‘සිංහල’ ජාතික ගීය අධිනිෂ්චය විය.
    සිංහල දේශානුරාගී හා ජාත්‍යානුරාගී ගී ළෙලදෙන්නට විය. මෙවන් ගී ගයනා අතරතුර ප්‍රිතියන් නටන පිරිස් මතුවිය.

    නන්දාගේ ‘තුන්හෙලේ කැලෑතුළ සිංහ පැටව්’ සාමුහිකව ගැයුණි.

    වික්ටර් භෞතිකවම ගෝල් ෆේස්’ සටන් බිමට පැමිණ ‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලටම නෑදෑයෝ’ කියන විට ඊට අත්වැල් අල්ලන්නේ ‘ශ්‍රී ලංකික ජාතියක්’ වෙනුවෙන් පෙනී සිටිමින් ගෝඨා ඇතුළු රාජපක්ෂ පරපුර පරසක්වල ගසන සටන් කාමීන් සහ සටන් කාමිනියන්ම වීම  තුළ ඇති විසංවාදය සටන් බිම තේරුම් ගත යුතු ය. හිතවත් ‘දෙමළ’ කිහිපදෙනෙකු හැර පොදුවේ දෙමළ ජන නියෝජනයක් ‘’ගෝල් ෆේස්’ සටනේ පෙනෙන්නට නැත. දෙමළ ජනතාවට ගෝඨාභය ඇතුළු රාජ්‍යට අදාල සටන් පාඨ ‘මංකොල්ලකාරීත්වය’ට පමණක් ඌණනක කරන්නට බැරි ය. මුස්ලිම් ප්‍රජාව කොහොමත්, සිංහ කොඩිය වන්නට කී විට එය කරන, කැවුම් කොකිස් බෙදන්ට කී විට ඒවා බෙදන අවනතකාමී ප්‍රජාවකි. නමුත් ඔවුන් සටන තුළ රඳවා ගැනීම ඔවුන් කෙරෙම් ම මතු විය හැකි සටන් පාඨ වලට ගෝල් ෆේස් සටන් බිමේ ඉඩක් තිබේ ද?

    ගෝල් ෆේස් පිට්ටනිය කිරිඋතුරවා, කිරිබත් කා, රබන් ගසා අවුරුදු සැමරූ, එමෙන්ම සටනේ සිටින අප මිත්‍රවරු මිත්‍රවරියන් පැවසූ ලෙස ‘යාපනයෙන් ගෝල්ෆේස් නෑ ගම් ආ’ සිංහල – හින්දු අලුත් අවුරුද්ද දවසට, උතුරේ දෙමළ මාතාවන් තමන්ගේ දරුවන්ට යුක්තිය ඉල්ලා කරන අඛන්ඩ අරගලයට දින 1881කි.  සතියක් ඉක්මවීමෙන් උත්කර්ෂයට පත්වී සිටින ‘සටන්කාමි’ ‘නිදහස්කාමී’ තරුණ තරුණියනි, මේ රටේම අධිෂ්ඨනශීලි ධෛර්ය සම්පන්න නිර්භීත දෙමළ මාතාවන්ගෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝ ය. මෙකී ‘මාතා සටන’ අත්හැර ඔබ පතන උස් නිදහස ‘සිංහල’ සටන් පාඨයක් පමණක් බව අතිශය සහෝදරත්වයෙන් අවධාරණය කරමි.

    රාජ්‍ය අපරාධකාරීතවයේ මැත කාලීන ප්‍රකට උදාහරණ කිහිපයක් පහතින් දක්වමි. මට මඟ හැරුණු  සහ අප්‍රකට සිදුවීම් තිබේ නම් පහතින් කොමෙන්ට් කිරීමට ඔබට හැකි ය.

    සිවරාම්
    රොෂෙන් චානක
    ලසන්ත
    නඩේසන්
    එක්නැලිගොඩ
    කීත් නොයාර් – පෝද්දල
    ත්‍රීමලේ ශිෂ්‍යයින් සහ සුගීර්තරාජන්
    සිරස-උදයන්-සියත- ජාතික රූපවාහිනිය
    ශ්‍රී පති
    යුද අපරාධ
    ඉසෙප්‍රියා
    බාලචන්ච්‍රන්
    සුදු කොඩි ඝාතන
    2009 බාර වූ සටන්කාමීන් අතුරුදහන් කිරීම
    තිසෛනායගම්, ජසීහරන් හා වලර්මදී
    ලලිත් හා කූගන්
    මාතලං හා ටොක්කා
    කොළඹ සුදුවෑන්
    තාජුඩීන්
    මහර – වැලිකඩ
    හලාවත ඇන්තනි – ජේසුමරියා
    රතුපස්වල
    විද්‍යාදරන්
    කුගනාදන්
    යාපනය සරසවියේ නඩරා ගජන් හා විජයකුමාර්
    පාස්කු දින ප්‍රහාරය
    අඟලානෙ අමිත්
    ආයුද පෙන්නන්නට ගිය පාතල චණ්ඩි
    ශක්තික
    වෛද්‍ය සාෆි
    කෝගුලදාසන්
    අහ්නාෆ් ජසීම්
    හිජාස් හිස්බුල්ලා

  • දේශපාලන තක්කඩියන්ගේ අවසාන නවාතැන්පොළත් විසකුරු ජාතිවාදයම ය.

    දේශපාලන තක්කඩියන්ගේ අවසාන නවාතැන්පොළත් විසකුරු ජාතිවාදයම ය.

    2005න් ඇරැඹි රාජපක්ෂ යුගයේ රාජ්‍ය දෘෂ්ටිවාදය අනෙකක් නොව ජාතිවාදය හා ආගම් වාදයයි.

    2009 කූටප්‍රාප්තිය සටහන් වී, එහෙත් රාජ්‍ය බලය රැකගැනීම උදෙසා එතැනින් අවසානය සලකුණු කරන්නට ඉඩනොදී බලෙන්, වැරවෑයමෙන් හා රැවටීමෙන් ඇදගෙන ආ මේ අදහස් පද්ධතිය තීරණාත්මක පරාජයකට මුහුණපෑවේ 2015 ඊනියා ‘යහපාලනයේ’ ජයග්‍රහණයත් සමගිනි.
    එහෙත් ඒ පාලන තන්ත්‍රයේ නොහැකියාව හා කුමන්ත්‍රණකාරී ඩීල් දේශපාලන පිළිවෙත විසින් 2019 වනවිට ඒ පරාජිත අදහස් පද්ධතියට යළි නැගීසිටීමට පාරකපන ලද්දේ ය.

    එනමුදු එය ස්වයං සිද්ධ නැගීසිටීමක් නොව බලහුවමාරුවක් සඳහා හිතා මතා සැලසුම් කළ බව පැහැදිළිව පෙනෙන පාස්කු ප්‍රහාරයේ අලුමතින් කළ බලහත්කාර නැගිට්ටවාගැනීමකි‍.

    මේ බක්මහේ සටහන් වෙමින් යන්නේ එසේ බලෙන් මිනීවලෙන් නැගිට්ටවාගත් සිංහල බෞද්ධ ජාතිවාදී – ආගම්වාදී රාජ්‍ය පාලක දෘෂ්ටිවාදයේ තීරණාත්මක පරාජය මිස අනෙකක් නොවේ.

    මේ අරගලය රාජපක්ෂවරුන් ගෙදර යවමින් අවසන් වුවත්, දේශපාලන පාවාදීම් හා කුරිරු ලේ වැගිරීම් ඔස්සේ රාජපක්ෂවරුන් ම තවත් යම් කලකට පාලනය තුළ තහවුරු කරමින් අවසන් වුවත්, රාජ්‍ය පාලනයේ දෘෂ්ටිවාදය ලෙස සිංහල බෞද්ධ ජාතිවාදී – ආගම්වාදී අදහස් පද්ධතියට ඇති වලංගුතාව තවදුරටත් නොපවතිනු ඇත.

    තමන් බැලමෙහෙවර කර ජීවිකාව සරිකරගත් දේශපාලන කඳවුරට එරෙහි දැවැන්ත ජනතා විරෝධයේ හා අරගලයේ ශක්තිය හමුවේ වියරු වැටුණු මහින්ද පතිරණ නම් මේ විසකුරු පුද්ගලගයා අවසාන වතාවටත් වියරුවෙන් මෙන් වලිකන්නේ, මෙසේ නියත පරාජයක් කරා යමින් සිටින විසකුරු ජාතිවාදී ආගම්වාදී යක්ෂයා ම ආපසු මොන අන්දමින් හෝ නැගිටුවා ගැනීමට ය.

    Mahinda Pathirana – ඔය නිහීන වැඩෙන් ඔබට ලදහැකි ජයග්‍රහණයක් තවත් ඉතිරිව නැත.
    අවම වශයෙන් තමන්ගේ බඩරස්සාව කරගන්නට, නියත පරාජයක් කරා යමින් සිටින්නාවූ ද, මේ තාක් මේ රට මහත්වූ විනාශයකට ඇදදමන ලද්දාවූ ද ජාතිවාදය අතහැර වෙනත් මොකක් හෝ වහන්තරාවක් හොයාගන්නට උත්සාහ කරන්න!

  • විචිත්‍රවත් පුරවරය ගාල්ල ජාති,ආගම් ගොඩක කැලතිල්ල

    විචිත්‍රවත් පුරවරය ගාල්ල ජාති,ආගම් ගොඩක කැලතිල්ල

    අපිත් ගියා #GoHomeGota2022 දකුණේ ගම ට
    රෑ ආව මුස්ලිම් මිනිස්සු ගොඩක් #GoHomeGota කියන්න.
    අරන් ඇවිත් නොම්බි කැඳ.බෙදාගෙන බොන ගමන් #gohomegota2022gohomegota2022 කියමින් කොටු පවුරට ඇහෙන්න කෑගැහුව කට්ටිය.

    පොඩි දරුවොත් #gohomegota කිව්වා .
    තරුණයොත් #gohomegota කිව්ව.
    තරුණියොත් #gohomegota කිව්වා .
    වයසක මිනිස්සු වයස නොබල #gohomegota කිව්ව.
    දෙමළ මිනිස්සුත් #gohomegota කිව්ව.

    කොටුපවුර බලන් හිටිය.
    #GiveOurStolenMoneyBack නොකියා #gohomegota විතරක් කිව්වනම් ගෙදර යයි කියලා කවුදෝ කෑ ගහල කිව්ව.
    ගෙදර නෙවි #gojailgota කියමු කියලා තවත් අය කිව්ව.

    උදේ හට් එක ගලවලා ආරංචියක් ආව.ආයෙත් ලෝයර්ස්ලා මැදිහත් වෙලා හට් එක ලැබිල කියලා ආරංචියක් ආව.

    රසිකා මුහන්දරමිගේ – ජායාරූපය මගේ ලොකු පුතුගෙන්!

  • පොලිස් මැරයො ගාල්ලේ දී ගෝඨගේ අණ ක්‍රියාත්මක කරයි

    පොලිස් මැරයො ගාල්ලේ දී ගෝඨගේ අණ ක්‍රියාත්මක කරයි

    අද උදෑසන ජනාධිපති රාජපක්ෂ මැරයාගේ මැර පොලිසිය පැමිණ ගාල්ලේ ගෝඨාගෝගමේ අට්ටාලය කඩා බිඳ දමා ජනතාවට ප්‍රහාරයක් එල්ල කර තිබේ.මෙම මැර ක්‍රියාවට පැමිණි පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ ඉහළින් ආ නියෝගයක් අනුව තමන් ක්‍රියාත්මක වන බවයි.

    ඊයේ රාත්‍රියේ මෙම ස්ථානයේ විශාල පිරිසක් රැඳී සිටිමින් උද්ඝෝෂණයේ නිරත වී සිටි අතර ඔවුන් අද උදෑසන විසිර ගිය පසු ආණ්ඩුවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පොලිසිය ලව්වා සිද්ධ කර තිබේ.ගෝඨාභය රාජපක්ෂ ගෙදර පළයං සටන් පථය  මුල් කරමින් දැන් රට පුරා ගෝඨාගෝ ගම් නිර්මාණය වෙමින් උද්ඝෝෂණය තීව්‍ර වෙමින් පවතින අතර මෙසේ තීව්‍ර වෙන උද්ඝෝෂණ ව්‍යාපාරය හමුවේ ගෝඨගේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර පිරිනැමීමට එකෙකු සොයා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී තිබේ.

    ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මෙවැනි මැර ප්‍රහාරයක් මැඩ පැවැත්වීමට ජනතාව ඒකරාශී වීය  යුතුව තිබෙනවා .

    මෙම මැර ප්‍රහාරයට එරෙහිව උද්ඝෝෂණයක් මේ වන විට සූදානම් වෙමින් තිබෙන අතර විශාල ජනකායක් ඒකරාශී වන බව දැනගන්නට තිබෙනවා.

    පොලීසිය විසින් ජනතාවගෙ සාමකාමි උද්ඝෝෂණයකට බාධා කිරිමට එරෙහිව සහ කූඩාරම හෝ උද්ඝෝෂණය මාර්ගයට හෝ මහජනතාවට බාධාවක් නොවන බවට නීතීඥ වරුන්ගේ කරුණු දැක්වීම පොලිසිය විසින් පිලිගැනීමෙන් අනතුරුව පොලිසිය බාරයට ගත් කූඩාරම උද්ඝෝෂකයන්ට ලබා දීමට එකග වුණා.
    එසේම පොලිසිය විසින් කිසිදු පැමිණිල්ලක් හෝ නොමැතිව කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව උද්ඝෝෂකයන් පොලිසිය ට පැමිණිල්ලක් ද ඉදිරිපත් කලා.
    උද්ඝෝෂණය පෙර පරිදිම පැවැත්වේ.

  • පේරාදෙණියේ  සිට ආදී විද්‍යාර්ථන් ගෝඨාගෝගමට 

    පේරාදෙණියේ  සිට ආදී විද්‍යාර්ථන් ගෝඨාගෝගමට 

    අරගලයට සහය දැක්වීම සඳහා අද පේරාදෙණියේ  සිට ආදී විද්‍යාර්ථන්   ගෝඨාගෝගම දක්වා පාගමණින් පැමිණෙමින් සිටී. පා ගමන  කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය අසලින් ආරම්භ වීමට නියමිතයි.