Tag: සජීව චාමිකර

  • තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි

    තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මාලදිවයිනට අයත් “සන් සියාම් රිසෝට්” නම් සංචාරක හෝටල් සමාගමට අක්කර 8 ක භූමියක් ලබා දීමට ප්‍රාදේශීය ලේකම් ආර්.ජී.එස්.ඊ.කේ. විජේරත්න විසින් සැලැසුම් සකස් කර තිබේ. හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ හිටපු ග්‍රාම නිලධාරී ධම්මික රාජපක්ෂ විසින් මෙම රක්ෂිත වනාන්තර ඉඩම් ජාවාරම මෙහෙයවන අතර මොහු දැනට පලුගස්වැව ග්‍රාම නිලධාරී වසමේ කටයුතු කරයි.

    පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් හා හිටපු හිරිවඩුන්න ග්‍රාම නිලධාරී එක් වී ජනාධිපතිවරයා, පරිසර අමාත්‍යවරයා හා වන සංරක්ෂණ ජනරාල්වරයාට සාවද්‍ය කරුණු ඉදිරිපත් කර මේ ඉඩම් “සන් සියාම්” සමාගමට ලබා දීමට සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා තුම්බිකුලම රක්ෂිතයට අයත් වනාන්තර රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට ධම්මික පටබැදි පරිසර අමාත්‍යවරයාට, එස්.සී. පාලමකුඹුර වන සංරක්ෂණ ජනරාල්වරයාට හා ඩී.පී.සී. උදය කුමාර පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාට බලපෑම් කර තිබේ. ඒ මත පදනම් ව මෙම ඉඩම් නිදහස් කිරීමට පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදි කරුණු සොයා බැලීමකින් තොර ව මේ වන විට සැලැසුම් සකස් කරමින් තිබීම කණගාටුවට කරුණකි.

    තුම්බිකුලම වන රක්ෂිතයේ අවශ්‍යතාව

    හෙක්ටයාර 2744 ක් වන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර පද්ධතියක් තුම්බිකුලම වන රක්ෂිතය ලෙස 2013 අගෝස්තු මස 01 වන දින අංක 1821/34 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අවශ්‍යතාව වී ඇත්තේ වැව් ගණනාවක ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීම තුළින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය වාරි ජලය සැපයීම, කලා වැව හා මින්නේරිය ජාතික වනෝද්‍යානය අතර අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම හා අලි – මිනිස් ගැටුම පාලනය කර අවට ජනතාව ගේ කෘෂිකර්මාන්තය සුරක්ෂිත කිරීම සඳහා ය.
    “සන් සියාම්” සමාගම ලබා දීමට සූදානම් වන්නේ තුම්බිකුලම වන රක්ෂිතයේ පිහිටි මීගස්වැවේ ජල පෝෂක ප්‍රදේශයකි. මීගස්වැව යටතේ කුඹුරු අක්කර 16 ක් පමණ, ගොවීන් 15 දෙනෙකු විසින් වී වගා කරනු ලැබේ. හිරිවඩුන්න හා දිගම්පතහ යන ගම්මානවල ගොවි ජනතාව මෙම ප්‍රදේශයේ වී ගොවිතැනේ නිරත වේ.
    මාතලේ හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ව්‍යාප්ත ව ඇති උණගොල්ලෑව වනාන්තරයේ සිට තුම්බිකුලම වන රක්ෂිතය ඔස්සේ කලා වැව දක්වා මෙන් ම මින්නේරිය ජාතික වනෝද්‍යානය දක්වා අලින් ගමන් කරන ප්‍රධාන මංකඩ ලෙස මීගස්වැව ප්‍රදේශය හඳුනා ගෙන ඇත. මෙම ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලි මංකඩක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා මැනීම් කර සැලැසුම් සකස් කර තිබේ.

    රක්ෂිත වනාන්තර සමාගම් සතු කිරීමේ පළමු සැලැසුම

    මේ ආකාරයෙන් සුවිශේෂී අලි මංකඩක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලැසුම් කර ඇති ප්‍රදේශයේ තිබලව විදුලි වැට ඉදි කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් ගේ, ග්‍රාම නිලධාරී ගේ හා වන සංරක්ෂණ නිලධාරීන් ගේ මැදිහත් වීම හා බලපෑම මත මෙම අලි මංකඩ අවහිර කර, රක්ෂිතයෙන් ඉවත් කිරීමට යෝජිත ඉඩම් ඉවත් කර විදුලි වැට ඉදි කර තිබේ. ඒ අනුව මෙම ඉඩම් සමාගම්වලට ලබා දීම ඉතා සැලැසුම්සහගත ව සිදු කර ඇති බව පෙනෙන්නට තිබේ.


    මීගස්වැව අලි මංකඩ අවහිර කිරීම හේතුවෙන් පලුගස්වැව ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාශයේ ගම්මාන රැසක් අලි – මිනිස් ගැටුමට ගොදුරු කර තිබේ. ඒ අතුරෙන් ප්‍රධාන බලපෑමට ලක් වන ගම්මාන වන්නේ අවුඩන්ගාව, දිගන්පතහ, කිඹිස්ස, ගෙඩිගස්වලාන, ගෙඩිවලයාගම, හිරිවඩුන්න හා පින්සිරිගම ය. මෙම ගම්මානවල ජනතාවට අලි – ඇතුන් ගම් වැදීමෙන් සිදු වන තර්ජන වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කළ වන රක්ෂිතයක කොටසක් ඉවත් කර සමාගම් සතු කිරීමට උත්සාහ කිරීමෙන් මෙරට රක්ෂිත වනාන්තරවල අනාගත පැවැත්ම පිළිබඳ ව මෙන් ම රක්ෂිත වනාන්තර ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවන් පිළිබඳ ව ජනතාවට විශ්වාසයක් නොමැති තත්ත්වයක් ඇති වේ.

    වන සංරක්ෂණ ආඥාපනත අභියෝගයට ලක් කිරීම

    2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 3(1)(ඇ) වගන්තියට අනුව රජයට අයත් වනාන්තර ඉඩම් පමණක් වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට ඇත. එසේ ප්‍රකාශයට පත් කරන වන රක්ෂිතයක් සඳහා පනතේ 3(2) වගන්තියට අනුව කළමනාකරණ සැලැසුමක් සකස් කළ යුතු ය. එම අනුමත සැලැසුමට අනුව වන රක්ෂිතයේ ඉදිරි කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කළ යුතු වේ. වන සංරක්ෂණ ආඥාපනතට අනුව විෂය භාර අමාත්‍යවරයාට පනතේ 4(2) වගන්තියට අනුව වන රක්ෂිතය හෝ ඉන් කොටසක් රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමේ බලය ද ඇත. නමුත් එය අභිමත බලයක් ලෙස භාවිත කළ නොහැකි ය.

    ඊට හේතු ව වන සංරක්ෂණ ආඥාපනතේ මූලික අර්ථනිරූපනයට අනුව, වන සම්පත් සංරක්ෂණය කිරීමට, ආරක්ෂා කිරීමට හා ඒවායේ තිරසර කළමනාකරණය සඳහා විධිවිධාන සැලැස්වීමට මෙම පනත ක්‍රියාත්මක වේ. ඒ අනුව රක්ෂිතයකින් කොටසක් ඉවත් කළ හැකි වන්නේ පනතේ මූලික අර්ථනිරූපනයේ සඳහන් තත්ත්වයන් අදාළ රක්ෂිතය තුළ නොපවතින අවස්ථාවල දී පමණි. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ දැක්වෙන 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය. එසේ තිබිය දී ස්වාභාවික සම්පත් විනාශ කිරීම සඳහා තීන්දු තීරණ ගැනීමේ බලයක් විෂය භාර අමාත්‍යවරයාට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොමැත.

    2013 වසරේ දී රක්ෂිතයක් බවට පත් කළ වනාන්තර ප්‍රදේශයක් වසර 13 කට පසු ව ඉන් කොටසක් රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලැසුම් කිරීමෙන් පෙනී යන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතා ම දුර්වල පාලනයයි. රක්ෂිත වනාන්තරයකින් කොටසක් කෙටි කාලයක් තුළ රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ නම් ජනතාව ගේ බදු මුදල්වලින් මෙම දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා යුතු ද යන්න සිතා බැලිය යුතු ය. මෙවන් තත්ත්වයන් පිළිබඳ ව අවධානය යොමු නොකර ජාවාරම්කාර නිලධාරීන් ගේ බලපෑම මත පරිසර අමාත්‍යවරයා මෙම රක්ෂිත ඉඩම් ඉවත් කිරීමට සැලැසුම් කිරීමෙන් පෙනී යන්නේ පරිසර අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වන දුර්වල පාලනය හා පරිසර නීති පිළිබඳ ව ඇති අඩු අවබෝධයයි.

    ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

    වන රක්ෂිතයකට අයත් ඉඩම් නිදහස් කළ හැකි වන්නේ නිවැරදි විකල්ප අධ්‍යයනයක් මත ක්‍රියාත්මක කරන පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියකට යටත් ව පොදු කාර්යක් සඳහා ය. එපමණක් නොව ඒ සඳහා හානි අවම උපායමාර්ග යෝජනා කළ යුතු අතර ඇති විය හැකි බලපෑම් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීම ද කළ යුතු ය. ඊට අමතර ව ඒ සඳහා එම ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වන ජනතාව ගේ අදහස් ලබා ගැනීම ද සිදු විය යුතු ය. ඒ සඳහා ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය වැදගත් වේ. මෙම ගැසට් නිවේදනයට අනුව වන රක්ෂිතයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර 100 ක් ඇතුළත ප්‍රදේශයේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් ක්‍රියාවලියකින් තොර ව ඉඩම් නිදහස් කිරීමට හෝ ඉඩම් බදු දීමට කිසිදු රාජ්‍ය ආයතනයකට හැකියාවක් නොමැත.
    එසේ සිදු කිරීම බල අතික්‍රමණය නැතහොත් නීතිය අවභාවිත කිරීමකි. මෙවන් වැරදි පූර්වාදර්ශ ලබා දීමට නිලධාරීන්ට අවස්ථාව ලබා දීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැත. ඊට හේතු ව වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්මුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” හා “මිහිකත පරිසර ප්‍රතිපත්තිය” යන ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ කළ හැකි වනජීවී හා වන සංරක්ෂණ කලාප හඳුනාගෙන ඒ සඳහා නව මංකඩවල් ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත්, අලි – මිනිස් ගැටුම වැළැක්වීමට විද්‍යාත්මක ක්‍රම භාවිත කරන බවත් ස්වාභාවික වනාන්තර ආවරණය පරිසර සේවා පවත්වා ගෙන යාමට හැකි වන පරිදි කළමනාකරණය කිරීම හා සංරක්ෂණය කිරීම සිදු කරන බවත් ය.

    මේ ආකාරයෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ ආණ්ඩුවට ජාවාරම්කාරී නිලධාරීන්ට අවශ්‍ය පරිදි රක්ෂිත වනාන්තර විනාශ කිරීමට, අලි මංකඩවල් විනාශ කිරීමට මෙන් ම සංවේදී පරිසර පද්ධති ඛණ්ඩනය කිරීමට ඉඩ දිය යුතු නැත. මේ නිසා අප අවධාරණය කරන්නේ තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට ලබා දීමට එම ඉඩම් රක්ෂිතයෙන් ඉවත් කිරීම වහා ම නතර කර රක්ෂිත වනාන්තරයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන් ම විදුලි වැට නිසි පරිදි සකස් කර අලි මංකඩ විවෘත කිරීමට කටයුතු කර අලි – මිනිස් ගැටුම පාලනයට හා කෘෂිකර්මාන්තය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ය.

  • හම්බන්තොට සෝලා සමාගම්වල වනාන්තර ජාවාරමට මහවැලි, පරිසර හා සුනිත්‍ය බලශක්ති අධිකාරි ගොදුරු වූයේ අල්ලස් ලබා ගෙන ද?

    හම්බන්තොට සෝලා සමාගම්වල වනාන්තර ජාවාරමට මහවැලි, පරිසර හා සුනිත්‍ය බලශක්ති අධිකාරි ගොදුරු වූයේ අල්ලස් ලබා ගෙන ද?

    හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කරමින් සමාගම් 17 ක් විසින් මහ පරිමාණ සූර්ය බලාගාර ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය නොමඟ යවමිනි. එය තහවුරු කිරීමට ඇති ප්‍රධාන සාධකය වන්නේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකට හා එක ම අධ්‍යක්ෂ මණ්ඩලයකට අයත් සමාගම් ගණනාවකට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා දීමෙනි. මේ නීති විරෝධී ක්‍රියා සියල්ල මෙම රාජ්‍ය ආයතන නොමඟ යැවීමෙන් හෝ අල්ලස් ලබා දීම මත සිදුවන්නට ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් කණගාටුවට කරුණ වන්නේ මේ සියලු කරුණු අනාවරණය කර තිබිය දී කිසිදු රාජ්‍ය ආයතනයක් මෙම නීති විරෝධී හා හානි කර ක්‍රියා මැඩපැවැත්වීමට ඉදිරිපත් නොවීම ය.

    ඩොලර් මිලියන 150 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සඳහන් කරමින් මෙගාවොට් 150 ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ Hambanthota 150 MW Solar PV Project – Group of Companies ලෙස සඳහන් සමාගම් සමූහය විසිනි. මෙය ලියාපදිංචි සමාගමක් නොවේ. මේ යටතට අයත් සමාගම් 12 අතුරෙන් 8 ක්, එනම් ජෙන්කෝ පුද්ගලික සමාගම (Geneco Pvt Ltd), සෝලාජෙන් පුද්ගලික සමාගම (Solargen Pvt Ltd), ස්ටැලියන් එනර්ජි සෝලා පුද්ගලික සමාගම (Stallion Energy Solar Pvt Ltd), එළිෆන්ට් පවර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Elephant Power International Pvt Ltd), මදුනාගල ඇග්‍රිකෝ පුද්ගලික සමාගම (Madunagala Agrico Pvt Ltd), ලෙෂර් ක්‍රියේෂන් පුද්ගලික සමාගම (Leisure Creation Pvt Ltd), ටැල්නා සෝලා පුද්ගලික සමාගම (Talna Solar Pvt Ltd), හා ග්‍රින්ලයින් සෝලා පුද්ගලික සමාගම (Greenline Solar Pvt Ltd) යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන් ලෙස ප්‍රධාන වශයෙන් සඳහන් වන්නේ, පලවින්නගේ චරණ මිත්සුක කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මදුසංක පුරවරුණ ප්‍රනාන්දු හා චීන ජාතිකයකු වන ලියූ කයි යන පුද්ගලයන් ය. සමාගම් 5 ක අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන මේ චීන ජාතිකයා මෙම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා ලෙස සඳහන් වේ. චරණ කුමාරණතුංග සමාගම් 7 ක අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරන අතර ඔහු මෙම සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම් සමූහයේ ප්‍රධාන හවුල්කරුවා ලෙස ද පෙනී සිටී.

    එක ම කණ්ඩායමකට අයත් සමාගම් ගණනාවක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පාරිසරික අනුමැතිය, ඉඩම් බදු ගැනීම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම් ගත වීම සිදු කර ඇත්තේ වෙන් වෙන් සමාගම් වශයෙනි. මේ ආකාරයෙන් සමාගම් ගණනාවක් ලෙස මෙම ව්‍යාපෘතිය සඳහා යොමු වී ඇත්තේ පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මඟ හැරීම සඳහා මෙන් ම මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු ගැනීම පහසු කිරීම සඳහා ය. මේ නීති විරෝධී මඟහැරීම් සඳහා මෙන් ම නොකර හැරීම් සඳහා රාජ්‍ය ආයතනවල සහය ලැබී ඇති බව පෙනෙන්නට තිබේ.

    මීට අමතර ව මෙගාවොට් 150 ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන Hambanthota 150 MW Solar PV Project – Group of Companies සමාගම් සමූහය යටතේ ක්‍රියාත්මක ඉලෙක්ට්‍රෝලයිට් පුද්ගලික සමාගම (Electrolyte Pvt Ltd) හා සර්කල් ලයින් පුද්ගලික සමාගම (Circle Line Pvt Ltd) ලෙස නම් සඳහන් සමාගම් දෙක ලියාපදිංචි සමාගම් නොවන බව අප ගේ තොරතුරු සොයා බැලීම්වල දී අනාවරණය වී ඇත. ලියාපදිංචි වී නොමැති නෛතික පුද්ගලභාවයක් නොමැති සමාගම් සමඟ ගිවිසුම් ගත වීම හා ඉඩම් බදු දීම මහවැලි අධිකාරිය, සුනිතය බලශක්ති අධිකාරිය මෙන් ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කර ඇත්තේ කෙසේ ද යන්න ප්‍රධාන ගැටළුවකි. මෙම රාජ්‍ය ආයතනවල නිලධාරීන් නිවැරදි කරුණු සොයා බැලීමකින් තොර ව මේ සියල්ල සිදු කර ඇති බව පෙනී යයි. මෙම නීති විරෝධී හා හානි කර ක්‍රියාවල බලපෑමට ලක් වී ඇත්තේ මහවැලි ව්‍යාපාරයේ වලව වම් ඉවුර යටතේ පදිංචි කළ මයුරපුර කොට්ඨාශයේ ගොවි පවුල් 5365 ක් පමණ සහ ගොන්නෝරුව, මීගහජදුර, තනමල්විල හා ගල්වැව යන ප්‍රදේශවල ගොවි ජනතාවයි.


    නීති විරෝධී අනුමැතීන් මත පදනම් ව මෙම සමාගම් විසින් ක්‍රියාත්මක කරන සෝලා බලාගාර ව්‍යාපෘති සඳහා වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ වනාන්තර අක්කර දහසක් පමණ එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් බහුල ව ගම් වැදීම හේතුවෙන් අලි – මිනිස් ගැටුම දරුණු මට්ටමකට වර්ධනය වී ඇත. අලින් ගේ පහරදීම් හේතුවෙන් මිනිසුන් මිය යාම පමණක් නොව පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ ජනතාව ද වර්ධනය වී ඇත. මේ නිසා වගාබිම් අත්හැර දැමීමට ද සමහර ගොවීන් යොමු ව තිබේ. මෙය සමාජ හා ආර්ථික ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව අලි – ඇතුන් ඝාතනය කිරීම ද වර්ධනීය තත්ත්වයකට පත් ව ඇත.

    මේ සියල්ල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ දැක්වෙන 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම, නීතියේ රැකවරණය හා නීතිය පසිදලීම සර්ව සාධාරණ විය යුතු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය යන්න අර්ථ නිරූපනය කරන විට පරිසරය දූෂණය කිරීමට හෝ පිරිහී යාමට හේතු වන හෝ අවසර දෙන නීති විරෝධී, අන්තනෝමතික ක්‍රියාවන්ගෙන් හෝ අතපසුවීම් වලින් නිදහස් වීමට පුරවැසියන්ට මූලික අයිතියක් ඇත.

    ජනතාව ගේ බදු මුදලින් වැටුප් ලබන ආයතනවල නිලධාරීන්ට ජනතා ගේ අභිලාශයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ නොහැකි ය. නමුත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කර ඇත්තේ සෝලා සමාගම්වල අභිලාශයන් ඉටු කිරීම වෙනුවෙනි. ඒ සඳහා මෙම රාජ්‍ය ආයතන සිදු කර ඇති නීති විරෝධී නොකර හැරීම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් මැදිහත් වී මේ නීති විරෝධී සෝලා ව්‍යාපෘති නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු ව ඇත.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • ආණ්ඩුව නිහඬව සිටිය දී සමාගම් 17 ක් නීති විරෝධී ව අක්කර 1000 ක හම්බන්තොට අලි නිජබිම් වනසයි

    ආණ්ඩුව නිහඬව සිටිය දී සමාගම් 17 ක් නීති විරෝධී ව අක්කර 1000 ක හම්බන්තොට අලි නිජබිම් වනසයි

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ එළිපෙහෙළි කරමින් නීති විරෝධී ව සමාගම් 17 ක් විසින් මහ පරිමාණ සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීම ආරම්භ කර තිබේ. සමාගම් 5 ක් එක් ව මෙගාවොට් 50 ක ව්‍යාපෘතියක් හා සමාගම් 12 ක් එක් ව මෙගාවොට් 150 ක ව්‍යාපෘතියක් වශයෙන් මෙම සූර්ය බලශක්ති බලාගාර පද්ධතිය ඉදි කිරීම සිදු කරයි. ඒ සඳහා ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් වනාන්තර එළි කිරීම, වනාන්තර ගිනි තැබීම හා එල්ලෙන විදුලි වැටවල් වලින් අලින් ජීවත් වන වනාන්තර ආවරණය කිරීම මේ වන විට අවසන් කර ඇත.

    මෙගාවොට් 50 ක ධාරිතාවෙන් යුතු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd) හා ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd) විසිනි. මෙම සමාගම් 5 ට අයත් සූර්ය බලාගාර ඉදි කරන වනාන්තර භූමිය නීති විරෝධී ව එළිපෙහෙළි කිරීමේ කටයුතු භාරව සිටින්නේ අම්බලන්තොට පදිංචි නදුන් ක්‍රිශාන් අන්දරවීර යන අයයි. ඔහු ගේ මෙහෙයවීම යටතේ මේ වන විට අලින් ගේ වාසස්ථාන ලෙස පැවති වනාන්තර ඩෝසර් කිරීම හා ගිනි තැබීම සිදු කර භූමිය සකස් කිරීම අවසන් කර තිබේ.

    සූර්ය බලාගාර සඳහා අල්ලස් දුන් සමාගම්

    මෙම සමාගම් පහ විසින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයේ කිලෝමීටර 12 ක පමණ කොටසක් ආවරණය කිරීමට එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීමට අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 14 ක් ලබා දී නීති විරෝධී ව වනාන්තර එළි කර සූර්ය බලාගාර ව්‍යාපෘති ඉදි කිරීමට අවශ්‍ය සහය රාජ්‍ය ආයතන වලින් ලබා ගෙන ඇත. මේ සියල්ල මෙම සමාගම් පහ වෙනුවෙන් සම්බන්ධීකරණය කර ඇත්තේ හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහට අයත් දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ප්‍රවීන් පීරිස් විසිනි. ඔහු සූර්ය බලාගාර සම්බන්ධ සිනෝ ලංකා පවර් ජෙන් පුද්ගලික සමාගමේ (Sino Lanka Power Gen Pvt Ltd) අධ්‍යක්ෂවරයකු වන අතර මෙම සමාගමේ අනෙක් අධ්‍යක්ෂවරු වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යි.

    මෙම සමාගම් සියල්ල හා මෙම ප්‍රකට පුද්ගලයන් එක් ව නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් පරිභාහිර ව ව්‍යාපෘති අනුමැතිය හා මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු වශයෙන් ලබා ගෙන අලින් ගේ වාසස්ථාන විනාශ කර මෙම සූර්ය බලාගාර ඉදි කිරීම සිදු කරයි.

    නීති විරෝධී සූර්ය බලශක්ති සංග්‍රාමයේ නිරත සමාගම්

    ඩොලර් මිලියන 150 ක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සඳහන් කරමින් මෙගාවොට් 150 ක සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ සමාගම් 12 ක් විසිනි. එනම් ජෙන්කෝ පුද්ගලික සමාගම (Geneco Pvt Ltd), ඉලෙක්ට්‍රෝලයිට් පුද්ගලික සමාගම (Electrolyte Pvt Ltd), ෆෝටෝන් වැලි පුද්ගලික සමාගම (Photon Valley Pvt Ltd), සෝලාජෙන් පුද්ගලික සමාගම (Solargen Pvt Ltd), ස්ටැලියන් එනර්ජි සෝලා පුද්ගලික සමාගම (Stallion Energy Solar Pvt Ltd), එළිෆන්ට් පවර් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Elephant Power International Pvt Ltd), මදුනාගල ඇග්‍රිකෝ පුද්ගලික සමාගම (Madunagala Agrico Pvt Ltd), ලෙෂර් ක්‍රියේෂන් පුද්ගලික සමාගම (Leisure Creation Pvt Ltd), ටැල්නා සෝලා පුද්ගලික සමාගම (Talna Solar Pvt Ltd), සර්කල් ලයින් පුද්ගලික සමාගම (Circle Line Pvt Ltd) හා ග්‍රින්ලයින් සෝලා පුද්ගලික සමාගම (Greenline Solar Pvt Ltd) ය.

    මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අක්කර 500 ක වනාන්තර ඉඩම් වටා කිසිදු අනුමැතියකින් තොර ව එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීම, ඩෝසර් යන්ත්‍ර යොදා වනාන්තර එළි කිරීම, වනාන්තර ගිනි තැබීම මෙන් ම රාත්‍රි කාලයේ වනාන්තර එළි කිරීම හා ගිනි තැබීම ඇතුළු සියලු කාර්යයන් ක්‍රියාත්මක කිරීම මදුනාගල ගොවිපළේ (Madunagala Farm) හිමිකරු වන එරන්දු නිරෝෂණ ඉහළවන්නි විසින් සිදු කරයි. මෙම සමාගම් 12 ට අයත් ව්‍යාපෘති භූමිය එළි කිරීමට අමතර ව මැර කණ්ඩායම් යොදවා නීති විරෝධීව එළි කරන භූමිය පරික්ෂා කිරීමට පැමිණෙන පුද්ගලයන්ට බලපෑම් කර බිය වැද්දවීම, බාහිර කණ්ඩායම්වලට ව්‍යාපෘති භූමියට පිවිසිය හැකි පොදු මාර්ග අවහිර කිරීම මෙන් ම ප්‍රදේශයේ විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලා හමු වී සාකච්ඡා කර මෙම ව්‍යාපෘතියට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වන ප්‍රතිවිරෝධතා වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ද මොහු විසින් සිදු කරමින් පවතී.

    එරන්දු නිරෝෂණ ව මේ සඳහා පත් කිරීම සිදු කර ඇත්තේ මෙම ව්‍යාපෘතියට අදාළ සමාගම් සමූහයේ (Hambanthota 150 MW Solar PV Project – Group of Companies) ප්‍රධානියා ලෙස කටයුතු කරන චරණ කුමාරණතුංග විසිනි. චරණ කුමාරණතුංග 2021 වසරේ දී ආරම්භ කරන ලද ව්‍යාපාර පිළිබඳ උපායමාර්ගික උපදේශනය හා ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ විසඳුම් ලබා දීමට කටයුතු කරන රේන්වෙන්චර් සමාගමේ (Renventure Pvt Ltd) කළමනාකරණ අධ්‍යක්ෂවරයා ය. එම සමාගමේ සභාපති ලෙස කටයුතු කරන්නේ බන්දුල විතානාරච්චි ය. සමාගම් 12 ක් මගින් ක්‍රියාත්මක කරන මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතිය සදර්න් නෙක්සස් සමාගම (Southern Nexus Pvt Ltd) යටතේ සදර්න් නෙක්සස් සූර්ය බලාගාර ව්‍යාපෘතිය (Southern Nexus Solar Project) ලෙස ක්‍රියාත්මක කරන්නේ ද  බන්දුල විතානාරච්චි ගේ ප්‍රධානත්වයෙනි.

    ඔහු විසින් 2024 වසරේ දී ඩොලර් මිලියන 82 කක ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙගාවොට් 110 ක සූර්ය බල උද්‍යාන ව්‍යාපෘතිය Project Apollo නමින් සදර්න් නෙක්සස් සමාගම හා එච්.ඩී. සිලෝන් එනර්ජි පුද්ගලික සමාගම (HD Ceylon Energy Pvt Ltd) සමඟ ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය ආයතන අතර පැවති සම්බන්ධීකරණයේ දුර්වලතා හා මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු දීම අත්හිටුවීමට එරෙහි ව අභියාචනාධිකරණයේ CA Writ No 133-150 දරන නඩු පැවරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ද රේන්වෙන්චර් සමාගමේ සභාපති හා සදර්න් නෙක්සස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන බන්දුල විතානාරච්චි සහ රේන්වෙන්චර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන හා මෙම සෝලා සමාගම් සමූහයේ ප්‍රධානිය ලෙස කටයුතු කරන චරණ කුමාරණතුංග විසිනි.

    අධිකරණ නියෝග අවභාවිත කිරීම

    එම නඩුවලට අදාළ තීන්දුව 2025 ජුනි 12 වන දින ලබා දෙමින් අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ මෙම සමාගම්වලට ප්‍රමාදයකින් තොර ව ඉඩම් නිදහස් කිරීමට මහවැලි අධිකාරිය කටයුතු කළ යුතු බව ය. මෙම නඩු තීන්දුව පදනම් කර ගෙන මෙම සමාගම් 12 මේ වන විට අක්කර 500 ක වනාන්තර ප්‍රදේශයක් එළි කරමින් තිබේ. මෙම සමාගම් සියල්ල ම සූර්ය බලාගාර ඉදි කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති සමාගම් වන අතර බන්දුල විතානාරච්චි විසින් අධිකරණය නොමඟ යවමින් කරුණු ඉදිරිපත් කර මහවැලි අධිකාරියෙන් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවන් ආවරණය කර මෙම නඩු තීන්දුව ලබා ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

    මෙම ව්‍යාපෘතියේ ස්වභාවය මත මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගැනීමෙන් පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි අතර ඉඩම් නිදහස් කිරීම සඳහා පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අදාළ සියලූ ම රාජ්‍ය ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු ය. මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කර ඉඩම් නිදහස් කළ හැකි බව අභියාචනාධිකරණය තීන්දුවේ සඳහන් නොවේ. එසේ නමුත් මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය ඉඩම් නිදහස් කිරීමට හා අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ අණ පනත් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

    පරිසර හා පුරා වස්තු අණ පනත් උල්ලංඝනය කිරීම

    මෙම සෝලා බලාගාරවල ස්වභාවය මත හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති නිර්දේශ මත තහවුරු වන්නේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මත පදනම් ව අනුමැතිය ලබා ගත යුතු බව ය. එම වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි කිරීමට ප්‍රථමයෙන් හෝ මෙගාවොට් 50 කට වඩා වැඩි විදුලි බලාගාර ව්‍යාපෘති ඉදි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ක්‍රියාවලියට පරිබාහිර ව  නිවැරදි අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නීති විරෝධී ව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එම වරද සම්බන්ධයෙන් වරදකරුවකු කරනු ලැබූ පුද්ගලයකු ව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්තිවලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරණ ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝගවලට අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩම් හෙක්ටයාර 2 ක් ඉක්මවා භූමි ප්‍රදේශ එළිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හෝ හෙක්ටයාර එකක් ඉක්මවන වනාන්තර භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය.

    මෙම නීතිමය තත්ත්වයන් උල්ලංඝනය කර නීති විරෝධී ව අලි – ඇතුන් ගේ වාසස්ථාන වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි වනාන්තර අක්කර දහසක් පමණ එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලි බහුල ව ගම් වැදීම හේතුවෙන් වලව වම් ඉවුර මහවැලි ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ගොවි ජනතාව පදිංචි කළ මයුරපුර කොට්ඨාශයේ ගොවි පවුල් 5365 ක් පමණ සහ ගොන්නෝරුව, මීගහජදුර, තනමල්විල හා ගල්වැව යන ප්‍රදේශවල දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් අලි – ඇතුන් ඝාතනය කිරීම මෙන් ම අලින් ගේ පහරදීම් හේතුවෙන් මිනිසුන් මිය යාම පමණක් නොව පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ ජනතාව ද වර්ධනය වී ඇත. මේ නිසා වගාබිම් අත්හැර දැමීමට ද සමහර ගොවීන් යොමු ව තිබේ. මෙය සමාජ හා ආර්ථික ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් පවතී.

    මේ අතරතුර සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවේගම හා උස්ගල ප්‍රදේශයේ අක්කර 500 ක් හා අක්කර 600 ක් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා උස්බිම් ගොවි ජනපදය සඳහා වෙන් කළ ඉඩම් මහවැලි අධිකාරියෙන් අලුතින් සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා ලබා දීමට මේ වන විට සූදානම් වන අතර එම ක්‍රියාවලිය නතර කිරීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ය.

    සුනිත්‍ය බලශක්ති අපේක්ෂාවන් විනාශ කිරීම

    සූර්ය බලශක්තිය නැතහොත් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් ව්‍යාප්ත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දේශගුණික විපර්යාස ඇති වීමට හේතු වන කාබන් ඩයොක්සයිට් වායුව අධික ව විමෝචනය වීම  පාලනය කිරීම ය. නමුත් හම්බන්තොට සූර්ය බලාගාර මගින් සිදු වන්නේ කාබන් ඩයොක්සයිට් වායුව අධික ව වැඩි වීම පාලනය කරන මෙම වායුව උරාගන්නා ප්‍රධාන ප්‍රභවය වන වනාන්තර විනාශ කිරීම හා වනාන්තර ගිනි තැබීමෙන් කාබන් ඩයොක්සයිට් වායුව විමෝචනය වැඩි කිරීම ය. එපමණක් නොව ශුෂ්ක කලාපයට අයත් ප්‍රදේශවල වනාන්තර විනාශ කර මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් වැසි චක්‍රය බිඳ වැටීම මත දේශගුණික විපර්යාස වර්ධනය වී කෘෂි කර්මාන්තය හා ජන දිවිය බිඳ වැටීම ද සිදු වේ. එපමණක් නොව අලි – මිනිස් ගැටුම ද වර්ධනය කරයි.

    මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන සූර්ය විදුලි බලාගාරවලින් රටට හා සමාජයට ප්‍රයෝජනයක් තිබේ ද යන්න ගැටළුවකි. මේ නිසා අප අවධාරණය කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල මැදිහත් වීම මත මෙම නීති විරෝධී ව්‍යාපෘති වහා ම ක්‍රියාත්මක වන පරිදි නතර කර නිවැරදි ශක්‍යතා ඇඟයීම් මත සුදුසු ස්ථාන තෝරා ගෙන ක්‍රමවත් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියක් මත පදනම් ව අනුමැතිය ලබා ගෙන මෙම ව්‍යාපෘතිය නිවැරදි ස්ථානයක ස්ථාපිත කරන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ය.

    මීට අමතර ව සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛත්වය ලබා දිය යුතු වන්නේ සෝලා උද්‍යාන ඉදි කිරීම වෙනුවට ගොඩනැගිලි මත, නිවාසවල වහලවල් මත ස්ථාපිත කරන සූර්ය පැනල මගින් විදුලි උත්පාදනය වර්ධනය කිරීමට හා එම විදුලිය ගබඩා කිරීමේ බැටරි පද්ධති ස්ථාපිත කර රටේ බලශක්ති ස්වෛරීභාවය තහවුරු කිරීමට ය. සමාගම් සඳහා සූර්ය බලාගාර ඉදි කිරීමට ඉඩම් ලබා දීමේ දී ඵලදායීතාව අවම ඉඩම් ලෙස පවතින අත්හැර දමා ඇති ගල්වලවල්, පස් කැනීම් කළ ස්ථාන වැනි ඵලදායීතාව අවම භූමි ලබා දීමට පියවර ගත යුතු ය. වනාන්තර, තෙත් බිම් හා වගා බිම් සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා ලබා දීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතු වේ.

  • සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි.

    සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි.

    සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30 කට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අවසර ලබා දීම සිදු කර ඇති බැවින් ඒ සියල්ල අත්හිටුවීමට කටයුතු කළ යුතු බව ය. කමිටු සභාපති වශයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව එම ව්‍යාපෘති සියල්ල අත්හිටුවීම සිදු කෙරින. 2025 වසරේ දී අත්හිටවූ මෙම ව්‍යාපෘති මේ වන විට ආරම්භ කර ඇත්තේ අලි – ඇතුන් ජීවත් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අලින් ගේ නිජබිම් වන වනාන්තර පද්ධති මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමිනි.

    අද වන විට සමාගම් කිහිපයක් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශවල වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර අක්කර 1000 ක් පමණ ඩෝසර් යන්ත්‍ර මගින් එළි කිරීම හා ගිනි තැබීම සිදු කරමින්, එල්ලෙන විදුලි වැටවල් මගින් වනාන්තර ආවරණය කරමින් දැවැන්ත වන විනාශයක් සිදු කර තිබේ. එම හානි කර ක්‍රියා සිදු කිරීම දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd), ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd), එවර්නිව් එනර්ජි පුද්ගලික සමාගම (Everrenew Energy Pvt Ltd) හා ඒෂියන් සෝලා පුද්ගලික සමාගම (Asian Solar Pvt Ltd) යන සමාගම් මඟින් සිදු කරයි.

    අල්ලස් ලබා දුන් සෝලා සමාගම්

    හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අත්හිටුවන ලද මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සිදු කර ඇත්තේ රුපියල් මිලියන 14 ක මුදලක් සමාගම් පහක් එක් ව අල්ලස් ලෙස වක්‍ර මාර්ගික ව ලබා දීමෙනි. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ නාගරවැව සිට මයුරපුර දක්වා සහ උස්ගල දක්වා කිලෝමීටර 12 ක එල්ලෙන විදුලි වැටක් ඉදි කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුනිල් රත්නායක සහ හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්‍රි නලන් කුමාර යන අය ගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ගොවි සංවිධානයට මෙම විදුලි වැට ඉදි කිරීමට රුපියල් මිලියන 11 ක පමණ මුදලක් ලබා දී තිබේ. අනෙක් රුපියල් මිලියන 3 ක මුදල අදාළ සමාගම් විසින් ලබා දී ඇති ආකාරය නිවැරදි ව සඳහන් වී නොමැත. මේ ආකාරයට රුපියල් මිලියන 14 ක මුදලක් ලබා දී ඇත්තේ ඔරියන් සෝලා, නිධන්යා ඉන්ටර්නැෂනල්, ටනිෂ් ඉන්ටනැෂනල්, ටානු ඉන්ටර්නැෂනල් හා දුදූ ඉන්ටර්නැෂනල් යන සමාගම් පහ විසිනි.

    මෙම සමාගම්වල මුදල් ලබා දීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිහාල් ගලප්පත්ති, රුවන් සෙනරත් හා අතුල වෙළෙදගොඩ යන අය ගේ මඟපෙන්වීම යටතේ සිදු වී ඇති අතර හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් දයාවංශ මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සිදු කර ඇත. මීට අමතර ව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා විසින් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීම සිදු කර ඇත. මේ ආකාරයෙන් විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමෙන් පසු ව අදාළ සමාගම් විසින් අලි – ඇතුන් ගේ නිජබිම් වන වනාන්තර විනාශ කරමින් සෝලා බලාගාර ඉදි කිරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබේ.

    මේ ආකාරයෙන් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ප්‍රථම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී ගන්නා ලද තීරණ මත කිසිදු ආකාරයකින් ව්‍යාපෘති නැවත සමාලෝචනයකට ලක් කර නොමැත. ඉන් පැහැදිලි වන්නේ අත්හිටවූ ව්‍යාපෘති නැවත ආරම්භ කර ඇත්තේ එල්ලෙන විදුලි වැට ඉදි කිරීමට මුදල් ලබා දීමේ පදනම මත බව  ය. එය වක්‍ර මාර්ගික අල්ලස් ලබා දීමකි. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී විරුද්ධ වූ කමිටු සභාපතිවරයා ද සමාගම්වල අල්ලසට යට වී මෙම සමාගම් විසින් සිදු කරන මහා විනාශයට ආදාර හා අනුබල ලබා දෙමින් සිටී.

    සෝලා සමාගම් හා රාජ්‍ය ආයතන එක් ව පරිසර නීති හෑල්ලුවට ලක් කිරීම

    මෙම ව්‍යාපෘති ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය මත පදනම් ව අනුමැතිය ලබා ගෙන සිදු කළ යුතු ය. එම වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් හෝ මෙගාවොට් 50 කට වඩා වැඩි විදුලි බලාගාර ව්‍යාපෘති ඉදි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියකට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නීති විරෝධී ව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    නිවැරදි පරිසර බලපෑම් ඇඟයීම් ක්‍රියාවලියකට පිවිසීම මඟ හැරීම සඳහා මෙම එක් එක් සමාගම් මෙගා වොට් 10 බැගින් වන සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීමට සූදානම් වන අතර සමාගම් 5 ක් ලෙස මෙගාවොට් 10 බැගින් වන ව්‍යාපෘති 5 ක් ඉදි කිරීමට අනුමැතිය හා දීර්ඝකාලීන බදු පදනම මත මහවැලි අධිකාරියෙන් ඉඩම් බදු වශයෙන් ලබා ගැනීම සිදු කර ඇත. එමගින් සිදු කර ඇත්තේ ව්‍යාපෘතියෙන් ඇති වන අහිතකර බලපෑම් කුඩා මට්ටමක පවතින බවට පෙන්වා දී පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියෙන් හා මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් නිදහස් වීම ය.

    පාරිසරික නීති මඟ හැරීම සඳහා මෙම සමාගම් හා මධ්‍යම පරිසර අධිකාරිය එක් ව සිදු කර ඇත්තේ මෙගාවොට් 50 ට වඩා අඩු ව්‍යාපෘති එක ම මව් සමාගමකට අයත් සමාගම් කිහිපයක් යටතේ අඩු ධාරිතාවයකින් යුක්ත බලශක්ති ව්‍යාපෘති ලෙස අනුමැතිය ලබා ගෙන ක්‍රියාත්මක කිරීම සිදු කළ ද නීතියෙන් සැඟවී යාමට නොහැකි වන්නේ මෙම ව්‍යාපෘති සඳහා හෙක්ටයාරයකට වඩා වැඩි වනාන්තර එළි කිරීමට සිදු වන නිසා ය. අක්කර 50 කට වඩා වැඩි වනාන්තර ඉඩම් එළි කිරීම, අලි – ඇතුන් ජීවත් වන වනාන්තර පද්ධති එළි කිරීම හා වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි එකිනෙකට ඈදුණු වනාන්තර පද්ධතියක් ලෙස පිහිටන වනාන්තර එළි කර සූර්ය බලාගාර ඉදි කරන බැවින් සිදු විය හැකි අහිතකර බලපෑම් විශාල මට්ටමක පවතින බැවින් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව මහජන අදහස් මත පදනම් ව අනුමැතිය ලබා දීම සිදු විය යුතු ය. එසේ නොමැති ව මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තා මත පදනම් ව මහජන අදහස් ලබා ගැනීමකින් තොර ව අනුමැතිය ලබා දිය නොහැකි ය. එසේ කළ හැකි වන්නේ අල්ලසට මධ්‍යම පරිසර අධිකාරිය යටත් වීමෙන් පමණි. එසේ හෙයින් සමාගම් හා මධ්‍යම පරිසර අධිකාරිය එක් ව සිදු කරන මෙම වංචාවන් සම්බන්ධයෙන් පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

    මේ ජාවාරම් සියල්ල සමාගම් විසින් සිදු කර ඇත්තේ සුනිත්‍ය බලශකිත් අධිකාරිය, මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යන සියලු ආයතනවල දැනුවත් භාවය මත ය. නමුත් වක්‍ර මාර්ගික අල්ලස් ලබා දීම තුළින් මේ සියල්ල යටපත් කර තිබේ. දැනුවත් ව හෝ නොදැනුවත් ව පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති ද මේ සියල්ලේ ම ගොදුරක් බවට පත් ව ඇත.

    දණ්ඩ නීති සංග්‍රහයේ පස්වන පරිච්ඡේදයේ 100 වන වගන්තියට අනුව මෙලෙස අල්ලස් ලබා ගත් කිසිදු නිලධාරියකුට සැඟවී සිටිය නොහැක. නීත්‍යානුකූල නොකර හැරීමක් සඳහා ඕනෑකමින් ම උපකාර කරන්නේ නම් එය නීති විරෝධී ක්‍රියාවකට අනුබල දීමක් වේ. දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියේ සිට 161 වන වගන්ති දක්වා විස්තර කරන ආකාරයට එල්ලෙන විදුලි වැට ඉදි කිරීම සඳහා සෝලා සමාගම් පහෙන් මුදල් ලබා ගැනීම වක්‍ර මාර්ගික ව ලබා දුන් තුටු පඩුරක් ලෙස සැලැකිය හැකි ය. එම තුටු පඩුර ලබා ගෙන දිස්ත්‍රික් ලේකම් ඇතුළු ව මෙම රාජ්‍ය ආයතන විසින් සෝලා සමාගම් සිදු කරන දැවැන්ත විනාශයන් යටපත් කර තිබේ. අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර එළිකර සිදු කරන අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම, ඒ තුළින් ජනතාව අවතැන් කර ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම, ජාතික පාරිසරික පනත උල්ලංඝනය කර පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියෙන් නිදහස් වීම, ජනතා විරෝධය ඇති වීම වැළැක්වීම සඳහා ජනතාවට සෝලා ව්‍යාපෘති පිළිබඳ ව නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති අවස්ථාව අවහිර කිරීම යන සියල්ල මෙම සමාගම්වල අල්ලසට යට වී සිදු කළ දෑ වෙති. ඉන් නොනැවතී ජනතා ගේ බදු මුදල් වලින් රුපියල් කෝටි 1.5 කට වැඩි මුදලක් සෝලා බලාගාර පිහිටි ප්‍රදේශවලින් අලි – ඇතුන් පළවා හැරීමට වියදම් කිරීම ද සිදු කර ඇත. මේ සියල්ල ම පිළිබඳ ව විධිමත් පරීක්ෂණයක් සිදු කර වරදකරුවන් වන සියලු පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දිය යුතු ය. වර්තමාන ආණ්ඩුව බලයට පත් වූවේ මෙවන් වංචා හා දූෂණ වැළැක්වීමට ජනතාවට පොරොන්දු දීම හා විශ්වාසය ඇති කිරීම මත ය. එය ඒ අනුව තහවුරු කළ යුතු ව ඇත.

    අලි – ඇතුන් ගේ රක්ෂිත ඉඩම් සෝලා සමාගම් වෙනුවෙන් මහවැලි අධිකාරියෙන් කොල්ල කෑම

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ගේ පාලන සමය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා ලුණුගම්වෙහෙර, උඩවලව හා බුන්දල ජාතික වනෝද්‍යාන ත්‍රිත්වය ඒකාබද්ධ කිරීමට හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සැලැසුම් කිරීම 2010 වසරේ දී ගජමිතුරෝ වැඩසටහනට සමගාමී ව සිදු විය. එමඟින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින බව අධ්‍යයන මගින් අනාවරණය විය. ඒ අනුව 2011 වසරේ දී මේ සැලැසුම අනුමත කළ නමුත් මහවැලි අධිකාරියේ හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ගේ බලපෑම මත මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම නතර කර තිබුණි. මේ නිසා ගොවි ජනතාව ගේ දැඩි බලපෑම මත 2021 වසරේ පෙබරවාරි මස 22 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර 23,747 ක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණි.

    එහි දී මහවැලි අධිකාරියේ බලපෑම මත යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් හෙක්ටයාර 2300 ක් නැතහොත් අක්කර 5750 ක් පමණ ඉවත් කර මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම සිදු විය. ඒ අනුව සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ 2021 අප්‍රේල් මස 9 වන දින අංක 2222/62 දරන ගැසට් නිවේදනය මගින් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර හා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති හෙක්ටයාර 23746.55 ක් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කෙරින. එහි දී රක්ෂිතයෙන් ඉවත් කළ අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර සියල්ල ම සූර්ය බලාගාර ඉදි කිරීමට හා ගල්වලවල් පවත්වාගෙන යාමට මේ වන විට මහවැලි අධිකාරියෙන් බදු දී තිබේ. මෙම වනාන්තර විනාශය හේතුවෙන් වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ කිසිදු ප්‍රතිලාභයක් ගොවි ජනතාවට ලබා ගත නොහැකි වී ඇත. සිදු වී ඇත්තේ ගොවි ජනතාව අලි – මිනිස් ගැටුමේ දැවැන්ත ගොදුරක් බවට පත් වීම පමණි.

    මේ තත්ත්වය නිවැරදි ව අවබෝධ කර ගෙන වර්තමාන රජය කළ යුතු ව තිබුණේ මෙම වන විනාශය නතර කර අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කර අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හා මිහිකත පරිසර ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට විද්‍යාත්මක විසඳුම් ලබා දීම ය. නමුත් ඒ වෙනුවට සිදු වන්නේ සූර්ය බලාගාර සඳහා වනාන්තර ඉඩම් විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව ද අඛණ්ඩ ව අවස්ථාව ලබා දීම ය. ඒ තුළින් ගොවි ජනතාව හා වගා බිම් සියල්ල අලි – ඇතුන් ගේ ගොදුරක් බවට පත් කර ගොවි ජනතාව අවතැන් කිරීම සිදු කර ඇත.

    සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංක්‍රාන්ති යුක්ති මූලධර්මය උල්ලංඝනය කර සමාගම් වෙනුවෙන් සකස් කළ විනාශකාරී සැලැසුම

    2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 12(1) වගන්තියට අනුව සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපිත කිරීම සඳහා වන ප්‍රදේශ ගැසට් නිවේදන මගින් වෙන් කිරීම සිදු කර ඇත. ඒ අනුව ප්‍රකාශිත 2008 පෙබරවාරි මස 26 දින අංක 1538/22 දරන ගැසට් නිවේදනය, 2009 දෙසැම්බර් මස 15 වන දින අංක 1632/10 දරන ගැසට් නිවේදනය හා 2014 අප්‍රේල් මස 17 වන දින අංක 1858/2 දරන ගැසට් නිවේදන මගින් සූර්ය බලාගාර සඳහා භූමි ප්‍රදේශ වෙන් කර තිබේ. එහි දී ස්වාභාවික සම්පත්වලට හා ප්‍රජාවට බලපෑම් ඇති නොවන ආකාරයෙන් යෝග්‍ය ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා පරිසර නීති මූලධර්ම හෝ ජාත්‍යන්තර සම්මුතීන් කිසිවක් පිළිබඳ ව අවධානයට ලක් කර නොමැත.

    විශේෂයෙන් ම සුනිත්‍ය බලශක්තිය හා බැඳුණු සංක්‍රාන්ති යුක්ති මූලධර්මය උල්ලංඝනය කරමින් මෙම ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කර තිබේ. සුනිත්‍ය බලශක්තිය හා බැඳුණු සාධාරණ සංක්‍රාන්තිය යනු සුනිත්‍ය බලශක්තිය සඳහා පරිවර්තනය වීමේ දී ආර්ථික වශයෙන් බලපෑමට ලක් වන, අවතැන් වන හා අයිතිවාසිකම් අහිමි වීමට ලක් වන ප්‍රජාවන් කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් සාධාරණත්වය හා යුක්තිසහගත බව සහතික කිරීම මෙන් ම අසමානතා හා සෘණාත්මක බලපෑම් ඇති වීම වැළැක්වීමයි. එපමණක් නොව ඒ සඳහා තීරණ ගැනීමේ යාන්ත්‍රණයේ කේන්ද්‍රයේ බලපෑමට ලක් වන සියලූ ම පාර්ශවයන් නියොජනය කර වීම යි.

    මෙය පැරිස් ගිවිසුමේ සඳහන් සංකල්පයකි. 2015 දෙසැම්බර් 12 දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන් ගේ 21 වන සමුළුවේ දී සාමාජික රටවල් 196 ක් විසින් සම්මත කරන ලද දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම 2016 සැප්තැම්බර් 21 වන දින අපරානුමත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව එහි විශේෂයෙන් සඳහන් මෙම සාධාරණ සංක්‍රාන්තිය නම් සංකල්පයීය මූලධර්මය පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. නමුත් ඒ පිළිබඳ ව කිසිදු ආකාරයක අවධානයට ලක් කිරීමකින් තොර ව සමාගම්වලට අවශ්‍ය පරිදි සුනිත්‍ය බලශක්ති ප්‍රභව ස්ථාපිත කිරීමට නෛතික රාමුව සකස් කිරීම සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් සිදු කර ඇත.

    සෝලා සමාගම් විසින් ව්‍යාපාර හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශක මූලධර්ම උල්ලංඝනය කිරීම

    සූර්ය බලශක්ති සමාගම් විසින් අලි – ඇතුන් ගේ වාසස්ථාන වන වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් වලව වම් ඉවුර යටතේ සංවර්ධනය කළ මයුරපුර කොට්ඨාශය මෙන් ම ගොන්නෝරුව හා මීගහජදුර යන ප්‍රදේශ දරුණු අලි – මිනිස් ගැටුමකට ගොදුරු කර ඇත. මයුරපුර කොට්ඨාශයේ ගොවි පවුල් 5365 ක් පමණ පදිංචි වී ගොවිතැනේ නිරත වේ. මෙම සියලූ ම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට කෘෂිකර්මාන්තයේ නිරත වීමට හා ජනාවාසවල ජීවත් වීමට ඇති අවස්ථාව සූර්ය බලශක්ති සමාගම් විසින් අලි – මිනිස් ගැටුම වර්ධනය කිරීම නිසා අහිමි කර තිබේ.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට අදාළ 14 වන ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල වෘත්තියක නිරත වීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සූර්ය බලශක්ති සමාගම් විසින් ජනතාවට අහිමි කර ඇත. ඒ සඳහා මෙම සමාගම් යොමු කිරීම මහවැලි අධිකාරිය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක් ව සිදු කර තිබේ. මෙය ව්‍යාපාර හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශක මූලධර්ම උල්ලංඝනය කිරීමකි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ව්‍යාපාර හා මානව හිමිකම් සඳහා මාර්ගෝපදේශක මූලධර්ම 2011 ජුනි 16 වන දින ඒකමතික ව අනුමත කර තිබේ. මූලධර්ම 31 කින් සමන්විත මෙම මාර්ගෝපදේශ මගින් මානව හිමිකම් සහ මූලික නිදහසට ගරු කිරීම, ආරක්ෂා කිරීම සහ ඉටු කිරීම සඳහා රාජ්‍යය සතුව පවතින බැදීම්, අදාළ වන සියලු නීතිවලට අනුකූල වීම සහ මානව හිමිකම්වලට ගරු කිරීමේ සමාගම්වල කාර්යය භාරය මෙන් ම ව්‍යාපාර ආශ්‍රිත අපයෝජනයන්ට ගොදුරු වූවන්ට පිළියම් ලබා ගැනීමේ ප්‍රවේෂය පිළිබඳ ව අවධානය යොමු කර ඇත.

    මේ අනුව රජය විසින් ව්‍යාපාරික ප්‍රජාව රටේ ජනතාව ගේ මානව හිමිකම් ආරක්ෂා කරන බවට වගබලා ගැනීම හා එසේ කඩ වන අවස්ථාවල දී ඊට නීතිමය පියවර ගත යුතු බව අවධාරණය කර තිබේ. රජය ව්‍යාපාරික ප්‍රජාව සමඟ ගිවිසුම්වලට එළැඹීමේ දී මානව හිමිකම් ආරක්ෂා වන බවට වගබලා ගත යුතු අතර ඒවා පිළිපදින බවට සහතික විය යුතු ය. එපමණක් නොව ව්‍යාපාරික ප්‍රජාව මානව හිමිකම්වලට ගරු කළ යුතු අතර ඒවා උල්ලංඝනය නොවීමට කටයුතු කළ යුතු බව මාර්ගෝපදේශවල සඳහන් වේ. නමුත් මේ සියල්ල සෝලා සමාගම් සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා මහවැලි අධිකාරිය එක් ව ජනතාවට අහිමි කර ඇත.

    නියගය හා කාන්තාරීකරණය පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය උල්ලංඝනය කර සෝලා සමාගම් ශුෂ්ක කලාපය වැනසීම

    හම්බන්තොට යනු සූර්ය බලාගාර සඳහා සුදුසු කලාපයක් ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුනා ගැනුන ද මෙරට ශුෂ්ක කලාපයට අයත්, වර්ෂාපතනය අවම මෙම ප්‍රදේශය සංවර්ධනය සඳහා භාවිත කිරීමේ දී එහි වනාන්තර පරිසර පද්ධතිවල සුරක්ෂිතතාවය පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු ය. එසේ නොවුනහොත් වර්ෂාපතනය නොලැබීම හා අඩු වර්ෂාපතනයකින් ලැබෙන ජලය භූගත කිරීමේ යාන්ත්‍රනය බිඳ වැටී උග්‍ර ජල අර්බුධ ඇති විය හැකි ය.

    ඒ සඳහා නියගය හා කාන්තාරීකරණය පිටුදැකීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය වැදගත් වේ. රියෝ සමුළුවේ සෘජු නිර්දේශ මත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සකස් කළ මෙම සම්මුතිය 1996 දෙසැම්බර් 26 වන දින සිට බලාත්මක විය. මෙම සම්මුතිය 1998 දෙසැම්බර් 09 වන දින අපරානුමත කළ රටක් ලෙස ඊට එකඟ ව කටයුතු කිරීමට අප බැදී සිටී. ඒ පිළිබඳ ව අවධානය යොමු නොකළ හොත් සිදු වන්නේ සම්මුතිය උල්ලංඝනය කිරීම පමණක් නොව හම්බන්තොට ජනතාව උග්‍ර ජල අර්බුධයකට හා දරිද්‍රතාවයකට මුහුණ දීම ය.

    මෙය පරිසරය සහ සංවර්ධනය තිරසාර ඉඩම් කළමනාකරණයට සම්බන්ධ කරන එක ම නීත්‍යානුකූල ජාත්‍යන්තර ගිවිසුමයි. මෙම සම්මුතිය විශේෂයෙන් ශුෂ්ක, අර්ධ ශුෂ්ක සහ වියළි කලාපය පිළිබඳ ව අවධානය යොමු කර තිබේ. එහි දී වඩාත් අවදානමට ලක් විය හැකි පරිසර පද්ධති සහ මිනිසුන් පිළිබඳ අවධානය යොමු කර ඇත. කාන්තාරකරණය හා භූමිය හායනය ආපසු හැරවීමට, වැළැක්වීමට සහ නියඟයේ බලපෑම් අවම කිරීම සඳහා ගෝලීය හවුල්කාරිත්වයක් ඇති කිරීම මෙන් ම බලපෑමට ලක් වූ ප්‍රදේශවල දරිද්‍රතාවය අවම කිරීම සහ පාරිසරික තිරසාරත්වය සඳහා සහාය වීම සඳහා මෙම සම්මුතිය ගොඩනංවා ඇත.

    නමුත් හම්බන්තොට ශුෂ්ක කලාපය කාන්තාරීකරණයට ගොදුරු වන ප්‍රදේශයක් බවට පත් කිරීමට සෝලා සමාගම්වලට අවස්ථාව ලබා දීමෙන් පෙනී යන්නේ මෙම ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ ව අවබෝධයකින් තොර ව මෙරට රාජ්‍ය ආයතන කටයුතු කරන බව ය.

    නිවාරණ හා තිරසර සංවර්ධන මූලධර්ම උල්ලංඝනය කර ගොවි ජනතාව අලි – මිනිස් ගැටුමට ගොදුරු කිරීම

    පරිසරයේ අඛණ්ඩ තුළිත පැවැත්මට බලපෑම් ඇති විය හැකි ඕනෑ ම සංවර්ධන ක්‍රියාවලියකින් සිදු වන අහිතකර බලපෑම් පුරෝකථනය කර ඒ සඳහා විකල්ප හෝ හානි අවම ක්‍රමවේද හෝ හානිපූරණ ක්‍රමවේද සකස් කිරීමට නිවාරණ මූලධර්මය වැදගත් වේ. මෙම මූලධර්මය රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස  අර්ථ නිරූපණය කර ඇත්තේ, ඉතා හානි කර හෝ හානිපූරණය නොවන බලපෑම් ඇති වන අවස්ථාවක දී පරිසර හානිය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීම, ප්‍රාග්ධනය නොමැති වීම හෝ පූර්ණ විද්‍යාත්මක විනිශ්චයන් නොමැති වීම හා තොරතුරුවල අඩුපාඩු යන කරුණු මත සිදු නොවිය යුතු ය, යනුවෙනි. මෙම මූලධර්මය පුළුල් පරාසයක අර්ථකතනයකට ලක් කර ඇත්තේ 1998 වසරේ දී නිවාරණ මූලධර්මය හා සම්බන්ධ වින්ග්ස්ප්‍රේඩ් සමුළුවේ දී ය.

    එම අර්ථකතනයට අනුව යම් ක්‍රියාකාරකමක් මිනිස් සෞඛ්‍යයට හෝ පරිසරයට හානි කිරීමේ තර්ජන මතු කරන විට, යම් හේතුවක් හා ඵලදායී සම්බන්ධතා විද්‍යාත්මක ව සම්පූර්ණයෙන් ස්ථාපිත කර නොතිබුණ ද පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙම සංදර්භය තුළ යම් ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නා මහජනයාට වඩා ඔප්පු කිරීමේ භාරය දැරිය යුතු ය. නිවාරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය විවෘත, දැනුම්වත් සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු අතර බලපෑමට ලක් විය හැකි පාර්ශවයන් ද ඇතුළත් විය යුතු ය. යම් ක්‍රියාමාර්ගයක් සඳහා පූර්ණ පරාසයක විකල්ප පරීක්ෂා කිරීම ද ඊට ඇතුළත් විය යුතු ය. මෙම මූලධර්මය මත පදනම් ව ශ්‍රී ලංකාවේ පාරිසරික නීති පද්ධතියට පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලිය ගොඩනගා ඇත.

    එම ක්‍රියාවලිය සෝලා සමාගම් උල්ලංඝනය කිරීමෙන් සහ ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා මහවැලි අධිකාරිය යන රාජ්‍ය ආයතන සහය ලබා දීමෙන් පෙනී යන්නේ ජාත්‍යන්තර පාරිසරික නීති මූලධර්ම අභියෝගයට ලක් කිරීම පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ද රාජ්‍ය ආයතන විසින් ම බිඳ දැමීම සිදු කර ජනතාව පීඩාවට පත් කර ඇති බව ය. 

    නිවාරණ මූලධර්මය පමණක් නොව තිරසර සංවර්ධන මූලධර්මය ද සෝලා සමාගම් තිරසර නැතහොත් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපිත කිරීමේ දී අභියෝගයට ලක් කර ඇත. 1987 වසරේ දී බෲඩ්ලන්ඩ් කොම්සම විසින් සකස් කරන ලද “අපේ පොදු අනාගතය”  නම් වාර්තාවේ තිරසර සංවර්ධනය යන්න පළමු ව සාකච්ඡා කර ඇත. සීමිත ස්වාභාවික සම්පත් වර්තමාන හා අනාගත පරපුරේ අවශ්‍යතාවන් වෙනුවෙන් නිවැරදි පරිදි කළමනාකරණය කිරීම සඳහා මෙම මූලධර්මය වැදගත් වේ. රියෝ ප්‍රකාශනයේ 4 වන මූලධර්මය ලෙස මෙය විස්තර කර ඇත්තේ, සංවර්ධනය මුදුන් පමුණුවා ගනු පිණිස, පාරිසරික ආරක්ෂාව සංවර්ධන ක්‍රියාවලියේ අවශ්‍ය අංගයක් බවට පත් විය යුතු අතර එය ඉන් වෙන් කොට සැලකිය නොහැකි බව ය. තිරසර සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා සමාජ, ආර්ථික හා පාරිසරික යන අංශ තුනෙහි ම තිරසර භාවයක් අවශ්‍ය වේ. නමුත් හම්බන්තොට සෝලා බලාගාර ස්ථාපිත කිරීමේ දී අවධානයට ලක් කර ඇත්තේ ආර්ථිකමය කරුණ පමණි. සමාජය හා පරිසරය යන දෙක ම විනාශයට ලක් කර ඇත.

    එබැවින් වනාන්තර විනාශ කර, දේශගුණික විපර්යාස ඇති කර, අලි – මිනිස් ගැටුම වර්ධනය කර, ගොවි ජනතාව අවතැන් කර සිදු කරන සූර්ය බලාගාර ව්‍යාපෘති තිරසර සංවර්ධනය හෝ තිරසර බලශක්ති උත්පාදන ක්‍රියාවලියක් විය නොහැකි බව අවධාරණය කළ යුතු ය.

    මහජන භාර සිද්ධාන්තය උල්ලංඝනය කර සෝලා සමාගම් පෝෂණය කිරීම

    රජය විසින් වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් ස්වාභාවික සම්පත්වල භාරකාරීත්වය දැරීම මහජන භාර සිද්ධාන්තය මගින් විස්තර කෙරේ. මහජන භාර නැතහොත් පොදු භාර සංකල්පයේ මූලාරම්භය රෝමානු නීතියේ පොදු දේපළ සංකල්පය අතරින් හඳුනාගෙන තිබේ. රෝම නීතියට අනුව වාතය, ගංඟා, මුහුද සහ වනාන්තර ආදී ස්වාභාවික වස්තූන් මහජනතාව ගේ පොදු පරිහරණය සඳහා පැවතිය යුතු වස්තූන් ය. ඊට පෞද්ගලික අයිතිවාසිකම් කිව නොහැකි ය. විශේෂයෙන් ම මෙම පොදු දේපළ පොදුවේ පවතින ස්වාභාවික සම්පත් මහජනතාවට නොමිලේ සහ බාධාවකින් තොර ව භාවිත කිරීම සඳහා රජය භාරයේ පැවතිය යුතු බව රෝම නීතියේ සඳහන් වේ. ඉංග්‍රිසි නීතියේ මීට සමාන සංකල්පයක් සඳහන් වේ. 

    පොදු භාවිත භූමියේ අයිතිය ජනතාව සතු වන බව නඩු තීන්දු ගණනාවකින් ද තහවුරු කර ඇත. ඇමරිකාවේ මිචිගන් විලේ කොටසක් ගොඩ කර ඒ හරහා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට එරෙහි ව 1883 වසරේ දී ගොණු කළ නඩුවට අදාළ තීන්දුව 1892 වසරේ දී ලබා දෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ රජය මහජනතාව ගේ සුබසිද්ධිය සඳහා පස හා ජලය වැනි පොදු දේපොළ යම් පුද්ගලයකු ගේ පෞද්ගලික පරිහරණය සහ පාලනය සඳහා ලබා නොදිය යුතු බවත් රජය ජනතාව ගේ සුබසිද්ධිය සඳහා රටේ ස්වාභාවික සම්පත් පවත්වා ගෙන යා යුතු බවත් ය.

    මීට අමතර ව, ස්ලෝවැකියාව හා හංගේරියාව යන රටවල් අතරින් ගලා යන ඩැනියුබ් ගඟේ වේලි ඉදි කිරීම හා ජලය ලබා ගැනීම පිළිබඳ ව 1977 වසරේ දී ඇති වූ ගැටළුවට අදාළ ව ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 1997 වසරේ දී ලබා දෙමින් විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි විසින් මිහිදු මාහිමි හා දේවානම් පියතිස්ස රජු අතර ඇති වු සංවාදයේ කරුණු පදනම් කර ගෙන, “රජය රටේ ස්වාභාවික සම්පත්වල අයිතිකරු නොව භාරකරු පමණි” යන පොදු භාර නැතහොත් මහජන භාර සංකල්පය මත පදනම් ව නඩු තීන්දුව ලබා දී තිබේ. එප්පාවල පොස්පේට් නීධියට අදාළ නඩු තීන්දුවේ ද මහජන භාර සිද්ධාන්තය ඩැනියුබ් ගඟේ නඩු තීන්දුව උපුටා දක්වමින් ඒ. ආර්. බී. අමරසිංහ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, රටේ ස්වාභාවික සම්පත් වල අයිතිය ජනතාව සතු බවත්, රජයට ඇත්තේ ජනතාව වෙනුවෙන් එහි භාරය දැරීම හා එම සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම පමණක් වන බව ය. එහි දී රජු රටේ සම්පත් වල භාරකරුවා මිස හිමිකරු නොවන බවත්, එම සම්පත් භාරකරුට විනාශ කිරීමට හෝ අන්සතු කිරීමට බලයක් නොමැති බවත්, ඒවා ආරක්ෂා කිරීමේ වගකීමේන් බැදී සිටින බවත් නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එසේ නමුත් අලි – ඇතුන් ගේ වාසස්ථාන වන හම්බන්තොට වනාන්තර සියල්ල සෝලා සමාගම්වල භාරයට නතු කර ඇත්තේ ජනතාවට පොදු භාවිත සම්පත්වල අයිතිය අහිමි කර එම අයිතිය සමාගම්වලට ලබා දෙමිනි. මෙය ප්‍රගතිශීලී ආණ්ඩුවක් ලෙස බලයට පත් වූ ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරිසරය සුරැකීමේ රජයේ වගකීම සෝලා සමාගම් වෙනුවෙන් පාවා දීම ආපසු හැරවිය යුතු ය

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය.” ඒ අනුව සියලූ ම රාජ්‍ය ආයතන විසින් පරිසරය ආරක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට, නීති හා අණ පනත් ක්‍රියාත්මක කිරීම මෙන් ම අලුත් නීති හා අණ පනත් සකස් කිරීම ද සිදු කළ යුතු ය. පරිසරයේ පැවැත්මට බලපෑම් නොවන ආකාරයේ තීන්දු තීරණ ගැනීම මෙන් ම ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාවේ යෙදවීමට ද සියලූ ම රාජ්‍ය ආයතන බැඳී සිටී. මෙය තව දුරටත් තහවුරු කර ඇත්තේ යාපනයේ, චුන්නාකම් තාප විදුලි බලාගාරයෙන් සිදු වන මහජන පීඩාකාරී තත්ත්වයට අදාළ නඩුවේ තීන්දුව 2019 වසරේ දී ලබා දීමේ දී ය.

    එහි දැක්වෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ දැක්වෙන 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම, නීතියේ රැකවරණය හා නීතිය පසිදලීම සර්ව සාධාරණ විය යුතු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය යන්න අර්ථ නිරූපනය කරන විට පරිසරය දූෂණය කිරීමට හෝ පිරිහී යාමට හේතු වන හෝ අවසර දෙන නීති විරෝධී, අන්තනෝමතික ක්‍රියාවන්ගෙන් හෝ අතපසුවීම් වලින් නිදහස් වීමට පුරවැසියන්ට මූලික අයිතියක් ඇත.

    ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් හම්බන්තොට සෝලා බලාගාර සඳහා ලබා දී ඇති හානිකර හා නීති විරෝධී අනුමැතීන් නැවත සමාලෝචනය කිරීමට හැකියාව ඇත. ඒ අනුව අලි – ඇතුන් ගේ වාසස්ථාන විනාශ කර අලි – මිනිස් ගැටුම් වර්ධනය කරන සියලූ ම සෝලා බලාගාර ව්‍යාපෘති අත්හිටුවා එම වනාන්තර පද්ධති වන අලි කළමනාකරණ රක්ෂිතය හා සම්බන්ධ කළ යුතු ය. එමගින් අලි – මිනිස් ගැටුම පමණක් නොව වන සතුන් වගා බිම්වලට පිවිසීම පාලනය කර ගැනීම මෙන් ම කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය ජල මූලාශ්‍රවල ජල පෝෂකවල සුරක්ෂිතතාව ද ඇති කර ගත හැකි ය. එපමණක් නොව වනාන්තර පද්ධතිවල සුරක්ෂිතතාව ඇති කිරීමෙන් දේශගුණික විපර්යාස ඇති වීම පාලනය කර ගත හැකි ය. එමගින් ජනතාව ගේ කෘෂිකර්මාන්තය හා ආහාර ස්වෛරීභාවය තහවුරු කළ යුතු වේ. එපමණක් නොව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 12(1) වගන්තියට අනුව ප්‍රකාශිත ගැසට් නිවේදන නැවත විමසුමට ලක් කළ යුතු ය. පාරිසරික මූලධර්ම මත පදනම් ව සුනිත්‍ය බලශක්ති ප්‍රභව ස්ථාපිත කිරීමට සුදුසු ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන පනතේ 12(1) වගන්තියට අනුව ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කළ යුතු ය. එමගින් ජන දිවිය, පරිසරය හා බලශක්ති ස්වෛරීභාවය යන සියල්ල ආරක්ෂා කිරීමට කටයුතු කළ හැකි බව වත්මන් ආණ්ඩුවට අවධාරණය කරමු.

  • බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි .

    බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි .

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම වන මංකඩ සිංහරාජ වන රක්ෂිතයේ ඉළුබකන්ඳ ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වළංකන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩයි. එපමණක් නොව සිංහරාජ වනාන්තර පද්ධතිය එකිනෙක සම්බන්ධ කරන එක ම ප්‍රදේශය වන්නේ ද බෝටියතැන්න වන මංකඩයි. මේ වන විට මෙම වන මංකඩේ අක්කර 10 ක පමණ තෘණ භූමියක් බැකෝ යන්ත්‍ර භාවිත කරමින් එළිපෙහෙළි කිරීම හා ගිනි තැබීම සිදු කරනු ලැබේ.

    සරත් මාකාවිට විසින් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බෝටියතැන්න ප්‍රදේශයේ සන්නන්දොළ මායිමේ මහ පරිමාණ යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් දැවැන්ත විනාශයකට එම ප්‍රදේශය ලක් කරමින් සිටින අතරතුර මෙම ඉඩම ද අත්පත් කර ගෙන සම්පූර්ණ වන මංකඩ ම විනාශ කිරීම සිදු කරමින් සිටී.

    බෝටියතැන්න වන මංකඩ පළමු ව විනාශ කළ ගයාන් සංජීව ගුරුගේ

    සිංහරාජ අඩවියේ වනාන්තර පද්ධති දෙක එකිනෙක හා සම්බන්ධ කරන නිම්නයක් ලෙස පිහිටන මෙම වන මංකඩ පළමු ව විනාශ කිරීම ආරම්භ කළේ කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසකි. ඔවුන් විසින් බෝටියතැන්න වන මංකඩේ නිවාස ඉදි කරන බව සඳහන් කරමින් වර්තමානය වන විට හෝටල් කිහිපයක් ඉදි කර මෙම වන මංකඩ විනාශ කර ඇත. එම විනාශය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන නිසි පරිදි මැදිහත් නොවීම නිසා අද වන විට මෙම වන මංකඩේ විනාශය වර්ධනීය මට්ටමකට පත් ව තිබේ. අද වන විට මෙම හෝටල්වලට පැමිණෙන සංචාරකයන් ව අනවසරයෙන් සිංහරාජ වන රක්ෂිතයට ඇතුළු කිරීම හා හඳපාන් ඇල්ල ප්‍රදේශයට බලපත්‍ර නොමැති ව නීති විරෝධී ව සංචාරකයන් රැගෙන යාම ද සිදු කරයි. මේ සියල්ලට ම මෙම හෝටල් නීති විරෝධීව ඉදි කරන අවස්ථාවේ දී ඊට එරෙහි ව ක්‍රියාත්මක නොවූ මධ්‍යම පරිසර අධිකාරිය සෘජු ව වගකිව යුතු ය.

    මේ තත්ත්වයන් පමණක් නොව බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීම හේතුවෙන් දරුණු ජල අර්බුධයක් ද නිර්මාණය වී ඇත. නිම්නයක් ලෙස පිහිටන මෙම ප්‍රදේශයේ වනාන්තර හා තෘණ බිම් හෝටල් ඉදි කිරීමට, යාන්ත්‍රික මැණික් පතල් කැණීමට හා තේ වගාව ව්‍යාප්ත කිරීමට විනාශ කිරීම නිසා පසෙන් ජලය වාෂ්පීකරණය වේගවත් වී කඳුවැටිවල සිට පහළට ජලය ගලා ඒම ද වර්ධනය වී ඇත. එසේ ගලා එන ජලය විවෘත ප්‍රදේශවල දී අඛණ්ඩ ව වාෂ්පීකරණයට ලක් වීම කඳුවැටි දරුණු ජල හිඟයකට ලක් වීමට හේතු වී තිබේ. ඒ තත්ත්වය හේතුවෙන් කෙටි නියං සමයක් පැවතින මෙම කාල සීමාව තුළ හඳපාන් ඇල්ල සම්පූර්ණයෙන් ම ජලයෙන් සිදී යාමට ලක් ව ඇත.

    මේ ආකාරයෙන් සිංහරාජ වනාන්තර පද්ධතිය දරුණු ඛණ්ඩනය වීමකට ලක් වීම හානි කර බලපෑම් බොහොමයකට හේතු සාදක වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වයට මුහුණ දී ඇත්තේ සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර පද්ධතිය වීම විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු කරුණකි.

    උප කඳුකර වැසි වනාන්තරවල ජෛව ප්‍රජාව වැනසීම උප කඳුකර වැසි වනාන්තර සිංහරාජ වන රක්ෂිතයේ ඊසාන හා නැගෙනහිර කලාපයේ මීටර 900 ට වඩා ඉහළින් පිහිටි දෙල්ලව – වළංකන්ඳ, හඳපාන් ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගල, කැරුලුගල ප්‍රදේශවල පමණක් ව්‍යාප්ත ව ඇත. එම වනාන්තර සිංහරාජ අඩවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 20% ක පමණ පැතිරී ඇති අතර එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 7212 ක් පමණ වේ.

    2010 වසරේ ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාවට අනුව ඉතිරි වී ඇති උප කඳුකර වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. ඒ අනුව ලංකාවේ උප කඳුකර වැසි වනාන්තර අතුරෙන් 25% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතය තුළ පිහිටා තිබේ.

    මෙම උප කඳුකර වැසි වනාන්තර ප්‍රදේශයේ පමණක් වාර්තා වන මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික උභයජීවීන් විශේෂ අටක් වෙයි. එම විශේෂ සියල්ල ජාතික රතු දත්ත ලේඛණයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වේ. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba), කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපීගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) යන විශේෂයන් ය. මුළු ලොවින් ම සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ අතුරෙන් වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් ව සිටින සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඩ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඩ් මහකැලෑ හූනා (Cyrtodactylus cresenes) යන විශේෂ වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තරවල පමණි.

    මෙම විශේෂවල වාසස්ථාන සම්පූර්ණයෙන් ම දෙකඩ වීම බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීමෙන් සිදු වන අතර සිංහරාජයට ආවේණික මෙම විශේෂ ඉතා ම කෙටි කාලයක් තුළ වඳ වීමට ද එම තත්ත්වය බලපෑ හැකි ය.

    බෝටියතැන්න වන මංකඩ රක්ෂිතයක් කිරීම

    ජීවීන් ගේ වඳවීමට බලපාන අහිතකර ක්‍රියාකාරකම් 4 ක් පිළිබඳ ව ඇමරිකානු විද්‍යාඥයකු වන මහාචාර්ය ජාරෙඩ් ඩයමන්ඩ් (Jared Diamond) විසින් 1989 දී Overview of Recent Extinctions වාර්තාවෙන් පෙන්වා දී ඇත. එනම් වාසස්ථාන විනාශය හා ඛණ්ඩනය, අධි පරිභෝජනය, ආගන්තුක ජීවීන් හඳුන්වා දීම සහ සමාන්තර වඳවීම යන කරුණු ය.

    ඒ අනුව බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීම හේතුවෙන් සිංහරාජයට ආවේණික ජීවී විශේෂ මුළු ලොවින් ම වඳවී යාමට හේතු සාදක ගොඩනැගෙනුයේ වාසස්ථාන ඛණ්ඩනය පදනම් කර ගෙන ය. ඒ අනුව සිංහරාජ වනාන්තර පද්ධතිය දෙකඩ කරන බෝටියතැන්න වන මංකඩ විනාශ කිරීම වැළැක්වීම සඳහා මෙම වන මංකඩ කඩිනමින් ආරක්ෂිත තත්ත්වයට පත් කළ යුතු ය. ඒ සඳහා 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස හෝ 2022 අංක 7 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) උප වගන්තියට අනුව අභය භූමියක් ලෙස හෝ ප්‍රකාශයට පත් කළ යුතු ය. මෙම ප්‍රදේශය වන සංරක්ෂණ ආඥාපනත යටතේ රක්ෂිත තත්ත්වයට පත් කිරීම ප්‍රායෝගික නොවන්නේ මෙම වන මංකඩේ ඉඩම් අයිතිය ඉතා ම සංකීර්ණ තත්ත්වයක පැවතීම ය. මේ නිසා වන රක්ෂිතයක් බවට පත් කිරීමට අවධානය යොමු කිරීම පළ රහිත වෑයමකි. එම නිසා මේ පිළිබඳ ව මධ්‍යම පරිසර අධිකාරියේ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස හෝ අභය භූමියක් ලෙස කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව අප අවධාරනය කරමු.

  • ආයෝජකයන් පිනවීමට අලි එළැවීම වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සුරක්ෂිත කළ යුතු ය.

    ආයෝජකයන් පිනවීමට අලි එළැවීම වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සුරක්ෂිත කළ යුතු ය.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    ජාතික ජන බලවේගය ආණ්ඩුව විද්‍යාවෙන් අවිද්‍යාවට යමින් ආයෝජකයන් ගේ අවශ්‍යතා ඉටු කිරීම ප්‍රධාන අරමුණ කර ගෙන අලි එළැවීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරයි. පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන් ඉදිරිපත් කළ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හා “මිහිකත පරිසර ප්‍රතිපත්තියේ” සඳහන් කර ඇත්තේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ ව නිසි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ය. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මත ජනතාව සමඟ සම්මුති ගත වූ ආණ්ඩුව අලි – මිනිස් ගැටුමට විද්‍යාත්මක ප්‍රවේෂයක් තුළ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී බලයට පත් වුව ද ඉන් පසු ව ආයෝජකයන් ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා අවිද්‍යාත්මක ව අලි – මිනිස් ගැටුම පාලනයට විසඳුම් සොයමින් සිටී. මෙය දරුණු ඛේදවාචකයක් වන්නේ මෙම වැරදි උපායමාර්ගය හේතුවෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමකට අලි – ඇතුන් හා ජනතාව අනාගතයේ දී ගොදුරු වන නිසා ය.
    වත්මන් ආණ්ඩුව බලය ලබා ගත් පසු ව කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර අසාර්ථක වූ අලි එළැවීම අනුරාධපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කරමින් තිබේ. මේ අතුරෙන් හම්බන්තොට අලි පළවා හැරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාගම්පුර වරාය පුළුල් කිරීම, චීන කර්මාන්තපුරය ඉදි කිරීම සඳහා වෙන් කර ඇති අක්කර 8000 ක භූමිය තුළ ඉදිකිරීම් ආරම්භ කිරීම හා වල්සපුගල වනාන්තරය එළි කර සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ය. නමුත් දශක ගණනාවක සිට අලි – ඇතුන් සීමිත භූමි ප්‍රදේශයක ගාල් කිරීම සඳහා පළවා හැරීමට උත්සාහ කළ ද ඒ සියල්ල අසාර්ථක වූයේ දැවැන්ත මහජන බදු මුදල් ප්‍රමාණයක් ද රටට අහිමි කරමිනි. 2006 වසරේ දී වලව වම් ඉවුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි – ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට පලවා හැරීම සිදු කෙරින. නමුත් දින කිහිපයක් තුළ එම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් ම අසාර්ථක වීම පමණක් නොව එහි ප්‍රතිඵලයක් ලෙස දැනට සිදු වන ආකාරයෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ධනය වීම ද සිදු විය.

    එම අලි පලවාහැරීම අසාර්ථක වීමට බලපෑ හේතු ගණනාවකි. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය වටා පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් අලි – ඇතුන් ගේ වාසස්ථාන ජාලගත වී නොතිබීම, මෙම වනෝද්‍යානය හා සම්බන්ධ වැටහිරකන්ද ස්වභාව රක්ෂිතයේ මෙන් ම දහයියාගල අභය භූමිය හා බෝගහපට්ටිය ප්‍රදේශයේ අලි මංකඩවල් අනවසර වගා ව්‍යාපෘති සඳහා භාවිත කිරීම, ජාතික වනෝද්‍යානය තුළට එළ ගවයන් හා මී ගවයන් පනස්දහසකට වැඩි ප්‍රමාණයක් අනවසරයෙන් ඇතුළු කිරීම නිසා අලින් ගේ ආහාර බිම් අහිමි වීම, වනෝද්‍යානයෙන් වැඩි ප්‍රදේශයක ආක්‍රමණික ශාක ලෙස අලි – ඇතුන් ගේ ආහාර බිම් දරුණු ලෙස ආක්‍රමණයට ලක් කරමින් ගඳපාන හා ගිනිතණ ශාක ව්‍යාප්තව පැවතීම, වනෝද්‍යානය තුළ විශාල ප්‍රදේශයක අණවසර වගා බිම් පවත්වාගෙන යාම හා නීති විරෝධී කන්සා වගාව සිදු කිරීම මෙන් ම ලුණුගම්වෙහෙර ජලාශයේ ධීවර කර්මාන්තයේ නිරත පිරිස් විසින් සිදු කරන නීති විරෝධී හා හානිකර ක්‍රියා නිසා අලි – ඇතුන්ට ජාතික වනෝද්‍යානය තුළ ම රැකවරණය අහිමි වීම වැනි තත්ත්වයන් ගණනාවක් මේ සඳහා හේතු විය.

    මෙම පූර්ව අවබෝධය තිබිය දී නැවත වරක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විසිරී සිටින අලි – ඇතුන් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට ගෙන යාමෙන් සිදු වන්නේ ද 2006 වසරේ දී ඇති වූ ප්‍රතිඵලය ම නැවත සිදු වීම ය. ඊට හේතුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියට අනුව 2021 අප්‍රේල් මස 9 වන දින අංක 2222/62 දරන ගැසට් නිවේදනය මගින් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර හා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, මහවැලි අධිකාරියට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 23746.55 ක භූමි ප්‍රමාණයක් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කළ ද එම රක්ෂිතය තුළ හා ඒ වටා හානිකර ක්‍රියා බොහොමයක් සිදු වීමෙන් ඒ තුළ අලි – ඇතුන්ට රැකවරණය අහිමි වී තිබීම ය.

    අලි කළමනාකරණ රක්ෂිතයේ අදුරු ඉතිහාසය

    වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා ජාතික භෞතික සැලසුමට අනුව හම්බන්තොට මහ නගරය ඉදි කිරීමට එළි පෙහෙළි කරන ලද වනාන්තර අක්කර 35,000 ක පමණ ප්‍රමාණය හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 වසරේ දී යෝජනා කෙරින.

    ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූ ම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මෙම සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත්‍රික් කමිටුව විසින් ඒකමතික ව අනුමැතිය ලැබිණ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත විය. මේ සියලූ ම සැලැසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර පහළොවකට ආසන්න කාලයක් අද වන විට ගත වී ඇත. නමුත් ඒ කිසිවක් අද වන විට ක්‍රියාත්මක කර නොමැත. 2011 වසරේ දී අලි කළමනාකරණ රක්ෂිතය සැලැසුම් කිරීමෙන් වසර 10 කට පසුව 2021 වසරේ දී නෛතිකව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද වල්සපුගල ගොවීන් විසින් සිදු කළ දැවැන්ත අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය. ඒ වන විට මහවැලි අධිකාරිය හා පැවති ආණ්ඩුව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට දැවැන්ත උත්සාහයක නිරත වූයේ එම ඉඩම් විවිධ සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමේ අරමුණින් කටයුතු කළ නිසා ය.

    එපමණක් නොව 2011 වසරේ සැලැසුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මහවැලි අධිකාරිය අවස්ථාව ලබා නොදීම හේතුවෙන් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය නිසි පරිදි ප්‍රකාශයට පත් කර අලි – ඇතුන් ගේ සමස්ත වාසස්ථාන සුරක්ෂිත කිරීමට නොහැකි විය. මේ නිසා වනාන්තර ඉඩම් සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීමට, මහ පරිමාණ කලුගල් හා පස් කැණීම් මෙන් ම මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා භාවිතයට ගැනීමට වෙන් කිරීම සිදු විය. මේ නිසා හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ මෙන් ම ඒ වටා අලි – ඇතුන් ගේ වාසස්ථාන දරුණු විනාශයකට ගොදුරු විය.

    අලි කළමනාකරණ රක්ෂිතයේ හා ඒ වටා ඉඩම් විකිණීමේ ජාවාරම

    මහවැලි අධිකාරියෙන් රක්ෂිත තත්ත්වයට පත් කිරීමට අවස්ථාව ලබා නොදුන් බුරුතන්කන්ද, කරුවලවැව ප්‍රදේශයේ අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට පළමු ව යෝජනා කර තිබූ අලින් බහුල ව ජීවත් වූ වනාන්තර අක්කර 600 ක පමණ භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති ස්ථාපිත කිරීමට සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ.

    හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරම මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට සැලැසුම් කළ 2011 වසරේ සිට එවකට පැවති ආණ්ඩුවේ දේශපාලන අනුග්‍රහය යටතේ සංවිධානාත්මක ව ක්‍රියාත්මක විය. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වලව මහවැලි කලාපය ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම ඒ අනුව සිදු විය. ගොන්නොරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 හා 50 බැගින් වන ඉඩම් කට්ටි බවට පත් කර කොළඹ ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කෙරින. කැටැන්වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටියවත්ත නින්දගම ලෙස හඳුන්වන වනාන්තර ප්‍රදේශය ද ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරමට ගොදුරු විය.

    හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය 2021 වසරේ දී ප්‍රකාශයට පත් කිරීමේ දී පළමු සැලැසුමෙන් ඉවත් කළ අන්දර වැව සිට වල්සපුගල දක්වා වනාන්තර අක්කර 1000 ක් පමණ භූමි ප්‍රදේශය මේ වන විට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා විවිධ සමාගම්වලට ලබා දීම හා වනාන්තර එළිපෙහෙළි කිරීම අඛණ්ඩ ව සිදු වේ. ඊට අමතර ව මහ පරිමාණ කළුගල් වලවල් ද මෙම වනාන්තරය තුළ ක්‍රියාත්මක කරමින් තිබේ. මෙම සම්පූර්ණ වනාන්තර ප්‍රදේශය අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථානයක් වන නමුත් එම ප්‍රදේශය මේ වන විට මෙම සතුන්ට අහිමි කරමින් තිබීම අලි – මිනිස් ගැටුම වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

    අලි කළමනාකරණ රක්ෂිතයේ අලි මංකඩවල් අහිමි කිරීම

    අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඩේ ඉඩම් සියල්ල ම මහවැලි අධිකාරිය මඟින් ජනතාවට බෙදා දීමේ ප්‍රතිඵලයක් ලෙස මදුනාගල අභය භූමිය තුළ අලි – ඇතුන් 18 ත් 20 ත් අතර ප්‍රමාණයක් කොටු වී සිටී. මේ නිසා එම සතුන් අවට ගම්මානවලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදු වේ.

    මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක් පමණ වන ප්‍රදේශයේ අලි – ඇතුන් 20 ක් පමණ රැඳී සිටී. මෙම සතුන් රාත්‍රි කාලයේ ගම් වැදීම නිසා ගැටලුකාරී තත්ත්වයන්ට ඒ අවට ජනතාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මීට ප්‍රධාන හේතුව අලි කළමනාකරණ රක්ෂිතය හා මෙම වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිඳ වැටීමයි.

    අලි කළමනාකරණ රක්ෂිතයේ ගොන්නෝරුව ප්‍රදේශය ආශ්‍රිත ව සිටින අලින්ට බුන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම මේ වන විට ඇහිරී තිබේ. ගල්වැව ප්‍රදේශයෙන් මෙම සම්බන්ධතා ව වනාන්තර අතර පැවති නමුත් එම ප්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලි පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් ම ඇහිරී තිබේ. මීට අමතර ව බුන්දල සිට අලි කළමනාකරණ රක්ෂිතයට අලි ගමන් කරන කොහොලංකල අලි මංකඩ මහ පරිමාණ මිරිස් වගා ව්‍යාපෘතියක් සඳහා භාවිත කර ඇති අතර එම ප්‍රදේශයේ එල්ලෙන විදුලි වැටවල් සකස් කර අලි – ඇතුන්ට ගමන් කිරීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර කර ඇත. මේ සියල්ලේ ම ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත බොහෝ ප්‍රදේශ අලි – මිනිස් ගැටුමේ අධි අවදානම් කලාපයක් බවට පත් ව තිබේ.

    මීට අමතර ව හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රධාන අලි මංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කිරීම ද සිදු කර ඇත. හැඬිල්ල අලි මංකඩ ඔස්සේ බුන්දල ජාතික වනෝද්‍යානයේ හා හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලුණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යානවලට ගමන් කිරීම සිදු විය. ගොන්නොරුව හා කැටන්වැව අතර පිහිටි මෙම අලිමංකඩ අවහිර වන පරිදි නිවාස සංකීර්ණයක් ඉදි කර තිබේ. මීට අමතර ව හැඬිල්ල අලිමංකඩේ තවත් අක්කර 50 ක භූමියක් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර විදුලි වැටවල් ඉදිකර වෙන් කර ගෙන තිබේ.

    අලි කළමනාකරණ රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව – තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප්‍රදේශය ඔස්සේ ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලඥයන් පසුගිය කාලය පුරා ම විරෝධතා ව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. මේ නිසා හම්බන්තොට හා ඒ ආශ්‍රිත අලි – ඇතුන් ගේ වාසස්ථාන සැලැසුම් කළ පරිදි ජාලගත කිරීමට නොහැකි වී තිබේ.

    වන අලි රක්ෂිතයේ අනවසර වගා බිම් හා කළුගල් කැණීම

    අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යයි. ඒ හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප්‍රදේශවල ය. මීට අමතර ව අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලුත් වැව, කඩවර වැව, බඳගිරිය වැව, මහ අලුත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප්‍රදේශවල ය. මයුරපුර හා නාගර වැව ප්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීමේ දී ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර පස් ලබා ගැනීම සිදු කෙරිනි.


    මීට අමතර ව අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර මහ පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලැබේ. වෙහෙරගල හා මහ අලුත්ගංආර ප්‍රදේශවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ සඳහා යොදා ගෙන ඇත. මීට අමතර ව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප්‍රදේශවල මහවැලි අධිකාරියට අයත් වනාන්තර එළි කර මහ පරිමාණයෙන් කළුගල් වලවල් පවත්වාගෙන යාම සිදු කරයි.

    මේ වන විට අලි කළමනාකරණ රක්ෂිතයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයන් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි. විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින් ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප්‍රදේශවල ගොවීන්ගේ වගා බිම්වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ. මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි – ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් මඟින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම්වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරන ගොවීන්ට උග්‍ර ජල හිඟයකට ද මුහුණ දීමට සිදු වී ඇත.

    පසුගිය කාලය තුළ දී මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප්‍රදේශවල ව්‍යාප්තව ඇති අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී ඇත. මේ නිසා අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි – ඇතුන්ට අහිමි වී ගැටලු ගණනාවක් උද්ගත ව තිබේ.

    මහවැලි අධිකාරියට අයත් අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර

    මේ ආකාරයෙන් අවභාවිත වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ.

    මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් වලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් වනාන්තර රක්ෂිත තත්ත්වයට පත් කර ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි. වැඩි ප්‍රමාණයක් සංවර්ධන භාවිතයන්ට ලබා දී ඇත. මේ තත්ත්වය අලි – මිනිස් ගැටුම මෙම ප්‍රදේශයේ උග්‍ර මට්ටමකට පත් වීමට බලපා තිබේ.

    අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතුරින් ප්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි ආර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි – ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප්‍රදේශ වෙයි.

    මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ඒ අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප්‍රදේශය මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනාන්තර ප්‍රදේශ සියල්ල ම කඩිනමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත.

    අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර

    මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප්‍රදේශ ගණනාවක් අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න – බඳගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල – සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම – කොහොලංකල අවශේෂ කැලය ඒ අතර ප්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ.

    පසුගිය 2010-2015 රජය පැවති සමයේ දී කැලිගම – කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි – ඇතුන් ගේ සාම්ප්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලු බොහොමයක් උද්ගත වී ඇත.

    මලල ආරට ඉහළින් පිහිටි තම්මැන්නාව – බඳගිරිය අවශේෂ වනය ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හා බුන්දල ජාතික වනෝද්‍යානය අතර අලි ගමන් කරන ප්‍රධාන මංකඩකි. මෙම ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිහිටා ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට උත්සාහ දරයි. මෙම වනාන්තර ප්‍රදේශයේ අක්කර 50 ක භූමියක් කජු වගාවක් සඳහා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරන අතර එම ඉඩම් නිදහස් කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද පියවර ගනිමින් සිටී. මීට අමතර ව බඳගිරිය ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඇති නමුත් ජලාශයට යට වූ භූමි ප්‍රදේශවල ඉඩම් ඔප්පු භාවිත කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර නිදහස් කර ගැනීමට ප්‍රදේශයේ සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරති.

    අලි අනාථ කළ හම්බන්තොට අවිධිමත් සංවර්ධනය

    මෙම වන විනාශයන් ගේ ප්‍රතිඵලය ලෙස හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලුක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි – ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

    මේ ප්‍රදේශයේ අලි මරණ හා අලි ප්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ නිවැරදි උපායමාර්ගික සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ. ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, මාගම්පුර වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, අධිවේගී මාර්ග පද්ධතිය ඉදි කිරීම හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කෙරිණ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම්වලට හා දේපොළවලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

    මේ වන විනාශයේ ප්‍රතිඵලය වී ඇත්තේ අලි – මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග්‍ර නියං තත්ත්වයට හා ඒ සමඟ ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි.

    අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක්‍රීඩා පිටිය ආශ්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප්‍රදේශයේ අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලු සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ය.

    අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඉදි කර ඇති අතර මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් ව තිබේ. මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. මෙම අධිවේගී මාර්ග හේතුවෙන් අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි – ඇතුන් සමඟ ම හුදකලා වීම සිදු ව තිබේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් ගේ අවධානය යොමු නොකිරීමෙන් සිදු ව ඇත්තේ අවට ජනතාව අලි – මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි පටු දේශපාලන අරමුණු මත සිදු කළ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හොඬවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බඳගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

    වන අලි රක්ෂිතය සුරක්ෂිත කර අලි – ඇතුන් හා ගොවිබිම් රැක ගැනීම

    අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ. මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලුගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බඳගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලුණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලුත්ගංආර වැව, මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළිය වැව හා අලුත් වැව ඒ අතර වේ. මේ අතුරින් බඳගිරිය වැව විශාලත ම වැව වේ. මීට අමතර ව අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, උස්ගල වැව, වැවේගම් වැව, කුඩා ඉදි වැව, එලල්ල වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි. මේ සියල්ලේ ම ජල සුරක්ෂිතතාව හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව මෙන් ම අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාව ගේ සුරක්ෂිතතාව රැදී ඇත්තේ මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධතියේ පැවැත්ම මත ය.

    මේ නිසා අලි කළමනාකරණ රක්ෂිතය අලි – ඇතුන් ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ පිහිටා තිබේ. මේ සියලු පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශ්‍රිත නේවාසික පක්ෂීන් බහුතරයක ගේ වාසස්ථාන වන මෙම ප්‍රදේශය සංක්‍රමණික තෙත් බිම් පක්ෂීන් ගේ ද ප්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප්‍රදේශය තුළ පුරා විද්‍යාත්මක ව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ. නමුත් ඒ සියල්ල මෙම රක්ෂිතය නිවැරදිව ආරක්ෂා නොකිරීම නිසා අහිමි වෙමින් තිබේ.

    කළ යුත්තේ කුමන් ද?

    හම්බන්තොට අලි මෙම අලි කළමනාකරණ රක්ෂිතයට එළැවීමට ප්‍රථමයෙන් සිදු කළ යුතු වන්නේ ඒ වටා පිහිටි සියලූ ම වනාන්තර මෙම රක්ෂිතය යටතට පැවරීම ය. ඒ අතරතුර මෙම රක්ෂිතය හා සම්බන්ධ සියලූ ම අලි මංකඩවල් විවෘත කළ යුතු ය. හුදෙකලා වී ඇති වනාන්තර ජාල ගත කිරීමට පියවර ගත යුතු ය. විශේෂයෙන් බුන්දල, ලුණුගම්වෙහෙර හා උඩවලව යන ජාතික වනෝද්‍යානවලට අලින්ට පිවිසීමට ඇති මාර්ග කඩිනමින් විවෘත කළ යුතු ය. මීට අමතර ව මෙම රක්ෂිතය තුළ පිහිටි අනවසර වගා බිම් සියල්ල ම හා කළුගල් වලවල් සියල්ල ම ඉවත් කළ යුතු ය. ඉන් පසු ව මෙම වනාන්තර පද්ධතිය තුළ සිදු වන සියලූ ම නීති විරෝධී ක්‍රියා පාලනයට ක්‍රියාමාර්ග ගත යුතු ය. මේ මගින් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ අලි – ඇතුන් ගේ සුරක්ෂිතතාව වර්ධනය කළ යුතු ය. එසේ නොමැති ව ආණ්ඩුවේ අවශ්‍යතාව මත ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති සැලැසුම් කරන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින අලි මෙම රක්ෂිතයට එළවා විදුලි වැටවල් මගින් ගාල් කර තැබිය නොහැකි ය. එසේ කිරීමට උත්සාහ දැරීමෙන් සිදු වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාන්තර පුරා විසිරී සිටින අලි – ඇතුන් අලි කළමනාකරණ රක්ෂිතය වටා පිහිටි වගා බිම්වලට පිවිසීම වර්ධනය වී ගොවීන් අවතැන් කිරීම ය. එවන් තත්ත්වයක් ඇති කිරීමට අවිද්‍යාත්මක සැලැසුම් සැකසීමට නිහාල් ගලප්පත්ති මන්ත්‍රිවරයාට ඉඩදිය යුතු නැත.

  • රජය මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග

    රජය මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග

    සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2023 වසරේ දී ය. එය අලි – ඇතුන් 488 කි. අලින් ගේ පහර දීම් හේතුවෙන් වැඩි ම මිනිසුන් ප්‍රමාණයක් වසරක් තුළ මිය ගොස් ඇත්තේ ද මෙම වසරේ දී ම ය. එය මිනිසුන් 187 කි. නමුත් 2025 වසරේ දී මෙම දත්තයන් ඉතා ම දරුණු මට්ටමකින් ඉහළ යාමට නියමිත ව ඇත. මෙය දරුණු ඛේදවාචකයකි.

    2011 වසරේ සිට මේ වසරේ මැද භාගය දක්වා ගෙවී ගිය වසර 15 ක කාලය තුළ දී අලි – ඇතුන් 4600 ක් මියගොස් ඇත. මෙම කාලවකවානුව තුළ ම අලින් ගේ පහර දීම් හේතුවෙන් මිනිසුන් 1528 ක් මිය ගොස් තිබේ.

    මෙම සංඛ්‍යා ලේඛණ වලින් පෙනී යන්නේ මෙරට අලි – ඇතුන් හා මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිත ව දිවි ගෙවන ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටින බව ය. බොහෝ දෙනෙක් සිතන්නේ අලි ගහනයේ වැඩි වීම අලි – මිනිස් ගැටුම මේ ආකාරයෙන් වර්ධනය වීමට බලපා ඇති බව ය. නමුත් අලි ගහනය වර්ධනය වන බවට කිසිදු විද්‍යාත්මක සාධකයක් නොමැත.

    මෙරට අවසන් වරට අලි සංගණනයක් සිදු කර වාර්තා ප්‍රකාශයට පත් කෙරුනේ 2011 වසරේ දී ය. එම සංගණනයට අනුව අලි – ඇතුන් 5879 ක් වාර්තා වන බවට හඳුනා ගැනින. නමුත් අලි සංගණනයෙන් පසු ව ගෙවී ගිය වසර 15 ක කාල සීමාව තුළ දී අලි – ඇතුන් 4600 ක් මිය ගොස් තිබේ. ඒ අනුව අද වන විට මෙම සතුන් ගේ ගහනය ඉතා ම දරුණු ලෙස පහළ යමින් තිබෙන බව පෙනී යයි. නමුත් අලි – ඇතුන් ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හේතුවෙන් මෙම සතුන් ගම් වැදීම බහුල වීම නිසා අලි ගහනය වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ දෙනෙක් සඳහන් කරති. එහෙත් සත්‍ය තත්ත්වය නම් අලි – ඇතුන් ඝාතනය කරන ශීඝ්‍රතාවයට සාපේක්ෂ ව ගහනයේ වර්ධනය වීමක් සිදු නොවන බව ය. මෙහි ඉතා ම කණගාටුදායක තත්ත්වය නම් දළ ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් නිතර ඝාතනයට ලක් වන නිසා ගැහැණු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස් වීම හා සුවිශේෂී ජාන සහිත සතුන් ගහනයෙන් ඉවත් වීම හේතුවෙන් අලි – ඇතුන් ගේ ගහනය දුර්වල වෙමින් පැවතීම ය.

    අලි මරණ හා සම්බන්ධ පැරණි වාර්තා විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ හැත්තෑව දශකයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂ ව වර්තමානය වන විට අලි මරණ සිව්ගුණයකට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව ය.

    1950 වසරේ සිට 2000 වසර දක්වා ගෙවී ගිය වසර 50 ක කාලය තුළ දී මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ ප්‍රමාණය 3949 කි. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 80 ක් පමණ වේ. නමුත් 2000 වසරේ සිට මේ වසරේ මැද භාගය දක්වා වූ ගත වූ වසර 25 ක කාලය තුළ දී අලි – ඇතුන් 6773 ක් මිය ගොස් තිබේ. එම කාලය තුළ දී වසරකට මිය ගොස් ඇති අලි – ඇතුන් ගේ සාමාන්‍ය අගය 270 ක් පමණ වේ. ඒ අනුව 2000 වසරට පෙර පැවති තත්ත්වයට වඩා අලි මරණ තුන්ගුණයකට වඩා වැඩි වර්ධනයක් සිදු වී ඇති බව තහවුරු වේ. මේ තත්ත්වය පිටුදැකීමට නම් මේ සඳහා බලපෑ හේතු සාධක පිළිබඳ ව ගැඹුරින් සොයා බැලිය යුතු ව ඇත.

    වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත අවසන් වනාන්තර සංගණනයට අදාළ වාර්තාවට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර අතුරෙන් අලි – ඇතුන් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවලට අයත් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය මෝසම් වනාන්තර, සැවානා තෘණ භූමි හා කටු පදුරු සහිත ලඳු කැළෑ වනාන්තරවල ය. මෙම වනාන්තරවල ප්‍රමාණය හෙක්ටයාර 17,36,805 කි. එය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 26.5% ක ප්‍රතිශතයකි. නැතහොත් මෙරට අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල මුළු භූමි ප්‍රමාණයෙන් 34.5% ක ප්‍රතිශතයකි. අලි – ඇතුන් ජීවත් වන ස්වාභාවික පරිසර පද්ධති මේ ආකාරයේ අඩු මට්ටමක පැවතීම හා එම වනාන්තර එකිනෙක හා ජාලගත වී නොමැති ව ඛණ්ඩනය වූ වනාන්තර ලෙස පැවතීම අලි – මිනිස් ගැටුම වර්ධනයට බලපාන ප්‍රධාන හේතු සාධකයන් ය.

    2010 වසරට පෙර වනාන්තරවල තත්ත්වය මේ ආකාරයෙන් පැවතිය ද එතැන් සිට අද දක්වා ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ණය දෙන ආයතනවල කොන්දේසිවලට අනුව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ මත වාණිජ කෘෂිකර්මය සඳහා මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දැවැන්ත වනාන්තර විනාශයක් සිදු කර තිබේ. ඒ හේතුවෙන් අලි – ඇතුන් ගේ ස්වාභාවික වාසස්ථාන බොහොමයක් විනාශයට ලක් කර තිබීම හා ඉතිරි වී ඇති වනාන්තර කොටස්වලට වෙන් වන පරිදි ජාතික භෞතික සැලැසුමට අනුව සංවර්ධන කටයුතු සිදු කර තිබීම හා ඒ සඳහා යටිතලයන් සැපයීමට අවශ්‍ය බහුකාර්යය වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අලි – මිනිස් ගැටුම අද පත් ව ඇති දරුණු තත්ත්වයට පරිවර්තනය වීමට ප්‍රධාන හේතු සාධක ලෙස බලපා ඇත.

    මෙම යතාර්ථය මත පදනම් ව අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අප පහත සඳහන් උපායමාර්ග යෝජනා කරන්නෙමු. මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ වසර 30 කට ආසන්න කාලයක් අලි – ඇතුන් හා වනාන්තර අතර මනා සබැදියාව හා ඒ වටා ජන ජීවිතය පිළිබඳ ව සිදු කරන ලද නිරීක්ෂණ හා අධ්‍යයනයන් මෙන් ම සංවර්ධන සැලැසුම් හා ජාතික සංවර්ධන ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇති වී තිබෙන තත්ත්වයන්ට අදාළ දත්ත විශ්ලේෂණයන් පදනම් කර ගෙන ය. මේ නිසා මෙම කරුණු පිළිබඳ ව විශේෂ අවධානය වත්මන් ආණ්ඩුව විසින් යොමු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

    ■         අලි – ඇතුන් ගේ වාසස්ථාන ජාලගත කිරීම.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජාතික පශු සම්පත් මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන යටතේ පාලනය වන අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රක්ෂිත ඇතුළු ව වනාන්තර ප්‍රදේශ, විහාර දේවාලගම් පනත යටතේ හා සන්නස් ඉඩම් ලෙස පවතින සියලූ ම අලි – ඇතුන් ගේ වාසස්ථාන සිතියම් ගත කර ජාලගත කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

    ■         අලි – ඇතුන් ගේ වාසස්ථාන සියල්ල ජාලගත වන පරිදි විදුලි වැටවල් නැවත ප්‍රතිස්ථාපනය කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන හා රක්ෂිත ප්‍රදේශ ඛණ්ඩනය වන පරිදි ඉදිකර ඇති සියලූ ම විදුලි වැටවල් ඉවත් කර නැවත වාසස්ථාන ජාලගත වන පරිදි ප්‍රතිස්ථාපනය කිරීම හා සියලූ ම විදුලි වැටවල් සිතියම්ගත කිරීම සහ අඛණ්ඩ පසු විපරමකට ලක් කර අලින් ගේ ගමන් මාර්ග අවහිර වී ඇති ස්ථාන නැවත හඳුනා ගැනීම සිදු කර එම දත්ත මත විදුලි වැටවල් නැවත ප්‍රතිස්ථාපනය කිරීම.

    ■         සුවිශේෂී ස්ථානවල ශක්තිමත් විදුලි වැටවල් ප්‍රතිස්ථාපනය කිරීම.

    අලි – ඇතුන් ගේ සමස්ත වාසස්ථාන ජාලගත කිරීම සිදු කිරීමෙන් අනතුරු ව ගම්මානවලට හා වගා බිම්වලට අලින් පිවිසෙන සුවිශේෂී ස්ථාන හඳුනාගෙන එම කලාප ආවරණය වන පරිදි එල්ලෙන හෝ ශක්තිමත් හෝ ද්විත්ව විදුලි වැටවල් පද්ධතියක් සකස් කිරීම.

    ■         විදුලි වැටවල් ශක්තිමත් කිරීම සඳහා ජෛව බාධක ඇති කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන විවෘත වන පරිදි හා ජාලගත වන පරිදි සකස් කළ විදුලි වැටවල් දෙපස හණ, දෙහි කුලයේ ශාක, පතොක් සහ තල් ශාකවලින් සමන්විත ජෛව බාධක ඇති කිරීම.

    ■         අක්‍රමවත් හා අනාරක්ෂිත විදුලි වැටවල් ගලවා ඉවත් කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පිරිදි සහ ජනාවාස හා ජනතාව ගේ වගා බිම් අලි – ඇතුන්ට විවෘත වන පරිදි සමාගම් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ස්ථාපිත කර ඇති සියලූ ම විදුලි වැටවල් සිතියම් ගත කර හඳුනා ගැනීමෙන් පසු ව අනාරක්ෂිත හා අක්‍රමවත් විදුලි වැටවල් සියල්ල ගලවා ඉවත් කිරීම.

    ■         විදුලි වැටවල් ස්ථාපිත කිරීම සඳහා නෛතික රාමුවක් සකස් කිරීම.

    වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට සංශෝධනයක් ලෙස හෝ විදුලි වැටවල් ස්ථාපිත කිරීම සඳහා වෙනම ම පනතක් හෝ සකස් කිරීම සිදු කළ යුතු ය. විදුලි වැටවල් ප්‍රතිස්ථාපනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ක්‍රමවේදයක් හා විදුලි වැටවල් සඳහා නිර්ණායක පද්ධතියක් සකස්කර නීති ගත කළ යුතු ය. විදුලි වැටවල් සියල්ල ම පරීක්ෂා කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, විදුලිබල මණ්ඩලයට හා ප්‍රාදේශීය ලේකම් විසින් බලය පවරණ නිලධාරියකුට හිමි වන පරිදි නෛතික රාමුවක් සකස් කළ යුතු ය.

    ■         අලි මංකඩවල් හෝ පිවිසුම් ලෙස උමං හෝ පාලන් ඉදි කිරීම.

    අලි – ඇතුන් ගමන් කරන ප්‍රදේශ හරහා සකස් කර ඇති මහා මාර්ග හා දුම්රිය මාර්ග අතුරෙන් අලි – ඇතුන්ට අනතුරු සිදු වීම වැඩි වශයෙන් වාර්තා වී ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රමාණවත් උමං හෝ පාලන් ඉදි කර අලි – ඇතුන් ගේ සංචරණ රටාවන්ට ඇති බාධක ඉවත් කළ යුතු අතර විදුලි වැටවල් මගින් එම කලාපය හරහා ගමන් කිරීමට අලි – ඇතුන් යොමු කළ යුතු ය. එම කලාප විශේෂ සංචාරක ආකර්ශන කලාප ලෙස වැඩිදියුණු කළ හැකි ය.

    ■         සියලූ ම අලි මංකඩවල් නීතිගත කර ප්‍රකාශයට පත් කිරීම.

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන සිතියම් ගත කර ඇති සියලූ ම අලි මංකඩවල් නැවත අධ්‍යයනය කර යාවත්කාලීන කර එම සියලූ ම අලි මංකඩවල් විවෘත කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සියල්ල ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම හා ඒවා අවහිර වන පරිදි සිදු කළ නොහැකි ක්‍රියාකාරකම් සියල්ල වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කර නෛතික රාමුවකට එක් කළ යුතු ය.

    ■         අලි – ඇතුන් ගේ වාසස්ථාන ආශ්‍රිත සියලූ ම කසළ රැඳවුම් ඉවත් කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන ආශ්‍රිත ව වියළි කලාපයේ ස්ථාන 54 ක පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන අලි – ඇතුන් ආකර්ශනය කරන සියලූ ම මහ පරිමාණ කසළ රැඳවුම් ඉවත් කර ඒ වෙනුවට එම පළාත් පාලන ආයතනවලට කසළ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීම සිදු කළ යුතු ය.

    ■         රක්ෂිත වනාන්තර තුළට එළ ගවයන් හා මී ගවයන් ඇතුළු කිරීම නතර කිරීම.

    අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රක්ෂිත වනාන්තර තුළට ගෘහාශ්‍රිත එළ ගවයන් හා මී ගවයන් විශාල පට්ටි ලෙස ඇතුළු කිරීම සම්පූර්ණයෙන් ම නතර කළ යුතු අතර දැනට රක්ෂිත ප්‍රදේශ තුළ පවතින ගව පට්ටි ක්‍රමාණුකූලව ඉවත් කිරීම හා හඳුනාගත් සුදුසු භූමි ප්‍රදේශවල තෘණ භූම් ඇති කර සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඇති කළ යුතු ය.

    ■         අලි – ඇතුන් ගේ වාසස්ථානවල ආක්‍රමණික ශාක ඉවත් කිරීම.

    රක්ෂිත ප්‍රදේශ තුළ ආක්‍රමණික ශාක ලෙස ව්‍යාප්ත ව ඇති අලි – ඇතුන් ගේ ආහාර බිම් දරුණු ලෙස ආක්‍රමණයට ලක් කර ඇති ගඳපාන (හිගුරු), ගිනිතණ, කලපු අන්දර, කටුපතොක්, කටු උණ, යෝධ නිදිකුම්බා හා ජපන් ජබර වැනි ශාක ක්‍රමාණුකූල ව ඉවත් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර අලි – ඇතුන් ගේ ආහාර බිම් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතු ය.

    ■         අලි – ඇතුන් ගේ වාසස්ථාන තුළ පිහිටි වන වගාවල් තෘණ භූමි බවට පත් කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන ලෙස පවතින රක්ෂිත ප්‍රදේශ හා අලි ගැවසුම් ප්‍රදේශවල වනවගාවන් ලෙස ස්ථාපිත කර ඇති තේක්ක, ඇකේසියා, කායා, මැහෝගනී. ඉපිල් ඉපිල් ඇතුළු වන වගාවන් ක්‍රමාණුකූල ව ඉවත් කර තෘණ භූමි ප්‍රතිස්ථාපනය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු ය.

    ■         අලි – ඇතුන් ගේ වාසස්ථානවල වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන තුළ පිහිටි අතහැර දමා ඇති හා විනාශයට ලක් වී ඇති සියලූ ම කුඩා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කර කුළු වැව් ලෙස අඛණ්ඩ ව පවත්වා ගෙන යාම කළ යුතු ය.

    ■         රක්ෂිත වනාන්තර තුළ අණවසර වගා බිම් ඉවත් කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රක්ෂිත වනාන්තර තුළ පවත්වා ගෙන යන අණවසර හා නීති විරෝධී වගා බිම් සියල්ල ඉවත් කිරීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, විශේෂ කාර්යය බලකාය, ශ්‍රී ලංකා පොලීසිය, සුරාබදුදෙපාර්තමේන්තුව ප්‍රධාන ආයතන මගින් ඒකාබද්ධව සිදු කරන වැටලීම් ප්‍රමාණය වැඩි කිරීම හා ඒ සඳහා පහසුකම් වැඩි කිරීම සිදු කළ යුතු ය.

    ■         අලි – ඇතුන් ගේ වාසස්ථාන තුළ සියලු ම කැණිම් කටයුතු නතර කිරීම.

    අලි – ඇතුන් ගේ වාසස්ථාන වන සියලූ ම රක්ෂිත වනාන්තර තුළ පස් කැණීම, වැලි කැණීම, කළුගල් කැණීම හා මැණික් කැණීම සම්පූර්ණයෙන් ම නතර කිරීමට ඒකාබද්ධ වැටලීම් ක්‍රියාත්මක කළ යුතු ය.

    ■         ජාතික භෞතික සැලැසුම මත පදනම් වූ වැරදි සංවර්ධන උපායමාර්ග ඉවත් කිරීම.

    අලි – මිනිස් ගැටුම වර්ධනීය තත්ත්වයට පරිවර්තනය කිරීමට බලපෑ හානි කර සංවර්ධන උපායමාර්ග වන ජාතික භෞතික සැලැසුම ක්‍රියාත්මක කිරීම නතර කර ඒ වෙනුවට ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසර සංවර්ධන උපායමාර්ග සහ ප්‍රජාව ගේ අදහස් හා අවශ්‍යතාවන් මත පදනම් වූ නව ජාතික භෞතික සැලැසුමක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු ය.

    ■         හේන් වගා බිම් වාණිජ වගා බිම් බවට පත් කිරීම වෙනුවට බහු බෝග හේන් වගාවට යොමු කිරීම.

    යල කන්නයේ දී අලි – ඇතුන් ගේ ආහාර බිම් බවට පරිවර්තනය වන හේන් වගා බිම්, ස්ථිර, ඒක බෝග බඩඉරිගු හා උක් වගා බිම් බවට පරිවර්තනය කිරීම නතර කර ඒ වෙනුවට හේන් වගා බිම් සියල්ල මහ කන්නයේ දී පමණක් වගා කරන යල කන්නයේ දී අතහැර දමන බහු බෝග හේන් වගා බිම් තත්ත්වයට පරිවර්තනය කිරීම සඳහා ගොවි ජනතාව දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය.

    ■         මහවැලි කලාපවල ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට ලබා දීම වෙනුවට ගොවි ජනතාවට ලබා දීම සහ එම ඉඩම් සමාගම්වලට පැවරිය නොහැකි ව්‍යුහයක් ඇති කිරීම.

    මහවැලි කලාපවල ඉඩම් මහ පරිමාණ සූර්ය බලශක්ති බලාගාර, මහ පරිමාණ වාණිජ වගාබිම් ලෙස සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම සම්පූර්ණයෙන්ම නතර කර අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට පමණක් මහවැලි කලාපවල ඉඩම් ලබා දීමේ ව්‍යුහයක් ඇති කළ යුතු ය. එමගින් ඉඩම් නොමැති ජනතාව රක්ෂිත වනාන්තර හා අලි – ඇතුන් ගේ වාසස්ථාන වගා බිම් සඳහා අනවසරයෙන් අත්පත්කර ගැනීම වැළැක්වීම සිදු කළ යුතු ය.

    මීට අමතර ව මහවැලි කලාපවල හා බහුකාර්ය වාරි ව්‍යාපෘති ලෙස සංවර්ධනය කළ ප්‍රදේශවල ගොවි ජනතාවට ලබා දී ඇති ඉඩම් සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා නෛතික රාමුවක් ඇති කළ යුතු අතර එමගින් වගා ඉඩම් විකිණීම සිදු කරන ජනතාව, නැවත වගා කටයුතු සඳහා අලි – ඇතුන් ගේ වාසස්ථාන හා රක්ෂිත වනාන්තර අත්පත් කර ගැනීම නතර කළ යුතු ය.

    ■         රක්ෂිත වනාන්තර වටා පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රජයේ ඉඩම් බදු දීම වැළැක්වීම.

    රක්ෂිත වනාන්තර වටා පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන වන රජයේ වනාන්තර බිම් අණවසරයෙන් හා වාර්ෂික බලපත්‍ර යටතේ හේන් වගාව සඳහා අත්පත් කර ගෙන සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දී ඇති සියලූ ම ස්ථාන හඳුනාගෙන එම ඉඩම් නැවත රජයට අත්පත් කර ගෙන එම ඉඩම් රක්ෂිතවලට සම්බන්ධ කිරීම මගින් අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය. ඒ ආකාරයෙන් සිදු කරන රජයේ වනාන්තර ඉඩම් ජාවාරම නතර කිරීමට නීති ක්‍රියාත්මක කිරීමෙන් අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කළ යුතු ය.

    ■         අලි – ඇතුන් මත කෘෂිකර්මය පදනම් වී ඇති ආකාරය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීම.

    අලි – ඇතන් ගේ වාසස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර ඇති වියළි කලාපයේ රක්ෂිත වනාන්තර ජාලය හේතුවෙන් වැව්, ජලාශ, ගංගා, ඇළ, දොළවල ජල පෝෂක ප්‍රදේශ, වර්ෂාපතන රටාව සහ ජල සංරක්ෂණ ක්‍රියාවලිය සුරක්ෂිත වී යල – මහ දෙකන්නය වගා කිරීමට හැකි වන පරිදි කෘෂිකර්මය ආරක්ෂා වන ආකාරය පිළිබඳ ව ප්‍රජාව ගේ අවබෝධය පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර අලි ගහනය වැඩි බව, අලි – ඇතුන් පලවා හැරීම මගින් හෝ වගා බිම්වලට පැමිණෙන අලි ඝාතනය කිරීම මගින් අලි – මිනිස් ගැටුමට විසදුමක් නොලැබෙන බවත් අවබෝධ කර දිය යුතු ය.

    ■         අලි සංරක්ෂණ අරමුදලක් පිහිටුවීම.

    අලි සංරක්ෂණ අරමුදලක් පිහිටුවීම මගින් දේශීය හා විදේශීය ජනතාවට අලි – ඇතුන් සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන් සඳහා දායක වීමේ අවස්ථාව ලබාදිය යුතු ය. ඒ සඳහා දස වසරක අලි සංරක්ෂණ ජාතික වැඩපිළිවෙලක් සකස් කර එම වැඩපිළිවෙල සඳහා මූල්‍යමය ආදාර ලබා ගැනීමට අලි සංරක්ෂණ අරමුදල නිර්මාණය කළ යුතු ය. එම අරමුදල භාවිත කරන මාර්ගෝපදේශ, නිර්ණායක, භාරකාර මණ්ඩලය විනිවිදභාවයකින් යුතු ව කටයුතු කරන ආකාරය පිළිබඳ ව සමාජය දැනුම්වත් කළ යුතු ය. එම අරමුදල, රක්ෂිත වනාන්තර ජාලගත කිරීම, අලි මංකඩවල් විවෘත කිරීම සහ මහා මාර්ග හා දුම්රිය මාර්ගවලින් ඛණ්ඩනය වී ඇති වනාන්තර පද්ධති හරහා පාලන් හා උමං මාර්ග ඉදි කිරීම සඳහා භාවිත කළ යුතු ය.

    ■         ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවීම හා ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් නීති ගත කරන ලද 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ ෂෂ පරිශිෂ්ටය මඟින් “ජාතික ඉඩම් කොමිෂන් සභාවක්” පිහිටුවිය යුතු බව දක්වා ඇත. මෙම ජාතික ඉඩම් කොමිෂන් සභාවේ මූලික වගකීමක් ලෙස දක්වා ඇත්තේ රජයේ ඉඩම් පරිහරණය හා සම්බන්ධ “ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්” සකස් කිරීමයි. මෙම ෂෂ පරිශිෂ්ටයේ 3 වන වගන්තියේ කරුණු ගණනාවක් දක්වා ඇත. එනම් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිටු විය යුතු ය, ඒ කොම්ෂන් සභාව රජයේ ඉඩම් භාවිතය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ව වගකිව යුතු ය, මේ කොමිෂන් සභාවට දිවයිනේ සියලූ ම පළාත් සභාවල නියෝජිතයන් ඇතුළත් විය යුතු ය, ජාතික ඉඩම් කොමිෂන් සභාවට ස්වාභාවික සම්පත් කළමනාකරණයට අදාළ සමාජ ආර්ථික සාධක මෙන්ම, භෞතික සාධක ඇගයීම සඳහා අවශ්‍ය අදාළ සියලු විෂයයන් නියෝජනය වන තාක්ෂණික ලේකම් කාර්යාලයක් තිබිය යුතු ය, ඉඩම් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික වශයෙන් නොව තාක්ෂණික සාධක මත පදනම් විය යුතු ය, ඉඩම් කොමිෂන් සභාව විසින් පස, දේශගුණය, වර්ෂාපතනය, පස සේදීයාම, වන ආවරණය, පාරිසරික සාධක, ආර්ථික යෝග්‍යතාව ආදී කරුණු කෙරෙහි සැලැකිලිමත් ව ඉඩම් භාවිතය හා සම්බන්ධ පොදු න්‍යාය නියම කළ යුතු ය, පළාත් සභා වෙත පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමේ දී පළාත් සභා විසින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙරෙහි නිසි පරිදි සැලැකිලිමත් ව තම බලතල ක්‍රියාත්මක කළ යුතු ය වශයෙනි. මේ මගින් ඉඩම් අවභාවිතය මගින් උද්ගත වී ඇති අලි – මිනිස් ගැටුම පාලනයට උපායමාර්ග සකස් කළ යුතු ය.

  • පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

    පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න එක් ව සිංහරාජය වනසයි

    සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

    සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර තිබේ. එම සැලැසුමට අනුව කලවාන ප්‍රාදේශීය සභාවේ හා කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් එක් ව මාර්ගය සකස් කිරීමට යෝජිත ප්‍රදේශය මැණීම් කර ඇස්තමේන්තු සකස් කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 220 ක මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කර තිබේ. මෙම නීති විරෝධී මාර්ග සැලැසුම සකස් කිරීමට සිංහරාජ අඩවියේ කුඩව ගගේ ඉවුරු ගොඩකර හෝටලයක් ඉදි කරන කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දූෂිත සංවර්ධන නිලධාරියකු වන ජානක දසනායක ව ද සම්බන්ධ කර ගෙන තිබේ. 

    මෙම නීති විරෝධී සැලැසුම සඳහා වන අනුමැතිය 2025 අගෝස්තු මස 28 වන දින කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේ දී ලබා ගෙන තිබේ. ඒ මත පදනම් ව ඉළුබකන්ඳ ප්‍රදේශවාසීන් විසින් මාර්ගය සකස් කිරීමට යෝජිත සිංහරාජ වන රක්ෂිතයේ වනාන්තර එළි කිරීම නීති විරෝධී ව මේ වන විට ආරම්භ කර තිබේ. නාමල් ප්‍රේමරත්න මන්ත්‍රිවරයා පොතුපිටිය ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු දී ඇත්තේ මෙම මාර්ගය ඉදි කිරීමෙන් පසුව උප කඳුකර වනාන්තරයේ යටි ස්ථරයේ එනසාල් වගා කිරීමට ඉඩම් බෙදා දීම සිදු කරන බව ය. මේ අනුව ප්‍රදේශවාසීන් විසින් බාහිර පුද්ගලයන්ට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදී මාර්ගය සකස් කිරීම සඳහා වනාන්තර එළි කිරීම ආරම්භ කර තිබේ.

    වසර 14 කට පෙර නාමල් රාජපක්ෂ ගේ සැලැසුම

    2019 වසරේ දී සිංහරාජ වන රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට යටතේ පාලනය වූ ඉළුඹකන්ඳ හා සූරියකන්ඳ ප්‍රදේශයේ පිහිටි විශාල වනාන්තර ප්‍රදේශයක් අත්පත් කර ගැනීමේ අරමුණින් 2011 වසරේ දී හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ එක් ව මහා මාර්ග අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කිරීමට සූදානම් විය. එහි දී ඔවුන් ඉළුඹකන්ඳ ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම මාර්ගය ඉදි කිරීමෙන් අනතුරු ව සිංහරාජ අඩවියට අයත් මෙම ප්‍රදේශයේ පිහිටි වනාන්තර ඉඩම් හෙක්ටයාර එක බැගින් ජනතාව අතර බෙදා දීමට කටයුතු කරන බව ය. ඊට අමතර ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් විශාල වනාන්තර ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කිරීම නතර කර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් අත්පත් කර ගැනීමට ද සූදානම් විය. නමුත් එම සැලැසුම පරාජය කර සිංහරාජ වන රක්ෂිතයට එම වනාන්තර එක් කර ගැනීමට අපට හැකි විය.

    නමුත් ඉන් වසර 14 කට පසු ව නැවත වරක් වත්මන් රජය යටතේ එම හානි කර සැලැසුම වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක කරමින් තිබේ. මෙය නීතියේ ආධිපත්‍ය බිඳ දමමින් සිදු කරන නීති විරෝධී සැලැසුමකි.

    නීති විරෝධී සැලැසුම

    2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2019 නොවැම්බර් මස 20 වන දින අංක 2150/31 දරන ගැසට් නිවේදනය මගින් කළුතර, රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක හතරට අයත් හෙක්ටයාර 36474.93 ක් වන වනාන්තර භූමි ප්‍රමාණයක් සිංහරාජ රක්ෂිත වනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එම පනතේ 7(1) උප වගන්තිය යටතේ සිංහරාජ රක්ෂිත වනය තුළ තහනම් ක්‍රියා සියල්ල දක්වා තිබේ. ඒ අනුව මෙම රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වීම හා රැඳී සිටීම, ගස් කැපීම, දියපහරවල් අවහිර කිරීම, ඉඩම් එළි කිරීම, පස් කැපීම, පාරවල් සකස් කිරීම, සකස් කරන ලද පාරවල් භාවිත කිරීම යන සියලූ ම ක්‍රියා තහනම් වේ.

    එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඬුවම්වලට අතිරේඛ ව රක්ෂිත වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.

    පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද මෙම දඬුවම්වලට ම යටත් කළ හැකි ය. පනතේ 48(1) උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව මෙවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු අත් අඩංගුවට ගෙන පනතේ 53 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි ය.

    ඒ අනුව සිංහරාජ වන රක්ෂිතය තුළ කිසිදු වනාන්තර විනාශයක් හෝ මාර්ග සකස් කිරීමක් සිදු කළ නොහැකි ය. ඒ සඳහා සැලැසුම් සැකසීම ද නීති විරෝධී ක්‍රියාවකි. මේ නිසා වන සංරක්ෂණ ආඥා පනත ක්‍රියාවේ යොදවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වෛද්‍ය ජනක සේනාරත්න සහ නාමල් ප්‍රේමරත්න යන පුද්ගලයන් හා රක්ෂිත වනාන්තර එළි කිරීමේ නිරත ඉළුඹකන්ඳ ප්‍රදේශවාසීන් ව ද අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි ය.

    මෙවන් නීතිමය තත්ත්වයක් යටතේ මෙම වනාන්තර පද්ධතිය පාලනය වන්නේ එහි පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා දේශගුණික වටිනාකම් නිසා ය. මේ හේතුවෙන් සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප්‍රදේශයක් ජාත්‍යන්තර ව වැදගත් වන මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙසත් ලෝක උරුම වන රක්ෂිතයක් ලෙසත් නම් කර ඇත. නමුත් සිංහරාජය අවට ගම්මානවල ඉපදී හැදීවැඩුණු වෛද්‍ය ජනක සේනාරත්නට හා නාමල් ප්‍රේමරත්නට මේ සියල්ල පිළිබඳ ව අවබෝධයක් නොමැති වීම කණගාටුවට කරුණකි.

    මාර්ග ඉදි කර වනසන සිංහරාජ අඩවියේ ජෛව උරුමය

    සිංහරාජ වන රක්ෂිතය මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 1385 ත් අතර උච්චත්ව පරාසය තුළ ව්‍යාප්ත ව ඇත. මේ නිසා සිංහරාජ වන රක්ෂිතය පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තරවලින් ආවරණය වී පවතී. සිංහරාජ වන රක්ෂිතය වැඩි වශයෙන් ආවරණය වී ඇත්තේ පහතරට තෙත් කලාපීය වනාන්තරවලිනි. එය සිංහරාජයේ මුළු භූමි ප්‍රමාණයෙන් 80% ක් පමණ වන අතර හෙක්ටයාර 29180 ක් පමණ වන වනාන්තර ප්‍රමාණයකි. උප කඳුකර වැසි වනාන්තර සිංහරාජ වන රක්ෂිතයේ ඊසාන හා නැගෙනහිර කලාපයේ මීටර 900 ට වඩා ඉහළින් පිහිටි කලාපයේ පමණක් ව්‍යාප්ත ව ඇත. එය සිංහරාජ අඩවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන අතර වනාන්තර භූමි ප්‍රමාණය හෙක්ටයාර 7295 ක් පමණ වේ.

    2010 වසරේ ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාවට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,23,302 කි. උප කඳුකර වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. ඒ අනුව ලංකාවේ පහතරට වැසි වනාන්තරවලින් 24% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් වේ. උප කඳුකර වැසි වනාන්තර අතුරෙන් 25% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතය තුළ පිහිටා තිබේ.

    වර්ග කිලෝමීටර 65610 ක් පමණ වන ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 0.6 ක් පමණ ආවරණය වන සිංහරාජ රක්ෂිත වනයේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් 40% ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 41% ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් 54% ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි.

    මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 38 ක් මේ වන විට පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 23 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 9 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුළුවන් හා ක්ෂීරපායීන් විශේෂය බැගින් වෙයි.

    ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 911 අතුරෙන් 54% ක් නැතහොත් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් නැතහොත් 56% ක් පමණ ලංකාවට ආවේණික වේ.

    සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය ජාතික රතු දත්ත ලේඛණයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba), කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපීගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කැලෑ පඳුරු මැඩියා (Pseudophilautus silvaticus) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය. මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික උභයජීවීන් අතුරෙන් කැලෑ පඳුරු මැඩියා හැර අනෙක් සියලු විශේෂ වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ උප කඳුකර වනාන්තර ව්‍යාප්ත ව ඇති මෙම මාර්ගය සකස් කර විනාශ කිරීමට සූදානම් වන ප්‍රදේශවල පමණි.

    සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ නවය ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඩ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඩ් මහකැලෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිඟිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිඟිති හිකනලා (Lanakascincus sameerai) යන විශේෂ වේ. මේ උරග විශේෂ අතුරෙන් වැඩි ප්‍රමාණයක් මෙම මාර්ගය ඉදි කිරීම සිදු කරන ඉතා ම කුඩා ව්‍යාප්තියක් සහිත සිංහරාජයේ උප කඳුකර වනාන්තරවල පමණක් ජීවත් වේ. මෙම ජීවීන් සියල්ල ම වනසා දැමීමට මෙම නීති විරෝධී හා හානි කර සැලැසුම හේතු වනු ඇත.

    මීට අමතර ව මාර්ගය සකස් කිරීම හේතුවෙන් නිරාවරණය වන ප්‍රදේශයේ දරුණු ආක්‍රමණික ශාකයක් ලෙස වැසි වනාන්තරවල යටි ස්ථරයේ පැතිරෙන කටකළු බෝවිටියා ශාකය ව්‍යාප්ත වනු ඇත. ඒ හේතුවෙන් මෙම සංවේදී ජෛව ප්‍රජාව ගේ භෞමික ක්ෂුද්‍ර වාසස්ථාන බොහොමයක් විනාශ වීම සිදු වී එම ජීවීන් ගේ පැවැත්මට ද බලපෑම් එල්ල වනු ඇත. එපමණක් නොව ඉදි කරන මාර්ගය දෙපස වනාන්තරය තුළට සිදු වන මායිම් බලපෑම හා මාර්ග අනතුරු හේතුවෙන් දුර්ලභ ජීවීන් ගේ පැවැත්මට එල්ල වන බලපෑම් වර්ධනය විය හැකි ය. මේ සියල්ල ම සංවේදී පරිසර පද්ධති තුළ මාර්ග ඉදි කිරීම හේතුවෙන් අප ලද ප්‍රායෝගික අද්දැකීම් ය. නමුත් වෛද්‍යවරයකු වන ජනක සේනාරත්නට සහ උපාධිදරයකු වන නාමල් ප්‍රේමරත්නට මේ පිළිබඳ ව පරිසර සාක්ෂරතාවක් නොමැති වීම ගැන කණගාටු වෙමු. රටක ප්‍රතිපත්තිමය තීරණ ගන්නා පුද්ගලයන් ගේ අවබෝධය මෙතරම් සීමා සහිත වීමෙන් පෙනී යන්නේ බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවීමෙන් හෝ පළාත් පාලන ආයතනවලට පත් කර යැවීමෙන් පමණක් ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට හෝ රටේ අනාගතය ගොඩ නැගීමට නොහැකි බව ය.

    මිහිකත පරිසර ප්‍රතිපත්තිය හා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අහිමි කිරීම

    පසුගිය ඉතිහාසය තුළ බලයට පත් වූ ආණ්ඩු විසින් සිදු කළ දැවැන්ත ස්වාභාවික සම්පත් විනාශය හා ඊට එරෙහිව ගොඩ නැගුණු ප්‍රතිවිරෝධය වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පදනම සකස් විය. මේ නිසා ම ජාතික ජන බලවේගය විසින් මිහිකත පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතා ව සමඟ පාරිසරික සම්මුතිය ඇති කර ගැනිණ. එහි ප්‍රධාන මූලධර්ම වූයේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය මෙන් ම පාරිසරික යහපාලනයයි. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංවේදී පාරිසරික පද්ධති භූමි භාවිතය කොටසේ දක්වා ඇත්තේ දැනට විද්‍යානුකූල ව හඳුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති පාරිසරික ව දැඩි සංවේදී කලාප හා සංවේදී කලාප නිශ්චිතව තහවුරු කිරීමට පියවර ගැනීම ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස දක්වා ඇත. නමුත් මේ සියල්ල ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න විසින් සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත.

    මීට අමතර ව ජනාධිපතිවරණයට ප්‍රථම ජාතික ජන බලවේගය ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් ලෙස සඳහන් කොටසේ දක්වා ඇත්තේ සංවේදී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා ඒකාබද්ධ කළ හැකි වනජීවී හා වන සංරක්ෂණ කලාප හඳුනාගෙන නව මංකඩවල් ස්ථාපිත කිරීම සිදු කරන බව ය. නමුත් මේ වන විට සිදු වන්නේ මාර්ග ඉදි කර සංවේදී පරිසර පද්ධති විනාශ කර දෙකඩ කිරීම ය. මේ නිසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ද ජනතාව මුලා කළ ලේඛණවලට පමණක් සීමා වූ සම්මුති තත්ත්වයට පත් කර ඇත.

    මේ නිසා අප අනුර කුමාර දිසානායක ජනපතිවරයාට අවධාරණය කරන්නේ පසුගිය ආණ්ඩු විසින් සිදු කළ ආකාරයට ම නැවතවරක් පාරිසරික යහපාලනය හා නීතියේ ආධිපත්‍යය අහිමි කර වත්මන් හා අනාගත පරපුරේ ස්වාභාවික සම්පත්වල අයිතිය අහිමි කිරීම නතර කිරීමට වහා ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය. එසේ නොමැති වූවහොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට පමණක් සීමා වනු ඇත. එය ජනතාව ගේ හා ජාතික ජන බලවේගයේ ඉරණම ද තීරණය කරනු ඇත.

  • තේ වගාවෙන් වනසන අවසන් වැසි වනාන්තර

    තේ වගාවෙන් වනසන අවසන් වැසි වනාන්තර

    සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලූතින් තේ වගා බිම් ඇති කිරීමට වැසි වනාන්තර සීග‍්‍රයෙන් එළිපෙහෙළි කරමින් තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති ගැටළු මැඩපැවැත්වීමට ජනතාව දැනුම්වත් කිරීම සඳහා අප පෝස්ටර් දෙකක් නිර්මාණය කළෙමු. එපමණක් නොව කෘෂි වන වගාවේ සංකල්ප හා පාරිසරික ගොවිතැනේ සංකල්ප පදනම් කර ගෙන තේ වගා බිම් බහු බෝග වගා බිම් බවට පරිවර්තනය කර තේ ගොවීන් ගේ ආර්ථිකය හා සමාජයීය තත්ත්වය වර්ධනය කිරීම පමණක් නොව ආහාර ස්වෙවරීභාවය තහවුරු කිරීම හා අප ඇතුළු සියලූ ම ජීවීන්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මේ තුළින් උත්සාහ දරු ඇත.

    මේ උත්සාහය සඳහා පදනම සකස් වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප‍්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණ අධ්‍යයනය කළ පසු ව ය. එම සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප‍්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 13% ක් පමණ වේ. එය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි.

    මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7% ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 15 කට පෙර මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට තේ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කර තිබේ.

    මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් වැඩි ම වර්ශාපතනයක් ලැබෙන තෙත් කලාපයේ වර්ෂාව පොළොවට ඇද ගන්නා හා වැසි ජලය රඳවා ගන්නා ජල පෝෂක බිම් අහිමි වීම සහ වැසි වනාන්තර තුළ ජීවත්වන සීමිත ව්‍යාප්තියක් ඇති ඉතා ම දුර්ලභ ජීවී විශේෂවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල වීම සිදු ව තිබේ.

    නමුත් ලංකාවේ ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වන වැසි වනාන්තර තුළ මෙරටට ආවේණික ජීවී විශේෂ අතුරෙන් 90% ක් පමණ ජීවත් වේ. ඊට අමතර ව වඳවීමේ තර්ජනයට දරුණු ලෙස ලක් වී ඇති ජීවී විශේෂ අතුරෙන් 99% ක් ම වාර්තා වන්නේ මෙම වැසි වනාන්තර තුළ ය.

    මෙම වැසි වනාන්තරවල විනාශය වර්ධනය වන්නේ වර්ෂ 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප‍්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප‍්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කිරීමත් සමඟ ය. එතැන් සිට අද වන විට තේ වගාව ක`දුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප‍්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර, උප කඳුකර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප‍්‍රධාන හේ්තුව තේ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලූම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

    වැසි වනාන්තර එළි කරමින් ඇති කරන තේ වගා බිම් හරිත පැහැ කාන්තාර (Green Desert) වැනි ය. එහි ජීවී විවිධත්වය ඉතා ම පහළ අගයක පවතී. තේ වගා බිම්වලට භාවිත කරන අධික කෘෂි රසායනික හේතුවෙන් හා ශාක ස්ථර නොමැති වීමෙන් මෙම වගා බිම් ජීවී විවිධත්වයෙන් අඩු කාන්තාර තත්ත්වයට පරිවර්තනය වේ. මේ නිසා හරිත පැහැයෙන් යුත් තේ වගා බිම් හරිත කාන්තාර ලෙස හැදින්විය හැකි ය.

    මේ නිසා වනාන්තර පද්ධති ආශ්‍රීත ව තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස හුදෙකලා වූ වනාන්තර කුට්ටි ඇති වන අතර එම වනාන්තර කුට්ටි අතර තේ වගා බිම් තුළින් බොහෝ ජීවීන් ගමන් නොකරයි. මේ නිසා ජීවී ගහනයන් වනාන්තර කුට්ටි තුළ හුදෙකලා කිරීමට ද තේ වගා බිම් හේතු වේ.

    මේ සඳහා ප‍්‍රධාන වශයෙන් ම දායක වන්නේ වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට අයත් විශාල තේ වගා බිම් ය. සුළු පරිමාණ තේ වගා බිම් පවත්වාගෙන යන බොහෝ ග‍්‍රාමීය ජනතාව බහු බෝග වගා බිමක් ලෙස තේ වගා බිම් පවත්වා ගෙන යනු ලැබේ. ග‍්‍රාමීය ජනතාව ගේ තේ වගා බිම් තුළ හා ඒ වටා බොහෝ ශාක විශේෂ වගා කරනු ලැබේ. කුරුදු, කෝපි, ගම්මිරිස්, එනසාල්, කරාබුනැටි, පුවක්, පොල්, වල්ලපට්ටා හෙවත් අගාව‍්‍රඞ් වැනි වාණිජමය භෝගවලට අමතර ව කොස්, දෙල්, කරපිංච, ගොරකා, කටුඅනෝදා, කෙසෙල්, දූරියන් වැනි ශාක විශේෂ බොහොමයක් වගා කෙරේ.

    ඊට හේතු ව ග‍්‍රාමීය ජනතාව ගේ කුඩා වගා බිමකින් උපරිම ඵලදායීතාවය ලබා ගැනීමට හා විවිධ ආදායම් මාර්ග විවෘත කර ගැනීමට මෙන් ම ආහාර ස්වෛරීභාවය ඇති කර ගැනීම සඳහා ය. නමුත් තේ වගා බිම් පවත්වා ගෙන යන වතු සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙවැනි වගා බිම් පවත්වා ගෙන යාමට අවශ්‍ය නැත. එපමණක් නොව තේ පර්යේෂණායතනය විසින් නිර්දේශ කරන්නේ ද ඒක බෝග වගාවක් ලෙස තේ වගා බිම් ඇති කිරීම ය.

    මේ නිසා තේ වගා බිම් පාරිසරික ගොවිතැනේ සංකල්ප හා කෘෂි වන වගාවේ සංකල්ප මත පදනම් ව ගොඩනැගීම තුළින් භූමියේ ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් ජීවී පද්ධතියක් බවට පත් කළ හැකි ය. එවිට තේ වගා බිම්වලින් ආදායම් උත්පාදන මාර්ග බොහොමයක් විවෘත වීම, ආහාර අවශ්‍යතාව සැපිරීම, පාංශු ඛාදනය අවම වීම, බාහිර යෙදවුම් සඳහා යන පිරිවැය අවම වීම තුළින් වැඩි ලාබයක් ලබා ගත හැකි වීම, ජල සුරක්ෂිතතාව ඇති වීම, වනාන්තර කුට්ටි ජාල ගත වීම තුළින් වනාන්තර පද්ධති ඇති වීම, කාලගුණික හා දේශගුණික විපර්යාස වලින් ඇති වන බලපෑම් සහ ආපදා තත්ත්වයන් අවම වීම වැනි ප‍්‍රතිලාභ රැසක් ලබා ගත හැකි ය.

    එපමණක් නොව හරිත කාන්තාර තත්ත්වයේ පැවති තේ වගා බිම් ස්වභාවීකරණයට ලක් වීම තුළින් බොහෝ ජීවීන් ගේ පැවැත්ම තහවුරු වීම ද සිදු වනු ඇත. මේ සියලූ ම ප‍්‍රතිලාභ තුළින් එක ම වගා බිමක් තුළ විවිධ ආදායම් උත්පාදන මාර්ග ගොවීන්ට විවර වීම හේතුවෙන් තවදුරටත් වනාන්තර එළි කරමින් සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීම නතර කළ හැකි ය. ඒ සඳහා වන ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට බලපෑම් කළ යුතු ය. ඒ තුළින් තේ වගා බිම්වල වහල් කම්කරු සේවය වෙනුවට සුළු පරිමාණ නිෂ්පාදකයෙක් බිහි කළ යුතු ය.

    සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

    විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

    විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට සමාන අයිතිය හිමි ස්වාභාවික පද්ධතියක් මිස පක්ෂ දේශපාලනික අරමුණු හෝ ජාතිවාදී අරමුණු මත පදනම් වූ වනාන්තර පද්ධතියක් ලෙස සැලකීම පළමු ව අත්හල යුතු ය. එවිට විල්පත්තු වනාන්තර පද්ධතිය මගින් පෝෂණය කරන දිය දහරාවන් කෘෂිකර්මාන්තය ගොඩ නැගීමට ලබා දෙන දායකත්වය, අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට වාසස්ථාන සැපයීම මගින් ගොවි ජනතාව ගේ වගා බිම්වලට ලබා දෙන ආරක්ෂාව, ඊසාන දිග මෝසම් සුළං මගින් රට තුළට රැගෙන එන වළාකුළුවල ජලය පොළොවට ඇඳ ගැනීමේ යාන්ත‍්‍රණය හා එම වැසි ජලය ක‍්‍රමාණුකූලව ර`දවා ගැනීමේ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සහ ඒ තුළින් සමස්ත පරිසර පද්ධතියේ තුළිත යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වන ආකාරය අපට අවබෝධ වනු ඇත.

    නමුත් මේ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා රිශාඞ් බදුර්දීන් ඇතුළු පිරිස විසින් 2010 වසරේ දී විල්පත්තු වනාන්තර පද්ධතියේ තුළිත පැවැත්ම පළමු ව බිඳ දැමීම ආරම්භ කෙරින. ඔවුන් විසින් නාවික හමුදාව මෙහෙයවමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙරළ සීමාවේ හා ඒ ආශ්‍රිතව කිලෝමීටර 38 ක් බැගින් දිගු මාර්ග දෙකක් ඉදි කර විල්පත්තු වන විනාශය ආරම්භ කළේය. ඉන් පසු ව විල්පත්තු උතුරු අභය භූමියේ ජනතාව පදිංචි කෙරින. ඉන් අනතුරු ව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තර ප‍්‍රදේශය මහ පරිමාණයෙන් එළි කර ජනතාව පදිචි කිරීම ආරම්භ කෙරින.

    මේ අතරතුර විල්පත්තු ජාතික වනෝද්‍යානයට නැගෙනහිරින් පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන ඇතුළු වනාන්තර හා වගා බිම් ප‍්‍රදේශයේ අක්කර 15000 ක් පමණ එළිපෙහෙළි කර පහළ මල්වතුඔය වාරි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වේ. මේ සියල්ල ම විල්පත්තු වනාන්තර පද්ධතියේ පැවැත්මට අහිතකර බලපෑම් එල්ල කරන කි‍්‍රයාවලීන් වේ.

    මේ අතුරින් ආරක්ෂිත වනාන්තර විනාශ කර මාර්ග ඉදි කිරීමට හා ජනතාව පදිංචි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එම කි‍්‍රයාවලීන් නතර කර තිබිය දී පසුගිය වසරේ ජූලි මාසයේ දී මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමේ අරමුණ මත විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටළු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් විය. එම සැලැසුම සකස් කර කි‍්‍රයාත්මක කිරීමට පෙරමුණ ගෙන සිටියේ, සිල්වත් සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ විහාරගල විජයකිත්ති හිමි, පුත්තලම දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්රි රහීම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ග‍්‍රාමීය ආර්ථික හිටපු රාජ්‍ය අමාත්‍ය, කේ. කාදර් මස්තාන් ඇතුළු පිරිසකි.

    ඔවුන් ගේ සැලැසුම වූයේ 2010 වසරේ දී නාවික හමුදාව විසින් නීති විරෝධී ව බලහත්කාරයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් කිලෝමීටර 38 ක් විහිදෙන පරිදි සකස් කළ නමුත් අධිකරණය විසින් පොදු භාවිතය සඳහා තහනම් කළ මාර්ගය විවෘත කර ගැනීම සඳහා බලපෑම් කිරීම ය. ඒ සඳහා 2024 ජූලි මස 07 වන ඉරිදා පුද්ගලයන් 300 ක ගෙන් පමණ සමන්විත පිරිසක් ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ව ඇතුළු වී තහනම් කළ මාර්ගය භාවිත කිරීමට සූදානම් විය. නමුත් එම කි‍්‍රයාවලිය අප ගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි විය.

    නමුත් විමතියට කරුණ වන්නේ මේ සියල්ල ඉතා හොඳීන් දන්නා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිවරිය හරිනි අමරසූරිය විසින් නැවත වරක් විල්පත්තු මාර්ගය විවෘත කරන බවට ප‍්‍රකාශ නිකුත් කිරීම ය. ‘‘මොලය ඇති විට බලය නැහැ, බලය ඇති විට මොලය නැහැ’’ යන ජනවහරේ පවතින ප‍්‍රකාශය සිහි ගන්වන ඔවුන් ගේ ප‍්‍රකාශ මගින් පෙනී යන්නේ විල්පත්තු මාර්ග ඉදිකිරීම හා සම්බන්ධ අනෙක් ප‍්‍රශ්න ජාලය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් මොවුන් දෙපොළට ම නොමැති බව ය. වනාන්තර පද්ධති දෙකඩ කරමින් මාර්ග ඉදි කිරීම හේතුවෙන් ඇති වන ජෛව විවිධත්ව හායනය මෙන් ම අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි පාලනය කළ නොහැකි තත්ත්වයන් වර්ධනය වීම මෙන් ම මේ වන විට කි‍්‍රයාත්මක කරන පහළ මල්වතුඔය වාරි ව්‍යාපෘතිය හේතුවෙන් වාසස්ථාන අහිමිවන අලි – ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට වාසස්ථාන සුරක්ෂිත කිරීම සදහා විල්පත්තු වනාන්තර පද්ධතිය සුරක්ෂිත කර අලි - මිනිස් ගැටුම මෙන් ම වගා බිම්වලට වන සතුන්ගෙන් වන හානි අවම කිරීම සදහා උපායමාර්ග සකස් කිරීම වෙනුවට එම තත්ත්වයන් තවත් සංකීර්ණ මට්ටමකට වර්ධනය වන තීන්දු තීරණ ගැනීම යනු ඉතා ම අමනෝඥ කි‍්‍රයාවකි.

    විල්පත්තුව තුළින් මාර්ගයක් අවශ්‍ය ද?

    අධිකරණය විසින් විල්පත්තුව හරහා අලූතින් ඉදි කරන ලද මාර්ගය භාවිත කිරීම තහනම් කර ඇත්තේ නීති විරෝධී ව ඉදි කරන ලද මාර්ගයක් වීම හා ඒ තුළින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පැවැත්මට හානි කර බලපෑම් ඇති විය හැකි බව ස`දහන් කරමිනි. මෙම අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්, අධිකරණය හෑල්ලූවට ලක් කරමින්, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිට හා අගමැතිවරියට කටයුතු කළ නොහැක.

    විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු ප‍්‍රදේශයේ නාවික හමුදාව විසින් මරිච්චික්කඞ්ඩි, කරඩික්කලිි හා මොල්ලිකුලම් නම් ගම්මානවල පාරම්පරික ව බුක්තිවිදි ජනාවාස, වගා බිම් හා වැව් බලහත්කාරයෙන් අත්පත් කර ගෙත ක`දවුරු හා හෝටල් පවත්වාගෙන යාම නිසා එම ගම්මානවල ජනතාව අවතැන් ව සිටී. මෙය පදනම් කර ගෙන රිශාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ආරු වනාන්තරය නැතහොත් වර්තමානයේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය විනාශ කර ජනතාව පදිංචි කිරීම සිදු කෙරින. නමුත් නාවික හමුදාව විසින් අවතැන් කළ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වනාන්තර පද්ධති විනාශ කිරීම නතර කර එම ජනතාව ගේ පාරම්පරික භූමිය නැවත එම ජනතාවට ලබා දීමට බලපෑම් නොකර මේ ආකාරයෙන් වනෝද්‍යානයට හානි කර බලපෑම් ඇති වන නීති විරෝධී කි‍්‍රයා සිදු කිරීමට වගකිවයුතු දේශපාලඥයන් කටයුතු කිරීම ඉතා ම ගැටළු සහගත ය. එයින් පෙනී යන්නේ ඔවුන් ගේ උත්සාහය වී ඇත්තේ අයිතිවාසිකම් අහිමි වූ ජනතාව ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම නොව පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ලංකාවේ පැරණිත ම හා සුවිශේෂී ම ජාතික වනෝද්‍යානයක් හා ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සාර් තෙත් බිමක් ලෙස ද ප‍්‍රකාශයට පත් කර ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය විනාශ කිරීමට සැලැසුම් සකස් කිරීම ය.

    සත්‍ය වශයෙන් ම විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් මාර්ගයක් සකස් කිරීම අත්‍යවශ්‍ය ද යන්න පළමු ව විමසා බැලිය යුතු ය. පුත්තලම සිට මන්නාරමට විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් සකස් කර ඇති මාර්ගයේ මුළු දුර කිලෝමීටර 120 කි. එම මාර්ගය පුත්තලම, එළුවන්කුලම, මොල්ලිකුලම, සිලාවතුර හරහා මන්නාරම දක්වා විහි දී ඇත. දැනට භාවිත වන පුත්තලම සිට මන්නාරම දක්වා වන මාර්ගය නොච්චියාගම, විලච්චිය, සිලාවතුර හරහා මන්නාරම දක්වා විහි දී ඇත. එහි දිග කිලෝමීටර 150 කි. කිලෝමීටර 30 ක වැඩි වන දුර ප‍්‍රමාණය වෙනුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දෙකඩ කර විනාශ කිරීම යුක්ති සාධාරණ ද යන්න සිතා බැලිය යුතු ය.

    විල්පත්තුවේ නීති විරෝධී මාර්ග ඉදි කිරීමේ ඉතිහාසය

    ඈත අතීතයේ සිට ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිළිබඳ ව දෙස් විදෙස් සංරක්ෂණවේදීන්, සිංහරාජ අඩවිය මෙන් ම මහත් අභිමානයකින් යුතු ව කතා කළේ ය. එ අන් කිසිවක් නිසා නොව ලාංකීය ඉතිහාසයේ අක්මුල් සැඟවගත්, වන ජීවීන්ගෙන් පරිපූර්ණ වියළි කලාපීය පරිසර පද්ධති සංකීර්ණයක් වූ නිසා ය. වසර තිහක කාලයක් පැවති රුදුරු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය තුරන් වීමත් සමඟ ම මෙම වනෝද්‍යානය තව දුරටත් දෙස් විදෙස් වන සත්ත්ව ලෝලීන් ගේ අවදානයට යොමු වනු ඇතැයි අප විශ්වාස කළෙමු. නමුත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා යැයි සඳහන් කරමින් 2010 වසරේ දී විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා වනාන්තර, විල්ලූ හා පුරාවස්තු පිරි භූමි ප‍්‍රදේශ ගොඩ කරමින් හා කැණීම් කරමින් මාර්ග දෙකක් ඉදි කෙරින. මෙම මාර්ග දෙක ම ඉදි කෙරුනේ පරිසර නීති උල්ලංගනය කරමින් නාවික හමුදාව විසිනි. එ සඳහා අවශ්‍ය මූලික ක‍්‍රියාමාර්ග ගෙන ඇත්තේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙනි.

    පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පරිසර නීති, රාජ්‍ය අංශය විසින් ම මෙලෙස අමු අමුවේ උල්ලංගනය කරද්දී වනජීවීන්ට සිදු වූයේ අසරණව බලා සිටීම පමණි. එවකට පැවති ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිසක ගේ අවශ්‍යතාව මත නාවික හමුදාවෙන් සිදු කළ නීති විරෝධී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ව විල්පත්තු වනාන්තර පද්ධතියට බලපෑම් එල්ල වන නීති විරෝධී කි‍්‍රයා අඛණ්ඩ ව වර්ධනය විය. වර්තමානයේ නීති විරෝධී ව භාවිත කිරීමට ඉල්ලීම් කරන්නේ ද නාවික හමුදාව විසින් ඉදි කළ මෙම නීති විරෝධී මාර්ග යයි.

    පාලන් තුනකින් සමන්විත ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා ඉදි කළ, සාවද්‍ය ලෙස පරණ මන්නාරම මාර්ගය යැයි සඳහන් කළ මාර්ගයේ දිග වනෝද්‍යානය තුළ දී පමණක් කිලෝමීටර 35 කි. මෙම මාර්ගය එළුවන්කුලම ප‍්‍රදේශයේ කලා ඔයෙන් (විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භවන අතර උප්පුආරු (මෝදරගම් ආරු), පූකුලම් ප‍්‍රදේශය දක්වා (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම) විහිදේ. කලා ඔයේ සිට කරුවලකුඩා, පොම්පරිප්පු, පෙරිය ඔප්පුවිල්ලූ, පෙරිය විල්ලූ, සින්න ඔප්පුවිල්ලූ, මොල්ලිකුලම, මයිල විල්ලූ, කාලි විල්ලූ, පූකුලම් හරහා මෝදරගම්ආරු දක්වා ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය ඉදි කර ඇත. මෙම මාර්ගයේ සිට වනාන්තරය තුළට තවත් මාර්ග ජාලයක් ඉදි කර තිබුණි. මේ සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විල්ලූ ඉතා විශාල ප‍්‍රමාණයක් වැනසීම සිදු කර තිබේ. වනෝද්‍යානය තුළ තැනින් තැන වනාන්තර හා විල්ලූ පරිසර වල විශාලවල වල් හාරා මාර්ගය සැකසීමට පස් ලබා ගැනීම ද සිදු කෙරින. පූකුලම් ප‍්‍රදේශයේ ජාතික වනෝද්‍යානය තුළ අක්කර 8 කට වඩා වැඩි ප‍්‍රදේශයක වනාන්තර එළි කර පස් කඳු කපා, විශාල වලවල් හාරා මාර්ගය ඉදිකිරීමට පස් ලබා ගැනුනි. මෙම ප‍්‍රදේශයේ කොටියා හෙවත් දිවියන් ගැවසුණු බවට සාධක පවා අප ගේ නිරීක්ෂණයන්ට ලක් විය. පස් ලබා ගැනීමට කැණීම් කළ මෙම විශාල වලවල් අලි – ඇතුන් ගේ මර උගුල් බවට පත් විය.

    සාවද්‍ය ලෙස පරණ මාර්ගය හා අලූත් මාර්ගය එකක් යැයි සඳහන් කිරීම

    අලූතින් ඉදි කළ මෙම මාර්ගය සමහරුන් හඳුන්වන්නේ පරණ මන්නාරම මාර්ගය ලෙස ය. තවත් අවස්ථාවක ්32 මාර්ගය ලෙස ද හැ`දින් විය. 2010 හා 2011 වසරවල දී මෙම මාර්ගයේ තැනින් තැන ඊ379 මාර්ගය ලෙස සඳහන් කළ පුවරු දක්නට ලැබුණි. නමුත් මේ සියල්ල සාවද්‍ය ය. පරණ මන්නාරම මාර්ගය ලෙස ඈත ඉතිහාසයේ දී සඳහන් වූ කරත්ත පාරක් විල්පත්තුව හරහා විහි දී තිබී ඇත. නමුත් මෙම මාර්ගය බොහෝ කලක සිට පොදු ජනතාව ගේ භාවිතයෙන් ඉවත් වී ඇති අතර එය ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කරන විට ජාතික වනෝද්‍යානයට අයත් ව තිබේ. නමුත් මෙම මාර්ගය බහුල ව ජනතාව විසින් භාවිතයට ගත් මාර්ගයක් ලෙස පැවත නැත. ඊට හේතුව මෙම කරත්ත මාර්ගය කිලෝමීටර 40 ක් පමණ වනාන්තරය තුළින් ව්‍යාප්ත ව පැවතීමයිි. ඉතිහාසගත කරුණු විශ්ලේෂණාත්මක ව විමසා බැලීමේ දී පෙනී යන්නේ ඉතා සුළු පිරිසක් පමණක් මෙම මාර්ගය ඈත ඉතිහාසය තුළ ඉදහිට භාවිතයට ගෙන ඇති බවකි. නමුත් දැනට අළුතින් ඉදි කර ඇත්තේ මේ මාර්ගය ලෙස සාවද්‍යව සඳහන් කරමින් වෙනත් අළුත් ම මාර්ගයකි. මෙම මාර්ගය පිළිබඳ ව නිවැරදි තතු මාර්ග සංවර්ධන අධිකාරියේ ද සඳහන් ව නොමැත. එසේ තිබිය දී වැරදි කරුණු ගෙනහැර දක්වමින් අන්තවාදී පිරිස් ඉදිරි යටි අරමුණකින් යුතු ව විල්පත්තුව දෙකඩ කරමින්, වනජීවී වාසස්ථාන වනසමින් මෙම මාර්ගය ඉදි කිරීම සාධාරනීකරණය කෙරිනි.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා පුරාවස්තු වනසමින් පරිසර නීති උල්ලංගනය කරමින් සිදු කළ නව මාර්ග ඉදි කිරීම් කටයුතු එතෙකින් නතර නොවුනි. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරම සිට පුත්තලම දක්වා සම්බන්ධතාවය ඇති කිරීමට තවත් අළුතින් මාර්ගයක් ඉදි කිරීම ආරම්භ විය. මෙම මාර්ගය හා මුහුදු වෙරළ අතර කලාපය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට සුදානම් විය. ඒ සඳහා සියලූ සැලසුම් සකස් කර අවසන් ව තිබුණි. ඒ වන විට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් එම ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු ඇරඹීමට ආයෝජකයන්ට ද ආරාධනා කර තිබුණි. ඒ අනුව හොර රහසේ මාර්ග ඉදි කරනු ලැබුවා සේම සංචාරක හෝටල් ඉදි කිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට සූදානම් විය.

    වෙරළබඩ මාර්ගය ඉදි කිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරයේ ව්‍යාප්ත ව ඇති වැලි කඳු, කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, වෙරළබඩ පරිසර පද්ධති සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විශාල භූමි ප‍්‍රදේශ ඩෝසර් යන්ත‍්‍ර මගින් සම්පූර්ණයෙන් ම විනාශ කර දමා තිබුණි. කිලෝමීටර 40 ක් පමණ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාප්ත ව ඇති මෙම වෙරළබඩ මාර්ගය සැකසීමට මීටර 70 කට වඩා පළලින් යුත් විශාල වනාන්තර තීරයක් විනාශ කෙරින. විජය රජු ගොඩබට තම්බපණ්ණිය, මහා ශිලා යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනා බිම් ප‍්‍රදේශ මෙම දැවැන්ත මාර්ගය ඉදි කිරීම සඳහා ඩෝසර් යන්ත‍්‍ර ආධාරයෙන් සම්පූර්ණයෙන් ම විනාශ කර දැමුණි. මේ හේතුවෙන් සිදු වන දැවැන්ත විනාශය අවබෝධ කර නොගත් පුද්ගලයන් පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාවය ඇති කිරීමට කෙටි ම මාර්ගය ලෙසත් සංචාරක කර්මාන්තය වෙරළ තීරයේ ව්‍යාප්ත කිරීම සඳහාත් වන ඉදිරි දැක්මකින් යුක්තව මෙය සාධාරනීකරණය කෙරින. ඊනියා සංවර්ධනයේ නාමයෙන් මෙසේ සාධාරනීකරණය කරන්නේ ලෝකයේ දියුණු ශිෂ්ඨාචාරයක අක්මුල් ජගත් ප‍්‍රජාව වෙත ගෙන යාමට ඇති එක ම සාධක සහිත භූමියක් බව ඔවුන් අවබෝධ කර ගෙන නොතිබුණි.

    2010 වසරේ දී ආරම්භ කළ විල්පත්තු වන විනාශය හා නීති විරෝධී ක‍්‍රියා මින් නොනැවතුනි. 2014 වසරේ දී වනෝද්‍යානය තුළ පූකුලම් හා මෝදරගංආරු හරහා ඉදි කළ මොල්ලිකුලම් පාලම අතර සීමාවේ කිලෝමීටරයක් පමණ දිගින් හා කිලෝමීටර 5 ක පමණ පළලින් යුත් විශාල වනාන්තර ප‍්‍රදේශයක් නාවික හමුදාව විසින් කම්බි කණු යොදා වෙන් කෙරින. ඊට අමතර ව ඒ හා සම්බන්ධ ව පවතින ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි අක්කර 1000 කට වැඩි විශාලත්වයකින් යුත් වනාන්තර ප‍්‍රදේශයක් වෙරළ සීමාව ද ඇතුළත්වන පරිදි වෙන් කර තිබූ භූමියට අයත් විය. මේ සම්පූර්ණ වනාන්තර ප‍්‍රදේශය ආවරණය වන ලෙස පස් බැම්මක් ඉදි කර එම භූමිය තුළ දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරින. මෙම ප‍්‍රදේශය බහුල වශයෙන් අලි ගැවසුම් ප‍්‍රදේශයකි. මෙම වෙන් කළ වනාන්තරය කොටස්වලට බෙදී වෙන් වන ආකාරයට මාර්ග ජාලයක් සකස් කර තිබුණි. මෙම මාර්ග පද්ධතියේ සම්පූර්ණ දිග කිලෝමීටර 3 ක් පමණ වූ අතර පළල මීටර 10 – 15 අතර විය. එම සම්පූර්ණ ප‍්‍රදේශයේ ම වනාන්තර, ඩෝසර් යන්ත‍්‍ර භාවිතයෙන් එළි කර තිබුණි. තවත් ස්ථානයක අක්කර 3 ක පමණ වනාන්තරය ප‍්‍රදේශයක් පස් ලබා ගැනීම සඳහා එළි පෙහෙළි කර කැණීම් කෙරින. මෙම ප‍්‍රදේශයේ ජීවත් වූ නිජබිම් අහිමි වූ අලි – ඇතුන් සකස් කළ මාර්ග දිගේ ගමන් කර ඇති බවට සළකුණු ප‍්‍රදේශය පුරා ම දැක ගත හැකි විය. මෙම නීති විරෝධී කි‍්‍රයා එම කාල වකවානුවේ අනාවරණය කිරීමත් සමඟ නතර කිරීමට හැකි විය.

    වනාන්තර කුට්ටි වීම හා මාර්ග අනතුරු හේතුවෙන් වන සතුන් දැඩි තර්ජනයක

    නීති විරෝධී මාර්ග සකස් කිරීම සඳහා අක‍්‍රමවත් පස් කැණීම් හා මාර්ගයේ පස් පිරවීම් හේතුවෙන් වර්ෂා කාලයේ දී ඒ ආශ‍්‍රිත ව පිහිටි විල්ලූමය තෙත් බිම් සියල්ල ගොඩ වීමට ලක් විය. එපමණක් නොව වනෝද්‍යානය කොටස් වලට වෙන් වන ලෙස සකස් කළ මාර්ග හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බටහිර කොටසේ වනජීවී වාසස්ථාන සම්පූර්ණයෙන් ම කුට්ටිකරණය වූහ. ඉන් සිදු වූ ජෛව විවිධත්ව හානිය සුළු පටු නොවුනි. 2010 වසරේ ජනවාරි මස 24 වන දින මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම වාහන ගමනා ගමනය ඉතා අධික විය. එ් දේශීය සංචාරකයන් ගේ පැමිණීම නිසා ය. මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සත්ත්ව ප‍්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වීම සිදු විය. අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය විය. කොටින් ගේ ගොදුරු බිම් ඛණ්ඩනය වීම හේතුවෙන් එම සතුන් ගේ ගහණ ඝනත්වයට දැඩි බලපෑම් එල්ල විය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සත්ත්ව ප‍්‍රජාව අධික වී තිබුණි. මෙම මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමෙන් පසුව මාර්ග අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති සත්ත්ව විශේෂ ගණන අධික බව වාර්තා වුනි. මාර්ගය විවෘත කිරීමෙන් පසු ගෙවීගිය මාස කිහිපයක කාලය තුළ මුවන්, වල් ඌරන් හා වලසුන් වාහනවලට හසු වී මිය ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමකින් හෝ තොරව වල දැමීම් සිදු විය. මීට අමතර ව කුඩා සත්ත්ව විශේෂ බොහොමයක් ම නිරන්තරයෙන් වාහන අනතුරුවලට ලක් වීමෙන් මිය යාම සිදු වුනි. මේවා වනජීවීන් වෙනුවෙන් වෙන් කළ වනජීවී වාසස්ථානයක් තුළ සිදු නොවිය යුත්තකි.

    වනෝද්‍යානයට ඇතුළු වූ පිරිස් නීති වීරෝධී ක‍්‍රියා රැසක

    ජාතික වනෝද්‍යානය තුළ අළුතින් ඉදි කළ මාර්ගය භාවිතය තහනම් කිරීමට ප‍්‍රථම එය කෙටි කාල සීමාවක් භාවිත කළ ජනතාව විසින් වනෝද්‍යානයේ ගස්වැල්වලට හානි සිදු කෙරින. පලූ ශාකවල ඵල හටගන්නා කාලයේ දී පලූ ගෙඩි කැඞීම සඳහා ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය භාවිත කරන පිරිස් පලූ ශාකවල අතු කැපීම සිදු කෙරින. ඒ සඳහා විවිධ හානි කර ක‍්‍රම ද භාවිත කරනු ලැබුණි. ගස්වලට නැග පලූ අතුවල ලණු හෝ කඹ ගැට ගසා අනෙක් කෙළවර වාහනවල ගැට ගසා ඇඳීමෙන් පලූ අතු කැඞීම සිදු විය. එවිට පලූ ගස්වල විශාල අතු පවා කැඞීම සිදු වූ ආකාරය නිරීක්ෂණය විය. එසේ කඩා දමා තිබූ අතුවල ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන වර්ණ ප‍්‍රභේද වැඩි ම ගණනක් සහිත රාස්සන (Vanda tessellata) උඩවැඩියා විශේෂය බහුල ව තිබෙනු දැක ගත හැකි විය. මීට අමතර ව ජාතික වනෝද්‍යානය තුළ සකස් කර ඇති මාර්ගවල මිනිසුන් අනවසරින් ඇතුළු වීම ද සිදු විය. ඒ හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළ වෙනත් අනවසර ක‍්‍රියා ද සිදු වුනි. මෙවන් හානි කර ක‍්‍රියා ජාතික වනෝද්‍යානය තුළ සිදු වූයේ අනවසරින් වනෝද්‍යානය තුළ මාර්ග ඉදි කර ජනතාවට ඇතුළු වීමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දීම හේතුවෙනි.

    මේ ආකාරයෙන් වනෝද්‍යානය තුළ මාර්ගය භාවිතය හේතුවෙන් තවත් හානි කර කි‍්‍රයා රැුසක් දැකගන්නට ලැබුණි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ක‍්‍රියාත්මක ආරක්ෂක අංශවලට අයත් නිලධාරීන් ගේ වාහනවලින් දඩමස් ප‍්‍රවාහනය කර ඒවා කොන්ඩච්චිකුඩා ප‍්‍රදේශයේ වෙළඳසැලක තිබිය දී හමු විය. මෙය අප ඉතා වගකීමෙන් යුතු ව ලියා තබන අතර ඒ පිළිබඳ ව සාක්ෂි සහිත ව අප අදාළ අංශ එම කාල වකවානුවේ දී දැනුම්වත් කෙරිනි.

    ජාතික වනෝද්‍යානය තුළට ආක‍්‍රමණික ශාක ව්‍යාප්ත වීම

    අළුතින් ඉදි කළ මාර්ග හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළට ආක‍්‍රමණික ශාක ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් ඇති විය. වනෝද්‍යානය මැදින් සකස් කළ මාර්ගයේ ජාතික වනෝද්‍යානයෙන් පිටත ප‍්‍රදේශ නිරීක්ෂණය කළ අවස්ථාවේ දී අපට පෙනී ගියේ ගිනි තණ (Megathyrsus maximum) හා ගඳපාන (Lantana camara) යන දැඩි ආක‍්‍රමණික ශාක විශේෂ ව්‍යාප්ත ව ඇති බවයි. මෙම ශාකවල බීජ වාහනවල රෝදවල තැවරී ජාතික වනෝද්‍යානය තුළට ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. එසේ ව්‍යාප්ත වුවහොත් වනෝද්‍යානයේ කටු පදුරු සහිත ලදු කැලෑ බිම් ගඳපාන ශාකයේ ආක‍්‍රමණයටත් විල්ලූ පරිසර පද්ධති ගිනිතණ ශාකයේ ආක‍්‍රමණයටත් ලක් විය හැකි ය.

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ, විශේෂයෙන් ම පුත්තලම සිට එළුවන්කුලම දක්වා ප‍්‍රදේශයේ වෙරළාශ‍්‍රිත පරිසර පද්ධතිවලට දැඩි තර්ජන එල්ල කරන ආක‍්‍රමණික ශාකයක් වන කලපු අන්දර (Prosopis juliflora) ශාකය ව්‍යාප්ත ව තිබේ. මෙම ශාකය විල්පත්තුව ජාතික වනේද්‍යානයේ වෙරළබඩ තීරය දිගේ ඉදි කර ඇති මාර්ගය ඔස්සේ ජාතික වනෝද්‍යානය තුළ වෙරළබඩ පරිසර පද්ධතිවලට ව්‍යාප්ත විය හැකි ය. එසේ ව්‍යාප්ත වුවහොත් වෙරළබඩ පරිසර පද්ධති දැඩි තර්ජනයකට ලක් විය හැකි බව අප විසින් එම කාල සීමාවේ දී අවධාරණය කෙරින. වර්තමානය වන විට අප ස`දහන් කළ ආකාරයෙන් ම කෙටි කාලයක් මෙම මාර්ගය විවෘත කර තැබීම හේතුවෙන් ජාතික වනෝද්‍යානය තුළ මෙම මාර්ග ආශි‍්‍රත ව පිහිටි පරිසර පද්ධති තුළ ගිනි තණ ශාකය ව්‍යාප්ත වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.

    ලූණුගම්වෙහෙර, බුන්දල, උඩවලව වැනි ජාතික වනෝද්‍යානවල ව්‍යාප්ත ව ඇති ආක‍්‍රමණික ශාකවන හඳපාන, ගිනිතණ හා කලපු අන්දර ශාක ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැරීමට සිදු ව තිබේ. ඒ ඔස්සේ ඇති වී තිබෙන අනෙක් තර්ජන නම් මෙම ජාතික වනෝද්‍යානවල ජීවත්වන සතුන් ගේ ගොදුරු බිම් හා වසම් ප‍්‍රදේශ සීමා වීම හේතුවෙන් එම සතුන් ගේ ගහනයන් දැඩි ලෙස තර්ජනයට ලක් ව තිබීමයි. මීට අමතර ව එම ජාතික වනෝද්‍යාන ආශ‍්‍රිත ප‍්‍රදේශවල අලි – මිනිස් ගැටුම දැඩි ලෙස වර්ධනය වීමට ද හේතු වී ඇත්තේ ජාතික වනෝද්‍යානය තුළ ආක‍්‍රමණික ශාක ව්‍යාප්තිය හේතුවෙන් සතුන් ගේ ආහාර බිම් සීමා වීම ය. මෙම තත්ත්වයට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද අනාගතයේ දී ගොදුරු කිරීමට මෙම මාර්ගය විවෘත කිරීම හේතු විය හැකි ය.

    වනෝද්‍යානයේ ජෛව සම්පත් හා පුරා වස්තු අනතුරේ

    විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප‍්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත‍්‍රික්ක දෙකට අයත් එහි භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 5 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප‍්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතර ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තවත් වනාන්තර ගණනාවක් හා සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය, මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය හා වීරක්කුලිචෝලේ වන රක්ෂිතය වැනි රක්ෂිත වනාන්තර ය. මෙසේ විල්පත්තුව හා සම්බන්ධ ව ගොඩ නැගී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැුකවරණය හා කලා ඔය, මෝදරගංආරු, කල් ආරු වැනි ගංඟාවන් ගේ ජල පෝෂක ප‍්‍රදේශවලට ලැබුණු රැකවරණය මෙම මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් බලපෑමට ලක් වී ඇත.

    ලෝක සංරක්ෂණ සංගමය මගින් 2006 වසරේ දී සකස් කළ Resource Inventory of Wilpattu National Park නම් වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංඟාශ‍්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ. සමනලූන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ විල්පත්තුවෙන් වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.

    විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන් ගේ ජල පෝෂක ප‍්‍රදේශයක් පමණක් නොව පුරා විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත භූමියකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැුදී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය.

    සම්පත් ගුණතිලක විසින් 2006 වසරේ දී සකස් කළ Archaeologically important sites in Wilpattu National Park නම් වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප‍්‍රදේශ 68 ක් පමණ හඳුනාගෙන තිබේ. ඒ අතර පොසිල සහිත ප‍්‍රදේශ, ප‍්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප‍්‍රදේශයේ හමුවන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3ඃ ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලූ මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමුවන බිම් ය. මෙම අක‍්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැුසක් අහිමි විය. මේ සියල්ල නැවත අනතුරට ලක් වන ආකාරයෙන් තීන්දු තීරණ ගැනීමට හෝ නීති විරෝධී කි‍්‍රයා වනෝද්‍යානය තුළ සිදු කිරීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාව ලබා දිය යුතු නැත.

    ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව අභියෝගයට ලක් කිරීම

    ජනාධිපතිවරයා හා අගමැතිවරිය විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය විවෘත කිරීමට පෙළැඹවීමෙන් සිදු කරන්නේ 2022 අංක 07 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කිරීමට පෙළැඹවීම් ඇති කිරීමය. මෙම පනතේ 5(1) උප වගන්තියට අනුව අවසර පත‍්‍රයක බලය යටතේ හැර ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම හා රැදී සිටීම නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී කි‍්‍රයාවක නිරත වන පුද්ගලයකු පනතේ 67ආ.(1) උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය. එය සංඥේය වරදකි. පනතේ 63 වන වගන්තියට අනුව එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසු ව වැරදිකරුවකු කරනු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා පනස් දහසකට නොවැඩි දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඩුවමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව මෙවන් වරදක් සිදු කිරීම ස`දහා ආධාර හෝ අනුබල ලබා දෙන පුද්ගලයකු ද පනතේ 59 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගත හැකි අතර වැරදිකරුවකු කරනු ලැබූ විට මෙම දණ්ඩනයන්ට ම යටත් කළ හැකි ය.

    මෙම මාර්ගය විවෘත කර ගැනීමේ අරමුණින් ජාතික වනෝද්‍යානයට අනවසරින් ඇතුළු වී නීති විරෝධී ලෙස කි‍්‍රයා කරන ඕනෑ ම පුද්ගලයකුට එරෙහි ව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත කි‍්‍රයාවේ යෙදවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කළ යුතු හැකි ය. එසේ නොමැති වුවහොත් නීතියේ ආධිපත්‍යය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහය, නීතියේ සමානාත්මතාව යන සියල්ල බි`ද වැටී නීතියේ පාලනය කෙරෙහි සමාජයට ඇති විශ්වාසය අහිමි වී යනු ඇත. එබැවින් එවන් තත්ත්වයක් රට තුළ ඇති නොකරන බවට විශ්වාස කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් සියලූ ජනතාව ගේ බලාපොරොත්තු සියල්ල අහිමි නොකරන ලෙස වත්මන් ආණ්ඩුවේ සියලූ බලධාරීන්ට අවධාරණය කර සිටිමු.