Breaking News

රනිල් හමුවීමට ගිය අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා

අලුත් අවුරුද්දේ වන්නියට පැමිණි ජනාධිපතිවරයා හමුවීමට උත්සාහ කළ ‘බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ’ වව්නියාව දිස්ත්‍රික් ලේකම් සිවානන්දන් ජෙනීටා නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවක් පැවත්වී තිබේ.

මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමින් ජනවාරි 8 වැනි සඳුදා මුලතිව් වෙත පැමිණි බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ සංගම්වල මව්වරුන් මුලතිව් ශාන්ත පීතර දේවස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිරගත කරන ලද නායිකාවගේ නිදහස පතා විරෝධතා දක්වා ඇත.

උතුරේ සිව් දින සංචාරයක නිරතව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 05 වැනි සිකුරාදා වව්නියාව සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ ඔහු හමුවීමට අවශ්‍ය බව සදහන් කරමින් නගර ශාලාව අසලට පැමිණි බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ සංගමයේ සිවානන්දන් ජෙනීටා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා පොලීසිය විසින් එදිනම වව්නියා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අනෙක් කාන්තාව ඇප මත නිදහස් කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සිවානන්දන් ජෙනීටා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

විරෝධතා පැවැත්වීම වළකාලමින් සිවානන්දන් ජෙනීටාට එරෙහි අධිකරණ තහනම් නියෝගයක් ලබාගෙන තිබුණු බව පොලිස් නිලධාරීන් ජනවාරි 05 වැනිදා මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දින 2500 පසු කරමින් අඛණ්ඩ විරෝධතාවයේ යෙදී සිටින මව්වරුන් එක හඬින් ඉල්ලා සිටින්නේ දාහතර වසරකට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් වහාම යුක්තිය ඉටු කරන ලෙසයි.

leave a reply