Tag: තක්ෂිලා වීරසේකර

  • ගිලෙන්න- කිඳා බහින්න ඉඩ හැරලා තියනවා – මම අහසට කැමතියි.

    ගිලෙන්න- කිඳා බහින්න ඉඩ හැරලා තියනවා – මම අහසට කැමතියි.

    මම අහසට කැමතියි. එයිනුත්, අහස විසාලෙටම පේන විවෘත තැනිබිමක් පතුලේ- කුඩා රොඩ්ඩක් වගේ ඇලවිලා, අහස දිහා ගොඩක් වෙලා නිශ්ශබ්දව බලා ඉන්න මම බොහොමත්ම කැමතියි.

    ඒ ඇයි දන්නවද?
    මේ අහස යට ඉඳගත්තම මම හරිම පුංචියි. මම හරි ආසයි ඒ අංශුමාත්‍ර බවට. එතකොට,
    මම හරිම බරසාරව හිතන කිසිම දෙයක්, මේ අපරිමිත විශ්ව පර්‍යන්තය ඇතුළේ ලොකු දේවල් නම් නොවන වග මට වැටහෙන්න ගන්නවා.

    ඒ වගේම,
    මම පොළොවේ තියන තියන අඩියක් ගාණේ,
    ඊට ඉහළින් අහසක් තියන එකත් මොනතරම් නම් අපූරුද?
    අපි, අහස තරම්ම පළලට විහිදෙන පොළොවක ඇවිද යන අංශු !

    හැමදාම උදේට,
    බරට බරේ උස්සාගෙන දුවන නඩු ගොනු වල තියන කරදාසි ගොන්නක පිටපත් කළ “දෙපැත්තට ඇදෙන- අදින- මිනිස් ලොකුකම්” ගැන මට එතකොට හිනා යනවා.

    ලොකු වැරදි කරන පොඩි මිනිස්සු ගැන හරි අනුකම්පා හිතෙනවා.
    එයාලා එයාලගෙ චූටි ඔළුවල පුරවාගෙන යන සටකපටකම්, කුඩුකේඩුකම් ගැන “අපොයි, කොච්චර මෝඩද?” කියලා හිතෙනවා.

    අහසක පොළොවක ආයු කාලය එක්ක අපේ ඉසිඟිති ආයු පරාසය සසඳද්දි, “මිනිස්සු මේ සා ගර්වයක්- මාන්නයක් තමන්ටම ආරෝපණය කරන් ඉන්නෙ මොන එහෙකටද?” කියලා හිතෙනවා.

    සදාකාලිකයි කියලා කිසිවක් නැති තැනකදි ගහන ස්ථීරසාර ගිවිසුම් මොනතරම් නම් මුලාවක්ද හිතෙනවා.

    විශ්වය,
    පාවෙන දේවල් වලට,
    නිදහසේ පාවෙන්න ඉඩ හැරලා තියනවා.
    ගලන දේවල් වලට,
    නිදහසේ ගලන්න ඉඩ හැරලා තියනවා.
    බර දේවල්,
    ගිලෙන්න- කිඳා බහින්න ඉඩ හැරලා තියනවා.

    ඒ අතරේ,
    මැරෙන දේවල් වලට බොහොම ටික කලක් සප්‍රාණිකව ජීවත් වෙන්න ඉඩක් දීලා තියනවා….

    අපි ඒ බොහොම ටික කාලය තුළ “ජීවත් නොවී”, ඉන් එහාටත් ඉලක්ක තබාගෙන, මරණයෙන් ඔබ්බට ජීවිතය දිගු කරමින්- පරම්පරාවෙන් පරම්පරාවටත්, මරණින් මතු උපතකටත් පිඹුරු පත් සකසමින්, ඉන්නවා.

    කිසිම මනුෂ්‍යයෙක්,
    එකම ස්ථානයකට දෙවරක් යන්නේ නැහැ. එහෙම යන්නත් බෑ.

    පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින්-
    සූර්‍යයා වටා පරිභ්‍රමණය වෙමින් ඉද්දි,
    සූර්‍යයාත් ක්ෂීරපථය වටා මහාපරිභ්‍රමණයක් සිදු කරන අතරවාරේ-
    ඒ චක්‍රාවාටයත් තවත් මහා සක්වළක් වටා කැරකෙද්දී,
    ඔබ
    විශ්වයේ අද ඉන්න තැනම කීයටවත් හෙටත් නම් ඉන්නෙ නෑ.

    ඉතිං, ඒ වගේ තත්ත්වයක් යටතේ,
    “මම ඉන්නේ මහනුවර” කියලා කෙනෙක් කියද්දී, “ආ… අපි නම් ඉන්නේ ඊට ගොඩාක් දුර, කයිට්ස් වල…” කියලා තව කෙනෙක් කිව්වොත්, ඒක එක්තරා අන්දමක විහිළුවක් නෙවෙයිද?

    කවුරුන් හෝ, “ඔබ ජීවත් වෙන්නේ ඇයි?” කියලා ඇහුවොත්, අපි දෙන උත්තරේ ඇතුළෙ තියෙන්නේ,
    “ළමයින්ට උගන්වා ගත්තට පස්සෙ මගෙ ලොකුම බර ඉවරයි, දුවලා තුන් දෙනාව දීග දුන්නට පස්සේ මගෙ ඔළුව නිදහස්, මේ ණය කන්ද ගෙවල දැම්මට පස්සෙ මං නම් මැරුණත් කමක් නෑ, ගෙදර හදාගෙන වාහනයක් ගත්තම මගෙ මිශන් එක කම්ප්ලීට්, ඊළඟ පාර මැතිවරණයේදි නම් අපි දෙනවා ගේමක් ඇඩ්‍රස් නැති වෙන්න…” වගෙ උත්තර නම්…. ඒවා මේ විසල් විශ්ව පර්යන්තය එක්ක සසඳද්දී කොයිතරම් නම් කුහුඹු පිළිතුරුද කියලා ඔබට වැටහේවි.

    හැමදාම අපිට උදාසනක් ලැබෙනවා. හැමදාම, දිවා කාලයක් සහ රාත්‍රියක් ලැබෙනවා. අපි ඒ ලැබෙන “දවස් කැබලි” එක්කෝ අර්ථවත්ව ගෙවා දමමින් හෝ එක්කෝ, කා දමමින් ඉඳලා දවසක මැරිලා යනවා.

    ඇත්තටම, මිනිස් වර්ගයාටම සොබාදහම කියන්න හදන්නේ- සංජානනය කරන්න හදන්නේ- එකම එක පණිවුඩයයි.
    “මං වගේ වෙන්න. විකෘතියක් වෙන්න එපා. මාත් එක්ක එන්න. ඔබ මා දුන් දෙයට පිටින් සිදු කරන කෘත්‍රිම දේවල් වලට කිසිම අර්ථයක් නැහැ. ඔබ සප්‍රාණික යයි කියන – සිතන- කිසිම දෙයකට තිර පැවැත්මකුත් නැහැ. නමුත්, මේ විශ්වයේ, යම් දිව්‍යමය මූල ස්වභාවයක් තිබෙනවා. ඒ මූල ස්වභාවයට පත්වන තෙක්ම ඔබට ගමන් කරන්නට සිදු වෙනවා. ඒ ගමන් කිරීම මහා දුකක්. මා සමඟ, මට අනුගතව ගියොත්, ඔබට ශක්තිමත් ලෙස ඒ ගමන අවසන් කළ හැකියි. අවසන් කිරීම කෙසේ වෙතත්, අඩුම තරමේ- නිදහස් මනසින් සැහැල්ලුවෙන් ගමන් කළ හැකියි. ඔබ මේ කරන තාවකාලික විකෘති සියල්ල, මැරෙන ටිකට කරන පුහු කැටයම් විතරමයි… අවදි වන්න! ඔබේ කෘත්‍රිම කොටුවෙන් එහා- කුඩා කළ පටන් ආගමික කළ මනසින් එහා- පොතෙන් එහා- ඩිජිටල් තිරෙන් එහා- අති අනර්ඝ ස්වභාවික යමක් තියනවා….” කියන එකයි.

     

  • පිසදා හැරීමේ රීතිය. (Wiping-out theory)

    පිසදා හැරීමේ රීතිය. (Wiping-out theory)

    ඇත්තටම මම දන්නෙ නෑ මේ තියරිය මේ වෙද්දී ලෝකය තුළ apply වෙන එකක්ද නැද්ද කියලා. අඩුම ගාණේ, මීට කළින් කවුරුන් හෝ සොයා ගත් දෙයක්ද, නැද්ද කියලා කියන්නත් මම ඇත්තෙන්ම දන්නෙ නෑ…

    ඒත්,
    අද උදේ අවදි වූ ගමන්, ලා හිරු කැරළියි, අඩ මීදුමින් පිරුණු කඳුකරයයි දිහා බලාගෙන,
    ජනෙල් පොල්ලේ එල්ලිලා ඉන්න අතරවාරේ, මගෙ හිතට ක්ෂණිකව ආව සිතුවිල්ලක් විදිහට, මේ අමුතු අදහස ඔබ වෙනුවෙනුත් ලියලා තියන්න හිතුණා…

    (කොහොමත්, මට පහළවෙන අළුත් අළුත් සිතුවිලි වලින් සෑහෙන ප්‍රමාණයක්, මේ අඩ මීදුමේ ගිළුණු “ගිණිහිරිය කන්ද” එක්ක බොහොම සම්බන්ධයි. මගේ බොහොමයක් ලියවිලි “ගිණිහිරිය” දිහා බලන් කුරුටු ගාපුවා.

    ඒ කන්දට මම ඒ නම ව්‍යවහාර කරන්න ගත්තේ, කුඩා කාලයේ ඉඳලයි.. හැම දේකටම reason එකක්, explanation එකක් ඕනි වුණු, අතිශය කුතුහලයෙන් පිරුණු දඩිබිඩි ජීවියෙක්ව සිටි ඒ අවධියේ,
    මං අප්පච්චීගෙන් ඒ කන්දේ නම අහද්දී,
    “ඕකට ඉස්සර මිනිස්සු කීවෙ නම් ගිණිහිරිය කියලා… ඒත්, ඇත්තටම නම්, ඕක ඌරාගල දිගුවක්…” කියලා,
    එදා අප්පච්චී දුන්නු උත්තරේ අස්සෙ තිබ්බ
    “ඌරාගල දිගුව” ගැන මෙලෝ අයිඩියා එකක් නොතිබ්බ මං, “ඌරාගල දිගුව”ට වඩා, අති සුන්දර කලාත්මක නාමකරණයක් වූ “ගිණිහිරිය” කියන නමට නම් හරිම ආසා වුණා. ඒ නිසාම, කාට කොහොම වුණත්, ඒ පෞරාණික ග්‍රාමීය ව්‍යවහාරය අදටත් මට වලංගුයි.

    ඉතිං,
    ඌරාගල කන්දේම දකුණු පස බෑවුම කියලා අද වෙද්දී මං ටක්කෙටම දන්නවා වුණත්, ලංකාවේ භූ විෂමතා සිතියමේ හැබෑම ගිණිහිරිය කන්ද කොහේ කොතැනක තිබුණත්,
    “මගේ ගිණිහිරිය” මේකයි.
    ඉතිං,
    තවමත් මම ඒ කන්දට, ඒ නමම කියනවා…

    අදටත්,

    “ගිරි කුළ පාමුල සිට-
    බිය නොවන්න දැක ගිරි හිස-
    කටු ළඳු දුරු මග පසු කොට
    නගින්න ගිරි මුදුනට-

    බලන්න ඔබ ආ මග-
    කෙතරම්ම්ම්ම්ම්ම්ම් කටුකද?
    කෙතරම්ම්ම්ම්ම්ම්ම් සොඳුරුද?…”
    යන,
    නන්දා මාලිනිය ගයන,
    මගේ ප්‍රියතම ගී ඛණ්ඩය ඇහෙද්දී,
    මට මැවී පේන්නේම,
    “මගේ ගිණිහිරිය…”යි.

    හෑම අළු පාට උදෑසනකම, හෑම රත්කහපාට ගොම්මනකම,
    එයාව ඒ නමින් හඳුනා ගනිමින්,
    එයාගෙන් ශක්තිය ගනිමින්,
    මම “මගේ ගිණිහිරිය” දිහා සෙනෙහසින් බලනවා….)

    ඉතිං,
    අපි දැන් මාතෘකාවට එමු.

    අපි සාමාන්‍යය පුරුද්දක් වශයෙන්,
    ඉවුම් පිහුම් වලදි, අත් වැරදීමකින් පැන්ට්‍රි ටොප් එක මත හෝ මේසය මත හෝ ඉහිරුණු ද්‍රවයක්- එහෙමත් නැත්නම් හැළුණු ද්‍රවයක් හෝ ද්‍රව්‍යයක්, වහාම, රෙදි කැබැල්ලකින් හෝ අතින් හෝ ටිශූ කරදහියකින් පිහලා දානවා…

    අපි එහෙම කරන්නේ,
    අපේ වටාපිටාව පිරිසිදු කිරීම, පිළිවෙල කිරීම සම්බන්ධයෙන් ඒ වගේ අවස්ථාවක ඇතිවන ක්ෂණික පෙළඹවීම නිසායි. ඒ ඉහිරුණු ද්‍රව්‍යය නිසා සිදුවන හැඩි වීම, අපිළිවෙල වීම, කැත වීම වළක්වන්න අපි වහාම උනන්දු වෙනවා.

    එහෙම නම්,
    අපිට අපේ ජීවිතය වෙනුවෙනුත් මේ Wiping-out තියරිය අදාළ කර ගන්න බැරිද?

    අපිට බැරිද
    Negative Ideas,
    Negative Thoughts,
    Toxic Personalities,
    Bad Situations වගේ දේවල්
    ක්ෂණිකව Wipe-Out කරලා දාන්න?
    Dustbin එකට වීසි කරන්න?
    බැහැර කරන්න?
    කොටින්ම,
    අපිට බැරිද ඒවා
    “කුණු වළකට” හෙවත්
    “Garbage Pit” එකකට දාලා,
    Compost බවට පත් කරන්න?

    ඒ garbage pit එක ජීවිත‍යට පාඩමක් විදිහට අරන්, Compost ටික,
    ඔබේ ජීවිතය පෝෂණය කරන පදාර්ථයක් හැටියට යොදා ගන්න?
    .
    .
    .
    ඉන් එහා ඒ ගැන ලියන් නෑ.

    මම ඒ ගැන හිතුවා.
    කැමති නම්,
    ඔබත් හිතලා බලන්න.

    මං එහෙම කළා.
    කැමති නම්,
    ඔබත් කරලා බලන්න.

    ඇත්තටම ආසා හිතේවි.

  • හරි අපූරු නේද ඒ ගෙත්තමේම මම මැහැල්ලක් වී තිබීම?

    හරි අපූරු නේද ඒ ගෙත්තමේම මම මැහැල්ලක් වී තිබීම?

    වැල් රෝස එල්ලෙන
    කුඩා නිවහනේ දොරකඩ
    හරියටම
    අවුරුදු හැටකට ඉස්සර
    උස කෝපි මේසයේ
    පුටු දෙකක් වෙන් කළා මම,
    “නිකොලායි සාෂා ඉවානිච් ග්‍රීනෙව්ට
    සහ
    ඇනා ඉසාබේල් මොරෙයිනා….”
    වන මට.

    පුෂ්කින්ගෙ කවි කියැවෙන
    උණුහුම් සුළං සානුවේ කෙළවර
    කුඩා ග්‍රීෂ්ම කුටියේ
    සට සට හඬින් දඟදෙන
    ක්‍රොචෙට් අගිසි ඇති
    මනරම් සේද තිර පට
    අහගෙන නේද ඉන්නේ
    සොල්දාදුවන්ගෙ උයනේ
    තනි පහන් කණුවේ
    මන්දාලෝකයෙන් පෙනෙන
    අර
    රෝස වැල් ගාලේ පැටැළුණ
    අපේ කළුම කළු
    මීෂාගේ හඬ?

    කොච්චර හොඳ දෙයක්ද
    කාලයට තටු තිබුණු එක ?
    වසර හැටක් එක දිගට
    ගොත ගොතා
    පාළු කෝපි කෝප්පම විසිදහක් පසු කළ
    ක්‍රොස්ටිච් ගෙත්තම…
    අවසාන අදියරේදී
    හරි අපූරු නේද
    ඒ ගෙත්තමේම
    මම මැහැල්ලක් වී තිබීම?

    ඔට්ටුයි
    ගොඩක් ජේත්තු කබාකාරියන්ට
    ඉඩක් එන්නේම නෑ
    සතෙක් හිනාවෙන හැටි විඳින්න…
    වාසනාවක් නේද
    පාළු කෝපි බොන ගමන්
    හිනැහෙන්න හැකිකම…?

     

  • මොකක්ද මේ, “Blackmail”සහ “Emotional Blackmail”  කියන්නේ?

    මොකක්ද මේ, “Blackmail”සහ “Emotional Blackmail”  කියන්නේ?

    “Blackmail” හෙවත් “බියවැද්දීම” සහ “Emotional Blackmail” හෙවත් “චිත්තවේගීය බිය වැද්දීම” කියන්නේ?

    Blackmail කියන වචනයේ ඉංගිරිසි නිර්වචනය මෙන්න මෙහෙමයි.

    “The action treated as a criminal offence of demanding payment or another benefit from someone in return for not revealing compromising or damaging information about them.”

    ඒ කතන්දරේ අර්ථය පුළුවන් තරම් සරල කරලා තේරෙන සිංහලෙන් කියතොත්,

    “යම් ගෙවීමක් හෝ වෙනත් ඵල ප්‍රයෝජනයක් පදනම් කර ගනිමින්, යම් හානිකර තොරතුරක් හෙළිදරව් නොකරන බවට, හානියක් නොකිරීමේ සම්මුතියකට එළැඹෙන බවට, හෝ හානියක් සිදු නොකරන බවට කියාපාමින් සහ එකී හානිකර ප්‍රතිඵලය තම අධිකාරය යටතේ රඳවා තබා ගනිමින්, වෙනත් පාර්ශවයක් වෙත කරනු ලබන, අපරාධ නීතිය යටතේ වරදක් වන, බලපෑමක්…” කියලා තමයි,
    කියන්න තියෙන්නේ.

    ඒ වගේම,

    “චිත්තවේගී බියවැද්දීම” සම්බන්ධ ඉංගිරිසි නිර්වචනය මෙන්න මේකයි.

    “Using another party’s fear, guilt, or sense of obligation to pressure them to comply with a demand. Signs may include withholding affection or threatening retaliation to get compliance.”

    “බිය, වරද හෝ විරුද්ධත්වයේ දැනීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා බව, සෘජුව, වක්‍රව හෝ ව්‍යංගව හඟවමින්, යම් හානිකර තොරතුරක් හෙළිදරව් කරන බවට කියාපාමින් සහ එහි හානිකර ප්‍රතිඵලය රඳවා තබා ගනිමින්, වෙනත් පාර්ශවයක් පීඩනට පත්කිරීම…” තමයි, තේරෙන භාසාවෙන් කියනවා නම්, ඔය “චිත්තවේගී බියවැද්දීම” කියන එකේ අර්ථය.

    මේ, ටක්කෙටම ලියපු නෛතික අර්ථ නිරූපණය නම් නෙවෙයි. ඔයැයිලට සරලව සිංහලෙන් පැහැදිලි කරන්ඩ ඕනෙ නිසයි මේ මට්ටමින් කිව්වේ…

    කොහොමද ? හරි සරලයි වගේ පෙනුනා වුණාට, බියවැද්දීමයි, චිත්තවේගී බියවැද්දීමයි කියන දෙක සෑහෙන්න බරපතල කතන්දර දෙකක් නේද?

    ඔව්, ඒක අපරාධ වරදක්! Criminal Offence එකක්! ඒකට ව්‍යවහාර වෙන නෛතික වචනය තමයි, “සාපරාධී බියවැද්දීම”. වර්තමාන ජනප්‍රිය ව්‍යවහාරයෙන් කියතොත්, ‘ඩොටේ ඉන්න කිරිහාමිට අනුව නම්, “මේක කිරිමේල් වරදක් ආයිබොවන්ඩ.”

    හොඳයි,
    දැන් ඉතිං කියමුකො බලන්ඩ කොහොමද මේ බියවැද්දිල්ල කියන එක කෙරෙන්නේ කියලා….

    වාචිකව, ලිඛිතව හෝ ඇඟවීමෙන් හෙවත් ව්‍යංගයෙන් තමයි මේ අපරාධ වරද කරන්ඩ කෙනෙක් අත්පොත් තියන්නේ… ඒක සෘජු දැඩි තර්ජනයක් වෙන්ඩත් පුළුවන් නැත්නම්, හීතල ඇඟවීමක් වෙන්ඩත් පුළුවන්. ඒ කොහොම කළත්, බ්ලැක්මේල් කියන්නේ බ්ලැක්මේල්ම තමයි.

    හතුරෙක් ගාවට යද්දි, අතේ තියන චූටි ජංගමයාගෙ රෙකෝඩරේ දාන් යන්ඩ වත්මන් පරපුරේ ඔයාලට අමුතුවෙන් කියල දෙන්ඩ ඕනි නැති නිසා, බොහෝවිට හීන් නූලෙන් කෙරෙන හීතල තර්ජන පවා, වාසනාවට, පොලිස් කූඩුවෙ කූරු අතරින් අවසන් කරන්ඩ හැකි වෙලා තියනවා…

    ඒ වගේම,
    පටිගත කර ගත් දුරකතන ඇමතුම්, ස්ක්‍රීන්ශොට්ස්, චැට් හිස්ට්‍රි, වීඩියෝස්, ලිපි ලේඛන, ෆොටෝස් වගේ දේවල් මඟින් ඔබේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කරන බවට ඉඟි කරමින් යමෙක් බියවැද්දීමක් ව්‍යංගව හෝ සිදු කරනවා නම්,
    හයියෝ… ඔයා බයවෙන්ඩ, අඬන්ඩ එහෙම ගතකරන කාලෙත් හරි අපරාදේ…, අයිස්ක්‍රීම් එකක් කාලා, හිනාවෙවී, කෙළින්ම යන්ඩ පොලිසියට. ඔව්, නීතිය ඉන්නේ ඔබේ පැත්තේ.

    PENAL CODE (Amended) Act No. 22 of 1995,

    ONLINE SAFTY ACT, No 9 of 2024,

    COMPUTER CRIMES ACT No. 24 of 2007,
    වගේ පනත් වලින් ඔබ සුරක්ෂිත කරලා තියෙන්නෙත්,

    Computer Crime Investigation Division,
    Police HeadQuarters
    Colombo.
    T.P.
    0112381045,
    වගේ විශේෂ ඒකක ස්ථාපිත කරලා තියෙන්නෙත්, අන්තර් ජාල තාක්සනේ එක්ක බද්ධ වෙච්ච බියවැද්දම් සහ අළුත් අළුත් ජංගම ටිරිකිස් ඔලින් ඔයාලව ආරස්සා කරන්ටමයි.

    මෙතෙක්, ඔයා කාගේ හෝ ඔවැනි කාඩ්බෝඩ් තිර පිටපතකට බය උනා නම් හෝ දුක් උනා නම් හෝ, ආයෙ එහෙම වෙන්ඩ අවශ්‍ය නෑ… කෙළින්ම ගිහින්, නීතියේ උදව් ඉල්ලන්ඩ.

    විශ්වය කියන්නේ, අති පවිත්‍ර නෙළුම් විලක්. ඒක අපවිත්‍ර කරන මිනිස්සුන්ට දිනුම දෙන්ඩ තරම් කවදාවත් මෝඩ වෙන්ඩ එපා.

     

  • වසීලිස්සා – තක්ෂිලා වීරසේකර

    වසීලිස්සා – තක්ෂිලා වීරසේකර

    වසීලිස්සා
    පුංචි ගෙදරට මූණලා හිට ගත්තා…
    යකඩ සපත්තු සීයක්,
    යකඩ හැරමිටි සීයක්,
    යකඩ තොප්පි සීයක්,
    ඒ වෙද්දිත්
    ගෙවිලා ගිහින් තිබුණා…

    (කළුපාට අසරුවා ඈ අසලින්
    වේගයෙන් දිව ගියා…)

    ඇය,
    බීරියෝසා ගස් ටික
    රතු පාට පීත්ත පටියකින් බැන්ඳා…
    මිනී ඔළු වැටටයි,
    ගේට්ටුවේ අගුලටයි
    පොල්තෙල් ටික ටික වත් කළා…
    නපුරු බල්ලට මස් කටුවකුයි,
    සැර පූසිට පාන් කෑල්ලකුයි දුන්නා…

    වසීලිස්සලා කොහොමත් කරුණාවන්තයි..

    (කොළපාට අසරුවා ඈ අසලින් හැල්මේ දිව ගියා…)

    කැළේට පිටුපා,
    කුකුළු කකුල උඩ හිටගත්තු පුංචි ගෙදරට,

    පරෙස්සමින් ඇතුළු වුණා…
    ලුචීන කෝටුවක් පත්තු කරලා,
    අඳුරු ගෙදර
    ආලෝකවත් කළෙත් ඈමයි…

    (කහපාට අසරුවා දිව ගියේ නම් බොහොම හෙමින්…)

    රතුපාට අසරුවා දිව යන වෙලාවෙම,
    වංගෙඩියේ නැගලා,
    මෝල්ගහෙන් වී කොට කොටා,
    අහස කොස්සකින් අතුගාමින්
    බබායිගා යකින්න
    දර්ශනතලයට ආවා….

    “ආපෝ…. මිනිස් ගඳයි,
    මිනිස් ගඳයි,”
    නහය හකුලාගත් බබයිගා යකින්න කීවා….

    “ඔව් ඉතිං ආත්තම්මේ…
    ඔයාට තමන්ගේ ගඳ
    දැනෙන්නෙ නෑනෙ…”
    වසීලිස්සා හෙමිහිට මිමිණුවා…
    .
    .
    .
    “එහෙම උත්තරයක් ස්ක්‍රිප්ට් එකේ තියනවද?”
    (කවුරුත් බබායිගාට උත්තර දුන්නේ නෑ…)

    “ස්ක්‍රිප්ට් එක හරියට පාඩම් කරගෙන එනවා… මොනවද මේ සපුරා වෙනස් දේවල් කියවන්නේ ?”

    (රතු පාට අසරුවා ආයෙමත්
    එතැනින් දිව ගියා…)

    බබායිගා පුදුම වෙලා, වටපිට බැලුවා….

    “ඒක,
    වසීලිස්සාට දෙන වෝනින්ග් සයින් එකක් ආච්චි අම්මේ… ඔයා කලබල වෙන්න එපා… කරගෙන යන්න.”
    වේදිකා පරිපාලක කිව්වා.

    “ඉතිං මගේ ආදරණීය
    ගෑණු ළමයෝ…… ඔහ්! ”
    (රතුපාට අසරුවා ආයෙමත් එතැනින් හැල්මේ දිව්වා…)

    “ඉතිං මගේ ආදරණීය
    ගෑණු ළමයෝ….
    යකඩ සපත්තු සීයක්,
    යකඩ හැරමිටි සීයක්,
    යකඩ තොප්පි සීයක්,
    ගෙවිලා ගියාද?
    මෙච්චර මහන්සියෙන්
    ඔයා මෙහාට ආවෙ,
    නොදන්නා රටට යන පාර
    මගෙන් අහගන්න නේද?”
    බබායිගා
    දිලිසෙන ඇස් වලින් බලලා,
    කපටි හිනාවකින් දත් විලිස්සුවා…

    “නෑ….. නෑ…. බබායිගා ආත්තම්මේ… මම ආවේ, කොහෙත්ම එහෙම දේකට නම් නෙවෙයි. මං මේ මගේ නැති වෙච්ච සෙවනැල්ල සොයන ගමන්.”
    වසීලිස්සා වහාම කිව්වා….
    .
    .
    .
    “මේ මොකද මේ ?
    වැරදිම වැරදි දෙබස් කියන්නේ ?
    මට ස්ක්‍රිප්ට් එක කටපාඩම්. ඔය ළමයට දැන් කියන්න තියෙන්නේ,
    “අනේ ඔව් කරුණාවන්ත ආත්තම්මේ, මට පාර පෙන්වන්නකෝ…” කියන එකයි.
    එතකොට මම කියනවා,
    අපොයි, මගේ හොඳ ළමයෝ… ඒක බෝම සුළු දෙයක්නේ…
    මං මීට ඉස්සර මෙහේ ආපු වසීලිස්සලා හැමෝටම,
    හරි පාර පෙන්නලා දීලා තියනවා කියලා…
    එතකොට,
    ඔය ළමයා කියනවා……ආත්තම්…”

    වසීලිස්සා බබායිගාට බාධා කරමින් වහා පිළිවදන් දුන්නා…
    “ආත්තම්මට වැරදිලා… මං මගේ පිරිසිදු සෙවනැල්ල රෙදි වැලේ වනලයි තිබ්බේ… ආත්තම්මා ඒක හොරකම් කළා. වංගෙඩියේ දාගෙන අරන් යන ගමන්, මග දිගට ඒක තුවාල කළා, එහේ මෙහේ පටලවලා හොඳටම දුර්වර්ණ කළා… ඒක හොඳින් හෝ නරකින්, ආපහු ඉල්ලන් යන්නයි මම ආවේ…”

    ” මොකක් ? රිහසල් එකේදි යස අපූරුවට හිටි ඔය ළමයට දැන් මේ මොකෙක් වැහිලද ? ”
    .
    .
    .
    අළුත් අනුවාදයේ, ස්ක්‍රිප්ට් එක වෙනස් කරලද තියෙන්නේ?”
    (බබායිගා, වේදිකා පරිපාලකට කඩන් පැන්නා…)

    “ඔහොම යං, ඔහොම යං,
    ආච්චි අම්මේ….
    කලබල වෙන්න එපා!
    ඔයාට තියෙන්නේ,
    පරණ පුරුදු ස්ක්‍රිප්ට් එකම
    කරන් යන්න… අපි ඔයාට ගෙවන්නෙ ඒකට.”
    ————————————–☘
    මේ මොන විකාර අදහසක්ද කියලා ඔබට හිතේවි.
    නමුත්,
    මම මේ ලියූ සරල වේදිකා නාට්‍යයේ
    යටි පෙළක් තියනවා.

    සමාජය කියන්නේ, එක අතකින් ලස්සන දෙයක්. අනෙක් අතට, හලාහල විස ගුලාවක්. එහි අතරින් පතර සිටිය හැකියි, ඔබේ පිරිසිදු ජීවිතය අපිරිසිදු කරන “විස මිනිස්සු.”

    ඔවුන් තමන් විසින්ම හෝ අනුන් ලවා හෝ ඔබට බරපතල ලෙස හානි කරන්න පුළුවන්.. ඇතැම්විට, ඔබට උදව් අවශ්‍ය අවස්ථාවක, විශාල උදව්වක් කරන බව හඟවමින්… තවත් විටෙක, සැබෑවටම කුඩා උදව්වකුත් කරමින්… ඔබේ විශ්වාසයත් දිනා ගනිමින්…
    ඒත්,
    එතන තියෙන්නේ, ලොකූ රඟපෑමක් කියලා තේරුම් ගන්න තරම් ඔබ පරිණත නැත්නම්,
    අවදානමේ රතු එළි සහ සංඥාවන් ඔබට කියවා ගන්න බැරි නම්, කවදාක හෝ ඔබට ඉතිරි වෙන්නේ, මානසික පීඩාවක් විතරයි.

    ඇයි ඔවුන් එසේ කරන්නේ? ඔබ ඔවුන්ට වරදක් කළ නිසාද? නෑ… ඔබ ඔවුන්ට අංශුමාත්‍ර වරදක් කරලා නැතත්, ඔවුන් එසේ කරනවා. ඒ, ඔවුන්ගේ අප්‍රසන්න පුරුද්ද… ඊර්ෂ්‍යාවත් එක්ක කැළැතුණු ඔවුන්ගේ නරක විනෝදාංශය… ඒ නරක පුරුද්ද හෝ විනෝදාංශය කවදාක හෝ ඔවුන්ට පවා නොදැනී, ඔවුන්ගේ ඇඟේම කොටසක් නැත්නම් චාරිත්‍රයක් බවට පත් වෙනවා.

    ඕනෑම මනුෂ්‍යයෙක්ගේ අභිමානය කියන්නේ, වැලක වනලා තියන පිරුවටයක් වගේ දෙයක්. හැබැයි, ඒක සෑමවිටම අනාරක්ෂිතයි. ඕනෑම විනයක් නැති සතුරෙකුට පුළුවනි, ඒ පිරුවටය ඇදලා අරන්, තමන් කැමැති කැමැති ආකාරයේ මඩ පැල්ලම් එහි තවරන්න.
    නමුත්,
    ඔබ අහලා ඇති,
    සිංහයෙකුට ගලක් වීසි කළාම, සිංහයා ඒ ගල දෙස නොව,
    ගල ආ දිශාව දෙස බලන බව. ඔබත් ඔබේ ජීවිතයට ගලපාගත යුතු වටිනාම පණිවුඩයක් එතැන තිබෙනවා.

    පිරුවටයේ මඩ දෙස බලනවාට වඩා ඔබට පහසු වේවි, කියන්නාගේ දෑත් දෙස බලන එක. එතකොට, පිටුපසට කර සඟවාගෙන සිටින, ඔවුන්ගේ ගඳගහන මඩ පනිට්ටුවත්, බතික් වෙච්ච අත් දෙකත්, ඔබට නොපෙනී තියෙන්න විදිහක් නෑ…

    කෙනෙක්ගේ එවන් නරක පුරුද්දක්, චාරිත්‍රයක් බවට පත් වෙද්දී,
    අවදිමත්, බුද්ධිමත් මනුෂ්‍යයකු කළ යුත්තේ, ඊට අනුගත වී ප්‍රතිචාර දැක්වීම නොවෙයි,
    ඒ චක්‍රය
    වහා බිඳ හෙළීමයි.

    ආදරෙන්

  • -උත්තම පොසොන් පෝ දා ලියූ උපදේශ කතාන්දරය-

    -උත්තම පොසොන් පෝ දා ලියූ උපදේශ කතාන්දරය-

    වෛද්‍යවරයා අබියස සිටගෙන සිටියේ, පුරාතන ග්‍රීක දෙවඟනක සිහි ගන්වන ආකාරයේ, සුන්දර පිරිපුන් කාන්තාවකි. පාරාදීසයේ සිට පැමිණියාක් බඳු වූ අතීත රෝමානු පන්නයේ සුදු දළ රෙද්දෙන් මැසූ, බොලට දක්වා දිගු ගවොමක් ද, හම් පටි සහිත සරල පාවහන් යුවලක් ද පැළැඳ හුන් ඇයගේ සිරස ස්වේත රෙදි කඩකින් අර්ධව වැසී තිබිණ. ඇගේ වම් කණට කිට්ටු වන්නට හිසෙහි කුඩා මල් ඉත්තක් ගසා තිබූ අතර, සුරතෙහි වූයේ, දුර්වර්ණ වූ පිත්තල ගාංචු සහිත ඝන බැටළු හමකින් එතූ පැරණි පුස්තකයකි.

    වෛද්‍යවරයා සිටියේ ඉමහත් ප්‍රීතියෙනි. මේ, ඔහු තම සුහුඹුල් පෞද්ගලික මාතෘ සායනයේ වැඩ ඇරඹූ ප්‍රථම දිනයයි. ප්‍රථම දින මුල් අඩහෝරාව ඉකුත්ව යන්නටත් පෙර ඔහු සම්මුඛ වීමට ආ සිව්වන රෝගියායි මේ.

    වෛද්‍යවරයා අසුන වෙත සුරත දිගු කරමින්, ඇයට හිඳගන්නා ලෙස සන් කළේය. සායනයේ බිත්ති වල ආලේප කළ නැවුම් තීන්ත සුවඳත්, තමන් ඉදිරිපස සිටගෙන සිටින මේ ප්‍රසන්න කාන්තාවත්, ඔහුට ආහ්ලාදජනක හැඟුමක් ගෙන ආයේය. ඔහු ඇය දෙස මද සිනහවකින් යුතුව බලා සිටියේය.

    ඇය ඉතා පරෙස්සමින් නමුත් වේගයෙන් හිඳ ගත්තී, වෛද්‍යවරයා උගුර පාදා වචනයක් හෝ පිට කිරීමට පෙර, පැරණි පුස්තකය ගාංචුවෙන් මුදා, මේසය දිගේ ඔහු අසලට තල්ලු කර එව්වාය. විදුලි වේගයෙන් ඉදිරියට තල්ලු වී ආ පොතෙහි පිටු කීපයක් සට සට ගා එහා මෙහා පෙරැළී ගියේය.

    අනුපිළිවෙලින් අංකනය කරන ලද නාමාවලියක් සහිත ඒ පොත ඔහු වහා අතට ගත්තේ කුතුහලයෙනි.
    “1) Adem
    2) Eve
    3) Grace
    4) Jaden
    5) Mona…….
    මොනවද මේ නම්…..?” වෛද්‍යවරයා ඇස් කණ්නාඩිය පහත් කරමින් විමසිලිමත්ව නමුත්, ආචාරශීලීව ඇසුවේය.
    “දරුවන්ගෙ නම්”
    “දරුවන්ගෙ?”
    “ඔව්… දරුවන්ගෙ”
    “කාගෙද?”
    “මගෙ”
    අනුමාන වශයෙන් පොතේ පිටු සියක් දහසකටත් එහා ඇති බව දුටු වෛද්‍යවරයා වහාම එහි අවසන් පිටුව පෙරළා ගත්තේය.
    කියවාගත නොහැකි තරම් ඉතාමත්ම දිගු අංකයක් ඉදිරියෙන් වූ
    “ස්වාස්‍යා සෙත්ශාස්‍රා සහස්‍රනෙසුල්‍යා…..” යන නාමය වෛද්‍යවරයා කියවා ගත්තේ ඉතාමත් අසීරුවෙනි.
    “එයා ඉපදුනේ, තත්පර පණස් හයකට ඉස්සර. දැනට, මගෙ අන්තිම බබා එයා…”
    “මොකක් ???”
    “ඔව්, ඒත් අපි ඉක්මන් කරන්ඩ ඕනි ඩොක්ටර්. පුදුම වෙහෙසක් අරගෙනයි මම මේ විනාඩි පහේ ශෝට් ලීව් එක ඉල්ලා ගත්තෙ ඔබතුමාව මුණගැහෙන්ඩ. ‘කාලය’ කියන්නේ පොඩ්ඩක්වත් නවතින්ඩ කැමති හාදයෙක් නෙවෙයි. එයා නවතින්නෙත් නෑ, අපිට නවතින්ඩ දෙන්නෙත් නෑ. එයා කාව හරි නිවාඩු යවන්නෙ තත් ක්ෂණයකට විතරයි. ඒකත්, මරණයෙන්. ඒ නිවාඩුවත්, එහෙ බලල- මෙහෙ බලද්දි අවසන්. ඇයි වදේ, මැරෙන එකා ඉතිං අනික් අතට ඉපදෙන්ඩත් එපැයි.”

    “හෝව්, හෝව්… මොකක්ද මේ කියන්නෙ? තමුන් මේ, අංගොඩින් පැනල එන ගමන් ද?”
    වෛද්‍යවරයා නොසන්සුන් වූයේය. ඔහුගේ රැළි වූ නළෙලතෙහි වේගවත් දහඩිය බිංදු පෙළක් ඇඳී ගියේය.

    “සමාවෙන්ඩ. ඔබතුමා කන්ෆියුස් වෙන්ඩැති. ඒත්, මට හරිම හදිස්සියි. තව විනාඩි පහකින් මම සෙනගාල් වල, ‘තෝමස් ශැනෝන් ගේබ්‍රියල්ස්’ ව බිහි කරන්ඩ ඕනි කියලයි පොතේ ලියැවෙමින් යන්නේ…”

    සම්පූර්ණයෙන්ම හිස අවුල් වූ වෛද්‍යවරයා, විශාල කරගත් දෑසින් ඈ දෙස ගොළුව බලා සිටියේය. ඔහුගේ නිහඬතාවය නොඉවසූ ඇය නැවතත් වේගයෙන් කතා කරන්නට වූවාය.

    “මං මෙහෙම කරන්ඩය කියලා ඔබතුමාගෙන් ඉල්ලන එක හරි නෑ… මාතෘ දෙවඟන කළල සංහාරය කරන්ඩ තීරණය කරලා, ගබ්සා වෛද්‍යවරයෙක් ගාවට රහසේම ගියාය කියලා දැන ගත්තොත් හැමෝම මට බොහොම දොස් කියාවි. ඒත්, දැන් මට වෙන කරන්ඩ දෙයක් නෑ… මේ සෙල්ලමෙන් මම දැන් හොඳටෝම හෙම්බත් වෙලා. ‘මනුෂ්‍ය’ ලේබලය යටතේ ‘අමනුෂ්‍යයින්’ බිහි කරලා, කරලාම දැන් මට එපා වෙලා ඩොක්ටර්….”

    “මොකක් ??? මනුෂ්‍ය ලේබලය යටතේ අමනුෂ්‍යයින් බිහි කරලාම එපා වෙලා…?” වෛද්‍යවරයා අමාරුවෙන් උගුර පාදා ගත්තේය.

    “ඔව්, ඔව්, ඔව්… මිනිස්සු බිහි වුණාට කෝ එතැන මනුෂ්‍යත්වය? කුහක, ප්‍රෝඩාකාර, යටිකූට්ටු වැඩ කරන, තවෙකෙක්ගෙ දියුණුවට වැට කඬුළු බඳින, හූල්ලන, ඉරිසියාකාර මිනිස් ප්‍රතිරූපකයො බිහි කරනවයි කියලා විශ්වය මට හැමදාම දොස් කියනවා. එයා කියන්නේ, මේ තරම් දහ බලු වැඩ කරන අසමජ්ජාතීන්ට දඬුවම් දීල දීලම දැන් එයාට ජීවිතේත් එපා වෙලාලු තියෙන්නේ. ඒ නරුමයින්ව බිහි කරන්නේ මං නිසා, එයාට මාවත් දැන් තිත්ත වෙලා. නීතියේ දෙවඟනත් තනතුරෙන් අයින් වෙන්ඩ ඕනි කියලා හැමවෙලාවෙම පැමිණිලි කරමින් ඉන්නේ… ඇත්ත තමයි ඉතිං, දවස ගාණෙ ලෝකෙ පුරා උසාවි ලක්ෂ ගාණකට ගොඩවෙලා, එක එකාට එරෙහි කන්දොස්කිරියාවල් අහන් ඉන්ඩ මොන දේවතාවිටද පුළුවන්? එයත් බණින්නෙ මට. ඇතීනාත් යුද්ධ කරලා, කරලාම හොඳටම වෙහෙස වෙලයි ඉන්නේ… ඊශ්‍රායලයට දුවලා ඊගාව මොහොතෙම ඇමරිකාවටයි, චීනෙටයි ගිහින් ආයෙමත් ගාසා තීරයටත් ගිහින්, ඊගාවට දියවන්නාව පැත්තෙත් ඇවිදින්ඩ උනාම ඇතීනට උනත් එපා වෙන එක හොඳටම සාධාරණයි..”

    “හරි. ඇති, ඇති, හොඳටෝම ඇති. පැහැදිලියි. දැන් මගෙන්.. මගෙන්… මේ මගෙන් තමුන්ට ඕන උදව්ව මොකක්ද….?”

    තොල කට වියැළී ගිය වෛද්‍යවරයා, අමාරුවෙන් කෙළ බිඳිත්තක් ගිල ගනිමින් හිස දෙපසට වනමින් මහ හඬින් කෑගැසුවේය. මේ මොහොතේ, තමන් පිස්සකු වී ඇති බවත්, විවෘත කිරීමේ උත්සවයේ අවිවේකී බව නිසාම අද කොලෙස්ටරෝල් පෙත්ත ගන්නට අමතක වූ බවත්, ඊයේ රාත්‍රියේ ප්‍රෙශර් පෙත්ත නොබිවු බවත් ඔහුට එක්වරම මතකයට ආයේය. මරණයට කැප වූ බිළිඳු කළල රැසක් තමන් වටා භ්‍රමණය වනවාක් මෙන් ඔහුට පෙනී ගිය අතර, ඔහුගේ දෑස් නිලංකාර වී ගියේය.

    “හරි, හරි, ඔබතුමා මේ තරම් කලබල වෙන්ඩ එපා… අපිට තව විනාඩි තුන හමාරක්ම ඉතුරුයි. මට මගේ ගර්භාෂය ඉවත් කර ගන්ඩ ඕනෙ. මේ ඉපදෙන්ඩ ඉන්න ගේබ්‍රියල් එක්කම. ඉන් පස්සේ මම සදාතනිකව විශ්‍රාම යනවා. මට පුළුවනි, ඉන්දු නිම්නෙයි, යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්න වලයි, නයිල් ඩෙල්ටාවෙයි මගෙ දෙවොල් වලට වෙලා විවේක සුවයෙන් ප්‍රීතියෙන් ඉන්ඩ….. අනේ, මට මේ අමනුස්සයින් බිහිකරන ප්‍රොජෙක්ට් එක නවත්තලා දෙන්ඩ ඩොක්ටර්…”
    .
    .
    .
    “සර්, සර්….”
    ඈත දුරක සිට කවුරුන් හෝ තමන් අමතන බව වෛද්‍යවරයාට ඇසුණි. ඔහු වහා නෙත් විවර කළේය. ඔහුගේ හිසට මහා බර ගතියක් දැණුනි.

    “සර්, පේශන්ට්ස්ලා තුන් දෙනාගෙම ප්‍රෙශර් නෝමල්. ස්කෑන් රිපෝට්ස් ඕකේ. නෝ කම්ප්ලිකේශන්ස්. ඇබෝෂන්ස් තුනට තියටර් එක රෙඩි කරන්නද?”
    සුදෝ සුදු වතින් සැරසුණු කරුණාවන්ත හෙදිය වෛද්‍යවරයා ඉදිරියේ සිටගෙන සිටියාය.

    “ඇබෝශන්ස්? ඇබෝශන්ස්? පිස්සුද ඕයි? වහල දානවා මේ කෙහෙම්මල් බඩකඩිත්තුව. අකවුන්ට්ස් සෙක්ශන් එකෙන් මාසෙකම පඩිය ඉල්ලා ගනිල්ලා… ඉන් පස්සේ, හැම එකාම පලයව් ගෙදර. ආයෙ එකෙකුටවත් මෙහෙ රස්සා නෑ. එකෙක්වත් ආය මේ පැත්ත පළාතෙ එන්ඩ එපා. එලවල දාපල්ලා ඔය අම්මණ්ඩිලා රොත්තත්. ඇබෝශන්ස්… ඇබෝශන්ස්… ආව මෙතන දරුවො මරා දාන්ඩ…”

    “ස්…සර්.., සර් ?”
    හෙදිය ඔහු දෙස බලා සිටියේ තැති ගත් විස්මය පිරුණු දෑසිනි.

    “අර මාතෘ දෙවඟනද කව්ද මන්දා කියපු කතාව ඇත්ත. මාත් මනුස්ස වේශයෙන් ඉන්න අමනුස්සයෙක්. මිනීමරුවෙක්. මගේ දියුණුව වෙන්න ඕනි මනුස්සකම අතින් නේද? ඇයි මම ජීවිත විනාස කරමින් මේ තරම් පව්කාරයෙක් වෙන්න හදන්නේ…? මට බෑ මේක කරන්ඩ… මට බෑ මේක කරන්ඩ…”

    සායන කාමරයේ දොර “ඩාං” ගා විවර කර බිත්තියේ හප්පමින් වේගයෙන් සායනයෙන් පිටතට දිව ගිය වෛද්‍යවරයා, සුඛෝපභෝගී රථයට ගොඩ වී, සුක්කානමේ වැරෙන් හිස ගසා ගත්තේය…

     

    කරන කලට පව්
    මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි
    ගිනි සේ….

  • මේ ලෝකෙ හැම භෞතික දේකටම Life Spand එකක් තියනවා

    මේ ලෝකෙ හැම භෞතික දේකටම Life Spand එකක් තියනවා

    මේ ලෝකෙ හැම භෞතික දේකටම Life Spand එකක් තියනවා. ඒ කියන්නේ “ආයු කාලයක්” තියනවා. කිසිම දෙයක් හෝ කෙනෙක් අමරණීය නෑ. හැමදෙයක්ම එන්නේ expiry date එකක් එක්ක.

    මිනිස්සු තේරුම් ගන්නෝනි, අපි මොහොතින් මොහොත පරණ වන බව. ඒකටයි, කැඩපත් කියලා දෙයක් ලෝකෙ තියෙන්නේ. කැඩපත් තියෙන්නේ අපේ සැබෑ භෞතික සත්‍යය දකින්නයි. ඒත්, මිනිස්සු කැඩපතක් ඉදිරියේදි කරන්නේ, තමන්ගෙ රූපයේ අඩුපාඩු වහන එක විතරයි. පියරු අහුරකින්, ෆවුන්ඩේශන් තට්ටුවකින්, වෙනත් ලාවණ්‍ය උපකරණ රැසක ආධාරයෙන් වහපු රූපයත් එක්ක මිනිස්සු තමන් තමන්වම රවටා ගන්නවා.

    අඩ නිරුවත සාමාන්‍යකරණය වෙද්දි, මස් වැදලි මාකට් කිරීම ප්‍රවණතාවයක් වෙද්දි, ලජ්ජා බය ගවුම් වාටියෙන් උඩට අඟලෙන් අඟලට ශීඝ්‍රයෙන් අඩු වෙද්දි, යථාව තුළ අසහනකාරී මිනිස්සු, එෆ්බී පිටුවක හාට්, ලයික් සහ කමෙන්ටු වලිනුයි සැනසෙන්නේ.

    සමාජය වේගයෙන් ඇදී යන්නේ අවරට. ඒ නිළිය, මේ නිළිය කළ නිසාත්, බහුතරය කරන නිසාත්, අනුකාරක බවට පත් වෙනවා මිස, තමන් කවුද, තමන්ගේ අනන්‍යතාවය මොකක්ද, තමන්ගේ සමාජමය වගකීම කුමක්ද කියන දේ පවා මිනිස්සුන්ට අමතක වෙලා. ඇතැම්විට, උන්හිටි තැන් අමතක කරවන තරමේ ඇබ්බැහියක් බවට, වසංගතයක් බවට, සමාජ මාධ්‍ය ජාලය පත්වෙලා. මිනිස් මනස ලාබ තොරොම්බල් වලින් පුරවලා. ආක්‍රමණය කරලා.

    “පසෙකට වී නිහඬව බලා හිඳීම” කියන්නේ මනුස්සයෙක්ට කරන්න පුලුවන් බොහෝම සාර්ථක අභ්‍යාසයක්. සුදුසු හා නුසුදුසු දේ පිළිබඳව බුද්ධිමය අදහසක් ගන්න එවැන්නෙකුට හැකියි.

    ඉතිං, පොඩ්ඩක් නැවතෙන්න. හිතන්න. සමාජ මාධ්‍ය තුළ නිතර ගැවසෙමින් ඔබ සොයන්නේ කුමක්ද, ඔබ නිරන්තරයෙන් නරඹන්නේ කුමක්ද, ඔබට ඇත්තේ කුමන වර්ගයේ තෝරා ගැනීම්ද, ඔබේ රසඥතාවයේ ආනතිය කවර අතකටද,
    තේරුම් ගන්න,
    අන්න,
    ඒ ඔබ සොයන දේ බවට
    ඔබත් නොදැනීම,
    ඔබව පත් වන බව.

    ඔබේ රැකවලා
    අන් කවරකු හෝ නොව,
    ඔබම පමණක් බව.

     

  • ඕෂන් ගේට් ටයිටෑන් පිලිබඳ ගොඩබිම් විචාරයන්නට ඔබ්බෙන්

    ඕෂන් ගේට් ටයිටෑන් පිලිබඳ ගොඩබිම් විචාරයන්නට ඔබ්බෙන්

    ඕෂන් ගේට් ටයිටෑන් සබ්මැරීනය අඩි 13,000ක් ගැඹුරු මූදු පත්ලේ මිහිදන් වුණා. විවිධ පැතිකඩ වලින් ගොඩබිම ඉන්න මිනිස්සු ඒ මූදු චාරිකාව විවේචනය කළා. ඒ හැම විවේචනයක් දිහාමත්, චාරිකාවේ පසුබිම, අරමුණ සහ ඔවුන් ගත් අවදානම පිළිබඳවත්, මැදහත් සිතින් බලද්දී, මූදුබත් වුණු මිනිසුන් ගැන නොව, ගොඩබිමේ හිඳින නමුත් මූදුබත් වූ මානසිකත්වයෙන් යුත් මිනිසුන් ගැන මම දුටුවේ පැහැදිලි චිත්‍රයක්. ඇත්තෙන්ම, අප්‍රසන්න චිත්‍රයක්.

    බහුතරයක් අපේ ශ්‍රී ලාංකික ගොඩබිම් විචාරකයෝ කීවේ,
    “මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැතිව, ගියා ටයිටැනික් බලන්න, හොඳ වැඩේ!” කියලයි. තවත් පිරිසක් ඒ මරණීය ගමන හාස්‍යයට ලක් කළා. ඇත්තෙන්ම, අපේ මිනිස්සු කොයිතරම් කුහකද කියන දේ තමයි ඒ සෑම අපහාසාත්මක කතන්දරයක් අස්සෙම හැංගිලා තිබුණේ.

    විදේශීය ජනමාධ්‍ය ඉතා වැදගත් ලෙස, ස්වකීය මාධ්‍ය ආචාර ධර්ම රැකෙන ආකාරයෙන් මෙම පුවත ජනතාවට වාර්තාගත කරන්නට උත්සුක වුණා. එතකොට, අපේ ඇතැම් ජනමාධ්‍ය? ඒවා සත්‍යය යාන්තමින් මතුපිටින් අලවාපු, තම පෞද්ගලික මතවාද ඉස්මතු කළ හැඟීම්බර තුට්ටු දෙකේ වාර්තාකරණ.

    මේ සිද්ධියත් එක්ක අපි තේරුම්ගත යුතු ඉතා වටිනාම කරුණු තුනක් තිබෙනවා.

    1) තමන්ගේ ආර්ථික මට්ටමත් එක්ක, මිනිසෙක් ස්වකීය අවධානය දෙන වපසරිය සහ මිනිස් අවශ්‍යතා බොහෝසෙයින්ම වෙනස් වන බව.

    මෙන්න මේ දේ අවබෝධ කර ගන්න ඔබට හැකි නම්, ඔවුන් මේ ගිය චාරිකාව “සල්ලි වලට කරන්න දෙයක් නැතිව ගිය ගොං ගමනක්” ය කියන, ඔබේ දියසෙවෙල් බැඳුණු කණ්නාඩි මතවාදය ඔබෙන් ඉවත් වෙනවා.

    අනේ ඉතිං ඔබ දන්නවාද, මේ ශ්‍රී ලංකාව තුළත්, පාතාරාසය සඳහා සෑම උදයකම තමන්ගේ චොපර් එකෙන් කොළඹ සිට නුවරඑළියට එන මිනිස්සුත් ඉන්න බව? ඒ වගේම, මගීන් රැගෙන අභ්‍යාවකාශගත වන්නට සැලසුම් සකස් කෙරෙන ප්‍රථම සඳ ගමනට සහ ප්‍රථම අඟහරු ගමනට දැනටමත් දහස් ගණනක් මිනිසුන් ප්‍රවේශපත්‍ර වෙන් කර තිබෙන බව? බර්මියුඩා ත්‍රිකෝණය කරා යන්නත් මිනිසුන් පේළි ගැසී හිඳින බව? ඔබේ ප්‍රියතම සිනමාවේදී ඩේවිඩ් කැමරන් ස්වකීය ඇවටර් 2 සිනමාපටය ලොවට දායාද කරන්නට පෙර, ශටලයක නැගී මහ සයුරේ ඉතා ගැඹුරු කොටසක් අධ්‍යයනය කළ බව? ඒ අනුව බලද්දී, මේ චාරිකාව ගිය ඇමරිකානු කෝටිපතියන්ගේ එදිනෙදා ජීවිතේ ගැන අපි මොනවද දන්නේ?

    ඒ නිසා, අපේ මේ පුංචි රටේ සිඟිති දූපත් මානසිකත්වයෙන් ලෝකේ අනෙක් රටවල් දිහා බලන්න එපා. බොළඳ මතවාද සමාජගත කරන්න එපා. ඒක ඇත්තටම ලැජ්ජයි.

    2) සහම්පනය, සංවේදීභාවය සහ මනුෂ්‍යත්වය කියන උත්තරී මනුෂ්‍ය ගුණාංග හෑම මනුෂ්‍යකු තුළම පිහිටා නොමැති බව.

    යම් ඛේදවාචකයක් සිදු වුණාම, සමාජයක මිනිස්සු කොටස් පහකට බෙදෙනවා.
    I. ඒ සිද්ධිය සම්බන්ධයෙන්
    අවංකවම කණගාටු වන පිරිස.

    II. ඒ සිද්ධිය ගැන ප්‍රීති වන
    පිරිස.

    III. මැදහත් සිතින් ඒ දෙස බලන
    පිරිස.

    IV. ඒ සිද්ධිය තවත් එක සිද්ධියක්
    ලෙස සලකන, ඒ ගැන කිසිම
    විශේෂයක් නැති, මෙළෝ රහක්
    නැති පිරිස.

    V. ඒ සිදුවීම ගැන කිසිම
    දැනුම්වත්භාවයක්
    නැති පිරිස.

    ඉතිං, මෙය කියවන ඔබත් මේ පිරිසේ කොහේහරි තැනක ඇති.

    3) මරණය කියන දේ කොයි මොහොතක, කවරාකාරයෙන් අප කරා එනවද කියන එක අපිට කළින් තීරණය කළ නොහැකි බව.

    මේ ජීවිතේ කොයි තරම් අස්ථීරද කියන කරුණ මේ චාරිකාවේ අවසානයත් එක්ක අපි තේරුම්ගත යුතුයි. උපත සහ මරණය හරි ගුප්තයි. ආවේ කොහෙන්ද? ගියේ කොහාටද? මේක අභිරහසක්, නොවිසඳුණු ප්‍රශ්නයක්. කිසිකෙනෙකුට තවෙකෙක් ආවෙ කොහෙන්ද ගියේ කොහාටද කියන්න බෑ. වෙනෙකක් තියා, තමන්ගේ සර්වබලධාරියා වන තමන්ටවත්. උපත හා මරණය ගැන නොදන්නා අපි, නිහතමානීව පිළි ගන්නෝනි ජීවිතය ගැනත් අපි දන්නේ හරි ටිකයි කියන එක.

  • මට අනුව, වචන කියන්නේ, spoilers.

    මට අනුව, වචන කියන්නේ, spoilers.

    ඔබ හිතනවද වචන පේළියකට පුළුවන්ය කියලා “යමක සැබෑව, තත්‍ය ස්වභාවය, පරම පවිත්‍ර ස්වරූපය” ඒ ආකාරයෙන්ම අර්ථ නිරූපණය කරන්න? බැහැ.

    මේ ලෝකේ වචන රහිත තැන් හරිම සුන්දරයි, නිර්ව්‍යාජයි. වචන නැති තැනක තියෙන්නේ යමක ප්‍රභවය. මූලය. Origin එක.

    සුළඟට, වර්ෂාවට, බුබුලන දිය දහරකට, වැලි කැටයකට, ඉන්ද්‍රචාපයකට, සූර්‍යයාට, තාරපතිට, මහා සමුද්‍රයට කෝ වචන? නමුත්, එතැන කෝ හිදැසක්? අඩුවක්? එතැන තියෙන්නේම අපූර්ව පූර්ණත්වයක්…

    ඒත්, කතා කරන අපි?
    පව්.. ඒ අතින්, මනුෂ්‍යයින් කියන්නේ හරිම අසරණ ජීවී කොට්ඨාශයක්!
    ස්වභා දහම වචනයක්වත් නොකියා කරන හැඟීම් ප්‍රකාශනයෙන් ලක්ෂයෙන් පංගුවක්වත් මනුෂ්‍යයින්ට එයාලගෙ පරිණත, දියුණු වාංමාලාව හරහා “තත්‍ය ආකාරයෙන්ම” ප්‍රකාශ කරගන්න බෑ.

    ඉතිං හිතන්න.
    අපි වචනමද?
    අපි වචන වලින් කියැවෙන අපිමද?
    නැත්නම්,
    නිර්වචනය කළ නොහැකි වෙනත්ම අභ්‍යන්තරික හැඟුම් සමුදායක්ද?

    අවබෝධය තියෙන්නේම, මිනිසා නිෂ්ශබ්ද වූ තැන. නිහඬ වූ තැන. වචන නැති තැන.

    නිමක් නැති කතා, ටෙලිෆෝනය, රූපවාහිනිය, වාහන ඝෝෂය, සංවාද, තර්ක, කලබලය, හැල්මේ දිවීම shut down කළ තැනක, ශේෂ වන යම් සංවේදනයක් ඇත්ද, එය වචන අබිභවනවා. වචන අතික්‍රමණය කරනවා.

    කිසිත් නොකියා, නිහඬව, යම් ප්‍රපංචයක් හා සුසර උනොත්, ඔබට සෙමෙන් සෙමෙන් එහි vibe එක feel වෙනවා. එහි කම්පන රටාව ඔබ තුළ අනුනාද වෙන්න ගන්නවා. ඒ ප්‍රපංචය හා ඔබ ඒකාත්මික වෙනවා. සියළු සන්නිවේදන කපා හළ තැනක, ඉතා සුන්දර මානසික හෝ ආධ්‍යාත්මික සුසරවීමක් ගොඩනගාගත හැකියි. එය කියැවීමක්. නොකියවා කියැවීමක්.
    අපි තේරුම් ගත යුතුයි,
    “Massive feelings and thoughts can’t be defined by a limited vocabulary” කියන එක.

    ඇත්තෙන්ම,
    පරම ස්වභාවය තිබෙන්නේ, වචන වලින් එහා තැනක. Unspoiled තැනක. වචන හරහා කෙරෙන ගණුදෙනුවකින් පැන නගින නිගමන හෝ විනිශ්චයන් “සැබෑව” නොවේ. එබන්ඳක් ආරෝපිතයක් මිස කිසිදා සත්‍යය වන්නේ නැහැ. සැබෑව අස්පෘෂ්‍යයි, අතීන්ද්‍රීයයි.

    ඔව්, වචන කියන්නේම spoilers.

     

  • පසෙකට වී බලා හිඳීම

    පසෙකට වී බලා හිඳීම

    මොකක්ද මේ කතාව? මේක, මනුෂ්‍යයෙක් තුළ වර්ධනය කර ගත යුතු ටැලන්ට් එකක්.

    Flow එක එක්ක පිහිනන්නේ, අරගල කරන්නේ හෝ ගහගෙන යන්නේ නැතිව, මොහොතකට පැත්තකට වෙලා, ආගන්තුක ඇසකින් සංසිද්ධි, ක්‍රියා, පුද්ගලයින් දෙස විචක්ෂණව බලා හිඳීම ගැන තමයි මේ කියන්නේ…

    බොහෝවිට මම, Being a part කියන කන්සෙප්ට් එකෙන් මිදිලා, Being apart කියන කන්සෙප්ට් එකට විතැන් වෙන කෙනෙක්. එතකොට, මට හැකියාව ලැබෙනවා, කුලකයෙන් එකෙක් නොවී, කුලකයේ තත්‍ය ස්වභාවය දකින්න. නිරීක්ෂකයෙක් වෙන්න. මා තුළම වර්ධනය වෙන්න. මගෙම වැරදි හදා ගන්න. පිරිපහදු වෙන්න.

    විතැන් වීමක් කියන්නේ, කොහෙත්ම ප්‍රමාද වීමක් නෙවෙයි. ඒක ආයෝජනයක්.

    මම වෘත්තියෙන් නීතිඥවරියක්. ඒත්, ඒ රැළ්ලේ නොඉඳ, ඇතැම්විට හිටි අඩියේ මම නවතිනවා. සමස්තය දිහා සහ මා දිහා නිවීසැනසිල්ලේ බලන්න මම වෙලාවක් ගන්නවා…

    නීතිඥ කාර්‍යාල සංකීර්ණය කියන්නේ, මගේ එදිනෙදා ගණුදෙනු වලට පාදක වන වැදගත් ස්ථානයක්. ඇතැම්විට, මම එතැනට ඇතුළු වෙන්නේ, පිටස්තරයෙකුගේ ඇසින් බලමින්. එතකොට මට පෙනෙනවා, තට්ටු ගොඩනැගිල්ලක අඩුක් කරපු පුංචි පුංචි කුටීර රැසක්. ඒ කුටීර වල ඉඳන් කඩිසරව වෘත්තීය කාර්‍යයන් වල නියැලෙන පිරිසක්. ඇත්තටම, පුංචි කොදෙව්වක් වගේ. Bee hive එකක් වගේ. එක් එක් කාර්‍යයන් කරමින්, අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කර ගනිමින්, මසැස හා මනස වෙහෙසන පිරිසක්. ක්‍රියාකාරීත්වයක්. ගමනක්. It’s always a ‘Happening’. ඒ තුළ කලබලයක් තියනවා. වේගයක් තියනවා. නොසන්සිඳුණු බවක් තියනවා. “තව තව” කියන ස්වභාවයක් තියනවා. “ඊළඟට, ඊළඟට” කියන ස්වභාවයක් තියනවා. “හෙට, හෙට” කියන ස්වභාවයක් තියනවා…

    ඇත්තම අවංකම කතාව ගත්තොත්, පෙරකලාසියක් හෙවත් නීතීඥ නියෝජනයක් නාමකරණය කිරීමේ ලියවිල්ලක්(Proxy) අධිකරණයක ගොනු කිරීම නීතීඥවරයෙකුට එක්තරා සතුටක්! මොකද, අපට තවත් නඩුවක්, මුදලක් සහ මේ වෘත්තයේ පරිධිය දිගේ කරන ගමන නොකැඩී පවත්වාගෙන යාමේ අනාගත වෘත්තීය සුරැකුමක් ඉන් ලැබෙන නිසා.

    නමුත්, විතැන් වෙලා බලද්දි පෙනෙනවා, අපි ඒ ගන්නේ නොපෙනන අනාගතයක, නොදන්නා කාල පරාසයක් කරා විහිදෙන, පිටස්තරම මනුෂ්‍යයෙක්ගේ ප්‍රශ්නයක බැරෑරුම් වගකීමක්ය කියන එක. බොහෝවිට, නඩුවක් අතට ගනිද්දීම අපි දන්නවා, ඒ නඩුව ජයග්‍රහණය කරන්න මම නියෝජනය කරන පාර්ශවයට ශක්‍යතාවයක් තියනවද නැද්ද කියලා. වාතාවරණය මොකක් වුණත්, අපිට සිද්ධ වෙනවා තෙවැනි පාර්ශවයක ප්‍රශ්නයක එක්තරා කොටස්කාරයෙක්, මැදිහත්කරුවෙක් වෙන්න. මේ වගේ, අපේ නොවෙන අනුන්ගේ ප්‍රශ්න සිය දහස් ගණනක, දාමයක නෛතික කොටස්කාරයෙක් වෙන්න අපේ වෘත්තිය විසින් අපට බල කරලා තියනවා.

    ඉතිං, ඒ ලෝකයක පැටලිලි සියල්ල ඇඟට ගත්තොත් අපට මොකක් වේවිද? අනිවාර්‍යෙන් ශේෂ වෙන්නේ stressed ජීවියෙක්. අන්න එතැනදීයි මේ විතැන්වීම කියන සංකල්පය වැදගත් වෙන්නේ…

    ඇත්තෙන්ම, ඉවසිලිවන්තව පසෙකට වී බලා හිඳීම කියන දේ තුළ, අපට ඉතා ප්‍රබුද්ධ විසඳුම් ලැබෙනවා. ඒ, භෞතිකව එතැනම හිඳින ගමන්, මානසිකව කළ යුතු විතැන්වීමක්. ඔව්, ඒක අති සාර්ථක ලෙහුම්කාරකයක්.

    So,
    BE APART.
    Take a space.
    Take a breath.
    Flow will flow. Let it move. Do not struggle.
    Space is not something negative. But, it’s an energizer which calms your precious mind and heart.