Author: Sithara Kularathna

  • අධිකරණවල ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවා ගොඩ ගැහිලා

    අධිකරණවල ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවා ගොඩ ගැහිලා

    මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා.

    පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා අපයෝජන නඩු 7,495ක් සහ මහේස්ත්‍රාත් අධිකරණවල ළමා අපයෝජන නඩු 12,580ක් පවතින බවට අනාවරණය වුණා.

    එමෙන්ම මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන පැමිණිලි 2,751ක් ලැබී ඇති බවත් සඳහන්.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2021දී පැමිණිලි 11,187ක්, 2022දී පැමිණිලි 10,497ක්, 2023දී පැමිණිලි 9436ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට පැමිණිලි 2,571ක් ලෙස 2021 සිට 2024 අප්‍රේල් 31 වැනිදා දක්වා ළමා අපයෝජන පැමිණිලි 33,871ක් ලැබී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පෙරේදා (14) පාර්ලිමේන්තුවේදි යොමු කළ ප්‍රශ්නයකට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ලබා දුන් පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළා.

    මේ අතර 2018 වසරේ සිට 2022 වසර දක්වා ගැහැණු දරුවන් 6587ක් සහ පිරිමි දරුවන් 1694ක් ළමා අපචාර හේතුවෙන් ලිංගික හිංසනයට ලක්ව තිබෙන බවද ගීතා කුමාරසිංහ පවසා සිටියා.

  • මියගිය ඥාතීන් සිහිකිරීමත් අරහං ලංකාවේ පොලීසිය

    මියගිය ඥාතීන් සිහිකිරීමත් අරහං ලංකාවේ පොලීසිය

    ලංකාවේ පොලීසියේ අලුත්ම රාජකාරිය වී තිබෙන්නේ යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීම සඳහා කෙරෙන සැමරුම්වලට බාධා කිරීමයි. පසුගිය 12 වැනිදා රාත්‍රියේ සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් විසින් තම මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදා හැරීම සිදු කිරීමෙන් පසු එදින රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස වෙත පැමිණි පොලිසියේ යැයි පැවසෙන පිරිස විසින් ඔවුන්ව බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් තිබුණි. ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    මේ අතර ඊයේ(14) දිනයේදී ද රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වු තම සමීපතමයන් සිහි කරමින් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා ලබා දුන් කැඳ දන්සලක් සනීපාරක්ෂක හේතු හුවා දක්වමින් නවතාලීමට පොලීසිය දැරු උත්සාහයක් අසාර්ථක වී තිබේ.

    මඩකලපුව ගුවන් තොටුපල පාරේ පිහිටි ශ්‍රී පරිපුර්ණ විනායගර් (පිල්ලයාර්) කෝවිල ඉදිරිපිට ට ඊයේ (මැයි 14) පෙරවරුවේ පොලිස් නිලධාරීන් සමග පැමිණි මඩකලපුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා කැඳ දන්සල නවත්වා එම ස්ථානයෙන් පිටව යන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දන්සල නැවැත්වීම සදහා අධිකරණය ලබා දුන් නියෝගයක් ඇත්දැයි දන්සලේ සංවිධායකයන් විසින් පෙරලා ප්‍රශ්න කළ බවයි.

    කැඳ දන්සල නැවැත්වීමට හේතුව කුමක්දැයි ඔවුන් විමසු අවස්ථාවේ පොලීසිය දැනුම් දී ඇත්තේ සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරමින් ආහාර පාන බෙදා දීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි.

    උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජාගේ ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් කැඳ දන්සල එම ස්ථානයේදී පවත්වා ඇත්තේ ප්‍රදේශයේ සිවිල් සංවිධාන හා ජනතා නියෝජිතයන්ගේ සහයෝගයෙනි.

    අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීමට අසමත් වු සහකාර පොලිස් අධිකාරිවරයා එම අවස්ථාවේ දුරකථනයෙන් කතා කොට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ස්ථානයට කැදවීමට ක්‍රියා කළ බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

    එහිදී පොලීසිය තමන්ට සිදු කළ බාධා කිරීම් සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජා මාතාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට පැහැදිලි කර තිබුනේ පහත අයුරිනි.

    “මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම රථවාහන පොලිසියෙන් ඇවිල්ලා අපි කැඳ උයන්න උත්සාහ කරනකොට ඒකට ඉඩ දෙන් නැතුව පී.එච්.අයි ලා එක්කන් ඇවිල්ලා අපිට බැනලා මේ කැඳ බෙදන්න ඉඩ දෙන්නේ නැතුව අපිට විශාල කරදරයක් කළා. කැද බොන්න අපු අය ඔක්කෝම එළවලා මෙහේ ඉන්න ඉඩ දෙන්නේ නැතුව යැව්වා. සනීපාරක්ෂාව පිළිබද නීතිරීතිවලට අනුව මෙම කැඳ ලබා දිය යුතු බවත් අත්වැසුම්, මුහුණු ආවරණ සහ හිස් ආවරණ පැළඳ ගෙන කැඳ දෙන්න කිව්වා.”

    මෙහිදී මෙම පිරිස පවසන්නේ තම මියගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදාදුන් පිරිසක් සාම්පුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සිහිපත් කරමින් පොලිස් නිලධාරීන් තමන්ට තර්ජනය කළ බවයි.

    “සාම්පූර්වල වෙච්ච දේ දන්නවා නේද කියලා අදත් පොලිසියේ එක්කෙනක් කිව්වා. ඉතින් සාම්පූර්වල සිදු වූ නීති විරෝධී ම්ලේච්ඡ ක්‍රියාව ගැන උදාහරණයක් විදිහට කියලා අපිත් ඒක කරනවා කියලා තර්ජනය කරනවා.”

    පොලිස් නිල ඇඳුම්න් සිටි පිරිමින් විසින් මැයි 12 වැනිදා ඉරිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන් අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යන ආකාරය ද ප්‍රදේශවාසීන් විසින් විඩියෝ ගත කර තිබේ.

    එම අත්අඩංගුවට ගැනීමට ප්‍රධානතම හේතු ලෙස පොලීසිය නිවේදනය කර ඇත්තේ අධිකරණ නියෝගයකට අකිකරු වීම සහ රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබු ආඥාවකට අකීකරු වීමයි.

    පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලිස් තර්ජන හමුවේ ශ්‍රී පරිපුර්ණ විනායගර් (පිල්ලයාර්) කෝවිල ඉදිරිපිට දී කැඳ බෙදා දීම නතර නොකළ දෙමළ ජනයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබා දුන් උපදෙස් අනුගමනය කරමින් කැද දන්සල ක්‍රියාත්මක කළ බවයි.

    යුද්ධයේ අවසන් සමයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක විශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදුවිය. එහිදී මියගිය තම ඥාතීන් සැමරීම උතුරු නැගෙනහිර ජනතාව විසින් වසර ගණනාවක් පුර සිදුකරමින් සිටියි. මේ සෑම අවස්ථාවකම ආණ්ඩුවේ ආරක්ෂක අංශ මැදිහත්වී එම කටයුතුවලට බාධා කිරීම් නිරන්තරයෙන් සිදුවෙමින් පවතියි.

     

  • මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් මුදල් කාරක සභාව මග හරියි

    මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් මුදල් කාරක සභාව මග හරියි

    කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඊයේ (14) කැඳවා තිබුණද එකම නිලධාරියකු හෝ පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය.

    එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කාර්යාලය මාරු කළ හෙයින් 2016 වර්ෂයේ ලිපිගොනු වගයක් සොයා ගැනීමට නොහැකි බව දැනුම් දෙමින් නිලධාරීන් මෙසේ නොපැමිණි බවත් එය සාධාරණ හේතුවක් නොවන බවත් සභාපතිවරයා පවසයි.

    හර්ෂද සිල්වා පැවසුවේ,

    මම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරනවා. වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද කැඳවලා තිබුණා. එන්න හැකියාවක් නැහැ කියලා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් අපිට ලියුමක් ලැබුණා. ජේෂ්ඨ සහකාර ලේකම් අත්සන් කරලා තිබුණේ.

    වීසා ප්‍රශ්නය ගැන දෙවෙනි දිනයට සාකච්ඡා කිරීමට අද දිනය යොදාගෙන තිබුණා. නිලධාරීන් කිසිම කෙනෙක් පාර්ලිමේන්තු ආවේ නෑ.ලේකම්තුමාට ඕන නිසා තමයි අද දිනය දාගත්තේ. ඒක අපි කළා. මේක සම්පූර්ණයෙන්ම වරප්‍රසාද කඩවීමක්.

    පාර්ලිමේන්තුවට කැඳෙව්වම නිලධාරියකුට නෑවිත් ඉන්න හැකියාවක් නැහැ. සාධාරණ හේතුවක් උඩ අවස්ථාව තියෙනවා. මම මේ ගැන අතිශයින්ම කනගාටු වෙනවා. කමිටු සාමාජිකයන්ගේ එකඟතාවය අනුව ඊළඟ පියවර අපි ගන්නවා. ජනතා මුදල් ගැන ප්‍රශ්නයක් අපි කතා කරන්නේ. කොහොමද නෑවිත් ඉන්නේ?. මෙවැනි දෙයක් වෙන පළමු අවස්ථාව.

     

  • මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් විතරක් මදිලු, රක්ෂණ ආවරණයකුත් ඕනලු !

    මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් විතරක් මදිලු, රක්ෂණ ආවරණයකුත් ඕනලු !

    මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

    එහිදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන් පළාත් සභාවල සිටින කාලයේදී පවා පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ ආවරණය ලබාදුන් බවයි.

    එසේ හෙයින් තම පවුල් වල සාමාජිකයන්ට රක්ෂණ වාරිකය නොපමාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඈත.

    මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා ඇතුළු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී දුෂ්කර බවයි.

    ඒ අනුව එම කාරණය ඉදිරියේදී යළි සාකච්ඡා කිරීමටද එහිදී තීරණය කර ඇත.

    සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට හිමිවන රක්ෂනාවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි.

    මේ වනවිට මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීමේ යෝජනාවට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අනුමැතිය හිමිව තිබුණි. මෙම පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමත් සමඟ බොහෝ පිරිසක් අදහස් දක්වමින් මෙම තීරණය විවේචනය කර තිබුණි. විශේෂයෙන් මෙවැනි අර්බුද අවස්ථාවක එවැනි දේ සඳහා මුදල් යෙදවීම් පිළිබඳ බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල විය.

  • දෙහි මිල ඉහළ නැගීමේ වාසිය ගොවීන්ට නැහැ

    දෙහි මිල ඉහළ නැගීමේ වාසිය ගොවීන්ට නැහැ

    නාගරික ප්‍රදේශවල දෙහි මිල අහස උසට නැග තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙහි වගා කළ ගොවීන් තම නිෂ්පාදන සඳහා හොඳ මිලක් නොමැතිකමින් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

    ජාතික පාරිභෝගික සංවිධානයේ අසේල සම්පත් උපුටා දක්වමින් මෙම තොරතුරු වාර්තා කර තිබේ.

    එම පුවත් වාර්තාවට අනුව අනුරාධපුර ප්‍රදේශයේ දෙහි තොග ගැනුම් මිල රු. 50.00 කි. නමුත් වර්තමාන වෙළෙඳපොළ මිල රු. 2,000 ක් පමණ වේ. මේ හේතුව නිසා අධික පාඩු වළක්වා ගැනීමට ගොවීන් තම අස්වැන්න නෙලන්නේ නැති බවද පැවසේ. අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදනවලට ද එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුව තිබේ. දැනට වෙළෙඳපොළේ ඉඟුරු මිල රු. 4,000 කි.

    අස්වනු නෙලන සමයේ බහුලව ලැබෙන දෙහි සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන අවාරයේ වෙළෙඳපොළ සඳහා සංරක්ෂණය කිරීමට යාන්ත්‍රණයක් සකස් නොකිරීම මෙහිදී හඳුනාගත හැකි ප්‍රධාන ප්‍රශ්නවලින් එකකි.

    එසේම අසේල සම්පත් පවසා ඇති පරිදි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ අඹ තොග ගැනුම් මිල රු. 150කි. කෙසේ වෙතත් නාගරිකව ඒවා අලෙවි කැරෙන්නේ කිලෝවක් 500 ක් 600 ක් වැනි මුදලකටයි.

  • මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්න අනුමැතිය

    මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්න අනුමැතිය

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

    මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුගේ අත්සනිනුත් ලිපියක් කතා නායකවරයා වෙත භාරදෙමින් ඉල්ලා තිබුණේ රාජ්‍ය සේවයේ ඉහළ විධායක නිලධාරීන්ට ලබා දෙන පහසුකම් වලට සමාන වන ලෙස තමන්ටද බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන ලෙසයි.

    ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම එය එය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහවෙත කතානායකවරයා විසින් ලිපියක් මගින් දැනුම් දීමට නියමිතව තිබේ.

    කෙසේවෙතත් තමන්ගේ පාර්ශවයට මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා වාහන පර්මිට් ලබාදීමේ පොරොන්දුව රනිල් විසින්ද ලබාදෙන ලද්දකි.

  • ආණ්ඩුවෙන් දෙන හාල් කුකුළන්ටවත් සුදුසු නැහැ

    ආණ්ඩුවෙන් දෙන හාල් කුකුළන්ටවත් සුදුසු නැහැ

    රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත.

    සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

    රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකුට ලබා දුන් සහල් රැගෙන ගොස් එයින් කොටසක් කුකුලන්ට දී ඇත. එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුනව වැටී සිටි බවත් පසුව මියගිය බවත් නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිනිල්ලේ සඳහන් වේ.

  • රුසියානු – යුක්රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික 11ක් මියගිහින්!

    රුසියානු – යුක්රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික 11ක් මියගිහින්!

    රුසියානු – යුක්රේන යුද්ධයෙන් මේ වනවිට ලාංකිකයන් 11 දෙනකු මියගොස් ඇතැයි දැනට අනාවරණය වී තිබේ.

    මෙම යුද්ධයට කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික තැරැව්කරුවන් පිරිසක් බව ද, ව්‍යාජ පොරොන්දු දී ඔවුන් රුසියානු – යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් බඳවාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

    තවමත් මියගිය සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතවම කරුණු කිව නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසා ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

    මේ අතර රුසියානු – යුක්රේන යුද්ධයට ලංකාවේ ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගත් පිරිස් සැපයීමේ ජාවාරම ගැන පැමිණිලි ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය හඳුන්වා දුන් දුරකථන අංකයට මේ වනවිට පැමිණිලි 181ක් ලැබී ඇති බවද වාර්තා වේ.

    රුසියාවේ පුරවැසිභාවය, ඉහළ වැටුප් සහ තවත් වරප්‍රසාද ලබාදෙන බව පවසමින් මෙම විශ්‍රාමික හමුදා නිලධාරීන් කුලී හමුදාවලට යවා ඇතත් මේ වනතෙක් මියගිය අයගේ පවුල්වලට වන්දි මුදලක් හෝ ලැබී නැති බව වාර්තා වේ.

    මේ ආකාරයට ලංකාවේ හමුදාවෙන් විශ්‍රාම ගත් පිරිස් ජීවිත අවදානම නොතකා මෙම කුලී හමුදාවලට එක්වීමට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ ආර්ථික අර්බුදයයි. විශේෂයෙන් ලංකාවේ තමන්ට ලැබෙන වැටුප ණය ගෙවීමට සහ ජීවත්වීමට ප්‍රමාණවත් නොවන නිසා රුසියාවේ කුලී හමුදාවලට බැඳීමට යාමේ සිදුවීම් අල් ජසීරා වැනි පුවත් සේවා වාර්තා කර තිබේ.

     

  • නව වීසා ගාස්තු සංශෝධනයෙනුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා – පුබුදු ජයගොඩ

    නව වීසා ගාස්තු සංශෝධනයෙනුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා – පුබුදු ජයගොඩ

    නව වීසා ගාස්තු සංශෝධනය නිසා මේ වසරේදී රජයට ඩොලර් මිලියන තිහක් අහිමි වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

    මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

    ඔහු පැවසුවේ,

    ”GBS හා IVS යන ඉන්දියානු වීසා සමාගම් දෙකට ලංකාවට එන සංචාරකයන් හට අන්තර්ජාල වීසා (Online Visa) සහ ගුවන්තොටුපළේදී වීසා (On Arrival Visa) නිකුත් කිරීමේ බලය ලබාදීම නිසා රටට විශාල මුදලක් අහිමි වෙනවා. මීට පෙර යුරෝපීය සංචාරකයකු සඳහා වීසා ගාස්තුව ලෙස අය කළේ ඩොලර් 50ක්. නමුත් පසුව වීසා ගාස්තුව ලෙස ඩොලර් 75ක්, ඉන්දියානු සමාගමේ සේවා ගාස්තුව ලෙස ඩොලර් 18.50ක්, පහසුකම් ගාස්තු ලෙස ඩොලර් 7.27ක් ලෙස ඩොලර් 100.77 දක්වා එය දෙගුණයකින් වැඩි වුණා. මේ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල වීමෙන් පසුව මාස තුනක වීසා සඳහා යුරෝපීය සංචාරකයකුගෙන් අය කරන ගාස්තුව නැවත ඩොලර් 50ක් කිරීමට කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා. නමුත් ඇත්තටම සිදුවී තිබෙන්නේ කුමක්ද? සංචාරකයකුගෙන් අය කරන ඩොලර් 50ක වීසා ගාස්තුවෙන් ඩොලර් 10ක් ඉන්දියානු සමාගමට දෙනවා. සරලවම කියනවානම් මීට පෙර ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකුගෙන්ම ඩොලර් 50ක් රජයට ලැබුණා. දැන් ලැබෙන්නේ ඩොලර් 40යි. එන එන සෑම සංචාරකයකු පාසාම ඩොලර් 10 බැගින් ඉන්දියානු සමාගමට දෙනවා. රටේ විදේශ විනිමය ආදායම අඩු වෙනවා. මේ වසරේදී අපේක්ෂිත ලෙස සංචාරකයන් මිලියන 3ක් පැමිණියහොත් රජයට ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා. ඒ මුදල ඉන්දියාවට යනවා. මේ වගේ ඔලමොට්ටල තීරණයක් ගත්තේ කවුද? කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ආර්ථික ඝාතකයෝද? නැතිනම් මේ පිටුපස විශාල කොමිස් වංචාවක් තිබෙනවද? එහෙමත් නැතිනම් මේ මැතිවරණ අරමුදල් සම්පාදන වැඩපිළිවෙළක කොටසක්ද? ඒ කුමක් වුවත් මේ වීසා සිද්ධිය නිහඬතාවයේ ගිල්වා දැමීමට ඉඩ නොදී මෙහි වගඋත්තරකරුවන්ට දඬුවම් දිය යුතුයි. ඒ සඳහා විවෘත මහජන විමර්ශනයක් සඳහා අපි ජනතාවට ආරාධනා කරනවා.”

  • මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයක

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයක

    කඩවත – මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    එම අධිකාරිය පැවසුවේ විශේෂඥයින් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට යෝජනාවී ඇති බවයි.

    මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේ මූලික වාර්තාව මේ වන විට ලැබී ඇති බවයි.

    පසුගිය 4 වැනිදා පස්වරු 5.45 ට පමණ මෙම කොන්ට්‍රීට් බාල්කය කඩා වැටී තිබුණේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ බෙම්මුල්ල, කදඔළුවාව ප්‍රදේශයේදී.

    කඩා වැටුණු කොන්ට්‍රීට් බාල්කය මීටර් 35 ක පමණ දිගකින් යුක්තයි.

    මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.