මධ්‍යම පාන්තිකයිනි,

එදා වේල වෙනුවෙන් දහඩිය වගුරන පහළ සමාජ ස්ථරයට මේ මොහොතේ ශිෂ්ටත්වය ඉගැන්වීමට යෑම තේරුමක් නැත. ඔවුන්ට මේ පීඩනය දැනෙන්නට පටන් ගත්තේ ඔබට දැනුණාට වඩා බොහෝ කලිනි. ඔවුන් ඔබට වඩා බොහෝ කල් ඉවසා සිටින්නට ඇත. ශිෂ්ටත්වය කරා යා හැක්කේ සමාජ සාධාරණත්වය, සමානාත්මතාව හරහා පමණි. ඔවුන් වෙනුවෙන් අප මීට පෙර නැඟී සිටිය යුතුව තිබුණි. එහෙත් අපි එසේ නොකළෙමු. අපි අපට දැනෙන තරමට අර්බුදය උඝ්‍ර වූ විට අපට රිසි ක්‍රමවලින් අරගලයට පැමිණ සිටිමු. ඒ ද අපේ ප්‍රශ්න විසඳාගැනීමටය. ඔවුන්ද ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට පැමිණ ඇත. ඔවුනටද කවි ගී කියන සංස්කෘතියක් ඇත. එහෙත් බඩගින්න ඊට වඩා ප්‍රබල බව අප තේරුම් ගත යුතුය. මධ්‍යම පන්තියට වඩා ඔවුන් ජීවත්වන්නේ අසීරුවෙනි. ඔවුනට දිගු කාලයක් කවි ගී කියමින් කොළඹ නගරය මැද ගෙවන්නට මේ මෙහොතේ අපහසු වන්නට පුළුවන. ඔවුනට දේශපාලන විඤ්ඤාණය ලබා දීමටද මේ හදිසියේ බැරිය. එය මීට පෙර කළ යුතුව තිබිණ. එහෙත් එය කළ හැකිව තිබූ කණ්ඩායම් පවා එය නොකර කාලය ගතකළහ. එනිසා මේ සමාජ ස්ථරයද පසු ගිය කාලයේ තක්කඩින්ට රැවටී සිටින්නට ඇත. එහෙත් දැන් ඔවුන් එය ඔබ අපට වඩා තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත. මේ අරගලය ගෝල්ෆේස් පිටියෙන් පටන් ගත් සති කිහිපයක අරගලයක් ලෙස පටු ව ගෙන ඔවුන්ව අරගලයෙන් බැහැර නොකරමු.

අරගලය පටන් ගත්තේ මීට බොහෝ කලිනි. ගොවි බිම්වල ගොවියෝ බොහෝ උද්ඝෝෂණ කළහ. ධීවරයෝද උද්ඝෝෂණය කළහ. ඉඩම් අහිමි වූවෝ උද්ඝෝෂණය කළහ. මිනිස් ඝාතන, තාඩන පීඩන වලට එරෙහිව හුදකලා නැගී සිටීම් අපි දුටුවෙමු. ඒ නිසා අරගලයට උප්පැන්න සහතික දීමට හදිසි නොවන මෙන් ඉල්ලමු.

අරගලයේ තීරණාත්මක සාධකය ඔබ අපට වඩා මේ කම්කරු ජනතාවයි. එනිසා, පීඩාවට පත්ව සිටින සමාජ කොටස් තවත් පීඩාවට පත් නොවන ආකාරයෙන් ක්‍රියා කරමු. පවතින අර්බුදයට තාවකාලික විසඳුමක් හෝ ගෙන ආ හැකි දේශපාලනික වැඩපිළිවෙලක් ගැන කඩිනමින් සිතා බලා ක්‍රියාත්මක වන ලෙස වගකිවයුතු, ශක්‍යතාවක් සහිත සියලු මානවවාදී, ප්‍රගතිශීලී බලවේගවලින් ඉල්ලා සිටිමු.

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...