Tag: සජීව චාමිකර

  • දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ නීති විරෝධී ව සමාගම්වලට බදු දීමට එරෙහි පරීක්ෂණය තවම සිදු කර නොමැත

    දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ නීති විරෝධී ව සමාගම්වලට බදු දීමට එරෙහි පරීක්ෂණය තවම සිදු කර නොමැත

    මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න විසින් සමාගම් හා ව්‍යාපාරිකයන් ගණනාවකට නීති විරෝධී ව බදු දීම පිළිබඳ ව පසුගිය දිනවල අප විසින් අනාවරණය කළෙමු. ඊට පිළිතුරු වශයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන්නේ MWFC/1/2020 චක්‍රලේඛය මත පදනම් ව මේ ඉඩම් සමාගම්වලට බදු දීම සිදු කළ බව ය. ඒ අනුව පෙනී යන්නේ මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කළ බවට ඔවුන් විසින් පිළිගෙන ඇති බව ය. මෙම චක්‍රලේඛයට අනුව අලි – ඇතුන් ගේ නිජබිම් හෝ වනාන්තර හෝ යෝජිත රක්ෂිත ප්‍රදේශ බදු දීමේ කිසිදු හැකියාවක් නැත. 2020.11.04 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අභියාචනාධිකරණයේ ගොණු කළ අංක CAWRT/436/20 දරන රිට් නඩුකරයට අනුව ද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මත කිරීම අත්හිටුවා ඇත. එසේ තිබිය දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව මෙම වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමේ ජාවාරම සිදු කර ඇත.

    නීති විරෝධී චක්‍රලේඛය ද උල්ලංඝනය කිරීම

    වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර විසින් නිකුත් කළ නමුත් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලද 2020.11.04 දින අංක MWFC /1/2020 දරන රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සඳහා වන චක්‍රලේකයේ සඳහන් වන්නේ ද ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේ දී වන අලි සංක්‍රමණික භූමි, ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්යය සහ වන වැස්ම ඉහළ නැංවීම සඳහා භාවිත කළ හැකි ප්‍රදේශ, වෙනත් සුවිශේෂී කරුණු මත සංවර්ධන කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු භූමි ප්‍රදේශ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව සඳහන් වේ.

    එපමණක් නොව මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක විසින් 2021.08.06 වන දින අංක 2/2021 දරන රජයේ ඉඩම් මැන වෙන් කිරීම සඳහා වන චක්‍රලේඛයේ සඳහන් වන්නේ 2020.11.04 දින අංක MWFC/1/2020 දරන චක්‍රලේඛය අනුව ප්‍රාදේශීය ලේකම් සතු වන ඉඩම් සියල්ල මැනීම් කර හඳුනාගැනීම සිදු කළ යුතු බව ය. අභියාචනාධිකරණය මගින් ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවල ද රජයේ වනාන්තර ඉඩම් බදු දීමේ ක්‍රියාවලියක් පිළිබඳ ව සඳහන් නොවේ. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවලට අනුව දෙමලිය – වන්දම ප්‍රදේශයේ වනාන්තර ඉඩම් අක්කර 5500 ක් බුත්තල ප්‍රාදේශීය ලේකම් වෙත පවරා දී තිබේ. ඒ අනුව තහවුරු වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව දෙමලිය – වන්දම – කුඩාඔය වනාන්තර ඉඩම් ජාවාරම සිදු කර ඇති බව ය.

    වනාන්තර ඉඩම් ජාවාරමේ අහිතකර ප්‍රතිඵල

    මෙම ඉඩම් ජාවාරම හේතුවෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වීම සිදු වන දෙමලිය – වන්දම වනාන්තර ප්‍රදේශය හා අලි – ඇතුන් 120 ක් පමණ නිජබිම් කර ගෙන දිවි ගෙවන මෙම වනාන්තර ප්‍රදේශය එම සතුන්ට අහිමි වී ඇත. මේ නිසා එම සතුන් තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී ඇත. එපමණක් නොව හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. බදු දී ඇති වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් ඊට ප්‍රථම මේ සියල්ල සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී විනාශ කර තිබේ.

    වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

    දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.

    වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව රජයේ වනාන්තරයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඩුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට ද යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු ය.

    මෙවන් වූ නීතිමය තත්ත්වයන් ගණනාවකට යටත් වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය බුත්තල ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ නිලධාරීන් හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර එක් ව සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. නිලධාරීන් හා දේශපාලඥයන් විසින් සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියා සියල්ලට ම එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
    මේ සඳහා වැදගත් වන ප්‍රමුඛ නඩු තීන්දුවක් වන්නේ පටපිළිකන්ඳ නඩු තීන්දුවයි. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ පාලනය වන පටපිළිකන්ඳේ රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමට එරෙහි ව අභියාචනාධිකරණයේ විභාග වූ සීඒ/රිට්/අංක 2047/2003 දරන රිට් නඩුකරයට අනුව ලබා දුන් රිට් ආඥාවේ සඳහන් වන්නේ අදාළ රජයේ වනාන්තර ඉඩම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත නියෝග කළ බව ය. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එස්.සී. අංක 78/2006 දරන නඩුකරයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවයක් නොමැති ව රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවට තීන්දු කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තවදුරටත් තහවුරු කරන ලදී. මෙවන් පූර්වාදර්ශ නඩු තීන්දු තිබිය දී බුත්තල ප්‍රාදේශීය ලේකම් දෙමලිය හා වන්දම ප්‍රදේශයේ රජයේ වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.

    පරිසර හා පුරාවස්තු අණ පනත් උල්ලංඝනය කිරීම

    සමාගම් විසින් හා ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් ඉඩම් සංවර්ධනය කිරීම සිදු කර ඇත්තේ ද නීති විරෝධී ලෙස ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන කාර්යයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් මෙම වගන්තිවලට යටත් ව පනත ක්‍රියාවේ යෙදවිය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මෙම සමාගම් හා ව්‍යාපාරිකයන් විසින් සිදු කර ඇති කිසිදු නීති විරෝධී ක්‍රියාවකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.
    මීට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීති උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ වගා බිම් නීති විරෝධී ව පවත්වාගෙන යන කිසිදු සමාගමකට එරෙහි ව පුරාවස්තු ආඥා පනත ක්‍රියාවේ යොදවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම

    බුත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අණ පනත් උල්ලංඝනය කර රජයේ වනාන්තර ඉඩම් බදු දීමෙන් සිදු කර ඇත්තේ බල අතික්‍රමණය නැතහොත් අයුතු ලෙස බලය භාවිත කිරීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අණ පනත් ක්‍රියාවේ නොයෙද වීමෙන් සිදු කර ඇත්තේ සාපරාධී නොකර හැරීමකි. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව මේ මගින් උල්ලංඝනය කර ඇත.

    දණ්ඩ නීති සංග්‍රහයට අනුව ද බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ නිලධාරීන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවට ම පැහැර හැරීම නීතියෙන් දඩුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඩුවම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනය ම වේ. මීට අමතර ව දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඩුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඩුවම් දෙකට ම යටත් කළ හැකි වරදකි.

    මේ සියලූ ම නීති මගින් උත්සාහ දරන්නේ රටේ ජනතාව ගේ හා සමස්ත ජෛව ප්‍රජාව ගේ රැකවරණය හා අනාගත පැවැත්ම තහවුරු කිරීම ය. එපමණක් නොව කෘෂි කර්මාන්තයේ නිරත සුළු පරිමාණ ගොවීන් ගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව තහවුරු කර රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය තහවුරු කිරීම ය. ඒ සඳහා ජල පෝෂක වනාන්තර හා වන සතුන් ගේ වාසස්ථානවල සුරක්ෂිතතාව තහවුරු කළ යුතු වේ. එම සියලු තත්ත්වයන් ගොඩනැගීමට නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් රට තුළ ස්ථාපිත කළ යුතු ය. එවැනි ක්‍රියාවලියක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැබෑ උත්සාහයක් දරන්නේ නම් කළ යුතු ව ඇත්තේ මේ ආකාරයෙන් නීති විරෝධී ව බදු දී ඇති රජයේ වනාන්තර සියල්ල නැවත අත්පත් කර ගෙන, අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි ඉදි කර ඇති සියලු විදුලි වැටවල් ඉවත් කර, එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කර නැවත වනාන්තර ප්‍රතිස්ථාපනය වීමට ඉඩ සැලැස්වීම ය. එපමණක් නොව එම රජයේ වනාන්තර සියල්ල කඩිනමින් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීම කළ යුතු ය. ඒ අතරතුර පසුගිය කාල සීමාවේ දී සිදු කළ සියලූ ම නීති විරෝධී ක්‍රියා අනාවරණය කර ගැනීමට විගණන විමසුම් ද සිදු කළ යුතු වේ. ඒ අනුව වැරදි කළ සියලූ ම නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා වන තීන්දු තීරණ ගැනීම වත්මන් රජය විසින් කඩිනමින් කළ යුතු ව ඇත. නමුත් ඒ වෙනුවට වගා හානි කරන වන සතුන් පිළිබඳ ව සංගණනය කිරීමට ප්‍රමුඛතාව ලබා දීමෙන් පෙනී යන්නේ මෙම ගැටළු ඇති වීමට බලපාන ප්‍රධාන හේතු සාදක පිළිබඳ ව වත්මන් ආණ්ඩුව තව ම නිවැරදි ව අවබෝධ කර ගෙන නොමැති බව ය. මේ නිසා වන සතුන් ගේ වාසස්ථාන විනාශය හා වාසස්ථාන ඛණ්ඩනය කිරීම අලි – මිනිස් ගැටුම හා වන සතුන් ගෙන් වන වගා හානි වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු සාධකය බව අද හෝ වත්මන් ආණ්ඩුව අවබෝධ කර ගෙන ඒ සඳහා විසඳුම් සෙවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අපි අවධාරණය කරමු.


    දෙමළිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි

  • දෙමළිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි

    දෙමළිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි

    මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න විසින් සමාගම් හා ව්‍යාපාරිකයන් ගණනාවකට බදු දී තිබේ. ඊට අමතර ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම වනාන්තර ප්‍රදේශ භාර ව කටයුතු කළ හිටපු බුත්තල බීට්ටු වන නිලධාරී එම්. කේ. ඩී. එස්. කල්හාර විසින් අල්ලස් ලබා ගනිමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.


    මෙම දැවැන්ත ඉඩම් ජාවාරම මුදල් ලබා ගනිමින් මෙහෙයවීම සිදු කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපති ජගත් පුෂ්පකුමාර විසිනි.

    ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වීම සිදු වන්නේ දෙමලිය – වන්දම වනාන්තර ප්‍රදේශය තුළිනි. අලි – ඇතුන් 120 ක් පමණ මෙම වනාන්තර නිජබිම් කර ගෙන ජීවත් වන අතර වර්තමානය වන විට අක්කර 3000 ක පමණ භූමි ප්‍රදේශයක වනාන්තර ඉවත් කර දැවැන්ත එල්ලෙන විදුලි වැටවල් සකස් කර මහ පරිමාණ වාණිජ වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මේ හේතුවෙන් අලි – ඇතුන් ගේ සංචරණ මාර්ග සම්පූර්ණයෙන් අවහිර වීම නිසා තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට අලි – ඇතුන් පිවිසීම වර්ධනය වී දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.

    හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. මෙම වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් ඊට ප්‍රථම බුත්තල ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ කණ්ඩායම විසින් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට මෙම රජයේ වනාන්තර සියල්ල බදු දී තිබේ.

    නීති විරෝධී ව රජයේ වනාන්තර අත්පත් කර ගෙන සිටින සමාගම් හා ව්‍යාපාරිකයන්

    මොනරාගල හිටපු දිසා වන නිලධාරී, විශ්‍රාමික රශාල් වීරසිංහ ගේ පාලන සමයේ දී ඩෝල් හා නෙල්නා සමාගම්වලට පිළිවෙළින් රජයේ වනාන්තර අක්කර 1200 ක් හා 500 ක් ආදී වශයෙන් නීති විරෝධී ව ලබා දෙමින් ආරම්භ කළ මෙම වනාන්තර ඉඩම් ජාවාරම වර්තමානය වන විට සමස්ත දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තර පද්ධතිය පුරා ම ව්‍යාප්ත කර ඇත. නීති විරෝධී ව මෙම සමාගම් දෙකට ඉඩම් නිදහස් කිරීම සඳහා බුත්තල හිටපු ප්‍රාදේශීය ලේකම් ගයාන් අල්ගේවත්ත සහ වැල්ලවාය හිටපු ප්‍රාදේශීය ලේකම් දයානන්ද රත්නායක ද ක්‍රියාත්මක වී තිබේ. මේ නිසා මෙම වනාන්තරය නිජබිම් කර ගෙන ජීවත් වන 120 ක් පමණ වන අලි – ඇතුන්ට හා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා සංක්‍රමණය වන අලි – ඇතුන් දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටී. මෙම වගා බිම් පවත්වා ගෙන යන සමාගම්වල සේවකයන් හා ව්‍යාපාරිකයන් විසින් අලි – ඇතුන්ට වෙඩි තැබීම නිසා අලි මරණ විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශය තුළ වාර්තා වී තිබේ.

    මීට අමතර ව මෙම ප්‍රදේශය තුළ පිහිටි කඩවර වැවට පහළින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට මායිම් ව ඇති වර්තමානය වන විට අලි – ඇතුන් රැදී සිටින විශාල ම වනාන්තර ප්‍රදේශයට අයත් අක්කර 202 ක් වාණිජ වගාවන් සඳහා නිදහස් කිරීමට ද සූදානම් වේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම ඉඩම් නිදහස් කිරීමට සූදානම් වන්නේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු ගේ පෙළැඹවීම මත කේ. කේ. රවීන්ද්‍රා මාලනී ප්‍රාදේශීය ලේකම්වරිය විසිනි.


    දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයේ ඉඩම් මහ පරිමාණයෙන් අත්පත් කර ගෙන සිටින්නේ දේශපාලඥයන් හා ව්‍යාපාරිකයන් පිරිසක් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා විසින් අක්කර 300 ක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක ගේ පුතනුවන් වන නාරද දිසානායකට අක්කර 100 ක්, බුත්තල ව්‍යාපාරිකයකු හා සම්බාහන මධ්‍යස්ථාන බොහොමයක හිමිකරුවකු වන සන්දීප් ප්‍රියංකරට අයත් අක්කර 150 ක්, වැවේ වත්ත ෆාම් සමාගමට අයත් අක්කර 100 ක්, හේන ෆාම් සමාගමට අයත් අක්කර 50 ක්, ඕස්ටේ්‍රලියාවේ වැඩවාසය කරන හිමිනමකට අයත් අක්කර 100 ක් හා තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට අයත් අක්කර 50 ක් පමණ වන ඉඩම් කට්ටි කිහිපයක් අත්පත් කර ගෙන තිබේ. මේ සියලූ ම වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කර ඇත්තේ පාරිසරික නීති බොහොමයක් උල්ලංඝනය කරමිනි.

    වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

    දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.

    වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව රජයේ වනාන්තරයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඩුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට ද යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු ය.

    මෙවන් වූ නීතිමය තත්ත්වයන් ගණනාවකට යටත් වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය බුත්තල ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ නිලධාරීන් හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර එක් ව සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. නිලධාරීන් හා දේශපාලඥයන් විසින් සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියා සියල්ලට ම එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

    මේ සඳහා වැදගත් වන ප්‍රමුඛ නඩු තීන්දුවක් වන්නේ පටපිළිකන්ඳ නඩු තීන්දුවයි. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ පාලනය වන පටපිළිකන්ඳේ රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමට එරෙහි ව අභියාචනාධිකරණයේ විභාග වූ සීඒ/රිට්/අංක 2047/2003 දරන රිට් නඩුකරයට අනුව ලබා දුන් රිට් ආඥාවේ සඳහන් වන්නේ අදාළ රජයේ වනාන්තර ඉඩම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත නියෝග කළ බව ය. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එස්.සී. අංක 78/2006 දරන නඩුකරයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවයක් නොමැති ව රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවට තීන්දු කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තවදුරටත් තහවුරු කරන ලදී. මෙවන් පූර්වාදර්ශ නඩු තීන්දු තිබිය දී බුත්තල ප්‍රාදේශීය ලේකම් දෙමලිය හා වන්දම ප්‍රදේශයේ රජයේ වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.

    පරිසර හා පුරාවස්තු අණ පනත් උල්ලංඝනය කිරීම

    සමාගම් විසින් හා ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් ඉඩම් සංවර්ධනය කිරීම සිදු කර ඇත්තේ ද නීති විරෝධී ලෙස ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන කාර්යයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් මෙම වගන්තිවලට යටත් ව පනත ක්‍රියාවේ යෙදවිය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මෙම සමාගම් හා ව්‍යාපාරිකයන් විසින් සිදු කර ඇති කිසිදු නීති විරෝධී ක්‍රියාවකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.

    මීට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීති උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ වගා බිම් නීති විරෝධී ව පවත්වාගෙන යන කිසිදු සමාගමකට එරෙහි ව පුරාවස්තු ආඥා පනත ක්‍රියාවේ යොදවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම

    බුත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අණ පනත් උල්ලංඝනය කර රජයේ වනාන්තර ඉඩම් බදු දීමෙන් සිදු කර ඇත්තේ බල අතික්‍රමණය නැතහොත් අයුතු ලෙස බලය භාවිත කිරීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අණ පනත් ක්‍රියාවේ නොයෙද වීමෙන් සිදු කර ඇත්තේ සාපරාධී නොකර හැරීමකි. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව මේ මගින් උල්ලංඝනය කර ඇත.

    දණ්ඩ නීති සංග්‍රහයට අනුව ද බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ නිලධාරීන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවට ම පැහැර හැරීම නීතියෙන් දඩුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඩුවම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනය ම වේ. මීට අමතර ව දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඩුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඩුවම් දෙකට ම යටත් කළ හැකි වරදකි.

    මේ සියලූ ම නීති මගින් උත්සාහ දරන්නේ රටේ ජනතාව ගේ හා සමස්ත ජෛව ප්‍රජාව ගේ රැකවරණය හා අනාගත පැවැත්ම තහවුරු කිරීම ය. එපමණක් නොව කෘෂි කර්මාන්තයේ නිරත සුළු පරිමාණ ගොවීන් ගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව තහවුරු කර රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය තහවුරු කිරීම ය. ඒ සඳහා ජල පෝෂක වනාන්තර හා වන සතුන් ගේ වාසස්ථානවල සුරක්ෂිතතාව තහවුරු කළ යුතු වේ. එම සියලු තත්ත්වයන් ගොඩනැගීමට නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් රට තුළ ස්ථාපිත කළ යුතු ය. එවැනි ක්‍රියාවලියක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැබෑ උත්සාහයක් දරන්නේ නම් කළ යුතු ව ඇත්තේ මේ ආකාරයෙන් නීති විරෝධී ව බදු දී ඇති රජයේ වනාන්තර සියල්ල නැවත අත්පත් කර ගෙන, අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි ඉදි කර ඇති සියලු විදුලි වැටවල් ඉවත් කර, එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කර නැවත වනාන්තර ප්‍රතිස්ථාපනය වීමට ඉඩ සැලැස්වීම ය. එපමණක් නොව එම රජයේ වනාන්තර සියල්ල කඩිනමින් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීම කළ යුතු ය. ඒ අතරතුර පසුගිය කාල සීමාවේ දී සිදු කළ සියලූ ම නීති විරෝධී ක්‍රියා අනාවරණය කර ගැනීමට විගණන විමසුම් ද සිදු කළ යුතු වේ. ඒ අනුව වැරදි කළ සියලූ ම නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා වන තීන්දු තීරණ ගැනීම වත්මන් රජය විසින් කඩිනමින් කළ යුතු ව ඇත. නමුත් ඒ වෙනුවට වගා හානි කරන වන සතුන් පිළිබඳ ව සංගණනය කිරීමට ප්‍රමුඛතාව ලබා දීමෙන් පෙනී යන්නේ මෙම ගැටළු ඇති වීමට බලපාන ප්‍රධාන හේතු සාදක පිළිබඳ ව වත්මන් ආණ්ඩුව තව ම නිවැරදි ව අවබෝධ කර ගෙන නොමැති බව ය. මේ නිසා වන සතුන් ගේ වාසස්ථාන විනාශය හා වාසස්ථාන ඛණ්ඩනය කිරීම අලි – මිනිස් ගැටුම හා වන සතුන් ගෙන් වන වගා හානි වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු සාධකය බව අද හෝ වත්මන් ආණ්ඩුව අවබෝධ කර ගෙන ඒ සඳහා විසඳුම් සෙවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අපි අවධාරණය කරමු.

  • ඉඩම් ජාවාරම්කරුවන් ගාල්ල දිසා වන නිලධාරී හා වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයා මුලා කර කොට්ටව – කෝඹල වනයේ රක්ෂිත ඉඩම් බෙදා ගැනීමට සූදානම් වෙයි

    ඉඩම් ජාවාරම්කරුවන් ගාල්ල දිසා වන නිලධාරී හා වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීවරයා මුලා කර කොට්ටව – කෝඹල වනයේ රක්ෂිත ඉඩම් බෙදා ගැනීමට සූදානම් වෙයි

    ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී ම පහතරට වැසි වනාන්තරය වන කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් ගාල්ල දිසා වන නිලධාරී හා පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යන අයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රක්ෂිත ඉඩම් බෙදා ගැනීමේ සැලැසුමක් ක්‍රියාත්මක වේ. මේ අනුව වසර සියයකට වැඩි කාලයක් පදිංචි ව සිටින ජනතාව ගේ ඉඩම් කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරය බවට ප්‍රකාශයට පත් කර ඇති බවට සාවද්‍ය තොරතුරු සඳහන් කරමින් මන්ත්‍රිවරයා විසින් එම ඉඩම්වල අයිතිය ජනතාවට ලබා දිය යුතු බවට ප්‍රකාශ කරයි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ලැබුණු පැමිණිල්ලක් මත මෙය සිදු කරන බවත් ඉදිරියේ දී රක්ෂිතය තුළ පදිංචි ජනතාවට සාධාරණයක් ඉටු කරන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව රක්ෂිතයට අයත් ජනතාව භාවිත කරන ඉඩම් පිළිබඳ සංගණනයක් ද මේ වන විට ආරම්භ කර තිබේ.

    මීට අමතර ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිසා වන නිලධාරී සඳහන් කරන්නේ කොට්ටව – කෝඹල වනයේ ජනතාව භාවිත කරන ඉඩම් සියල්ල ම එම ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ය. තමන් නැගෙනහිර පළාතේ සේවය කළ සමයේ දී එම ජනතාව ගේ ඉඩම් අයිතිය ලබා දුන් ආකාරයට ම මෙම රක්ෂිතය තුළ පදිංචි ජනතාව ගේ ඉඩම් අයිතිය ලබා දෙන බවට දිසා වන නිලධාරී විසින් සඳහන් කරයි.

    මේ සියලු තත්ත්වයන් පදනම් කර ගෙන අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත රක්ෂිතයේ පදිංචි ව සිටින ජනතාව ගේ තොරතුරු එක්රැස් කිරීම සිදු කරමින් පවතී. එම තොරතුරු පත්‍රිකාවලට අනුව පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් තමන් රක්ෂිතය තුළ පදිංචි ව සිටින බවට ව්‍යාජ තොරතුරු ලේඛණ ඉදිරිපත් කර තිබේ.

    ස්ථිර පදිංචිකරුවන් නොමැති බවට සනාථ වීම

    මේ සියලු තත්ත්වයන් පදනම් කර ගෙන අප විසින් මෙම රක්ෂිත වනාන්තරයේ පදිංචිකරුවන් යැයි සඳහන් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනවල දී කරුණු බොහොමයක් අනාවරණය කර ගත හැකි විය. එහි දී ප්‍රධාන වශයෙන් තහවුරු කර ගත හැකි වූයේ මෙම රක්ෂිතය තුළ ස්ථිර පදිංචිකරුවන් කිසිවකු නොමැති බව සහ රක්ෂිතය ආසන්නයේ හා ඊට නුදුරින් ස්ථිර පදිංචිය සහිත පුද්ගලයන් කිහිපදෙනෙකු සංරක්ෂිත වනාන්තරය තුළ පිහිටි වනාන්තර සීඝ්‍රයෙන් එළි කරමින් කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කරන බව ය. ඉඩම්වල අයිතිය ලබා දීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා හා ගාල්ල දිසා වන නිලධාරීවරයා කටයුතු කරන බවට ප්‍රකාශ වීමත් සමඟ ම අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරන තොරතුරු ලේඛණ ලබා ගැනීමේ ක්‍රියාවලියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම අනවසරින් ඉඩම් අත්පත් කර ගෙන වගා කටයුතු සිදු කරන ජනතාව විසින් සිදු කරයි. ඔවුන් විසින් ඥාතීන් ගේ නම්වලට ද ඉඩම් කැබලිවල තොරතුරු ඉදිරිපත් කරමින් සිටී. මීට ප්‍රථම අනවසර වගා කටයුතුවල නිරත ව සිටි පුද්ගලයන් ගණන 10 ක් පමණ වූ අතර වර්තමානය වන විට ඔවුන් විසින් 50 දෙනෙකු ගේ පමණ ව්‍යාජ තොරතුරු අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරන අධ්‍යයනයේ තොරතුරු ලේඛණවලට ලබා දී තිබේ.

    රක්ෂිතය තුළ නීති විරෝධී වගාකරුවන් හා පාරම්පරික දෙනි වගාව

    කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරය වටා පිහිටි කඳුරුගස්හේන, කලුවල, බැද්දෙගෙදර, හිරියමල් කුඹුර, හියාරේ නැගෙනහිර, මායාකඩුව, ගරාවල, බැදිපිට යන ගම්මානවල ජීවත්වන පුද්ගලයන් කිහිපදෙනෙකු රක්ෂිතයට අයත් ඉඩම් අනවසරින් අත්පත් කර ගෙන වනාන්තර එළිපෙහෙළි කර කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කර තිබේ. වර්තමානය වන විට රක්ෂිතය තුළ සමස්ත අනවසර වගා බිම්වල ප්‍රමාණය අක්කර 50 ක් පමණ වන බව අප ගේ අධ්‍යයන මගින් තහවුරු වී තිබේ.

    මෙම වනාන්තරය තුළ ජනතාව පාරම්පරික ව වගා කළ දෙනි 7 ක් පමණ වේ. පුංචි වැලිදෙනිය, බිම්බටේ දෙනිය, වැලි දෙනිය, නයා ඇඩූ දෙනිය, කඩියා දෙනිය, පුංචි දෙනිය, ගෝන කොළ දෙනිය වශයෙන් කුඹුරු ගොවිතැන සිදු කළ පාරම්පරික දෙනි පිහිටා තිබේ. මෙම දෙනි ආශ්‍රිත ව 1970 සිට 1977 කාල සීමා ව තුළ කුඹුරු ගොවිතැනට අමතර ව බුලත්, කිරි අල, ඉගුරු, මඤ්ඤොක්කා, තල හා මෙනේරි වගාවන් ද සිදු කර තිබේ. මෙම දෙනි අතුරින් අක්කර 2.5 ක් පමණ වන පුංචි වැලි දෙනිය, අක්කර 7.5 ක් පමණ වන බිම්බටේ දෙනිය හා අක්කර 4 ක් පමණ වන නයා ඇඩූ දෙනිය මැනීම් කර මායිම් සලකුණු කිරීම හා දෙනි බලපත්‍ර යටතේ පාරම්පරික වගා කටයුතු සිදු කරයි. මීට අමතර ව අක්කරය බැගින් වන වැලි දෙනිය, පුංචි වැලි දෙනිය, කඩියා දෙනිය හා ගෝන කොළ දෙනිය මැනීම් කර මායිම් සලකුණු කර නොතිබුණ ද පාරම්පරික ව වගා කර තිබේ. මීට අමතර ව ඇති කුරුදු හා තේ වගා බිම් සියල්ල ම අලුතින් වනාන්තර එළි කර අනවසරින් සිදු කළ වගා බිම් වේ.

    රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් ජාවාරම්කරුවන්

    2011 වසර වන විට කොට්ටව – කෝඹල වනාන්තරයේ අක්කර 30 ක් පමණ වනාන්තර ඉවත් කර අනවසර වගා බිම් පවත්වාගෙන ගොස් තිබේ. 2015 – 2017 වසරවල දී මහ පරිමාණයෙන් ඉඩම් එළිපෙහෙළි කරමින් කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කිරීම සීඝ්‍රයෙන් සිදු කර තිබේ. මෙම වනාන්තර මායිමේ ජීවත් වන මහදුරගේ සරත් කුමාර නැතහොත් “කිරී” යන අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා විසින් මුත්තලයිහේන, කදුරුගස්හේන හා හියාරේ යන ප්‍රදේශවල රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 30 ක් පමණ එළිපෙහෙළි කර කුරුදු වගා බිම් ව්‍යාප්ත කර ඇත. ඊට අමතර ව මොහු විසින් රක්ෂිතය තුළ කුරුදු ගබඩා කිරීම සඳහා ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම ද ආරම්භ කර තිබේ. ඔහු විසින් සඳහන් කරන්නේ අක්කර 50 ක් දක්වා ඉතා කෙටි කාලයක් තුළ තමන් විසින් වගා බිම් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ය.

    රක්ෂිත ඉඩම් ඇල්ලීමට වන සංරක්ෂණයේ සහය

    2011 වසරෙන් පසු ව මෙම රක්ෂිතය තුළ වනාන්තර එළිපෙහෙළි කර කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කිරීමට සහයෝගය ලබා දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. අල්ලස් ලබා ගනිමින් සංරක්ෂිත වනාන්තරයේ කොටස් භාවිත කිරීමට ඉඩම් ජාවාරම්කරුවන්ට අවස්ථාව ලබා දී ඇති අතර සමහර අනවසර වගාකරුවන්ට නඩු පැවරීම මගින් ද භූමිය භාවිත කිරීමේ අයිතිය ලබා දී තිබේ. එය සිදු කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනවසර වගා කටයුතු සඳහා පමණක් නඩු පැවරීම සිදු කර ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ නඩු පැවරීමෙන් වැළකී සිටීමෙනි. මේ ක්‍රියා සඳහා ද අනවසර වගාකරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීම අඛණ්ඩ ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කර ඇත. මේ නිසා මෙම රක්ෂිතය තුළ අනවසර වගා බිම් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

    මේ ආකාරයෙන් කොට්ටව – කෝඹල වනය විනාශ කර ඇත්තේ ප්‍රදේශවාසී ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු එක් වෙමිනි. එසේ සිදු කළ විනාශය සාධාරණීකරණය කර එම විනාශය සිදු කළ, අනවසර ඉඩම් අත්පත්කර ගත් ජාවාරම්කරුවන්ට ඉඩම් අයිතිය ලබා දීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා මැදිහත් වීමෙන් පෙනී යන්නේ මෙම ජාවාරම්කරුවන් විසින් ඔහු ව මුලා කර ඇති බව ය. නිවැරදි අවබෝධයකින් තොරව මන්ත්‍රිවරයා මෙම ජාවාරම්කරුවන් ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටීමෙන් සිදු වන්නේ මෙම රක්ෂිතය වටා නීත්‍යානුකූල ව ජීවත් වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම ය. එම ජනතාව තමන්ට සංවර්ධනය වීමට ඇති අයිතිය අහිමි කර ගනිමින් වර්තමාන හා අනාගත පරපුරේ රැකවරණය වෙනුවෙන් කොට්ටව – කෝඹල සංරක්ෂණ වනය ආරක්ෂා කිරීමට විශාල කැපකිරීමක් සිදු කර ඇත. එවන් තත්ත්වයක් තුළ ජාවාරම්කරුවන් ගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමට යාමෙන් සිදු වන්නේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ව ඇති විශ්වාසය මෙන් ම ජාතික ජන බලවේගය ආණ්ඩුව පිළිබඳ ව ඇති විශ්වාසය ද මෙම ජනතාවට අහිමි වීම ය.

    ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ගේ කාර්යය විය යුත්තේ තමන්ට බලයට පැමිණීම සඳහා සහය වූ ජාවාරම්කරුවන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම නොව නීත්‍යානුකූලව ජීවත් වන ජනතාව ගේ විශ්වාසය තහවුරු කිරීම ය. එසේ නොමැති වූවහොත් සිදු වන්නේ නීතිය පිළිබඳ ව ඇති විශ්වාසය හා දේශපාලනය පිළිබඳ ව ඇති විශ්වාසය අහිමි වීමෙන් ජාවාරම්කාරී සමාජයක් බිහි වීම ය. මේ පිළිබඳ ව වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා අවබෝධ කර ගත යුතු ව ඇත. එපමණක් නොව මෙම වනාන්තර පද්ධතියේ ඇති වටිනාකම ද අවබෝධ කර ගත යුතු ය.

    කොට්ටව කෝඹල වනයේ සුවිශේෂී සත්ත්ව විවිධත්වය

    පහතරට තෙත් නිවර්තන වැසි වනාන්තරයක් වන කොට්ටව – කෝඹල සංරක්ෂිත වනයෙහි ඉතා ම දුර්ලභ හා මෙරටට ආවේණික මෙන් ම ඉතා ම සීමිත ව්‍යාප්තියක් සහිත වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව විශේෂ බොහොමයක් වාර්තා වන බව ගාල්ල, වනජීවී සංරක්ෂණ සංගමයෙන් හා පර්යේෂකයන් කිහිපදෙනෙකු විසින් සිදු කර ඇති අධ්‍යයනවලින් තහවුරු වී තිබේ. මෙම වනාන්තරය සංරක්ෂිත තත්ත්වයට පත් කිරීමට ද හේතු සාදක වී ඇත්තේ මෙම අද්විතීය ජෛව විවිධත්වයයි.

    ශ්‍රී ලංකාවට ආවේණික හා ඉතා ම සීමිත ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂ 4 ක් මෙම වනාන්තරයෙන් වාර්තා වේ. එනම් කුඩා මැඩිල්ලා (Aspidura guentheri), වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා (Dendrelaphis wickrorum), දාර රදනකයා (Lycodon carinatus) හා නිහාලුවා (Rhabdophis ceylonensis) ය.

    ඉතා ම සීමිත ව්‍යාප්තියක් සහිත මෙරටට ආවේණික හා දුර්ලභ උභයජීවීන් වන කෙලාට්ගේ කුරු ගෙම්බා (Adenomus kelaartii), නගාඕගේ මොට හොඹු මැඩියා (Uperodon nagaoi), කොනිෆර්ගේ පදුරු මැඩියා (Pseudophilautus conniffae), වකුටු කොළ පදුරු මැඩියා (Pseudophilautus folicola), මිටර්මයිර්ගේ පදුරු මැඩියා (Pseudophilautus mittermeieri), සිංගු පදුරු මැඩියා (Pseudophilautus singu) හා තැඹිලි හොඹු පදුරු මැඩියා (Pseudophilautus stictomerus) මෙම වනාන්තරයේ ඉතා සංවේ දී වාසස්ථානවල ජීවත් වේ.

    කොට්ටව – කෝඹල වනයේ පිහිටි ගිං ගඟේ පෝෂක දියපහරවල ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ ගණනාවක් වාර්තා වේ. ඒ අතර විලිපිට දණ්ඩියා (Rasbora wilpita), හල්මල් දණ්ඩියා (Rasboroides vaterifloris) හා ලේ තිත්තයා (Rohanella titteya) යන දුර්ලභ විශේෂ වෙයි. මීට අමතර ව මෙම දියපහරවල මෙරටට ආවේණික වඳවීමේ තර්ජනයට මුහ`ණපා ඇති මිරිදිය කකුළු විශේෂ කිහිපයක් වන Ceylonthelphusa kandambyi, Pastilla ruhuna, Oziotelphusa ceylonensis, Mahatha ornatipes යන විශේෂ වෙති.

    මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ කිහිපයක් ම මෙම වනාන්තරයෙන් වාර්තා වේ. එනම් බට ඇටි කුකුළා (Green billed Coucal), පිටතඹල වන බස්සා (Chestnut backed Owlet), පුල්ලි වල් අවිච්චියා (Spot winged Thrush), පෙති ගෝමර වල් අවිච්චියා (Scaly Thrush), දෑ දෙමලිච්චා (Scimitor Babbler), ලෙග්ගේ පිළිල ගෙඩි සූටික්කා (Legge’s Flowerpecker) ය.

    වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම

    මෙවන් වූ සුවිශේෂී වනාන්තර පද්ධතියක් වීම නිසා ම 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 3අ.(1) වගන්තියට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, අක්මීමන, ඉමදූව හා හබරාදූව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විහිදී ඇති වනාන්තර හෙක්ටයාර 546 ක් කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකි වන්නේ අනන්‍ය පරිසර පද්ධති, ජාන විද්‍යාත්මක සම්පත්, විරල හා ආවේණික ජීවීන්ට වාසස්ථාන සපයන වනාන්තර ය. එසේ සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ප්‍රදේශයක් පනතේ 3අ.(2) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල්වරයා ගේ පාලනයේ තිබිය යුතු ය. එපමණක් නොව 3අ.(3) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල් විසින් සංරක්ෂිත වනය සඳහා කළමනාකරණ සැලැසුමක් ද සකස් අනුමත කර ගැනීමෙන් පසු ව එම අනුමත කළමනාකරණ සැලැසුමට අනුව සංරක්ෂිත වනාන්තරය පාලනය කළ යුතු වේ. මීට අමතර ව පනතේ 3ආ. වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් සංරක්ෂිත වනාන්තරයේ මායිම් ඇතුළු සියලු තොරතුරු ප්‍රසිද්ධ කළ යුතු ය.

    වන සංරක්ෂණ ආඥාපනතේ 6(1) වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරයක විද්‍යාත්මක පර්යේෂණවල නිරත වීම, වනජීවීන් නිරීක්ෂණය කිරීම හා කළමනාකරණ සැලැසුමේ නියම කර ඇති කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතු වේ.

    ආඥාපනතේ 6(2) වගන්තියට අනුව සංරක්ෂිත වනයකට අයුතු ලෙස ඇතුළු වීම හෝ රැදී සිටීම, ශාක කලා ඉවත් කිරීම, සංවර්ධනය කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 20,000 ත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ මෙම දණ්ඪනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව සංරක්ෂිත වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 6(3) වගන්තියට අනුව 6(2) වගන්තියේ සඳහන් වරදක් කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.

    වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව සංරක්ෂිත වනයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඩුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු ය.

    මෙවන් නීතිමය තත්ත්වයන් ගණනාවක් තිබිය දී වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා විසින් මෙම සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පදිංචිකරුවන් සිටි බව ප්‍රකාශ කරන්නේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. අප ගේ අධ්‍යයනවලට අනුව තහවුරු වී ඇත්තේ සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කළ පසු ව අනවසර අල්ලා ගැනීම් සීග්‍රයෙන් වර්ධනය වී ඇති බව ය. වන සංරක්ෂණ ආඥාපනතේ 3අ.(2) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල්වරයා ගේ පාලනය යටතේ මෙම වනාන්තරය පැවතිය ද වන සංරක්ෂණ නිලධාරීන් විසින් මෙම සුවිශේෂී වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා ජනතාව ගේ බදු මුදල්වලින් වැටුප් ලබමින් නියමිත කාර්යය ඉටු කර නොමැති බව ද තහවුරු වේ.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නීති ක්‍රියාත්මක නොකර සිටීම මගින් සිදු කර ඇත්තේ රටේ අත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

    දණ්ඩ නීති සංග්‍රහයට ද අනුව වන සංරක්ෂණ නිලධාරීන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඩුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඩුවම් දෙකට ම යටත් කළ හැකි වරදකි. මෙහි 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවට ම පැහැර හැරීම නීතියෙන් දඩුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඩුවම වන සංරක්ෂණ ආඥාපනතේ 6(3) වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනයන් ම වේ. මේ අනුව 2011 වසරේ සිට අද දක්වා කොට්ටව – කෝඹල සංරක්ෂිත වනය භාරව සිටි සියලූ ම නිලධාරීන් මෙම වනය අනවසරයෙන් අල්ලා ගැනීමට වගකිව යුතු ය. ඒ පිළිබඳ ව සොයා බලා නීති ක්‍රියාත්මක කර මෙම සංරක්ෂිත වනාන්තරය වටා ජීවත් වන ජනතාව ගේ ජල අයිතිය හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවට නීති විරෝධී ක්‍රියා සිදු කරන ඉඩම් ජාවාරම්කරුවන් ගේ ඉඩම් අයිතිය ලබා දී රක්ෂිත ඉඩම් පිළිබඳ ව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ නොදමන ලෙස අවධාරණය කර සිටිමු.

  • සිංහරාජ පිවිසුමේ යාන්ත්‍රික මැණික් පතල් කැණීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහය

    සිංහරාජ පිවිසුමේ යාන්ත්‍රික මැණික් පතල් කැණීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහය

    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ සිංහරාජ, බෝටියතැන්න ප්‍රදේශයේ ප්‍රධාන වන පිවිසුමේ හා අලි මංකඩේ පිහිටි සන්නන්දොළ මායිමේ සරත් මාකාවිටට අයත් ඉඩමේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු හා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ රක්වානේ සුනන්ද දීපාල් නම් ව්‍යපාරිකයකු ය. ඔහු ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පාර්ලිමේන්තුවට යැවීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකි. ඔහු මෙම දේශපාලන සම්බන්ධතා හා මුදල් බලය භාවිත කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙහෙයවීම සිදු කරන අතර පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට බලපෑම් කරමින් නීති විරෝධී කැණීම් කටයුතු සිදු කරනු ලැබේ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම යාන්ත්‍රික මැණික් පතල් කැණීම් භූමිය පරීක්ෂා කර බැලීම සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක නිලධාරීන්ට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදෙන අතර බැකෝ යන්ත්‍ර භාවිත කරමින් සිදු කරන නීති විරෝධී ක්‍රියා සඳහා සහය ලබා දෙන්නේ විශාල මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

    රඹුක ගඟේ ආරම්භය ලෙස සැලකෙන සන්නන් දොළ මායිමේ හා එම දොළෙහි ආරම්භක භූගත දියදහරාවන් විනාශ කරමින් බැකෝ යන්ත්‍ර හතරක් උපයෝගී කර ගෙන මෙම මැණික් පතල් කැණීම් සිදු කරයි. රඹුක ගඟ, කුකුළේ ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අතර එය කළු ගඟ පෝෂණය කරන අතු ගංගාවක් වේ. ලංකාවට ආවේණික හා ඉතා ම දුර්ලභ ජලජ ජීවීන් රැසක් වාර්තා වන මෙම ජල මාර්ග පද්ධතියට දැවැන්ත රොන්මඩ ප්‍රමාණයක් එක් කරමින් මෙම යාන්ත්‍රික පතල් කැණීම් සිදු කරයි.

    මෙම පතල් කැණීම් සිදු කරන මාණික්කවත්ත, බෝටියතැන්න ප්‍රදේශය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ වේ. මීට අමතර ව සිංහරාජ සමස්ත වන රක්ෂිතයේ හඳපාන්ඇල්ල හා පනිල්කන්ද සම්බන්ධ කරන වන පිවිසුම වන්නේ බෝටියතැන්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශය අවහිර කළ විට සිංහරාජ වන රක්ෂිතය සම්පූර්ණයෙන් ම දෙකඩ වී යයි. වර්තමානය වන විට හෝටල් ඉදි කිරීමෙන් හා යාන්ත්‍රික පතල් කැණීමෙන් වනාන්තර පද්ධතියේ විශාල ප්‍රදේශයක් දෙකඩ වීමට ලක් වී ඇති අතර මේ හේතුව නිසා මෙහි ජීවත් වන උප කඳුකර වනාන්තර ආශ්‍රිත ආවේණික ජීවීන්ට බොහෝ තර්ජන එල්ල වේ.

    සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනා ගේ මෙම වනාන්තර පද්ධති දෙක අතර ගමන් කරන ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඩේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්‍රස්වත්ත යන ගම්මානවලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට හා වගා බිම් හා දේපල හානි කිරීම්වලට මුහුණ දීමට සිදු වේ.


    නීති විරෝධී ව යාන්ත්‍රික මැණික් පතල් කැණීමට බලපත්‍ර නිකුත් කිරීම

    මෙවන් ඉතා ම සංවේදී පරිසර පද්ධතියක යාන්ත්‍රික පතල් කැණීම සඳහා අනුමැතිය ලබා දීමෙන් සිදු වන හානි කර තත්ත්වය හා නීති විරෝධී තත්ත්වය පිළිබඳ ව කිසිදු අවබෝධයකින් තොර ව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා කැනීම් බලපත්‍ර නිකුත් කර ඇත. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිත කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්‍රදේශයයි. මේ අනුව සන්නන් දොළ මායිමේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.
    ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයන් ව අත් අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇති අතර එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එසේ තිබිය දී බෝටියතැන්නේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා අංක 1018786 දරන කැණීම් බලපත්‍රය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කර ඇත්තේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.


    මැණික් අධිකාරියේ නීති විරෝධී ක්‍රියාමාර්ග

    1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව ය. මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කරනවා වෙනුවට ඒ මගින් දැවැන්ත විනාශයන් ඇති කරමින් ස්වාභාවික පරිසර පද්ධති හා ජන දිවිය බිඳ වැටීමට හේතු වන ආකාරයෙන් ව්‍යාපාරිකයන්ට කටයුතු කිරීමට අවස්ථාව සකස් කර දෙන ආකාරය මේ මගින් පෙනී යයි. 2020 ජනවාරි 14 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී ද පෙනී යන්නේ එම අධිකාරියෙන් නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් ව සිදු කර නොමැති බව ය. නමුත් ඒ වෙනුවට මෙම අධිකාරියේ නිලධාරීන් මහ පරිමාණයෙන් අල්ලස් ලබා ගැනීම සිදු කරන ආකාරය මෙම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් ගේ ප්‍රකාශ මගින් තහවුරු වේ.


    අල්ලස් මත නීති ක්‍රියාත්මක නොකිරීම

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එපමණක් නොව එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කළ නොහැකි ය. පනතේ 15(4)(ආ)(ii) හා (iii) වගන්තිවලට අනුව බලපත්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත් ව කැණීම් කටයුතු සිදු කළ යුතු අතර ලබා දෙන බලපත්‍රය මාස 12 ක කාලයක් සඳහා පමණක් වලංගු වේ. මෙම පනතේ 15(6) හා (7) වගන්තිවලට අනුව බලපත්‍රයක කොන්දේසි හා නියමයන් පැහැරහරින අවස්ථාවක එම බලපත්‍රය අවලංගු කිරීමේ බලය මෙම අධිකාරියට ඇත. පනතේ 48(1) වගන්තියට අනුව බලපත්‍රයක් සහිත ව හෝ රහිත ව සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත. 48(2) වගන්තියට අනුව මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම සඳහා බාධා කිරීම හෝ බලපෑම් කිරීම සිදු කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දසදහසක් දක්වා දඩයකට හෝ මාස 6 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
    මෙම පනතේ 49(1) වගන්තියට අනුව නීති විරෝධීව මැණික් කැණීම් සඳහා භාවිත කරන භාණ්ඩ අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමේ බලය ඇති අතර 50 වන වගන්තියට අනුව ඒවා රජය සතු වන්නේය. 51(2) වගන්තියට අනුව නීති විරෝධී ව මැණික් කැණීම් කරන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දස ලක්ෂයක් දක්වා දඩයකට හෝ වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.
    මෙතරම් විශාල බලතල ප්‍රමාණයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙන් එම අධිකාරියට ලබා දී තිබිය දී මෙම බලතල භාවිත කර විධිමත් මැණික් කැණීම් කටයුතු රට තුළ ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ප්‍රභල දේශපාලඥයන් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධ වී ජාවාරම් කටයුතුවල නිරත වීම හා අල්ලස් ලබා ගනිමින් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දීම ය. එහි අවසන් ප්‍රතිඵලය මෙම පතල් කැණීම් ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව හා ජෛව ප්‍රජාව දැඩි පීඩනයකට ලක් වීම ය.

    පොලීසියට බලතල ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා නොදීම

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 47 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම අධිකාරියට වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලය පැවරිය හැකි ය. ඒ අනුව 2013.10.16 වන දින අංක IGP/Fax/IN/1634/2014 දරන ලිපිය මගින් එම බලය පොලිස් නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු භාර නිලධාරීන්ට පවරා ඇත. 2015.05.11 වන දින පොලිස් චක්‍රලේක අංක 2542/2015 අනුව බලපත්‍ර නොමැති ව නීති විරෝධී ව මැණික් කැණීම් සිදු කරන ස්ථාන වැටලීමේ හා එවන් නීති විරෝධී ක්‍රියාවන්වල නිරත පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ බලය පිළිබඳ ව සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
    නීති විරෝධී මැණික් කැණීම් සිදු කරන ස්ථාන පොලිස් නිලධාරීන්ට හඳුනා ගැනීම පහසු කිරීම සඳහා වලංගු බලපත්‍ර සම්බන්ධයෙන් ලැයිස්තුවක් සෑම මසක ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය වෙත ලබා දිය යුතු ය. නමුත් බලපත්‍ර ලබා දී ඇති ස්ථාන පරීක්ෂා කිරීමේ බලය හෝ බලපත්‍රයක නීත්‍යානුකූලභාවය පරීක්ෂා කිරීමේ බලය පොලිස් නිලධාරීන්ට ලබා දී නොමැත. මෙය භාවිත කර මෙම අධිකාරිය අල්ලස් ලබා ගනිමින් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන අතර ඒවා පරීක්ෂා කිරීමේ බලය කිසිදු රාජ්‍ය ආයතනයකට ලබා නොදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඒකාධිකාරිය යටතේ පවත්වාගෙන යයි. මේ නිසා බලපත්‍ර අංකය ප්‍රදර්ශනය කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් හා එක් ව මැණික් ව්‍යාපාරිකයන් මෙම ජාවාරමේ නිරත වේ.

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන රට තුළ ක්‍රියාත්මක වන අතරතුර මේ ආකාරයෙන් මැණික් ජාවාරම් සිදු වීමෙන් මෙනී යන්නේ මෙම වැඩසටහන හුදු ප්‍රචාරක ක්‍රියාවලියකට පමණක් සීමා වී ඇති බව ය. නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක් ව රටේ සමස්ත ස්වාභාවික සම්පත් හා සියලු ජීවීන්ට ජීවත් වීමට ඇති අයිතිය මෙන් ම නීතියේ ආධිපත්‍යය විනාශ කර දමද්දී වත්මන් ආණ්ඩුව ඒ සඳහා ඉඩ දී බලා සිටිති. මෙය මින් පෙර පැවති ආණ්ඩුවල ස්වභාවය ම බව පෙනී යයි. එබැවින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම යන්න මැතිවරණ සමයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ලේඛණයකට පමණක් සීමා වන බව පෙනී යයි. එය සැබෑ ලෙස ම ජනතාව සමඟ සම්මුතිගත වීමක් නොවන බව පෙනෙන්නට තිබේ. නමුත් අප අවධාරණය කරන්නේ සිංහරාජ සමස්ත වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙන් ම වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මෙම නීති විරෝධී යාන්ත්‍රික පතල් කැණීම් හා හෝටල් ඉදි කිරීම් සම්පූර්ණයෙන් ම ඉවත් කර බෝටියතැන්න සමස්ත ප්‍රදේශය ම වන පිවිසුමක් ලෙස රක්ෂිත තත්ත්වයට පත් කර සුරක්ෂිත කරන ලෙස ය.

  • බෝටියතැන්නේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි

    බෝටියතැන්නේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි

    කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ හා වන පිවිසුම හෝටල් සකසා විනාශ කිරීම අද වන විට යාන්ත්‍රික පතල් කැණීමෙන් විනාශ කරන තත්ත්වයකට පරිවර්තනය වී ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ගේ සහයෝගය හා මඟ පෙන්වීම මත සිදු වූ හෝටල් ව්‍යාප්ත කිරීමේ හා වන පිවිසුම විනාශ කිරීමේ ක්‍රියාවලිය මගින් ඇති කළ වැරදි පූර්වාදර්ශ ලබා දීමෙන් පසුව අද වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මඟ පෙන්වීමෙන් නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීම ද වර්ධනීය තත්ත්වයකට පරිවර්තනය වී තිබේ.
    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ බෝටියතැන්න ප්‍රදේශයේ සන්නන්දොළ මායිමේ පිහිටි සරත් මාකාවිටට අයත් ඉඩමේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීම සිදු වේ. රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට රත්නපුර මැණික් ව්‍යාපාරිකයකු සමඟ එක් ව මෙම යාන්ත්‍රික පතල් කැණීමේ නිරත වේ. රඹුක ගඟේ ආරම්භය ලෙස සැලකෙන සන්නන් දොළ මායිමේ හා එම දොළෙහි ආරම්භක භූගත දියදහරාවන් විනාශ කරමින් බැකෝ යන්ත්‍ර හතරක් උපයෝගී කර ගෙන මෙම මැණික් පතල් කැණීම් සිදු කරයි. රඹුක ගඟ, කුකුළේ ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අතර එය කළු ගඟ පෝෂණය කරන අතු ගංගාවක් වේ. ලංකාවට ආවේණික හා ඉතා ම දුර්ලභ ජලජ ජීවීන් රැසක් වාර්තා වන මෙම ජල මාර්ග පද්ධතියට දැවැන්ත රොන්මඩ ප්‍රමාණයක් එක් කරමින් මෙම යාන්ත්‍රික පතල් කැණීම් සිදු කරයි.

    මෙම පතල් කැණීම් සිදු කරන මාණික්කවත්ත, බෝටියතැන්න ප්‍රදේශය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ වේ. මීට අමතර ව සිංහරාජ සමස්ත වන රක්ෂිතයේ හඳපාන්ඇල්ල හා පනිල්කන්ද සම්බන්ධ කරන වන පිවිසුම වන්නේ බෝටියතැන්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශය අවහිර කළ විට සිංහරාජ වන රක්ෂිතය සම්පූර්ණයෙන් ම දෙකඩ වී යයි. වර්තමානය වන විට හෝටල් ඉදි කිරීමෙන් හා යාන්ත්‍රික පතල් කැණීමෙන් වනාන්තර පද්ධතියේ විශාල ප්‍රදේශයක් දෙකඩ වීමට ලක් වී ඇති අතර මේ හේතුව නිසා මෙහි ජීවත් වන උප කඳුකර වනාන්තර ආශ්‍රිත ආවේණික ජීවීන්ට බොහෝ තර්ජන එල්ල වේ.

    සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනා ගේ මෙම වනාන්තර පද්ධති දෙක අතර ගමන් කරන ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඩේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්‍රස්වත්ත යන ගම්මානවලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට හා වගා බිම් හා දේපල හානි කිරීම්වලට මුහුණ දීමට සිදු වේ.

    නීති විරෝධී ව යාන්ත්‍රික මැණික් පතල් කැණීමට බලපත්‍ර නිකුත් කිරීම

    මෙවන් ඉතා ම සංවේදී පරිසර පද්ධතියක යාන්ත්‍රික පතල් කැණීම සඳහා අනුමැතිය ලබා දීමෙන් සිදු වන හානි කර තත්ත්වය හා නීති විරෝධී තත්ත්වය පිළිබඳ ව කිසිදු අවබෝධයකින් තොර ව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා කැනීම් බලපත්‍ර නිකුත් කර ඇත. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිත කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්‍රදේශයයි. මේ අනුව සන්නන් දොළ මායිමේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.

    ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයන් ව අත් අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇති අතර එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එසේ තිබිය දී බෝටියතැන්නේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා අංක 1018786 දරන කැණීම් බලපත්‍රය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කර ඇත්තේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

    මැණික් අධිකාරියේ නීති විරෝධී ක්‍රියාමාර්.

    1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව ය. මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කරනවා වෙනුවට ඒ මගින් දැවැන්ත විනාශයන් ඇති කරමින් ස්වාභාවික පරිසර පද්ධති හා ජන දිවිය බිඳ වැටීමට හේතු වන ආකාරයෙන් ව්‍යාපාරිකයන්ට කටයුතු කිරීමට අවස්ථාව සකස් කර දෙන ආකාරය මේ මගින් පෙනී යයි. 2020 ජනවාරි 14 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී ද පෙනී යන්නේ එම අධිකාරියෙන් නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් ව සිදු කර නොමැති බව ය. නමුත් ඒ වෙනුවට මෙම අධිකාරියේ නිලධාරීන් මහ පරිමාණයෙන් අල්ලස් ලබා ගැනීම සිදු කරන ආකාරය මෙම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් ගේ ප්‍රකාශ මගින් තහවුරු වේ.

    අල්ලස් මත නීති ක්‍රියාත්මක නොකිරීම

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එපමණක් නොව එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කළ නොහැකි ය. පනතේ 15(4)(ආ)(ii) හා (iii) වගන්තිවලට අනුව බලපත්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත් ව කැණීම් කටයුතු සිදු කළ යුතු අතර ලබා දෙන බලපත්‍රය මාස 12 ක කාලයක් සඳහා පමණක් වලංගු වේ. මෙම පනතේ 15(6) හා (7) වගන්තිවලට අනුව බලපත්‍රයක කොන්දේසි හා නියමයන් පැහැරහරින අවස්ථාවක එම බලපත්‍රය අවලංගු කිරීමේ බලය මෙම අධිකාරියට ඇත. පනතේ 48(1) වගන්තියට අනුව බලපත්‍රයක් සහිත ව හෝ රහිත ව සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත. 48(2) වගන්තියට අනුව මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම සඳහා බාධා කිරීම හෝ බලපෑම් කිරීම සිදු කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දසදහසක් දක්වා දඩයකට හෝ මාස 6 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මෙම පනතේ 49(1) වගන්තියට අනුව නීති විරෝධීව මැණික් කැණීම් සඳහා භාවිත කරන භාණ්ඩ අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමේ බලය ඇති අතර 50 වන වගන්තියට අනුව ඒවා රජය සතු වන්නේය. 51(2) වගන්තියට අනුව නීති විරෝධී ව මැණික් කැණීම් කරන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දස ලක්ෂයක් දක්වා දඩයකට හෝ වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.

    මෙතරම් විශාල බලතල ප්‍රමාණයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙන් එම අධිකාරියට ලබා දී තිබිය දී මෙම බලතල භාවිත කර විධිමත් මැණික් කැණීම් කටයුතු රට තුළ ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ප්‍රභල දේශපාලඥයන් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධ වී ජාවාරම් කටයුතුවල නිරත වීම හා අල්ලස් ලබා ගනිමින් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දීම ය. එහි අවසන් ප්‍රතිඵලය මෙම පතල් කැණීම් ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව හා ජෛව ප්‍රජාව දැඩි පීඩනයකට ලක් වීම ය.

    පොලීසියට බලතල ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා නොදීම

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 47 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම අධිකාරියට වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලය පැවරිය හැකි ය. ඒ අනුව 2013.10.16 වන දින අංක IGP/Fax/IN/1634/2014 දරන ලිපිය මගින් එම බලය පොලිස් නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු භාර නිලධාරීන්ට පවරා ඇත. 2015.05.11 වන දින පොලිස් චක්‍රලේක අංක 2542/2015 අනුව බලපත්‍ර නොමැති ව නීති විරෝධී ව මැණික් කැණීම් සිදු කරන ස්ථාන වැටලීමේ හා එවන් නීති විරෝධී ක්‍රියාවන්වල නිරත පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ බලය පිළිබඳ ව සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

    නීති විරෝධී මැණික් කැණීම් සිදු කරන ස්ථාන පොලිස් නිලධාරීන්ට හඳුනා ගැනීම පහසු කිරීම සඳහා වලංගු බලපත්‍ර සම්බන්ධයෙන් ලැයිස්තුවක් සෑම මසක ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය වෙත ලබා දිය යුතු ය. නමුත් බලපත්‍ර ලබා දී ඇති ස්ථාන පරීක්ෂා කිරීමේ බලය හෝ බලපත්‍රයක නීත්‍යානුකූලභාවය පරීක්ෂා කිරීමේ බලය පොලිස් නිලධාරීන්ට ලබා දී නොමැත. මේ නිසා බලපත්‍ර අංකය ප්‍රදර්ශනය කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් හා එක් ව මැණික් ව්‍යාපාරිකයන් මෙම ජාවාරමේ නිරත වේ.

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන රට තුළ ක්‍රියාත්මක වන අතරතුර මේ ආකාරයෙන් මැණික් ජාවාරම් සිදු වීමෙන් මෙනී යන්නේ මෙම වැඩසටහන හුදු ප්‍රචාරක ක්‍රියාවලියකට පමණක් සීමා වී ඇති බව ය. නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක් ව රටේ සමස්ත ස්වාභාවික සම්පත් හා සියලු ජීවීන්ට ජීවත් වීමට ඇති අයිතිය මෙන් ම නීතියේ ආධිපත්‍යය විනාශ කර දමද්දී වත්මන් ආණ්ඩුව ඒ සඳහා ඉඩ දී බලා සිටිති. මෙය මින් පෙර පැවති ආණ්ඩුවල ස්වභාවය ම බව පෙනී යයි. එබැවින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම යන්න මැතිවරණ සමයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ලේඛණයකට පමණක් සීමා වන බව පෙනී යයි. එය සැබෑ ලෙස ම ජනතාව සමඟ සම්මුතිගත වීමක් නොවන බව පෙනෙන්නට තිබේ. නමුත් අප අවධාරණය කරන්නේ සිංහරාජ සමස්ත වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙන් ම වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මෙම නීති විරෝධී යාන්ත්‍රික පතල් කැණීම් හා හෝටල් ඉදි කිරීම් සම්පූර්ණයෙන් ම ඉවත් කර බෝටියතැන්න සමස්ත ප්‍රදේශය ම වන පිවිසුමක් ලෙස රක්ෂිත තත්ත්වයට පත් කර සුරක්ෂිත කරන ලෙස ය.

  • ඇමැති ලාල්කාන්ත ගොවීන් ව නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවයි

    ඇමැති ලාල්කාන්ත ගොවීන් ව නීති විරෝධී ක්‍රියා සඳහා පොළඹවයි

    වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ප්‍රකාශයකි. මෙවන් ප්‍රකාශ ව්‍යවස්ථාදායකය තුළ සිට ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් ගොඩනැගීම ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ම බිඳ දමන බව ය. මීට ප්‍රථම බලයට පත් වූ ජාවාරම්කාරී, ඒකාධිපති ආණ්ඩු පරාජය කර ප්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගීමට ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය බහුතර ජනතාවක් වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව සමඟ ඇති කර ගන්නා සම්මුති කෙටි කලකින් බිඳ දමන ආණ්ඩුවක් ගොඩනැගීමට නොවන බව ද ඔවුන් අවබෝධ කර ගත යුතු ය.

    වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම

    2022 අංක 07 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 53අ උප වගන්තියට අනුව වන සතෙකු මැරීම හෝ මත් කිරීම සඳහා වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය භාවිත කිරීම නීති විරෝධී වේ. පනතේ 52 වගන්තියට අනුව කෘත්‍රිම ආලෝකය භාවිත කර වන සතෙකු ගේ පෙනීම මුලා කිරීමෙන් හෝ සතා ඇද ගැනීමට සැලැස්වීමෙන් හෝ අල්ලා ගැනීමට පහසු කිරීම සඳහා ක්‍රියා කිරීම ද නීති විරෝධී වෙයි. එපමණක් නොව පනතේ 52ආ උප වගන්තියට අනුව සතෙකු අල්ලා ගැනීම සඳහා පෙළැඹවීම හා ආකර්ෂණය කර ගැනීමට ආහාර වර්ග, සුවඳ වර්ග, වර්ණයන් හෝ වෙනත් ද්‍රව්‍යක් හෝ උපකරණයක් භාවිතා කිරීම ද නීති විරෝධී ක්‍රියාවකි. පනතේ 53ආ උප වගන්තියට අනුව වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය මගින් මරණු ලැබූ හෝ අල්ලාගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගැනීම ද තහනම් වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරුවකු වන අයෙකු පනතේ 58 වගන්තියට අනුව රුපියල් 15,000 ත් 30,000 ත් අතර දඩයකට හෝ වසර 1 ත් 2 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව විශේෂිත කරුණක් වන්නේ පනතේ 59 වන වගන්තියට අනුව මෙවන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරීමට තැත් කරන හෝ වරදක් සිදු කිරීමට අනුබල දෙන ඕනෑ ම තැනැත්තෙකු ඒ වරද ම සිදු කරන අතර එම දඩුවමට ම ලක් කළ හැකි වීම ය.

    වන සතුන් වගා බිම්වලට පැමිණීමේ හේතු

    වගා හානි කරන වන සතුන් සිටින බව නීතියෙන් පමණක් නොව අප ද දන්නා කරුණකි. එපමණක් නොව එවන් තත්ත්වයට වන සතුන් පරිවර්තනය වීමට හේතු සාදක වූ කරුණු ද අප දන්නෙමු. වන සතුන් වගා හානි කරන තත්ත්වයට පරිවර්ථනය වූයේ ද අප ගේ වැරදි ක්‍රියා මාර්ග හේතුවෙනි. ස්වාභාවික පරිසර පද්ධති විනාශය හා ඒවා ඛණ්ඩනය කරමින් ජනාවාස, වාණිජ වගා බිම් හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සතුන් ගේ වාසස්ථාන හෝ ආහාර බිම් නොවන ඇකේසියා, පයිනස්, යුකැලිප්ටස්, තේක්ක වැනි වන වගාවන් ඇති කිරීම මෙන් ම ඒක භෝග වාණිජ වගාවන් ලෙස තේ, රබර්, කටුපොල්, උක් හා බඩඉරිගු වැනි වගාවන් ව්‍යාප්ත කිරීම සහ වන සතුන් ගේ වාසස්ථාන තුළ එම සතුන්ට වාසස්ථාන හා ආහාර නොවන ආක්‍රමණික ශාක ලෙස යෝධ නිදිකුම්බා, ගඳපාන, ගිනිතණ, කටුපතොක්, කහදියපර, කලපු අන්දර, කටු උණ වැනි ශාක ව්‍යාප්ත වීම වැනි තත්ත්වයන් රිලවුන්, දඩුලේනන්, ඉත්තෑවන්, වල් ඌරන් හා මොනරුන් ගේ වාසස්ථාන හා ගොදුරු බිම් අහිමි වී වගා බිම්වලට පැමිණ වගා හානි සිදු කරන තත්ත්වයට පත් වීමට හේතු සාදක වී ඇත. මීට අමතර ව ස්වාභාවික වාසස්ථාන සීමා වීම හා ඛණ්ඩනය වීම නිසා මෙම සතුන් ගේ ස්වාභාවික විලෝපිකයන් සීමා වීමෙන් මෙම සතුන් ගේ ගහනයන් වර්ධනය වීම සිදු වේ.

    ආරක්ෂිත නොවන වන සතුන්

    මේ නිසා ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වන වගන්තියට අනුව පළමු වන උප ලේඛනයේ සහ 31 වන වගන්තියට අනුව තුන් වන උප ලේඛනය යටතේ ආරක්ෂිත නොවන ක්ෂීරපායී සතුන් හා ආරක්ෂිත නොවන පක්ෂීන් නම් කර ඇත. පළමු උප ලේඛණය යටතේ ක්ෂීරපායී සතුන් පස්දෙනෙකු ආරක්ෂිත නොවන සතුන් ලෙස නම් කර ඇත. ඊට හේතු ව මෙම සතුන් වගා හානි කරන සතුන් ලෙස සැලැකීම ය. රිලවා, අළු වදුරා, වල් ඌරා, ඉත්තෑවා, හාවා ආරක්ෂිත නොවන ක්ෂිරපායී සතුන් වේ. තුන්වන උප ලේඛණයට අනුව ආරක්ෂිත නොවන පක්ෂීන් වන්නේ රෑන ගිරවා, කොළඹ කපුටා, ගං කපුටා, තිත් වී කුරුල්ලා සහ පිට සුදු වී කුරුල්ලා ය.

    මෙම ආරක්ෂිත නොවන සතුන් අනාරක්ෂිත වන්නේ පෞද්ගලික වගා බිමක දී පමණි. නමුත් එම සතුන් වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් කිසිදු උපකරණයක් හෝ රසායනික හෝ විදුලි සැර යොදා හෝ මදු තැබීමෙන් හෝ පාලනය කළ නොහැකි ය. නීතියට අනුව එම සතුන් පාලනය කළ හැකි වන්නේ බලපත්‍ර සහිත ගිනි අවියකින් පමණි.

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඉදිරියේ දී සංශෝධනය කර ආරක්ෂිත නොවන ක්ෂීරපායී ලේඛණයේ ඇතුළත් වගා හානි සිදු කිරීමට වැඩි දායකත්වයක් ලබා නොදෙන අළු වදුරා හා හාවා ඉවත් කර ඒ වෙනුවට දඩුලේනා සහ අනාරක්ෂිත පක්ෂි ලේඛණයේ කොළඹ කපුටා, ගං කපුටා හා පිට සුදු වී කුරුල්ලා ඉවත් කර ඒ වෙනුවට මොණරා ඇතුළත් කිරීමට පියවර ගත යුතු වන්නේ වගා හානි සිදු කිරීමට දායක වන සතුන් පමණක් එම ලේඛණවලට ඇතුළත් වීම ප්‍රමාණවත් වන නිසා ය.

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නැති කිරීම

    වත්මන් ආණ්ඩුවේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක්, සදාහරිත ජීවිතයක් කොටසෙහි සඳහන් කර ඇත්තේ සියලූ ම ජීවීන් ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොට ගෙන ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වන බව ය. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන් ම ජාතික ජන බලවේගය ජනතාව සමඟ සම්මුති ගත වූ “මිහිකත, ඔබ, අප, මතු පරපුරේ ද උරුමය වෙනුවෙන්” වන පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර ඇත්තේ මොනරුන්, රිලවුන්, දඩුලේනන් වැනි වගාවන්ට හානි පමුණුවන වන සතුන් ගේ වර්ධනය පිළිබඳ ව නිවැරදි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ගහනය පාලනය කිරීමට පියවර ගන්නා බව ය. නමුත් ලාල්කාන්ත අමාත්‍යවරයා ගේ ප්‍රකාශයත් සමඟ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මීට ප්‍රථම පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට සිදු වූ ආකාරයෙන් ම ලේඛණවලට පමණක් සීමා වන බව පෙනෙන්නට තිබේ. එය පෙර පැවති ආණ්ඩු මෙන් ම වත්මන් ආණ්ඩුව ද ජනවරමට පිටතින් කටයුතු කිරීමකි.

    ගොවිතැනේ සැබෑ අභියෝග මඟහැරීම

    ගොවීන් වගා කටයුතුවල දී මුහුණ පා ඇති ප්‍රධාන අභියෝගයන් ලෙස කෘෂි රසායනික හා බීජ නිෂ්පාදන සමාගම්වල ග්‍රහණයට නතු වීම, ජල අර්බුද, ගොවියා වගා බිම්වලින් ඉවත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවි බිම් මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවන් සඳහා සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම, ගොවි බිම් වෙනත් ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, පසු අස්වනු විනාශය, අස්වැන්න අලෙවි කර ගැනීමේ අභියෝග, අස්වැන්නේ මිල තීන්දු කිරීමේ දී වෙළෙදපොළ මාෆියාවට ගොදුරු වීම, අනවශ්‍ය පරිදි ආහාර ආනයනය කර ගොවීන් අතර වෙළෙදපොළ තරගයක් ඇති කිරීම මෙන් ම වන සතුන් ගෙන් සිදු වන වගා හානි යන සියල්ල ම පවතින බව අප දනිමු. මේ සියල්ල අවබෝධ කර නොගතහොත් සමස්ත ගොවිතැනට ඇති සැබෑ අභියෝග සියල්ලට පිළියම් සෙවීම වෙනුවට වන සතුන් පාලනය කිරීමෙන් පමණක් ගොවිතැනේ අභියෝගවලට පිළියම් සෙවිය හැකි වන බව බොහෝ දෙනෙකු විශ්වාස කරනු ඇත. එමගින් බොහෝ දෑ මඟහැරී යනු ඇත. මේ නිසා ගොවිතැන ගොඩනැගීමට හා ගොවියා ගේ පැවැත්ම සුරක්ෂිත කර වගා බිම්වල හා වගා අස්වැන්නේ සුරක්ෂිතතාව ඇති කිරීමට පළමු ව කළ යුතු වන්නේ වගා හානි සිදු කරන වන සතුන් විනාශ කිරීම නොවන බව අපි පිළිගනිමු. එපමණක් නොව මෙම වන සතුන් පරිසර පද්ධතියේ තුළිත පැවැත්ම පවත්වාගෙන යාමට දායකත්වයන් බොහොමයක් ලබා දෙන බව ද අප තේරුම් ගත යුතු ය. මේ නිසා අප ගොවිතැන දෙස බැලිය යුත්තේ මානව කේන්ද්‍රීයව නොව ජෛව කේන්ද්‍රීයව ය.

    එවන් පුළුල් දැක්මක් සහිත ව්‍යවස්ථාදායකයක් ගොඩනැගීමට නම් බුද්ධිමතුන් යැයි අප සිතන වෘත්තීයවේදීන් පමණක් පාර්ලිමේන්තුවට පත් කර යැවීමෙන් නොහැකි වන බව ලාල්කාන්ත අමාත්‍යවරයා ගේ ප්‍රකාශයෙන් හා ඉන් පසු ව ඒ සඳහා ආණ්ඩුපක්ෂයෙන් නිවැරදි ප්‍රතිචාර ලබා නොදී ගොවීන් කුපිත කිරීමෙන් පෙනී යයි. මෙය පෙර පැවති ආණ්ඩුවල ස්වභාවය ම මිස ප්‍රගතිශීලී ආණ්ඩුවක ස්වභාවය නොවන බව අවසන් වශයෙන් ලියා තබමි.

    ලාල් කාන්තගේ වගකීම් විරහිත ප්‍රකාශය වන සතුන්ට බරපතළ හානි ගෙන දිය හැකියි

     

  • ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය – CBD, COP16, DSI සහ AI

    ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය – CBD, COP16, DSI සහ AI

    ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා හට අවබෝධ වූයේ ජෛව විවිධත්ව සම්මුතිය තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා දායක නොවන බව ය. වර්තමානය වන විට ජාන සම්පත් හා ජනතාව සතු සාම්ප්‍රදායික දැනුම මංකොල්ලය නීත්‍යානුකූල කර ගැනීමට ජපානය ප්‍රමුඛ රටවල බහු ජාතික සමාගම් විසින් ගන්නා දැවැන්ත ජාත්‍යන්තර ක්‍රියාකාරීත්වයක් බවට ජෛව විවිධත්ව සම්මුතිය හා ජෛව විවිධත්ව සමුළුව පත් ව තිබේ.

    ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 10 වන සමුළුවේ දී 2010 ඔක්තෝම්බර් මස 29 වන දින ජපානයේ නගෝයා නුවර දී සම්මත කරන ලද නගෝයා ප්‍රොටෝකෝලයට අනුව ජාන සම්පත් සඳහා ප්‍රවේෂය හා ප්‍රතිලාභ බෙදා ගැනීම පිළිබඳ ව මෙම සමුළුවේ දී වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් විය. මීට අමතර ව ජෛව විවිධත්ව සම්මුතියේ අටවන වගන්තිය යටතේ දැක්වෙන ස්ථානීය සංරක්ෂණයට අදාළ කොටසෙහි සඳහන් 8(j) වගන්තියට අනුව සාම්ප්‍රදායික දැනුම, නවෝත්පාදනයන් සඳහා භාවිත කිරීමට අදාළ කරුණු පදනම් කර ගනිමින් සමාගම් විසින් ජාන සම්පත් සහ ආදිවාසීන් හා ප්‍රාදේශීය ප්‍රජාව සතු සාම්ප්‍රදායික දැනුම ඉතා සූක්ෂම ව වාණිජ භාවිතයන් සඳහා අත්පත් කර ගැනීමට විශාල වෙහෙසක් ගන්නා ආකාරය මෙම සමුළුව තුළ නිරීක්ෂණය කළ හැකි විය. ඒ සඳහා ජපානය හා දකුණු අප්‍රිකාව ප්‍රමුඛ දියුණු රටවල සමාගම් ඇතුළු ව රාජ්‍ය නායකයන් විසින් වැඩි උනන්දුවක් ගන්නා ආකාරය පෙනෙන්නට තිබුණි.

    මෙහි දී කෘතිම බුද්ධිය මත පදනම් තාක්ෂණය (Artificial Intelligence – AI) හා ජානමය සම්පත් පිළිබඳ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු (Digital Sequence Information on Genetic Resources – DSI) භාවිත කර සිදු කෙරෙන නව නිෂ්පාදනයන් සඳහා අනාගත ආර්ථික ක්‍රමෝපායන් ඇති කිරීමට බහු ජාතික සමාගම් විසින් වැඩි උත්සාහයක් ගනිමින් සිටී. ඖෂධ මෙන් ම බීජ ඇතුළු කෘෂි නිෂ්පාදන හා සම්බන්ධ සමාගම් මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරනු සමුළුව පුරා දැක ගන්නට ලැබුණි.

    අනාගතයේ දී ජානමය සම්පත් පිළිබඳ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු මගින් කෘතිම බුද්ධිය භාවිත කර අලුත් ජීවීන් නිර්මාණයට ද බහු ජාතික සමාගම් කටයුතු කරනු ඇත. ඒ පිළිබඳ ව යම් ඉගියක් ලබා දීමට 16 වන සමුළුව පැවති භූමිය පුරා නිර්මාණය කර තිබූ ජගුවරයන් ගේ මූර්ති විචිත්‍රවත් ව නිර්මාණය කර තිබුණි. එය මෙම ජාන තාක්ෂණය හා කෘතිම බුද්ධිය මත අනාගතයේ ජීවීන් නිර්මාණය කරන ආකාරය පිළිබඳ ව ඉගියක් ලබා දීමක් යැයි පෙනෙන්නට තිබේ.

    ඉදිරි අනාගතයේ දී ජෛව විවිධත්වයෙන් ඉහළ අප වැනි නිවර්තන කලාපීය රටවල දැවැන්ත ජාන සම්පත් කොල්ලයක් හා සාම්ප්‍රදායික දැනුම කොල්ලයක් පේටන් බලපත්‍ර මගින් මෙම තාක්ෂණයන් මත පදනම් ව නීත්‍යානුකූල ස්වරූපයකින් සිදු විය හැකි ය. මේ සියල්ල බහු ජාතික සමාගම් සතු වීමෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු බොහොමයක් වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දරුණු ලෙස වෙළෙදපොළ ග්‍රහණයට නතු කර ගැනීම මේ මගින් සිදු වනු ඇත. මෙය බහු ජාතික සමාගම්වල කෘෂි රසායනික, බීජ මෙන් ම ඖෂධ ඒකාධිකාරිය අනාගතයේ අත්පත් කර ගන්නා නව ක්‍රමවේදය බවට පත් වනු ඇත. එය අනාගත ඩිජිටල් යටත්විජිතකරණය (Digital Colonialism) යි.

    මෙය පරාජය කිරීමට නම් මේ සියල්ල නිවැරදි ව අවබෝධ කර ගැනීම මෙන් ම ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය, කෘෂි කර්මාන්තය නව මුහුණුවරකින් සමාගම් ආධිපත්‍යයට නතු කර ගැනීමට එරෙහි ව පුළුල් ගැමි ගොවි ව්‍යාපාරයක් ගොඩනැංවිය යුතු ය. මේ තුළින් කෘෂි ජෛව සම්පත් සහ ඒ හා බැදුණු සාම්ප්‍රදායික දැනුම බහු ජාතික සමාගම්වල ග්‍රහණයට නතු කර ගැනීමේ සාහසික ප්‍රයත්නය පරාජය කළ යුතු ය.

    එය පරාජය කළ යුතු වන්නේ මෙම සම්පත්වල හා සාම්ප්‍රදායික දැනුමේ අයිතිය ඇත්තේ වත්මන් පරපුරට හෝ ඒවා වැඩිදියුණු කරන සමාගම්වලට නොවන නිසා ය. ඒ සියල්ලේ අයිතිය ඇත්තේ අප රටවල මුතුන්මිත්තන්ට ය. ඔවුන් දැනපුරුද්ද, දැකපුරුද්ද, කළපුරුද්ද හා පළපුරුද්ද මත ගොඩනැංවූ සාම්ප්‍රදායික දැනුම පෝෂණය කිරීම සඳහා දහඩිය මහන්සිය වැගිරීම පමණක් නොව ජීවිත අහිමි කර ගන්නට ඇත. එසේ ගොඩනැංවූ දැනුම අයිති වන්නේ එම රටවල වත්මන් හා අනාගත පරපුරට ය. ඒ සඳහා ඇත්තේ පොදු අයිතියකි. එම අයිතිය බහු ජාතික සමාගම් සතු කිරීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.

    එපමණක් නොව මෙතෙක් නගෝයා ප්‍රොටෝකෝලය අපරානුමත නොකළ අප රට එය අඛණ්ඩ ව පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම බලයට පත් වන ආණ්ඩුවලට අවබෝධ කර දීමට ද මැදිහත් විය යුතු ය.

     

     

  • ජනාධිපති සහ පවිත්‍රා වන්නිආරච්චි තප්‍රොබේන් සීෆුඩ් සමාගම හා එක් ව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය වනසයි

    ජනාධිපති සහ පවිත්‍රා වන්නිආරච්චි තප්‍රොබේන් සීෆුඩ් සමාගම හා එක් ව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය වනසයි

    මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ගේ මැදිහත් වීමෙනි. සමාගමක අවශ්‍යතාව මත රක්ෂිත ප්‍රදේශයක ඉඩම් නිදහස් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ. නීති විරෝධී ව සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් වැරදි පූර්වාදර්ශ රැසක් ම වත්මන් ආණ්ඩුව විසින් සමාජයට ලබා දී ඇත. මේ නිසා රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම පිළිබඳ ව ජනතාව තුළ පැවති යහපත් ආකල්ප බිඳ වැටීම සිදු ව තිබේ.

    විශේෂයෙන් යුද්ධය නිම වීමෙන් පසු ව උතුරු හා නැගෙනහිර පළාත්වල රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ව එම පළාත්වල ජීවත් වන ජනතාව තුළ යහපත් ආකල්පයක් නොතිබුණි. ඔවුන් විශ්වාස කරන්නේ පොදුවේ භාවිත කළ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන රක්ෂිත ලෙස නම් කර ඉන් පසු ව එම ඉඩම් සමාගම්වලට හෝ වෙනත් භාවිතයන් සඳහා ලබා දීමේ අරමුණ මත පදනම් ව රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන බව ය. එම ජනතාව තුළ පැවති මෙම වැරදි ආකල්ප සත්‍යය බවට තහවුරු කිරීම ජනාධිපතිවරයා ගේ හා පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ගේ මැදිහත් වීම මත සිදු කළ, තප්‍රොබේන් සීෆුඩ් සමාගමට අයත් වෙඩිතලතිව්, පල්ලමඩු, නයාතුවේලි ප්‍රදේශයේ පිහිටි ඉස්සන් ගොවිපොළ පුළුල් කර ජලජීවී වගා ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් ඉඩම් වෙන් කර දීම මගින් තහවුරු වේ.

    වෙඩිතලතිව් රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පදනම

    උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය නිම වීමෙන් පසු ව විශේෂයෙන් උතුරු පළාතේ ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා වන සැලැසුමක අවශ්‍යතාවය මතු විය. ඊට පදනම වූයේ ජාතික භෞතික සැලැස්ම ඇතුළු උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් හා යුද්ධයෙන් පසු ව ජනතාව නැවත පදිංචි කිරීමේ දී ඇති විය හැකි බලපෑම් නියාමනය කිරීම ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහයෝගය මත රාජ්‍ය ආයතනවල සහ විශේෂඥ කණ්ඩායමක දායකත්වයෙන් අධ්‍යයන කටයුතු සිදු කෙරින. ඒ මත පදනම් ව 2011 වසරේ දී සකස් කළ වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2014 වසරේ නොවැම්බර් මස දී Integrated Strategic Environment Assessment of the Northern Province of Sri Lanka නමින් ප්‍රකාශයට පත් විය. මෙම වාර්තාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත ව ඇති වෙඩිතලතිව් ප්‍රදේශයේ පිහිටි ස්වාභාවික පරිසර පද්ධති සංකීර්ණය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ආකාරය හා එසේ ප්‍රකාශයට පත් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ව සිතියම් ආශ්‍රයෙන් විස්තර කර තිබුණි.

    එපමණක් නොව යුද්ධය පැවති කාල සීමාවේ හා ඉන් පසු ව ශ්‍රී ලංකා කුරුලු සංගමය (Ceylon Bird Club) විසින් වාර්ෂික ව පක්ෂි සංක්‍රමණික සෘතුව තුළ සිදු කරන මෙරට ජලජ පක්ෂි සංගණනනයේ දී වෙඩිතලතිව් තෙත් බිම් පද්ධතිය විශේෂ අවධානයකට ලක් විය. විශේෂයෙන් උතුරු පළාතේ වැඩි ම තෙත් බිම් පක්ෂි ගහන ඝනත්වයක් පවතින ප්‍රදේශ අතුරෙන් ඉදිරියෙන් ම තිබෙන ප්‍රදේශයක් ලෙස වෙඩිතලතිව් ප්‍රදේශය හඳුනා ගෙන තිබේ. ඊට අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට මෙම ප්‍රදේශය ලක් විය.

    මීට අමතර ව පක්ෂි නිරීක්ෂණ කණ්ඩායම්වල හා පරිසර සංවිධානවල මෙන් ම පර්යේෂකයන් ගේ වැඩි අවධානයකට මෙම ප්‍රදේශය ලක් වූ අතර විශේෂයෙන් වෙඩිතලතිව් ප්‍රදේශයේ සමුද්‍රීය පරිසරය පිළිබඳ ව ද අධ්‍යයන ගණනාවක් සිදු කෙරින. මේ සියළු අධ්‍යයනවල ප්‍රතිඵලයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මන්නාරම හා මාන්තායි බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් 25 ක ව්‍යාප්තව ඇති වෙඩිතලතිව් ගොඩබිම් ප්‍රදේශයේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හා තෘණ බිම්, කලපු ආශ්‍රිත ව පිහිටි ලවණ වගුරු හා කඩොලාන වනාන්තර මෙන් ම නොගැඹුරු මුහුදු තීරයේ පිහිටි මුහුදු තෘණ බිම්, කොරල්පර හා මඩ තැනි ඇතුළු සමස්ත ප්‍රදේශය ම ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට සැලැසුම් සකස් විය.

    ඒ අනුව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(1) උප වගන්තියට අනුව විෂය භාර අමාත්‍යවරයාට ලබා දී ඇති බලතල ප්‍රකාර ව 2016 මාර්තු මස 01 වන දින අංක 1956/13 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 29,180 ක් වන වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත් කර ඇත. එම කාල වකවානුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන අතර එවකට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් මෙම ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරිනි. නමුත් කණගාටුදායක තත්ත්වය වන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු ව තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ අවශ්‍යතාව මත වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කිරීමට තීරණය කිරීම ය. එම තීරණය ක්‍රියාත්මක කිරීම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි විසින් සිදු කර ඇත්තේ අදාළ සමාගමෙන් ලබා ගත් විශාල අල්ලසකට බව එම සමාගමේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු හා ප්‍රධාන උපදේශකයකු විසින් තහවුරු කර ඇත. ඔවුන් සඳහන් කරන පරිදි එය එසේ සිදු නොවුනි නම් මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස රක්ෂිත ඉඩම් බැහැර කිරීමට අවධානම් තත්ත්වයන් සියල්ල භාර ගනිමින් අමාත්‍යවරිය විසින් තීරණය කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි ය.

    නීති විරෝධී රක්ෂිත ඉඩම් බැහැර කිරීම

    වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ දැක්වෙන 1 හා 4 උප වගන්තිවලට අනුව විෂය භාර අමාත්‍යවරයාට ඇති බලතල භාවිත කර 2024 මැයි මස 06 වන දින අංක 2383/05 දරන ගැසට් නිවේදනය මගින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් කොටසක් ඉවත් කර තිබේ. නමුත් මෙම ගැසට් නිවේදනයේ ඉවත් කරන භූමි ප්‍රදේශ පිළිබඳ ව නිවැරදි මායිම් සඳහන් නොකර අසම්පූර්ණ ගැසට් නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන් අනාවරණය කළේ ජනාධිපතිවරයා ගේ හා අමාත්‍යවරිය ගේ නියෝග මත තප්‍රොබේන් සීෆුඩ් සමාගමට ජලජීවී වගා ව්‍යාපෘතියකට අක්කර 418 ක භූමියක් ලබා දීමට ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම් නිදහස් කිරීම සිදු කළ බව ය.

    මේ ආකාරයෙන් ඉඩම් නිදහස් කිරීමක් නීත්‍යානුකූල ව සිදු කළ නොහැකි ය. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2022 අංක 07 දරන අවසන් සංශෝධනයේ මූලික අර්ථ නිරූපනයේ සවිස්තරාත්මක ව දක්වා ඇත්තේ වනජීවීන් හා වනජීවී වාසභූමි වාණිජමය වශයෙන් අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා මෙම පනත ගොඩනංවා ඇති බව ය. එම මූලික අර්ථ නිරූපනය මත පදනම් ව පනතේ සියලු වගන්ති අර්ථ නිරූපනය කළ යුතු වේ.

    ඒ අනුව මෙම පනතේ 2(4)(අ) උප වගන්තිය ප්‍රකාර ව රක්ෂිත ප්‍රදේශයක මායිම් සංශෝධනය කිරීමේ බලය අදාළ විෂය භාර අමාත්‍යවරයාට ඇති නමුත් එය සිදු කළ යුතු වන්නේ පනතේ මූලික අර්ථ නිරූපනයට එකඟ ව සහ පනතේ 2(5) වන උප වගන්තියට එකඟ ව ය. එම උප වගන්තියට අනුව රක්ෂිතයක මායිම් වෙනස් කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා අධ්‍යයනයක් සිදු කළ යුතු අතර එම මායිම් සංශෝධනයෙන් සිදු වන පාරිසරික බලපෑම් පිළිබඳ විමර්ශනයක් ද එම අධ්‍යයනයට ඇතුළත් විය යුතු ය. නමුත් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙවන් කිසිදු වාර්තාවක් පදනම් කර නොගෙන වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් ඉඩම් බැහැර කිරීම සිදු කර ඇති බැවින් එය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක්‍රියාවකි.

    වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2අ උප වගන්තියට අනුව ස්වභාව රක්ෂිතයක සියලු ක්‍රියා සිදු විය යුතු වන්නේ අනුමත කළමනාකරණ සැලැසුමකට යටත් ව ය. ඒ අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද කළමනාකරණ සැලැසුම් කමිටුවක් විසින් සකස් කළ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අදාළ 2024 – 2028 වසර සඳහා වන කළමනාකරණ සැලැසුම පනතේ 2අ(3) උප වගන්තියට අනුව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. සී. එම්. හේරත් විසින් 2023 දෙසැම්බර් මස 27 වන දින අත්සන් කර අනුමත කර තිබේ. එම අනුමත සැලැසුම වසර 5 ක් වලංගු වන අතර ඊට පිටතින් කිසිදු සංවර්ධන ක්‍රියාකාරකමක් ස්වභාව රක්ෂිතය තුළ සිදු කළ නොහැකි ය. නමුත් මෙම කළමනාකරණ සැලැසුමෙහි ජලජීවී වගා ව්‍යාපෘතියකට ඉඩම් නිදහස් කිරීමක් පිළිබඳ ව කිසිදු සඳහනක් නොමැත. ඒ අනුව අනුමත කළමනාකරණ සැලැසුම ද උල්ලංඝනය කරමින් ස්වභාව රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව නිදහස් කිරීම පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් සිදු කර ඇත.

    හානි කර සමාගමකට ස්වභාව රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව ලබා දීම

    නීති විරෝධී ව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් ඉඩම් වෙන් කර එම ඉඩම් ලබා දීම සිදු කරනු ලබන්නේ පරිසර හානි කර හා මහජන පීඩා ඇති කරමින් ක්‍රියාත්මක වන තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ වෙඩිතලතිව්, ඉස්සන් ගොවිපොළ පුළුල් කිරීම සඳහා ය. 2011 වසරේ දී තිමොති ඔරෙයිල් හා ඩිලාන් ප්‍රනාන්දු යන ව්‍යාපාරිකයන් දෙදෙනා එක් ව ආරම්භ කරන ලද Taprobane Seafood පුද්ගලික සමාගම සහ 2010 වසරේ දී ආරම්භ කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ Direct Source Seafood සමාගම හා එක් ව තිරසර මුහුදු ආහාර නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම සඳහා උපායමාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය වසරේ එළැඹ ඇත්තේ අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමේ පදනම මත ය. එම පදනම මත ඇමරිකා එක්සත් ජනපදයේ කකුළුවන් හා ඉස්සන් ආනයනය කිරීමේ විශාලත ම සමාගම වන Direct Source Seafood සමාගම හා ගිවිසුම් ගත ව තිබේ. ඒ අනුව වර්තමාන හා අනාගත පරපුරේ රැකවරණය තහවුරු කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ ස්වභාව රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව ලබා ගෙන තිරසර මුහුදු ආහාර නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීම යනු හාස්‍යයට කරුණකි.

    තප්‍රොබේන් සීෆුඩ් සමාගම 2023 වසරේ දී ඩොලර් මිලියන 20 කට වඩා වැඩි විකුණුම් ප්‍රමාණයක් සිදු කර ඇති අතර 2024 වසරේ දී හා ඉන් පසු ව වාර්ෂික ව ඩොලර් මිලියන 40 ඉක්මවීමට සැලැසුම් කර ඇත. මේ සියල්ල සැලැසුම් කර ඇත්තේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම් සමාගම යටතට අත්පත් කර ගැනීමේ පදනම මත ය. මේ ආකාරයෙන් විදේශ විනිමය මෙරටට ගෙන එන බව සඳහන් කරන සමාගම, 1983 වසරේ සිට 2010 වසර දක්වා උතුරු හා නැගෙනහිර පළාත්වල යුධ ගැටුමට මැදි වී සිටි වෙඩිතලතිව් ප්‍රදේශයේ ධීවර ජනතාව ගේ ශ්‍රමය, ජීවත් වීමට ඇති අයිතිය හා ස්වාභාවික සම්පත්වල පැවැත්ම මෙන් ම නිදහස් ජන දිවිය ද අහිමි කරමින් සිටී. ධීවර ජනතාව මෙම සමාගම හා සම්බන්ධ ණයකරුවන් බවට පත් කර ගෙන ඒ මත පදනම් ව ඔවුන් ගේ මත්ස්‍යය අස්වැන්න ඉතා ම අඩු මුදලකට මිල දී ගනිමින් සිටී. මීට අමතර ව මෙම සමාගමේ කිසිදු රැකියාවක් සඳහා ප්‍රදේශවාසීන් සම්බන්ධ කර නොගනී. ඊට ප්‍රධාන හේතුව මෙම ඉස්සන් ගොවිපොළේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ප්‍රදේශවාසීන්ට දැන ගැනීමට ඇති අවස්ථාව අහුරා දැමීම ය.

    මෙම ගොවිපොළේ සියලූ ම ජලීය අපද්‍රව්‍ය ඒ ආසන්නයෙන් ගලා යන නයාරු ඇළට සෘජු ව යොමු කරයි. එම අපජලය මෙම ඇළ ඔස්සේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය තුළ පිහිටි කලපු, කඩොලාන හා මුහුදු තෘණ බිම් ප්‍රදේශයට යොමු වේ. පසුගිය වසර කිහිපය තුළ ඉස්සන් ගොවිපොළේ ටැංකි පිරිසිදු කිරීමේ දී ඉවත් කරන අපජලය මෙම ඇළට යොමු කිරීමෙන් මත්ස්‍යයන් ලක්ෂ ගණනක් එකවර මිය යාමට ලක් ව තිබේ. මෙම අපජලයෙන් දූෂණය වී ඇති ඇළ මාර්ග හා ඒ ආසන්නයේ පිහිටි කඩොලාන පද්ධතියට කලපුවේ හා නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන මසුන්, ඉස්සන් හා කකුළුවන් බෝවීම සඳහා පැමිණීම ද විශාල මට්ටමකින් අඩු වී තිබේ. මේ නිසා කලපු ආශ්‍රිත සුළුපන්න ධිවර කර්මාන්තය බිඳ වැටෙමින් පවතී. මේ ආකාරයෙන් හානි කර ලෙස ක්‍රියාත්මක වන සමාගමක ඉස්සන් ගොවිපොළ පුළුල් කිරීම සඳහා තවත් ඉඩම් ලබා දීමෙන් සිදු වන්නේ සමස්ත වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ම ධීවර ජනතාව ගේ ජන දිවිය ද සමඟ දැවැන්ත බිඳ වැටීමකට ලක් වීම ය.

    ඉස්සන් ගොවිපොළකින් අපජලය පොදු ජල මූලාශ්‍රයකට පිරිපහදු කිරීමකින් තොර ව බැහැර කිරීමේ හැකියාවක් නොමැත. එසේ අපජලය බැහැර කළ හැකි වන්නේ, සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23අ සහ 23ආ උප වගන්තිවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති 2008 පෙබරවාරි මස 10 වන දින අංක 1534/18 දරන හා 2022 ජනවාරි මස 27 වන දින අංක 2264/17 දරන ගැසට් නිවේදනවල සඳහන් ජලීය අපද්‍රව්‍ය බැහැර කිරීමේ ධාරණ සීමාවල් වලට යටත් ව ය. ඒ අනුව සාගරයට අපජලය බැහැර කිරීමේ දී හා වෙරළාසන්න ජලයට අපජලය බැහැර කිරීමේ දී වන ධාරණ සීමා සඳහන් කර තිබේ. නමුත් මෙම ඉස්සන් ගොවිපොළෙන් මෙම ධාරණ සීමා ඉක්මවා යමින් අපජලය පිරිපහදු කිරීමකින් තොර ව සෘජු ව නයාරු ඇළ වෙත යොමු කරන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.

    මීට අමතර ව ජාතික පාරිසරික පනතේ 23අ වගන්තියට අනුව පරිසරයට අපද්‍රව්‍ය මුදාහරිමින් සිදු කරන ඕනෑ ම කර්මාන්තයක් පවත්වා ගෙන යාම සඳහා 2022 ජනවාරි මස 27 වන දින අංක 2264/18 දරන ගැසට් නිවේදනයේ සඳහන් පරිදි පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු ය. ඒ අනුව මෙම ඉස්සන් ගොවිපොළ පවත්වා ගෙන යාම සඳහා ද පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු වේ. නමුත් ඒ සඳහා ලබා ගෙන ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් සෘජු ව අපජලය ඇළ මාර්ගවලට බැහැර කරමින් ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් මෙම ඉස්සන් ගොවිපොළ පවත්වා ගෙන යයි. එපමණක් නොව මෙම බලපත්‍රය ලබා ගැනීමේ දී ඉස්සන් ගොවිපොළ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු, අපද්‍රව්‍ය බැහැර කිරීම හා පිරිපහදු පද්ධතිය පිළිබඳ නිවැරදි තොරතුරු සැඟවීම ද සිදු කර ඇත.

    මේ හේතුවෙන් ඉස්සන් ගොවිපොළ අවට ජීවත්වන ජනතාව පීඩාවට ලක් ව සිටී. 1883 අංක 02 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තියට අනුව පොදුවේ අයිතිවාසිකම් භුක්ති විදීමේ හැකියාව පවතින ප්‍රභවයන් අන්තරායකට හෝ බාධාවකට ලක් කිරීම මහජන පීඩාවකි. ඒ අනුව මෙම ඉස්සන් ගොවිපොළ මහජන පීඩාවන් උද්ගත වන අන්දමින් පවත්වා ගෙන යාම ද සිදු කරයි.

    පරිසර හානි කර ලෙස හා මහජන පීඩාවන් ඇති වන පරිදි පවත්වා ගෙන යන මෙම ඉස්සන් ගොවිපොළ තවත් පුළුල් කිරීම හා සමාගමේ ඉලක්කය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක අපනයන ආර්ථිකය අත්පත් කර ගැනීමට වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය විනාශ කිරීමට, මෑත ඉතිහාසය පුරා ම පරිසරය හා ජන දිවිය පීඩාවට පත් කරමින් ක්‍රියාත්මක වන මෙම සමාගමට විශාල කාලයක් ගත නොවනු ඇත. මුදලට ඇති කෑදර කම නිසා මේ පිළිබඳ ව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණකි.

    රජය ජනතාව ගේ පොදු අයිතිය නීති විරෝධී ව සමාගම් සතු කිරීම

    මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය සහ ඒහා පදනම් වූ ජන දිවිය ප්‍රධාන වශයෙන් ම රැදී ඇත්තේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය මත ය. නොගැඹුරු මුහුදු තීරයේ හා කලපු ආශ්‍රිත ව ජීවත් වන මත්ස්‍යයන්, ඉස්සන් හා කකුළුවන් ප්‍රධාන වශයෙන් ම බෝවීම සිදු වන්නේ මෙම ස්වභාව රක්ෂිතයට අයත් මඩ තැනි, මුහුදු තෘණ බිම්, කඩොලාන හා ලවණ වගුරු බිම්වල ය. එම මත්ස්‍යය සම්පත මත මන්නාරමේ ධීවර ජනතාව ගේ ආර්ථිකය හා සමාජ ජීවිතය රැදී පවතී. ජන ජීවිතය, ආර්ථිකය මෙන් ම රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය හා බැදී පැවති මෙම ස්වාභාවික පරිසර පද්ධති සියල්ල 2016 වසරේ දී ස්වභාව රක්ෂිතයක් බවට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දෙන තුරු ම ආරක්ෂා කර ඇත්තේ ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව විසිනි. මේ නිසා එම පොදු භාවිත සම්පත් හා බැදී පවතින ඉඩම් සමාගම් සතු කිරීමෙන් හෝ හානි කර ලෙස ක්‍රියාත්මක වන සමාගමක ඉස්සන් ගොවිපොළ පුළුල් කිරීම සඳහා ලබා දීමෙන් සිදු වන්නේ සමස්ත ස්වභාව රක්ෂිතය ම බලපෑමට ලක් වීම ය. ඒ හේතුවෙන් සාගර හා කලපු ජීවීන් ගේ ගහනය විනාශ වී ඒ මත පදනම් වූ ධීවර ජනතාව ගේ ජන දිවිය, ආර්ථිකය, ජනතාව ගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මෙන් ම පෝෂණය ද මෙම පොදු ස්වාභාවික සම්පත ද සමඟ ම බිඳ වැටීමට ලක් වේ. එවන් තත්ත්වයක් ඇති කිරීම සඳහා වන තීන්දු තීරණ ගැනීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද ජනාධිපතිවරයාට හෝ අමාත්‍යවරියකට නොමැත.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාව යටතේ සඳහන් ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත. එම ව්‍යවස්ථාවට අනුව රජයට පරිසරය විනාශ කිරීම සඳහා වන තීරණ ගැනීමේ බලයක් නොමැති බව එප්පාවල පොස්පේට් නිධිය ඇමරිකාවේ ෆීපෝට් මැක්මොරාන් සමාගමට බදු දීමට එරෙහිව ගොණු කළ නඩුවේ තීන්දුව 2000 වසරේ දී ලබා දීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. ආර්. බී. අමරසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම 27(14) ව්‍යවස්ථාව අර්ථනිරූපණය කරමින් පෙන්වා දී ඇත. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් සමාගමක අවශ්‍යතාව මත ස්වභාව රක්ෂිතයක ඉඩම් ඉවත් කිරීමෙන් සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

    මීට අමතර ව පොදු භාවිත භූමියේ අයිතිය ජනතාව සතු බව ව නඩු තීන්දු ගණනාවකින් ද තහවුරු කර ඇත. ඇමරිකාවේ මිචිගන් විලේ කොටසක් ගොඩ කර ඒ හරහා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට එරෙහි ව 1883 වසරේ දී ගොණු කළ නඩුවට අදාළ තීන්දුව 1892 වසරේ දී ලබා දෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ රජය මහජනතාව ගේ සුබසිද්ධිය සඳහා පස හා ජලය වැනි පොදු දේපොළ යම් පුද්ගලයකු ගේ පෞද්ගලික පරිහරණය සහ පාලනය සඳහා ලබා නොදිය යුතු බවත් රජය ජනතාව ගේ සුබසිද්ධිය සඳහා රටේ ස්වාභාවික සම්පත් පවත්වා ගෙන යා යුතු බවත් ය.

    මීට අමතර ව, ස්ලෝවැකියාව හා හංගේරියාව යන රටවල් අතරින් ගලා යන ඩැනියුබ් ගඟේ වේලි ඉදි කිරීම හා ජලය ලබා ගැනීම පිළිබඳ ව 1977 වසරේ දී ඇති වූ ගැටළුවට අදාළ ව ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 1997 වසරේ දී ලබා දෙමින් විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි විසින් මිහිදු මාහිමි හා දේවානම් පියතිස්ස රජු අතර ඇති වු සංවාදයේ කරුණු පදනම් කර ගෙන, “රජය රටේ ස්වාභාවික සම්පත්වල අයිතිකරු නොව භාරකරු පමණි” යන පොදු භාර නැතහොත් මහජන භාර සංකල්පය මත පදනම් ව එම නඩු තීන්දුව ලබා දී තිබේ. එප්පාවල පොස්පේට් නීධියට අදාළ නඩු තීන්දුවේ ද මහජන භාර සිද්ධාන්තය ඩැනියුබ් ගඟේ නඩු තීන්දුව උපුටා දක්වමින් ඒ. ආර්. බී. අමරසිංහ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, රටේ ස්වාභාවික සම්පත් වල අයිතිය ජනතාව සතු බවත්, රජයට ඇත්තේ ජනතාව වෙනුවෙන් එහි භාරය දැරීම හා එම සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම පමණක් වන බව ය. එහි දී රජු රටේ සම්පත් වල භාරකරුවා මිස හිමිකරු නොවන බවත්, එම සම්පත් භාරකරුට විනාශ කිරීමට හෝ අන්සතු කිරීමට බලයක් නොමැති බවත්, ඒවා ආරක්ෂා කිරීමේ වගකීමේන් බැදී සිටින බවත් නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම් තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ ඉස්සන් වගා ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා ලබා දීමට රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමේ කිසිදු බලයක් ජනාධිපතිවරයාට හෝ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරියට නොමැති බව තහවුරු වේ.

    එපමණක් නොව රජය බලතල ක්‍රියාත්මක කළ යුතු ආකාරය විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ වන රක්ෂිතවලට අයත් ඉඩම්, නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ගේ ඉල්ලීම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජනතාව පදිංචි කිරීම සඳහා නිදහස් කිරීමට එරෙහිව 2015 වසරේ දී අභියාචනාධිකරණයේ ගොණු කළ රීට් පෙත්සමට අදාළ නඩු තීන්දුවේ සඳහන් වේ. 2020 වසරේ දී ලබා දුන් එම නඩු තීන්දුවේ අභියාචනාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න සඳහන් කර ඇත්තේ රාජ්‍ය අධිකාරීන්ට පවරා ඇති බලතල නිරපේක්ෂ හෝ අසීමාන්තික නොවන අතර ජනතාව ගේ සුබසිද්ධිය සඳහා එම බලතල ක්‍රියාත්මක කළ යුතු බව ය. ඒ අනුව ද වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අයත් ඉඩම් තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ ඉස්සන් වගා ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා ලබා දීමට රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමේ කිසිදු බලයක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරියට නොමැති බව තවදුරටත් තහවුරු වේ.

    ස්වභාව රක්ෂිතයේ පාරිසරික වටිනාකම් වනසා දැමීම

    මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 14 ක හා මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11 ක ගොඩබිම හා නොගැඹුරු සාගරයේ පරිසර පද්ධති විශාල ප්‍රමාණයක් ආවරණය වී ඇති මෙරට එක ම රක්ෂිත ප්‍රදේශය මෙය වේ. නොගැඹුරු සාගරයේ මුහුදු තෘණ භූමි, මඩ තැනි, කොරල් පර හා ගල් පර පරිසර පද්ධති, වෙරළ තීරයේ කිවුල්දිය කලපු, කඩොලාන, ලවණ වගුරු හා වෙරළබඩ ශාක ප්‍රජාව ඇතුළු පරිසර පද්ධති, ගොඩබිම් ප්‍රදේශයේ වියළි තෘණ භූමි, කටුපදුරු සහිත ලදු කැළෑ, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර සහ මිරිදිය ජලය සහිත නේආරු, පරංගි ආරු, වප්පයි ආරු හා පාලි ආරු නම් ජල මාර්ග ඇතුළු පරිසර පද්ධති රැසක් මෙම ස්වභාව රක්ෂිතයට අයත් වේ. මේ නිසා ලංකාවේ සුවිශේෂී ම රක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙය හැඳින්විය හැකි වෙයි.

    මෙම ස්වභාව රක්ෂිතයේ විවිධ පරිසර පද්ධතිවල ශාක විශේෂ රාශියක් වාර්තා වේ. ඒ අතුරෙන් ලංකාවේ කඩොලාන පරිසරවල පමණක් වාර්තා වන සත්‍ය කඩොලාන ශාක විශේෂ 22 අතුරෙන් 11 ක් ම මෙම ස්වභාව රක්ෂිතයෙන් හමු වේ. ඒ අතර මණ්ඩ (Avicennia marina) හා එල කඩොල් (Rhizophora mucronata) ශාක විශේෂ දෙක ප්‍රමුඛ ව දැක ගත හැකි අතර ඊට අමතර ව පුංකණ්ඩ (Ceriops tagal), මල් කඩොල් (Bruguiera cylindrica), බෑරිය (Lumnitzera racemosa), කිරල (Pemphis acidula), තෙල කීරිය (Excoecaria agallocha), හීන් කඩොල් (Aegiceras corniculatum), කඩොල් (Bruguiera gymnorhiza) වැනි කඩොලාන ශාක විශේෂ වෙයි.

    නොගැඹුරු මුහුදු තීරයේ පිහිටි මුහුදු තෘණ බිම්වල Thalassia hempritchii, Enhalus acoroides, Cymodocea rotundata, Cymodocea serrulate, Syringodium isoetifolium, Holodule pinifolia වැනි මුහුදු තෘණ විශේෂ රාශියක් මෙහි වාර්තා වේ. ස්වභාව රක්ෂිතයේ ලවණ වගුරු බිම්වල මහා සාරන (Sesuvium portulacastrum), ලුණු ගස් (Halosarcia indica) හා උමරි (Suaeda maritima) වැනි ලවණ පරිසරවල පමණක් වාර්තා වන කුඩා ශාක විශේෂ දැක ගත හැකි වේ.

    මෙම ස්වභාව රක්ෂිතයේ පිහිටි ගොඩබිම් පරිසරයේ තෘණ බිම්, කටු පදුරු සහිත ලදු කැළෑ හා වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවල සපුෂ්ප ශාක විශේෂ 52 ක් පමණ වාර්තා වන බව අධ්‍යයන වලින් අනාවරණය වී තිබේ. මෙහි වාර්තා වන සපුෂ්ප ශාක අතර හීන් කරඹ (Carissa spinarum), පලු (Manilkara hexandra), රණවරා (Senna auriculata), මා දං (Syzygium cumini), වීර (Drypetes sepiaria), කුකුරුමාන් (Catunaregam spinosa), කඹරැස්ස (Smilax perfolata) වැනි ශාක දැක ගත හැකි වේ.
    මෙම ස්වභාව රක්ෂිතයේ ශාක විවිධත්වය මෙන් ම විවිධ පරිසර පද්ධතිවලට ආවේණික විශාල සත්ත්ව විවිධත්වයක් ද දැක ගත හැකි ය. සාගරයේ මුහුදු තෘණ බිම් ආශ්‍රිත ව ඉතා ම දුර්ලභ, වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණ දී ඇති මුහුදු ඌරා (Dugong dugon) නම් ක්ෂීරපායී විශේෂය කලාතුරකින් වාර්තා වන අතර කබර මුල්ලා (Sousa plumbea) වැනි ඩොල්ෆින් විශේෂ ද මෙහි වාර්තා වේ. මෙරට වාර්තා වන කැස්බෑ විශේෂ පහ අතුරෙන් විශේෂ 4 ක් මෙම රක්ෂිතය ආශ්‍රිත වෙරළ තීරයට බිත්තර දැමීමට පැමිණේ. එම විශේෂ නම් බටු කැස්බෑවා (Lepidochelys olivacea), පොතු කැස්බෑවා (Eretmochelys imbricate), ගල් කැස්බෑවා (Chelonia mydas) හා ඔලුගෙඩි කැස්බෑවා (Caretta caretta) වේ.

    වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ වැඩි ම විවිධත්වයක් ඇත්තේ පක්ෂීන් ගේ ය. ලංකා කුරුලු සංගමයේ වාර්තාවලට අනුව සංක්‍රමණික හා ජලජ පක්ෂීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් මෙම රක්ෂිතයෙන් වාර්තා වන බව සොයා ගෙන තිබේ. ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති පක්ෂි විශේෂ 512 න් විශේෂ 210 ක් ම මෙම ස්වභාව රක්ෂිතයෙන් වාර්තා වීම සුවිශේෂත්වයකි. තෙත් බිම් පරිසරවල වාර්තා වන සංක්‍රමණික හා නේවාසික පක්ෂීන් වන පට්ටුදු තාරාවා (Northern Shoveler), තිත් හොට තාරාවා (Indian Spot billed Duck), බැම සුදු සේරුවා (Garganey), පඬු තාරාවා (Ruddy Shelduck), දුඹුරු මුහුදු ලිහිනියා (Sooty Tern), බැම සුදු මුහුදු ලිහිනියා (Bridled Tern), රෝස මුහුදු ලිහිනියා (Roseate Tern), කැස්පියානු මුහුදු ලිහිනියා (Caspian Tern), මහ කොණ්ඩ මුහුදු ලිහිනියා (Great Crested Tern), අලු උස් වටුවා (Grey Francolin), රජ උලු කැස්වටුවා (Greater Painted Snipe), ගෝමර ඇවසෙට්ටා (Pied Avocet), වැලි සිලිවටුවා (Sanderling), බඩ කලු සිලිවටුවා (Dunlin), දෑකැති සිලිවටුවා (Curlew Sandpiper), දාර මහ වටුවා (Bar tailed Godwit), දෑතුඩු වටුවා (Whimbrel), ලොවිච්චි සිලිවටුවා (Ruff), පුංචි කුරුලුගොයා (Besra), වගුරු බිම් උකුස්සා (Eurasian Marsh Harrier), ගෝමර බිම් උකුස්සා (Pied Harrier) වැනි විශේෂ රාශියක් මෙම ස්වභාව රක්ෂිතයේ වාර්තා වේ.

    මෙම සමස්ත ජෛව ප්‍රජාව ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව ලංකාවට බිජු දැමීම සඳහා සංක්‍රමණය වන කැස්බෑවුන් ගේ බෝවීම සිදු වන වෙරළ කලාපය ආරක්ෂා කිරීම සහ ශීත සෘතු හා ගිම්හාන සෘතු සංක්‍රමණිකයන් ලෙස මෙරටට පැමිණෙන පක්ෂීන් ගේ ගොදුරු බිම් සුරක්ෂිත කර එම සතුන් ගේ රැකවරණය තහවුරු කිරීමට බොන් සම්මුතියට අනුව අප රට බැදී සිටී. 1979 ජුනි මස 23 වන දින සම්මත කර ගත් සංක්‍රමණික සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමේ බොන් සම්මුතියට (Convention on the conservation of migratory species of wild animals – BONN Convention) 1990 ජුනි මස 06 වන දින අත්සන් තබා එකඟතාව පළ කර ඇති අප රට, මෙරටට සංක්‍රමණය වන කැස්බෑවුන් හා සංක්‍රමණික පක්ෂීන් ගේ රැකවරණය තහවුරු කිරීමට අන්තර් ජාතික ව බැදී සිටී. එම සතුන් ගේ වාසස්ථාන විනාශ කිරීමට හේතු වන තීන්දු තීරණ ගැනීමට මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට බැදී සිටින වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයට කිසිදු අයිතියක් නොමැත.

    මෙම තත්ත්වයන් සියල්ල පදනම් කර ගෙන සුවිශේෂී පරිසර පද්ධති සංකීර්ණයකින් සමන්විත වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ආරක්ෂා කිරීමට සැලැසුම් සකස් කිරීම වෙනුවට එය විනාශ කිරීමට සැලැසුම් සකස් කිරීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලයට ම රටේ ස්වාභාවික සම්පත්වල වර්තමාන හා අනාගත පැවැත්ම පිළිබඳ ව හෝ මෙරට පාරිසරික නීති පද්ධතිය පිළිබඳ ව හෝ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැති බව ය. මේ නිසා බුද්ධිමත් ජනතාව එක් වී මෙම සම්පත් ආරක්ෂා කිරීමට පෙරමුණ ගත යුතු වේ. එසේ නොමැති වුවහොත් සමාගම්වල හා දේශපාලඥයන් ගේ වුවමනාව මත ඉතා ම කෙටි කාලයක් තුළ මෙම ස්වාභාවික සම්පත්, ජන දිවිය, ආර්ථිකය හා රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය යන සියල්ල සම්පූර්ණයෙන් ම බිඳ වැටීමට ලක් කිරීම වළක්වා ගත නොහැකි ය.

  • ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000 ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී

    ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000 ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන හුණු ගල් කැනීම් කර සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට සූදානම් වේ. වගා බිම්, කලපු, කඩොලාන පද්ධති, ලවණ වගුරු බිම් හා වනාන්තර ඇතුළු අක්කර 3000 ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට සැලැසුම් කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබේ.

    කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ හා සත්ත්ව පාලනයේ නිරත ජනතාව ගේ භූමි ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන, එම ජනතාව අවතැන් කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ව්‍යාපෘතිය සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැති නමුත් කර්මාන්තශාලාව හා කාර්යාල සංකීර්ණය ඉදි කිරීම සඳහා මුල්ගල තැබීම ද සිදු කර ඇත.

    සිමෙන්ති නිෂ්පාදනයට භාවිත කෙරෙන ප්‍රධාන අමුද්‍රව්‍ය වන හුණුගල් ලබා ගැනීමට අවශ්‍ය ගවේශන කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් මාස 24 ක වලංගු කාලයක් සහිත ව EL/213/R/3 අංක දරන ඛණිජ ගවේශන බලපත්‍රයක් 2012 ජූලි මස 20 වන දින නිකුත් කර තිබේ. මෙම බලපත්‍රය භාවිත කර ටෝකියෝ සමාගම විසින් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම්වල ව්‍යාපෘති ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි භූගත විදුම් 150 ක් පමණ සිදු කර ගවේශන කටයුතු සිදු කර ඇත. ජනතාව ගේ කුඹුරු ඉඩම් හා ලවණ වගුරු බිම් ආවරණය වන පරිදි භූගත විදුම් සිදු කර හුණුගල් ලබා ගත හැකි ප්‍රදේශ හඳුනාගෙන තිබේ. එහි දී ජනතාවට මෙම භූගත කැනීම් හා සම්බන්ධ තොරතුරු සහ සිමෙන්ති කර්මාන්තශාලාවට අදාළ තොරතුරු සැඟවීමට ද ටෝකියෝ සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර ඇත.

    මෙම ඛණිජ ගවේශන කැනීම් අතරතුර කර්මාන්තශාලාව ඉදි කිරීම සඳහා පොන්නාවලී හා වේරවිල්ලු ප්‍රදේශයේ නාගමුනෙයි, වලෙයිපාඩු අතර භූමිය අත්පත් කර ගෙන ඇති අතර ඒ සඳහා මූලික ඉදි කිරීම් කටයුතු සිදු කිරීම ද අවසන් කර තිබේ.

    ටෝකියෝ සමාගමෙන් අහිමි කරන ජන ජීවිතය

    මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිත පොන්නාවලී ග්‍රාම නිලධාරී වසමේ පිහිටි පාලාවි, වලෙයිපාඩු, පොන්නාවලී හා වේරවිල් ගම්මානවල පවුල් 1300 ක් පමණ හා කිරාංචි ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මොට්ටයන්කුලම්, සිවපුරම්, කිරින්දාවනම් හා කිරාංචි ගම්මානවල පවුල් 1800 ක් පමණ ජීවත් වේ. පාලාවි, පොන්නාවලී, වේරවිල්, මොට්ටයන්කුලම් හා සිවපුරම් යන ගම්මානවල ජනතාව ප්‍රධාන වශයෙන් ම කෘෂිකර්මාන්තයේ නිරත වේ. වලෙයිපාඩු, පාලාවි හා කිරින්දාවනම් ගම්මානවල ජනතාව ධීවර කර්මාන්තයේ වැඩි වශයෙන් නිරත වන අතර පොල් වගාව ද සිදු කරයි. පොන්නාවලී, වලෙයිපාඩු හා වේරවිල් යන ගම්මානවල ජනතාව සත්ත්ව පාලනයේ වැඩි වශයෙන් නිරත වේ.

    කෘෂි කර්මාන්තයේ නිරත ජනතාව මහ කන්නයේ වී ගොවිතැන සිදු කරන අතර ගොඩ බෝග වශයෙන් ලූණු, කෙසෙල්, මඤ්ඤොක්කා, මෑකරල්, බටු, රටකජු, උදු වැනි බෝග වගා කරයි. ඊසානදිග මෝසම් සුළං මගින් වර්ශාව ලැබෙන මෙම ප්‍රදේශයේ මහ කන්නයේ දී වැසි ජලයෙන් වී ගොවිතැන සිදු කෙරේ. ධීවර කර්මාන්තයේ නිරත ජනතාව කලපු ආශ්‍රිත ව අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් හා මුහුදු පාසි වගාව සිදු කරන අතර මාලුන් හා කකුළුවන් ද අපනයනය සඳහා ඇල්ලීම සිදු කරයි. කලපුව ආසන්නව සුළුපන්න ධීවරයන් හා ටෝලර් යාත්‍රා මගින් මුහුදු ධීවර කර්මාන්තයේ නිරත පිරිස් ද සිටී. සත්ත්ව පාලනයේ නිරත ජනතාව ප්‍රධාන වශයෙන් ම කිරි ගවයන් හා එළුවන් ඇති කිරීම සිදු කරයි. මෙම ප්‍රදේශයේ කිරි ගවයන් 20,000 ක් පමණ හා එළුවන් 10,000 ක් පමණ සිටී.

    කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය හා සත්ත්ව පාලනය සිදු කෙරෙන මෙම ප්‍රදේශයේ ජනතාව සශ්‍රීක ජන දිවියක් ගත කරන අතර ගැටළුවකින් තොර ව ජන දිවිය පවත්වා ගෙන යයි. ඔවුන්ට ඇති එක ම ගැටළු ව භූගත ජලය ලවණීකරණය වීම නිසා ජලය මිල දී ගැනීමට සිදු වීම ය. මෙම ප්‍රදේශයේ ජනතාව කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම් හා වෙරළබඩ වනාන්තර ප්‍රදේශ මෙන් ම ගම්මානය වටා පිහිටි වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගෙන ඇත්තේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා නොව ඔවුන් ගේ අවබෝධයෙන් ම මෙම පරිසර පද්ධති සියල්ල අනාදිමත් කාලයක් තිස්සේ ආරක්ෂා කර තිබේ. මෙම ප්‍රදේශයේ අලි – ඇතුන් ජීවත් වුව ද අලි – මිනිස් ගැටුමක් වාර්තා නොවීමට පරිසර පද්ධති ආරක්ෂා වී පැවතීම ප්‍රධාන හේතු ව වී ඇත.

    නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟ එම තත්ත්වයන් සම්පූර්ණයෙන් ම වෙනස් වී වනාන්තර, කලපු, ලවණ වගුරු බිම්, වගා බිම් ඇතුළු සමස්තය විනාශයට ලක් වී ජන දිවියේ විශාල බිඳ වැටීමක් සිදු වනු ඇත.

    සිමෙන්ති නිෂ්පාදනය සඳහා ලවණ වගුරු බිම් ආශ්‍රිත හුණු ගල් කැනීම හේතුවෙන් දැවැන්ත වලවල් සැකසෙන අතර ඒවා ලවණ ජලයෙන් පිරීයාමෙන් භූගත ජලය ලවණීකරණය වීම වර්ධනය වීම නිසා ඒ ආශ්‍රිත සමස්ත ප්‍රදේශයේ ම භූගත ජලය ලවණීකරණය වීම නිසා වගා බිම් විනාශ වී ඒ හා බැඳුණු ජන දිවිය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත.

    සත්ත්ව පාලනයේ නිරත ජනතාව, කිරි ගවයන් ගේ හා එළුවන් ගේ ආහාර බිම් ලෙස ලවණ වගුරු බිම් හා ඒ ආශ්‍රිත තෘණ භූමි භාවිත කරයි. මේ සියලු බිම් හුණු ගල් කැනීම සඳහා යොදා ගත් පසු ව මෙම ප්‍රදේශයේ සත්ත්ව පාලනය හා බැදුණු ජන දිවිය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත. එපමණක් නොව මෙම ප්‍රදේශයේ වනාන්තර ඇතුළු භූම් ප්‍රදේශ මෙම ව්‍යාපෘතිය සඳහා එළි පෙහෙළි කිරීමත් සමඟ අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම හා සීමා වීමෙන් මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ද අලුතින් නිර්මාණය වී ජන දිවිය බිඳ වැටෙනු ඇත.

    ටෝකියෝ සමාගම වනසන ජෛව පද්ධති

    මෙම ව්‍යාපෘතියට ලබා ගැනීමට නියමිත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 227 ක් (අක්කර 568 ක්) පමණ වන වීරවන්ඩියන්මුනෙයි රජයේ වනාන්තරය පිහිටා තිබේ. මෙම වනාන්තර පද්ධතිය වෙරළබඩ වනාන්තර තීරය සමඟ මෙන් ම කලපු ආශ්‍රිත කඩොලාන හා සම්බන්ධ ව පවතී. මෙම සමස්ත ප්‍රදේශයේ ම අලි – ඇතුන් ජීවත් වේ. මේ ප්‍රදේශයේ පිහිටි වීරපාන්ඩියන්මුනෙයි කලපුව, නාගමුනෙයි කඩොලාන පද්ධතිය, කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය තුළ කලපු හා නොගැඹුරු මුහුදු සීමාවේ ජීවත් වන මත්ස්‍යයන් ඉස්සන් හා කකුළුවන් ගේ බෝවීම සිදු වේ. එපමණක් නොව මෙම ලවණ පරිසර පද්ධති සංක්‍රමණික පක්ෂි විශේෂවල ප්‍රධාන ගොදුරු බිමක් වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැඩි ම ලවණ වගුරු බිම් හා කඩොලාන වනාන්තර ව්‍යාප්ත ව ඇත්තේ මෙම ප්‍රදේශයේ ය.

    කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ මණ්ඩ (Avicennia marina), බෑරිය (Lumnitzera racemosa), කඩොල් (Rhizophora mucronata), මල් කඩොල් (Bruguiera gymnorrhiza), ඇවරි කඩොල් (Aegiceras corniculatum) වැනි සත්‍ය කඩොලාන ශාක දැක ගත හැකි ය. මෙම කලපු හා ලවණ වගුරු බිම්වල නේවාසික හා සංක්‍රමණික පක්ෂි විශේෂ රැසක් වාර්තා වේ. උස්වටුවා (Grey Francolin), පඬු තාරාවා (Ruddy Shelduck), දෙතිත් තාරාවා (Indian Spot-billed Duck), මට්ටිකාවා (Eurasian Oystercatcher), කකුළු ඔලෙයියා (Crab Plover), ඇවසෙට්ටා (Pied Avocet), අළු ඔලෙයියා (Grey Plover), කැස්පියානු ඔලෙයියා (Caspian Plover), දාර මහවටුවා (Bar-tailed Godwit), දෑතුඩු වටුවා (Whimbrel), මහ දෑතුඩු වටුවා (Eurasian Curlew), පා රතු පුල්ලි සිලිවටුවා (Spotted Redshank), රතු මහ සිලිවටුවා (Red Knot), වැලි කිරලා (Indian Courser) වැනි පක්ෂි විශේෂ රැසක් වාර්තා වේ. ලංකාවට බටහිර සංක්‍රමණික මාර්ගය ඔස්සේ පැමිණෙන පක්ෂි විශේෂ මෙම කලපු හා ලවණ වගුරු වෙත පැමිණෙන්නේ මේවායේ ජීවත්වන කුඩා කෘමි සතුන් හා මසුන් ආහාරයට ගැනීමට ය. ඒ අනුව සංක්‍රමණික පක්ෂීන් ගේ ප්‍රධාන ගොදුරු බිම් ලෙස මෙම ප්‍රදේශය ක්‍රියාත්මක වේ.

    ටොකියෝ සමාගමේ යෝජිත සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා අමුද්‍රව්‍යය ලෙස හුණු ගල් ලබා ගැනීමට නියමිත ව ඇත්තේ මෙම ලවණ වගුරු බිම් කැනීමෙනි. මිට අමතර ව නාගමුනෙයි, වලෙයිපාඩු ප්‍රදේශයේ ස්ථාපිත කරන කර්මාන්තශාලාවේ අපජලය බැහැර කිරීමට නියමිත ව ඇත්තෙ කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය හරහා සකස් කරන ඇළ මාර්ගයක් ඔස්සේ නාගමුනෙයි කඩොලාන පද්ධතිය ආශ්‍රිත වීරපාන්ඩියන්මුනෙයි කලපුවට ය. මේ හේතුවෙන් කඩොලාන, ලවණ වගුරු හා කලපු පද්ධතිය සම්පූර්ණයෙන් ම මෙම ව්‍යාපෘතියත් සමඟ ම විනාශයට ලක් වනු ඇත.

    ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගම (Tokyo Cement Company Lanka PLC) 1982 වසරේ දී ජපානයේ මිට්සුයි කැනීම් සමාගම හා ශ්‍රී ලංකාවේ සෙන්ට් ඇන්තනීස් කොන්සොලිඩේටඩ් සමාගම හා එක් ව ආරම්භ කරනු ලැබූ සමාගමකි. මෙම සමාගම ISO 14001පරිසර කළමනාකරණ පද්ධති සහතිකය, ISO 9001 ප්‍රමිති කළමනාකරණ පද්ධති සහතිකය සහ නිෂ්පාදන ක්‍රියාවලියේ පරිසර හිතකාමී බව සඳහා වන හරිත සළකුණ හිමි කර ගත් පළමු සමාගම ලෙස ද සඳහන් වේ. එපමණක් නොව මෙම සමාගම කොරල්පර ප්‍රතිස්ථාපනය, කඩොලාන නැවත වගා කිරීම ඇතුළු ව්‍යාපෘති සඳහා මුදල් යොදවන අතරතුර කඩොලාන ඇතුළු දැවැන්ත ලවණාශ්‍රිත තෙත්බිම් පද්ධතියක් විනාශ කිරීමට වේරාවිල්, පොන්නාවලී, ඒකාබද්ධ සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතිය (Integrated cement plant project) ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම එකිනෙකට පරස්පර විරෝධී තත්ත්වයන් ය.

    ටෝකියෝ සමාගම පරිසර නීති උල්ලංඝනය කිරීම

    ටෝකියෝ සමාගමට හෝ වෙනත් ඕනෑ ම සමාගමකට තම අභිමත බලය හෝ දේශපාලන බලය භාවිත කර ජනතාව ගේ ව්‍යවස්ථාධායක බලය මත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති අණ පනත් උල්ලංඝනය කර ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ නොහැකි ය. ඕනෑ ම ආයෝජන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු වන්නේ මෙරට නීති රීති හා ප්‍රතිපත්තීන්ට එකඟ ව ය. ඒ අනුව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට (අක්කර 2.5) වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර හෝ හෙක්ටයාර 50 (අක්තර 125) කට වඩා වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙළි කර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් හෝ මීටර 25 කට වඩා ගැඹුර ඛණිජ කැනීම් සිදු කරන්නේ නම් හෝ නිවාස හෝ වාණිජ ප්‍රදේශයකින් කිලෝමීටරයක් ඇතුළත හුණුගල් යන්ත්‍රානුසාරයෙන් ලබා ගැනීම සිදු කරන්නේ නම් හෝ සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ක්‍රියා පටිපාටියේ දී ව්‍යාපෘතිය සඳහා ඇති වෙනත් විකල්ප පිළිබඳ ව අධ්‍යයනය කිරීම, මහජන අදහස් ලබා ගැනීම, සියලූ ම සමාජ, ආර්ථික හා පාරිසරික බලපෑම් අධ්‍යයනය කිරීම ඇතුළත් ව මෙය සිදු විය යුතු අතර මේ ක්‍රියා පටිපාටියෙන් පරිභාහිර ව කිසිදු රාජ්‍ය ආයතනයකට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

    ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධී ව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    ජාතික පාරිසරික පනතට අමතර ව සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව අර්ථ නිරූපනය කර ඇති වෙරළ කලාපය තුළ මෙම වාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම පනතට අනුව වෙරළ කලාපය යනු මධ්‍ය වඩදිය ඉමේ සිට ගොඩබිම දෙසට මීටර තුන්සියයක සීමාවක් සහ මධ්‍ය බාදිය ඉමේ සිට මුහුද දෙසට කිලෝමීටර දෙකක සීමාවක් ඇතුළත පිහිටි ප්‍රදේශය අදහස් වන අතර ස්ථිර වශයෙන් හෝ කලින් කල මුහුදට සම්බන්ධ වූ ගංඟා, දිය පාරවල්, කලපු හෝ වෙනත් යම් ජල කඳක් සම්බන්ධයෙන් වන විට, ගොඩබිම දෙසට වූ මායිම ඒවායේ ස්වාභාවික ඇතුළුවීමේ ලක්ෂ්‍ය අතර අදින ලද සෘජු පාදක රේඛාවකට ලම්බක ව මනින ලද කිලෝමීටර දෙකක සීමාවකට ව්‍යාප්ත විය යුතු අතර, එසේ මුහුදට සම්බන්ධ වූ ඒ ගංඟා, දිය පාරවල් සහ කලපු හෝ වෙනත් යම් ජල කඳක් සහ මායිම දිගේ ශුන්‍ය මධ්‍ය මුහුදු මට්ටමේ සිට ගොඩබිම දෙසට මීටර සියයකින් දීර්ඝ කළ වැඩිදුර සීමාවක් ඇතුළත් වූ ප්‍රදේශය වේ.

    ඒ අනුව මෙම ව්‍යාපෘතියට අදාළ හුණු ගල් කැනීම හා අපජලය බැහැර කිරීම වෙරළ කලාපය තුළ සිදු වේ. මෙම පනතේ 14(1) උප වගන්තියට අනුව වෙරළ කලාපය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් මෙම පනතට අනුව ද පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව ඒ සඳහා අවසර ලබා ගත යුතු ය. පනතේ 26අ උප වගන්තියට අනුව වෙරළ කලාපයට හානියක් සිදු වන ආකාරයෙන් සංවර්ධන කටයුත්තක නිරත වන අයට එරෙහිව විධාන නිකුත් කිරීමේ බලය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇත.

    මෙම පනත්වලට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වගන්තිවලට අනුව 2000 ඔක්තොම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය යටතේ ප්‍රකාශිත 2000 අංක 1 දරන ව්‍යාපෘතිවල කාර්ය පටිපාටි නියෝගවලට අනුව කර්මාන්ත සඳහා හෙක්ටයාර එකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙළි කිරීම හෝ ඛණිජ ලබා ගැනීම සඳහා සිදු කරන පතල් කැනීම් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය.

    නමුත් මේ නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට බලහත්කාරය හා නීති විරෝධී යාන්ත්‍රණය හඳුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාලන සමයේ දී ය. එම ක්‍රියා කලාපය ඒ ආකාරයෙන් ම පූර්වාදර්ශ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරයි. ඔහු ගේ පාලන සමය තුළ ක්‍රියාත්මක කළ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය, මාගම්පුර වරාය ව්‍යාපෘතිය හා මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොල ව්‍යාපෘතිය යන සියලු ව්‍යාපෘති සඳහා පරිසර බලපෑම් තක්සේරු වාර්තා සකස් කෙරුනේ නීති විරෝධී ආකාරයෙනි. එම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගත්තේ ද මධ්‍යම පරිසර අධිකාරියට බලපෑම් කර බලහත්කාරයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘති සම්පූර්ණයෙන් ම බිඳ වැටුන ද එම පූර්වාදර්ශය වර්තමානය වන විට බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිත කිරීමට සමාගම් විසින් ද උත්සාහ දරමින් සිටී. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් පවතිද්දී ඉන් පරිභාහිර ව ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන බලය භාවිත කර ටෝකියෝ සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටීමෙන් වැරදි හා නීති විරෝධී පූර්වාදර්ශ අඛණ්ඩ ව භාවිතයට ගැනෙන බව තහවුරු වේ. ඒ අතරතුර ටෝකියෝ සමාගම පරිසර සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් පෙනී යන්නේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නීති විරෝධී ව කෙසේ හෝ ක්‍රියාත්මක කර ගැනීමේ අරමුණ පදනම් කර ගෙන හා එය සාධාරණීකරණය කර ගැනීමේ අරමුණින් මෙම පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඇති බව ය.

    ටෝකියෝ සමාගම මානව හිමිකම් හා පරිසර අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

    කිලිනොච්චි, පුනරීන් ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මෙම කර්මාන්තශාලාවේ සියලු වැඩ කටයුතු ටෝකියෝ සමාගම විසින් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම්වලට අනුව නීතිය ක්‍රියාත්මක වීම සර්ව සාධාරණ විය යුතු ය, නීත්‍යානුකූල වෘත්තියක, කර්මාන්තයක නිරත වීමේ නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස හා තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය යන සියල්ල මෙම ව්‍යාපෘතිය තුළින් ජනතාවට අහිමි කර ඇත.

    පාරිසරික නීතිවලට අනුව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ව්‍යාපෘතියක කිසිදු ඉදිකිරීමක් හෝ ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු කළ නොහැකි ය. නමුත් එය උල්ලංඝනය කරමින් මූලික ශක්‍යතා වාර්තාවක් හෝ ව්‍යාපෘති යෝජනාවලියක් හෝ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ නොමැති ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. මෙමගින් නීතිය ක්‍රියාත්මක වීම සර්ව සාධාරණ ව සිදු වී නොමැත.

    පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි ජීවත් වන ජනතාවට කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ හා සත්ත්ව පාලනයේ නිරත වීමට ඇති භූමිය මෙම ව්‍යාපෘතිය යටතේ හුණු ගල් කැනීමට භාවිත කිරීමට නියමිත ය. එම භූමිය ලබා ගැනීමට මේ වන විට ජනතාව ඉවත් කිරීමට සූදානම් වේ. එමගින් ජනතාවට නීත්‍යානුකූල වෘත්තියක, කර්මාන්තයක නිරත වීමේ නිදහස, අභිමතස්ථානයක වාසය කිරීමේ නිදහස යන මූලික අයිතිවාසිකම් සියල්ල ම අහිමි වේ.

    දැනට වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ටෝකියෝ සිමෙන්ති සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් හුණු ගල්නිධිවල ව්‍යාප්තිය පිළිබඳ ව ගවේශන සිදු කරන නමුත් මේ ව්‍යාපෘතියට අදාළ කිසිදු තොරතුරක් ජනතාව වෙත ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. එපමණක් නොව ව්‍යාපෘතියට අදාළ මුල්ගල තැබීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කිරීමට උත්සාහ කරන අවස්ථාවල දී ද ජනතාවට සත්‍ය තොරතුරු සැඟවීම සිදු කර ඇත. මෙය ජනතාව ගේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි.

    1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගත් රටක් වශයෙන් අප ජාත්‍යන්තර සම්මුතීන් හා මානව හිමිකම් සුරකිමින් රටේ ජනතාව ගේ පරිසරය මෙන් ම ජීවත් වීමට ඇති අයිතිය හා සංවර්ධනය වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන බවට සහතික විය යුතු ය. නමුත් ටෝකියෝ සමාගමේ යෝජිත සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ දී මානව හිමිකම් බොහොමයක් උල්ලංගනය කර තිබේ. 1948 වසරේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 2 වන වගන්තියට අනුව නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු ය, 3 වන වගන්තියට අනුව ජීවත්වීමේ නිදහස අහිමි නොකළ යුතු ය, 13 වන වගන්තියට අනුව පදිංචියට ඇති නිදහස, 17 වන වගන්තියට අනුව දේපළ බලහත්කාරයෙන් අහිමි කිරීමට උත්සාහ කිරීම නතර කිරීම සහ 1966 වසරේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 6 වන වගන්තියට අනුව ජනතාව විසින් නිදහසේ තෝරා ගන්නා තම ජීවනෝපායන් කර ගෙන යාමට ඇති අයිතිවාසිකම අහිමි නොකිරීම, 11 වන වගන්තියට අනුව ස්වාභාවික සම්පත් පදනම් කර ගෙන කෘෂිකාර්මික ක්‍රම වර්ධනය කර ආහාර නිෂ්පාදනය කිරීමට ඇති අයිතිය අහිමි නොකිරීම, 1966 වසරේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 26 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ සමානතාව මෙන් ම දේපල වෙනස්කම් කිරීමට විරුද්ධ ව නීතියේ රැකවරණය තහවුරු කිරීම රාජ්‍යය විසින් සිදු කළ යුතු ය. මේ සියල්ල අහිමි කරමින් වේරාවිල්, පොන්නාවලී, ඒකාබද්ධ සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතියේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන කිසිදු රාජ්‍ය ආයතනයක් අදාළ සමාගමට එරෙහි ව ක්‍රියාත්මක නොවීමෙන් ජනතාව ගේ මානව අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය වී ඇත.

    1992 වසරේ දී පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී සම්මත කර ගන්නා ලද පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ ප්‍රකාශනයේ 3 වන වගන්තියට අනුව සංවර්ධනය සඳහා ඇති අයිතිය ක්‍රියාවේ යෙදවිය යුත්තේ වර්තමාන සහ අනාගත පරම්පරාවේ සංවර්ධනය සහ පාරිසරික අවශ්‍යතා සාධාරණ ලෙස සපුරාලන අයුරිනි. 4 වැනි වගන්තියට අනුව සංවර්ධනය මුදුන්පමුණුවා ගනු පිණිස පාරිසරික ආරක්ෂාව සංවර්ධන ක්‍රියාවලියේ අවශ්‍ය අංගයක් බවට පත් විය යුතු අතර එය ඉන් වෙන් කොට සැලකිය නොහැකි ය. 17 වන වගන්තියට අනුව පරිසරය කෙරෙහි සැලකිය යුතු අන්දමේ අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබෙන සහ නිසි ජාතික බලධරයා ගේ තීරණයට යටත් වන යෝජිත කටයුතු සඳහා ජාතික මෙවලමක් වශයෙන් පාරිසරික බලපෑම් තක්සේරුව යොදා ගනු ලැබිය යුතු ය. පීඩනය හා ආධිපත්‍යය යටතේ වෙසෙන ජනතාව ගේ පරිසරය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරනු ලැබිය යුතු ය. රියෝ ප්‍රකාශනයේ සඳහන් මේ සියල්ල ම ටෝකියෝ සමාගමේ යෝජිත සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතියේ දී මෙම සමාගම හා රජය විසින් උල්ලංඝනය කර තිබේ.

    2011 ජුනි මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ඒකමතික ව සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ ව්‍යාපාර හා මානව හිමිකම් පිළිබඳ මාර්ගෝපදේශවලට අනුව සියලූ ම ව්‍යාපාරික සමාගම් ජාත්‍යන්තර ව පිළිගත් මානව හිමිකම්වලට ගරු කිරීම අවශ්‍ය වේ.

    මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්ම, වැඩ කිරීමේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය, පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ ප්‍රකාශනය සහ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය පදනම් කර ගත් එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත මූලධර්ම 10 ට (The ten principles of the UN global compact) අනුව ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ව්‍යාපාරිකයන් සහයෝගය දැක්විය යුතු අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට හවුල් නොවන බවට, පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා පූර්වාරක්ෂාව සිදු කරන බවට, පාරිසරික වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සහ පරිසර හිතකාමී තාක්ෂණය සංවර්ධනය කිරීමට හා ව්‍යාප්ත කිරීමට සියලූ ම ව්‍යාපාරිකයන් කටයුතු කළ යුතු ය.

    නමුත් ටෝකියෝ සමාගම ව්‍යාපාර වෙනුවෙන් ජනතාව, සොබාදහම හා රටේ නීති පද්ධතිය යන සියල්ල ම බිඳ දමමින් සිටී. නීතියේ ආධිපත්‍යය, ජනතා පරමාධිපත්‍යය, ස්වයංනිර්ණ අයිතිය, ස්වෛරීභාවය යන මේ සියල්ල බිඳ දමමින් වත්මන් ජනතාව ගේ හා අනාගත පරපුරේ ස්වාභාවික සම්පත් නැතහොත් අන්තර් පාරම්පරික සමානාත්මතාවය බිඳ දමමින් සමාගමකට කටයුතු කළ නොහැකි ය. එසේ කටයුතු කිරීමට ඉඩ දී රජය බලා සිටීම ද කළ නොහැකි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය. එසේ නොමැති ව සමාගමකට රිසිසේ නීති විරෝධී ව පරිසරය හා ජන දිවිය විනාශ කිරීමට රජයට ඉඩදිය නොහැකි ය. රජය, ජනතාව විසින් ලබාදුන් ව්‍යවස්ථාධායක, විධායක හා අධිකරණ බලය ජනතාව ගේ හා රටේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන්, විනාශකාරී ටෝකියෝ සමාගමට එරෙහි ව ක්‍රියාත්මක නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28(ඈ) සහ (ඊ) ව්‍යවස්ථාවලට අනුව පොදු දේපළ සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම ද පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීමට සහ නාස්ති කිරීමට එරෙහි ව ක්‍රියා කිරීම ද, ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ද ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකු ගේ ම යුතුකම වන්නේ ය යන පුරවැසි වගකීම අප විසින් ඉටු කළ යුතු ය. ඒ සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත ලංකාවේ ම ජනතාව ටෝකියෝ සමාගමට එරෙහි ව නැගීසිටිය යුතු වේ.

     

  • චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?

    චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ?

    පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2) වගන්තියේ දක්වා ඇත. 1985 වසරේ දී වියානා සම්මුතියේ පළමු ව මෙම මූලධර්මය සඳහන් වුව ද 1992 වසරේ රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස නිවාරණ මූලධර්මය අර්ථ දක්වා ඇත. ඒ අනුව පරිසරය ආරක්ෂා කිරීම සඳහා, පූර්වාරක්ෂාව පිළිබඳ ප්‍රවේශය රාජ්‍යයන් විසින් ඔවුන්ගේ හැකියාවන් අනුව පුළුල් ලෙස යොදා ගත යුතු ය. ඉතා දරුණු හෝ යථාතත්වයට පත් කළ නොහැකි හානි කර බලපෑම් ඇති වන විට පරිසර හායනය වැළැක්වීම සඳහා විද්‍යාත්මක දැනුම නොමැති වීම පිරිවැය ඵලදායී පියවර කල්දැමීමට හේතුවක් ලෙස භාවිතා නොකළ යුතු ය. මෙම මූලධර්මය පුළුල් පරාසයක අර්ථකතනයකට ලක් කර ඇත්තේ 1998 වසරේ දී නිවාරණ මූලධර්මය හා සම්බන්ධ වින්ග්ස්ප්‍රේඩ් සමුළුවේ දී ය. එම අර්ථකතනයට අනුව යම් ක්‍රියාකාරකමක් මිනිස් සෞඛ්‍යයට හෝ පරිසරයට හානි කිරීමේ තර්ජන මතු කරන විට, යම් හේතුවක් හා ඵලදායී සම්බන්ධතා විද්‍යාත්මක ව සම්පූර්ණයෙන් ස්ථාපිත කර නොතිබුණ ද පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙම සංදර්භය තුළ යම් ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නා මහජනයාට වඩා ඔප්පු කිරීමේ භාරය දැරිය යුතු ය. නිවාරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය විවෘත, දැනුම්වත් සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු අතර බලපෑමට ලක් විය හැකි පාර්ශවයන් ද ඇතුළත් විය යුතු ය. යම් ක්‍රියාමාර්ගයක් සඳහා පූර්ණ පරාසයක විකල්ප පරීක්ෂා කිරීම ද ඊට ඇතුළත් විය යුතු ය.

    නිවාරණ මූලධර්මය නැතහොත් පූර්ව ආරක්ෂණ මූලධර්මය පිළිබඳ ව මේ ආකාරයෙන් විග්‍රහ කරනු ලැබුවේ චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සූර්ය විදුලිබල උත්පාදන නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කර නොමැති නිසා ඒ පිළිබඳ ව යොමු වීමේ ඇති අවශ්‍යතාවය, එහි වැදගත්කම හා ඒ සඳහා යොමු වීමට ඇති නෛතික තත්ත්වයන් අවධාරණය කිරීම සඳහා ය.

    ධාරිතාවය මෙගාවෙට් එකක් බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් මෙම වැව් දෙකෙහි ක්‍රියාත්මක කිරීමට මාර්තු මස 4 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙම කැබිනට් අනුමැතිය ලබා දීමට ප්‍රථමයෙන් සූර්ය පැනල හා ඉදිකිරීම් උපකරණ සියල්ල ලංකාවට ගෙන්වා ඇති අතර කිරි ඉබ්බන් වැවේ විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට වැව් බැම්ම මායිමේ භූමිය සැකසීම ද සිදු කර ඇත. මෙම කැබිනට් අනුමැතිය ලබා දීම සඳහා කිසිදු තාක්ෂණික ලේඛණයක් හෝ ව්‍යාපෘති යෝජනාවලියක් පාදක කර ගෙන නොමැත.

    මෙම කැබිනට් අනුමැතියේ සඳහන් වන්නේ කොරියානු රජයේ Korea Institute for Advancement of Technology සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ය. ඒ සඳහා වැව් දෙකෙහි අක්කර දෙක බැගින් වන වැව් මතුපිට ප්‍රදේශය හා අක්කර කාලක් පමණ වන වැව් රක්ෂිතවල භූමි ප්‍රදේශ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට වාර්ෂික බදු පදනම මත ලබා දීමට වාරිමාර්ග අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.

    නමුත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි චන්ද්‍රිකා වැවේ හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කිරි ඉබ්බන් වැවේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ කිසිදු නෛතික ක්‍රමවේදයකට පිවිස නොමැත. නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී මෙම ව්‍යාපෘතියේ පූර්ණ ශක්‍යතාව හා ඉන් සිදු විය හැකි බලපෑම් හඳුනා ගැනීම මෙන් ම එම බලපෑම් පාලනය කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම යන පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයකට පිවිස නොමැත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය නීති විරෝධී ව, බලහත්කාරය භාවිත කර, රටේ නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර මේ ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යොමු වීම වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව වැවක් තුළ හෝ වැවේ උපරිම ජල රැඳවුම් සීමාවේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් පරිභාහිර ව කිසිදු රාජ්‍ය ආයතනයකට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

    ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් මගින් සිදු විය හැකි බලපෑම් පුරෝකථනය කර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ම ස්ථානය හඳුනා ගැනීම, හානි අවම ක්‍රමවේද භාවිත කිරීම, අහිතකර බලපෑම් පාලනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම හා ඒ තුළින් ව්‍යාපෘතියේ උපරීම ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය හඳුනා ගැනීම ය.

    මෙවන් මඟපෙන්වීම් පවතිද්දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වැව් දෙකෙහි සූර්ය බල උත්පාදන නියමු ව්‍යාපෘතිය මේ ආකාරයෙන් නීති විරෝධී ව ආරම්භ කිරීමට උත්සාහ දරන්නේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. මෙම ව්‍යාපෘතිය නීති විරෝධී ව ඇරඹීමට සූදානම් වීමට අමතර ව මෙම ව්‍යාපෘතිය මගින් ඇති විය හැකි හානි හඳුනා ගැනීම හා ඒවා හානිපූරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කර ගැනීමට හෝ ඒ මගින් උපරිම ප්‍රතිලාභ ව්‍යාපෘතිය තුළින් ලබා ගැනීමට කිසිදු සැලැසුමක් සකස් කර නොමැත.

    මෙම වැව්වලින් වාරි ජලය ලබා ගැනීමට අමතර ව පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මිරිදිය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක කරයි. මේ නිසා ජලයේ ගුණාත්මක තත්ත්වය අත්‍යවශ්‍ය සාධකයකි. පාවෙන සූර්ය පැනල ස්ථාපිත කරන ලෝහ ආවරණ අධික සූර්ය තාපයට, වාතයට හා වර්ෂා ජලයට නිරාවරණය වීම හේතුවෙන් ඔක්සිකරන ක්‍රියාවලිය මගින් හා ඛාදන ක්‍රියාවලිය මගින් ජලයට එක් වන රසායනික සංයෝග හේතුවෙන් වැව් ජලය දූෂණය වීම නිසා ඇති විය හැකි බලපෑම් පාලනය කිරීම පිළිබඳ ව කිසිදු සඳහනක් නොමැති ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් වේ.

    තොරතුරු දැන ගැනීමට ඇති මූලික අයිතිය මත මෙම වැව් දෙක යටතේ වගා කරන හා මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට මෙම ව්‍යාපෘතියේ ස්වභාවය හා එයින් ඇති විය හැකි බලපම් පිළිබඳ ව දැන ගැනීමට අයිතිය ඇත. නමුත් මේ ව්‍යාපෘතිය තුළින් එම අයිතිය ද අහිමි කර තිබේ.

    රටේ ආර්ථිකයට, ජනතාවට, පරිසරයට හිතකර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී අදාළ ආයතන ඒ සියල්ල ජනතාවට නිවැරදි ව අවබෝධ කර දිය යුතු අතර නීත්‍යානුකූලව සිදු කළ යුතු ය. මේ සියල්ල සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් උල්ලංඝනය කිරීමෙන් පෙනී යන්නේ මෙම ව්‍යාපෘති සංකල්පය රටේ ආර්ථිකයට, ජනතාවට, පරිසරයට හිතකර වුව ද මෙම ව්‍යාපෘතිය ස්ථානගත කරන ස්වභාවය මත අහිතකර බලපෑම් ඇති වේ. මේ නිසා ඒ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු ය.

    මේ සියලු කරුණු පදනම් කර ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම ජනතාව ගේ අදහස් මත පදනම් ව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියක් මගින් සුදුසු ස්ථාන නිවැරදි ව හඳුනාගෙන, ඒ සඳහා අනුමැතිය ලබා ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු වේ. මේ නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් නීති විරෝධී ව ආරම්භ කිරීමට සූදානම් වන ව්‍යාපෘතිය වහා ම නතර කළ යුතු ය.

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය අද (මාර්තු 28) වසර 4ක බරපතළ වැඩසහිත සිර දඬුවම් සහ දඩ නියම කර තිබේ.

    එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණය ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කර ඇත.

    2016 වසරේ කොළඹදී පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබ තිබේ.

    නීතිපතිවරයා විසින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර කරනු ලැබ තිබිණි.