Tag: තක්ෂිලා වීරසේකර

  • මෙහාට ආපු හැමෝම ඉන්නේ ගමනක.

    මෙහාට ආපු හැමෝම ඉන්නේ ගමනක.

    මේක, පටන් ගත්තු මුල්ම කාලෙ අහස දිහා බලන් ඉඳලා, යද්දිත් අහස දිහාම බලන් ‍යන්න වෙන, හැමදෙනාටම අසාමාන්‍ය ලෙස සාම්‍ය වූ ගමනක් !

    ඔන්න ඔය ගමන අස්සේ,
    වෙනස් වෙනස් අවස්ථා වලදි, වෙනස් වෙනස් වර්ගයේ, වෙනස් වෙනස් පාට කොල වල, වෙනස් වෙනස් අකුරින් ලියපු, වෙනස් වෙනස් සාන්ද්‍රණයේ නමුත්, එකම හරය සහිත ප්‍රශ්න පත්‍රයක් හැමෝටම ලැබෙනවා.

    ඉතිං, ඔන්න ඔය ප්‍රස්න පත්තරේට උත්තර සොයමින්, ලියමින් යාමට තමයි මිනිස්සු “ජීවත් වෙනවා” කියල කියා ගන්නේ…

    ඒත්, ප්‍රශ්න පත්‍රයත්, ප්‍රශ්නත් ඉතිරි වෙලා තියෙද්දිම කවදහරි දවසක, අසම්පූර්ණ පිළිතුරු පත්‍රයක් මේසේ උඩ තියලා හිටි අඩියේම අපිට යන්න වෙනවා. ඉන් පස්සේ, බොහෝවිට ඒ අපේ අසම්පූර්ණ පිළිතුරු පත්‍රය තවත් මනුෂ්‍යයෙකුට එයාගෙ ප්‍රශ්න පත්‍රයටම ඈඳාගෙන ලියන් යන්න වෙනවා. කලත්‍රයා මියගිය කලත්‍රයෙකුට, සේවකයා මිය ගිය සේව්‍යයෙකුට, මෙකී නොකී සෑම සබඳතාවයක් ඇත්තෙකුටම, අර අත් හැරුණු ප්‍රශ්න පත්‍රය මගාරින්න බෑ… අඩුම තරමේ, ඒ ප්‍රශ්න පත්‍රයෙන් “දුක” කියන කොටස හරි ජීවත් වන කෙනාට තමන් එක්ක ඉදිරියට අරන් යන්න වෙනවා.

    ඒ වගේම, මේක, ජීවතුන් අතර හිඳින, අපි හා එක්ව ගමන් යන්නන්ගේ ප්‍රශ්නපත්‍ර වලටත් විසඳුම් සොයමින්, පිළිතුරු දෙමින් යන ගමනක්! අපිට අපේ කලත්‍රයාගෙ, දරුවාගෙ, මිත්‍රයාගෙ, ඥාතියාගෙ, වෘත්තියේ, පවුලේ, ආර්ථිකයේ, සංස්කෘතියේ, සදාචාරයේ, සාරධර්මයේ, නීතියේ, ගමේ, රටේ, ලෝකයේ, විශ්වයේ, ප්‍රශ්න මගහරින්න බෑ. ඒ අනුව බලද්දී, අපි අපේ ප්‍රශ්න පත්‍රයට අමතරව තවත් බොහෝ අයගෙ ප්‍රශ්න පත්‍ර මිටියක්ම කර තියාන යන මිනිස්සු.

    ඉතිං, මෙහෙම යන ගමන් අපි කියනවා, “ජීවිතේ හරි බරයි” කියලා…

    එහෙම කියාපු අපිම, අසම්පූර්ණ පිළිතුරු පත්‍රය මේසෙ උඩින් තියලා, දවසක නොකියාම යන්න යනවා… අන්තිමට, අපි අපේ ජීවිත කාලෙ පුරාම කළේ උත්තර හොයපු එක සහ උත්තර ලියපු එක වුණත්, ඒ ලියවිල්ල ඉවරයක් වෙලාවත්, ඉවරයක් කරලවත් ගිහින් නෑ.

    ඒත්, එහෙම මිනිස්සු හිටියා. අදටත්, මේ ලෝකයේ අතරින් පතර ඒ වගේ බොහෝම සුළු පිරිසක් ඇති. එයාලා හරි වෙනස් මිනිස්සු. පොදු ප්‍රශ්න පත්‍රය ඉරලා, ගුලි කරලා, වීසි කරල දාන්න තරම් එඩිතර වූ මිනිස්සු. කොන්දක් තිබුණු මිනිස්සු. ලෝක රටාවට පයින් ගහපු මිනිස්සු. ලෝකය කැරකෙන සීමාවට එහායින්, යෝධයෝ වගේ හිටගත්තු පුංචි මිනිස්සු. අන්න ඒකයි නියම ගමන!

    ඈත ඉඳන් බලා ඉද්දි, රටාවට යන එක හරි ලස්සනයි තමයි. නැටුම් සංදර්ශනේක ඒකාකාරී පිය තැබීම් කොහොමත් සුන්දරයි. අන්තිමට හැමෝම පේළියට යනවා…

    ඒත්, මෝඩයි.
    රටාව ඉතිරියි.
    සංසාරය ශේෂයි.

  • ගැහැණියක් ජීවත් විය යුත්තේ ලෝකයක් ප්‍රීතිමත් කර දුක් විඳීමට නොවේ.

    ගැහැණියක් ජීවත් විය යුත්තේ ලෝකයක් ප්‍රීතිමත් කර දුක් විඳීමට නොවේ.

    අපි බොහෝවිට කරන්නේ, වසරකට එක දවසක් අපි ගැන බොහෝම උද්‍යෝගයෙන් කතා කරලා, කවි ලියලා, පීත්ත පටි කපලා, අත්පුඩි ගහලා, ලොකූ හා හෝවක් කරලා, ඊට පහුවෙනිදා ඉඳන් අපිවම අත් ඇරලා දාන එක. ඉතිරි දින 364ම අපිට අපි අමතක වෙන එක.

    එතකොට,
    මොකක්ද මේ මුලින් කීව වෙනස් පැකේජ් එක?
    360° පැකේජ් එකත් එක්ක කාන්තාවකගෙ තියන සම්බන්ධය මොකක්ද?

    කාන්තාවක් කියන්නේම, භූමිකා රාශියක සංකලනයක්. යම් කාන්තාවකට තමන්ට හිමි විවිධාකාර භූමිකා අතර, නොගැටී සාර්ථකව ගලා යන්න හැකි නම් සහ ප්‍රශස්ථව ඒ භූමිකා අතර ව්‍යාප්ත වෙන්න හැකි නම්, ඇය 360° PACKAGE එකක්. ඒ කියන්නේ, ALL ROUNDER කෙනෙක්. ඒක සැබැවින්ම අද්විතීය කුසලතාවයක්.

    අසම්පූර්ණ මනුෂ්‍යත්වයේ පරිපූර්ණ පැතිකඩක් වෙන්න හැමෝටම බැහැ. එහෙම වෙන්න ඕනිත් නෑ. හැමෝම ඇල්ෆා ගැහැණු වෙන්න ඕනිය කියලා නියමයක් නැහැනේ.

    නමුත්, අපි හැමෝටම උත්සාහ කරන්න පුළුවන් වඩා සාර්ථක ගැහැණියක් වෙන්න. දැන් ඉන්න මට්ටමින් මිලිමීටරයක හෝ ප්‍රගතියක් ලබන්න අපිට සැබෑ උවමනාවක් තිබීම වැදගත්. ඒක ඔබේ අභිමතය. ලෞකික, භෞතික, ආධ්‍යාත්මික ඕනිම අංශයකින් ඉදිරියට යන්න ඔබ ගන්න ඕනෑම කුඩා උත්සාහයක් පවා, කවදාවත් අපතේ යන් නැහැ. ඒ උත්සාහයම අත්දැකීමක්. ජීවිතේට පන්නරයක්!

    ජීවත් වෙද්දී, තනි තනි ඒකකයක් වශයෙන්, ගැහැණියක් භූමිකා රැසක් තුළ විහිදෙන්න ඕනි… ඇත්තෙන්ම, ඇයට රබර් කාදුවක් වගේ නම්‍යශීලීව සියල්ල ආවරණය කරන්න වෙනවා.

    දියණියක්, ශිෂ්‍යාවක්, පෙම්වතියක්, බිරිඳක්, මවක්, ගෘහණියක්, වෘත්තිකාවක්, සොයුරියක්, මිතුරියක්, රැක බලා ගන්නියක්, දයාව බෙදන්නියක්, සොයා බලන්නියක්, සමාජ සේවිකාවක්, නියමුවරියක්… ආදී, මෙකී නොකී භූමිකා රැසක ඇය ව්‍යාප්ත විය යුතුයි.

    අන්න ඒ භූමිකා තුළ සාර්ථකව රැඳෙන්න නම්, එකිනෙක භූමිකා පටලවා නොගන්න නම්, ඇය ඈ තුළ “මිශ්‍ර නොවී, මිශ්‍ර වීමේ කුසලතාවය” වර්ධනය කර ගත යුතුයි.(MIXED WITHOUT BEING MIXED UP) එවිට, තමන්ට හිමි එක් එක් කාර්‍ය භාරයන් අතර හට ගන්නා ස්වභාවික ඝට්ටනයන් අවම කර ගන්න ඇයට පිළිවන් වෙනවා.

    ඒ වගේමයි, ගැහැණියක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, “වචනයේ” ගැහැණියක් වීමත් ඉතාම වැදගත්.

    ඒ මොකක්ද?

    “LADY OF WORDS”

    වචනයක් දුන්නා නම්, ඒ වචනය රකින්නියක් වෙනවා කියන එකයි මෙහි අදහස. මේ ප්‍රතිපත්තියට අනුගතව ක්‍රියා කිරීම බොහෝවිට කෙනෙක්ට කරන්න සෑහෙන්න අමාරුයි. ඒත්, තම වදන් තුළම පිහිටා කටයුතු කිරීමට උගෙනීම කියන්නේ කෙනෙක් පුහුණු විය යුතු කුසලතාවයක්. මුලින් මුලින් ඔබ අසාර්ථක විය හැකියි. ඔබේ සිත ශක්තිමත් වනතාක්, ඔබ වැටේවි. අසාර්ථක වේවි. ඒකට කමක් නැහැ. මිනිස්සු කොහොමත් ඔබට කතන්දර කියනවා. ඔබව හෙළා දකිනවා. ඔබේ නැති වැරදි පවා ගොතනවා.

    නමුත්, ජීවිතය කියන්නේ “තැත් වරද ක්‍රමයෙන්” නැවත, නැවත උගත යුතු පාඩමක්. කිසිවෙක් පරිපූර්ණව මේ ලෝකයට ආවේ නැහැ. ඉතිං, ක්‍රමානුකූලව, සිහියෙන් “වචනයේ පිහිටීම” කියන හොඳ පුරුද්ද දිගින් දිගටම රැගෙන යන්න කාන්තා ඔබ උත්සාහ කළොත්, ඔබ ඊට හැඩ ගැසේවි. දවසක ඒ හොඳ පුරුද්ද ඔබේ නිසඟ අංගයක් බවට පත් වේවි. එයම ඔබට ආභරණයක් වේවි. ඔබේ ආත්ම තෘප්තියට හේතුවක් වේවි.

    ගැහැණියක් ජීවත් විය යුත්තේ, ලෝකයක් ප්‍රීතිමත් කර, ඔබ දුක් විඳීමට නම් නොවේ. ඔබ ඔබවම අමතක කර දැමීමට නම් නොවේ. ඔබේ ආත්ම තෘප්තියේ නියමුවරිය ඔබමයි. ඔබේ ප්‍රීතියේ “මැජික් පහන” ඇත්තේ ඔබ අතේමයි.

    එහෙනම්,
    සුභ කාන්තා දිනයක්!

  • ගාඩි – “යකුනේ, අපට වැරදුනේ මුලදිමයි – තක්ෂිලා වීරසේකර

    ගාඩි – “යකුනේ, අපට වැරදුනේ මුලදිමයි – තක්ෂිලා වීරසේකර

    අද, මම ගාඩි සිනමා කෘතිය නැරඹුවා. සිනමා කෘතියක් කියන්නේ, චිත්‍රපටයක්ම නෙවෙයි. බයිස්කෝප් එකක්ම නෙවෙයි. දුවන සැලෝලයිඩ් පටයක්ම නෙවෙයි. කොටින්ම, හුදෙක් entertaining stream එකක්මත් නෙවෙයි.

    යම් කියවීමක් තියන දෙයක්, පුළුල් වපසරියක් සීමිත කාල පරාසයක් තුළ සූක්ෂමව ආවරණය කරන- ග්‍රහණය කරන දෙයක්, එක්තරා ධාරිතාවක්- බරක් සහිත දෙයක් “සිනමා කෘතියක්”ය කියලා හඳුන්වන්න මම කැමතියි. ඉතිං, මම ‘ගාඩි’ “සිනමා කෘතියක්” වශයෙන් හඳුන්වන්න පැකිළෙන්නේ නැහැ.

    ගාඩි කියන්නේ, කලාත්මක බවින් එහා ගිය වාර්තාකරණයක, වාර්තා චිත්‍රපටයක ලක්ෂණ රැගත් නිර්මාණයක්ය කීවොත්, මම වඩාත් නිවැරදියි. අතීතයක වර්තමාන පුනරුක්තියේ හරස්කඩක් කීවොත් ඒත් නිවැරදියි.

    වසර 2500ක අභිමානවත් අපේ අතීතය, අපේ ශෝක් අතීතය කියලා හොරණෑ පිඹින සංස්කෘතියක් ඇතුළෙ කැකෑරෙන “කැත, පහත්, උන්මාදනීය ලක්ෂණ” බොහොමයක් නිර්භයව ‘ගාඩි’ තුළින් එළියට අදින්න, ළය විරේක කරන්න, වමනෙ දම්මවන්න ප්‍රසන්න විතානගේ සමත් වෙලා තියනවා.

    අපේ සංස්කෘතියේ මූලාරම්භය තුළම, අපේ අවාසනාවන්ත පරිහාණිය ලියවිලා තිබ්බ අපූරුව චිත්‍රපටය පුරාම විටින් විට හොල්මන් කරනවා. ඇත්තෙන්ම, ශ්‍රී ලාංකේය සංස්කෘතිය කියන කිරි කළයට එක් වූ පුරාතන ගොම තලිය තමයි, අපේ කුල ක්‍රමය.

    “එදා රජවරු දාගැබ් හැදුවා තමයි, වැව් බැන්ඳා තමයි, ගොවි බිම් අස්වැද්දුවා තමයි, යුද්ධ දිණුවා තමයි.. නමුත්, රජවරුන්ගේ දිගු නාමයන් බබුළුවන සංග්‍රාමයේදී අහිංසක කුලහීන, පීඩිත ජනතාවගේ ‘හම’ ගැලවී ගියා. එදත්, පීඩිතයින් මතින් පාලක පංතිය බැබළුණා. රන් අකුරින් නම ලියවා ගත්තා. අදත්, පීඩිතයින් මතින් පාලකයින් බැබලෙනවා. වෙනස තියෙන්නේ ඇඳුමේ පමණයි. එදා, තුප්පොට්ටිය ඇඳන් කළ සුනඛ ක්‍රියා පිළිවෙතමයි, අද ජාතික ඇඳුම, කලිසම් කෝට් ඇඳපු පාලකයෝ කරන්නෙත්.”
    ‘ගාඩි’ ඇතුළෙන් මෙන්න මේ තියුණු කියැවීම, සියුම් උත්ප්‍රාසයක් සහිතව ගලා යනවා. “යකුනේ, අපට වැරදුනේ මුලදිමයි. නරක් වූ මැද හා ඔඩු දිවූ අග ගැන ඉතිං කවර කථිකාද?” කියා මේ සිනමා කෘතිය නොකියා කියනවා.

    “සිංහලයාත් උත්තම බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීම පිණිස වඩුග රජුව පන්නමු!” ඔන්න ඔය වැකිය චිත්‍රපටය පුරාම කිහිප තැනකම වර නැංවෙනවා. ඒ වර නැගීම තුළින්ම මතු වෙන්නේ, ඉසියුම් ප්‍රබල උපහාසයක්. කුලහීනයන් පෙළන කුලීන සිංහල පාලක පක්ෂය සහ “ඌ දන්නා උගේ බුදු දහමේ” උත්තරීතරකම කුමක්දැයි රසිකයාට නිරායාසී ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. ඒ ප්‍රශ්නාර්ථය තුළ සෙලවෙන්නේ, වර්තමාන දේශපාලනයේ කළු සෙවනැළිමයි. එකම දේ. එකම වචන. කාල දෙකක වෙනස පමණයි. ඒ, අඳුරු අතීතයකින් පැන නැගුණු, අන්ධකාර වර්තමානයක පුනරුක්තියයි. ප්‍රශ්නය ඇත්තේ කොහිද, එතැනින්ම පිළිතුරත් පැන නගිනවා. අපි වෙනස් කළ යුත්තේ කවරක්දැයි වැටහෙනවා. ඉන්, පිල් බෙදීමකට කළ හැකි විනාශය කෙතෙක්දැයි නොකියා කියනවා.

    ගාඩි තුළ ඇති මේ ප්‍රශස්ත සමාජමය කියවීමට අමතර වශයෙන්, එහි අඩුපාඩු ද නැතිවාම නොවෙයි. සිනමාපටය අතිශය වේගවත්. එහි අධිවේගී ගලා යාම තුළ, සන්සුන් මානුෂීය හැඟීම් සෙමෙන් සෙමෙන් මුදා හැරීමට අවස්ථාවක් නැහැ. එහිදී, මිනිස් සිත හා හැඟීම් මෙයට වඩා ගැඹුරු තලයකින් ස්පර්ෂ කරන්නට ඉඩ තිබුණා නොවේදැයි මට සිතෙනවා. විජයා සහ මැණිකේගේ ප්‍රේමය පිළිබඳ අවසාන ජවනිකාව, කලබලයකින් තොරව, සෙමෙන් විකසිත වන්නට ඉඩ හරින්නට තිබුණා නොවේදැයි මට සිතෙනවා. ඒ ප්‍රේමය ආරම්භ වූ වහාම චිත්‍රපටය අවසන් වෙනවා. එය පැහැදිලිවම අස්වාභාවික, යාන්ත්‍රික අවසානයක්. එසේම, උඩු කය සළුවෙන් වසාගත් කුලහීන කාන්තාවකගේ උඩුකය නිරුවත් කිරීමටම දඟලන කුලීනයින් පිළිබඳවත් අනවශ්‍ය තරම් ජවනිකා ප්‍රමාණයක් අමතරෙන් ඔබ්බවා ඇතැයි හැඟෙනවා. එමෙන්ම, නිරුවත් කරන ගාණේ ගුටි කන ගාඩි රැළත්, ගුටි කමින්ම යළි යළිත් රෙදි පොරවා ගන්නට පසුබට නොවන මැණිකේත්, ඇය එසේ රෙදි පොරවා ගන්නා වාරයක් පාසා, නැවත නැවත කුලීනයන්ගෙන් ගුටි කන ගාඩි රැළත්, විහිළුවක් බවට පත් වෙනවා. එසේම, ගෙදර හදන බළල් පැටවකු අල්ලනවා තරම්ම පහසුවෙන්, සීරීම් මාත්‍රයක් හෝ නොමැතිව කුළු මීමෙකු අල්ලා ගන්නා විජයා, දිමියන් දෂ්ඨනයෙන් පැය ගණනාවක්ම සිහිසුන්ව පසුවන මැණිකේ, හදිසියේ ප්‍රාදුර්භූත වන දඩයක්කාරයින් කණ්ඩායම, වැනි ජවනිකාවල තිබෙන්නේ, ඉතාම අතාත්වික බවක්. එසේම, දෙබස් ඔස්සේ, මැණිකේ ඉතා සුකුමාල කාන්තාවක් බව කීමට උත්සාහ කර ඇතත්, ඇගේ පෙනුමෙහි සහ හැසිරීමෙහි එවන් සුකුමාල බවක් වෙනුවට දැඩි ඇට්ටර බවක් තිබීම ද ගැටළුවක්. එසේම, චිත්‍රපටය බොහොම කෙටි වීමත්, කතා රසය හීන කරනවා. චිත්‍රපටය නිදහසේ බලන්නට මනස හදා ගන්නවා හා සමඟම, චිත්‍රපටය අවසන් වීමෙන් රසිකයා අපේක්ෂාභංගත්වයට පත් වෙනවා.

    මෙවන් අඩුපාඩු, ඌණ ලක්ෂණ තිබුණත්, මම මෙම සිනමා කෘතිය ඔබ විසින් “බැලිය යුතුම වර්ගයේ එකක්” යයි වර්ග කිරීමට නම් පැකිළෙන්නේ නැහැ.

  • -I SEE YOU- තක්ෂිලා වීරසේකර

    -I SEE YOU- තක්ෂිලා වීරසේකර

    මේ,
    වර්තමාන සමාජයේ ඉතාම ජනප්‍රිය ව්‍යවහාරීය වාක්‍ය ඛණ්ඩ අතුරින් එකක් කීවොත්, මා නිවැරදියි. ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Avatar 2, The Way Of Water චිත්‍රපටය හරහා “උනුන් තේරුම් ගැනීම” පිළිබඳව අද වටිනා කතිකාවතක් බිහි වෙලා.
    ඉතිං,
    මේ ලිවීම, ඒ කරුණ පිළිබඳවයි.

    මිනිස් මනස හරිම අපූර්වයි. සෑම මිනිසෙක් සතුවම විස්මිත සංජානනමය හැකියාවක් තිබෙනවා. අනෙකාගේ හැඟීම්, ඔහුගේ සපත්තුවට බැහැලා තේරුම් ගන්න මනුෂ්‍යයකුට හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ, සංවේදී, සහකම්පනය සහිත, ඉවසිලිවන්ත, කාරුණික, නිහතමානී මනසක් පමණයි.

    අපි සැමවිටම, අපේ පැත්තෙන් පමණක් නොවෙයි, අනෙකාගේ පැත්තෙනුත් කරුණු කාරණා විමසා බැලීමට තරම් බුද්ධිමත් විය යුතුයි. එවිට, එකිනෙකා හා ඝට්ටනය නොවී හිඳීමට අපට හැකි වෙනවා. කෙනෙක් දිගින් දිගටම අවි අමෝරාගෙන ගැටුමට එන විටෙකදී වුවත්, සන්සුන් මනසින්, නොගැටී ඉන්න අපට පුළුවන් වෙන්නේ එතකොටයි.

    යම් කරුණක් දෙස අනෙකාගේ කෝණයෙන් බැලීම තුළින්, අපට ඔහු මුහුණ පා සිටින සැබෑ තත්ත්වය, ඔහුගේ ප්‍රබලතා, දුබලතා, අපහසුතා, භීතිකා, ඔහුගේ මනස ක්‍රියා කරන ආකාරය, විකල්ප, ඔහුට ඇති සාර්ථකම විසඳුම ආදී කරුණු මනාව තේරුම්ගත හැකි වෙනවා. එවිට, යම් මනුෂ්‍ය තීරණයක් සම්බන්ධයෙන් එරෙහිව යාම වෙනුවට, ඔහු ගත් තීරණයෙහි ඇති සාධාරණබව, යෝග්‍යබව, සුදුසුබව, උචිතබව අපට පැහැදිලිව දැකීමේ හැකියාව ලැබෙනවා.

    කෙනෙක් ගන්නා උචිතම තීරණයක් පවා, විටෙක තවත් පාර්ශවයකට වේදනාකාරී එකක් විය හැකියි. නමුත්, මනා තේරුම් ගැනීමක් තුළ, වේදනාකාරී තීරණයක් පවා, නිහතමානීව පිළිගැනීමට යමෙකුට ශක්තියක් ලැබෙනවා.

    තේරුම් ගැනීම, මනාව වටහා ගැනීම, අවබෝධ කර ගැනීම,
    සංහිඳියාවට, සාමයට හා සැනසිල්ලට ඇති වටිනාම මාවතයි.

    ඔබටත්, අන්‍යයන්ගේ හැඟීම් දැකිය හැකි නම්, තේරුම්ගත හැකි නම්, ස්පර්ෂ කළ හැකි නම්,
    ඔබට ජීවිතේ ඉහළ පහළ යාම් අතර ඇතැම්විට පැරදීමට සිදු වුණත්, ඒ වනවිටත් ඔබ සැබෑම ජයග්‍රාහකයෙක් වෙලා අවසන්.

  • පේරාදෙණිය ගීතයක්!

    පේරාදෙණිය ගීතයක්!

    රතු පුවරු ගහපු ගලහ හන්දියට මම හරි ආසයි. තරුණ ජවයෙන් පිරුණු ජනතා හඬක ඒක නින්නාද ගිගුරුමක් මට ගලහ හන්දියෙන් හැමදාකම ඇහෙනවා.

    ඊටත් එහායින් ස්ථානගත වෙච්ච, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිසංසල ගම්භීර උදාරම් බවට මම බොහොම ප්‍රියයි. ඒ පහන් බිමේ, කොළ පාට ගස් වල එතුණු කහ පාට මල් වැලක උනත් තියෙන්නේ, කහ, බුද්ධියේ වර්ණය නිසාමදෝ, නිවීමක්.

    බණ්ඩාරනායක අනුස්මරණ ළමා රෝහලත්, අපේ උසාවියත්, හදවතේ එළලනු බැරි කොණක ඉසියුම් කැපුම් ඉරක් අඳිද්දී,
    රාජකීය උද්භීද උද්‍යානයේ යෝධ ශ්වේත කැකුණ තුරු පෙළ අසල ගැවසීමත් එක්තරා හිත සනහන භාවනාවක්.

    මහවැලි දිය නිල, හරිත තුරු හිස්, හන්තාන කඳු වළල්ල තනිකරම පිස්සුවක්.

    සිත්තරුන් සිය ගණනකගේ පින්සල් වලින් වර්ණාලේපිත, විවිධ ශෛලියේ විචිත්‍ර චිත්‍ර රටා පිරුණු අපූර්ව කැන්වසයක්.

    සංගිලි පාලම දිගේ සීරුවෙන් ගඟ මැදට යාමම ආනන්දයක්.

  • ඇස්

    ඇස්

    ඇසක් කියන්නේ විශ්වයක්. ඇසක් කියවීමත් එක්තරා කලාවක්.

    Black, Dark Brown, Light Brown, Tan, Honey, Hazel, Green, Ivory, Ash, Amber, Blue වගේ,
    වෙනස් වෙනස් වර්ණ සංයෝජන සහිත මිනිස් ඇස් රාශියක් පෘථිවි ගෝලය පුරා විසිරිලා තිබෙනවා.

    තද කළු පෑයට හුරු අඳුරු ස්වභාවය නිසාම, මෙලනින් වර්ණකය හොඳින් තිබෙන නිසාම, ආසියාතික ඇස් කියවන්න අමාරුයි. කණීනිකාව, වට රේඛාවන් පැහැදිලිව වෙන් වෙන් වශයෙන් ආසියාතික කළු ඇස් ඇතුළෙ සොයන්න සෑහෙන්න වෙහෙසක් දරන්න ඕනි. එහෙත්, යුරෝපීය ඇස් වල මෙලනින් අඩුකම හේතුවෙන්, ලා වර්ණ සංයෝජනයක් තියන නිසාම, ඒ ඇස් පහසුවෙන් කියවන්න හැකියි.
    මෙලනින් වර්ණකයේ අඩු වැඩි බව කෙසේ වෙතත්, මම මේ ලියන්නේ, සියළුම මනුෂ්‍ය ඇස් ගැන කතාවක්.

    ඇසක් කියන්නේම තොරතුරු ගබඩාවක්. ඇසක් ඇතුළෙ ඔබේ අතීතයේ ශේෂ හැංගිලා තිබෙනවා.
    ඔබේ වර්තමාන මනසේ ප්‍රතිබිම්බයක් තිබෙනවා.
    එහි, ඔබේ අනාගතයෙහි ප්‍රක්ශේපණයක් තිබෙනවා.

    සිත්තරෙකු, ඇසක් තුළ දකින්නේ විචිත්‍ර වර්ණ,රටා හා හැඩතල.
    අක්ෂි වෛද්‍යවරයකු, ඇසක් තුළ අක්ෂි රෝග දකිනවා.
    කවියෙකුට ඇසක් යනු, සම්පූර්ණයෙන්ම අපූර්ව කාව්‍යයක්.
    කතුවරයෙකුට ඇසක් යනු, මහා පුස්ථකයක්.
    ඉතිහාසඥයකුට ඇසක් කියන්නේම පුරාණයක්.
    මානව විද්‍යාඥයකුට ඇසක් තුළ පේන්නේ, මානව පරිණාමයක හැරවුම් ලක්ෂ සහ ජානමය රහස්.
    මනෝ වෛද්‍යවරයෙක්, ඇසක් තුළින් ඔබේ මනස හා මනෝභාවය කියවාවි.
    නීතීඥයෙක්, ඇසක් තුළ හැංගුණු සත්‍යය හෝ බොරුව දකීවි.
    විනිසුරෙක්, ඇසක් තුළ සිටින නිවැරදිකරු හෝ වරදකරු දකීවි.
    සොල්දාදුවෙක්, ඇසක ඇති නිර්භීතභාවය, බියසුළු බව, කම්පනය හෝ සංත්‍රාසය දකීවි.
    පෙම්වතෙක් හෝ පෙම්වතියක්, ඇසක පිරී ඇති ප්‍රේමය සහ අනෙකාගේ හදවතේ හැඟීම් දකීවි.
    කෝපී තැනැත්තෙක්, ඇසක කැටිවූ වෛරය හා පාපී බව දකීවි.
    සල්ලාලයෙක්, ඇසක ඇති රාගය සහ විරාගය දකීවි.
    සහකම්පනය ඇත්තෙක්, ඇසක සිරවූ වේදනාව හා ප්‍රීතිය දකීවි.
    කාරුණික මිනිසෙක්, ඇසක ඇති අවංක බව සහ මනුෂ්‍යත්වය දකීවි.
    රහතෙක්, ඇසක කැටිව ඇති නිවීම දකීවි.

    ” Eyes are the windows to
    your soul”
    “දෑස් යනු, ඔබේ ආත්මය
    කරා වූ කවුළුවයි”
    යනුවෙන්,
    කතුවර විලියම් ශේක්ස්පියර් ප්‍රකාශ කර ඇත්තේ එනිසයි.

    ඉතිං,
    අපි බරපතල ලෙස නොසිතුවාට, ඇසක් කියන්නේම, ලොකු කතාන්දරයක් නේද?

    එහෙමනම්,
    උනුන් මරා ගන්න ඉස්සර,
    උනුන් හෙළා දකින්න ඉස්සර,
    උනුන්ට අපහාස කර ගන්න ඉස්සර,
    උනුන් රිදවන්න ඉස්සර,
    මිනිසුන්ව නිවැරදිව කියවන්න පුරුදු වෙන්න..

    අවසානයේ,
    ඔබට වැටහේවි,
    කෙනෙකුගේ ඇසක් තුළ ඔබ දකින්නේ,
    ඔබ සොයනා දේට පිළිතුර බව.

    මිනිසුන් තුළ නිවැරදි දේ සොයන්න.
    හොඳ දේ සොයන්න.
    ඔවුන් දෙස පිරිසිදු සිතින් බලන්න.

    ඔබට හොඳම සහ නිවැරදිම සුපැහැදිලි පිළිතුර ලැබේවි.