Breaking News

ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුනන්නේ නැහැ, ප්‍රතිසංවිධානය කරනවා – නීතිපති

ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිට්ල්ස් ඇතුළු ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන අටක් පෞද්ගලීකරණය කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය රජය විසින් තීරණය කර තිබූ රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලිය වත්මන් රජය විසින් අත්හිටුවා ඇති බවත්, ඒ වෙනුවට එම සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා පමණක් නව කමිටුවක් පත් කර ඇති බවත් රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. නමුත් මේ ප්‍රතිසංවිධානය යනු කුමක්ද යන්න පැහැදිලි නැත.

පසුගිය රජය සමයේ මෙම ආයතන විකිණීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව, රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ රජය, ඒවායේ ව්‍යුහාත්මක වෙනස්කම් හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් පමණක් මෙම නව ප්‍රතිසංවිධාන කමිටුව හරහා ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව අධිකරණයට දන්වා සිට ඇත..

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මෙහිදී සඳහන් කළේ, අදාළ ආයතන විකිණීමේ තීරණය රජය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය නම් කර තිබුණි.

මෙහිදී මතුවන ගැටලුව වන්නේ මේ ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහලා එකඟවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයමින් තිබෙන මොහොතක රජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කෙසේද යන්නයි. මේ ආණ්ඩුව ඇතැම් අවස්ථාවල පැවසුවේ රාජ්‍ය ආයතන විකුනන්නේ නැති බවත් ප්‍රතිවියුහගතකරණය පමණක් සිදුකරන බවයි. දැන් ආණ්ඩුව පාර්ශවයෙන් වෙනත් ප්‍රතිසංවිධානය යනුවෙන් වෙනත් වචනයක් ඉදිරිපත් කරයි.

leave a reply