Tag: ගීතාංජලී තෙන්නකෝන්

  • අදින් පස්සෙ හාල් මුට්ටිය හිස් ය

    අදින් පස්සෙ හාල් මුට්ටිය හිස් ය

    අත ගගා ඇහිදිනව ඇහුණ
    _අදින් පස්සෙ
    ___හාල් මුට්ටිය හිස් ය..

    ඇහින්ද ටිකවත් දෙගුණ වී ඉදීයන්
    _ඒ ලිපට පිඹින්නෙ
    ___අම්මගෙ හුස්ම ය..

    ටිකක් වැඩියෙන් රොස් වුනොත් හොඳ ය
    _ඊයෙත් ඇගෙ
    ___කැහැටු බඩ හිස්ව ය..

    ඉවසන්න බැරිම හාමත නෙවෙයි
    _සද්ද නොකරම අඬන
    __අම්මගෙ ඇස් ය..

     

  • සමහර ඡායාරූප තියෙනව වචන දහස් ගණනින් කියන්න තියෙන දේවල් කියවෙන.

    සමහර ඡායාරූප තියෙනව වචන දහස් ගණනින් කියන්න තියෙන දේවල් කියවෙන.

    හැමදේටම මිලක් තියෙන බව නොදන්න මේ හිත් එයාල ආස පුංචි පුංචි දේවල් ළං කරගන්න බැරුව මොනතරම් අසරණ වෙනව ඇත්ද?

    ඇත්තටම මට මගේ පුංචි කාලෙ මතක් වුණා. මං දාන්න ආසාවෙන් හීන දැකපු ලස්සන සුදු පාට සපත්තු දෙකක් තිබුන . අරන් දීල තිබුනෙ දුඹුරු පාට සපත්තු දෙකක් . දුන්නු දේ බාරගත්ත ඇරෙන්න අපි දැන් ළමයි වගේ යුද්ධ ප්‍රකාශ කරල අවශ්‍ය දේවල් ලබාගත් අයත් නෙවෙයි නිසා ඉස්කෝලෙන් අස් වෙනකොටත් ඒ හීනෙ හීනයක්ම උනා. අම්මවත්, තාත්තවත් තවම දන්නෙත් නෑ මේ ගැන. ඉතිං ඒක හිතේ තියාගෙන හිටපු මම වැරදි එහෙම බැලුවම. නංගිට ළඟදි දවසක කිව්ව. එයාට දුක හිතෙන්න ඇති මට මේ දරුව ගැන හිතුන වගේම .

    ම්ම්ම්.. දැන් මට මුදල් තියෙනව ඒ වගෙ , ඊටත් වඩා ලස්සන සපත්තු දෙකක් ගන්න. ඒත් දැන් ඉස්කෝලෙ යන්න බෑනෙ .

    රුචි අරුචිකම්, අවශ්‍යතා කාලෙන් කාලෙට වෙනස් වෙනව. ඒ ඒ කාලෙට ඒව ලැබෙනවනම් / ලබාගන්නවනම් හොඳයි .

    අපිටත් උත්සාහ කළොත් පුළුවන් පුංචි ඈයින්ගෙ පුංචි පුංචි හීන හැබෑ කරන්න පුළුපුළුවන් විදියට.. නේද ?

     

  • “අම්මි, ඔයා හිනාවෙන්න දන්නෙ නැද්ද ?”

    “අම්මි, ඔයා හිනාවෙන්න දන්නෙ නැද්ද ?”

    “අම්මි, ඔයා හිනාවෙන්න දන්නෙ නැද්ද ?”

    ඒ මීට අවුරුදු ගානකට එහා අපේ දෝණි අහපු ප්‍රශ්නයක්.. මතක හැටියට අවුරුදු 5, 6 ක් ඇති . මමත් නිරුත්තර උනා, මේ කෙල්ල මොනව කියවනව ද මන්ද. ඊටත් ඔක්කොම ඉන්න තැන. කට්ටියම සවුත්තුවට හිනා වුනත් එක්ක. දැන් වුනත් කිසිම එල්ලයක් නැති කටක් ඒක …

    “විකාර ද”

    එහෙම කියල බේරුනට මට මේක අමතක කරන්නම බැරි උනා .

    ” ඇයි මෙයා පැහිච්ච ගෑණියෙක් වගේ මෙහෙම කිව්වෙ? ”

    හිතට වද දෙනව දැන් …

    ආයෙ ආයෙත් හිතනකොට එදිනෙදා ජීවිතේ හැලහැප්පීම් එක්ක එන පීඩනය ඒකට හේතුව වෙන්න ඇති කියල හිතුන. ඇත්තටම එයාල ආසයි අපි හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්නව දකින්න .

    මගේ ජීවිතේ ගෙවුනෙ මේ විදියට…

    උදේ නැඟිටිනව, උයනව, ළමයි දෙන්න ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරනව. කවනව පොවනව, ගේ අස් කරනව, මටත් බත් එකක් බැඳගන්නව, ඔෆිස් යනව, රාජකාරි වැඩ ටික කරනව, ඕෆ් වෙනව, බස්වල තැලිල පොඩිවෙලා ගෙදර එනව, නාල කියල පොඩි දෙන්නගෙ හෝම්වර්ක් කරවනව, ආයෙත් උයනව, කනව, නිදාගන්නව, ඔය අතරෙත් දාහක් වැඩ යෙදෙනව.

    උදේට ආයෙමත් අර ක්‍රියාවලිය කිසිම වෙනසක් නැතුව සිද්ද වෙනව. ඔය තෙහෙට්ටුව හින්දම පොඩිවුන්ටත් සද්දෙ දානව සීමාව පැන්නම. ඒ වෙලාවට හිනා වෙවී බනින්නෙ නෑනෙ මං . අපේ එක්කෙනත් උදව් කරනව පුළුවන් විදියට . ඒ උනත් ගැහැණියකගෙ භූමිකාව කවුරු කොහොම උන්නත් හරි සංකීර්ණයි…

    ඔය කතන්දර මොනව උනත් ඒව පොඩිවුන්ට අදාල නෑ . එයාලට ඕනි දැවටෙන්න, හුරතල් වෙන්න , ඇහුම්කන් දෙනව කියලා දැනෙන්න.

    ඔය සිද්ධිය වෙන කාලෙ ඔෆිස් එකේ අමතර රාජකාරියක් පැවරිල තිබුන ගිණුම් වගයක් සම්බන්ධව . ඉතිං ඇත්තටම සම්පූර්ණ අවධානය යොමු වෙලා තිබුනෙ එතනට… ගෙදර ඉන්න ඇත්තෙ රොබෝ මවක්. එයාල හිනාවෙන්නෙත් නෑ. හිනාවෙන්න දන්නෙත් නෑ . දරුව දකින්න ඇත්තෙ එහෙම .

    ඒ සිදුවීම මට හුඟක් ම දැනුණා . හිතන්න දේවල් හුඟාක් තිබුණා . ඒ වගේම එයා ඒක හිතේ තියාගෙන ඉන්නෙත් නැතුව, එළියට දාපු වචන ටික ගැනත් සතුටුයි . හුඟාක් දරුවො දෙමව්පියන් ගෙ නිහඬතාවය හමුවෙ නිහඬ වෙනව, එහෙම නැත්තං ආවේගශීලි හැසිරීම් පෙන්වනව. සාමාන්‍ය ස්වරූපය වෙනස් වෙනව නොදැනුවත්වම .

    අපි අරන් දෙන සෙල්ලම් බඩු, ඇඳුම් පැළදුම් , වෛවාරන බඩු භාණ්ඩ, එක එක රස කෑම බීම එයාලගෙ මතකයෙන් හරි ඉක්මනින්ම ඈත යාවි.

    ආදරණීය වැළඳ ගැනීම, සියයට සියයක ඇහුම්කන් දීම, අවධානය යොමු කිරීම ජීවිතකාලෙම සෙනෙහසින් නැවත නැවතත් මතකයෙන් ස්පර්ශ කරාවි.

    එයාලගෙ මුළු ලෝකෙම අම්ම, තාත්තා කියන හැඟීම යම් අවධියකින් පස්සෙ වෙනස් වෙන්න ගන්නව, වයසින් මුහුකුරා යනවිට ආදරේ බෙදිල යනව. මේ අවස්ථාවෙදි අපිට මගහැරුණු තැන් ආයෙත් එතනදි හදාගන්න පුළුවන් කමක් නෑ කොහොමත් .

    “අශ්වයා පැන ගියාට පස්සෙ ඉස්තාලෙ වහල පලක් නෑ.”

    අපේ ආච්චිල, සීයල එහෙම කියන්නෙ කට කහනවට නෙවෙයි .

    දරුවන්ට අවශ්‍ය අපේ කාලය මිස වෙන කිසිවක් නෙවේ…

    ඉතිං දෝණියේ, පිළිගන්නව අම්මට ටික දවසකට හිනාවෙන්න අමතක වෙලා තිබිල. සමාවෙන්න …..????

     

  • සතුට නුඹ තුළම ය…

    සතුට නුඹ තුළම ය…

    හිල් වූ පියස්සෙත්
    එබිකම් පානවා හඳ
    පුතේ අර බලාපන්
    ගෙයි බිමේ මැවෙන
    රටාවල අපූරුව…

    ඉඩෝරෙක,
    ඉරිතැලූ බිම සිපගන්න
    කඩාවැටෙන වැහි බිඳිති
    මුහුවෙලා
    දූවිල්ලෙන් එන පුසුඹ..

    දිගට හුස්මක් අරන්
    වින්දෑකි නුඹටත්
    පුතේ, ඒ තමයි
    සොබාදහමට හුරුව…

    සීත පිණි බිඳිති
    තණ පළස මත එළා
    පා පොඩි සිඹීවී
    කිතිකවමින් හිතම
    කම් නැතුවා, නැතුවාට
    නුඹට මිරිවැඩිසඟළ…

    මගෙ පුතු,

    ඕනෙ නෑ
    සුවිසල් මන්දිර, සඳලුතල…
    ලෑලි දොර අස්සෙනුත්
    දැකිය හැකි නොවෙද
    ලස්සනට
    හැඩ කරලා ලෝකය …

  • මහතුනේ නීතිය දක්කන තාලෙ අගෙයි

    මහතුනේ නීතිය දක්කන තාලෙ අගෙයි

    උපන් දා හිට
    හිරවෙලා හිස් වෙන
    ඒ හිත්…

    දරු දුකට හැර
    රැහැන් පටකින්
    වෙළුනට
    අඬන්න දන්නෙ නෑ
    පදම්වුණු
    ඒ ඇස්…

    බාග විට,
    පාර වැරදෙන්නැ’ති
    සිල් පද බිඳෙන්නත් ඇති
    රකින්න ගිහින්
    පොඩිවුන්ගෙ කුස්…

    මහතුනේ,
    නීතිය දක්කන තාලෙ අගෙයි
    තලු මරමින්
    පීඩිතම හිස්…

     

  • මෙයට ද ජීවිතය යැයි පද’රුත් බඳින්නේ….

    මෙයට ද ජීවිතය යැයි පද’රුත් බඳින්නේ….

    වස්සානය,
    නැත හැමකල් වඩින්නේ
    ඒ සමය ….

    මල් පූදිනු ඇති
    විහඟ ගී සවනත
    රැව් පිළිරැව් දෙනු ඇති
    සිත තුටින් පිරෙනු ඇති
    ජීවිතය,
    ජීවත් වන බව දැනෙනු ඇති ..

    සමය අවසන් ව
    ගිම්හානය ද හිම් හිමින්
    වඩිනු ඇති …

    නැත, හිත තුටින්නේ
    විඩාබර බව දැනෙන්නේ
    සිහින දුර ඈත සිට
    සෙමෙන් අත වනන්නේ..

    නමුදු,
    නැත ජීවිතය මියෙන්නේ..

    යළිදු එසමය නිමා වී
    වසන්තයෙ මල් පිපෙන්නේ

     

  • මිහිමවුන් හඬන්නැති.

    මිහිමවුන් හඬන්නැති.

    මනුෂ්‍යත්වයේ විලාපය
    දෝංකාර දී
    හඬ නඟන්නැති
    වැරෙන් ….

    මිහිමවුන් හඬන්නැති
    විලංගු ලූ දෙපය
    මුදන්නට
    තතනමින් …

    අකාලෙක මිලින වූ
    තරුණ මල් අතර
    ඉව කරමි නුඹෙ සුවඳ
    පමණක් ම හෙමින් …

    බැහැ හඳුනන්න….

    නුඹෙ සුසුම් සමඟින්
    ඔවුන්ගේ සුසුමන් ද
    විශ්වයේ මුහු වී
    ගොසින් …