Breaking News

විරුවෙක්ට ලිපියක් – වැරෙන් වැළද සිපගමු ඔය විරු දෑත

ජූඩ් විශ්වජිත්

1989 ජූලි දහනම වන දින දංකොටුව පොලිසිය විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ, මේ වනතුරු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ හිඩ්සන් සොහොයුරා වෙනුවෙනි .

ආදරණීය හිඩ්සන් අයියා වෙත,
අයියේ ඔබ පැහැරගෙන ගොස් මේ වසරට,වසර තිස් එකක් ගත වෙනවා . ඔබේ පැහැර ගැනීම නිසා තාත්තා බොහෝ වේදනාවෙන්ම මෙලොව හැර ගියා. සහෝදරියන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම ඔබ නැති කම්පනය නිසා අදටත් තනියම ජීවත් වෙනවා. අපේ අම්මා කියපු විදියට කසාදයක් කරගත්තේ ගීතා විතරයි.

දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් පසුව පැවති චන්ද්‍රිකා ආණ්ඩුවෙන් අටවපු කොමිෂන් සභාවට අයියගේ තාත්තයි, මමයි , අපේ අම්මයි ගිහින් සාක්කි දුන්නා. නමුත් අදටත් කිසිම තොරතුරක් දැනගන්නට ලැබුණේ නැහැ. එදා සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව අපි ආපු දුර අහල බස් ගාස්තු දෙන්න ගිය වෙලාවේ, ඔයාගේ තාත්තා ඒක ගත්තෙ නැහැ, ඒක ඔයාට අගෞරවයක් කියලා. මගේ සමීපතම මිතුරන් සමඟ මම ඔබ පැහැර ගත් දිනට පහුවදා සිට ම ඔබව සෙව්වා. ඩොල්ෆින් වෙරළ තීරයේ, හාල්දඬුවන, කිරිමැටියාන,කහටවිල නමුත් ඔබව මට හමුවුණේ නැහැ. ඒ ඇවිදපු හැම තැනකම ඔබත් සමඟ අරගලයට දායක වුණු සහෝදර සහෝදරියන්ගේ මළ සිරුරු මම දුටුවා. ඉතා අමානුෂික ලෙස කෘෘර ලෙස ඔවුන්ව මරලා දාලා තිබුණා .

සමහරුන්ට වෙඩි තියලා ,කපලා,කොටලා,බෙල්ල කඳින් වෙන් කරලා, ටයර් දාලා පුච්චලා ඒ වෙලාවේ දැකපු හැම දෙයක්ම මේ දැනුත් මගේ ඇස් ඉස්සරහ මැවිලා පේනවා අයියේ, ඔබ පැහැරගෙන ගිහින් මාස හතරකට පසුව රෝහණ සහෝදරයාවත් උන් අමානුෂික ලෙස මරලා දැම්මා. පක්ෂයට නායකත්වය දුන් හැම කෙනෙක්වම වගේ ඒ වෙනකොට උන් කෲර ලෙස ඝාතනය කරලා ඉවරයි.

ඔව් ආදරණීය හිඩ්සන් අයියේ,

ශාන්ත බණ්ඩාර සහෝදරයා අලුගෝසුවන් අතින් මැරෙන්න මොහොතකට කලින් ස්ථීර ලෙසම පවසපු විදියට නැවත පක්ෂය ගොඩ නැගුවා ඒ වම හෘදසාක්ෂියත් අරගලයේ අරමුණුවල අඛණ්ඩතාවයය රැකපු අහම්බෙන් වගේ ජීවිත බේරගත්තු කීප දෙනෙක් අතින්, ඒ අඛණ්ඩතාවය දිගටම රැකපු එක මිනිහෙක් (සහෝදරයෙක්) තමයි පස්සේ මම පක්ෂයෙන් අහපු විදිහට සේනාධීර ගුණතිලක සහෝදරයා .

සේනාධීර ගුණතිලක සහෝදරයා දැන් නියෝජනය කරන්නේ අයියා ඇතුළු උන්ගේ ගනන් හිලව් වලට අනුව ඒ මරාදාපු හැට දහසක් නියෝජනය කරපු පක්ෂය නෙමෙයි. ඒක එහෙම සිදු වුණේම, කෙටියෙන්ම කියනවනම් අයියා ඇතුළු මරාදාපු සියලු දෙනාගේ ම බලාපොරොත්තුව වෙනුවෙන්. ඒ වෙන කිසිවක් නොවෙයි සමාජවාදී සමාජයක් වෙනුවෙන් . අහම්බෙන් ජීවිත බේරගත්තු ඉන්ද්‍රා ,කුමාර වගේ අයියලත් සමග සක්‍රීයව අරගලයට සම්බන්ධ වුණු අය අද පක්ෂයට නායකත්වය දෙනවා. ඒ විතරක් නෙමෙයි අයියලාගේ පරම්පරාවේ ආදර්ශයෙන් අද පක්ෂයට පන්තියට නායකත්වය දෙන ජව සම්පන්න අලුත් පිරිසක් එකතු වෙලා ඉන්නවා. කොයි වෙලාවක බැලුවත් බස් එකක එහෙමත් නැත්තං මෝටර් සයිකල් එක නැගලා ඔවුන් පුර්ණ කාලීනව බර අදිනවා . ඒ අයියලාගේ පරම්පරාවේ ආදර්ශයෙන් මම දැනට කීපදෙනෙක්ව අයියගේ දැන ගැනීමට මතක් කරන්නම්, පුබුදු, දුමින්ද, චමීර ,කුරුවිට ,බණ්ඩාර, ප්‍රියන්ත ,මාලන් ,රවින්ද්‍ර, චන්දන ඒ අතරින් කීප දෙනෙක් ඔවුන් නිතරම කියන දෙයක් තමයි ඉතිහාසය සාහිත්‍ය පොත් පත් වලින් කියවපු චරිත ඇත්තටම දැක්කෙ අයියලාගේ පරම්පරාවෙන් කියලා .

“ඔව් ඒක අයියගේ ජීවිතයෙන් මම පුද්ගලිකවත් දැකලා තියනවා ඔයයි නාලනී අක්කයි ආදරය කරපු විදිහ ඒකට එක සාක්කියක්”. මේ ළඟදිත් මට අක්කා මුණගැහුණා, එයා ඔයාට තාම ආදරෙයි දැන් ඉන්න සමහර උන් හදන්නේ ආදරයේදී දුයිෂෙන් වගේ වෙන්න නෙමෙයි අල්තිනායිව ගෙදර අරන් ගිහින් තියාගන්න. අයියලාගේ පරම්පරාවයි දැන් ඉන්න ඒ වගේ උන්ගේ යි වෙනස ඒකයි. මට මතක් වෙනවා වෝල්ටර් බෙන්ජමින්ගේ කියමනක් ඔහු ඒක කියල තිබුනෙ අරගලය වෙනුවෙන් නෙමෙයි නළුවෙකුගේ රඟපෑම සඳහන් ලිපියක “සරපයෙකුට යමක් දැනෙන්නේ vibrate එකකින් වගේම‍ හොද නළුවෙක් ප්‍රේක්ෂකයාට ඒ විදියට දැනිය යුතුයි යන්නයි. මට හිතෙන්නේ එය අරගලයට සම්බන්ධ කරන්න, ඒක කොහොමද කියනවා නම් මුළු සමාජයක් ම ප්‍රේක්ෂකයෝ වෙලා ඉදිද්දී අරගලයට සම්බන්ධ වුණු ඔබ නළුවෝ නම් ඒක හරියටම කෙරුවා. ඒ vibrate එක අවුරුදු තිස් එකක් ගතවෙලත් සමාජයට දැනෙන දැති කියතෙන් කපද්දී, ඇසිඩ් බේසම්වල අතපය දිය කරද්දි, පරාල ඇණ ගසද්දී ,ඒ සිදු වූ වේදනාවන් අදටත් මුළු සමාජයටම දැනෙන්නේ මහා vibrate එකක් දෙදරීමක් විදියට.

මේ ලඟදි මට අපූරු කෙටි කවියක් කියවන්න ලැබුණා. ඒක ලියලා තිබුණේ නුවන් තොටවත්ත කියන තරුණ වෛද්‍යවරයෙක් ”ඇඳිය යුතු නම් චිත්‍රය කැමති විය යුතුමය කෙටි වෙනවට පැන්සල ” ඔව් අයියේ මම කැමතියි අයියලාගේ පරම් පරම්පරාවේ කැප කැපකිරීම් වෙනුවෙන් ඒ කවිය අරගලයට සම්බන්ධ කරන්න. නුඹලා අඳින්න හැදුවේ ලෝකෙ තියෙන ලස්සනම චිත්‍රය ඒ සමාජවාදී චිත්‍රය ඒ චිත්‍රය අඳින්න ජීවිතේ නැමැති පැන්සල කෙටි වෙනකම් නෙමෙයි ඉවර වෙනකම්ම නුඹලා උත්සාහ කෙරුවා. ළඟදීම දවසක ලෝකයෙත්, ලංකාවෙත් ඒ විචිත්‍ර චිත්‍රය ධෛර්යසම්පන්න අවංක එඩිතර මිනිසුන් විසින් අඳිනවාමයි. ඒ දවසේ දී සැවොම එක්ව නුඹලාව සමරනවා සත්තයි .

අයියලා නියෝජනය කරපු පක්ෂය වගේම අද ඉන්න උන් ගොඩදෙනෙක් හිතන්නේ දේශපාලනය කියන්නේ සෙනඟ ගොඩක් කියලා, ලොකුවට වේදිකා හදලා බොරු සන්දර්ශන ගොඩක් දාලා මිනිස්සු රවට්ටන එකයි අද ඔවුන්ගේ වැඩේ. එහෙම ලාභයට යන්න ඕන තැන් ඕන තරම් අද තියෙනවා. මම අයියා ඇතුළු මරාදාපු සියලුම විරුවන් වීරවරියන් වෙනුවෙන් අයියට පොරොන්දු වෙනවා මැරෙනකම් මගේ වාම හෘද සාක්ෂිය පාවා දෙන්නේ නැති බවට.

හිඩ්සන් අයියේ ඔයා ඇතුළු විරුවන් වීරවරියන්ට කියන්න තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ ඔබ මරා දාලා දශකයක් ඉක්ම ගිය තැන BBC ධනවාදී මාධ්‍ය විසින් කරපු සමීක්ෂණයකින් ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම න්‍යායික භෞතිකවේදියා වන අයිසෙක් නිව්ටන් පසුකරමින් මෙතෙක් ලෝකයේ බිහිවූ ශේෂ්ඨතම බුද්ධිමය මානව ජීවියා කාල් මාක්ස් බව යුරෝපයේ තහවුරු කිරීම්යි. ඔබගේ ශේෂ්ඨත්වය හා නිවැරදි බව තහවුරු කිරීමට එයම ප්‍රමාණවත් , ඒ ඔබ ඇතුළු බොහෝ දෙනෙකු මාක්ස්වාදීන් නිසා.

ඉතින් දිනක පලවා ඝනදුරු සීත
උතුම් හිරු මඩල දැල්වෙන මතුදාක
දණින් වැද නැමද නළලත බැදි දෝත
වැරෙන් වැළද සිපගමු ඔය විරු දෑත

විප්ලවයෙන් අනතුරුව ලියවුණු කවියකින් අදට මම මේ ලිපිය අවසන් කරමි නුදුරු දිනයකදීම නැවත ලියන බලාපොරොත්තුවෙන්‍,
මීට ආදරණීය ජූඩ් මල්ලී.

leave a reply