Breaking News

‘Rebuild Sri Lanka’ – නම යන්නේ හාම්පුතුන්ගේ, හම යන්නේ කම්කරුවන්ගේ

මස් කෙලියේ වතු කම්කරුවන් 21 දෙනකු රට ගොඩනැගීමේ රජයේ අරමුදලට සිය දෛනික වැටුපෙන් රුපියල් දහස බැගින් පරිත්‍යාග කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පරිත්‍යාගය කර තිබෙන්නේ මස්කෙලියේ මවුස්සාකැලේ කොට්ටාසයේ හපුගස් තැන්න පහල කොටසේ වතුකම්කරවන් 21 දෙනෙකි.

එහිදී අදහස් දක්වමින් වතු කම්කරුවන් පවසා ඇත්තේ විපතට පත් ජනතාවට සහාය වීම සඳහා තමාට හැකි අයුරින් උපකාර කිරීමට ලැබීම ගැන සතුටු වන බවයි.

පසුගියදා සිදුවූ ව්‍යසනයෙන් පසු රට ගොඩනැගීමට යයි පවසමින් ‘Rebuild Sri Lanka ‘ නමින් අරමුදලක් පිහිටවූ අතර එම අරමුදලේ කළමනාකරණ කමිටුව ලෙස නම් කරනු ලැබුවේ රටේ මහා පරිමාණ සමාගම් රැසක හිමිකරුවන් පිරිසකි. මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසකගෙන් චෝදනා එල්ල විය.

විශේෂයෙන් මෙම ව්‍යසනය හරහා වඩාත් පීඩාවට පත්කරන ලද්දේ මේ රටේ වඩාත් දුප්පත්ම ජනතාවයි. එම නිසා රට නැවත ගොඩ නැංවීමේදී එම බහුතර ජනතාවකගේ අවශ්‍යතාවලට සංවේදී වෙමින් තීරණ ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ වෙනුවෙන් වන ප්‍රමුඛතම ක්‍රියාන්විතයක් වන Rebuilding Sri Lanka අරමුදලේ අවශ්‍යතා තක්සේරු කිරීම ඇතුලු අරමුදලේ ඵලදායී පරිපාලනය, ප්‍රමුඛතා ස්ථාපිත කිරීම, නැවත ගොඩනැංවීමේ ක්‍රියාකාරකම් සදහා සම්පත් වෙන් කිරීම සහ මුදල් නිදහස් කිරීම යන වගකීම් දරන කමිටුවට රජයේ නිලතල දරන අයට අමතරව හේලීස්, ජෝන් කීල්ස්, එයිට්කන් ස්පෙන්ස්, බ්‍රැන්ඩෙක්ස් සහ LOLC යන ව්‍යපාරයන්හි ප්‍රධානීන් පත්කිරීම යනු රටේ බහුතර ජනතාවට නොව ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන ආකාරයෙන් තීරණ ගැනීමට ඉඩ සැලසීමකි.

දැන් පෙනෙන්නට තිබෙන්නේ අරමුදල් තර කරගැනීම සිදුවන්නේද ජනතාවගේ පරිත්‍යාග හරහා බවයි. වතු හිමියන් ප්‍රධානීත්වය දරන අරමුදලකට අරමුදල් යොමුවන්නේ වතු කම්කරු ජනතාවගෙනුයි.

මෙම වතු හිමියන් යනු මිට මසකට දෙකකට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් සොච්චම් වැටුපක් වැඩිකිරීම ප්‍රතික්ෂේප කළ පිරිසකි.

leave a reply