එක්ස්ප්‍රස් පර්ල් වන්දි අයකරගැනීම ගැන සෙවීමට පත්කළ කමිටුව අඩපණයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ වන්දි අය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විද්වත් කමිටුව අක්‍රියවීම හේතුවෙන් මේ වර්ෂය සඳහා වන්දි ගණන වාර්තාවක් ලබා ගැනීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණවී ඇතැයි පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත.

මේ අතර මෙරට විද්වත් කමිටුවට ගෙවීම් කිරීම සඳහා අනුමැතිය නොදීම සහ විදේශීය විද්වත් කමිටුවට ගෙවීම සඳහා ඩොලර් මිලියන 9.5 ක මුදලක් ණය වශයෙන් ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දීම අසාධාරණ හෙයින් ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව කමිටුවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ප්‍රකාශ කර ඇත.

විද්වත් කමිටුව දුන් වාර්තාව නඩුව සඳහා අදාළ කර ගැනීම සහ අලුතින් සේවය ලබාගන්නා ස්වාධීන ඇගයීම් කමිටුව පිළිබඳව මීපා ආයතනය මෙතෙක් දැනුවත් කර නැතැයිද මාන්නප්පෙරුම පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මීපා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ විද්වත් කමිටුව ඉදිරිපත් කළ වන්දි තක්සේරු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව නඩුව සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදීම සඳහා යෑමේදී අදාළ ප්‍රවාහන ගාස්තු අධිකරණ අමාත්‍යාංශය ගෙවිය යුතු බවයි.

එහෙත් අධිකරණ අමාත්‍යාංශය ඊට එකඟ නොවූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

ආයතනය ලෙස ඒ සඳහා වියදමක් දරා එම මුදල නැවත අයකර ගැනීමට නොහැකි වුවහොත් විගණන විමසුම්වලට පිළිතුරු දීමට සිදුවන හෙයින් විද්වත් කමිටුවට පත්වීම් නොදුන් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වූ විද්වත් කමිටුවේ සම සභාපති මහාචාර්ය අජිත් ද අල්විස් පවසා ඇත්තේ තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදාළ විශ්ව විද්‍යාලවලින් විමසීමක් කර ඇති බවයි. තමා ඇතුළු විද්වත් කමිටු සාමාජිකයන් එම කොමිෂන් සභාවට සාක්ෂි දුන් බවද ඔහු සඳහන් කළේය. මීපා ආයතනය මෙහිදී පැවසුවේ විද්වත් කමිටුවට සාමාජිකයන් දෙදෙනකු පත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් විමසීමක් කළ බවයි.

මේ වසර සඳහා ආර්ථිකමය ඇගයීම් කොටසක් කර තිබුණද මෙම ඇගයීම් වාර්තාව ලබාදීමට හැකියාවක් නැති බවත් ප්‍රංශයේ සෙඩ්‍රයාර් ආයතනයේ පරීක්ෂණ සඳහා යැවීමට ලබාගත් සාම්පල් මෙතෙක් යවා නොමැති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. එම සාම්පලවල ගුණාත්මක බවක් මේ වන විට නැති බවද ඔහු කීවේය.

පර්යේෂණ මධ්‍යස්ථානයට සාම්පල් යවා දත්ත ගැනීමකින් තොරව පරිසර ඇගයීම් වාර්තාවක් ලබාදීම ගැටලුවක් බව විද්වත් කමිටු සම සභාපති පැවසුවේය.

පරිසර ඇගයීම් කළ යුතු අවස්ථා තිස්පහෙන් අටක් සම්බන්ධයෙන් පමණක් ඔවුන් ඇගයීම් කර ඇති බවත් එය අසම්පූර්ණ බවත් විද්වත් කමිටුව නීතිපතිවරයාට දැනුම්දී ඇතැයි කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

මේ අතරමෙහිදී අදහස් දැක්වූ නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ විදේශීය විද්වත් කමිටුවකට ගෙවීමට ඩොලර් මිලියන 9.5ක ණය මුදලක් ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කර තිබුණද දේශීය විද්වත් කමිටුව කළ පර්යේෂණ සඳහා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය නිසි අනුමැතියක් දී නොමැති බවයි.

මෙරට විද්වත් කමිටුවට ගෙවීම් කිරීම සඳහා අනුමැතිය නොදීම සහ විදේශීය විද්වත් කමිටුවට ගෙවීම සඳහා ඩොලර් මිලියන 9.5 ක මුදලක් ණය වශයෙන් ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදීම අසාධාරණ හෙයින් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කමිටුව නිර්දේශ කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ වන්දි අය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...