Breaking News

පාසල් ඉගැන්වීම් කටයුතු යළි ආරම්භ කිරීම

පැවති කොරෝනා අවධානම් තත්වය හමුවේ ජනවාරි මාසයේ පාසල ආරම්භ කිරීමට සැලසුම් කලත් එය මදකට කල් තබන්නට අපට සිදුවිය. එහෙත් මේ වන විට එම කොරෝනා අවධානම් තත්වය පහව යමින් තිබෙන බැවින් තව දුරටත් පමා නොකොට අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අප අදහස් කළෙමු. ගුරු මණ්ඩළය පාසල් ක‍්‍රියාකාරී කමිටුව හා සංවිධානය ඒ වෙන්වෙන් ඔබේ දරුවන් පිළිගැනීමට සූදානමින් සිටින බව සතුටින් දැනුම් දෙමු. අපගේ වගකීම ඉටු කිරීමට අප සූදානම්. එයට ඔබගේ දායකත්වය එකතු කරන්න.

අප පාසල් ආරම්භ කිරීමේ අරමුණු අතර වූයේ දරුවන් දෙමාපියන් අතර සංනිවේදන බාධා ඉවත් කිරීම, ආගන්තුක සංස්කෘතික පරිසරය තුල වල්මත් නොවූ යහ ගුණ සපිරි දරුවකු බිහි කිරීම, සෙනෙහස ලෙන්ගතුකම රැකුණ දෙමාපිය දූදරු සබඳතාවය ආරක්ෂා කිරීම, වර්ණ භේදය තුලින් දෙවන පුරවැසි මානසිකත්වයට ඇද වැටීමට ඇති ඉඩ අහුරා මනා පෞර්ෂයෙන් යුතු දරුවකු බිහිකිරීම, හෙට දවසේ ඔවුන් හට ජීවත් වන්නට සිදුවන ඕනෑම පරිසර තත්වයකට ඔරොත්තු දිය හැකි දරුවකු නිර්මාණය කිරීම වැනි විදෙස් ගත ලාංකීකයින්ට මුහුණදීමට සිදුවන අභියෝගාත්මක තත්වයන් ජය ගැනීමයි. එම අරමුණු අදටද වලංගු බව සනාත වන්නේ එවන් මඟ පෙන්වීමක් නොලබන අපගේ දරුවන් හා දෙමාපියන් බොහෝ පිරිසකට අත්විඳීමට සිදුව ඇති ඛේදනීය තත්වයන් අහන්නට දකින්නට සිදුව ඇති හෙයිනි. අප පාසල් සංවිධානය කර තිබෙන්නේ පවතින සමාජ යථාර්තය තේරුම් ගෙන ඊට පිළියමක් ලෙසය. එය වෙනත් ආයතනයකින් , ජාත්‍යන්තර පාසල් ලෙස පෙනී සිටින ආයතනයන්ගෙන් හෝ ටියුෂන් පංතියකින් සැපිරෙන්නේ නැති බව අත්දැක ඇත්තෙමු. දෙමාපියන් ලෙස ඔබටද අප ඇරයුම් කරන්නේ මේ පිළිබඳව විමසිලිමත් වන ලෙසය. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ ඒ සියලූ ආයතනයන්හි මූලික අරමුණ ලාබ ලැබීම නැත්නම් තම ආයතනික පැවැත්ම ආරක්ෂා කර ගැනීම වන නිසාය. අප දරුවන් ඉපදී හැදී වැඩෙන පරිසරයෙන් ඔවුන් ඈත් නොකොට එහි ආගන්තුකයින් බවට පත් නොකොට ඒ හා සමානවම අපගේ මව් පරිසරයට ආගන්තුකයින් නොවන්නට අවැසි මෙම පරිසරයෙන් නොලැබෙන ඉතිරි කොටස ඔවුන් වෙත ලගා කර දීම අපගේ කාර්යයයි. ඒ ඔස්සේ සියලූ පරිසර තත්වයන්ට අනුගත විය හැකි නිර්මාණශීලී දරුවකු ගොඩ නගා ගැනීමට අත්වැලක් සැපයීම අපගේ අරමුණයි.

එනිසා එම අරමුණ වෙනුවෙන් කැපවුන ස්වෙච්ඡුාවෙන් තම දැනුම බෙදාදෙන පිරිසකගෙන් සපිරි මේ මහගු අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ලබා ගන්නා ලෙස අප මේ සමාජයේ වෙසෙන දෙමාපියන්ගෙන් අයැද සිටිමු. ඒ මේ දරුවන් ඔබේ වගේම හෙට දවසේ මේ සමාජයේ වගකීම් උසුලන සමාජ සත්වයන් වන නිසාය. අනාගත සමාජයේ යහ ගුණ තීන්දු වන්නේ ඔවුන් මත වන අතර ඔවුන් පෝෂණය කිරීමේ වගකීම අද පැවරී ඇත්තේ අපට නිසාය. එනිසා අද අපමත පැවරී තිබෙන අපගේ වගකීම හරිහැටි ඉටු කරමු. එවිට හෙට ලෝකය යහපත් වනු ඇත.

leave a reply