Breaking News

වැලිකඩ සිරකරු මරණවලට වගකිවයුත්තෙක් නැතිවෙයි

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.

එම දඬුවමට එරෙහිව විත්තිකාර ළමාහේවා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන්නා.

2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව පසුගිය 2019 වසරේ නඩු පවරනු ලැබූවා.

මෙම නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැනුනා.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නෙවමාල් රංගජීව යන අයව පසුගිය 2022 ජනවාරි 12 වැනිදා නිදොස් කොට නිදහස් කළ අතර, එදිනම හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දඩුවම නියම කරනු ලැබූවා.

leave a reply