Breaking News

ඇමරිකානු රාජ්‍ය ලේකම් ලංකාව සමඟ සාකච්ඡා කළ දේවල් මෙන්න!

මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ සබදතා ඇමති දිනේශ ගුණවර්ධන හමුවී තිබේ. දිනේෂ් ගුණවර්ධන හමුවීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ඇමති දිනේෂ් ගුණවර්ධන එක්ව මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී.

මෙහිදී මයික් පොම්පියෝ අදහස් පළකරමින් පැවසුවේ ලංකාව සමඟ අද පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලදී මූලිකව ආරක්ෂක සහ ආර්ථික කරුණු ගැන සාකච්ඡා වූ බවයි. එහිදී ආරක්ෂක සහයෝගීතාවය සහ ඒකාබද්ධ අභ්‍යාස පිළිබඳ සාකච්ඡා වූ බව පවසා තිබේ. ඊට අමතරව ලංකාව මුහුදු මාර්ග විවෘත කිරීමට එකඟ වූ බවද ඔහු පවසයි. මෙහිදී පොම්පියෝ පවසා ඇත්තේ ලංකාවට සහාය දීමට තම රට කැමැත්තක් දක්වන බවත් එයට අදාළ ගිවිසුම් සකස් කරමින් ඇති අතර එය අවසන් අදියරේ පවතින බවයි. එසේම ඇමරිකාවේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වෛරී ලංකාවක් දැකීම වුවත් චීනයේ අරමුණ එය නොවන බවද මයික් පොම්පියෝ වැඩිදුරටත් පවසා ඇත.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි එකක් බවයි. එසේම ඇමරිකාව විසින් ලංකාවට බොහෝ උදව් සිදුකර ඇති බවයි. යුද්ධය අවස්ථාවේ, සුනාමි ව්‍යසනය මොහොතේ සහ වර්තමාන කොවිඩ් වසංගතය අවස්ථාවේ එසේ උදව් කළ බව ඇමතිවරයා පවසා ඇත. එසේම ඇමරිකාව ලංකාවේ වැඩිම අපනයන ප්‍රමාණයක් මිලදී ගන්නා රට බවත් 2019 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක් මිලදී ගෙන ඇති බවත් දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් පවසා ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරන ඒකාබද්ධ අභ්‍යාස යනු යුධ අභ්‍යාස මිස වෙන කිසිවක් නොවේ. ඇමරිකාව, චීනයට එරෙහි සිය උපායමාර්ගික සැලසුමේ කොටසක් ලෙස දැනටත් දකුණු චීන මුහුදේ සහ ඉන්දියන් සාගරයේ තමන්ට පක්ෂපාති රාජ්‍ය සමඟ එක්ව ඒකාබද්ධ අභ්‍යාස සිදුකරමින් සිටියි. එසේම මුහුදු මාර්ග විවෘත කිරීමට එකඟවීමක් ගැන පොම්පියෝ සඳහන් කර ඇතත් ලංකාව දැනට කිසිදු මුහුදු මාර්ගයක් වසා නොමැත. මුහුදු මාර්ග හරහා වෙළඳ සහ ප්‍රවාහන කටයුතු කිරීමට ලංකාව බාධා පමුණුවා නැත. එසේනම් මුහුදු මාර්ග විවෘත කිරීමකට එකඟ වීම යනු යුධමය කටයුතු සඳහා මුහුදු මාර්ග විවෘත කිරීමට එකඟ වීමක් බව පැහැදිලිය.

ඊට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇති සකස් කෙරෙමින් පවතින ගිවිසුම කුමක්ද යන ප්‍රශ්නය මතුවේ. මේ මොහොතේ සකස් කෙරෙමින් පවතින ගිවිසුම වන්නේ MCC ගිවිසුම සහ යුධමය ගිවිසුමක් වන SOFA ගිවිසුමයි.

එසේම මයික් පොම්පියෝ පසුගිය 21වනදා ඇමරිකාවේ පැවති මාධ්‍ය හමුවකදී ආසියානු සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මෙම සංචාරයේ අරමුණ විවෘත සහ නිදහස් ඉන්දු – ෆැසිපික් කලාපයක් ඇතිකරගැනීම වෙනුවෙන් බවයි. විවෘත සහ නිදහස් ඉන්දු ෆැසිපික් කලාපයක් පවත්වාගෙන යාම යනු චීනයට එරෙහිව එම කලාපයේ බලය ඇමරිකාව විසින් අත්පත් කරගැනීමේ උපක්‍රමයයි.

මයික් පොම්පියෝ මෙම සංචාරයේදී යාමට බලාපොරොත්තු වෙන මාලදිවයින සහ ඉන්දුනීසියාව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේද ආරක්ෂා සහයෝගිතාවයට අදාළ කාරණා බව වාර්තා විය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට සිදුකළ ඉන්දියානු සංචාරයේදී භූ අවකාශීය සහයෝගීතාව සඳහා මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුම හෙවත් බෙකා ගිවිසුමට අත්සන් තබා තිබුණි. එහිදී සිදුවන්නේ නාවික හා ගුවන් සිතියම්, ප්‍රස්තාර ඇතුළු භූගෝලීය අධිසංවේදී තොරතුරු විශේෂයෙන් හමුදාමය දත්ත හුවමාරු කර ගැනීමයි.

leave a reply