Breaking News

බාල ඖෂධ ජාවාරම – කෙහෙළියගේ නීතිඥයන්ට නඩුවේ පාර්ශවකරුවෙකු වෙන්න අවසර නොදෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත
අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ ඊයේ (10) ප්‍රතික්‍ෂෙප කළාය.

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විස්වාසය පළුදු වීමට හැකියාව ඇතැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය, නඩුවට මැදිහත් නොවී නීතඥවරුන්ට වෙන්කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කීරීමට කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා ට අවසර දුන්නාය.

”අගතියට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවයි”

එමෙන්ම මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අගතියට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනතාව බවයි.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයට නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස සමඟ පෙනී සිටීමට නීතීඥ තර්කනාත් අමරසිංහ ට අවසර දුන්නා ය.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 03 1/2ක පමණ කාලයක් පුරා දෙපාර්ශවයේ නීතීඥවරු දැක්වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නාය.

පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් හිටපු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඔහුට පැය 03 කාලයක් රෝහලෙන් පිටව සිටීම සඳහා දුන් අවසර මත ඔහු අධිකරණයට කැඳවාගෙන පැමිණී බව වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩු විභාගය අවසන් වීමට පෙර ඔහු යළි කොළඹ ජාතික රෝහලට කැඳවාගෙන යෑමට මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණීල්ල කැඳවනනු ලැබු අවස්ථාවේදී ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා අධිකරණය අමතමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රජයට වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ මුල් පැමිණීලිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කරුණු දක්වමින් ආචාර්ය සංජය පෙරේරා මෙම සිද්ධිය සම්බන්ධයෙනන් පැමිණීලි කළ 2023 ඔක්තෝම්බර් 11 වැනිදාම ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ වෙනුවෙන් කාමන්ත පෙරේරා නමැත්තාද පැමිණීලි කර ඇතැයිද කීවාය.

මෙම නඩුවට අදාළව සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ බවත් ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින බවත් මෙය රටේ සමස්ථ පොදු ජනතාවට එරෙහිව කරන ලද වරදක් වන හෙයින් මෙහි නිශ්චිත අතෘප්තියට පත් පාර්ශවකරුවන් නැතැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම, ඒවැනි තත්වයන් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන්නේ යැයි කීවාය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්ව ඇත්තේ ජනරජය බවත් එහි සමස්ථ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී සිටින බවත් කීවාය.

මහජන සුභසාධක නඩුකර නමැති සංකල්පය අනුව මහජන සංවිධාන වලට පෙනී සිටීමට අවසර දීමට හැකියාව ඇතැයිද මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමට හැකියාව ඇතැයිද කී මහෙස්ත්‍රාත්වරිය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළ අතර නඩුවට මැදිහත් නොවී නීතඥවරුන්ට වෙන්කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කීරීමට ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා ට අවසර දුන්නාය.

රහස් පොලිසිය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් නඩුවේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ගේ අවධානයට ලක් වු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ තුනක් අධිකරණ නියෝග මත අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් රහස් පොලිසියට බාරදී ඇතත් අමාත්‍ය ලේකම්වරයා සහ නියෝජ්‍ය ලේකම්වරයා විසින් පවත්වාගෙන ගිය ලිපි ගොනු බාරදී නැතැයි කීවාය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ :
එදින දුන් නියෝගයේ යම් අපහැදිලිකමක් තියෙනවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම :

”නැහැ එම නියෝගයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මැයි 30 වැනිදාත් ඔක්තෝම්බර් 30 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ” තීරණ සහ ඊට අදාළ ගොනු ආදිය බාරදෙන ලෙස.

අසාදුගත වී ඇති ඉන්දියානු සමාගමක් සහ තවත් සමාගම් හරහා ඖෂධ වර්ග 296ක් ආනයනය කිරීමට අවසර ඉල්ලීමක් කර ඇතැයිද මෙම ඖෂධ තෝරා ගැනීමට හේතූ වු කරුණු සම්බන්ධයෙන් තොරතුරු රහස් පොලිසියට දීමට අතිරේක ලේකම් සමන් රත්නායක ට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණී ගිරිහාගම , මීට අදාළ ඇමණුම් 04කට අදාළ තෙතාරතුරු මෙන්ම කේවල් කිරීම් කළ ඇයැදුම්කරුවන් කවුද? යන්න පිළිබඳ හෙළි කිරීමටද ඔහුට නියම කරන්නැයි කළ ඉල්ලීම් වලට මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නතක් ඩොලර් 130කට දීමට හැකි බව ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා මුලින් අදාළ ටෙන්ඩරය ඔහුට ලැබුණු පසු එන්නතක් ඩොලර් 123කට දීමට හැකි බව දැනුම් දුන්නත් සෞඛ්‍ය බලධාරීන් අදාළ එන්නත් ගෙන ඇත්තේ ඩොලර් 130කටම බවත් පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම, මීට අදාළ කරුණු හෙළි කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසිදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද ඖෂධ නියමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාන්ඩ සැකකරුට මුදාහැරීයේ කෙසේද යන්න හෙළි කර ගැනීමට කරන විමර්ශනය සඳහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ පෙනී සීටීමට නියම කරමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළාය.

‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු ට අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය පරීක්‍ෂා කිරීමට පසුගිය 08 වැනිදා ඔහු එහි කැඳවාගෙන ගිය බවත් ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා එහි විදුලි සැපයුම ක්‍රියාත්මක කරන්නැයි දැනුම් දුන් විට විදුලි සැපයුම ක්‍රියාත්මක කරන ‘ස්විචය’ ඇති ස්ථානය ඔහුට මතක නැති බව කී නිසා අදාළ ස්ථානයය පරීක්‍ෂා කිරීමට නොහැකි වුයේ යැයි කියමින් ලක්මිණී ගිරිහාගම කළ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සැපයුම ක්‍රියාත්මක කරන ‘ස්විචය’ ඇති ස්ථානය සොයා ගෙන විදුලිය සන්ධි කරන ලෙස සීදුවේ විදුලි බල මණ්ඩලයේ කළමණාකාරවරයාට නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ දීමට නඩුවේ 02 සහ 03 වැනි සැකකරුවන් කැමැත්ත පළ කළ නිසා රහස් පොලිස් නිලධාරීන් බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ ගත්තත් ඔවුන් මුලින් දුන් ප්‍රකාශයම දී ඇතැයි කියමින් අදාළ ප්‍රකාශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කළ ගිරිහාගම, ලේඛණ වල ඇති අත්අකුරු සහ අත්සන් 06 වැනි සැකකරුගේ බව සැකකටයුතු ලේඛණ පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයිද කීවාය.

දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න කරුණු දක්වමින් තම සේවාදායකයා දැඩි රෝගී තත්වයකින් පසුවන බවත් විශේඥ වෛද්‍යවරයා විසින් දුන් තාවකාලික අවරයක් මත ඔහු අධිකරණයට කැඳවාගෙන විත් ඇති බවත් ඉඳගෙනවත් සිටීමට ඔහුට ඇති අපහසුතාවය හේතූවෙන් ඔහු යළි රෝහල වෙත යැවීමට නියම කරන්නැයි කළ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය නඩු විභාගය අතරතුරදීම ඔහු යළි රෝහලට ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

04 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජීව ඇන්තනි කරුණු දක්වමින් ගණකාධිකාරීවරයකු වන තම සේවාදායකයා කර ඇත්තේ වව්චර් පත් ලීවීම පමණකැයිද මෙම නඩුවටට පාදක ඖෂධ මේ වන විට ඖෂධ ගබඩා වලින් රෝහල් වලට ගොස් රෝගීන්ටත් දී අවසන් යැයි කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ :
ලියාපදිංචිය අතහැරීමේ සහතිකය 04 වැනි සැකකරුට ලැබීමට පෙර මෙම නඩුවේ වෙනත් සැකකරුවන් එම සහතිකය පරීක්‍ෂා කර තියෙනවාද?

නීතීඥ සංජීව ඇන්තනි :
ඔව්, එම සහතිකය නිරීක්‍ෂණය කළ යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම :
ලියාපදිංචිය අතහැරීමේ සහතිකය ලබා ගැනීමට උදව් කරන ලෙස පළමු සැකකරු උදව් ඉල්ලු විට ඔහු හමුවන ලෙසට 02 වැනි සැකකරු සටහන් දමා තියෙනවා.

මෙම සියල සැකකරුවන් එක්ව මෙම අපරාධය කළ යුතුයි. එන්නත් කුප්පි 22500ක් දීමට ටෙන්ඩරය ගත් පුද්ගලයකු එන්නත් කුප්පි 100 ක් ගෙනැවිත් දෙන විට ආනයනික ඖෂධ එසේ දෙන්නේ කොහොමද? කියා සාමාන්‍ය්‍ය මනසින් බලන කෙනෙක් බැලිය යුතුයි. ආනයනික ඖෂධ ගෙන්වීමේ ක්‍රමවේදයක් තියෙනවා. එම ඖෂධ බාර ගන්නා ක්‍රමවේදයක්ද තියෙනවා. ඖෂධ නිශ්පාදකයා විසින් නිශ්පාදනාගාරයේ සිට ඖෂධ ගබඩාව දක්වා නිසි උෂ්ණත්වයකින් යුතුව ඖෂධ රැගෙනවිත් එම කරුණු සඳහන් වන ‘ඩේටා ලොගර්” නමින් හඳුන්වන උපකරණයද සමඟ එය බාරදිය යුතුයි. භාණ්ඩ බාර ගන්නා විට 05 වැනි සැකකරු ‘ඩේටා ලොගර්” උපකරණය පරීක්‍ෂා කළ යුතුයි. නමුත් මෙම සිද්ධියේදී එසේ වී නැහැ.”

06 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන කරුණු දක්වමින් අවශ්‍යතාවයක් තිබුණා නම් මෙම සිද්ධියට පාදක ලියවිලි අස්ථානගත කිරීමට සැකකරුවන්ට හැකියාව තිබුණත් කිසිදු සැකකරුවකු සසේ කළේ නැතයි කීය.

‘පහත් තැනින් යයි ගලා ජලේ ’ කියන්නා සේ මෙම සිද්ධියට සම්බන්ධ ලොකු ලොකු අය අල්ලන්නේ නැතුව පොඩි අය ඇල්ලීමට රහස් පොලිසිය කටයුතු කර ඇතැයිද ‘ප්‍රතිපුරුෂ වගකීම’ නිසා තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇතැයිද කී නීතීඥ නුවන් ජයවර්ධන, තනිව තීරණ ගත නොහැකි තම සේවාදායකාට හදිසි අවශ්‍යතා මත බව කියමින් ටෙන්ඩර් පත්‍රිකාවක් සමඟ ලැබුණු නියෝගයකට අනුව කටයුතු කිරීම නිසා මෙලෙස අත්අඩංගුවට පත් වීමට සිදුවුයේ යැයිද කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ:
ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් ඉන්දියාණු නාමය යටතේ ඖෂධ දෙනවා කියා පළමු සැකකරු කර ඇති සඳහන ඔබේ සේවාදාකයා බලා තියෙනවාද?

නීතීඥ නුවන් ජයවර්ධන :
එය අධීක්‍ෂණ කිරීමට මගේ සේවාදාකයාට හැකියාවක් නැහැ. එය කළ යුත්තේ ඖෂධ නියාම අධකාරිය විසිනුයි. මගේ සේවාදායකයාට මේ සම්බන්ධයෙන් විශේඥ දැනුමක් නැහැ.

07 වැනි සැකකරු වෙනුවෙන් නීතීඥ සංදීප්ත සුරිආරච්චි ඇතුලු නීතීඥ කණ්ඩායමක් සමඟ පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරල කරුණු දක්වමින් තම සේවාදායකයා තාක්‍ෂණ කමිටුවේ හෝ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු නොවන්නේ යැයි කීය.

2023 ජනවාරී 31 වැනිදා වන විට ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වල වලංගු කාලසීමාව ඉක්ම යන හෙයින් ඊට පෙර මෙම මුදල් වලින් අවශ්‍ය ඖෂධ ගන්නා ලෙස වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර ලිපියක් මඟින් කළ දැනුම් දීමකට අනුව, තම සේවාදායකයා කටයුතු කර ඇතැයිද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් ඖෂධ ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇතැයිද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් හෝ වෙනත් අරමුදල් වලින් ලබාගත් ඖෂධ වෙනුවෙන් ‘සැවරිටා ෆාර්මා සුටිකල්’ ආයතනය සහ වෙනත් අයට මුදල් ගෙවීමට ඔහු අවසර ඉල්ලා ඇතැයිද කී නීතීඥ චමින්ද අතුකෝරල, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා දින 45ක් තුළ ගෙවීම් කරන ලෙසත් ප්‍රමාද වුවහොත් සීයයට 3ක අධිභාරයක් ගෙවීමට සිදුවෙන බවත් ලිඛිතව දැනුම් දී ඇතැයිද කීය.

රහස් පොලිසිය තම සේවාදායකයා මෙම නඩුවෙව් සැකකරුවකු කර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර ට එරෙහිව ඇති නඩුවේ හොඳම සාක්කිකරු වන තම සේවාදායකයා ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයිද නීතීඥ චමින්ද අතුකෝරල වැඩිදුරටත් කීය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජාලිය සමරසිංහ කරුණු දක්වමින්, නිර්දෝෂි තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැතැයිද ඔහු කූඨ ලේඛණයක් තබා කිසිඳු ලේඛණයක් සකස් කර නැතැයිද මේ තත්වය යටතේ ඔහු මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.

ලක්මිණී ගිරිහාගම වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකාර රාජ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත්තේ ජනරජයට පාඩු වන අන්දමට හා සැකකාර ටෙන්ඩර්කරුට වාසි වන අයුරින් යැයි කීවාය.

ඖෂධ 182ක් නොමැති වීම හේතූවෙන් ඉදිරි සති 03 ක කාලය තුළදී රට කඩා වැටමට ඉඩ ඇතැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කළ ලේඛණයක් හේතූවෙන් දින 05ක කාලයක් තුළ ඖෂධ සැපයයීම සඳහා පළමු සැකකරුට ටෙන්ඩරය දුන්නත් මාස 04 ක කාලයක ගතවන තුරු අදාළ ඖෂධ සපයා නැතැයිද ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉමියුනුග්ලෝබින් නමැති ඖෂධය මාත්‍රා 75000ක ප්‍රමාණයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබියදී මෙන්ම මාසයකට අවශ්‍ය ඖෂධ රට තුළ තිබියදී මෙම වංචාවට පාදක වු ඖෂධ ගැනීමට රුපියල් බිලියනයක මුදලක් නිකුත් කිරීම රාජකාරීමය නොසළකා හැරීමට එහා ගිය වංචාවක් නොවන්නේදැයි ප්‍රශ්න කළාය.

මෙහි සැකකරුවන්ගේ වරදකාරීවත්වයය සම්බන්ධයෙන් සාක්කි ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් විසින්ම බවත් පුද්ගලයින්ට බොරු කළ හැකි වුවත් ලේඛණ වලට සා පරවේෂණීය කරුණු වලට බොරු කළ නොහැකි යැයි කී ගිරිහාගම මෙනවිය, මෙම නඩුවේ වරදකරුවන් වන විත්තිකරුවන්ට රුපියල් ලක්‍ෂ 4000 කඩ අධික දඩ සහ වසර 20 වැඩිකිරීම චෝදනා 08 බැගින් වන දඩුවම් වලට යටත් වීමට සිදුවන බව මතයේ තබා ගන්නැයිද කීවාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළ විට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය දී ඇත්තේ ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ගත් ඖෂධ වලට ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් මුදල් ගෙවීමට නියම කර ඇතැයි කී ලක්මිණී ගිරිහාගම, සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේද විමර්ශන ආරම්භ කර ඇතැයිද කීවාය.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු (61823) මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරීක්‍ෂ ජයන්ත පෙනී සිටියේය.

නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජ්‍යෙෂතා රජයේ නීතීඥ හේෂාණී විජේසිංහ සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම පෙනී සිටියාය.

leave a reply