Tag: cope

  • කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ 5ක් පමණයි

    කෝප් කමිටුවෙන් ඉවත් වී ඇත්තේ 5ක් පමණයි

    පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බව
    පාර්ලිමේන්තුව පවසයි.

    එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉල්ලා අස්වන බවට අදාළ සාමාජිකයින් 5 දෙනා පමණක් ලිඛිතව දැනුම් දී ඇති බවය.

    ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

    මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ශානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ හා හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

    එහෙත් ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නැත.

    පාර්ලිමේන්තුව පෙන්වා දෙන්නේ, ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන තුරු ඉල්ලා අස්වීම් වලංගු නොවන බවයි.

    ඔවුන් එලෙස ඉල්ලා අස්වුයේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පත්වීමට විරෝධය පළ කරමිනි.

    ඉල්ලා අස්වීම් භාර දුන් එම සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත්කරන්නැයි, විපක්ෂ නායක කාර්යාලයට දැනුම් දී ඇතැයි ද පාර්ලිමේන්තුව පැවසීය.

    පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවයි.

    කෝප් කමිටුව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වේ.

    ඒ ආණ්ඩුව නියෝජනය කරමින් 19 දෙනෙකු සහ විපක්ෂයෙන් සාමාජිකයින් 12 දෙනෙකු ලෙසයි.

    ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් ගණන 18ක් වන අතර විපක්ෂ සාමාජිකයින් ගණන 08ක් දක්වා අඩු වී ඇත.

    කෙසේ වෙතත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.

    (News 1st) 

  • වැට් 18%න් වැඩිකිරීමට කෝප් කමිටුවෙත් අනුමැතිය

    වැට් 18%න් වැඩිකිරීමට කෝප් කමිටුවෙත් අනුමැතිය

    එකතු කළ අගය මත බද්ද සියයට 18 දක්වා ඉහළ නැංවීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

    වෛද්‍ය උපකරණ, ගිලන්රථ, ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික භාණ්ඩ වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පමණක් රඡයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

    කලින් නිදහස් කර තිබූ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ එම පනත් කෙටුම්පත යටතේ වැට් බද්දට යටත් කොට ඇත. කෘෂිකාර්මික බීජ, කෘෂිකාර්මික පැල, ඉස්සන් ආහාර සහ කුකුළු ආහාර හැර සත්ත්ව ආහාර වැට් බද්දෙන් නිදහස් කරන බව පැවසේ.

    මේ අනුව, ගෘහස්ථ කෘෂිකාර්මාන්තයට හා ආහාර කර්මාන්තයට බලපාන කෘෂිකාර්මික උපකරණ සඳහා වැට් බදු ඇතුළත් කිරීම විශාල ගැටළුවක් ලෙස පවතියි.

    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත, 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වන මුදල් පනත් කෙටුම්පත සහ 2012 අංක 12 දරන මුදල් පනත සහ අංක 2353/ ගැසට් පත්‍රයට අදාළ ආනයන අපනයන පාලන පනත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා ප්‍රධානත්වයෙන් පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී ඉහත කී කරුණු සාකච්ඡාවට ගැනිණි.

    තවද දියර කිරි සහ බිත්තර වැනි නිෂ්පාදන ද වැට් බද්දට යටත් වේ. කෙසේ වෙතත්, තිරිඟු, තිරිඟු පිටි හෝ පිටි කිරි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නිදහස් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ළමා මන්දපෝෂණය බහුලව පවතින පසුබිමක මෙවැනි තීරණ ගැනීම බරපතල ගැටලුවකි.

    එමෙන්ම ගිලන්රථ සහ වෛද්‍ය උපකරණද වැට් බද්දට යටත් කර ඇත. වෛද්‍ය උපකරණ, ගිලන් රථ, පොහොර සහ අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර ඇති ධාන්‍යවලින් ලබාගත් ආහාර නිෂ්පාදන සඳහා වැට් බදු එකතුවීමක් සිදුවේ.

    එසේම වැට් බදු නිදහස් කිරීම් UBER සහ PickME ගාස්තුවලට බලපාන්නේ නැති බව රාජ්‍ය මූල්‍ය කමිටුව වැඩිදුරටත් අනාවරණය කර ඇත.

    ආනයන සීමා කිරීම් හෝ බදු නොගෙවීම හේතුවෙන් රේගුවෙන් නිෂ්කාශනය නොකළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෝටර් රථ නිදහස් කිරීමට ප්‍රතිපාදන යෝජනා කරන 2018 අංක 35 දරන මුදල් පනත සහ 2012 අංක 12 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ මුදල් පනත් කෙටුම්පත ද රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් විමසා බලන ලදී

    කෙසේ වෙතත්, ආනයන අපනයන පාලන පනත යටතේ 2020 මැයි 22 දිනැති අංක 2176/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෝටර් රථ ආනයනය අත්හිටුවීමෙන් පසු ආනයනය කිරීම සහ LCs විවෘත කිරීම සම්බන්ධයෙන් පැන නගින කරුණු සැලකිල්ලට ගෙන, ආනයනය කරන ලද වාහන 119ක් රේගුවෙන් නිදහස් කිරීමට අදාළව ඇති ප්‍රතිපාදන පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

     

  • රංජිත් බණ්ඩාර තවදුරටත් කෝප් කමිටුවේ සභාපති

    රංජිත් බණ්ඩාර තවදුරටත් කෝප් කමිටුවේ සභාපති

    පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කර තිබෙනවා.

    ඊට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් මෙය රංජිත් බණ්ඩාර ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදු කළ යුතු බවයි කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

    මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණ ද ඒ පිළිබඳ කිසිදු කතා බහක් නොමැති බව දක්නට ලැබේ.

    ක්‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමට ද එහිදී එකඟත්වයට පැමිණ තිබෙනවා. කෝප් විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පෙන්වා දී තිබුනේ කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින හෙයින් ඔහු එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් වහාම ඉවත් කරන ලෙසයි.

    2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය(පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ශනය සඳහා ශ්‍රී , ලංකා ක්‍රිකට් බලධාරීන් කැඳවූ අවස්ථාවේ අතින් සංඥා කරමින් සාක්ෂිකරුවන්ට තම ප්‍රකාශ ලබාදීම වළක්වන ආකාරය දැකිය හැකිවිය. මෙම සිදුවීම වන්නේ ක්‍රිකට් ආයතනයට එරෙහිව බරපතල මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති පසුබිමකයි.

    කෝප් කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම වන්නේ රාජ්‍ය ආයතනවල සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීමයි. එවැනි කමිටුවක මූල්‍ය වංචා හෙළිවීම වැලැක්වීමට යයි සිතිය හැකි පරිදි සදාචාර විරෝධීව කටයුතු කළ පුද්ගලයෙකු තවදුරටත් සභාපති ධූරය දැරීම විහිළුවකි. එවැනි සභාපතිවරයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි මූල්‍ය විනය සහතික කිරීම කුමක්ද යන්න ගැටලුවකි.

     

  • උගත්තු පාර්ලිමේන්තු ගිහින් හොඳටම කරන හැටි

    උගත්තු පාර්ලිමේන්තු ගිහින් හොඳටම කරන හැටි

    ලංකා ක්‍රිකට් බලධාරීන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවූ අවස්ථාවේ එහි සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේවන විට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද ප්‍රබල සංවාදයක් මතුවී තිබේ.

    2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය(පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ශනය සඳහා ශ්‍රී , ලංකා ක්‍රිකට් බලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හමුවට (නොවැම්බර් 14 වැනිදා) කැඳවනු ලැබුණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර ලබැඳියාවන් අතර ගැටුමක් තිබේ ද යන්න පිළිබඳවද පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයා වෙත ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබේ.

    පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අධිකරණ විනිසුරුවරුන් තුන් දෙනෙකු ද ඉවත්ව ඇති පසුබිම තුළය.

    කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබේ.

    නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කතානායකවරයාට දැනුම්දී සිටියේ ඊට පෙරදින ( නොවැම්බර් 14 වැනිදා ) කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් හස්ත සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන රූප රාමුවක් ඇති බවත් ඔහු විසින් නියම් හෝ අනියම් ආකාරයෙන් සාක්ෂිකරුවන් ලබා දෙන උත්තර හැසිරවීමට කටයුතු කරන බවයි.

    මේ අතර සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අදහස් දක්වමින් පැවසුවේ කෝප් කමිටුව හමුවට ක්‍රිකට් ආයතනය ගෙන එන ලැබුවහොත් අවසානයේදී සිදුවන්නේ සිටින මන්ත්‍රීවරු ටික චුදිතයෝ හෝ හොරු බවට පත්වී ක්‍රිකට් ආයතනය හොඳ පිරිසිදු සුදු ඇඳගත් පිරිසක් ලෙස එලියට යාම බවය.

    “ක්‍රිකට් ආයතනයට විරුද්ධව රිදෙන ප්‍රශ්නයක් අහන හැම මොහොතකම කෝප් කමිටුවේ සභාපතිවරයා හෑන්ඩ් සිග්නල් දෙනවා ඔයා මේකට උත්තර දෙන්න එපා, ඔයා වාඩිවෙන්න කියලා ඒක එතුමා භාරයේම තියා ගත්තා.”

    “ඉතින් එහෙනම් මේ රටේ ප්‍රශ්න විසඳන්නේ , ක්‍රිකට් එක හොරකම් කළා කියලා රටම පිළිඅරගෙන තියෙන වෙලාවේ මේ හොරු ටික බේරන්න මේ කෝප් කමිටුවේ සභාපතිවරයා විකිණෙනවා නම් අපි කෝප් කමිටුවේ වාඩිවෙන එක තේරුමක් නෑ.”

    මේ අතර ( නොවැම්බර් 16 වෙනිදා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සම්බන්ධකමක් පවතින බවට ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

    “කැන්ඩි ක්‍රිකට් ප්‍රොජෙක්ට් එකේ උපදේශකවරයකු විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙනවා.”

    දැනට පවතින පාලන ක්‍රමයේ ගැටලුව උගතුන් විසින් රට පාලනය නොකිරීම යන්න ජනප්‍රිය මතයකි. හාස්‍යජනක කාරණය වන්නේ මෙම මතය තදින් සමාජය තුළ පැල කිරීමට උත්සහ ගනු ලැබුවේ ජාතික ජන බලවේගය වීමයි. ඒ අනුව දැනටත් ඔවුන් මැතිවරණවලදී අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රදර්ශනය කරයි. පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වන විට ගෙන එන ලද මතයක් වූවේ උගතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවයි. ඒ අනුව ඔහු වියත්මග පිහිටුවා මහ මැතිවරණයේදී ‘උගතුන්’ රැසකට පාර්ලිමේන්තු වරම් හිමිකරදෙනු ලැබීය. මහාචාර්ය රංජිත් බණ්ඩාර ද වියත් මග හැදීමට පුරෝගාමී වූ අයෙකි. මේ ‘උගතුන්, තම උගත්කම් පෙන්වීමට පටන් ගත්තේ ගෝඨාභය බලයට පත්වී කෙටි කාලයක් ගතවීමටත් මත්තෙනි. මෙවැනි උගතුන්ගේ ජඩ වැඩ හරහා අපෙන් ප්‍රශ්න කෙරෙන්නේ නිකම්ම නිකම් උගතුන් ටිකක් පාර්ලිමේන්තු යැවීමෙන් ප්‍රශ්නය විසඳිය හැකිද යන්නයි.

     

  • සභාපතිගේ පුතාලටත් එන්න යන්න පුළුවන් ‘කෝප් කම්ටුව’

    සභාපතිගේ පුතාලටත් එන්න යන්න පුළුවන් ‘කෝප් කම්ටුව’

    අද (16) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කළ සිටියේ, පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ගේ පුත්‍රයා ද ඊට සහභාගි වී ඇති බවයි.

    කෝප් කමිටුව තුළ තමා ගේ කට වසා ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළ අතර, එවැනි පසුබිමක රන්ජිත් බණ්ඩාර ගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේ ද යන්න ප්‍රශ්න කර සිටියේය.

    තවද වහාම කෝප් කනමිටු සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් විය යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

    එහිදී, තමා එවැන්නක් නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්, කෝප් කමිටුවට පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත් , ඊට පිළිතුරු ලබා දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා තිබේ.

    කෝප් කමිටු සභාපති වරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගී වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා ඔහුගේ ප්‍රවෘත්ති ලේකම් බව දැනුම් දී ඇතැයි ද කතානායකවරයා සඳහන් කර ඇත.

    මේ අතර ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ පුතා පැමිණ ඇත්තේ ස්ථාවර නියෝග අනුව බවයි.

  • ඖෂධ ගන්න මුදල් තිබියදීත් මිලදී ගැනීම් ප්‍රමාද කරලා – කෝප් කමිටුව

    ඖෂධ ගන්න මුදල් තිබියදීත් මිලදී ගැනීම් ප්‍රමාද කරලා – කෝප් කමිටුව

    ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ ඖෂධ හිඟය ඇතිවූ බව විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසූවේ ඖෂධ හිඟය වළක්වා ගැනීම සඳහා මුදල් කළමනාකරණය කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවී ඇතැයි පෙනී යන බවයි.

    මේ අතර ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම මග හැරවීමට කටයුතු කරන්නැයි කමිටු සභාපතිවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

    චරිත හේරත් මෙසේ උපදෙස් ලබා දුන්නේරජයේ රෝහල්වල ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් කෝප් කමිටුවට පෙරේදා (31) කැඳවූ අවස්ථාවේදීය.

    ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව නිර්දේශ ලබා දී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් වටිනා වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් බව චරිත හේරත් මෙහිදී පැවසීය.

    එය එම ආධාර මුදලින් සියයට 28 ක් බවත් 2022 මැයි 18 දින වනවිටත් ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් සඳහා පමණක් නිර්දේශ ලබාදී තිබූ බවත් මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    රටේ අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් පවතින අවස්ථාවක කඩිනමින් මෙම මුදල් භාවිතා කර අවශ්‍ය ඖෂධ ලබාගැනීමට කටයුතු කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

    මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පැවසුවේ මේ සම්බන්ධයෙන් කෙරෙන කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

    දැනට ඇති මුදල් වලින් අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුහු පෙන්වා දී ඇත.

    විශේෂයෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මේ කාලසීමාවේදී වරින් වර පත්වීම හේතුවෙන්ද එම කටයුතු ප්‍රමාද වූ බව නිලධාරීහු පැවසූහ.

    තවද ඉන්දියානු ණය ආධාර වලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර (WB), ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර (WHO), ආසියානු සංවර්ධන බැංකු ආධාර (ADB) සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳවද වැඩිදුරටත් සාක්ච්ඡා විය.

    විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකර නොමැති බවද මෙහිදී සඳහන් විය.

    හැකි ඉක්මනින් ඖෂධ මිලදීගතහොත් 2023 වසරේ මැද වන තෙක්ම ඖෂධ හිගයක් ඇති නොවන බව මන්ත්‍රීවරු පැවසූහ.

    එසේම ඖෂධ මිලදීගැනීමේදී රුපියල් හිගයක් පැවති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

    වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ භාවිත නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.

    විශේෂයෙන්ම මෙහිදී හෙළි වූයේ මෙම පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 645ක් පමණ සමාගමකට ලබා දී ඇති බවයි.

    මෙහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන බවත් එසේ වුවද එම පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත් මෙහිදී අනාවරණය විය.

    මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව පැවසූ නිලධාරීහු එහි කටයුතු සියයට 80 ක් පමණ දැනටමත් අවසන් වී ඇති බවද සඳහන් කළහ.

    තවද රටේ පවතින ඖෂධ අවශ්‍යතාවය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර මෙවැනි ක්‍රමවේදයක් වඩාත් නිවැරදිව පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    මෙම ක්‍රමවේදයෙන් එදිනෙදා ඖෂධ අවශ්‍යතාවය සහ ඖෂධ හිගය කලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

    ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතනවල ප්‍රසම්පාදන කටයුතු සමබන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.මෙම ආයතන තුන ඒකාබද්ධව ඉතා ඉකිමනින් අවශ්‍ය තීරණ ගෙන කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කෝප් කමිටුව පෙන්වා දී ඇත.

    මීට අමතරව හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, ජලබීතිකා රෝගය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, නිර්වින්දන කටයුතු සඳහා භාවිත වන ඖෂධ සහ අසාත්මිකතාවන් සඳහා භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදීගැනීමට ප්‍රමාද වීම පිළිබඳවද එවැනි අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා යොදාගතහැකි විකල්ප ඖෂධ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එසේම 1990 ගිලන්රථ සේවාව සඳහා පවතින ඖෂධ හිගය විසදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය නාලක ගොඩහේවා, මධුර විතානගේ සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.