ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට දේශපාලන නියෝජිතයන් මැදිහත් නොවන බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් වීරසිංහ විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිව තිබේ.
මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ ආන්දෝලනයකට තුඩුදී ඇති ‘ඔන්ඩෙන්සෙට්‍රෝන්’ නමැති එන්නත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පැවති මාධ්‍ය හමුවකදීයි.
එහිදී සමාජ මාධ්‍ය හරහා ඇතැම් පිරිස් ප්‍රශ්න කර සිටින්නේ එසේනම් මෙම ප්‍රකාශය අනුව කෙහෙළිය රඹුක්වැල්ල වරදක් සිදුනොකළ බව පැහැදිලිවන බවයි.
කෙසේවෙතත් මේ පිළිබඳ තම facebook ගිණුමේ සටහනක් තබමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසන්නේ මෙවැන්නකි.
”රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් වීරසිංහ ඊයේ කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල නිදොස් කිරීමේ වෑයමක් සමාජ මාධ්‍ය වල දැකිය හැකියි.
ඖෂධ සංස්ථා සභාපතිවරයා මේ කියන්නේ ඖෂධ මිලදී ගැනීමේදී ටෙන්ඩර් කැඳවීම, එහිදී තරඟකාරී මිල ඉදිරිපත් කිරීම් සහ අවම මිල නිෂ්පාදිතය තෝරා ගැනීම් (Competitive Bidding and Least Cost Principle), මිලදී ගැනීමට පෙර ඖෂධ වල ගුණාත්මකභාවය පරීක්ෂා කර ඒවා ලියාපදිංචි කිරීම, ප්‍රමිතියෙන් බාලයැයි තහවුරු වන ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීම, එවැනි සමාගම් අසාදු ලේඛනගත කිරීම ඇතුළු ක්‍රමවේදය දේශපාලන නියෝජිතයන්ගේ මැදිහත්වීමකින් තොරව වෙනම රාජ්‍ය යාන්ත්‍රණයකින් සිදුවන බව. එය සත්‍යයක්.
නමුත් කෙහෙලිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වන්නේ ඔහු මෙම ක්‍රියාවලියට පිටින්, ඔහුගේ මැදිහත්වීම සහිතව ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම නිසා. ඔහු හදිසි මිලදීගැනීම් (Emergency Purchasing) සඳහා ඇති නීතිමය ඉඩකඩත්, හදිසි අවස්ථාවක පරීක්ෂාවකින් තොරව ඖෂධ ගෙන්වීමට ලියාපදිංචිය අත හැරිමේ ලිපි (Waiver of Registration Letters) නිකුත් කිරීමට ඇමතිවරයාට ඇති බලයත් අවභාවිතා කළා. කොමිස් මගඩියක් බවට සැක සිතෙන ක්‍රියාවලියක් හරහා තෝරාගත් සමාගම් කිහිපයකින් බාල ඖෂධ ගෙන ආවා.
කවුරුන් හෝ පොදු ක්‍රියාවලිය පැහැදිලි කරන විට එය භාවිතා කර කෙහෙලියගේ අපරාධ වසන් කරන්න බෑ. කෙහෙලිය කළේ විශේෂ අවස්ථා සඳහා නීතියේ ඇති ව්‍යතිරේකයක් සාමාන්‍ය ක්‍රමවේදය ලෙස භාවිතා කරමින් රෝගී ජීවිත අනතුරේ හෙලීම. ඒ සම්බන්ධයෙන් ඔහුට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. මුදල් බලය භාවිතා කර නීතියේ දැලෙන් රිංගා ගියත්, ඔහුගේ දේශපාලනය අවළංගු කාසියක් බවට පත් කිරීමට ජනතාව පියවර ගත යුතුයි.”






