ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) අහෝසි කිරීමට දුන් පොරොන්දුව කඩකරමින් නැවත එවැනිම ආකාරයේ ත්‍රස්ත පනතක් ගෙන ඒමට සැරසේ. අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත‘ (Protection of the State from Terrorism Act – PSTA) නමින් එම පනත් කෙටුම්පත මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.
එම කෙටුම්පත යටතේ මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ (PTA) මෙන්ම, එය සංශෝධනය කිරීමට යයි පවසමින් පසුගිය රජයන් කිහිපයක් හඳුන්වා දුන් (CTA සහ ATA වැනි) මර්දනකාරී ප්‍රතිපාදන එලෙසම පවතින බව පෙනෙන්නට තිබේ.
ජාතික ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරා ත්‍රස්ත පනත්වලට විරෝධය දැක්වූ අතර, එම පනත් අහෝසි කරන බව පසුගිය මැතිවරණයේදී සිය ප්‍රතිපත්ති ප්‍රකශනය හරහා පොරොන්දු විය.
පුළුල් ත්‍රස්තවාදී අර්ථ දැක්වීම සහ විරෝධතා මර්දනය
නව පනත මගින් “ත්‍රස්තවාදය” යන්නට අතිශය පුළුල් අර්ථකථනයක් ලබා දී ඇත. විශේෂයෙන්ම “ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් රජයකට යම් ක්‍රියාවක් කිරීමට හෝ නොකර සිටීමට බල කිරීමේ” (compelling the government) චේතනාව ත්‍රස්තවාදී වරදක් ලෙස නම් කර තිබීම බරපතල තත්ත්වයකි. කෙටුම්පතේ යම් බැහැර කිරීමේ වගන්තියක් මගින් විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ත්‍රස්තවාදය නොවන බව කියා සිටියද, ඉහත කී “රජයට බල කිරීමේ චේතනාව” යන ප්‍රතිපාදනය හරහා ඕනෑම මහජන විරෝධතාවක් ත්‍රස්තවාදය ලෙස හංවඩු ගැසීමේ අවදානම එලෙසම පවතී.
සමාජ මාධ්‍ය සහ ප්‍රකාශනවලට එල්ල වන තර්ජනය
මෙම පනත් කෙටුම්පතේ වඩාත්ම ආන්දෝලනාත්මක කරුණක් වන්නේ ‘ත්‍රස්තවාදී ප්‍රකාශන ව්‍යාප්ත කිරීම‘ (Dissemination of Terrorist Publications) වෙනම වරදක් ලෙස හඳුන්වා දීමයි (10 වන වගන්තිය). ඒ අනුව:
ත්‍රස්තවාදය සෘජුව හෝ වක්‍රව දිරිගැන්වීමේ අරමුණින් යම් ප්‍රකාශනයක් බෙදා හැරීම, විකිණීම හෝ තමා සන්තකයේ තබා ගැනීම වරදකි.
වඩාත් බරපතල කරුණ නම්, ‘අනවධානීව‘ (Recklessly) යම් ප්‍රකාශයක් බෙදා හැරීමද මෙම වරදට ඇතුළත් කර තිබීමයි.
උපහාසය (Satire), විකට අනුකරණය (Parody) හෝ මහජන යහපත උදෙසා කරන ප්‍රකාශ සඳහා යම් මුක්තියක් (carve-outs) පනතේ 11 වන වගන්තියෙන් ලබා දී ඇතත්, ප්‍රායෝගිකව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේදී මෙම කරුණු සැලකිල්ලට නොගැනීමේ ඉඩකඩ වැඩි බව නීති විශාරදයින් පෙන්වා දෙයි . මෙය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට යොදා ගත හැකි බවට අනතුරු ඇඟවේ.
අධිකරණය අභිබවා යන රඳවා තැබීමේ නියෝග (Detention Orders)
වසර 45ක් පුරා පීටීඒ (PTA) පනතේ තිබූ භයානකම අවිය වන “රඳවා තැබීමේ නියෝග” (DO) නිකුත් කිරීමේ බලය මෙම නව පනත මගින්ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීම සිදු කර ඇත. පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත ආරක්ෂක ලේකම්වරයාට සැකකරුවන් මාස ගණනාවක් රඳවා තබා ගැනීමට නියෝග නිකුත් කළ හැකි අතර, එවැනි නියෝගයක් ඇති විට සැකකරු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැත .
ජනාධිපතිවරයාට අසීමිත බලතල
හදිසි නීතිය ප්‍රකාශ කිරීමකින් තොරවම, ගැසට් නිවේදන මගින් සංවිධාන තහනම් කිරීමට (Proscription Orders) සහ ඇඳිරි නීතිය පැනවීමට (Curfew Orders) ජනාධිපතිවරයාට බලය පවරා ඇත. එසේම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඕනෑම ස්ථානයක් “තහනම් ස්ථානයක්” (Prohibited Place) ලෙස නම් කිරීමට බලය ඇති අතර, එවැනි ස්ථානයක ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම පවා වසර 3ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි .
නඩු නොපවරා පුනරුත්ථාපනය කිරීමේ උගුල
පැරණි පනතේ තිබූ පාපොච්චාරණ (Confessions) පිළිගැනීමේ වගන්තිය ඉවත් කර ඇතත්, ඊට වඩා සියුම් මර්දනකාරී ක්‍රමවේදයක් ලෙස “නඩු කටයුතු පැවරීම කල් තැබීමේ” (Deferment of Prosecution) ක්‍රමවේදය හඳුන්වා දී ඇත. මේ යටතේ නීතිපතිවරයාට අවශ්‍ය නම් නඩු නොපවරා සිටීමට එකඟ වී, සැකකරු ලවා වරද පිළිගන්වා ඔහුව “පුනරුත්ථාපන” වැඩසටහන් වෙත යොමු කළ හැක .






