හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ පොලිස් අත්අඩංගුවට ගත් මධුසංක අධිකරණ වෛද්ය නිලධාරියකු වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්රාත්වරයා අද නියෝග කර ඇත.
ඒ මියගිය තරුණයාගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් මෙම මරණය සම්බන්ධයෙන් එම අධිකරණය හමුවට ඉදිරිපත් කළ ඇති නඩුවට මෝසමක් ගොනුකරමින් කරනු ලැබූ ඉල්ලීමක් අනුවය.
ඉෂාර හර්ෂ කුමාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංක මත්ද්රව්ය චෝදනාවක් යටතේ හෝමාගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති අතර ඔහු මරණයට පත්වූ පුද්ගලයා සමඟ එකට අත්අඩංගුවට ගත් පුද්ගලයා බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබී නැත.
මරණයට පත්වූ ඉෂාර හර්ෂ කුමාර පහරදීමක් හේතුවෙන් ඉළඇට කැඩී, බෙල්ලේ අස්ථියක් බිඳී හා මොළයට ලේ වහනය වී ඇති බැවින් ඒ සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සිවිල් සංවිධාන සහ මියගිය තරුණයාගේ ඥාතීන් විසින් අධිකරණය ඉදිරියේ මෝසමක් ගොනුකර තිබේ. එහිදී විමර්ශන ඉක්මන් කරන ලෙස නියෝග කර ඇති මහේස්ත්රාත්වරයා ඉෂාර හර්ෂ කුමාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්රකාශයක් ලබා ගන්නා ලෙසද නියෝග කර ඇත. ඉන්පසු ඔහුගේ ප්රකාශය අනුව යම්කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්ය නම් ඒ සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් වෙනසක තාරුණ්ය සංවිධානයේ සංවිධායක ලේකම් ළහිරු වීරසේකර පැවසුවේ, මෙම මියගිය තරුණයා අත්අඩංගුවට ගෙන පැය 6ක් වැනි කාලයක් ඇතුලත ඔහුට පහරදී ඝාතනය කර ඔහු සමඟ ගමන් ගත් අනෙක් පුද්ගලයා වෙනත් චෝදනාවක් එල්ල කරමින් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගතකර ඇති බවත් ඉදිරියේදී ගෙන ඒමට නියමිත PSTA සහ සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත හරහා පැය 72 වැනි දීර්ඝ රැඳවුම් නියෝග ක්රියාත්මක වුවහොත් කුමක් සිදුවෙනු ඇතිද යන්නයි. එසේම සංවිධානාත්මක අපරාධ වැළක්වීමේ පනත හරහා පොලීසියේදී ලබාදෙන කටඋත්තරයක් ඔහුට විරුද්ධව පාවිච්චි කිරීමේ හැකියාව ලබාදෙන බැවින් මෙම තත්ත්වය තවත් සංකීර්ණ වෙනු ඇති බව ඔහුගේ අදහසයි.




