ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලෙස පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලා ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කර තිබේ.
ඒ අනුව එම ඉල්ලීමක් රජය විසින් සලකා බලනු ඇති බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසා තිබේ.
“මෙම පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම්වලට අනුව මෙවැනි ඉන්ධන මිල සංශෝධනයන් සඳහා කිසිදු නෛතික බාධාවක් නොමැති” බව අමාත්‍යවරයා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා ඇත.
මේ අතර මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම නිසා වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම ඔවුන්ට අපහසු වී ඇති බව පෞද්ගලික ඉන්ධන සමාගම් රජයට දැනුම් දී ඇත.
බටහිර ආසියානු ගැටුම හේතුවෙන් මුහුදු මාර්ගවලට සිදුව ඇති බාධා නිසා ශීඝ්‍රයෙන් ඉහළ යන ඉන්ධන ගොඩබෑමේ පිරිවැය සම්බන්ධයෙන් IOC, Sinopec සහ RM Parks ඇතුළු පෞද්ගලික සමාගම් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
ලංකාවේ තෙල් බෙදාහැරීමේ ක්ෂේත්‍රය පුද්ගලීකරණය කරන අවස්ථාවේ ආණ්ඩු පාර්ශවයෙන් සහ ලිබරල් බුද්ධිමතුන් වෙතින් පැමිණි අදහස වූවේ ඒ හරහා තරඟකාරීත්වයක් නිර්මාණය වී අඩු මිලට තෙල් ලබාදිය හැකි බවයි. නමුත් අවසානයේ සිදුව ඇත්තේ සිය ලාභය තකා ජනතාව ගැන නොසිතා ඉන්ධන මිල වැඩිකිරීමයි. ඒ සඳහා නීතිමය ආවරණයක් ද ඇති බව ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පෙනේ. එම තීරණයට ආණ්ඩුවද උපරිම සහයෝගය ලබාදීමට සැදී පැහැදී සිටියි.




