Tag: සජීව චාමිකර

  • රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය

    රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය

    වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ ගේ මැදිහත්වීම මත වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන අවශ්‍යතාවක් වන රජයේ වනාන්තර ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දිය හැකි වන පරිදි වන සංරක්ෂණ ආඥා පනතේ වගන්ති වෙනස් කිරීමට අදාළ සංශෝධන පනත මේ වන විට සකස් කර අවසන් ය. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ (කැළෑ ආඥා පනත) 20 වන වගන්තිය මගින් රක්ෂිත නොවන, අනාගතයේ දී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර විශාල ප්‍රමාණයක් රජයට අයත් වෙනත් කැලෑ වශයෙන් ආරක්ෂා කර තිබුණි. මේවා රක්ෂිත වනාන්තර අතර සම්බන්ධතාව ඇති කරන, වැව් හා ජලාශවල ජලපෝෂක ලෙස ක්‍රියාත්මක වන, වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා සිටින ඉතා ම දුර්ලභ හා ආවේණික ජීවී විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන, අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන හා අලි මංකඩවල් ලෙස ක්‍රියාත්මක වන සුවිශේෂී වනාන්තර පද්ධති වේ. එම වනාන්තර වාණිජ භාවිතයන්ට ලබා ගත හැකි වන පරිදි, ඒවායේ ආරක්ෂාව තහවුරු කර ඇති 20 වන වගන්තිය සංශෝධනය කිරීමේ ප්‍රධාන අරමුණ මත යෝජිත පනත් සංශෝධනය සිදු කර ඇත.

    වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2018 අගෝස්තු මස 21 වන දින ය. එම කැබිනට් පත්‍රිකාවෙන් ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකම් කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීම, රක්ෂිත වනාන්තර තුළ තිබෙන ඛණිජ සම්පත් ආරක්ෂා කර ගැනීම, වනාන්තර සංරක්ෂණය පිළිබඳ වන සංරක්ෂණ නිලධාරීන් සතු බලතල තවදුරටත් ශක්තිමත් කිරීම යන කරුණු පදනම් කර ගෙන පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා ගෙන ඇත. එම අනුමැතිය පදනම් කර ගෙන පනත සංශෝධනය සිදු කර ඇති නමුත් සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ අනුමත කැබිනට් පත්‍රිකාවේ සඳහන් අරමුණු සියල්ල ම උල්ලංඝනය කරමිනි.

    යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියෙන් පසු ව 20අ ලෙස අලුතින් වගන්තියක් එක් කර බහුවිධ කළමනාකරණ වනාන්තර ලෙස රජයට අයත් වෙනත් වනාන්තර ප්‍රකාශයට පත් කිරීමට හැකි වන පරිදි වගන්ති එක් කිරීම ය. ඒ අනුව බහුවිධ කළමනාකරණ වනාන්තරයක පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ස්වභාවධර්මය පදනම් කර ගත් සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ හඳුනාගත් සෙසු ක්‍රියාකාරකම් මගින් ආර්ථික ප්‍රතිලාභ අත් කර දෙනු පිණිස රාජ්‍ය නොවන අංශ බල ගන්වමින් කළමනාකරණය කිරීම පිණිස විෂය භාර අමාත්‍යවරයාට බලතල හිමි වන ක්‍රියාවලියක් හඳුන්වා දීම යෝජිත සංශෝධන පනත මගින් සිදු කර ඇත. මෙවන් වගන්ති ඇතුළත් කිරීමෙන් පෙනී යන්නේ යෝජිත පනත් සංශෝධනය ඒ සඳහා අනුමැතිය ලබා ගත් කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කෙටුම්පත් කර ඇති බව ය.

    යෝජිත පනත් සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව ය. නමුත් ඒ වෙනුවට සිදු කර ඇත්තේ රජයේ වනාන්තර වෙළෙද භාණ්ඩයක් බවට පත් කර ආදායම් උත්පාදනය මගින් විනාශ කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීම ය.

    මෙවන් පනත් සංශෝධනයක් පිළිබඳ ව 2016 වසරේ දී ලෝක බැංකුව විසින් සකස් කළ Ecosystem Conservation and Management Project – ESCAMP නම් වාර්තාවේ ද සඳහන් කර ඇත. එහි දැක්වෙන ආකාරයට මෙරට රක්ෂිත ප්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බවත් මෙරට රක්ෂිත ප්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල් කරනයට ලක් කර රක්ෂිත ප්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැඩි අවධානයක් ලබා දිය යුතු බවත් අවධානයට ලක් කර ඇත.

    මෙම වාර්තාව පදනම් කර ගෙන ක්‍රියාත්මක වූ ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තරවල නව සංචාරක පිවිසුම් මාර්ග ඇති කිරීම, දැනට පවතින මාර්ග සංවර්ධනය කිරීම හා සංචාරකයන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කිරීම සිදු කෙරින. එම ව්‍යාපෘතියේ අරමුණු වූයේ භූ දර්ශන සැළැසුම් හා කළමනාකරණය කිරීම සහ ස්වාභාවික සම්පත් තිරසර ලෙස භාවිත කිරීම මගින් අලි – මිනිස් සහජීවනය ඇති කිරීම ය. නමුත් මෙම ව්‍යාපෘතියේ සැඟවුණු ප්‍රධාන අරමුණ වූයේ වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය මගින් රක්ෂිත වනාන්තර ආදායම් ඉපදවිය හැකි වෙළෙද භාණ්ඩයක් බවට පත් කිරීමට නීති සම්පාදනය කිරීම ය.

    එම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. නමුත් මේ මගින් සිදු වන දැවැන්ත විනාශය පිළිබඳ ව ඔවුන් විසින් අවධානය යොමු කර නොතිබීම විශාල විනාශයකට මඟ විවර කිරීමකි. ඒ නිසා එම විනාශයේ වගකීම සම්පූර්ණයෙන් ම ඔවුන් භාර ගත යුතු ය.

    මෙම පනත් සංශෝධනය සිදු කරන අතරතුර 2024 මාර්තු මස 4 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම්, විධිමත් ලෙස බැහැර කිරීම සඳහා ඉඩම් කළමනාකරණ භාරයක් ස්ථාපිත කිරීමට ය. මීට ප්‍රථම දීර්ඝකාලීන බදු පදනම මත වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 72000 ක් උක් වගා කිරීම සඳහා තායිලන්තයේ සුටෙක් ඉංජිනියරින් පුද්ගලික සමාගමට ලබා දීමට 2023 ජුනි 26 වන දින කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. මීට අමතර ව අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර එක් ලක්ෂ හාරදහසක් ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
    මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර සමාගම්වලට හෝ ව්‍යාපාරිකයන්ට ලබා දීමට හැකි වන ලෙස නීති සකස් කළ යුතු ව ඇත. ඒ සියල්ල සිදු කිරීමට මෙම යෝජිත පනත් සංශෝධනය මගින් බලය ලබා ගෙන ඇත.

    පනත සංශෝධනය කිරීමෙන් තොර ව මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලය තුළ දී විවිධ ක්‍රියාමාර්ග ගැනින. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක MWFC/01/2020 දරන චක්‍රලේඛය මගින් රක්ෂිත නොවන රජයේ වනාන්තර ඉඩම් සියල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයට පත් කර ගැනීමට පළමු ව උත්සාහ ගැනින. ඉන් පසු ව ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක විසින් “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 දරන චක්‍රලේකය මගින් ඉහත චක්‍රලේඛයෙන් වෙන් කර ගත් රජයේ වනාන්තර, ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධිවිධානවලට යටත් ව ප්‍රාදේශීය ලේකම්වරුන්ට මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට මැනීම් කර වෙන් කර ගැනීමට නියමිත විය. නමුත් මෙම චක්‍රලේක වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ප්‍රකාශිත බැවින් අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඒවා ක්‍රියාත්මක කිරීම වළක්වාලීමට පියවර ගැනින. ඒ හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කර රජයේ ඉඩම් වෙන් කර ගැනීමට වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් පියවර ගෙන ඇත. එහෙත් මේ මගින් සිදු වන දැවැන්ත විනාශය පිළිබඳ ව ආණ්ඩුවට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට කිසිදු හැගීමක් හෝ අවබෝධයක් නොතිබීම කණගාටුවට කරුණකි.

    වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අවසන් වනාන්තර සංගණනයට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර ආවරණයට තෙත්, අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල පිහිටි ඝන වනාන්තර, විවෘත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ, කඩොලාන වනාන්තර හා තෘණ භූමි අයත් වේ. මේ අතුරෙන් පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ සියයට 1.9 ක ප්‍රතිශතයකි. එනම් හෙක්ටයාර 1,23,302 කකි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.7 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 44,758 කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.4 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර 11,21,392 ක් නැතහොත් සියයට 17.1 කක ප්‍රතිශතයක් පවතී. කඩොලාන වනාන්තර 0.2% ක් නැතහොත් හෙක්ටයාර 15,670 ක් පමණ වෙයි.

    වර්ෂ 2015 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන වනාන්තරවල භූමි ප්‍රමාණය හෙක්ටයාර 3,45,811 ක් නැතහොත් අක්කර 8,54,155 ක් පමණ වේ. එම සියලු වනාන්තර යෝජිත පනත් සංශෝධනය මගින් අහිමි කිරීමට නියමිත අතර එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණයෙන් 18% ක් විනාශ කිරීමට සැලැසුම් සකස් කිරීමකි.

    මෙම වනාන්තර රටට අහිමි වුවහොත් අලි – මිනිස් ගැටුම වර්ධනය වීම, වන සතුන්ගෙන් සිදු වන වගා හානි වර්ධනය වීම, ආවේණික දුර්ලභ ජීවී විශේෂ වඳවී යාම, කෘෂිකාර්මික හා පානීය ජල අර්බුද උග්‍ර වීම, ආපදා තත්ත්වයන් හා දේශගුණික විපර්යාස වර්ධනය වීම, කෘෂිකර්මාන්තය බිඳ වැටීම හා ආහාර අර්බුද උග්‍ර වීම ඇතුළු බොහෝ ව්‍යසනයන්ට රටේ ජනතාවට මුහුණ දීමට සිදු වනු ඇත. මේ නිසා රටේ වනාන්තර පද්ධති විනාශ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අවශ්‍යතාව මත ගෙන එන මෙම පනත් සංශෝධනය වහා ම නතර කිරීමට පුරවැසියන් වන අප පෙරමුණ ගත යුතු ව ඇත.

  • පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී සමනල වැව වනාන්තරය වනසයි

    පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී සමනල වැව වනාන්තරය වනසයි

    වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීම සඳහා කිලෝමීටර 7 ක් පමණ දිග, අක්කර 20 කට වැඩි වනාන්තර තීරයක ශාක කපා ඉවත් කර වනාන්තර එළිපෙහෙළි කිරීම අද වන විට සිදු කර ඇත.

    සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15 ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු කරයි. ඒ මගින් සමනල වැව ජල පෝෂක වනාන්තරයට දැවැන්ත හානියක් සිදු කර ඇත. විදුලි වැට ඉදි කිරීම සඳහා නිවැරදි සැලැසුමකින් තොර ව මෙම වනාන්තර එළි කිරීම සිදු කර ඇති අතර ඒ සඳහා හානි අවම ක්‍රමවේදයක් මත පදනම් ව අනුමැතිය ලබා ගෙන ද නොමැත.
    රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකොළ මුල්ල හා බලිදු වැව යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙම විදුලි වැට ඉදි කිරීමට යෝජිත වී ඇත.

    උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට, දූවිලි ඇල්ල දක්වා අලි සංක්‍රමණය වීමේ දී මෙම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම මෙම විදුලි වැට ඉදි කිරීමේ අරමුණ වී ඇත. නමුත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස, දූවිලි ඇල්ල දක්වා වලවේ ගඟ දිගේ ගමන් කරන මෙම අලි – ඇතුන් මෙම ගම්මානවලට පිවිසීම වැළැක්වීමට ගම්මාන ආවරණය වන පරිදි කුඩා විදුලි වැටක් ඉදි කර මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට හැකියාව තිබිය දී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී මෙය ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය භාර නිලධාරීන් ගේ සැලැසුමක්, අධීක්ෂණයක් හා මඟ පෙන්වීමක් නොමැති ව ය.

    ක්‍රමවත් සැලැසුමකින් තොර ව අලි – ඇතන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි විදුලි වැටවල් ඉදි කිරීම හේතුවෙන් අලි – මිනිස් ගැටුම දිනෙන් දින වර්ධනය වෙමින් තිබිය දී මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන ආකාරයෙන් අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය කිරීමෙන් මෙම ගම්මානවල මෙන් ම ඒ අවට ගම්මානවල ජනතාවට ද අනාගතයේ දී දරුණු අලි – මිනිස් ගැටුමකට මුහුණ දීමට සිදු වනු ඇත.

    2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව පාලනය වන රජයට අයත් වනයක ගස් ගපා හෙළීම, දැව හෙළීම, මාර්ග සකස් කිරීම හා භාවිතා කිරීම යන සියලු ක්‍රියා තහනම් වේ. එවන් තහනම් ක්‍රියාවක නිරත පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අමතර ව අධිකරණය විසින් නියම කළ වන්දි මුදලක් දඩයක් ලෙස හානිය සම්බන්ධයෙන් ගෙවීම ද කළ යුතු ය. මීට අමතර ව පනතේ 20(2) උප වගන්තියට අනුව රජයට අයත් වනාන්තරවල තහනම් ක්‍රියා සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන පුද්ගලයකු එම දඩුවම්වලට ම යටත් විය යුතු ය. එය පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාරට ද අදාළ වේ.

    මෙම පනතට අමතර ව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන විදුලි වැටවල් කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.

    අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මෙම නීතිමය තත්ත්තවයන් උල්ලංඝනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට අභිමත බලය භාවිත කර සමනල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර විදුලි වැටක් ඉදි කිරීමට අනුමැතිය ලබා දීමට කිසිදු බලයක් නොමැත. මෙය නීති විරෝධී ක්‍රියාවකි. එපමණක් නොව බලය අයුතු ලෙස භාවිත කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය යන්න මෙමගින් උල්ලංඝනය කර ඇත.

    විදුලි වැටක් ඉදි කිරීමේ දී එක් කිලෝමීටරයක් සඳහා අක්කර 2.5 ක වනාන්තර ඉවත් කිරීමට සිදු වන අතර රුපියල් මිලියන 2 ත් 3 ත් අතර මුදලක් වැය වේ. මේ මගින් කොමිස් මුදල් ලබා ගැනීම හා දැව ජාවාරම පදනම් කර ගෙන මෙම විදුලි වැට ඉදි කරන බව පෙනෙන්නට තිබේ.

    මෙම නීති විරෝධී හා අවිධිමත් විදුලි වැට ඉදි කිරීම වහා ම නතර කර ඒ වෙනුවට නිවැරදි අධ්‍යයනයක් හා සැලැසුමක් මත පදනම් ව මුල්ගම ඇතුළු ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කර සිටිමු. මීට අමතර ව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් මේ අකාරයෙන් අන්තනොමතිකව ගනු ලබන තීරණ හා නීති විරෝධී ව සිදු කරන ක්‍රියා නැවැත්වීමට ද ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත.

  • හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ගයාන් දිසානායක ඉඩම් කොල්ලයක

    හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ගයාන් දිසානායක ඉඩම් කොල්ලයක

    ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි යන අය ගේ සහයෝගය මත සිංහරාජ අඩවියේ ගොංගල කඳුවැටිය පාමුල සුවිශේෂී පරිසර පද්ධතියක් විනාශ කරමින් ඉඩම් ඇල්ලීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටී. ඔහුට ඇති දේශපාලන රැකවරණය පිළිබඳ ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් මීට එරෙහිව ජනතාවගෙන් එල්ලවන ප්‍රතිවිරෝධය මැඩපවත්වා ගැනීමට ද උත්සාහ ගනිමින් සිටී.

    කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව ග්‍රාමනිලධාරී වසමේ හේස්වත්ත, ගොංගල කොටසේ පිහිටි මෙම ජල පෝෂක භූමිය ගිං ගඟේ ආරම්භක දියදහරාවන් ලෙස සැලකේ. මේ ආශ්‍රිත ව පිහිටි තෘණ බිම් පද්ධතිය හා තෙත් බිම් පද්ධතිය ගෝනුන් හා කොටියන් ඇතුළු සත්ත්ව විශේෂවල ප්‍රධාන වාසස්ථානයක් වන අතර ඉතා ම දුර්ලභ හා ආවේණික උභයජීවීන් හා මිරිදිය කකුළු විශේෂ කිහිපයක් වාර්තා වන අද්විතීය පරිසර පද්ධතියකි. මෙහි ගවයන් ඇති කිරීමේ ගොවිපළක් ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් මෙම ස්ථානයේ අක්කර 5 ක් පමණ තෘණ භූමියක් හා අක්කර 2 ක් පමණ වන වනාන්තර ප්‍රදේශයක් එළි කිරීම සිදු කර ඇත. මීට අමතර ව මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ගිනි තැබීම ද සිදු කර තිබේ. මේ ආකාරයෙන් ඉඩම් නීති විරෝධී ව අත්පත් කර ගෙන මෙම ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.

    සිංහරාජ අඩවියේ විශේෂිත ම ප්‍රදේශයක් ලෙස සැලකෙන වසර මිලියන ගණනක් පුරා සමහර ජීවී විශේෂ හුදෙකලාව පරිණාමය වූ ගොංගල වනාන්තරය හා තෘණ භූමි පද්ධතිය මේ ආකාරයෙන් විනාශ කිරීම හේතුවෙන් දැවැන්ත විනාශයක් සිංහරාජ අඩවියේ ජෛව ප්‍රජාවට සිදු වනු ඇත. මීට අමතර ව ගිං ගඟේ ආරම්භක දියදහරාවන් විනාශ කිරීම හේතුවෙන් ඊට පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට පානීය ජල අර්බුධයකට දරුණු ලෙස මුහුණ දීමට සිදු වන අතර මෙම වන විනාශය හේතුවෙන් ජලය රොන්මඩින් හා වෙනත් අපද්‍රව්‍යවලින් දූෂණය වීම නිසා එම ජලය භාවිතයට ගැනීමට නොහැකි වීම හා ජල පෝෂක බිම් අහිමි වීම නිසා ජනතාව ගේ ජල සුරක්ෂිතතාව ද බිඳ වැටීම සිදු වනු ඇත.

    දේශපාලන රැකවරණය හා ව්‍යාපාරික බලය මත ගයාන් දිසානායක නීති විරෝධී ව මෙම විනාශයන් සිදු කරමින් පවතින්නේ පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමිනි. සිංහරාජ රක්ෂිත ප්‍රදේශය හා ඒ වටා සමස්ත ප්‍රදේශය ම 1996 අංක 24 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන ඕනෑ ම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් ජල පෝෂක ප්‍රදේශවල පැවැත්මය හෝ කඳු වැටිවල පැවැත්මට හානි කර බලපෑම් එල්ල විය හැකි බැවින් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ය.

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කළ යම් ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව ගයාන් දිසානායක මෙම සියලු වනාන්තර එළි කිරීම් සිදු කර ඇත්තේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.

    අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව එවැනි නීති ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියට යොමු කිරීමෙන් පසු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ගයාන් දිසානායක විසින් ම සඳහන් කරන ආකාරයට මෙම ඉඩම් ඇල්ලීම සඳහා සහයෝගය ලබා දෙන ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා සිංහරාජයේ කුඩව පිවිසුම නවීකරණය කර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් සඳහන් කර ඇත්තේ 2019 වසරේ දී සිංහරාජ රක්ෂිතයට අලුතින් වනාන්තර එක් කිරීම නිසා එහි නොයිදුල් බවට දැවැන්ත හානියක් සිදු වූ බව ය. මෙවැනි ප්‍රකාශ සිදු කරමින් ඔහු උත්සාහ දරන්නේ සිංහරාජ රක්ෂිතය වටා පිහිටි සුවිශේෂී පරිසර පද්ධති ඔවුන් ගේ ග්‍රහනයට නතු කර ගැනීමට ය.

    මීට ප්‍රථම 2011 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සමඟ එක් වී සිංහරාජ රක්ෂිතයට පවරා ගැනීමට නියමිත ව තිබූ වනාන්තර පෞද්ගලිකව අත්පත් කර ගැනීමට සිංහරාජ අඩවිය දෙකඩ කරමින් බෙරලගල මූකලාන හරහා ඉළුබකන්ඳ – සූරියකන්ඳ මාර්ගය ඉදි කිරීමට සූදානම් වූයේ ද ජානක වක්කුඹුර විසිනි. මොවුන්ට මෙම වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීම පමණි.

    ගයාන් දිසානායක සඳහන් කරන ආකාරයට ඔහුට දේශපාලන රැකවරණය ලබා දෙන පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ද අමාත්‍යංශය ලැබී කෙටි කාලයක් තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන ඉඩම් කොල්ල කා ගැනීම ද සිදු කෙරින, දෙනියාය, විහාරහේන, සෙල්ලවකන්ඳ ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සිංහරාජය ආශ්‍රිත ව පිහිටි විශාල තෘණ භූමියක අක්කර 50 ක් බලහත්කාරයෙන් අල්ලා ගෙන තේ වගාව සඳහා භූමිය සැකැසීම සිදු කර තිබේ. මෙම ඉඩම් සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට යෝජිත ව ඇති බැවින් ඒ පිළිබඳ ව අප අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ පවිත්‍රා වන්නිආරච්චි ගේ දේශපාලන බලය මත මේ සියල්ල සිදු වන බව ය. මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි ප්‍රධාන ම අලි මංකඩ වන මාණික්කවත්ත ප්‍රදේශයේ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ගේ පියාට අයත් ඉඩම් සෙවීම සඳහා මීට මාස කිහිපයකට ප්‍රථම නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ඇත්තේ ද දේශපාලන බලය භාවිත කරමිනි. මේ අනුව පෙනී යන්නේ දේශපාලඥයන් හා ව්‍යාපාරික කණ්ඩායම් එක් ව දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සිදු කරන බව ය.

    ඇඹිලිපිටිය, සනාරා හෝටලය පවත්වාගෙන යන ගයාන් දිසානායක විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් දඩමස් විකිණීමේ ජාවාරමක් ද අඛණ්ඩව සිදු කර ගෙන යමින් තිබේ. මෙවන් පුද්ගලයන් දේශපාලන බලය මත හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ සභාපති තනතුරට පත් කිරීමෙන් සිදු කර ඇත්තේ ඔවුන් ගේ ජාවාරම් අඛණ්ඩව සිදු කර ගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දීම ය. එබැවින් මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල වහා ම නතර කළ යුතු අතර එම නීති විරෝධී ක්‍රියාවල නිරත වූ ගයාන් දිසානායකට එරෙහි ව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා බලපෑම් කිරීමට නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සහිත රටක් ගොඩනගා ගැනීමට වෙහෙස වන ජනතාව ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය.

  • පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය

    පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය

    ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ. මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස් වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
    මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත් ව මෙම ශාකය සංරක්ෂණය කිරීම හා අධිවේගී මාර්ග සංවර්ධනය තුළිත ව ක්‍රියාත්මක කර තිරසර සංවර්ධන උපායමාර්ගවලට පිවිසීමේ හැකියාව තිබිය දී ඒ සඳහා අතිරික්ත වැයක් දැරීමට සිදු වන බව සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ශාකය බලහත්කාරයෙන් විනාශ කිරීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් සිදු කර ඇත්තේ වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.

    නමුත් දකුණු අධිවේගී මාර්ගය සකස් කිරීමේ දී ව්‍යාපෘති සැලැසුමේ බෙලිඅත්ත හා කසාගල හුවමාරු අතර බැදිගම නමින් හුවමාරුවක් නොතිබුණ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදමුලන නිවසට පහසුවෙන් පිවිසීමට බැදිගම හුවමාරුව නමින් අලුතින් හුවමාරුවක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී සකස් කළ නිලධාරීන්ට පඬු කරඳ ශාකය ආරක්ෂා කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

    ෆැබේසියේ (Fabaceae) කුලයට අයත් පඬු කරඳ ශාකය ඉංග්‍රිසියෙන් Sri Lanka Legume ලෙසත් විද්‍යාත්මක ව Crudia zelanica ලෙසත් හැඳින් වේ. මෙම ශාකය විද්‍යාත්මක ව නාමකරණය කිරීමෙන් අනතුරු ව 1911 වසරෙන් පසු මෙරටින් වාර්තා වූ බවට විද්‍යාත්මක සාධක නොතිබුණි. නමුත් 2019 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ග්‍රාම නිලධාරී වසමට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයට යටත් වන එච්. අයි. එම්. ඒ. මුණසිංහ මහතාට අයත් ව තිබූ වන්දි ගෙවීමෙන් පසු පවරාගන්නා ලද ඉඩමෙන් වසර 108 කට පසු ව හිමේෂ් ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළමු වරට මෙම ශාකය නැවත සොයා ගන්නා ලදී. ඉන් පසු ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයකින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට ද හැකි වී ඇත.

    2021 වසරේ දී පරිසර අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛණයේ මෙම ශාකය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ (Critically Endangered – CR) ශාකයක් ලෙස නම් කර තිබේ. ඊට හේතුව පළමු ව වඳවී ගොස් ඇතැයි විශ්වාස කළ මෙම ශාකය 2019 වසරේ දී නැවත වාර්තා කිරීම හා ඉතා ම සුළු ස්ථාන ගණනකින් පමණක් ස්වාභාවික ව මෙම ශාකය වාර්තා වී තිබීම ය.

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ඇති VIII වන උප ලේඛණයේ පඬු කරඳ ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස ලේඛණ ගත කර ඇත. ඒ අනුව එවැනි ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීම පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වරදක් වේ. එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකුට එරෙහි ව පනතේ 67ඈ1 උප වගන්තියට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංඥ්ය වැරදි හා සම්බන්ධ විධි විධාන ක්‍රියාවේ යෙදවිය හැකි ය. එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට අනුබල ලබා දෙන පුද්ගලයකු ද එම වරදට ම වරදකරුවකු වන බව පනතේ 59 වන වගන්තියේ සඳහන් කර ඇත.

    2023 ජූලි මස 10 වන දින සිදු කළ මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමේ නීති විරෝධී ක්‍රියාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු ය. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුලුවගේ, අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් පමණක් නොව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආර්. එම්. ජේ. එන්. රත්නායක ඇතුළු සියලූ ම නිලධාරීන් මෙම ආරක්ෂිත ශාකය විනාශ කිරීමට වගකිව යුතු ය.

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධි විධානවලට අනුව මේ සියලූ ම නිලධාරීන් හා අමාතයවරයා මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමට වරදකරුවන් වන්නේ ඔවුන් විසින් ලබා දුන් නිර්දේශ මත මෙය සිදු කර තිබීමෙනි. එසේ නොමැති ව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් හතර දෙනෙකුට මෙවැනි විනාශයක් සිදු කළ නොහැකි ය. මේ නිසා මේ පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කර නීති විරෝධී ක්‍රියාවේ නිරත වූ සියලු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර මෙම ශාකයේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා ද සැලැසුම් ක්‍රියාත්මක කළ යුතු ය.

    එපමණක් නොව තිරසර සංවර්ධනය වැනි පරිසර මූලධර්ම මත පදනම් වූ අණ පනත් යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා අමාත්‍යවරුන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම රටේ ජනතාව ගේ මෙන් ම අනාගත පරපුරේ අවාසනාවකි.

    මේ නිසා පරිසර යුක්තිය, තිරසර සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වූ රටක් ගොඩ නැගීම ගැන සිතන පුරවැසියන් ලෙස මීට එරෙහි ව ක්‍රියාත්මක වීමට සියලු ජනතාව ඒකරාශී විය යුතු ව ඇත. එය විනාශ කළ පඬු කරඳ ශාකය නැවත ගොඩනැගීමට නොව වත්මන් පාලකයන් විසින් විනාශ කරන රටේ සමස්ත ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ය.


    අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි


    අක්කර දහස් ගණනින් වනසන වුන් Crudia zeylanica ශාකය රැක ගනීවි ද?


    ලංකාවට ආවේණික Crudia zeylanica  ශාක පිළිබඳව නැවත සාවද්‍ය ප්‍රකාශයක්


    කෲඩියා සිලනිකා බේරා අධිවේගය ඉදිකිරීමට එකඟ වෙයි

  • තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි මේ වැයමක් .

    තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි මේ වැයමක් .

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. එය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි.

    මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 13 කට පෙර මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට තේ වැනි වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර තිබේ.

    මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් වැඩි ම වර්ශාපතනයක් ලැබෙන තෙත් කලාපයේ ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමි වීම හා වැසි වනාන්තර තුළ ජීවත්වන සීමිත ව්‍යාප්තියක් ඇති ඉතා ම දුර්ලභ ජීවී විශේෂවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල වීම සිදු ව තිබේ.

    නමුත් ලංකාවේ ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වන වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරෙන් 90% ක් පමණ ජීවත් වේ. ඊට අමතර ව වඳවීමේ තර්ජනයට දරුණු ලෙස ලක් වී ඇති ජීවී විශේෂ අතුරෙන් 99% ක් ම වාර්තා වන්නේ මෙම වැසි වනාන්තර තුළ ය.

    ලෝකයේ නිවර්තන වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර බිලියන 1.84 කි. එය පෘථිවියේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 12% ක් පමණ වේ. නැතහොත් පෘථිවියේ සමස්ත ගොඩබිම් ප්‍රදේශවලින් 3.6% කි. ලෝකයේ වැසි වනාන්තර ව්‍යාප්ත ව ඇත්තේ දකුණු ඇමරිකාව, කැරිබියන් දූපත්, මධ්‍යම අප්‍රිකාව, මැඩගස්කරය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නැගෙනහිර හා අග්නිදිග ආසියාව, නිව් ගිනියාව හා පැසිෆික් දූපත්වල පමණි.

    මෙම වනාන්තර තුළ භෞමික ජීවීන්ගෙන් 50% ක් ජීවත් වේ. ලෝකයේ හඳුනාගෙන ඇති ජීවීන්ගෙන් 75% ක් පමණ වැසි වනාන්තරවලට ආවේණික වේ. ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති සපුෂ්ප ශාක අතුරෙන් 2/3 ක් වැසි වනාන්තරවලින් වාර්තා වේ. ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති සත්ත්ව විශේෂ අතුරෙන් 50% ක් ජීවත් වන්නේ වැසි වනාන්තර තුළ ය. ස්වාභාවික ඖෂධවලින් 1/4 ක් සොයා ගෙන ඇත්තේ ද මෙම වනාන්තරවලිනි. මෙම වනාන්තරවල අවම වශයෙන් කාබන් මෙටි්‍රක්ටොන් බිලියන 250 ක් පමණ ගබඩා කර තබනු ඇතැයි වාර්තා වේ.

    default

    මෙවන් වූ සුවිශේෂී වනාන්තර දැව ලබා ගැනීම හා කටුපොල් වැනි වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා සීග්‍රයෙන් එළි පෙහෙළි කරනු ලැබේ. මේ නිසා සෑම පැයකට ම ලෝකයේ වැසි වනාන්තර අක්කර 6000 ක් විනාශ කරන බව හඳුනාගෙන තිබේ.
    ලංකාවේ ද තේ වගා බිම් ව්‍යාප්ත කිරීම සඳහා වර්තමානය වන විට වැඩි ම වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කිරීම සිදු වී ඇත. යටත්විජිත යුගයේ වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 84 ක් විය. වර්ෂ 1900 දී එය සියයට 70 දක්වා පහළ වැටී තිබුණි. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ වනාන්තර එළි කිරීම ය.

    ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනාන්තර පිළිබඳ ව පුළුල් සමීක්ෂණයක් සිදු කෙරුනේ 1956 – 1961 වසර වල ය. එහි දී වන ආවරණය සියයට 44.2 ක් නැතහොත් හෙක්ටයාර 28,98,842 ක් බව හඳුනා ගැනින. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසර වල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් නිදහසින් පසුව සිදු කරන ලද දෙවන වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය සියයට 37.5 ක් නැතහොත් හෙක්ටයාර 24,58,250 ක් බව අනාවරණය විය. ලෙග් හා ජුවෙල් විසින් සකස් කරන ලද සිතියම් අනුසාරයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තා වලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය සියයට 31.2 ක් නැතහොත් හෙක්ටයාර 20,46,599 ක් වන බව හඳුනා ගැනින. එම වාර්තාවලට අනුව තෙත් කලාපයේ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 2,13,495 ක් වන අතර එය සියයට 3.23 ක ප්‍රතිශතයකි.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තා වලට අනුව වන ආවරණය සියයට 29.6 ක් නැතහොත් හෙක්ටයාර 19,42,219 ක් බව සඳහන් වේ. 2010 වසරේ දී අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තා වලට අනුව ලංකාවේ වන ආවරණය සියයට 29.7 ක් නැතහොත් හෙක්ටයාර 19,51,472 ක් බව සඳහන් වේ. මෙම එක් එක් අධ්‍යයන වල දී වනාන්තර හා වනාන්තර දර්ශ පිළිබඳ ව එක් නිර්ණායකයක් මත පදනම් ව අධ්‍යයන සිදු කර නොමැති බැවින් වන වැස්මේ ප්‍රතිශතය පිළිබඳ ව නිවැරදි සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගත නොහැකි ය.
    1960 සිට 2010 වසර දක්වා ගෙවුණු වසර පනහ තුළ දී ලංකාවේ වනාන්තර 9,47,370 ක් එළිපෙහෙලි කර තිබේ. වර්ෂ 1992 සිට 2010 දක්වා ගත වූ වසර 18 ක කාලය තුළ තෙත් වනාන්තර හෙක්ටයාර 16,922 ක් ඉවත් කර තිබේ. මේ වසර වන විට එම අගය තවත් කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇත. මේ සඳහා ප්‍රධාන හේතු සාධක ය තේ වගා බිම් ඇති කිරීම ය.

    මෙරට දේශීය නොවන වාණිජ වගාවන් ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි්‍රතාන්‍යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්‍රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි්‍රතාන්‍යයන් විසින් කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර ඇති අතර අලි – ඇතුන් ජීවත් වූ තෙත් කඳුකර වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර එම සතුන් තෙත් කලාපයෙන් වඳ කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබී ඇත. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.

    default

    මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරින. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර, උප කඳුකර හා පහතරට තෙත් කලාපීය වනාන්තර විශාල ප්‍රතිශතයක් එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේතුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

    වැසි වනාන්තර එළි කරමින් ඇති කරන තේ වගා බිම් හරිත පැහැ කාන්තාර (ඨරුැබ ෘැිැරඑ) වැනි ය. එහි ජීවී විවිධත්වය ඉතා ම පහළ අගයක පවතී. තේ වගා බිම්වලට භාවිත කරන අධික කෘෂි රසායනික හේතුවෙන් හා ශාක ස්ථර නොමැති වීමෙන් මෙම වගා බිම් ජීවී විවිධත්වයෙන් අඩු කාන්තාර තත්ත්වයට පරිවර්තනය වේ. මේ නිසා හරිත පැහැයෙන් යුත් තේ වගා බිම් හරිත කාන්තාර ලෙස හැදින්විය හැකි ය.

    මේ නිසා වනාන්තර පද්ධති ආශ්‍රිත ව තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හුදෙකලා වූ වනාන්තර කුට්ටි ඇති වන අතර එම වනාන්තර කුට්ටි අතර තේ වගා බිම් තුළින් බොහෝ ජීවීන් ගමන් නොකරයි. මේ නිසා ජීවී ගහනයන් වනාන්තර කුට්ටි තුළ හුදෙකලා කිරීමට ද තේ වගා බිම් හේතු වේ.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් ම දායක වන්නේ වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට අයත් විශාල තේ වගා බිම් ය. සුළු පරිමාණ තේ වගා බිම් පවත්වාගෙන යන බොහෝ ග්‍රාමීය ජනතාව බහු බෝග වගා බිමක් ලෙස තේ වගා බිම් පවත්වා ගෙන යනු ලැබේ. ග්‍රාමීය ජනතාව ගේ තේ වගා බිම් තුළ හා ඒ වටා බොහෝ ශාක විශේෂ වගා කරනු ලැබේ. කුරුදු, කෝපි, ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි, පුවක්, පොල්, වල්ලපට්ටා හෙවත් අගාව්‍රඩ් වැනි වාණිජමය භෝගවලට අමතර ව කොස්, දෙල්, කරපිංච, ගොරකා, කටුඅනෝදා, කෙසෙල්, දූරියන් වැනි ශාක විශේෂ බොහොමයක් වගා කෙරේ.

    ඊට හේතු ව ග්‍රාමීය ජනතාව ගේ කුඩා වගා බිමකින් උපරිම ඵලදායීතාවය ලබා ගැනීමට හා විවිධ ආදායම් මාර්ග විවෘත කර ගැනීමට මෙන් ම ආහාර ස්වෛරීභාවය ඇති කර ගැනීම සඳහා ය. නමුත් තේ වගා බිම් පවත්වා ගෙන යන වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙවැනි වගා බිම් පවත්වා ගෙන යාමට අවශ්‍ය නැත. එපමණක් නොව තේ පර්යේෂණායතනය විසින් නිර්දේශ කරන්නේ ද ඒක බෝග වගාවක් ලෙස තේ වගා බිම් ඇති කිරීම ය.

    මේ නිසා තේ වගා බිම් පාරිසරික ගොවිතැනේ සංකල්ප හා කෘෂි වන වගාවේ සංකල්ප මත පදනම් ව ගොඩනැගීම තුළින් භූමියේ ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් ජීවී පද්ධතියක් බවට පත් කළ හැකි ය. එවිට තේ වගා බිම්වලින් ආදායම් උත්පාදන මාර්ග බොහොමයක් විවෘත වීම, ආහාර අවශ්‍යතාව සැපිරීම, පාංශු ඛාදනය අවම වීම, බාහිර යෙදවුම් සඳහා යන පිරිවැය අවම වීම තුළින් වැඩි ලාබයක් ලබා ගත හැකි වීම, ජල සුරක්ෂිතතාව ඇති වීම, වනාන්තර කුට්ටි ජාල ගත වීම තුළින් වනාන්තර පද්ධති ඇති වීම, කාලගුණික හා දේශගුණික විපර්යාස වලින් ඇති වන බලපෑම් සහ ආපදා තත්ත්වයන් අවම වීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි ය.

    එපමණක් නොව හරිත කාන්තාර තත්ත්වයේ පැවති තේ වගා බිම් ස්වභාවීකරණයට ලක් වීම තුළින් බොහෝ ජීවීන් ගේ පැවැත්ම තහවුරු වීම ද සිදු වනු ඇත. මේ සියලූ ම ප්‍රතිලාභ තුළින් එක ම වගා බිමක් තුළ විවිධ ආදායම් උත්පාදන මාර්ග ගොවීන්ට විවර වීම හේතුවෙන් තවදුරටත් වනාන්තර එළි කරමින් සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීම නතර කළ හැකි ය. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට බලපෑම් කළ යුතු ය. ඒ තුළින් තේ වගා බිම්වල වහල් කම්කරු සේවය වෙනුවට සුළු පරිමාණ නිෂ්පාදකයෙක් බිහි කළ යුතු ය.

  • පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීන් බෙදා ගනී

    පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීන් බෙදා ගනී

    ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා බිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර 50 ක් පමණ රජයේ නිලධාරීන් හා දේශපාලඥයන් විසින් නීති විරෝධී ව බෙදා ගෙන තිබේ. හැඩ ඔය මෝය ආශ්‍රිත ව වෙරළ සීමාවේ මෙම වනාන්තර ඉඩම් පිහිටා ඇති අතර අලි – ඇතුන් හා කොටින් බහුල ව ජීවත් වන ප්‍රදේශයක වනාන්තර ඉඩම් මේ ආකාරයෙන් බෙදා ගෙන තිබේ. මෙම ඉඩම් ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජේ. එස්. ඩී. එම්. රවීන් නිරෝෂන් කුමාර හෙවත් සිල්වා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පානම හිටපු බීට්ටු වන නිලධාරී කපිල බණ්ඩාර ලංසක්කාර, අම්පාර හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. ඩී. එම්. අසංග අබේවර්ධන, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ඉඩම් නිලධාරී නිශාන්ත සිල්වා, පානම මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී එස්. එම්. රත්නපාල, පානම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිශාන්ත සුසිරිපාල, පානම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් හෙන්දිරික් අප්පු ආරියසේන යන අය විසින් ඔවුන් ගේ ඥාතීන් ගේ නම්වලට මෙම ඉඩම් වෙන් කර ගැනීම සිදු කර තිබේ. මීට අමතර ව පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතනුවන් විසින් ද මෙම ප්‍රදේශයේ පමණක් නොව කුඩුම්බිගල – පානම අභය භූමිය මායිමේ පානකල කලපුව අසල පිහිටි ඉඩම් හෝටල් ඉදි කිරීම සඳහා වෙන් කර ගෙන ඇත.

    මෙසේ වෙන් කර ගත් සමහර ඉඩම් වෙනත් පුද්ගලයන්ට පවරා ඇති අතර මේ වන විට එම ඉඩම්වල විදුලි වැටවල් සකස් කර සංචාරක හෝටල් ඉදි කරමින් පවතී. මීට අමතර ව මෙම ප්‍රදේශයේ වෙරළ කලාපයේ හා ඒ ආශ්‍රිත ව පිහිටි වනාන්තර ඉඩම් සම්පූර්ණයෙන් ම ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් නීති විරෝධී ව එළිපෙහෙළි කර වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මේ හේතුව නිසා අලි – අතුන් ගේ සංක්‍රමණික මාර්ග සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ සියලු ක්‍රියාවන්ට එරෙහි ව ශාස්ත්‍රවෙල පදිංචි ව සිටි කාන්තාවන් විරෝධතාව දැක්වීම සඳහා දින 42 කට වැඩි කාලයක් එම ප්‍රදේශයේ කඳවුරු බැද රැදී සිටී.

    පානම ඉඩම් කොල්ලයේ ඉතිහාසය

    උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 හා 2010 වසර වල නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත පානම ප්‍රදේශයේ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ සතු කර ගැනින. පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මාන වල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක භූමියක් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනින. ඒ අනුව ශාස්ත්‍රවෙල හා රාගම්වෙල ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ඉඩම් නාවික හමුදාවේ භාරයට පත් විය. මේ ප්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රදවා ගෙන තිබේ.

    2009 වසරේ දී නාවික හමුදාව විසින් එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ජනතාව ගේ වගා බිම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර බිම් හා පුරාවිiා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශ වලට අයත් ඉඩම් රණවිරු ගම්මානයක් ඉදි කිරීමට යැයි සඳහන් කරමින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනි. නමුත් 2010 වසරේ දී මේ ප්‍රදේශය නාවික හමුදා කඳවුරක් ඉදි කරන බවට සඳහන් කරමින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇත.

    වර්තමානය වන විට මේ ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි මෙන්ම සංචාරක හෝටලයක් ද පානම කලපුවේ ඉදි කර තිබේ. එය “පානම ලැගුන් කබානා” නමින් මේ වන විට සංචාරක කටයුතු වලට නාවික හමුදාව විසින් යොදා ගනු ලැබේ.

    2010 වසරේ දී රාගම්වෙල හා ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ නිවාස හා වගා බිම් වලට නාදුනන පිරිසක් විසින් ගිනි තබා බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් අනතුරු ව පොතුවිල් පොලීසියේ පාලනයට එම ප්‍රදේශ පත් විය. ඉන්පසු ජනතාවට එම ප්‍රදේශයට ඇතුළු වීමට වසරක පමණ කාලයක් තහනම් කර තිබූ පොතුවිල් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාවේ පාලනයට යටත් කර තිබේ. මේ වන විට ගුවන් හමුදාව විසින් එම ප්‍රදේශයේ ඉදි කිරීම් කටයුතු සිදු කර තිබේ.

    මේ ආකාරයෙන් පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙනි. එසේ අහිමි කළ පානම ජනතාවගේ ඉඩම් අයිතිය පසුව බලයට පත් වූ යහපාලන ආණ්ඩුව පැවති සමයේ ද ඒ ආකාරයෙන් ම වර්ධනය කර පවත්වා ගෙන යාමෙන් ජනතාව ගේ බලාපොරොත්තු සියල්ල අහිමි විය.

    මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ආරම්භ කළ පසුව බලයට පත් වූ ආණ්ඩු අඛණ්ඩ ව පවත්වා ගෙන ගිය මේ අමානුෂික ඉඩම් කොල්ලය හමුවේ පානම ජීවත් වෙමින් වගා කටයුතු වල හා ධීවර කටයුතු වල නිරත පවුල් 350 ක් පමණ වසර 12 ක කාලයක් තිස්සේ අවතැන් ව සිටී. කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන මෙන් ම ධීවර කර්මාන්තය මේ ප්‍රදේශයේ ජනතාව ගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ග විය. ඒ සියල්ල මේ වන විට නිසි පරිදි කර ගෙන යාමට නොහැකි වී ඇත.

    ලංකාවට පැමිණෙන විදේශීය නායකයන්ට හා ප්‍රභූවරුන්ට විවේකය ගත කළ හැකි නිවාඩු නිකේතනයක් ගොඩනැගීම මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණ විය. නමුත් මේ තත්ත්වය වසං කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යැයි පවසමින් පානම ඉඩම් කොල්ලයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමට ද ක්‍රියා කෙරිනි. ඒ අනුව ලාහුගල හිටපු ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න මහතා විසින් 2013.05.14 වන දින රජයේ දෙපාර්තමේන්තු වලට ඉඩම් ලබා දීමේ ලේඛනය භාවිත කර එවකට ජනාධිපති කාර්යාලයේ බලයලත් නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විජේවර්ධන මහතාට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර 66.1116 ක් නැතහොත් අක්කර 164 ක භූමියක් නීති විරෝධී ව පැවරීම සිදු කෙරින. මීට අමතර ව වෙනත් කිසිදු භූමියක් මෙලෙස පවරාගෙන නොමැත.

    නමුත් ජනාධිපති කාර්යාලයට පැවරූ භූමිය ඇතුළු ව ජනතාව ගේ සියලු ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නාවික හා ගුවන් හමුදාව භාරයේ තබා ගෙන ඒ වටා විදුලි වැටවල් ද ඉදි කර වෙන් කර ගෙන තිබේ. මේ නිසා ගොවි ජනතාවට හා ධීවර ජනතාවට පමණක් නොව අලි – ඇතුන්ට ද වාසස්ථාන අහිමි වී ඇත. මේ සියල්ල සිදු කර ඇත්තේ ලංකාවේ ඉඩම් නීති හා පාරිසරික නීති සියල්ල උල්ලංඝනය කරමිනි.

    අණපනත් උල්ලංඝනය කිරීම

    මේ වන විට රජයට අයත් වනාන්තර ඉඩම් රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් අත්පත් කර ගෙන එළිපෙහෙළි කිරීමට ලක් කරන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමිනි. මේ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ වනාන්තර බිම් එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, අනවසරින් රජයේ ඉඩම් වෙන් කර ගැනීම, ඉදි කිරීම් කටයුතු කිරීම, ඉඩම්වලට පිවිසීම සඳහා මාර්ග තැනීම, විදුලි වැටවල් ඉදි කිරීම, හෝටල් ඉදි කිරීම හා ඉඩම් මායිම් කිරීම යන ක්‍රියා තහනම් වේ. එම වගන්තියට අනුව මෙම නීති විරෝධී ක්‍රියාවක නිරත වීම සඳහා ආධාර හා අනුබල ලබා දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයකු හෝ එම ක්‍රියා වල නිරතවන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට වසර 2ක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 5000 කට නොඅඩු හා රුපියල් 50,000 කට නොවැඩි දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව අදාළ වනාන්තරයට සිදු කරන ලද හානිය වෙනුවෙන් වන්දියක් ලෙස අධිකරණය නියම කරන දඩයකට පවා යටත් කළ හැකි ය. නමුත් මේ නීති රීති සියල්ල පානම ඉඩම් කොල්ලය හමුවේ අභියෝගයට ලක් වී ඇත.

    වෙරළ කලාපය තුළ පිහිටි වනාන්තර එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කර ගෙන ඇත්තේ 2011 අංක 49 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතට අනුව වෙරළ කලාපය තුළ යම් සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ප්‍රථමයෙන් පනතේ 14 වන වගන්තියට අනුව ඉල්ලීම් කළ යුතු ය. ඒ අනුව පනතේ 16 වන වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අදාළ ව්‍යාපෘතිය සඳහා 17 වන වගන්තියට අනුව කොන්දේසි සහිත අවසරය ලබා දීම සිදු කරනු ලැබේ. එම කොන්දේසි වලට යටත් ව සංවර්ධන ව්‍යාපෘතිය වෙරළ කළාපය තුළ ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් පානම ප්‍රදේශයේ වෙරළ කලාපය තුළ සිදු කළ හෝටල් ඉදි කිරීම ඇතුළු සියලු සංවර්ධන කටයුතු මෙන් ම අද වන විට සිදු කර ඇති ඉඩම් වෙන් කිරීමේ කටයුතු සියල්ල මෙම වගන්ති උල්ලංඝනය කරමින් සිදු කර තිබේ.

    වෙරළ කලාපයට හෝ එහි සම්පත්වලට අලාභානි සිදු කරමින් සංවර්ධන කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පනතේ 24අ වගන්තියට අනුව කටයුතු කළ හැකි ය. මේ වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම සංවර්ධන කටයුතු අත්හිටු විය හැකි ය. මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පැහැර හරිමින් දිගින් දිගට ම සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එය පැහැර හරින එක් දිනකට රුපියල් 10000 බැගින් වූ දඩයකට හා උසාවියකට අපහස කිරීමට එරෙහිව ද කටයුතු කළ හැකි ය. නමුත් මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු නිලධාරියකු මැදිහත් වී නොමැත.

    පානම ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම මෙන් ම අද වන විට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් එක් ව එම බලහත්කාරයෙන් වෙන් කර ගැනීම ද දණ්ඩ නීති සංග්‍රහයේ 372 වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් සිදු කර තිබේ. එම වගන්තියට අනුව යම් දේපලක් යම් තැනැත්තෙකුට පාඩු සිදු කරමින් හෝ බියකර ලබා ගැනීම බලෙන් ලබා ගැනීමකි. එවන් ක්‍රියාවක නිරත වූ පුද්ගලයෙකු අවුරුදු 3 ක් දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මූලික අයිතිවාසිකම් අහිමි කිරීම

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ 11 වන වගන්තිය අනුව කිසිදු තැනැත්තෙකු වද හිංසා වලට ලක් නොකළ යුතු බව සඳහන් වේ. 12 වන වගන්තියට අනුව නීතිය පසිදලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම මෙන් ම නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු බවත් 14 වන වගන්තියට අනුව නිත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ නිදහස හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස තිබිය යුතු බවත් සඳහන් කර ඇත. පානම ප්‍රදේශයේ ජනතාව ගේ මේ මූලික අයිතිවාසිකම් සියල්ල ම ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් විසින් අහිමි කර ඇත. ඔවුන් නිරත වූ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඔවුන්ට අහිමි කර ඇත. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයට යාමේ හෝ එහි ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. එපමණක් නොව නිදහසේ ජීවත් වූ ජනතාව වද හිංසනයට ලක් කර තම නිජබිම් වලින් බලහත්කාරයෙන් පලවා හැර නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත. ඊට එරෙහිව නීතියේ රැකවරණය සර්ව සාධාරණ ව මේ ජනාවට හිමි වී නොමැත.

    මේ සියලු අයිතිවාසිකම් අහිමි වූ පානම ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පානම පත්තුව සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් ගොඩනගාගෙන ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අංක ්‍යඍක්‍රැ්ඵරැ105රැ10රැඊරැධඔ යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මීට වසර කිහිපයකට පෙර ය. ඒ පිළිබඳ ව පරීක්ෂා කළ මානව හිමිකම් කොමිෂම මේ ජනතාවගේ ඉල්ලීම් සියල්ල සාධාරණ බවත් මේ නිසා ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත් වීමේ අයිතිය තහවුරු කර දියයුතු බවත් නිර්දේශ කෙරින.
    නමුත් ආරක්ෂක අංශ හා ලාහුගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල නිලධාරීන් මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර නොගත්තේ මේ ඉඩම් අත්පත් කර ගැනීම කුමන කාර්යයක් සඳහා සිදු කරනු ලැබූවේ ද යන්න ඔවුන් නිවැරදි ව දන්නා නිසා ය.

    පාරිසරික වටිනාකම් අහිමි කිරීම

    නාවික හමුදාව හා ගුවන් හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති රාගම්වල හා ශාස්ත්‍රවල එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප්‍රදේශ තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර හා කඩොලාන වනාන්තර ඒ අවට පිහිටි ආරක්ෂිත වනාන්තර ජාලය හා ඒකාබද්ධ ව තිබේ. ඒවා එකිනෙකට ක්‍රමවත්ව සම්බන්ධ වී ඇත. මේ ප්‍රදේශ ආසන්නයේ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩුම්බිගල – පානම අභය භූමිය පිහිටා ඇත. මෙම දෙපාර්තමේන්තුව යටතේ ම පාලනය වන කුමන ජාතික වනෝiානය ඒ ආසන්නයේ ම පිහිටා තිබේ. කුමන ජාතික වනෝiානය, යාල ජාතික වනෝiානය හා සම්බන්ධ වී තිබේ. මීට අමතර ව වන සංර්ක්ෂණ දෙපාර්මේන්තුව යටතේ පාලනය වන කුඹුක්කන වන රක්ෂිතය හා රජයේ වනාන්තර බිම් මේ ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටා තිබේ. එම වනාන්තර ප්‍රදේශ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලාහුගල – කිතුලාන ජාතික වනෝiානය හා සම්බන්ධ ව පවතී. මේ ආකාරයෙන් පානම ප්‍රදේශයේ වෙරළ කලාපයේ සිට රට තුළට අඛණ්ඩ ව විහිදුනු ආරක්ෂිත වනාන්තර පද්ධතියක් පිහිටා තිබේ. මේ නිසා මේ ප්‍රදේශයේ අලි – ඇතුන් ඇතුළු ව සියලු ජෛව ප්‍රජාවට ඛණ්ඩනය නොවූ වාසස්ථාන පද්ධතියක් හිමි ව තිබේ. ඒ හේතුවෙන් අතීතයේ දී මේ ප්‍රදේශවල ජනාවාස ආශ්‍රිත ප්‍රදේශ වනසතුන් ගේ උවදුරුවලින් ආරක්ෂා වී පැවතුණි.

    බලහත්කාරයෙන් අත්පත් කර ගත් භුමි ප්‍රදේශ ආශ්‍රිත ව පිහිටන කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝiානය ඒකාබද්ධ ව තෙත්බිම් පද්ධතියක් ලෙස ලංකාවේ ජාත්‍යන්තර ව වැදගත්වන රැම්සා තෙත්බිම් හය අතුරින් එකක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ ප්‍රදේශය ජාත්‍යන්තරව අවධානයට ලක් වීමට ප්‍රධාන හේතුව සංක්‍රමණික පක්ෂීන් ඇතුළු තෙත් බිම් ආශ්‍රිත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන තෙත් බිම් පද්ධතියක් ලෙස මෙම ප්‍රදේශය වෙරළ කලාපය තුළ ව්‍යාප්ත ව පැවතීම ය.

    ලෝකයේ ජීවත් වන සාගරවාසී කැස්බෑ විශේෂ අට අතුරින් ලංකාවේ මුහුදු තීරයට බිජුලෑම සඳහා පැමිණෙන කැස්බෑ විශේෂ පහෙන් විශේෂ තුනක් පානම ආශ්‍රිත ප්‍රදේශයට බිජුලෑම සඳහා පැමිණේ. එනම් ගල් කැස්බෑව, බටු කැස්බෑවා හා දාර කැස්බෑවා ය. මේ විශේෂ තුන ම 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති විශේෂ වේ. මේ සතුන් වෙරළ තීරයේ, වෙරළබඩ ශාක ප්‍රජාව හා කඩොලාන ආශ්‍රිත ප්‍රදේශවල බිජුලෑම සිදු කරයි. මේ ඉඩම් කොල්ලය තුළින් මෙම සතුන්ට ජීවත් වීමට ඇති අයිතිය ද අහිමි කර ඇත.

    ක්‍රියාත්මක නොවූ කැබිනට් තීරණය

    පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් දිගින් දිගට ම තම අයිතිවාසිකම වෙනුවෙන් කරන ලද අරගලයේ ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනාධිපතිවරයා ගේ හා අගමැතිවරයා ගේ මැදිහත්වීම මත 2015.02.11 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කෙරුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්කර 25 ක් හැර ඉතිරි ඉඩම් සියල්ල ජනතාවට ලබා දීමට පියවර ගත යුතු බව ය. නමුත් මෙය සැබෑ තීරණයක් ද? එසේ නැතිනම් ජනතාව මුලා කිරීමක් ද? යන්න පැහැදිලි වන්නේ වර්තමාන ක්‍රියාකාරීත්වයත් සමඟ ය.

    ගුවන් හමුදාව රාගම්වෙල හා ශ්‍රාස්ත්‍රවෙල ප්‍රදේශයේ ඉඩම් අක්කර 365 ක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින අතර ඉන් අක්කර 25 ක් ගුවන් හමුදාවට ලබා දුන් පසුව ඉතිරි ඉඩම් ප්‍රමාණය අක්කර 340 කි. මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 50 ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ කැලෑ බිම් වේ. එම කැලෑ ප්‍රදේශය රාගම්වෙල වැවේ ජලපෝෂක ප්‍රදේශ වන අතර වැව හා මුහුද අතර පිහිටි වනාන්තර ප්‍රදේශයකින් හා වැලි කඳු වලින් සමන්විත වේ. මෙම භූමිය හැර ඉතිරි බිම් ප්‍රදේශය එහි ජීවත් වූ පවුල් 105 කට ලබා දෙන ලෙස පදිංචි ව සිටි ජනතාව අද වන විට ඉල්ලා සිටී.

    කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසුව වසර අටකට වැඩි කාලයක් ගත වී ඇතත් එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කීරීමට තව ම නොහැකි වී ඇත්තේ මෙම ඉඩම් ජනතාවට ලබා දීමට සැබෑ උවමනාවක් නොමැති නිසා ය. කැබිනට් තීරණයට අනුව කටයුතු කර ජනතාවට අයිති ඉඩම් ඔවුන් වෙත ලබා දීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා මේ වන තුරුත් ක්‍රියා කර නොමැත්තේ ද ඒ නිසා ය. කැබිනට් තීරණයට අනුව ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතු වුවත් ජාතික භෞතික සැලැස්මට අනුව පානම ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බැවින් මේ ඉඩම් නැවත ජනතාවට ලබා දීමට පියවර නොගනිමින් සිටී. නිලධාරීන් හා දේශපාලඥයන් ඒ පිළිබඳ ව ඇති දැනුවත් වීම මත ජනතාවට ඉඩම් ලබා දීමට ක්‍රියාමාර්ග නොගෙන වරින්වර ජනතාව මුලා කරමින් එම ඉඩම් ඔවුන් විසින් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටී.

    මේ තත්ත්වය තවදුරටත් තහවුරු වූයේ 2015 ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සමයේ දී පානම ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා දේශපාලන මැදිහත්වීම ලබා දීමට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය දයා ගමගේ විසින් යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනතාව ගේ ඉඩම් හා ජීවත් වීමේ අයිතිය උකසට තබා මේ ප්‍රදේශයේ මහ පරිමාණ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමෙනි. එපමණක් නොව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතණුවන් ද මෙම ඉඩම් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටින්නේ මෙම ඉඩම්වල අනාගත වටිනාකම දන්නා නිසා ය.

    මේ සියල්ල මත අප අවධාරණය කරන්නේ භූමියේ අයිතිය ඇත්තේ එම භූමිය මත ජීවත් වූ මිනිසුන්ට හා ජෛව ප්‍රජාවට බව ය. එම අයිතිය ඔවුන්ට අහිමි කිරීමට හැකියාවක් කිසිවෙකුට නොමැත. මේ නිසා පානම ජනතාව ගේ පමණක් නොව උතුරු – නැගෙනහිර සියලු ජනතාව ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා අප ගේ මැදිහත්වීම ලබා දිය යුතු ව ඇත්තේ මේ නිසා ය.


  • හඳුනාගන්න නාකෙළගනේ ඉඩම් කොල්ලයේ කොටස් කරුවන් කීප දෙනකු

    හඳුනාගන්න නාකෙළගනේ ඉඩම් කොල්ලයේ කොටස් කරුවන් කීප දෙනකු

    වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි යන සිවුරු ඇඟලාගත් මේ පුද්ගලයන් දෙදෙනා ප්‍රභූ, දේශපාලන රැකවරණ ඇතිව දැවැන්ත ඉඩම් කොල්ලයක නිරත වෙමින් සිටිනවා. දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් ඉඩම් අක්කර 5400 වැඩි ප්‍රමාණයක් මොවුන් විසින් විවිධ ව්‍යාපාරික පුද්ගලයන්ට සහ සමාගම් වලට බදු දීමේ ජාවාරම පිළිබඳව මීට ඉහත දීත් හෙළිදරව් කලත් ඒ පිළිබඳව පියවර ගතයුතු බලයලත් ආයතන හෝ නිලධාරීන් වගේ වගක් නැතිව තවමත් සිටීම මෙය පිටුපස ඇති දේශපාලන බලපෑමේ ප්‍රමාණය හඳුනා ගැනීමට ඇති හොඳම සාධකයයි.

    ජනවාරි 10 වෙනි දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සජීව චාමිකර , සුපුන් ළහිරු ප්‍රකාශ් ඇතුළු පිරිස නැවත වතාවක් මේ විනාශය පිළිබඳව ජනතාවට මතක් කර දීමක් සිද්ධ කරනු ලැබුවා. සීයට දාසයකට දිය වී ගොස් තිබෙන අපගේ වනාන්තර පද්ධතිය එතනිනුත් පහලට දියවී යන්නේ නම් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ හෙට දවස පිළිබඳව මීට වඩා වෙනස් ආකාරයකින් සිතා බලන්නට සිද්ධ වෙනවා.

    තවදුරටත් පරාටේ බලය දරමින් සිටින්නේ ඔක්සිජන් කන්නදැයි ඇසූ නින්දිතයන් ගෙන් සමන්විත පිරිසකි. ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා මේ රට මේ ආකාරයෙන් විනාශ කරපු පතරයන් සන්ධානගත වී බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන වලට බලය ලබා දීමට සූදානම්ව සිටින ජනතාවට අපි මතක් කර දෙන්නේ කරුණාකර ඔබගේ ඡන්දය ලබාදීමට ප්‍රථම මොවුන් මේ රටට කර ඇති විනාශය පිළිබඳව උකුනු මොළයක් තරමට හෝ සිතා බලන්නට කියයි.

    නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස හඟවමින් කොල්ල කන සමස්ථ වනාන්තර පද්ධතිය ම මුළු රටටම අයත් සම්පතකි. මෙය විනාශ කිරීමට වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි යන සිවුරු ඇඟලාගත් මේ පුද්ගලයන් දෙදෙනාට සහාය දෙමින් සිටින්නේ කවුරුන්ද යන්න ඔබ තහවුරු කරගත යුතුයි.

    මොවුන් මේ ඉඩම් කොල්ලේ ප්‍රධාන සැකකරුවන් ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ
    පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු
    ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු
    විමල් වීරවංශ ගේ ලේකම්වරයකු
    අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්
    ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී ,ප්‍රාදේශීය

    මෙය ඉඩම් කොල්ලයේ මහමොළකරු වන වලත්වැව රාහුල නැමැත්තාට ව්‍යාජ සන්නසක් සකසා දීමට කටයුතු කර වර්තමානයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසිනි. අද පැවැති මාධ්‍ය හමුවේ දී සජීව චාමිකර ප්‍රකාශ කර සිටි අදහස් වලින් ගම්‍ය වෙන්නේ මේ මහා ඉඩම් කොල්ලය වලක්වාලීම සඳහා අවශ්‍ය නීති රීති ඕනාවට වඩා තිබෙන අතරම ඒවා කිසිවකට යටත් නොවී මේ ක්‍රියාවලිය ඉදිරියට ගමන් කිරීම තා හාස්‍යජනක සිදුවීමක් බවයි.

    මෙම ඉඩම් කෙල්ලෙ වගඋත්තරකරුවෙකු වෙලා ඉන්නවා සුප්‍රකට පාදෙණිය දොස්තරවරයා. මේ පදෙනිය මොනතරම් සුප්‍රකට ද කියනවා නම් නාකෙළගනේ රජ මහ විහාර ඉඩම් කොල්ලයට ඔහු සම්බන්ධ බව හෙළිදරව් වූවායින් පසුව ඔහුගේ ගස්ලබු වගාව ඉවත් කරගෙන ඒ හෙළිදරව් කළ පුද්ගලයන්ට කීර්තිනාමය පළුදු වූ වා යැයි කියමින් නඩු පවරා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ සමඟ කාබනික පොහොර ‍ නාඩගම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ පුද්ගලයන් අතර මොහු ප්‍රධාන පෙළ පුද්ගලයෙකි. ඒ අමන ක්‍රියාවලිය හරහා රටේ කෘෂි කර්මාන්තයට මෙන්ම ආර්ථිකයට සිදු වෙච්ච හානියට වගකිවයුතු ප්‍රරමුඛ පෙළයන් අතර මොහු සිටින බව අප අමතක කළ යුතු නැහැ. රාජපක්ෂලා සමග මේ රට අනාථාගාරයක් බවට පත් කරන්නට සැලසුම් සකස් කළ පුද්ගලයන් අතර ද පාදෙනිය ප්‍රමුඛයෙකි.

    මේ නීති විරෝධී ඉඩම් කොල්ලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව කථා කරද්දී තවත් පුදුමයට පත්වන කරුණක් පිළිබඳව සජීව චාමිකර හෙළිදරව් කරනවා. ඒ තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් පවා මේ පුද්ගලයන් විසින් විවිධ පුද්ගලයන්ට සහ සමාගම් වලට බදු කොන්ත්‍රාත් මත පවරා දී තිබෙන බව. මේ වංචනික ලෙස නින්දගම් ඉඩම් ලෙස හුවා දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වලත්වැව රාහුල නැමැත්තා පවරාගෙන පෞද්ගලික පරිහරණයට ගනිද්දී ඊට එරෙහිව ීතිය ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ට නොහැකි වෙන්නේ කුමන පදනමකින්ද කියන ප්‍රශ්නය අපට අහන්න සිද්ධ වෙනවා.

    මේවා නින්දගම් ඉඩම් නම් ඒවාට අදාළ පැවරුම් සහතික නොමැත්තේ ද? ඒවා ව්‍යාජ ඒවා නම් ඒවා හඳුනා ගැනීමට මොවුන්ට නොහැකිද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් සිතියම් ගත කර නැද්ද? එවැනි බොහොමයක් ප්‍රශ්න අපට නගන්න පුළුවන්. නමුත් මේවට පිළිතුරු දීමට හැකි වෙන්නෙත් ඒ ආයතන වල වැඩ කරන නිලධාරීන්ට වන හෙයින් ඒ ලබාදෙන පිළිතුරු නැවත නිවැරදි ද කියලා විශ්වාසයෙන් යුතුව බලන්නත් අපිට සිද්ධ වෙනවා, මේ රට තුළ නීතිය පිළිබඳ කිසිදු විශ්වාසයක් රටවැසියාට තහවුරු කර නොමැති හෙයින්.

    ඉහත ගැටලු සියල්ල තිබෙන හෙයින් සජීව චාමිකර ප්‍රකාශ කරන කරුණුවලට අනුව අපට පැහැදිලි වෙන්නේ ඔවුන් මේ පිළිබඳව කළ පරීක්ෂාව වලට අනුව මේවා කිසිදු හෙයකින් නින්දගම් ඉඩම් බවට පත් වී නොතිබුණු බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ රජයට අයිති ඉඩම් වංචනික ලෙස මේ චීවරධාරියා පවරාගෙන ඇති බවයි. මේ අනුව බලන විට මේ ඉඩම් කොල්ලය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවලියක් නොවන බව ඉතා පැහැදිලිය ඉහත අපි සඳහන් කර තිබෙන දේශපාලකයින්ගේ සහ නිළධාරීන්ගේ පූර්ණ අනුග්‍රහය සහිතව මේ වංචනික චීවරධාරියාට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වී තිබෙනවා.

    මේ මහපොළොව අපි කාටත් අයිතියි . අපිට හුස්ම ටික දෙන්නේ මේ මහ පොළොව මත හිටගෙන ඉන්න ගස්. මේ ගහ කොළ කපා කොටා බිම හෙලා එකෙක් දෙන්නෙක් ගේ බඩගෝස්තරය තරකර ගැනීම සඳහා විනාශ කර දමන තුරු බලා සිටින්නට ඔබට අයිතියක් නැත. ඔබ ඔය නිහඬව බලා සිටින්නේ ඔබගේ පණ කෙන්ද ටිකෙන් ටික උදුර ගන්නා ඔබගේම ගහලා දෙසය. අප ඔබට කියන්නේ ඔබ ඔබ වෙනුවෙන් පෙනී සිටින්න අවැසිය . මේ නරුම ක්‍රියාවලියට එරෙහිව අත්වැල් බැඳ ගත යුතුය. ආපස්සට හැරවීමට සටන් කළ යුතුය.

    අද පැවති මාධ්‍ය හමුව

    නාකෙළගනේ රජ මහ විහාරයට අයත් යැයි පවසන වනාන්තර ඉඩම් විනාශ කර තිබෙන අයුරු

  • නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් අලි – මිනිස් ගැටුම හා ජල අර්බුධ උග්‍ර වේ .

    නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් අලි – මිනිස් ගැටුම හා ජල අර්බුධ උග්‍ර වේ .

    වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව වගා බිම් අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක කරයි. මේ ජාවාරම සඳහා දේශපාලන රැකවරණය චමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු හා විමල් වීරවංශ ගේ ලේකම්වරයකු විසින් ලබා දෙන අතර අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ඉඩම් ජාවාරම සඳහා නීතිමය රැකවරණය ලබා දේ.

    වර්තමානයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසින් වලත්වැව රාහුල හිමියන්ට මෙම ඉඩම් ජාවාරම සඳහා ව්‍යාජ සන්නසක් සකසා දී ඇති අතර එය භාවිත කර මෙම දැවැන්ත ඉඩම් ජාවාරම සිදු කරනු ලැබේ.

    ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අවසාන ගම් සිතියම් පරීක්ෂා කිරීමේ දී තහවුරු වූයේ සන්නස් ඉඩම් මෙම ප්‍රදේශයේ නොමැති අතර සියලු ඉඩම් රජයට අයත් වන බව ය. මේ සියලු තොරතුරු දන්නා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරීවරුන් විසින් සැබෑ තොරතුරු ජනතාවගෙන් සඟවා වලත්වැව රාහුල හිමිට හා වලත්වැව සුනන්ද හිමිට මෙම ඉඩම් ජාවාරම අඛණ්ඩ ව සිදු කිරීමට සහය ලබා දේ.

    ඩෙල්මෝ සමාගම හා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු බොහෝ පිරිසක් ඉඩම් ලබා ගෙන
    වලත්වැව රාහුල හිමියන් ගල්කඩවල මහා විහාරය, නාකොළගනේ පුරාණ රජ මහ විහාරය, අතරගල්ල ශ්‍රී විජයාරාමය, කෝන්වැව විහාරය හා දේවගිරිපුර විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති ධූර දරමින් අතරගල්ල ශ්‍රී විජයාරාමයේ වැඩ වාසය කරන අතර රාහුල හිමියන් ගේ බෑණනුවන් වන වලත්වැව සුනන්ද හිමි නාකෙළගනේ පුරාණ රජමහ විහාරයේ වැඩ වාසය කරයි.

    වලත්වැව රාහුල හිමි අතරගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ උප විදුහල්පති ලෙස කටයුතු කළ සමයේ දී පාසැලට අයත් අක්කර දෙකක භූමියක් ඩෙල්මෝ සමාගමට අඹ වගා කිරීම සඳහා බදු දී තිබේ. මීට අමතර ව නාකොළගනේ පුරාණ රජමහ විහාරයට අයත් අක්කර 20 ක භූමියක් ද ඩෙල්මෝ සමාගමට බදු දී ඇති අතර එම විහාර භූමියේ මෙම සමාගම විසින් අඹ වගා කර තිබේ.

    නාකොළගනේ එක්සත් මරණාධාර සමිතියේ සභාපති ජයකොඩි ආරච්චිලාගේ සියාතුහාමි නැතහොත් ආරියපාල විසින් පාලුකඩවල වැවේ ඉහත්තාවේ අක්කර 5 ක භූමියක් නීති විරෝධී ව වගා කරන අතර විවිධ ව්‍යාපාරිකයන්ට රජයේ වනාන්තර ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය රාහුල හිමියන් හා එක් ව සම්බන්ධීකරණය කිරීම මොහු විසින් සිදු කරයි.

    අඹන්පොල පොලීසියේ ස්ථානාධිපති විසින් කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ කොණ්ඩගල කන්ඳ වටා පිහිටි අක්කර 8 ක වනාන්තර භූමියක් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදි කිරීම සඳහා ලබා ගෙන ඇත්තේ ද ආරියපාල ගේ සම්බන්ධීකරණය යටතේ ය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් රාහුල හිමියන්ගෙන් බදු පදනම මත ලබා ගත් පාලුකඩවල වැව ඉහත්තාවේ කඳුබොඩයාගම ප්‍රදේශයේ අක්කර 5 ක පමණ භූමියක ගස්ලබු වගා බිමක් පවත්වාගෙන යන අතර ඒ ආසන්නයේ පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථානයක් වන වනාන්තර ඉඩම් අක්කර 50 ක් මේ වන විට එළිපෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. ඩෝසර් යන්ත්‍ර භාවිත කර මාර්ග සකස් කර වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් එම වනාන්තරයේ ජීවත් වූ අලි – ඇතුන් ගම් වැදීම බහුල ව සිදු වෙමින් පවතී.

    නින්දගම් ඉඩම් බවට තහවුරු කළ හැකි කිසිදු නීත්‍යානුකූල ලේඛණයක් නොමැත
    බදු දීම සිදු කරන ඉඩම් නාකොළගනේ පුරාණ රජමහ විහාරයට අයත් බව සඳහන් කළ ද ඒ පිළිබඳ ව කරුණු සොයා බැලීමේ දී තහවුරු වූයේ මෙම ඉඩම් මී ඔය ව්‍යාපාරය සඳහා අත් පත් කර ගත් ඉඩම් බව ය. 1948 වසරේ දී පමණ ඩී. එස්. සේනානායක මහතා විසින් මී ඔය ව්‍යාපාරය හෙවත් අතරගල්ල ව්‍යාපාරය ආරම්භ කර තිබේ. මී ඔය හරස් කර ඉදි කර ඇති අඹකොළ වැව, අතරගල්ල වැව හා පාලුකඩවල වැව පුළුල් කිරීමෙන් ආරම්භ කළ අතරගල්ල ව්‍යාපාරය යටතේ ගොවි ජනතාවට ඉඩම් ලබා දී ම 1953 වසරේ දී ආරම්භ කර ඇති අතර ඒ සඳහා අත්පත් කර ගත් ඉඩම්වලට වන්දි ගෙවීම 1968 වසරේ දී අවසන් කර ඇත.

    අතරගල්ල ව්‍යාපාරය යටතේ මෙම ප්‍රධාන වැව් තුනට අමතර ව පාලුව වැව, අරසන් වැව හා වන්නිකුඩා වැව යන වැව් තුනට ද ජලය සැපයෙන අතර මේ සියලු වැව් වලින් අක්කර 4000 ක පමණ කුඹුරු ඉඩම් වගා කෙරේ. මෙම වැව් යටතේ අඹකොළ වැව, නිකවල යාය, සේරුගොඩ, අලුත් කොලනිය, වානේ කොලනිය, ඒරියාව, නාකොළගනේ, වෙහෙරගොඩයාය, යක්දෙස්සාව, පාලුකඩවල, කුරුන්දෑව, ජාගම, කට්ටකඩුව යන ගම්මානවල ගොවි පවුල් 1000 ක් පමණ වගා කටයුතුවල නිරත වේ.

    නාකොළගනේ, කඳුබොඩයාගම යාය, කිරිබත්පැලැස්ස, කරඹෙයාය, පූලෑ අමුණ, උල්පතේ යාය, ගුරුගොඩ යාය, අගුරුවැල්ල, හඳුගොඩයාය, මඩදෙනිගම යාය, කිවුලේගම යාය යන ප්‍රදේශවලට අයත් ඉඩම් ඩෙල්මෝ සමාගම, අඹන්පොල දේශානි එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හිමිකරුට මෙන් ම මීගමුව ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් විකිණීම රාහුල හිමියන් විසින් සිදු කර ඇත.

    පුරා විද්‍යාත්මක ව වටිනා ස්ථාන රැසක් ම මෙම ප්‍රදේශයේ පවතී. නාකොලගනේ රජ මහ විහාරය, ගුරුගොඩයාය, වෙහෙරගල, කරගස්සන රජමහා විහාරය හා ආඩිගම – කිරිබත්පැලැස්ස මෙන් ම වනාන්තර තුළ කටාරම් සහිත ගල් ලෙන් රැසක් ම පවතී. මේ ස්ථාන සියල්ල ම මෙම ඉඩම් කොල්ලයෙන් බලපෑමට ලක් වී ඇත.

    අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වට පත් කර මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් කිරීම
    ලංකාවේ වැඩි ම අලි – මිනිස් ගැටුමක් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස සැලකෙන වයඹ කලාපය තුළ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප්‍රදේශ මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන් විසින් වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ඉතා ම දරුණු ලෙස වර්ධනය වෙමින් පවතී.

    ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතුරින් ප්‍රධාන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඊට හේතුව වනාන්තර ප්‍රතිශතය අඩු වීම හා ඉතිරී වී ඇති අලි – ඇතුන්ගේ වාසස්ථාන කුට්ටිකරණය වී පැවතීම ය. මේ නිසා අලි – ඇතුන් ගම් වැදීම හා වගා බිම්වලට පිවිසීමෙන් උග්‍ර අලි – මිනිස් ගැටුමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වේ.
    2011 වසරේ දී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලි – ඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පලාතේ අලි – ඇතුන් 1189 ක් පමණ ජීවත් වන බව සොයා ගෙන තිබේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලි – ඇතුන් ප්‍රමාණයෙන් 20% කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි.

    2018 වසරේ දී අවසන් වරට සිදු කෙරුණු ඉඩම් භාවිතය පිළිබඳ ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන්නේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම වනාන්තර ප්‍රතිශතයක් ඉතිරි වී ඇති බව ය. හෙක්ටයාර 481600 ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වාභාවික වනාන්තර ලෙස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ හා තෘණ භූමි ඉතිරි ව ඇත්තේ හෙක්ටයාර 66228 ක පමණ ප්‍රමාණයකි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 14% ක් පමණ වේ. වනාන්තර මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම අලි – මිනිස් ගැටුම උග්‍ර වීමට සහ වැව් හා ජල මූලාශ්‍රවල ජල පෝෂක ප්‍රදේශ ප්‍රමාණය අඩු වීමෙන් පානීය හා වාරි ජල අර්බුධ ඇති වීමට ද හේතු වී තිබේ.

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි ම අලි – මිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ගල්ගමුව හා ඇහැටුවැව යි. නාකොලගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස පවතින වනාන්තර විනාශය සිදු කෙරෙන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර ප්‍රදේශ ඉතිරි ව ඇත්තේ මුළු භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 17500 ක් වන අතර එහි වනාන්තර ආවරණය දක්නට ලැබෙන්නේ හෙක්ටයාර 4760 ක භූමි ප්‍රමාණයක පමණි. ඒ අතුරෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලැබී ඇත්තේ 40% ක පමණ වනාන්තර ප්‍රමාණයකට පමණි. ඉතිරි බොහෝ වනාන්තර දැඩි නීතිමය රැකවරණයක් නොමැති ව පවතී. ඒවා නිරන්තරයෙන් එළිපෙහෙලි කිරීම්වලට ලක් වේ. මෙම වනාන්තර එළි කිරීම්වලට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය අලි – මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම තුළින් අලි හා මිනිසුන් ඝාතනයට ලක් වන ප්‍රමාණය වැඩි වීම හා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන්ගෙන් වගා බිම් විනාශයට ලක් කරන ප්‍රමාණය දිනෙන් දින ම වර්ධනය වීමයි. මීට අමතර ව ජල පෝෂක වනාන්තර බිම් වැව් ඇතුළු ජල මූලාශ්‍රවලට අහිමි වීම නිසා ජල අර්බුධ උග්‍ර මට්ටමකට පරිවර්තනය වේ. මේ සියල්ලේ ම අවසන් ප්‍රතිඵලය වන්නේ මී ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ වගා බිම් හානියට ලක් වීම හා ගොවි ජනතාව අවතැන් වී දැඩි අසීරුතාවයට පත් වීම ය.

    රාහුල හිමියන් ගෙන් බදු වශයෙන් ලබා ගත් සියලූ ම වනාන්තර ඉඩම් මේ වන විට එළිපෙහෙළි කර ඇති අතර විදුලි වැටවල් යොදා එම ඉඩම් සියල්ල ම ආවරණය කර තිබේ. මේ නිසා පාලුකඩවල වැව ඇතුළු ව අලි – ඇතුන් ගේ වාසස්ථාන හා ප්‍රධාන ආහාර බිම් වෙත පිවිසීමට ඇති අවස්ථා අහිමි වීම හා අවහිර වීම සිදු වී ඇත. මේ නිසා මෙම සතුන් ගම් වැදීම වර්ධනය වී ඇති අතර දරුණු අලි – මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ නිර්මාණය වී ඇත. මේ තත්ත්වය පාලනය කිරීමට නම් මෙම සියලු විදුලි වැටවල් ගලවා ඉවත් කිරීම මෙන් ම නීති විරෝධී වගා බිම් සියල්ල නැවත අලි – ඇතුන් ඇතුළු සියලූ ම සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් හා ජල පෝෂක බිම් වෙනුවෙන් ආරක්ෂා කළ යුතු ය. එසේ සිදු නොකළහොත් මී ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ වගා බිම් සියල්ල ම ගොවි ජනතාවත් සමඟ ම විනාශයට ලක් වනු ඇත.

    එපමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු අතර නීති විරෝධී ක්‍රියාවල නිරත සියලු පුද්ලගයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්ක කළ යුතු බව ද අවධාරණය කර සිටිමු.

     

  • ලංවා සමාගම ඉලුක්පැලැස්ස රක්ෂිතය ඩොලමයිට් කැනීමට බලහත්කාරයෙන් අත්පත් කර ගනී

    ලංවා සමාගම ඉලුක්පැලැස්ස රක්ෂිතය ඩොලමයිට් කැනීමට බලහත්කාරයෙන් අත්පත් කර ගනී

    හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඌව කොස්ගම ග්රාම නිලධාරී වසමේ පිහිටි ඉලුක්පැලැස්ස වන රක්ෂිතයේ මයිලමඩේ කන්ඳේ අක්කර 52 කක භූමියක් නීති විරෝධී ව අත් පත් කර ගෙන, රක්ෂිත මායිම් වෙනස් කර, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් සිමෙන්ති නිෂ්පාදනය සඳහා ඩොලමයිට් ඛණිජ ලබා ගැනීමට පර්යේෂණ කැනීම් කටයුතු ආරම්භ කර තිබේ. ඉලුක්පැලැස්ස ගමේ සිට මයිලමඩේ කන්ඳ දක්වා වනාන්තර ඉවත් කර දල බෑවුම් සහිත ප්රදේශයක පිවිසුම් මාර්ග සකස් කර, කිසිදු අනුමැතියකින් තොර ව පර්යේෂණ කැනීම් කටයුතු ආරම්භ කර ඇත.
    මෙම කඳු වැටිය පා මුල ඉලුක්පැලැස්ස ගම්මානය පිහිටා ඇති අතර එහි පවුල් 57 ක් පමණ ජීවත් වේ. මෙම කන්ඳෙන් ආරම්භ වන තිරිවානා ආර සහ වනාන්තරයෙන් පෝෂණය වන අමුණ බැදි ආර මගින් ගොවිතැනට අවශ්ය ජලය මෙම ජනතාව ලබා ගනී. අංශක 60 කට වඩා වැඩි බෑවුම් සහිත මෙම කඳු වැටිය ඩොලමයිට් ඛණිජ ලබා ගැනීමට කැනීම් කිරීමෙන් කන්ඳ පහළ පිහිටි ජනාවාස හා වගා බිම් සියල්ල විනාශයට ලක් වනු ඇත. මේ බව දන්නා ලංවා සමාගමේ නිලධාරීන් පැමිණ ජනතාව ගේ ඉඩම් මිල දී ගැනීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ සියල්ල ම සිදු වන්නේ කිසිදු අනුමැතියකින් තොර ව බලහත්කාරයෙනි.
    එපමණක් නොව මේ වන විට ලංවා සමාගම ඉලුක්පැලැස්ස විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් මෙම ව්යාපෘතියට එල්ල විය හැකි බලපෑම මැඩ පැවැත්වීම සඳහා විහාරස්ථානයට චෛත්යයක් ඉදි කර දීමටත් ගම්මානයේ ජනතාවට මාර්ග සකස් කර දීමටත් මෙම සමාගම පියවර ගනිමින් සිටී. මීට අමතර ව ගමේ ජනතාව අතර ගැටුම් ඇති කර මෙම ව්යාපෘතියට ජනතාගෙන් ඇති වී තිබෙන විරෝධතා මැඩ පැවැත්වීමටත් ලංවා සමාගම මේ වන විට පියවර ගනිමින් සිටී.
    ලංවා සමාගම මේ ආකාරයෙන් ඉලුක්පැලැස්ස ගම්මානය තුළ කටයුතු කරන්නේ 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරණ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් සියලු ක්රියාකාරකම් සිදු කරන බවට හොඳින් දන්නා නිසා ය. මෙම පනතේ 3 වන වගන්තියට අනුව ඉලුක්පැලැස්ස රක්ෂිත වනය ප්රකාශයට පත් කර තිබේ. පනතේ 7(1) උප වගන්තිය යටතේ රක්ෂිත වනය තුළ තහනම් ක්රියා සියල්ල දක්වා තිබේ. ඒ අනුව අයුතු ලෙස රක්ෂිත වනයට ඇතුළු වීම හා රැදී සිටීම, ගස් කැපීම, දියපහරවල් අවහිර කිරීම, ගල් කැඩීම, පස්, ගල් ඉවත් කිරීම, කැනීම් කිරීම, පාරවල් සකස් කිරීම, සකස් කරන ලද පාරවල් භාවිතා කිරීම, මායිම් සලකූණුවලට හානි කිරීම, වෙනස් කිරීම යන සියලූ ම ක්රියා තහනම් වේ.
    එවන් තහනම් ක්රියාවකට මහේස්ත්රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අතිරේකව රක්ෂිත වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.
    පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද එම දඩුවමට ම යටත් විය යුතු ය. ඒ අනුව ලංවා සමාගම මේ සියලූ ම නීති උල්ලංඝනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් විය යුතු ව ඇත.
    මීට අමතර ව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන් ද, 2009 අංක 66 දරණ පනතින් සංශෝධිත 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්රව්ය පනත උල්ලංඝනය කරමින් වන රක්ෂිතයක් තුළ සිදු කරන නීති විරෝධී ඛණිජ ගවේෂණ කිරීම්වලට එරෙහි ව නීතිය ක්රියාත්මක කළ යුතු ය. මෙම පනතේ 28(1) උප වගන්තියට අනුව ඛණිජ කැනීම් හා ගවේෂණය සඳහා බලපත්රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. පනතේ 63 වන වගන්තියට අනුව බලපත්රයක් නොමැති ව ඛනිජ කැනීම් සිදු කිරීම නීති විරෝධී වේ. මෙම වගන්තියට අනුව මහේස්ත්රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කරන එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 50,000 ත් ලක්ෂ 5 ත් අතර දඩයකට ලක් කළ හැකි ය. එම වරද නැවත නැවත සිදු කරන අවස්ථාවක දී ලක්ෂ එකහමාරත් ලක්ෂ 20 ත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
    පනතේ 63(1)(අ) උප වගන්තියට අනුව නීති විරෝධී කැනීම් කටයුතු සිදු කරන පුද්ගලයකු හා ඒ සඳහා භාවිතා කරන ද්රව්ය හා උපකරණ වරෙන්තුවක් නැති ව හෝ ඇති ව අත් අඩංගුවට ගැනීමේ බලය ඇත. පනතේ 63(1)(ඇ) උප වගන්තියට අනුව 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්රහය පනතේ කාර්යයන් සඳහා මෙම පනත යටතේ සිදු කරන සෑම වරදක් ම සංඥේය වරදක් ලෙස දක්වා තිබේ.
    කැනීම් භූමියක් පරීක්ෂා කිරීමේ දී හෝ අත් අඩංගුවට ගැනීමේ දී බාධා කරන අවස්ථාවක දී පනතේ 63 වන වගන්තියට අනුව මහේස්ත්රාත් අධිකරණයකට ඉදිරිපත් කරන පුද්ගලයකුට පනතේ 63(2)(ආ) උප වගන්තියට අනුව රුපියල් 5000 ත් 70,000 ත් අතර දඩයකට හෝ වසරක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ලංවා සමාගම මේ සියලු වැරදිවලට වරදකරුවන් වේ.
    මෙම නීති රීතිවලට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්රිත නොවන ප්රයෝජනයක් සඳහා යොදා ගැනීම, කැළෑ ආඥා පනත යටතේ ප්රකාශිත රක්ෂිත ප්රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට ප්රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්යාපෘතිය ක්රියාත්මක කළ යුතු ය. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්යාපෘතියක් ක්රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
    එපමණක් නොව සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මඟින් ප්රකාශිත 2000 අංක 01 දරණ ව්යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්රදේශ එළිපෙහෙලි කිරීම, ගල්, බොරළු හෝ පස් නිස්සාරනය සඳහා පතල් කැනීම හෝ ගල් කැඩීමේ ව්යාපෘති ක්රියාත්මක කිරීමට ප්රථමයෙන් පුරාවිද්යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්යා අනුමැතිය ලබා ගත යුතු ය.
    මේ සියලු නීති උල්ලංඝනය කරමින් ලංවා සමාගම රටේ පොදු සම්පත් විනාශ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවකි. කිසිදු රාජ්ය ආයතනයක් මෙම නීති විරෝධී ක්රියාවලට එරෙහි ව කටයුතු නොකිරීම හා මධ්යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සිරිපාල අමරසිංහ විසින් හිටපු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම සමාගමට වනාන්තර ඉඩම් ලබා දීමට නිලධාරීන්ට බලපෑම් කිරීම යන සියල්ල එකිනෙක හා බැදී පවතී. සිරිපාල අමරසිංහ විසින් මධ්යම පරිසර අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකු මෙහෙයවමින් ප්රසිද්ධියේ අල්ලස් ලබා ගනිමින් සිදු කළ මෙම නීති විරෝධී ක්රියා සියල්ල මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් ක්රියාමාර්ග ගත යුතු ව ඇත.