Breaking News

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් යටතට

ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසූ බව සඳහන් කරමින් එම පුවත්පත ඒ බව වාර්තා කර තිබේ.

“අපි මාස 16ක් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින්නේ. දැන් ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ළඟා වෙමින් ඉන්නේ. අපි ඉන්දියාවත් එක්ක අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් උදය ගම්මන්පිළ පවසා ඇත.

ජනවාරි මාසයේ ඉන්දියාව විසින් ලංකාවට ලබාදීමට නියමිත ණය පැකේජය වෙනුවෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට ලංකා ආණ්ඩුව එකඟ වී ඇති බව මිට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.

රටේ පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය මේ වන විට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් යටතට පත් කිරීමට සිටින බව BBC වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

‘ට්‍රින්කොමලී ටර්මිනල්ස්’ නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව යි.

එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබා දීමට යෝජනා වී තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසා ඇත්තේ දැනට මෙම යෝජනාව සාකච්ඡා මට්ටමේ පවතින බව යි. ඉදිරි සතිය වන විට මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇතැ යි ඔහු කියා සිටියේ ය.

ත්‍රිකුණාමලය වරායට ආසන්නව ඇති තෙල් ටැංකි සංකීර්ණය මේ වන විට ටැංකි 99 කින් සමන්විත ය. 2003 වසරේ එවක රජය විසින් ඇතිකරගත් ගිවිසුමක් මත එම ටැංකි 99යම ලංකා IOC සමගට බදු දී පැවරු අතර මේ වන විට ඉන් 14ක මෙහෙයුම් කටයුතු ලංකා IOC සමාගම යටතේ සිදුවෙයි.

තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ විශාලත්වය අක්කර 500කි.

අක්කර 500ක භූමි භාගයකින් සමන්විත ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ කොටස් නව සමාගම වෙත ලබාදීමට යෝජනා වී ඇත්තේ කුමන කොන්දේසි යටතේ ද, එම සමාගමට ලංකා IOC සමාගම කොපමණ මුදලක් අයෝජනය කරන්නේදැ යි මෙතෙක් අනාවරණයකර නැත.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉතිහාසය

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මුලින් තෙල් ටැංකි 101කින් සමන්විත විය. එයින් දැනට ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් පමණි.

එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම විශාලම තෙල් ටැංකි සංකීර්ණය යි.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි එක්ව 1987 දී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටියි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් සමාගම (IOC) සමග ගිවිසුමකට අත්සන් තැබුවේ ය.

එම ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් වසර 37ක කාලයක් සඳහා බදුදීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් 1/3ක් ඉන්දීය ඔයිල් සමාගමට පැවරිණි.

එවක් පටන් IOC සමාගම භාවිතකර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14ක් පමණි. තවත් එකක් අලුත්වැඩියාකර ඇත.

“තෙල් ටැංකි සංකීර්ණය දැනටමත් ඉන්දියාව සතු යි”
ත්‍රිකුණාමලය තෙල් ටැංකි මේ වන විටත් ඉන්දියාව සතු වී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් මීට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කරනු ලැබීය.

1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ සහ 2003 ගිවිසුම යටතේ මෙම තෙල් ටැංකි ඉන්දියාවට භාරදී අවසන් බව ද ඔහු කියා සිටියේ ය.

තමන් උත්සහ කරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය යළිත් මෙරටට ලබා ගැනීමට පමණක් බව ද උදය ගම්මන්පිළ අමාත්‍යවරයා අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.

කෙසේ නමුත්, ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා මෙම තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති ප්‍රකාශ සියල්ල මේ වන විට නිෂේධනය වී ඇති බව යි.

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා මේ සතිය තුළ මෙම යෝජනාව අනුමත කෙරෙනු ඇතැ යි ද පවසා ඇත.

ද හින්දු වාර්තාව අනුවද ලංකාවේ ආණ්ඩුව මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට සූදානම්ව සිටින බව පැහැදිලි වේ.

leave a reply