Breaking News

උඹලගෙ ඩොලර් මිලියනයකට වඩා මට මිලියන අටක ජනතාවගේ ආදරය වටිනවා.

ටියෝෆීලෝ ස්ටීවන්සන් ⁣පිට පිට තෙවරක් ඔලිම්පික් හෙවිවේට් බොක්සිං රන් පදක්කම දිනාගත් අසහාය කියුබානු ලෝක ශුරයෙකි. 72 මියුනිච්, 76 මොන්ට්‍රියල්, 80 මොස්කව් ඔලිම්පික් උළෙල වලදී ඔහුව පරාජය කිරීමට ලොවේ කිසිවකුත් නොවීය. 86 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල එවකට සහෝදර සෝවියට් දේශය වර්ජනය කිරීමත්, 88 සෝල් ඔලිම්පික් උළෙල සහෝදර උතුරු කොරියාව වර්ජනය කිරීමත් නිසා කියුබාවද එම ඔලිම්පික් උළෙල වල් වර්ජනය කරනු ලැබීය. නොඑසේනම් ස්ටීවන්සන්ගේ ඔලිම්පික් රන් පදක්කම් ගණන තවත් ඉහල යා හැකිව තිබුනි.

1959 කියුබන් සමාජවාදී විප්ලවයට පෙර හවානාව ඇ.එ.ජ. ධනපතියන්ගේ විනෝද නගරයක් වී තිබුනි. තරුණියන්ට ගණිකා වෘත්තිය උරුමව තිබුනා සේම නාගරික තරුණයන් බොහෝ දෙනෙක් එදා වේල සොයා ගැනීමට නගර වල “ඔට්ටුවට ගහ ගැනීම” ප්‍රචලිතව තිබුනි. 59 විප්ලවයෙන් පසු මේ දේවල් තහනම් කල සමාජවාදී කියුබාව ඒ වෙනුවට අධ්‍යාපනය, ක්‍රීඩාව, කලාව වැනිදේ ප්‍රවර්ධනය කිරීමට යොමු විය. ඒ වන විට බොක්සිං එහි ජාතික මට්ටමේ ක්‍රීඩාවක් නොවීය. මුලින්ම සෝවියට් බොක්සිං පුහුණුකරුවන් ගෙන්වාගෙන පුහුණු මධ්‍යස්ථානයක් මුලින්ම ගොඩනැගුවේ හවානාවේ පැරණි රථ ගාලකය. නගරවල ඕට්ටුවට ගහගත් තරුණයන් විධිමත් බොක්සිං පුහුණුවීම් සඳහා එයට කැඳවීය.

මෙම වැඩපිලිවල ඉදිරියට යද්දී නව යොවුන් ස්ටීවන්සන් ජාතික සංචිතයට ඇතුල් වී ලෝක ශූරයෙන් දක්වා ගොඩනැගුණි. බොක්සිං ක්‍රීඩාව ඒවන විටත් ලෝකයේ සල්ලි මළු සොලවන වෘත්තීය ක්‍රීඩාවක් වී තිබුනි. එහෙත් මුදල් මත කෙරෙන වෘත්තීය ක්‍රීඩා තරඟ සඳහා සහබාගී වීම කියුබානු ක්‍රීඩකයන්ට තහනම් වී තිබුනි. වරක් ඇ.එ.ජ පදනම් කරගත් වෘත්තීය බොක්සිං තරඟ සංවිධායකයින් විසින් ස්ටීවන්සන් හට එවකට හෙවිවේට් වෘත්තීය බොක්සිං කිරුළ හිමිකරගෙන සිටි මොහොමඩ් අලී සමග තරඟයකට ඇරයුම් කලහ. ඒ සඳහා ඩොලර් මිලියන 5ක් ගෙවන බවද දැන්වීය. මෙම කොන්ත්‍රාත්තුව ස්ටීවන්සන් පිලිගත්තේනම් ඔහුට තවදුරටත් කියුබාව නියෝජනය කල නොහැකි වන බැවින් ඔහුට ඇ.එ.ජනපදයේ පදිංචිය ලබාදීමටද ඔවුන් සූදානම් බව දැන්වීය. එහෙත් තමන්ගෙ හැකියාවට, ජනපුිය කමට ලැබෙන දේ ගත යුතු යැයි ඔහු පෞද්ගලිකව නොසිතීය. තමන්ව ඉහලට ඔසවාලූ ජනතාව සහ සමාජ ක්‍රමය වෙත පවතිතින වගවීම ඔහු ගැඹුරින් සිතීය. ඔවුන් පුදුමයට පත් කරමින් මෙ⁣ම කියුබානු වීරයා, සමාජවාදයේ මිනිසා මෙසේ පැවසීය. “මට උඹලගෙ ඩොලර් මිලියනයකට වඩා මිලියන් අටක ජනතාවකගේ ආදරය වටිනවා”

2012 දී මිය යන තෙක්ම කියුබාවට, එහි බොක්සිං ක්‍රීඩාවට සේවය කල ස්ටීවන්සන් පුහුණුකරුවක් ලෙසද කටයුතු කලේය. 1999 දී වරක් කියුබානු බොක්සිං කණ්ඩායම සමග පුහුණුකරු ලෙස කටයුතු කරමින් තරඟ සංචාරයක් සඳහා ඇ.එ.ජනපදයේ මියාමි ගුවන් තොටුපල හරහා ගමන් කිරීමට ඔවුනට සිදුවිය. එහිදී ඇමරිකානු ගුවන් තොටුපල නිලධාරියෙක් සමාජවාදී කියුබාවට අපහාස කරමින් කතා කල අතර ඉවසීම් සීමාව ඉකමවූ තැන ස්ටීවන්සන් එම නිලධාරියාග් උඩු ඇන්දේ දත් කීපයකට වගකියනු ලැබීය. එහිදී අත්අඩංගුවට පත්වූ ඔහු පසුව ඇප ලබා කියුබාවට පැමිණියේ නැවතත් වීරයකු ලෙසිනි.

ස්ටීවන්සන්ලා බොහෝ ගණනක් ගොඩනැගූ සමාජවාදී කියුබාව හතර වටින් වට කර බිඳ වැට්ටවීමට ට්‍රම්ප්ගේ ඇමරිකානු අධිරාජ්‍යවාදය කැසකවමින් සිටී. ඉරානයෙන් අකුලගෙන ගෙදරයන ගමන් කියුබාවට පහරදීමට සූදානමින් සිටී. ඔවුන් දමා ඇති සම්බාධක නිසා තෙල් නොමැති වීමෙන් බලශක්ති අර්බුදයක් එහි පවතී. එහි ජනතාව දිනකට පැය විස්සක් විදුලිය නොමැතිව සිටී. කර්මාන්ත කරගෙන යා නොහැකි තත්වය මත සීනී, ඖෂධ අපනයනය කල කියුබාවට අද ඒවා ආනයනය කල යුතුව තිබේ. අධ්‍යාපනයට, ක්‍රීඩාවට දහසකුත් බාධා එල්ල වෙමින් තිබේ. මේ සියලු පීඩනයන් මැද අදත් කියුබානුවන් “මව්බිම නැතිනම් මරණය” යනුවෙන් හඬ නගති. ස්ටීවන්සන්ලාගේ අඩිපාරේ 2020 ටෝකියෝ ඹලිම්පික් හෙවිවේට් බොක්සිං රන් පදක්කම දිනූ කියුබාවේ ජූලියෝ ලා කෘෘස්ද ජයග්‍රහනයෙන් පසු “මව්බිම නැතිනම් මරණය” යනුවෙන් බොක්සිං වලල්ලේ සිට හඬ නැගීය. කියුබානු තරුණ තරුණියන් ඇ.එ.ජ. ආක්‍රමණික තර්ජනය හමුවේ අදත් හවානාවේ ⁣පෙලපාලි යමින් සමාජවාදී කියුබාව වෙනුවෙන් හඬ නගමින් සිටී. එහෙව් කියුබාව වෙනුවෙන් ලෝ පුරා සියළු ප්‍රගතිශීලීන්ගේ හඬ අවදි විය යුතු මොහොතයි මේ.

Sujith Kuruwita

leave a reply