Tag: රසිකා මුහන්දිරමිගේ

  • අපි ආයෙත් අලුතින් සංස්කරණය කරමු.

    අපි ආයෙත් අලුතින් සංස්කරණය කරමු.

    ජීවිතය ලිපියක් වගේ.අපි දවසින් දවස කොටස් අමුණ අමුණා ලියන.ඒ නිසාම අපිට වෙනවා සංස්කරණය කරන්න හැමවිටම.

    ඉතින් ඒ නිසා තද පාට පෑනකින් ලිව්වොත් මකන්න,කපන්න ,අයින් කරන්න අමාරුවෙයි.

    ඒ කියන්නේ ජීවත ලිපිය හැමවිටම සංස්කරණයට ලක් කරගන්න පුළුවන් මට්ටමේ තියාගන්න ඕන .ගොඩක් තද බැදීම්,හමුවීම්,අවස්ථා,සංසිද්ධීන් තමයි ජීවත ලිපිය ලියන්න උදව් වෙන්නේ.

    හැබැයි මේ හැමදේම වෙනස් වෙනව.ඒ මත ලිපියේ අන්තර්ගතය වෙනස් වෙනව.ඒ වෙනසත් එක්ක අනුගත වෙන්න බැරිවුනොත් අපිට හිතෙයි ලිපිය ඉරන්න.චප්ප කරල විසිකරන්න.කුණුකූඩෙට දාන්න.

    අන්න ඒ නිසයි හැමවිටම සංස්කරණයට ඉඩක් තියාගන්න ඕන .

    ලිපිය ලියද්දී ආශිත්‍ර මූලාශ්‍ර වෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු අවස්ථා ,සිද්ධි,හමුවීම්,පුද්ගලයන් ආදිය.මේවා ජීවත ලිපිය සරුකරන්න අත්දැකීම් අරන් එනව.

    ඉතින් ජීවත ලිපියට ළංකරගත් ආශිත්‍ර මූලාශ්‍ර අපි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන.සමරහර ආශිත්‍රයන් සරු බවට වඩා අරන් එන්නේ වේදනාව ,පීඩනය ,කටුකත්වය නම් අමාරුවෙන් හරි ඉවත් කරන්න වෙනවාමයි.

    ඒකයි සංස්කරණයට ඉඩක් තියාගන්න කිව්වේ.

    නමුත් සමහර ආශ්‍රිත මූලාශ්‍ර කරදර වුනත් අපේ ජීවිත ලිපියේ අනිවාර්යය කොටසක්නම් අපිට වෙනව තියාගන්න.දරාගන්න .

    ඉතින් මගේ ජීවත ලිපිය අනෙකා නේ කියවන්නේ.එයා කියවද්දි සංජානනය කරන්නේ එයාට ඕන විදියට .ඒ හින්දා මම හිතන් ලියන් යන විඳිය අනෙකාට අහුනොවේවි.විවරණය වෙනස් වේවි.

    එහෙම තමයි ස්වභාවය .කාටත් ගැලපෙන විඳියට අපිට ජීවත ලිපිය ලියන්න බෑ. හැබැයි ලිපිය ලියන්න ඕන ලියන කෙනාගේ රුචියට, ස්වරූපයට අනුව.

    මොකද ආපස්සට කියවන්න හිතුනොත් මහා අප්‍රබංසයක් නම් ලියවිලා තියෙන්නේ හිතාගන්න බැරිව පැටලැවේවි.හැබැයි ආපසු කියවීම අවශ්‍යම නෑ
    අවශ්‍ය මේ මොහොතේ හරියට ලියන් යෑම.එතකොට ආපසු කියවීමත් නරකම නෑ.

    හරියට ලියනව කිව්වේ ජීවත ලිපිය පුළුවන් තරම් රසවත්,සරල,සුගම,කාටත් කියවගන්න පහසු විඳියට ලියන්න පුළුවන් නම් තමයි හොඳ .ගොඩක් ශාස්ත්‍රීය වුනොත්,ඕනවට වඩා සාරගර්භ විඳියට ලියන්න හිතුවොත් ඒක කියවගන්නත් අපහසුවෙයි. තමන්ටම එපාවෙයි.

    එහෙමෙයි කියලා ජීවිත ලිපිය ලියන්නන් වාලේ ලියලත් බැහැ .ඒ වගේම ලියපු විඳිය හොඳ නෑ කියලා ලිවීම පැත්තකින් තියලා පසුතැවීමත් හොඳ නැහැ .

    ලියන්න අසීරුම තැන්වල චුට්ටක් විවේක ගන්න .ඔහේ ඉන්න .බලන් ඉන්න .කාලයට ඉඩ දෙන්න.භාවිත මූලාශ්‍ර අලුත් විඳියට දකින්න හෝ අලුත් මූලාශ්‍ර හොයන් යන්න.විකල්ප කියවීම් ගැන අනවශ්‍ය වෙහෙසවීම්වලට වඩා අවශ්‍ය කියවීම් මගින් ලිපිය සරුකරගන්න.

    අත්දැකීම් තමයි ජීවත ලිපියේ පදනම.ඒ නිසා ලැබෙන අත්දැකීම් ගැන සතුටු වෙන්නත් භාවිතය ගැන හිතන්නත් වෙනව.

    ඒත් අසාර්ථකයි කියලා ජීවත ලිපිය කුණුකූඩෙට දාන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ .

    අපි ආයෙත් අලුතින් සංස්කරණය කරමු.

     

  • වත්මන් ව්‍යාපාරික ආයතන පන්සල්

    වත්මන් ව්‍යාපාරික ආයතන පන්සල්

    පිංකමට ප්‍රස්තුතය රාහුල කුමාරයා දායාද ඉල්ලීම දැක්වෙන ප්‍රතිමාව නිරාවරණය .
    දැන් ඉතින් ප්‍රදර්ශනය හා ප්‍රදක්ෂිණාව .

    සොබාදහම එක්ක බැදුණු ආරාම ජීවිතය පන්සල් වෙලා පන්සල මන්දිර වෙලා මන්දිර ව්‍යාපාරික මර්මස්ථාන වෙලා.

    දර්ශනය ආගම වෙලා ආගම ප්‍රදර්ශන වෙලා අරමුණු ලාභවෙලා.

    ලෝකෝත්තර සුව අමතක වෙලා. ඒකට කමක් නෑ..හැබැයි මේක පරලොව හිත සුව පිණිස වචනයෙන් පාටකරල ,අලංකාර කරල.

    ලංකාවට මෑතකාලීන ලොකු ලෙඩක් තියෙනවා ලොකුම ඒවා හැදීම.අතීතයේ ගොඩනගපු පරාක්‍රම සමුද්‍රය ,අවුකන පිළිමය,ඩෝසන් කුළුණ සිට අපි නෙළුම් කුළුණ , කූරගල සිංහයා,යාපහුව සිංහයා දක්වා ජාතික මට්ටමේ විශාල නිර්මාණ අපිට තියෙනව.

    එදා විශාල නිර්මාණ රටක් සනසද්දී මෙදා විශාල නිර්මාණ රටක මිනිසුන්ගේ මානවීය,ආර්ථික හා භෞතික ජීවන රටාවන් වනසනවා නොවේද යන්න මගේ හැඟීම.

    මේ විශාලම දේවල් නැරඹීමේ ප්‍රීතිය ,ආසාව කොටසකට හොඳ ආදායම් මාර්ගයක්.

    විශාලම දේවල් නැරඹීමේ ප්‍රීතිය මෙන්ම වන්දනය එක්තරා ආකාර උන්මාදයක් වගේම සංරක්ෂණ ප්‍රයෝගයක්.

    ලොකුම ඒවා අපසතුවීමේ සුඛය ජීවන අපේක්ෂා අතර අපි බැඳ තබනව.අත් හැරීමට හුරුකරවන දහමක බදා ගැනීමට යොමුකරවන සැටියක් තමයි ලොකුම ඒවා හැදීමේ තෘෂ්ණාව මම දකින්නේ.

    ලොකුම ඒවා හදන්න මූල්‍ය පරිත්‍යාග කරන පිංවතුන් අත් හැරීම ප්‍රගුණ කළත් ඒ තුළ තියෙන්නේ ප්‍රසිද්ධ වීමේ තෘප්තිය .තෘෂ්ණාව .

    ලොකුම ඒවා අසල වැඳවැටෙන පුහුදුන් සත්වයා දෙව්ලොවට අඩියක් සමීපවීමේ සංරක්ෂණ ප්‍රයෝගයෙන් සැනසෙනව.

    එක අතකට ලොකුම ඒවා මිනිස්සු මොහොතකට ප්‍රශ්නවලින් ඈත් කරනව.හිත් හදනව.සනසනව.

    එහෙම බල්ද්දී වත්මන් ව්‍යාපාරික ආයතන වන පන්සල් (හැම පන්සලම නොවේ) කරන්නේ කාලීන අවශ්‍යතාවයක් පිරිමැහීම.

    මිනිස්සුන්ගේ හිත් තාවකාලිකව සැනසීම.

  • අයිස් නොදන්නා වුන් මතින් ක්ෂය වී යන්නෝය.

    අයිස් නොදන්නා වුන් මතින් ක්ෂය වී යන්නෝය.

    නාකියදෙණිය තලංගහ වත්තේ පුල්ලේමඩුවේ ක්‍රෙච් ඇටෙන්ඩන් තංගමනී ය. ඇගේ පුතා රමේෂ් වතු පාසලේ දී බඩගිනි වූ විට කන්නට කිඹුලෙක් ගෙනාවේය. පත්තර කොළේ ඔතා තිබූ කිඹුලාගේ බඩේ පිටි හා මුසුව තිබුනේ අයිස්‍ ය.

    එය විය නොහැකි දෙයකි. තංගමනී පුල්ලේමඩුවේ ඔට්ටු වෙද්දී රාමන් තාත්තා පොල්ගස් දිගේ දවසට විසිතිස් පාරක් ඉහළ පහළ යයි. අයිස් ගහන්නට වෙලාවක් නැත. බේකරියේ ලූකස් අයිස් ගැහුවාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවේ.ඒකාට කන්නටවත් වෙලාවක් නැත.

    රත්ගම වැල්ලෙන් මූදු යන පොඩි විජේගේ දුවවන මාලතී අටේ පංතියේය.ඉන්ටවල් වෙන්නත් පෙර බංකුව අස්සට අතදාගෙන බනිසෙන් කෑල්ල කෑල්ල ඈ කෑවාය.එක සැරේක බනිස් කෑල්ල වෙනුවට මතුවුනේ අයිස්‍ ය. විය නොහැක. කරවල වේලන,ජාඩි හදන,මාළු උයන අහවරයක් තිබ්බොත් ඕපදූප දොඩන අම්මා මේරි අයිස් ගසනු දැක නැත. පෙරේදා මුහුදු ගිය තාත්තා ගොඩට එන්න තව සති දෙක තුනක්වත් යනු ඇත.

    මට්ටක්කුලියේ පුංචි කාමරේක හිරවූ සුජාතාගේ දුව ස්වර්ණාය.අම්මා රෑට බොහෝවිට ගෙදර නැති නිසා ස්වර්ණා ආච්ච් හදාදෙන යමක් කෑම පෙට්ටියේ රුවාගනී. එදා කන්න තිබ්බේ රොටිය. කස්ටමස්ලා හිඟබව අම්මා කාටහෝ කියනු ස්වර්ණා ට මතකය. ඒ නිසා රොටියත් ඉහළින්ම පිරිමැහේ. රොටිය කන අතරමඟ අමුතු යමක් හැපුනි. අයිස් ය. වෙන්න බැරිය. නිල පිරිමි නැති කාන්තා නිවසේ අම්මා දවල්ට නිදන්නේ රෑ වෙහෙස මකන්නය. රෑට නැවත වෙහෙසෙන්නය. හැටේ ආච්චීට කප්පර වැඩය. අයිස් ගහන්න වෙලාවක් නැත.

    නිකවැරටියේ දේවාලේ ගාව පොඩි එළවළු කඩේ කෝකිලාගේ දූ යන්තං දෙකේය.කෝලිලා කඩේට අමතරව බත් පැකට් බෙදන්නීය.කෙල්ලත් බත් අරන් පාසල් යන්නීය.කෝකිලාගේ පුරුෂයා බත් පැකට් පාරේ තියන් විකුණයි.ආරංචිය එනවිට ඔහු හිටියේ සල්ලි ගනිමින්‍ ය.කෙල්ලගේ බත් පැකැට්ටුවේ අයිස් ය. කෝකිලා හත්පොළේ දිවුරන්නත්,කාලි අම්මා ගාවට නඩුව කියන්න දුවන්නත් වූයේ එකවිටය.අයිස් ගහන්න තියා අයිස් ගැන දැනගත්තේද රූපවාහිනී ප්‍රචාරය නිසාය.එහෙව් එකේ අයිස්….?

    සමදරා වැසිකිළියට බෙහෙත් දමා තුන්වෙනි පාර අතුල්ලද්දී පණිවිඩය ලැබුණි.කොල්ලා අදත් රංඩු වී පාසල් ගියේ පරිප්පුයි බතුයි කා එපාවී ඇති බැවිනි.ක්ලීනින් සර්විසෙකේ ඇන්ටන් අය්යාට කියා සමදරා පාසලට අඩියෙන් දෙකෙන් දිව්වාය. මිනිහා මළ දා සිට නිවනක් නැති සමදරා අයිස් ගැසීම් නොදනී.කොල්ලා දනීදැයි ප්‍රශ්න කරන හිතින් ඈ දුවයි.

    වජිරාට පණිවිඩය එනවිට ඇ සිටියේ පරිගණකයේ ඇස් දුවමින්‍ ය.මාසේ අන්තිමට ළංවෙද්දී ඈ කොහොමත් කළබලය. රක්ෂණ සමාගමක සේවය කරන සැමියා ටාගට් පස්සේය. හතිවැටුනු ජීවිතයේ එකම සම්පත කොල්ලාය.උදෙත් ට්‍රිබල් දාගෙන කොල්ලා ගේටුවෙන් ඇතුල් වෙකම්ම බලාසිටයි වජිරලා ඔෆීස් ආවේ. අද පැස්ටාය. පැස්ටා අස්සේ අයිස් තිබී අසුවී ඇත. වජිරා ,සැමියා අයිස් ගැන නොදනී. ජීවිත සටන අයිස් හා බද්ධ නැත.කොල්ලාද ඒ වගක් දන්නේද??? ක්ලාස්,පැක්ටිස්,ගේම් ජීවිතය වූ කොල්ලා අයිස් ගැන දනීද? වජිරා පිස්සු වැටීමට ඔන්න මෙන්නය.

    මේ කිසිවෙක් අයිස් ගැන නොදනී.ජීවත් වෙන්න දඟලන ජීවිතවලට අයිස් යනු නුහුරකි. එහෙත් අයිස් හුරු ජීවිත බොහෝය. පිනට ජීවත් වෙන හොරු අයිස් ගැන හොඳින් දනී. එහෙත් උන්ගේ බත්පත්වල අයිස් හොයන්නට කිසිවෙක් ඉඳිරිපත් නොවේ. එනිසාම සදාතනිකව ඔවුහු අයිස් වළදන්නෝය. මත් වන්නෝය. ඒ මතින් තුටු වන්නෝය.

    අයිස් නොදන්නා වුන් මතින් ක්ෂය වී යන්නෝය.

  • බුද්ධ පුත්‍රයාද මානවයෙකි. ගැහැණිය ද මානවයෙකි.

    බුද්ධ පුත්‍රයාද මානවයෙකි. ගැහැණිය ද මානවයෙකි.

    ස්ත්‍රී ප්‍රචණ්ඩත්වයට එරෙහි සතිය අහවරව අපි දැන් දෙසැ10 දින ලෝක මානව හිමිකම් දිනයද ලංකාවේ සැමරුවෙමු.

    ඒ අතරේ අපි වෙනදා ලෙසම ජීවත් වෙමු.
    එසේ ජීවත් වීම පහසු කරන්නේ සමාජය සුරක්ෂිත වීම නොවේ.

    හැම සතියම අලුත් කුණුරස ජීවිතයට එකතු වීමයි.

    පසුගිය සතියේ අපි පට්ට ගැසුවේ හිමිනම,ගැහැණිය හා දරු දෙදෙනාය.
    අසංවේදී රූප රචනා මැද සංවේදී කවි රචනා අපි තොල ගෑවෙමු.වින්දෙමු.

    ලබන සතියේ අලුත් මාතෘකාව එනතෙක් මේ මාතෘකාව පට්ට ගසමු.

    ගැහැණිය වරද්දා ගත්තේ පොදු දේපලක් පරිහරණය කිරීම නිසාය.

    සංඝයා වහන්සේ පොදුය.සංඝයා වහන්සේ ගොඩනැඟෙන්නේ සමාජයක සාමුහිකත්වයේ,එකඟත්වයේ සංකේතයක් ලෙසය.

    එනිසාම සිවුර හැදිකළ ස්වාර්ථයන් අමතක කළ යුතුවේ.

    මන්ද සඟසතු දේ යනු පොදුදේ බැවින් එය පෞද්ගලික පරිහරණය සමාජ අවභාවිතයක් වන හෙයිනි.

    මෙය ගැහැණියට අමතක විය.පිරිමියාටද අමතක විය

    ප්‍රාථමික අවශ්‍යතා ඉටුනොවන කල්හි ඉන් එහා ගිය බුද්ධිමය ,සදාචාරාමය අවශ්‍යතා පිළිබඳ හැඟීමක් නැත.

    මිනිසා තිරිසනාගෙන් වෙන්කරන හෘදසාක්ශියේ අදෝනා,වගවීමේ,වගකීමේ බන්ධන මෙවන්විටක බිඳ වැටෙනු ඇත.

    ඒ අපි හැමෝම බහුවිධ භේද විභේදනයන් අස්සේ වුව හඹායනේ අවශ්‍යතා තෘප්ත කිරීමේ අසාව නිසයි.
    ඉතා සරලව කිවහොත් ජීවත්වීම යනු මෙයයි.

    එහෙත් ජීවත්වීමේ මේ නිර්ව්‍යාජ බව වස්ත්‍ර,ඒ මත පැවරෙන බර මතින් ව්‍යාජ කරයි.

    හිමිනම වරද්දා ගත්තේ එයයි.වස්ත්‍රය නිර්වස්ත්‍ර කොට අමු වීමට උත්සාහ කළද නැවත සමාජය වස්ත්‍රය අන්ඳවා එහි ඇති බර පෙන්වා දීමට උත්සාහ කළේය.

    එහෙත් සමාජය බොහෝවිට හැසිරෙන්නේ දැනුම් පද්ධතිය පරයා හැඟුම් පද්ධතිය ඔස්සේ බැවින් වගකීම ,වගවීම මතක් කරදුන් ස්වරූපය අමානුෂික ය.

    වැදීම්,පිදීම්,නැමදීම් පසෙක ලා සාපකිරීම්,බැනවැදීම්,නින්දාකිරීම්,අවමංකිරීම් මතුවූයේ මේ නිසාය.

    අපේ බුදුන් පෙරළි පෙරළී වඳින හැඟුම්බර මිනිසාම බුද්ධපුත්‍රයන්ට ගල් ගසන්නට යොමු වන්නේ මේ හැඟුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන බැවිනි.

    සමාජය දැනුම් පද්ධතිය මත ගොඩනැගේනම් වරද ,වරද පෙන්වා දීම,දඩුවම හා එහි ස්වරූපය වෙනස්වෙනු ඇත.

    ආගමේ හරය හැඟුම් පද්ධතිය කි.
    දර්ශනය වූ කලී දැනුම් පද්ධතියකි.

    ගැටලුවක් දෙස ආගමික මුහුණුවරකින් නොව දාර්ශනික මුහුණුවරකින් බලන්නට හැකිනම් …..

    බුද්ධපුත්‍රයාද මානවයෙකි.
    ගැහැණිය ද මානවයෙකි.

    ජීවත්වීම මානව අයිතියකි.

  • ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාව අස්සේ මේ මට හිතුණු දේ ..

    ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාව අස්සේ මේ මට හිතුණු දේ ..

    පාර්වති කහට බොනව.තේ පඳුරක් යට වාඩිවෙලා හුළං විස්කෝත්තක් පොඟවගෙන කහට බොනව.පෙඟිච්ච හුළං විස්කෝත්තෙන් තේ කඳුළක් පාර්වතීගේ චීත්තෙට වැටෙනව.චීත්තෙ පාට කහට පාට වෙන්කරන්න බෑ.ඒ හින්දා කහට පැල්ලම ගැන වගේ වගක් පාර්වතීට නෑ.කොහොම වුනත් පාර්වතී බොන්නේ තමන් දළු කඩන වත්තෙන් ඉපදෙන තේකුඩු තේ නෙවි. රස ගැන ඒකිට වගක් නෑ.

    වත්සලා කහට බොනව.තොල්වල ගාපු පාට දියවෙයි කියල බයට කහට බොනව නෙවි උරනව.උරද්දී තොලෙන් පැනපු කහට බිංදුවක් වත්සලාගේ පපුව මැද නිම්නයෙන් පහළට රූටනව.ගංචුව ගලවලම ගෙවුණු බුරුල් බ්‍රා එක අග්ගිස්සේ කහට බිංදුව තැන්පත් වෙනව.දාඩියයි කහටයි වෙන්කරන්න බැරිනිසා වත්සලා කහට පැල්ලමට දිනුම දෙනව.

    සරලා කහට බොනව. කැන්ටිමේ පුටුවට බරදීලා පොල් කේක් කෑල්ලක් එක්ක කහට බොනව.එන යන ලිපිගොණු අස්සෙන් එබෙන බොස්ගේ මූණ මතක්වෙලා ගැස්සුණු වේගෙට කහට බිංදුවක් සාරි හැට්ටේ උඩට වැටෙනව.පොලියෙස්ටර් සාරි රෙද්දට උරා ගන්න බැරිව කහට ටිකක් ඇඟට පත්තියම් වෙනව. සරලා ඉවසනවා.

    අරුන්දතී කහට බොනව.කෑලි ගාණ මැනල මහපු අත්වලට වාරු නැතුව කහට බිංදුවක් ඔඩොක්කුවට හැළෙනව.බඳින වයසත් පහුවෙච්ච පටු උකුලේ රස්නෙට කහට බිංදුව පැල්ලමක් වෙලා ගල්වෙනව.පැල්ලම් ගොඩට ආපු අලුත් පැල්ලම ගැන අරුන්දතී වැඩිය තැවෙන්නේ නෑ.

    ජුලී කහට බොනව.බොන ගමන් වෑංජනේ ලුණු බලනව. ලුණුයි කහටයි හොඳට ගැළපෙනව.ගිනිකූරක් ඉල්ලගෙන ආපු ලොකූ මහත්‍තයට ගින්දර නොදී ඉන්න බැරිකමට කහට කෝප්පේ පැත්තක තියනව.තියද්දී වීසිවෙන කහට බිංදුවක් බුබුලාකාර හැඩයෙන් වම් පපුවේ මැද රැදෙනව.ගෙදර ඉන්න අතදරුව මතක්වෙලා කහට පැල්ලම ජුලී නොසලකා හරිනවා.

    වයල කහට බොනව.කුණු ට්‍රැක්ටරේට කුණු දාපු අත්දෙකෙන්ම කහට කෝප්පේ අල්ලන් බොනව.කුයිලෙට කෝප්පේ ගැස්සිලා කහට බිංදුවක් වයලගේ කකුල් පාමුලට වැටෙනව.කහට බිංදු හැර වෙන දෙයක් කකුල් පාමුල තියේවිද?වයල කහට බිංදුව එක්ක හිනාවෙනව.

    පාර්වතී ,සරලා,වත්සලා ,අරුන්දතී ,ජුලී,වයලා විතරක් නෙවි හේමමාලලා,ච්ත්‍රලා,සුගලලා,ගජමන් නෝනලා වගේම දම්මිල,බතීල,දේදුනුල විතරක් නෙවි රසිකල,වජිරලා ත් කහට බොනව.

    පඳුරු යට,ගස්ගල් යට,බංකුවල,පුටුමේසවල,සැටිවල,සෝපාවල වාඩිවෙලා කහට බොනව.

    වීසිවෙන කහට බිංදුවක් පැල්ලමක් හැදුවත් මේ කිසිම ගෑනියෙක් පැල්ලම් ගැන වදවෙන්නේ නැහැ .

    පැල්ලම් නෝමල්.ඒ තමයි ජීවිතය !!

  • රෙද්ද සංකේතයක් මෙන්ම හැවකි

    රෙද්ද සංකේතයක් මෙන්ම හැවකි

    ඕන රෙද්දක් කියා හිත හදාගන්න පුළුවන් කාලයක් නොවුනත් අපි ඔක්කොම එලෙස හිත හදාගනිමින් සිටිමු.

    රෙද්ද ලංකාවේ කවදත් අංක එකේ වටිනාකමක් සහිත සංකේතාත්මක භෞතික වස්තුවකි.

    උපතේ ස්ත්‍රී පුරුෂබව කම්බා සරම් රෙද්දෙන් සංකේතවත් වේ.කසාදයේදී අම්මාගෙන් බිව් කිරට වන්දිය රෙද්දෙන් සංකේත කරයි. මනමාලිය වටා ඔතන රතු රෙද්ද හා ඇඳුම් මල්ලට ඔබන සුදු රෙද්ද තවත් රෙදි සංකේතයන්‍ ය.

    මරණයේ පාංශුකූල රෙද්ද ජීවනාර්ථයකි.හිමිනමක් වැඩිකළ සුදුරෙද්ද එළා ගෞරවය සංකේතවත් කරමු.සමහර රෙදි දැක්ක ගමන් අපේ චර්‍යා වෙනස්වන්නේ ඒ රෙද්දට හිමි සංකේතාත්මක වටිනාකම නිසාය.

    රෙද්ද සංකේතයක් මෙන්ම හැවකි.හැව පැළඳි කළ ඒ පසුපස නිර්මිත බෝහෝ දේය.

    හැවට ලංකාවේ ඉහළ වටිනාකමක් ඇත.

    වෛද්‍යවරයා වෙදනලාව සමඟ ඊට සම්බන්ධ හැව පළදී.නීතිඥවරුන් කළු හැවද,පූජකයන් සුදු,තැඹිලි,කළු හැවවල් ද,හෙදියන් තව හැවක්ද ,ත්‍රිවිධ හමුදාව,ශිෂ්‍ය ප්‍රජා එකිනෙකාට ආවේනික හැවවල් පළදී.මේ හැවවල්වලට හිමිවෙන ඉහළ වටිනාකම්‍ ය.

    එහෙත් නගරසභා කම්කරුවා පළදින ,සාමාන්‍ය සිවිල් පුරවැසියා පළඳින රෙදි හැවවල්වලට මෙවන් වටිනාකමක් හිමි නොවේ.

    මෙනයින් හැඟෙන පරිදි රෙද්ද යනු අතිශය වටිනාකමක් සහිත මාතෘකාවක් බව පෙනී යනු ඇත.

    ඒ නිසාම පසුගිය සතියේ සාරි රෙද්ද ද ජනගත මාතෘකාවක් විය.

    සාරි රෙද්ද ගලවා සැහැල්ලු සිතින් ගුරුවරු කීප දෙනෙක්ම කළ එළි බැස්ස වගද අප නෙත ගැටුණි.

    එහෙත් ලංකාවේ රෙද්දේ ඇති සංකේතාත්මක වටිනාකම අනුව තවත් අවුරුදු ගණනක් ගියත් අපි සාරි රෙදි හැව ගැලවීමට කැමති නොවනු ඇත.

    මන්ද අපේ රෙද්දේ අරමුණු විළිවසා ගැනුම හෝ කරදර උපද්‍රවවලින් බේරීම පමණක් නොවන බැවිනි.

    මා මුලින් කී පරිදි අපිට රෙද්ද අවශ්‍ය සංකේතාත්මක වටිනාකම් උදෙසායි.රෙද්දේ සැඟවුණු දේශපාලනික,ආර්ථික ,සංස්කෘතික වටිනාකම් ඇත.

    එනිසාම ගුරුවරු දෙතුන් පිරිසක් සාරි රෙද්ද ගැලෙව්වාට අති බහුතර ගුරුවරු සාරි රෙද්ද ගලවන්නේ මියගිය පසුය.

    පංති කාමරයේ ඇවිදිද්දී,ළමුන් අතරට යෑමේදී,ක්‍රියාකාරකම් කිරීමේදී,ප්‍රවාහනයේදී මේ මොන ආකාරයේ ගැටලු ආවත් සාරිය ගැලවීමට අපේ බහුතර ගුරු ප්‍රජාව අකමැති වනු ඇත.

    එනිසා රෙද්දෙන් වහන් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කිරීමට කාලය ගතකළ යුතු නැත.

    රෙදි ගැලවීමට වඩා අප දැන් අවධානය යොමුකළ යුත්තේ රෙද්දක්වත් මිලදී ගැනීමට නොහැකි ව නිරුවත්වන රටේ ආර්ථිකය ගැනයි.

    රෙදිවලින් වසා රැකිය නොහැකි රටේ සංස්කෘතිය ගැනයි.

  • වසවිස සහිත කෑම වැඩිපුර කන රටවල් අතර අපි ප්‍රමුඛය .

    වසවිස සහිත කෑම වැඩිපුර කන රටවල් අතර අපි ප්‍රමුඛය .

    සංතුට්ඨී පරමං ධනං කීවාට ලෝක සතුටු දර්ශකයේ අපි ඉන්නේ පහළය.ධනය හිමි කොටස අතරද සතුට ඇත්දැයි සැකය.එසේනම් නිර්ධනයන් ගැන කුමන කතාද?

    වසවිස සහිත කෑම වැඩිපුර කන රටවල් අතර අපි ප්‍රමුඛය .
    වාරේ අවාරේ මල් පිපේ.ගෙඩි හැදේ.ලා ගෙඩි කඩා බෙහෙත් ගසා ඉඳවා වස කන්නට අප ප්‍රියය.හොඳම කෑම පනුවන්ට හෝ නොදෙන්නට තරම් අපි කුහකය.කුඹුරට හේනට කොම්පෝස්ට් ගසා ගෙඩිවලට රසායනික දමා ඉඳවා අපි කන්නෙමු.

    දූ දරු සබඳතා මව්පිය සබඳතා ගැන පෙළපොත් හි පවා සඳහන් ය.එහෙත් ගෘහස්ථ හිංසනය සාමාන්‍ය වන අතර ළමා අතවර වාර්තා නොවෙන තරම් බහුලය.එහෙත් හොඳම දේ ළමයිට කියා අපි නිරන්තර මුමුණන්නෙමු.කොච්චර හොඳදයත් ලිංගිකත්වය පිළිබඳ නව යොවුන්වියේ විවෘතව කතා නොකරන්නට තරම් අපි පරිස්සං ය.

    වසර 2500 පැන්න ප්‍රෞඩ ඓතිහාසික ස්ථාන නරඹා ගල්වල නම්කොටා,ගස්වල පොතු කපා, කන කන දෑ වසුරු හැමතැන හෙළා එන ජාතියක්‍ ය. දහතුන් වසරක පාසල් අධ්‍යාපනයක් තිබුණත් ලංකාවේ හැම කානුවකම,ඇළකම,දොළකම ප්ලාස්ටික්ය. ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයේ කුණු වර්ගීකරණය ,කොම්පෝස්ට් වලවල් සෑදීම විභාග ප්‍රශ්න පමණි.

    ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයැයි කියාගන්නා මහී ප්‍රවාහන රථවල ගැහුණුන්ට හේත්තු දාන පිරිමින් ය.මාතලීලා රියදුරු අසුන්වලය.ආලවක බඳු කොන්දොස්තර මහතුන්‍ ය.බුඳුන්ගේ දේශ කතා ගිනි පුපුරුය.සිංහ ලේ,රාවණාල නැග යන්නේ වැඩිපුර පෞද්ගලික බස් රථවලය.

    උසාවිය ළඟ නිහඬ වුනාට සාක්කි නැති මරණ සහතික ලියන ජාතියක්‍ ය.අනවසර ගබ්සා නිරතුරය.විනිශ්චය හෘදසාක්ශිය පමණි.

    තේ,පොල්,රබර්,කුරුඳු ගම්මිරිස් වගාවට වඩා සංකා නැතුව ජීවත් වෙන්න කංසා වවන්නට අපි උත්සහ ගමු.රටවටා මුහුදය.පන්,කුඹල්,හස්ත,කිතුල් පැණි වැනි කර්මාන්ත සඳහා වෘත්තිකයන් බිහිකරන අධ්‍යාපනයක් අපට නැත.පහසුම වෘත්තීය අතිශය කම්මැලි,නීරස ත්‍රීවිල් රස්සාවයි.

    මෙලෙස යථාව දැක දැක අපි විජ්ජාවට රැවටෙමු.ආර්ථික ,දේශපාලන ,සංස්කෘතික ප්‍රශ්න කොච්චර දැක්කත් අපි පුදුමාකාර විදියට ජාතිකාභිමානීය.ජාතිකානුරාගීය.එය කොතරම් ප්‍රබලද යත් ජීවන අපේක්ෂා අමු අමුවේ විනාස වෙද්දීත් අපි කාගේ හෝ උද්වේගකර හඬකින් අවුලන ජාතිමාමක හඬක් නිසා මුළු මහත් අනාගතයක් ම විනාසයට ගොදුරු කටවන්නට සමත්ය.

    එය ඊයේත් විය.හෙටත් වෙයි.ඒ අපේ හැටිය.

    ඒ වූ කලී ප්‍රෞඩ ශ්‍රී ලාංකීය අභිමානයයි.

  • නායකයන් ගැන සමාජ විද්‍යාවේ,මානව විද්‍යාවේ ආදී මානව ශ්‍රාස්ත්‍රයන්හී විද්‍යාත්මකව කතා කරයි

    නායකයන් ගැන සමාජ විද්‍යාවේ,මානව විද්‍යාවේ ආදී මානව ශ්‍රාස්ත්‍රයන්හී විද්‍යාත්මකව කතා කරයි

    මොන විද්‍යාවේ කතා කළත් නායකයෙකුගෙන් අපි අපේක්ෂා කරන දේ බොහෝය.

    නායකයන් බිහිවන්නේ අනුගාමිකයන් නිසාය.එනිසාම නායකයාට අනුගාමිකයා ඉතා වැදගත්‍ ය.

    එක එක හැඳි දරණ නායකයෝ ද ,නායකත්වය ඇරියස් කවර් කිරීමට ගන්නා පුද්ගලයෝ ද, නායකත්වයට නිගා දෙන්නෝ ද,නායකත්වයෙන් තමා පමණක් බැබළෙන්නෝ ද,නායකත්වයෙන් ප්‍රතිලාභ පමණක් සොයන්නෝ ද නායකත්වය අවභාවිත කරන්නෝ ය. ඔවුහු අනුගාමිකයා නොසලකන්නෝ නිසා ඔවුන්ටම නොදැනී නායකත්වය හෑල්ලුවට ලක්වේ.

    බොහෝ නායකයෝ අනුගාමිකයන් අතර හුදකලා වන්නේ ,විහිළුවට ලක්වන්නේ මේ නිසාය.

    රැළක් අයාලේ යද්දී පෙළක් නායකයෝ බිහිවීම අත්‍යවශ්‍යය .

    එහෙත් මෑත කාලින ආගමික,ආර්ථික ,දේශපාලන නායකයෝ රැළ පිටින්ම අයාලේය.

    නායකයා බිහිවන්නේම අයාලයේය.

    සමාජ සංස්ථාව ආගම මගින් තීරණය ලංකාවේ මෑත කාලින ඈත කාලීන ප්‍රවණතාවයකි.

    බොහෝ වැරදි මෙන්ම නිවැරදි තීරණ මේ නිසා උපදී.

    ආගම මෙතරම් ප්‍රබල වෙද්දී ආගම මුල් කරගෙන බිහිවෙන නායකයෝ බහුබූත විලාස ගනී.

    මීට මෑතකාලීන හොඳම උදාහරණය දියසෙන් රාජ්‍යය පිහිටුවාගත් දියසෙන් හාමුදුරු වේසධාරියාය.

    සිවුර අවභාවිත ඔහු රංගනයක් කරයි.එය ඔහුගේ මුහුණින්,ඉරියව්වලින් ප්‍රකටය.
    ඔහු රැඟුවාට කම්නැත.

    රැඟීම ආගමේම කොටසකි.

    නමුත් රැඟීමට අහුවෙන අනුගාමිකයන් සිටීම රටක අවාසනාවකි.

    දුක ඒ අහුවීම තවත් බාල පරම්පරාවකට පැවරීමයි.

    හැම ආගමික විකාරයකටම වැඩිහිටි පවුල් නායකයෝ බාලයෝද රැගෙන යත්.

    නායකයෝ විකාර නැටීම පටන් ගන්නේ පවුල් නායකයන්ගෙනි.නිරවුල් හැඟීමක් නැති පවුල් නායකයෝ රටකට නායකයන් පත්කරගනිති.රටක ආර්ථිකය ,දේශපාලනය තීරණය කරති.එය තවත් පරම්පරාවකට විචාර බුද්ධියෙන් තොරව ග්‍රහණයට නතු කරති.

    නායකත්ව භූමිකා නිසාම අපි දිනෙන් දින පිරිහෙමින් නැසෙමු.

    කාල්මාක්ස් ට අනුව ආගම අබිං බඳුය.

    ලංකාවේ නායකයෝ අබිං කති.ඔවුන් පමණක් නොව පරම්පරා ගණනාවක් ඒ මතේ මත්වෙති.

  • රේවතී ඔෆීස් යනව.සාරි අඳිනව.ඔසරි අඳිනව.

    රේවතී ඔෆීස් යනව.සාරි අඳිනව.ඔසරි අඳිනව.

    සාරි ඇඳපු දවසට රේවතී කොණ්ඩේ කඩනව.ඉනට කටු ගහල රැලි රඳවනව.බුරිය වැහෙන්න පොට කඩල දාලා අමුතු හැඩයක් හදනව.

    සාරියට රේවතීගේ බඩෙන් බාගයක් එළියේ.

    ඔසරි ඇඳපු දවසට නෙරියේ රැළි ගොඩක් දානව.බෝරිච්චි අත් තියල හැට්ට අඳිනව.කොණ්ඩේ ගෙඩි ගහල අහංකාර පෙනුමක් ගන්නව.

    රේවතී සාරි ඇඳල ගියාම ඔෆීස් එකේ රන්ජන් හරි ආසයි.ළඟට ඇවිත් ලස්සනයි කියනව.රේවතී අහනව ඇයි කියල.සාරියට ඔයාගේ ඇඟේ හැඩ බේරෙනව.

    ඉතින් රේවතී ඔසරි අඩු කරල සාරි අඳිනව.

    රේවතී ඔසරි ඇඳන් බොස් ගාවට ගියාම එයා ගැස්සෙනව.රේවතී ඔයා හරි ලස්සනයි .රේවතී අහනව ඇයි කියලා .ඔයා මැණිකේ කෙනෙක් වගේ.බොස් කියනව.

    රේවතී හැම බදාදම ඔසරි අඳිනව.

    ඔසරි ඇන්ඳම රේවතීගේ ඉනෙන් බාගයක් එළියේ.

    රේවතී ටවුන් ගිය දවසක අහම්බෙන් කැන්ටිමේ වැඩකරන විජේ මල්ලීව දකිනව.දෙයියනේ රේවතී මිස් කෙල්ලො පරාදනේ.විජේ කියනව.රේවතී එදා ඇඳල ගියේ ස්ලැක් එකක්.

    අපරාදේ ඔෆීස් එකට ස්ලැක් අඳින්න නැත්තේ.රේවතී හිතනව.

    ශ්‍රමදානයක් දවසේ රේවතී ස්ලැක් එකක් ඇඳන් යනව.එදා රන්ජනුත් වැඩ.බොසුත් වැඩ,විජෙත් වැඩ.රේවතීත් වැඩ.

    මොකක් ඇන්ඳත් රේවතී හැඩයි.හැම ඇඳුමම ඇඟ වටේ ඔතන කවරයක් තමයි.කවරේ හැඩේ මතුවෙන්නේ ඔතන රූපේ අනුව.

    වහෙන තරමට මවන තරම වැඩියි.ඇරුණු තරමට පරිකල්පනය මොටයි.හරියට විෂුවල් එක්ක සිංදුවක් අහනව වගේ.

    අතින් නැතුවට ගොඩක් අය හිතින් කවර ගලවන්න දස්සයි.ඔසරි,සාරි,කලිසම් මොන සංස්කෘතික නියෝජනය කළත් හිත කැතනම් මොන ඇඳුම ගලවන්නත් යන්නේ මොහොතයි.

    උදේට පන්සිල් ගන්න,විවේක කාලෙත් භාවනා කරන,පෝයට දන්සල් දෙන ඉස්කෝලෙ කොල්ලෝ පවා හිතින් ගුරුවරියොන්ගේ කවර ගලවනව.

    කඨිනෙට අත ගහන,දානෙට සාධූ කියන,මල්වලට පැන් ඉහින සැදැහැසිත් සුදු ඇඳන් කලු රෙදි පොරවගන්නව.

    මේක ඇවිල්ලා වහන්න වහන්න අරින්න හිතෙන සංස්කෘතියක්.මේකෙන් කියන්නේ ඇරන් ඉන්න කියන එක නෙවි.මොන කවරේ පැටලුවත් විවෘතව බලන්න පුළුවන්කම එනකම්,බාගෙට ඇඳන් ගියත් ඇස් ඇරන් මූණ බලන් කතා කරන්න පුළුවන් වෙනකම් අපි සංස්කෘතික සත්තු වෙන්නේ නැහැ .

    ඉතින් රේවතීලා මොකටත් හැඩයි.හැඩයි කියලා අහගන්න එයාල කැමතියි.එහෙම හානියක් නොකර විඳින්න පුළුවන් දවසක් වෙනකං අපි හෙමින් වෙනස් වෙමු.

  • මේ මල් ගැනම නොවේ!!

    මේ මල් ගැනම නොවේ!!

    හැම තැනම බෙදීම්නේ.ඒක මල්වලටත් එකයි.දිය ගොඩ,උදේ දවල් රෑ,වනමල් මැද මිදුල් මල්,සුවඳ ගඳ ,මිල වැඩි අඩු,පාට හිමි අහිමි ඔය වගේ බෙදීම් ගොඩයි.

    ඒ අතරේ උඩරට මල්,නුවර මල්වලට තමයි වැඩි ඉල්ලුම.පහතරට මනමාලියෝ,සැරසිලිකාරයෝ විතරක් නෙවි පන්සල් ,පල්ලි පවා ඉල්ලන්නේ උඩරට මල්.උඩරට ඔහේ පිපුණත් පහතරටට එද්දී එව්ව හරි ගණන්.

    මලක් කියන්නේ ජීවිත අනියතබවේ සංකේතය.මේ මල්මෙන් සිත පිරිසිදු වේවා මේ මල් මෙන් සිත නිවනට යේවා කියලා මල් පූජ කරන්න ඕන වුනාට අපි නම් ඕව ගණන් ගන්නේ නෑ.

    මලත් ඉතින් වාසියට තමයි.මල් පූජ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එළෝ මෙළෝ සුව.

    මල්වල පාට අනුව පුදන දෙවිවරු ඉන්නව.කහමල් පත්තිනියට .රතුමල් කතරගම් දෙවියන්ට.විෂ්ණුට නිල් මල් පුදද්දී හූනියම් දේවතාවට සුදුමල්.මිශ්‍ර පාට මල් කාලියට.

    අරමුණ ඒකීයනම් මොන මලත් පූජාසනයට සුදුසුයි.එක මලක් පූජ කළත් ඇති.ඒත් අපි එහෙම සැනසෙන අය නොවෙයිනේ.

    පුවක්මල්,පොල්මල් කියන්නේ සියදිවිනසාගන්නම උපන් මල් වර්ග. මිනිසුන්ට සුබඵල ගෙනත් දෙන්න මේ මල්වලට අසුබ ගමන් යන්න වෙනව. මතුපිටින් නොපෙනුනාට මේවත් ප්‍රශ්න තමයි .

    වැටකෙයියා ,රත්/රන් දෝතළු මල්වලටත් ඔය ආනිසංසයම තමයි.රත් දෝතළු කියන්නේ ලංකාවට ආවේණික දුර්ලභ ශාකයක්.2020රතු දත්ත පොතටත් ගිය රත් දෝතළු මල් අන්ධ විශ්වාස ,භක්තිය හා මෝහය නිසා අපිට නැතිවෙන තැනක තියෙන්නේ.

    මේ කතාමල්වලට විතරක් නෙවි. යාලට කඩාවැඳුණු උම්මත්තකයොත් පෙන්නුවේ ජාතියක් වඳවෙන හැටි.පරිසරය ,උරුමයන් තව පරම්පරා ගාණක් උදෙසා වුනාට මෝහයට පුළුවන් මොහොතින් ඒව විනාස කරන්න.ලංකාවේ අලිය,කළු දිවිය,මිරිදිය මාළුව මේ හැමෝටම අත්වෙන්නේ මෝහයේ උරුමය.

    මේ හැම දෙයක් අස්සෙම තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනයේ දුර්වලකම.දැනුම මනින අධ්‍යාපනයක ආකල්පවලට අවම තැනක්.ඒ වගේම භාවිතය ඇත්තෙම නැති න්‍යායික අධ්‍යාපනයක්.

    ඒ ඒ ප්‍රදේශවල පවතින සම්පත් ,වටිනාකම්,භාවිතයන් ගැන කතාවෙන අධ්‍යාපනයක් අපිට ඕන.පාරම්පරික උරුමයන් ,හැකියාවන් ගැන අපේ හැඟීම අල්පයි.

    සම්ප්‍රදායික දැනුම අන්ධ භක්තිමත්බවෙන් නෙවි ව්ද්‍යාත්මක චින්තනයෙන් කලඑළි බහින්න පුළුවන් නම් ඒක අනාගතයට ආයෝජනයක් වේවි.

    දහතුන් වසරක අධ්‍යාපනයක් තිබ්බත් අපි තාම කාපු ටොපිකොළය පාරට වීසිකරන,කෙළ ප්‍රසිද්ධියේ පහකරන,ගස්වල අතුඉති කඩ කඩා කතාකරන,මලක් දැක්කොත් කඩල පොඩිකරන දරුවො හදන්නේ.

    එහෙව් තත්වයක් මත මල්පූජ කරල අපල උපද්‍රව බැහැර කිරීමේ අන්ධ භක්තිය තව ඉඳිරියේ තව තව ලියලාවි.