Breaking News

හිඟයට අමතරව ආහාරවල ප්‍රමිතිය ගැන වගකියන්න කවුරුත් නැහැ

වෙළෙඳපොළේ ඇති ආනයනික සහල් පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් මේවන විට උද්ගතව ඇත. විෂ සහිත සහල් මෙරටට ආනයනය කර ඇති බවට සති අන්ත පුවත් පත් දෙකක් වාර්තා කර තිබුණි. කෙසේවෙතත් මෙම ප්‍රවෘත්ති හරහා ලංකාව තුළ ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂා කිරීම් නියමාකාරයෙන් සිදු නොවන බව නැවත නැවතත් සනාථ වෙමින් තිබේ.

ආනයනික විෂ සහිත සහල් සම්බන්ධ චෝදනාව ගැන අදහස් දක්වන වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර පවසන්නේ “මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ආනයනය කළ සහල් සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටර් කාර්යාලය විසින් කිසිදු පර්යේෂණයක් කරලා නැහැ.ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරලත් නැහැ.” හෙතෙම පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ “සඳහන් වෙලා තිබුණා යම් කිසි පර්යේෂණයක ප්‍රතිඵල. ඒ පර්යේෂණය 2017 වසරේදී කරපු පර්යේෂණයක්. ඒකේ ප්‍රතිඵල තමා දාල තියෙන්නේ. ප්‍රතිඵල විදහට දලා තියෙනවා. 43% ක් ඊයම්, 26% ක් කැඩ්මියම්, 20%ක් මර්කරි ආදි විදිහට. එහෙම දෙයක් කෙහෙවත් ඒ වාර්තාවේ සඳහන් වෙලා නැහැ.” යනුවෙනි.

වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් පැවසුවේ “මේ වෙනකොට වෙළෙපෙළේ තියෙන සහල් ගැන අපි කිසිම පර්යේෂණයක් කරලත් නැහැ.ඒ හින්ද අපිට ඒ ගැන නම් මුකුත් කියන්න බැහැ” ලෙසය.

විස සහිත සහල් මෙරටට ගෙන්වා ඇති බවට පළකර ඇති ප්‍රවෘත්ති වාර්තා සාවද්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

එහි දැක්වෙන්නේ, විෂ සහිත සහල් මෙරටට ගෙන්වා ඇති බවට ඇතැම් මාධ්‍යයන්හි පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි.

එම වාර්තාවල ප්‍රවෘත්තිමය වටිනාකමින් යුතු ප්‍රධාන කොටස වන්නේ, “මෙරට මිනිස් පරිභෝජනය සඳහා ආනයනය කරන සහල් වල බැර ලෝහ වර්ග අධිකව පැවතීම වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත් වැනි රෝග ගණනාවකට හේතුවක් වන බවත්, මෙරටට ගෙන්වන ලද සහල් වල ඊයම් 43%ක්, කැඩ්මියම් 26%ක්,මර්කරි (රසදිය) 20%ක් හා සෙලනියම් විෂකාරකය 47%ක් පවතින බව” යන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත්, ආනයනික සහල්වලට වඩා මෙරට සහල් පරිභෝජනයට ඉතා සුදුසු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීම ගැන සැක මතුව තිබේ. වෙනත් රටවල භාවිත කරන කෘමිනාශක හා රසායනික පොහොරවලට වඩා උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන මෙරට භාවිත කරන බවද ඔහු පවසා ඇත.

leave a reply