Breaking News

පස්දෙනෙකු අත්අඩංගුවට ගත් තිස්ස විහාරයේ ප්‍රශ්නය

යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරීම නිසා ඊයේ ( 21) පලාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

තිස්ස රාජමහ විහාරයට අයත් සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බලකරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී දරන් ඇතුළු පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී තිබුණි.

විහාර භූමියට ඇතුළුවීම සඳහා විරෝධතාකරුවන් උත්සහ කිරීමේදී පොලිසිය එය වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හටගැනීමත් සමඟ යාපනය හින්දු පූජකවරයකු වන වේලන් සාමි ඇතුළු පස්දෙනකු පොලිසිය අත්අඩංගුවටගන ඇත.

දැනට තිස්ස විහාරය නම් ස්ථානයේ පැරණි විහාරයක් පැවති ඇති අතර 2018දී එවකට ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ විසින් නව විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තබා ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබුණු 2021 වසරේදී යුද්ධ හමුදාව පන්සල අවට දෙමළ ජනයාගේ ඉඩම් ද අත්පත් කර ගනිමින් තිස්ස විහාරය පුළුල් කර ඇති බවට එම ඉඩම් අහිමි වූ ජනතාව චෝදනා කරයි. මෙම ජනතාව පවසන්නේ කුඩා ඉඩමක පැවති මෙම පැරණි විහාරස්ථානය වෙනුවට තමන්ගේ ඉඩම්ද අල්ලාගෙන විහාරස්ථාන භූමිය පුළුල් කර ඇති බවයි.

තම භූමියේ අනවසරයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීම සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත්, එම විහාරය ඉදිකිරීම නතර නොකළ අතර, තමන්ට නිසි විසඳුමක් නොලැබුණ බව ද එම පිරිස් මාධ්‍ය වෙත පවසා තිබිණි.

ඉඩම් නිදහස් කර දෙන මෙන් ඉල්ලා 2023 වසරේ සිට සෑම පොහොය දිනයක ම ඔවුහු විහාරය අසල විරෝධතාවක ද නිරත වේ.

leave a reply