Breaking News

නිරෝධායන පනත විරුද්ධවාදීන් මර්දනයට පාවිච්චි කරන්න හදන්නේ – පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කරන ලද ම්ලේච්ඡ ‌පොලිස් ප්‍රහාරයට හා අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීම සදහා අද (2020 06 12) පෙරටුගාමී සමාජවාදී පක්ෂය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් තිබුණි.
නමුත් වසංගත තත්ත්වය හේතුවෙන් පැමිණිලි භාර ගනු ලබන්නේ විද්‍යුත් හා දුරකතන මාර්ග ඔස්සේ පමණක් බව මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරක්ෂක නිලධාරියෙකු දැනුම් දෙන ලදී. ඉන්පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා සකස් කළ පනතක් දේශපාලන විරුද්ධවාදීන් මැඩලීම සඳහා යෙදවීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“උද්ඝෝෂකයෙක් අත්අඩංගුවට ගත්තොත් ඔහුට පුළුවන් නීතිඥයන් හරහා තර්ක කරලා ඇප ඉල්ලන්න. අපේ උද්ඝෝෂකයෝ නීතිය කඩ කර නැහැ කියන තර්කය අධිකරණයේ තහවුරු කර ඔවුන් අත්අඩංගුවට ගත් පිරිස එදින රාත්‍රියේම නිදහස් කරගන්න අපි සමත් වුණා. එහෙම නැතිනම් මහේස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නෙ දින 14ට පමණයි. ඒ දින 14 අතර කාලයේ වුවත් මෝසමක් දාලා ඇප ගන්න පුළුවන්. මේ නිරෝධායනය කියලා ලෑස්ති වෙන්නෙ අධිකරණයට ඉදිරිපත් කරන්නෙත් නැතුව මිනිස්සුන්ව සති තුනකට හිර කරන්න. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත එහෙම එකක්. ආරක්ෂක ලේකම්ගේ රඳවා ගැනීමේ නියෝගය මත අධිකරණයට නොදමා රඳවා තියාගන්න පුළුවන්. දැන් ආරක්ෂක ලේකම්වාරයත් මැදිහත්වෙලා මේ කරන්න යන්නේ නිරෝධායන පනත මර්දන උපකරණයක් ලෙස පාවිච්චි කිරීමට යාමයි. ”

 

leave a reply