Breaking News

නාරම්මල පොලිස් වෙඩි තැබීම අමතක කර දැමිය නොහැක්කේ ඇයි?

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් කුඩුකාරයන් හා ගංජාකාරයන් පොලීසියට එරෙහිව ක්‍රියාකරමින් සිටින බවත් ඔවුන් වැඩිපුර දඟලීමට හැදුවොත් ඔවුන්ටත් ඒ භාෂාවෙන්ම ඇමතීමට සූදානම් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

කොළඹ දකුණ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා නෙළුම් පොකුණ රඟහලේදී පැවති විශේෂ වැඩමුළුවකට ඊයේ (20) සහභාගී වෙමින් දේශබන්දු තෙන්නකෝන් මෙම අදහස් පලකළා.

පසුගිය දවස් ගාන පුරාම කෙළ හලාගෙන ඇවිල්ලා කුඩුකාරයෝ, ගංජකාරයෝ කියනවලු යන්න පොලිසියට විරුද්ධව. යන්න මිනි පෙට්ටියත් අරන් පොලිසිය ගාවට. යන්න මහපාරෙ පෙළපාලි මිනිපෙට්ටිය කරේ තියාගෙන. ඒවා කරන්න ඒ අහිංසක මිනිස්සු ලැස්ති නැහැ. වරදක් වුණා.වරදට පියවර ගත්තා. වෙච්ච පාඩුව මිල කළ නොහැකියි. ඒක පිළිගන්නවා. නැවතත් ඒවගේ සිද්ධි වෙන් නැති වෙන්න අවශ්‍ය පියවර ගන්නවා. කළ හැක්කේ එපමණයි. ඒවගේ දේවල් අතට අරගෙන කුඩුකාරයෝ,ගංජකාරයෝ දඟලන්න හැදුවොත් එහෙම ඒවටත් ඒ භාෂාවෙන් උත්තර දෙන්න අපි ලෑස්තියි.

පොලීසිය බාර ඇමැතිවරයාද මේ ආකාරයේම ප්‍රකාශයක් සිදුකර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය වියදම් කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරිමට උත්සාහ දරන පිරිස් වෙත මඩ ප්‍රහාර එල්ල කරන බව ඔහු පවසයි.

නාරම්මල වෙඩි තැබීම වැනි සිදුවීම් නිකම්ම නිකම් සිදුවීමක් ලෙස ගෙන අමතක කර දැමිය නොහැකි හේතු මොවුන් දෙදෙනාගේම ප්‍රකාශ හරහා පැහැදිලි වේ. මොවුන්ට අනුව රටේ පවතින මර්දනකාරී තත්ත්වයට විරුද්ධ වන්නම් කුඩු කාරයන් ගංජා කාරයන්ය. අවශ්‍යනම් ඔවුන්ට වෙඩි තැබීමට වුව බලයක් පොලීසිය තිබේ.

පොලීසිය යනු දඬුවම් තීරණය කරන්නෙක් හෝ දඬුවම් ලබදෙන්නෙක් නොවන බව මොවුන් දෙදෙනාටම අමතක වී තිබේ. ඔවුන් උත්සාහ කරන්නේ එම ව්‍යාජ අමතක වීම ජනතාව තුළද තහවුරු කිරීමටයි. මෙහි ඇති බරපතල තත්ත්වය නම් ඉදිරියේදී තමන්ට විරුද්ධ වෙන ඕනෑම කෙනෙකුට වෙඩි තබා ඔවුන් ත්‍රස්වාදීන්, කුඩු කාරයන්, ගංජා කාරයන් කිරීමට මේ දෙදෙනා පසුබට නොවනු ඇති බවට වන සැකයයි.

leave a reply