Breaking News

කැකිරාව, තංගල්ල, හෝමාගම සහ රාගම නව ආසාදිතයින් හඳුනා ගනියි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ අනුරාධපුර කැකිරාව කිතුල්හිටියාව පදිංචි යුද හමුදා නිලධාරියෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි ඊයේ (13) තහවුරු වීමත් සමග අද (14) අලුයම ආරක්ෂක අංශ විසින් ඔහුගේ පවුලේ පස්දෙනකු PCR පරීක්ෂණ සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ.

ඔහුගේ පවුලේ පිරිස් සමග සමීප සබඳතා පැවැත් වූ වෙනත් පවුල් හතක පුද්ගලයින් විසිපහකට ආසන්න ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.

මින්නේරිය කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි අදාළ හමුදා නිලධාරියා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ තංගල්ල, පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරියෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ඔහු තංගල්ල නගරයේ සංචාරය කළ ස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ අනුව තංගල්ල නගරයේ සුපිරි වෙළඳසලක්, රාජ්‍ය ඔසුසල, රෙදිපිළි අලෙවිසල් කිහිපයක් හා කොණ්ඩා කපන ස්ථානයක් ඒ අතරට අයත් වේ.

ඒ අනුව රෙදිපිළි වෙළඳසල්වල 17 දෙනෙකු සහ කොණ්ඩා කපන ස්ථානයේ සිව්දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

එමෙන්ම ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් පවුල් 8 ක පුද්ගලයින් 15 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.

කන්දකාඩු පුනරුප්තාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි සූරියවැව, හබරත්තවෙල පදිංචි අයෙකු පළමු PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනාගත්ත ද දෙවනි වර පරීක්ෂණයේ දී වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ.

කෙසේවෙතත් නැවත වරක් ඔහුව PCR පරීක්ෂාවකට යොමු කර ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් සූරියවැව, හබරත්තවෙල පවුල් 6ක පුද්ගලයන් 28 දෙනෙකු ස්වයං නිරොධායනය කිරීමට සූරියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ කටයුතු කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හෝමාගම ගොඩගම හා කැන්දලන්ද පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

අදාළ පවුල් 2 සමග සබඳතා පැවැත්වූ ඥාතීන් හා අසල්වැසියන්ගේ පවුල් 8 කට අයත් 35 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනයටද අද යොමු කෙරුණි.

ආසාදිත හමුදා නිලධාරීන් දෙදෙනා පනාගොඩ යුද හමුදා රෝහලට හා පොළොන්නරුව රෝහලට යොමු කර තිබේ.

රාගම පෞද්ගලික රෝහලක සේවය කල පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම පුද්ගලයා පෞද්ගලික රෝහලේ කළමණාකරුවෙකු සේවය කර ඇති අතර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන සඳහා සහභාගී වී තිබේ.

කෙසේහෝ වසංගත රෝග ඒකකය අද උදෑසන 10වනවිට වාර්තා කර තිබූ පරිදි ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් මේවනවිට 1988ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර 647 දෙනෙක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

leave a reply