Breaking News

ජෝර්දානයේ වැටුප් නොගෙවීමට එරෙහිවූ ලාංකික ශ්‍රමිකයන් පිරිසකට අමානුෂික ප්‍රහාරයක්

ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයන් පිරිසක් සිදුකළ විරෝධතාවයකට එරට ආරක්ෂක අංශ විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එහිදී එරට ආරක්ෂක අංශ විසින් එම ලාංකිකයින්ට අමානුෂික ලෙස පහරදී කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇත. පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

සිය වීසා කාල සීමාව අවසන්ව තිබියදීත් වැටුප් හා දීමනා ගෙවීම් ද ප්‍රමාද කරමින් බලහත්කාරයෙන් සේවය ලබාගන්නා බවට චෝදනා කරමින් මෙලෙස විරෝධතාවයක නිරතවුණේ ජෝර්දානයේ අසීල් නම් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතු ලාංකික ශ්‍රමික පිරිසකි.

ශ්‍රි ලංකාවේ විවිධ පළාත්වල සිට මෙම කම්හලේ රැකියා සඳහා සිටින පිරිස් වෙත වසර කිහිපයක සිට වැටුප් නොගෙවීම නිසා තුන්සිය පනහකට ආසන්න පිරිසක් අසරණ වී සිටින බව එහි දැන් සති කිහිපයක සිට වාර්තා වෙමින් තිබුණි. තමන් වසර හයක් තිස්සේ එම ආයතනයේ වැඩ කරන බවත්, මේ වනවිට එය සම්පූර්ණයෙන් වසා දැමීම නිසා එහි කළමනාකාරිත්වය තමන්ට වැටුප් නොගෙවන බවත්, මේ වන විට ශ්‍රී ලාංකිකයන් 350කට වැඩි පිරිසක් තැන් තැන්වල ආහාර නොලැබ අසරණව හා රෝගාතුරව සිටින බවත් ඔවුන් පවසයි.

තවත් පිරිසක් ආහාර හා ජලය නොමැතිව නේවාසිකාගාරවල සිරවී සිටින බවත්, එම ප්‍රදේශයට මේ වනවිට ශීත කාලය පැමිණ ඇති හෙයින් විශාල පිරිසක් ලෙඩරෝගවලට ලක්ව සිටින බවත් ඔවුහු සඳහන් කරයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තමන් ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය මැදිහත් වෙන ලෙසද ජෝදානයේ සිරවී සිටින තරුණ තරුණියෝ ඉල්ලා සිටියි. තමන්ට එළියට යෑම සදහා වීසා නොමැති බවත්, තම සේවා කාලය වසර තුන අවසන් වුවද සේවක අර්ථ සාධක අරමුදල් යනාදිය නොගෙවූ බවත්, එම ආයතනයේ නේවාසිකාගාරවල විදුලිය පවා විසන්ධිකර තමන්ට කිසිදු සහනයක් නොමැතිව සිටින බවත් ඔවුන් පවසයි.

leave a reply