Breaking News

කුරුක්කල්මඩම්හි සමුහ මිනී වලක් යයි සැකකෙරෙන ස්ථානයේ කැනීම් ඇරඹෙයි

අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම විමර්ශන සිදු කිරීමට අධිකරණය විසින් තීරණය කරන ලද කුරුක්කල්මඩම්හි සමුහ මිනී වලක් පැවැතිය හැකි බවට සැක කෙරෙන භුමියේ කැනීම් කටයුතු ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ විමර්ශන සිදුකෙරෙන සමූහ සුසාන අතරින් අහම්බෙන් ඇටසැකිලි හමු නොවී අධිකරණ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කළ පළමු සමූහ මිනීවල වන්නේ මෙයයි.

ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් හි සමුහ මිනී වලක් ඇති බවට සැක කෙරෙන භුමියේ කැනීම් කටයුතු 2026 මාර්තු 30 වැනි සඳුදා ආරම්භ කර ඇත්තේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ හා වෛද්‍ය සහ නීති විශේෂඥයන් එකොලොස් දෙනකුගේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් සහභාගිත්වයෙනි.

දිනපතාම උදෑසන 10 සිට රාත්‍රි 8 දක්වා කාලය තුළ එම කණ්ඩායම විසින් ඉදිරි දින වලදී කැනීම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජාබීර් රාසි මොහොමඩ් සඳුදා (30) පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ හදුනාගත් භුමියේ මීටර් 5 ක් දිගින් හා පළලින් යුතුව අඩු 9 ක ගැඹුරට කැනීම් කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

දශක තුන හමාරකට ඉහත දී සිදු වු එම සමුල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයටයි.

1990 වසරේ හජ් වන්දනාව අවසන් කර කාත්තන්කුඩිය වෙත පැමිණෙමින් සිටි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් සමුල ඝාතනය කර කුරුක්කල්මඩම්හි වළ දමා ඇති බවට ප්‍රදේශවාසියකු වන අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් කලවංචිකුඩ් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව 2014 දී කලවංචිකුඩි සංචාරක අධිකරණයේ නඩුවක් ගොනු කර තිබී ඇත.

එම නඩුව 2014 වසරේ ජුලි 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ සමුල ඝාතනය කළ පිරිස වළ දමා ඇති බවට සාධාරණ සැකයක් පවතින භුමිය කැනීම් කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස විනිසුරු ඒ.එම් රියාල් නියෝග කළත් එය ඉටුවී නැත.

පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් සිය නීතිඥයන් මාර්ගයෙන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද මෝසමක් මත පදනම්ව එකොලොස් වසරකට පසුව 2025 ජුලි 11 වැනි දින සිට විවෘත අධිකරණයේදී මෙම නඩුව යළි විභාගයට ගැනීම ආරම්භ කර තිබුනි.

leave a reply