Breaking News

සමාගම්වල අධික ලාභයෙන් කොටසක් අරගෙන ජනතාවට සහන දී රට වහන්න – සේනාධීර ගුණතිලක

ආණ්ඩුව විසින් විශේෂඥ නිර්දේශ පිළිගෙන රට පූර්ණ අගුලු ලෑමකට යා යුතු බවත් එහිදී පීඩා විඳින ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා සමාගම්වල අධික ලාභයෙන් කොටසක් ලබා ගන්නා ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂය පවසන්නේ මෙය සමාජවාදී යෝජනාවක් නොව මේවන විට ලෝකයේ නවලිබරල් ආර්ථිකයන් තුළ ක්‍රියාත්මක කළ දෙයක් බවයි.

පෙ.ස.ප. සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක විසින් මේ බව අවධාරනය කෙරුණේ ඊයේ (13) නුගේගොඩදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එම අවස්ථාවේ සේනාධීර ගුණතිලක පැවසුවේ වහාම හා හදිසියේ රට අගුලු ලෑමක් කළ යුතු බව මෙරට සෞඛ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් පවසන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඉල්ලීම වූයේ එය බවයි. නමුත් අගුලු ලෑමක් සමග මතුවන අනෙක් ගැටලුව නම්, එහිදී දෛනික ආදායම් උපයන ජනතාවගේ ජීවන තත්වය පවත්වා ගෙන යාමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව විශේෂ මැදිහත්වීමක් කළ යුතු බව පැවසූ පෙ.ස.ප. සංවිධායක ලේකම්වරයා පළමු කෝවිඩ් රැල්ල අවස්ථාවේ මෙන් රු. 5000ක් වීසි කර ආණ්ඩුවට අතපිහ දා ගත නොහැකි බව පෙන්වා දුන්නේය.

ඔහු ඒ මාධ්‍ය හමුවේදී මෙසේද ප්‍රකාශ කළේය.
“මේ වනවිට, අපේ ළඟම ඥාතින්, අසල්වැසියන් කොරෝනා රෝගයට ගොදුරුවන බව දැනගන්න ලැබෙනවා. උදේ වැඩට ගිය ආයතනයේ රෝගීන් හඳුනාගැනීම නිසා සවස්වන විට වසා දැමූ බව නිවේදනය කරනවා. අල්ලපු ගමේ නැත්නම් අල්ලපු ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් මිය යන බව අසමින් අපි කම්පාවට පත් වෙනවා. රෝහල් ඇඳන් අඩු නසා කොරිඩෝරවල රෝගීන් පිරී ඇති බව යනාදී වශයෙන් වසංගතයේ ඇත්ත තත්වය අපිට පියවි ඇසින් දකින් ලැබෙනවා. ආණ්ඩුව කියන විදියටත් දෛනික වශයෙන් රෝගීන් වාර්තා වීම 3000 දක්වා වැඩි වී තිබීමත් මරණ සංඛ්‍යාව ඉලක්කම් 3ක් දක්වා ගොස් තිබීමත් නිසා කොරෝනා වසංගතයේ වර්ධනය වන තත්වය සම්බන්ධයෙන් දළ අදහසක් ගන්න හැකියාව ලැබෙනවා. ඇත්ත සංඛ්‍යාලේඛණ වෙනුවට බොරු කියන බවට චෝදනා තිබියදී පවා ආණ්ඩුව නිකුත් කරන සංඛ්‍යාලේඛන අනුවත් මේක ඉතාම බරපතළ තත්වයක්.

ඒ නිසා අපි කියනවා, වසංගතයේ ව්‍යාප්තිය හමුවේ මුලින්ම හමුවන ආසාදිතයාගේ දින 14ක් සහ දෙවනුව ආශ්‍රිතයන්ගේ දින 14 වශයෙන් සළකා බැලුවත් අවම සති 4ක අගුලු ලෑමක් අවශ්‍ය වෙනවා. නමුත් එය පූර්ණ වශයෙන් අගුලු ලෑමක් ලෙස පවත්වා ගෙන ගොස් පසුව සංචාරණ සීමා ලෙස ක්‍රියාත්මක කිරීමට පුලුවන්. නමුත් මේ වන විට වසර දෙකක් තිස්සේ වසංගතය නිසා ජීවනෝපාය අර්බුදයට ගොස් සීන දෛනික රැකියා කරන ජනතාවට, මෙම අගුලු ලෑමෙන් විශාල දුෂ්කරතා රාශියකට මුහුන දෙන්න සිදුවන නිසා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඔවුන් වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කළ යුතුයි. ඒක රුපියල් 5000ක් විතරක් දීලා අත පිහදාගන්න එකක් නොවිය යුතුයි.

අපි පසුගිය මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කොරොන් වසංගතය හමුවේ ක්‍රියාත්මක කළ යුතු බවට අප විසින් යෝජනා කළ කෙටිකාලීන වැඩපිළිවෙළක් ආණ්ඩුවේ අවධානයට යොමු කළා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය ධාරිතාව ඉක්මවා යාම සහ සෞඛ්‍ය සේවකයන් වසරකට වැඩි කාලයක් දැඩි වෙහෙසකර සේවයක යෙදීම නිසා ඇති විය හැකි බිඳවැටීම් වැළැක්වීමට අපි ස්වෙච්ඡා බලකායක් පිහිටුවීමට යෝජනා කළා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවයට ස්වෙච්ඡාවෙන් සහාය විය හැකි පිරිසක් සමාජයෙන් සම්බන්ධ කරගැනීමට පුළුවන්. පසුගිය වසරක කාලය තුළ පවා යම් යම් ප්‍රමාණයෙන් අපි පක්ෂයක් ලෙස ස්වේච්ඡාවෙක් ඉටු කළ කාර්යයක් තිබෙනවා. අපි දන්නවා විවිධ සමාජ කණ්ඩායම් එවැනි මැද්හත්වීම් සිදු කරනවා. නමුත් අපි යෝජනා කරන්නේ විධිමත් ලෙස සෞඛ්‍ය යාන්ත්‍රනයට සම්බන්ධ කළ ස්වේච්ඡා බලකායක් ස්ථාපනය කරමින් වගකීම් සහගත ලෙස වසංගතය වැළැක්වීම හා ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.

ඊළඟට, වසංගතය හමුවේ වෙන් කළ සෞඛ්‍ය වැයශීර්ෂ කොහොමටත් ප්‍රමාණවත් නොවූ නිසාත් ආණ්ඩුවට ණය අර්බුදයක් තිබීම නිසාත් කෝවිඩ් අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අපි යෝජනා කළා. මේ වන විට මේ වසංගතය හමුවේත් බිලියන ගණනින් ලාභ උපදවන සමාගම් ගැන වාර්තා වෙනවා. අපි කියන්නෙ ඒ දැවැන්ත ලාභ තුළ ගැබ් වෙන්නෙ මේ රටේ ශ්‍රමිකයන්ගෙ දුක් වේදනාවන්. ඒ නිසා සමාජයක් ලෙස මුහුණ දෙන මේ අභියෝගයට මුහුනදීම සඳහා ඒ සමාගම්වල ලාභයෙන් කොටසක් අත්පත් කරගත යුතු බවයි. අපි යෝජනා කළ ආකාරයට ලාභවලින් 1%ක් වැනි කොටසක් අරගත්තත් විශාල අරමුදලක් පිහිටුවන්න හැකියාව ලැබෙනවා. මේක සමාජවාදී යෝජනාවක් නෙවෙයි, මේවන විට ලෝකයේ නවලිබරල් ආර්ථිකයන් තුළ ක්‍රියාත්මක කළ දෙයක්.

ආර්ජන්ටිනාව මේ සඳහා පියවර තබා තිබෙනවා. වෙනත් රටවල් විසින් මෙවැනි ක්‍රම සඳහා සැලසුම් සකස් කරනවා. පසුගිය වසර තුළ බිලියන 57ක් තරම් ලාභයක් උපයාගත් LOLC සමාගම වැනි සමාගම්වලින් ඒ ලාභයෙන් කොටසක් ලබා ගැනීමෙන් මේ වසංත සමයේ ජනතාවගේ සුබසාධනයට වගේම කොරෝනා වසංගතය වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා පිරිවැය සපුරාගන්න හැකි බව අපි විශ්වාස කරනවා.”

leave a reply