Category: අරගලය2022

  • ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් ජාතික ජන බලවේග ටිල්වින්ට සමානයි 

    ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් ජාතික ජන බලවේග ටිල්වින්ට සමානයි 

    මුළු ලෝකයම හෙලා දකින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  උමතු  වෙනිසියුලා ආක්‍රමණය පිළිබඳව ශ්‍රී ලංකාවේ වර්තමාන රජයට පැහැදිලි ස්ථාවරයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන නිවේදනයෙන් පැහැදිලි වෙනවා . 

    විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයෙන් උපුටා ගැනීම 

    බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරයි. ශ්‍රී ලංකා රජය ඒ බව අවධාරණය කරන්නේ කාට ද

    වැනිසිවුලා ජනතාවගේ කැමැත්ත මත තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑම සිදු කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි . සෘජුවම මේ විවේචනය ඇමරිකාවට එල්ල කළ හැකිව තිබුණද ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳව සෘජු අදහසක් ප්‍රකාශ නොකොට වටේ යෑම තුළ ගම්‍ය වන්නේ ඇමරිකාවට එරෙහිව ඔවුන්ට කිසිදු මතයක් දැරීමට කොන්ද පණ නැති බවයි . ජේ.ආර් , රනිල් ඉක්මවා ගිය ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක අනුර කුමාර දිසානායක සිටින බවට එල්ල වී තිබුණු විවේචනය සත්‍යයක් බව සනාථ කිරීමට මේ හැසිරීම නිදසුන් සපයා තිබේ .

    එපමණක් ද නොව බලය ලබාගන්නා මොහොත වන තෙක්ම අධිරාජ්‍යවාදයක් පිළිබඳව කතා කරපු ජනතාව විමුක්ති පෙරමුණට මෙරිකානු බලහත්කාරී ආක්‍රමණයට එරෙහිව ඍජුව ප්‍රකාශයක් නිකුත් කිරීමට තරම් කොන්දක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ  ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනයෙන් ගම්‍ය වෙනවා .

    පැලවත්තේ සිටින තෙල්වින් ඇමරිකානු ආක්‍රමණයට සෘජු ස්ථාවරයක් නොදරන අතර ලෝකයේ වෙනත් රටවල සිටින තම අනුගාමිකයන්ට අධිරාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට ගිහින් තම පක්ෂයේ බැනරක දමන්නට අනුබල දී ඇති බව නම් පෙනේ .

    ලංකාවේ දී කියන්න බැරි  අධිරාජ්‍ය විරෝධී කතාව  විදෙස් උද්ඝෝෂණ  ළඟ සිට ගත් චායාරූප යටින් ලියන්නේ දෙබිඩි පිළිවෙතේ නිරුවත හෙළිදරව් කරමිනි .

    ඇමරිකානු ආක්‍රමණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහ ශ්‍රී ලංකා රජයේ නිවේදන 

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

    වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය

    වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටී.

    බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

    වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

    මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයත්න මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව, යහ පැවැත්ම සහ ස්වෛරී අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින්, සාමකාමී විසඳුමක් ළඟා කර ගැනීම උදෙසා කටයුතු කිරීම වැදගත් වේ.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කොළඹ

    2026 ජනවාරි 05 වැනි දින

    ——————————————————————

    ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) – ශ්‍රී ලංකාව

    මාධ්‍ය නිවේදනය

    ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩා වැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම අපි තරයේ හෙළා දකිමු.

    ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවටය. එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැත.

    නූතන සමාජයත්, රාජ්‍ය පාලනයත්, වඩාත් ශිෂ්ට සම්පන්න විය යුතු බව පොදු පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූල ධර්මයන්ය. කුමන හේතුවක් මත හෝ චීවා උල්ලංඝනය කරමින්, රටවලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත.

    එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාරී හමුදාමය මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව අපි දැඩිව විශ්වාස කරමු.

    එ බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

    දේශපාලන මණ්ඩලය ජනතා විමුක්ති පෙරමුණ

    2026.01.04

  • ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ‘යුක්තියට ඇති බාධාව’ක්!

    ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ‘යුක්තියට ඇති බාධාව’ක්!

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්

    ලංකාවේ යුද අපරාධ හා වින්දිතයන්ට අදාළ යුක්තිය ඉටු කිරීමේදී ඇති ප්‍රධාන බාධාවක් වන්නේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ස්වාධීන නඩු පවරන අධිකාරියක් සහතික කිරීම සඳහා නීතිපති කාර්යාලය තුළ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ඉටු නොවීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ප්‍රකාශ කරයි. සැප්තැම්බර් මාසයේ UNHRC හි 60 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සඳහන් කර ඇති නිරීක්ෂණ සහිතඑක්සත්ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ එම කොමිසමේ වෙබ් අඩවියේ පළ කර ඇත. එහිදී නීතිපති කාර්යාලය යුක්තියට ඇති ප්‍රධාන බාධාවක් ලෙස විස්තර කර ඇති අතර යුද අපරාධ චෝදනා සම්බන්ධ ස්වාධීන නඩු පවරන අධිකාරියක අවශ්‍යතාවය අවධාරණය කරයි.

    කෙසේ වෙතත්, වත්මන් NPP ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ස්වාධීනව “මහජන නඩු පැවරීමේ අධ්‍යක්ෂ මණ්ඩලයක්”(Directorate of Public Prosecution) හඳුන්වා දීමට පොරොන්දු දුන් බව මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාවේ පෙන්වා දෙයි.

    “නඩු පැවරීමේ අභිමතය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලබා දී ඇති පුළුල් බලය, තහවුරු නොකළ සාක්ෂි මත ක්‍රියා කිරීමට එම දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දක්වන අකමැත්ත, විමර්ශන කටයුතු සම්බන්ධ පොලිසිය සතු සීමිත ධාරිතාව, සුදුසුකම් ලත් අධිකරණ වෛද්‍ය විශේෂඥයින් නොමැතිකම සහ දෙමළ භාෂාව කතා කරන නිලධාරීන්ගේ හිඟය, වින්දිතයින්ට යුක්තිය ලබා ගැනීමට ඇති හැකියාවට බාධා කරමින් වරදකරුවන්ට දඬුවම් නොලැබීමේ තත්වයක් දිගටම පවත්වාගෙන යයි” යනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාව පවසයි.
    මානව හිමිකම් මහ කොමසාරිස් ටර්ක් මෙම වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී නීතිපති පාරින්ද රණසිංහ හමු විය.

    මේ අතර, නීතිපති දෙපාර්තමේන්තු විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගෙ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර කෙටුම්පත් කරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන අතර, එය මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාවේ නිරීක්ෂණවලට සැප්තැම්බර් මාසයේ UNHRC හි 60 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිචාරයේ කොටසක් වනු ඇත.

    NPP ආණ්ඩුව විසින් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් (Public Prosecuter Office) පිහිටුවීම අධ්‍යයනය කිරීම, මූලික යෝජනා සකස් කිරීම සහ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ විශේෂඥ කමිටුවක් පත්කර ඇති අතර කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව පිළිබඳව මහජනතාවගෙන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් සහ සිවිල් සමාජයෙන් ප්‍රතිචාර ලබාගන්නා බව ආණ්ඩුව පවසයි. 2024 සැප්තැම්බර් මාසයේ පැවති මානව හිමිකම් සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නිර්දේශවලට සමගාමී ලෙස පිහිටුවන්නට නියමිත මෙම නඩු පැවරීමේ කාර්යාලය පළාත් මට්ටමේ උප කාර්යාල ජාලයක් සහිතව පවත්වාගෙන යනු ඇත. ජනවාරි මාසයේ අධිකරණ ඇමති හර්ෂන නානායක්කාර මෙම විශේෂ, කමිටුව පත් කළ බවක් ප්‍රකාශ කළ අතර මැයි මාසයේදී නඩු පැවරීමේ කාර්යාලය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවක් ප්‍රකාශ කෙරුණු නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වාර්තාවෙන් චෝදනා නැගෙන්නේ නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රිියාමාර්ග කිසිවක් ගෙන නැති බවයි.

  • රාජ්‍ය ආයතන වසා දැමීම හෝ පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුවේ සුදානමක්

    රාජ්‍ය ආයතන වසා දැමීම හෝ පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුවේ සුදානමක්

    රාජ්‍ය ආයතන ගණනාවක් වසා දැමීමට හෝ පෞද්ගලිකකරණය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ගොවි අරගල ව්‍යාපාරය අද ( 2025 – 03 – 28 ) දින නුගේගොඩ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

    එහිදී අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා


    ” රජයට අයත් වාණිජමය නොවන ආයතන 166ක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු 17 වෙනිදා කැබිනිට් මණ්ඩලයට සමාලෝචන වාර්තාවක් ඉදිරි වුණා. ආණ්ඩුව කියන විදිහට ඒ ඒ ආයතන සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න මෙහිදී තීරණය වෙලා තියනවා. මේ ආයතන අතර තියනවා කෘෂි ක්ෂේත්‍රයට අයත්වන ආයතන ගණනාවක්. මහවැලි අධිකාරිය, කජු සංස්ථාව, වී අළෙවි මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය වගේ වැදගත් ආයතන ප්‍රමාණයක් මේ ලයිස්තුවේ තියනවා.


    අපිට පේනවා ආණ්ඩුව දැන් තමනගේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය තමයි මේ වෙද්දි රටට පෙන්වමින් ඉන්නේ. ඒක පැහැදිලී වෙනදා මේ සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේදී නලින් ද ජයතිස්ස ඇමතිවරයා කිව්ව කළ ප්‍රකාශයෙන්. ඔහු කිව්වේ මේ ආයතන ආරම්භ කිරීම සඳහා හැකියාව සහිත පෞද්ගලික අංශයක් ඒ කාලේ හිටියෙ නැති නිසා ඒ ආයතන ආරම්භ කිරීම සඳහා රජයට මැදිහත් වෙන්න වුනා කියලා. එතකොට දැන් ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ ක්ෂේත්‍ර සඳහා පෞද්ගලික අංශයට ඉඩ දෙන්න. මෙහි පියවරක් විදිහට තමයි මාර්තු 17 කැබිනට් මණ්ඩලයට සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් වුනේ. මේ වාර්තාව අනුව ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ඇතැම් ආයතන සම්පූර්ණයෙන් වහන්න. තව ආයතන ප්‍රමාණයක් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වයට පවරන්න. ඇතැම් ආයතන මුලුමනින්ම පෞද්ගලිකකරණය කරන්න. මේ සමාලෝචන වාර්තාව හදන්න කමිටුව පත්කරලා තියෙන්නේ පසුගිය 18 වෙනිදා.

    දැන් මේ සමාලෝචන වාර්තාව මහවැලි අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශය තමයි සම්පූර්ණයෙන් ඈවර කළ යුතුයි කියන එක. අපිට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහත් මේ විදිහෙම යෝජනාවක් ගෙනාවා. මහවැලි අධිකාරියේ සේවකයින් 3800ක් පමණ ඉන්නවා. රනිල් යෝජනා කලේ ඒ ගණන අඩු කරලා සමහර කොටස් පෞද්ගලික අංශයට පවරන්න. දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව එතනිනුත් එහාට ගිහිල්ලා මහවැලි ආයතනය මුළුමනින්ම වහන්න තමයි සූදානම් වෙන්නේ. මහවැලි සංවර්ධන අධිකාරිය සතු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 1722920 ක් වෙනවා. මේ ඉඩ්ම් අදියර තුනක් යටතේ සංවර්ධනය කරන්න තමයි 1980වෙදි යෝජනා වුනේ. එහි පළවෙනි අදියර අවසන් කළා. හැබැයි දෙවෙනි අදියරේ භාගයක් විතර යුද්ධය නිසා අවසන් කලේ නෑ. එතකොට දෙවෙනි තුන්වෙනි අදියර වලට අදාළව අනුරාධපුර,පොළොන්නරුව, මඩකළපුව ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව, මන්නාරම වගේ ප්‍රදේශ ගණනාවක තවමත් සංවර්ධන කටයුතු අවසන් වෙලා නෑ. එහෙම තියෙද්දී තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ මහවැලි සංවර්ධන අධිකාරිය වහලා දාන්න. මේ තීරණය නිසා මහවැලි යෝජනා ක්‍රමයට අයත් ගොවි පවුල් 210105 නිසා අවතැන් වෙන්න නියමිතයි.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය සීර්ශ විවාදයේදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ කිව්වා පසුගිය ආණ්ඩු මහවැලි යෝධයා බිමට වැට්ටුවා දැන් මේ ආණ්ඩුව ඒ මහවැලි යෝධයට නැවත පණ දෙනවා කියලා. ඒ වගේම මහවැලි කලාප දහය ඇතුළේ මහවැලි පුනරුද සතිය කියලා එක් එක් කලාපයට සතිය බැගින් වෙන් කරලා වැඩ සටහන් දහයක් ක්‍රියාත්මක කරනවා කියලත් ඔහු කිව්වා. මේ ප්‍රකාශය ඔහු කලේ පසුගිය මාර්තු 12 වෙනිදා. එතකොට එහෙම මහවැලි නියෝජ්‍ය ඇමතිවරයා කියද්දී තමයි කැබිනට් මණ්ඩලය මාර්තු 17 තීරණයක් ගන්නේ මහවැලි ආයතනය වහලා දාන්න.

    ඊලඟට මේ සමාලෝචන වාර්තාව තව භයානක යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා. වී අලෙවි මණ්ඩලය පෞද්ගලික අංශයට පැවරීම. කජු සංස්ථාව ඈවර කර එහි ඉඩම් විකිණීම. පසු අස්වනු තාක්ෂණික ආයතනය සම්පූර්ණයෙන් වසා දැමීම වගේ යෝජනා ගණනාවක් මීට ඇතුලත්. විද්වතුන් කියන විදිහට නිවැරදි දැනුමක් තාක්ෂණයක් නැති නිසා අදටත් ලංකාවේ කෘෂි අස්වැන්නෙන් පසු අස්වනු විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. එහෙම නම් ආණ්ඩුව මේ වෙලාවෙ කරන්න ඕන පසු අස්වනු තාක්ෂණික ආයතනය සංවර්ධනය කිරීම. එහෙම නොකර ඒ ආයතණය වහලා දාන්න සූදානම් වෙන්නෙ ඇයි කියන කාරණය ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි.

    අද වෙද්දිත් රටේ සහල් අර්බුදයට නිසි විසඳුමක් ලැබිලා නෑ. ආණ්ඩුව පහුගිය කාලේ ලොකු ලොකු කතා කිව්වා වී අළෙවි මාන්ඩලට සංවර්ධනය කිරීම ගැන. හැබැයි මේ සමාලෝචන වාර්තාවේ තියෙන්නෙ වී අළෙවි මණ්ඩලය පෞද්ගලික අංශයට පවරන්න කියලා. ඒ අතරේ පසුගිය සතියේ වෙළඳ ඇමතිවරයා කැබිනිට් පත්‍රිකාවක් දානවා සතොස ආයතනයට සහල් නිශ්පාදනය සඳහා ආයෝජනය කිරීමට අවසර ඉල්ලලා. දැන් වී අළෙවි මණඩලය වැහුවට පස්සෙ සතොස සහල් නිශ්පාදනයට වී ගන්නේ ඩඩ්ලිගෙන් නිපුණගෙන් ද ? මේ පරස්පරතා දිහා බැලුවම අපිට පේන්නේ ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැන අමාත්‍යවරුන්වත් දැනුවත් නැ කියලයි. මෙතන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ උඩින් ගෙනල්ලා පහත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ.


    සෑම අගහරුවාදාවකම හවස 7.00ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකතුවෙලා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව එකතුවෙලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවල දි ඇතිකරගන්න එකඟතා තමයි මේ ආණ්ඩුවේ යෝජනා විදිහට එලියට එන්නේ.


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට අනුව රට ගෙනියන්න නෙමෙයි ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ. පෞද්ගලිකකරණයට එරෙහිව සටන් බිමේ හිටපු ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය දැන් ඒ පෞද්ගලිකකරණය කියන පාරෙම ගමන් කිරීම ඉතාම කනගාටු දායක තත්වයක්. අපි ආණ්ඩුට කියනවා වහාම මේ ජනතා ද්‍රෝහී සමාලෝචන වාර්තාව හකුලාගත යුතුයි. එහෙම නොවුනොත් ගොවි අරගල ව්‍යාපාරය විදිහට අපි මේ විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අරගෙන ජනතාව සමග එකතුවෙලා මේ වැඩපිළිවෙළ පරාජය කරන්න අවශ්‍ය මැදිහත් වීම කරනවා. “

  • FLSP -අයවැය බදු ප්‍රතිපත්තිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක්

    FLSP -අයවැය බදු ප්‍රතිපත්තිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක්

    ගරු මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි,

    2025 අයවැයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙනි

    පසුගිය පෙබරවාරි 17 වැනිදා 2025 වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් මාර්තු 21 වැනිදා පාර්ලිමේන්තුව තීරණයක් දීමට නියමිතය. සමස්ත අයවැය සම්බන්ධව කෙසේ වෙතත් රාජ්‍ය ආදායම් කොටසට අයත් රාජ්‍ය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීමට අප අපේක්ෂා කළේ එමගින් ඉතාම බරපතළ අසමානතාවක් ජනිත කරවන හෙයිනි. පොදුවේ රාජ්‍ය බදු ප්‍රතිපත්තිය විසින් ආර්ථික විෂමතාව අවම කිරීමට, ආර්ථික සංවර්ධනයේ යම් ප්‍රමුඛතා නිර්මාණය කිරීමට සහ වෙළඳපොළ පරිභෝජන රටා හැසිරවීමට අවශ්‍ය පදනම් නිර්මාණය කරන බව අවිවාදිතව පිළිගනු ලැබුවත් මෙවර අයවැයේ බදු ප්‍රතිපත්තිය ගොඩ නැගී ඇත්තේ බදු යනු රජයට ආදායම් උපයා ගැනීමට ඇති මාර්ගයක් පමණි යන ඉතාම පටු අදහස මත පදනම් වෙමින් බව 2025 අයවැය නිරීක්ෂණය කරන විට පෙනේ. එම තත්වය යටතේ වුව මෙවර අයවැය මගින් ඇති කරවනු ලබන සමාජ අසමානතාවය සහ ආර්ථික විෂමතාව පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

    2025 වසර තුළ භාණ්ඩ හා සේවා මත බද්ද 25.94%කින් වැඩි කිරීමට අයවැය ලේඛනය අපේක්ෂා කරයි. 2024 වසරේ භාණ්ඩ හා සේවා මත අයකළ බදු ප්‍රමාණය රුපියල් බිලියන 2201ක් වූ අතර එය මෙම වසරේදී රුපියල් බිලියන 2772ක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව බලාපොරොත්තු වේ. මෙම මුදල ලංකාවේ පවුල්වල සංඛ්‍යාවක් ලෙස ගත්විට පෙනී යන්නේ 2024 වසරේ ලංකාවේ එක පවුලක් එක මාසයකදී රජයට රුපියල් 31,623ක් භාණ්ඩ හා සේවා හරහා බදු ගෙවා ඇති බවයි. එමෙන්ම මෙම වසරේ එක පවුලක් එක මාසයකට වෙළඳපොළේදී භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී ගෙවීමට නියමිත බදු ප්‍රමාණය රුපියල් 39,817කි. ඒ අනුව එක පවුලක් මත මාසික බදු බර රුපියල් 4,200කින් පමණ ඉහළ දැමීමට ආණ්ඩුව මෙම අයවැය මගින් සැලසුම් කර තිබේ. මෙය ආර්ථික අර්බුදයෙන් බැට කා සිටින ලංකාවේ ජනතාවට ඉසිලිය නොහැකි තරමේ බරකි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව පවුලක මාසික ආදායමේ සාමාන්‍ය අගය රුපියල් 76,414ක් වන අතර සාමාන්‍ය මාසික වියදම රුපියල් 63,130කි. මේ සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන්නේ පවුලක මාසික වියදමෙන් තුනෙන් දෙකක් තරම් විශාල බදු බරක් ජනතාව මත පටවා ඇති බවයි. මෙය වැඩකරන ජනතාව ප්‍රමුඛ සමාජයේ පහල පන්ති කොටස් වෙත එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයක් වන අතර මෙය ජාතික ජන බලවේගය මත විශ්වාසය තැබූ ජනතාව පාවා දීමකි.

    මෙහිදී ආණ්ඩුවේ තර්කය වනුයේ මෙලෙස භාණ්ඩ හා සේවා මත බදු ඉහල නංවා ගැනීමට අපේක්ෂා කරන්නේ අලුතෙන් බදු පැනවීමෙන් නොව බදු නිසි ආකාරව අය කර ගැනීමෙන් බවයි. 2023 සිට 2024 දක්වා කාලය තුළ පමණක් පාරිභෝගිකයාගෙන් අය කර, සමාගම් විසින් රජයට නොගෙවා වංචා කර ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 333.1ක් බව මුදල් අමාත්‍යංශ වාර්තා පවසයි. මේවා අය කර ගැනීම අත්‍යවශ්‍ය බවට විවාදයක් නැති නමුදු හිඟ ආදායම් බදු අය කර ගැනීමට මෙවර අයවැය තුළින් කිසිදු ප්‍රමුඛතාවක් නොපෙන්වා ඇති තත්වය තුළ හිඟ වැට් බදු අය කිරීමේ අභිලාශය විශ්වාස කළ නොහැක. අනෙක් අතට අයවැය තුළ බදු අලුතෙන් පනවන්නේ නැති බව ආණ්ඩුව පැවසුවද ඉතිරි කිරීම් වලින් අය කරන රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කළ අතර ලංකාවේ සිට අන්තර්ජාල සේවා හරහා උපයන විදේශ විනිමය ආදායම් වලට 15%ක බද්දක් අලුතෙන් පනවන ලදී. අනෙක් අතට අයවැයට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීමේදී මෙතෙක් පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 ජනවාරි 01 දින සිට ඉදිරියටත් අඛණ්ඩව තවදුරටත් දීර්ඝ කරන ලදී. මෙලෙස භාණ්ඩ හා සේවා මත බදු ප්‍රමාණය පසුගිය වසරටත් වඩා ඉහළ දැමීමට ආණ්ඩුව අපේක්ෂා කරන්නේ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 2022දී 8%ක්ව තිබී 2022 අගෝස්තු සිට 12% දක්වාත්, 2023 ජනවාරි සිට 15% දක්වාත්, 2024 ජනවාරි සිට 18% දක්වාත් වැඩි කරන අතිශය පීඩාකාරී තත්වයක් යටතේය. ඊට අමතරව 2023 වසරේදී සමාජ ආරක්ෂණ බද්ද නමින් නව බද්දක්ද පනවන ලද තත්වයක් තුළය.

    මෙවර අයවැය මගින් ජනතාව මත අති විශාල බදු බරක් පටවා ඇති අතරම මහා ධනවතුන් සහ ඒකාධිකාර සමාගම්වල බදු කප්පාදු කර ඇත. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව 2024 මාර්තු මස නිකුත් කළ වාර්තාවට අනුව දැවැන්ත සමාගම් විසින් නොගෙවා පැහැර හැර ඇති මුළු බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1068ක් වන අතර දේශීය හා විදේශීය සංගත සමාගම්වලට ලබා දී ඇති බදු සහනය රුපියල් බිලියන 978කි. මෙවර අයවැය ලේඛනය තුළින් පසුගිය වසර සහ මෙම වසර අතර සෘජු බද්දේ වැඩිවීම රුපියල් බිලියන 141කට පමණක් සීමා වීම තුළ පෙනී යන්නේ මෙම වසරේදීවත් හිඟ බදු අය කර ගැනීමට හෝ විශාල සමාගම්වලට පනවා ඇති බදු සහන වල කප්පාදුවක් කිරීමට ආණ්ඩුව අපේක්ෂා නොකරන බවයි. එපමණක් නොව, සිංහල සහ තමිල් භාෂාවලින් නිකුත් නොකර, ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කර ඇති අයවැය ලේඛනයේ තාක්ෂණික කරුණුවලට අදාළ කොටසේ 1.9 වගන්තියේ සඳහන් වන්නේ 2022 – 2023 මූල්‍ය වර්ෂය දක්වා වන කාලය තුළ නොගෙවූ බදු මාස 6ක් ඇතුළත ගෙවන්නේ නම් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ සහ 2022 අංක 14 දරණ බදු පනතේ සඳහන් වන හිඟ බදුවලට විශේෂ ප්‍රමාද ගාස්තු සහ පොලී අය කිරීම සඳහා වන ප්‍රතිපාදන අදාළ නොවන බවයි. 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනතේ 157 වගන්තියේ සහ 159 වගන්තියේ සඳහන් වන ආකාරයට නියමිත බදු නොගෙවා ප්‍රමාද කළ හොත් එලෙස ප්‍රමාද වන සෑම මසකටම 1.5%ක පොලියක් හෙවත් 18%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු බවයි. මෙවර අයවැය තුළින් එම පොලිය අහෝසි කිරීම යනු බදු පැහැර හරින ලද ධන කුවේරයන්ට කරන ලද ඉතාම අසාධාරණ අනුග්‍රහයක් වන අතරම මෙම තීරණය පාර්ලිමේන්තුව විසින් අනුමත කරන්නේනම් අති විශාල මුදලක් රජයට අහිමි වනු ඇත. සංක්ෂිප්තව කියන්නේ නම් සිදුව ඇත්තේ ධනවතුන් සහ සමාගම් බදු වලින් නිදහස් කර බහුතර ජනතාව මත උසුලා ගත නොහැකි බදු බරක් පැටවීමකි.

    මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තියට කිසිසේත්ම අනුමැතිය නොදෙන ලෙසද ඔබ පාර්ලිමේන්තුවට පත් කර එවූ ජනතාවගේ අභිලාෂයන්ට සතුරු පියවර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් ලෙස ඔබ සතු බලය භාවිතා නොකරන ලෙසද අපි ඉල්ලා සිටිමු. දැනටමත් ආර්ථික අර්බුදයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථිකය හැකිලවීම පිළිබඳ උපායමාර්ගයට අනුව ආදායම් අහිමි වීමේ අර්බුදයේ සහ අධික උද්ධමනයේ අර්බුදයේ ගොදුරු බවට පත්ව පීඩාවට පත්ව සිටින ලංකාවේ ජන සමාජය මත මෙතරම් අයුක්තිසහගත බදු ප්‍රතිපත්තියක් පැටවීමට අනුමැතිය ලබා දෙන පාර්ලිමේන්තු නියෝජිතයන්, නියෝජිතවරියන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම නියත බවද තවදුරටත් සිහිපත් කරමු. 2025 අයවැයේ මෙම බදු ප්‍රතිපත්තිය වහා සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසද අවධාරණය කරමු.
    ස්තුතියි.

    මධ්‍යම කාරක සභාව
    පෙරටුගාමී සමාජවාදී පක්ෂය
    2025 මාර්තු 06

  • ඉතාලියේ රියදුරු සහ ගුවන් ගමන් බලපත් ගැටලුව සම්බන්ධ පැනයට පිළිතුරු නොදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මඟ හරි 

    ඉතාලියේ රියදුරු සහ ගුවන් ගමන් බලපත් ගැටලුව සම්බන්ධ පැනයට පිළිතුරු නොදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මඟ හරි 

    ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ පා ඇති ගැටලු ගණනාවක් පිළිබඳව පසුගිය කාලය තුළ සාකච්ඡාවට ගැනුණා . මේ ගැටළු මොනවද කියන එක සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවටත් වර්තමාන අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවටත් දැනුවත් භාවයක් ලබා දෙන්න ඉතාලියේ  ජීවත්වෙන මේ ගැටළුවට මුහුණ දී සිටින ලාංකිකයින් කටයුතු කරලා තියෙනවා . ඉතාලියේ ලාංකිකයන්ගේ ගැටලුව ඉදිරිපත් කිරීමට පසුගිය 29  වෙනදා ජනා අරගල සන්ධානය ප්‍රමුඛ ඉතාලියේ සිට ලංකාවට ගිය පිරිසක් ඇමැතිවරයාව හමුවෙන්නට ගිය ද  ඔහුව මුණගැසෙන්න නොහැකි වුණා. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳ දැනුවත්භාවයට අදාළ ලිපි ලේඛන ඔවුන්ට භාරදීලා ආවා . ඒ අනුව අප විශ්වාස කරනවා මේ ගැටලු මොනවද කියන එක ආණ්ඩුව දැනුවත්භාවයකින් කටයුතු කරනවා ඇති කියලා .

    නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුව පිළිබඳව ගැටළුවක් මතු වෙන්නේ පෙබරවාරි 05 වන ද කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී  ශාන්ත විජේසූරිය මාධ්‍යවේදියා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලුව ඉදිරිපත් කරලා ඒවා වෙනුවෙන් ආණ්ඩුව ගන්නා පියවර මොනවද කියලා ප්‍රශ්න කරද්දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ලබාදුන්නු පිළිතුර අනුවයි .


    ශාන්ත විජේසූරිය මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නය

    ඉතාලියේ ජීවත් වෙන  ලාංකිකයන් ගැටලු ගණනාවකට මුහුණ දී සිටිනවා . විවිධ ක්‍රම වලින් ඉතාලියට ගිය, අවුරුදු දහය පහළොව ජීවත් වෙන අයට ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ හේතුව නිසා සමහර අයට ලැබිල තියෙන රැකියාව පවා අහිමි වෙලා තියෙනවා. ඉතාලි රජය ඔවුන් වෙනුවෙන් යම් ක්‍රියාමාර්ග ගත්තත් ගුවන් ගමන් බලපත්‍රය නැති නිසා සමහර ගැටළු මතුවෙලා තියෙනවා . ඒවගේම ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලියට මාරු කර ගැනීමේ ගිවිසුම අහෝසි වෙලා දැන් කාලයක් ගතවෙලා තියෙනවා . මේ සම්බන්ධයෙන්  ඔබේ රජය ගන්න පියවර මොකක්ද?


    කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගේ පිළිතුර වෙන්නේ

    මං මේ ප්‍රශ්නය විදේශ කටයුතු අමැතිවරයාට ඉදිරිපත් කරන්නම් . ඔහු සමග මේ ගැන කතා කරන්න සාකච්ඡාවකුත් ලබා දෙන්නම් . ඒ ගැන මට පැහැදිලි කිරීමක් කරන්න බැහැ . එතකොට මේ ප්‍රශ්න  නිරාකරණය කරගන්න පුළුවන් . ඇත්තටම මට මේ වෙලාවේ ඒ පිළිබඳව මොකවත් කියන්න බැහැ .

    කැබිනට් ප්‍රකාශකවරයාගේ මේ ප්‍රකාශය තුලින් අපට  අවබෝධ වන්නේ අනුර කුමාර දිසානායකගේ  කැබිනට් මණ්ඩලයට ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මුහුණපා සිටින ගැටලුව  සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නැතිකම .

    NPP ආණ්ඩුවට ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය ප්‍රමුඛ ප්‍රශ්නයක් නොවෙයිද ?

    කඩිනමින් ඉල්ලුවේ ඉතාලිය සහ ලංකාව අතර රියැදුරු බලපත් ගිවිසුම ලැබුණෙ වෙන වෙන ඒවා

  • සහල් හිඟයට හේතුව දත්ත විකෘතියක් ද ?

    සහල් හිඟයට හේතුව දත්ත විකෘතියක් ද ?

    සහල් හිඟයට හේතුව දත්ත විකෘතියක් යැයි ජනාධිපතිවරයා පසුගිය දිනක කල ප්‍රකාශයට පිළිතුරු දීමටත් ගොවි ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න ප්‍රමාණයක් දැනුවත් කිරීමටත් ගොවි අරගල ව්‍යාපාරය අද ( 2025 – 01 – 23 ) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

    එහිදී අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා.

    ” අද වෙද්දි ගොවියන්ට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතු වෙලා තියනවා. එක පැත්තකින් සහල් අර්බුදය එක්ක මතුවුණු ගැටලුව. තව පැත්තකින් වර්ෂාව නිසා ඇති වෙච්ච වගා හානි. මේ වෙද්දී අම්පාර, මඩකළපුව, මොනරාගල, ත්‍රිකුණාමලය, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ගොයම් කැපෙන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් තවමත් වී අස්වැන්න සඳහා රජයෙන් සහතික මිළක් නියම කරල නෑ. රතු කැකුළු වී මේ වෙද්දී හම්බන්තොට වගේ ප්‍රදේශ වල විකිණෙන්නෙ රුපියල් 140ට 150ට. නමුත් ත්‍රිකුණාමලේ දි මේ මිළ රුපියල් 110යි 120යි. අනිත් වී වර්ගත් රුපියල් 110 සහ 115 අතර ඉතාම පහළ මිලකට තමයි විකිණෙන්නෙ. එක පැත්තකින් ආණ්ඩුව කඩිනමින් වී සඳහා සහතික මිලක් නියම කරන්න ඕන. ඊලඟ කාරණය තමයි වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වීම. තවමත් ආණ්ඩුවේ වී ගබඩා විවෘත කරල නෑ. වී මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් වෙන් වෙන්න ඕන. මේ කිසිවක් තවම වෙලා නෑ.

    හැබැයි පහුගිය දවසක රූපවාහිණී වැඩසටහනකදි අනුර දිසානායක ජනාධිපතිවරයා කිව්වා වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500ක් වෙන් කරල තියෙන්නෙ කියලා. ආණ්ඩුව රුපියල් කෝටි 500ක වී ගත්තත් රටේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නෙ දවස් හතරයි. ඒ නිසා ආණ්ඩුව වෙන් කරන්න සැලසුම් කරන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඊලඟ කාරණය තමයි ආණ්ඩුව වී මිලදී ගැනීම සඳහා මිලක් නියම කිරීමේදී ගොවියාට වාසිදායක වන විදිහට කටයුතු කරන්න ඕන. නමුත් දැන් ආණ්ඩුව මහා පරිමාණ මෝල් හිමියන්ට වාසි දායක විදිහට කටයුතු කරනවද කියම සැකය අපිට මතු වෙනවා. අක්කරයක කුඹුරක් කරන ගොවියෙක් ගෙදර පරිභෝජනයට වී කිලෝ 600ක් 700ක් තියාගෙන ඉතුරු සොයලු වී අස්වැන්න විකුණුවත් දවසක ආදායම විදිහට ලැබෙන්නෙ රුපියල් 350 – 300 අතර මුදලක්. නමුත් දවසකට වී කිලෝ 5000ක් කොටන මෝලක් ගත්තොත් එක හාල් කිලෝවකින් රුපියලක ලාභයක් තිබ්බත් ඔහුට රුපියල් 3000ක ලාභයක් ලැබෙනවා දවසකට. අපි දන්නවා මීට අමතරව වී කිලෝ 500ක් කොටද්දි කුඩු වලින් විතරක් රුපියල් 10,000ක පමණ අමතර ලාභයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් වී කිලෝ 100කට නිෂ්පාදනය වෙන කුඩු කිලෝ 2 – 6ත් අතර වෙනවා. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නෙ වී මීල තීරණය කරද්දී ගොවියට සාධාරණයක් කරන්න කියලා.

    අපි දන්නවා පාරිභෝගිකය ගැනත් මෙතනදි හිතන්න ඕන. සහල් මිල පාරිභෝගිකයට දරාගත හැකි මට්ටමක පවත්වාගෙන යාම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා නිශ්පාදන වියදම අඩු වෙන විදිහෙ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. අස්වැන්න ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඉලක්කයක් තියෙන්න ඕන. ආණ්ඩුව ඒ සඳහා කරන ඕනම කටයුත්තකදි අපි ගොවියෝ විදිහට සහයෝගය දක්වන්න සූදානම්. නමුත් ඒ ආණ්ඩුව ගොවි ජනතාව පැත්තෙ හිටගන්නව නම් විතරයි.

    අපි දැක්කා ජනාධිපතිවරයා රූපවාහිනී වැඩසටහනකට ඇවිත් කියනවා සහල් හිඟය ඇති වුනේ දත්තවල වැරද්දක් නිසා කියලා. නමුත් මහා මෝල් හිමියෝ කිහිපදෙනෙක් සහල් හංගගෙන ඉන්න නිසා තමයි සහල් හිඟයක් ඇති වෙලා තියෙන්නෙ කියලා වෙළෙඳ ඇමතිවරයාම පසුගිය දවසක පාර්ලිමේන්තුවේ දි පිළිගත්තා. අපි පිළිගන්නවා දත්ත සම්බන්ධයෙන් සුළු සුළු අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි අනුර දිසානායක ජනාධිපතිවරයා කියන්න උත්සහ කරන විදිහට සමස්ත හිඟයට බලපෑවේ දත්ත විකුර්තියක් කියන එක පිළිගන්න අමාරුයි.

    මහා කන්නයේදි සාමාන්‍යයෙන් හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා වෙනවා. මෙවර හෙක්ටයාර් අටලක්ෂ විසිහත්දාහක් වගා කරන්න නියමිතයි. යල කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 5ක් විතර වගා කරනවා. එතකොට අවුරුද්දකට වගා කරන ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 13ක්. සාමාන්‍යයෙන් මේ අතරින් හෙක්ටයාර් 40,000ක් පමණ වගා හානි නිසා විනාශ වෙනවා. ඒ ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂයක් කියල ගත්තත් හෙක්ටයාර් ලක්ෂ 12ක වාර්ෂික අස්වැන්නක් රටට එන්න ඕන. සාමාන්‍යයෙන් ගොවියෙක් හෙක්ටයාරයකට වී කිලෝ 4000ක් විතර නිශ්පාදනය කරනවා. එතකොට අවුරුද්දකට අනිවාර්යයෙන්ම මෙට්‍රික්ටොන් ලක්ෂ 48කට ආසන්න වී අස්වැන්නක් ලැබෙන්න ඕන. ඒක තමයි ඇත්ත. එහෙම තියෙද්දී තමයි ආණ්ඩුව දත්ත වැරදී කියල මතයක් සමාජගත කරන්න උත්සහ කරන්නෙ.

    ආණ්ඩුවේ දත්ත අනුව සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ වාර්ෂික සහල් පරිභෝජනය 112.3 KG අතර ප්‍රමාණයක්. එතකොට ලංකාවේ සමස්ත සහල් අවශ්‍යතාවය වෙන්නෙ අවුරුද්දකට මෙට්‍රික්ටොන් ලක්ෂ 24යි. වාර්ෂික වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්ෂ 48ක් නම් ඒකෙන් මෙට්‍රික්ටොන් ලක්ෂ 30ක පමණ සහල් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට බියර් සහ සත්ව ආහාර සඳහා සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 5ක් යෙදෙව්වත් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දත්ත විජ්ජා පෙන්නලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උත්සහ කරන්න් එපා. ඇත්ත අර්බුදය මතු වෙලා තියෙන්නෙ කොතනින් ද කියලා හොයන්න.

    අපේ රටේ විශාලම සහල් මෝල් හිමියන් පස්දෙනා දවසකට සහල් කිලෝ ලක්ෂ 12ක් විතර වෙළෙඳපොළට නිකුත් කරනවා. රටේ සමාන්‍යෙන් දෛනික සහල් අවශ්‍යතාව කිලෝ ලක්ෂ 65ක් පමණ. මේ මෝල් හිමියෝ පස් දෙනා දවස් හතරක් පහක් වෙළඳපොළට සහල් නිකුත් නොකර හිටියොත් රටේ ජනතාවට දවසක් කන්න හාල් නැති වෙනවා. එහෙම ගණං හදල බලල තමයි මේ ව්‍යාපාරිකයෝ වෙළඳපොල එක්ක සහල් මිල කේවල් කරන්නෙ. ජනාධිපතිවරයා ඒක නොදන්නව කියල අපි හිතන්නෑ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා බොරුවට දත්ත මත වැරද්ද පටවන්නැතුව ඇත්ත ප්‍රශ්නය ජනතාවට කියන්න. මොකද මේ ආණ්ඩුව පත් කරගත්තෙ මේ රටේ ජනතාව. මහමෝල් හිමියන් වෙනුවෙන් නෙවෙයි ආණ්ඩුව පෙනී ඉන්න ඕන ජනතාව වෙනුවෙන්.

    කෘෂිකර්ම ඇමතිවරයා කිව්වා පසුගිය වගාහානි සඳහා වන්දි මුදල් පෙබරවාරි මාසෙ දෙනවා කියලා. නමුත් ආණ්ඩුව මේ වන්දි දීම කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා කරන්න සැලසුම් කරනවනං ඒක ලොකු ප්‍රශ්ණයක්. මොකද කෘෂි රක්ෂණ මණ්ඩලය එකම වගාවට දෙවතාවක් වන්දි ලියන්නෑ. පහුගිය අවුරුද්දේ දෙහිඅත්තකණ්ඩියේ කුඹුරු මුලින් යට වුණා නොවැම්බර් මාසෙදි. දෙවෙනි වතාවට යට වුණා දෙසැම්බර් මාසෙදි. නමුත් වන්දි ගන්න ගියාම මුල් වතාවෙ අයව දෙවැනි ලේඛනයට ඇතුල් කලේ නෑ. අනිත් එක කෘෂි රක්ෂණ මණ්ඩලය දෙන අක්කරයකට රුපියල් 40,000ක වන්දියත් කිසි සේත්ම ප්‍රමාණවත් නෑ. මේ මුදල වැඩි වෙන්න ඕන කියලා ඉස්සර සටන් කරපු ඇමතිලා දැන් නිස්ශබ්දයි.

    ඒ නිසා අද වෙද්දී වගා හානි නිසා ඇති වුණු ගැටලු සඳහා සහ සහල් අර්බුදය එක්ක ගොවියන්ට මතුවෙලා තියෙන ගැටලු සඳහා රජයෙන් ඉක්මන් මැදිහත් වීමක් කරල මේ ප්‍රශ්න විසඳන්න කියන යෝජනාව අපි ආණ්ඩුවට කරනවා. “

  • අද ආණ්ඩුව මොකද කරන්නේ ?

    අද ආණ්ඩුව මොකද කරන්නේ ?

    ” අනුරාධපුරෙන් කොළඹ සරසවියට ගිය ළමයෙක් අන්න අද ගිණුම් කරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා රුපියල් 15,000යි වැටුප. ඒ කම්පැණියේ අයිතිකාරයා තමයි ආණ්ඩුවට ආර්ථිකය ගැන උපදෙස් දෙන දුමින් ද හුලංගමුව. මිනිස්සු ආණ්ඩුවට ඡන්දය දුන්නේ අපේ ආණ්ඩුවක් පත්කරගමු කියලා.

    හැබැයි අද ආණ්ඩුව මොකද කරන්නෙ ? . විදුලිබිල අහස උසට ගිය වෙලාවක්. විදුලිබිල අඩුකරගන්න බැහැ ආණ්ඩුවට. IMF කොන්දේසි අනුව ආණ්ඩුවට ඒකට අවසර නෑ. හාල් ටික අතලොස්සක් ව්‍යාපාරිකයෝ ගබඩාවල හංගගෙන. ඒවා වෙළඳපොලට එන්නෙ නෑ. ආණ්ඩුවට හැකියාව නෑ ඒ ව්‍යාපාරිකයෝ එක්ක හැප්පිලා හාල් ටික වෙළඳපොලට ගේන්න. එතකොට පැහැදිලි මේ අපේ ආණ්ඩුව කිව්වට ආණ්ඩුව හසුරවන්නේ වෙනම පිරිසක්.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණයක් අපිට දෙන්නේ. ඒ අවුරුදු 4ක් අතුලත කඩින් කඩ. මේ අවුරුද්දේ සංචාරක කර්මාන්තයෙන් අපි ඒ ප්‍රමාණය හොයල ඉවරයි. ඒ දෙන ඩොලර් බිලියන 2.9 වෙනුවෙන් 2025 අයවැයට කොන්දේසි විශාල ප්‍රමාණයක් දාලා තියෙන්නේ. ඒ සියල්ල තියෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් සුබසාධන කප්පාදු වෙන යෝජනා.

    ලංකාව 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. රනිල් කියනවා අපි IMF ගියාට ඒ නිර්දේශ සම්පූර්ණ කලේ නැහෑ. ඒක තමයි අර්බුදයට හේතුව කියලා. නමුත් මීට කලින් අපි IMF ගිය 9 වතාවකින් 6 වතාවක් IMF කොන්දේසි සම්පූර්ණ කලා. හැබැයි රටේ ආර්ථිකය ඉස්සරහට ගියේ නෑ. රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලිකකරණය කලා. ඒ IMF කොන්දේසි එක්ක. නමුත් දැන් ඒ සමාගම් බොහෝමයක් තිබුණ මට්ටමිනුත් පහලට කඩං වැටිලා.

    අපි වගේ දුප්පත් රටවල් කොල්ලකන්න ලෝකයේ මහාපරිමාණ සමාගම්වලට අවස්ථාව දෙන ව්‍යාපෘතිය තමයි IMF එක කරන්නේ. ලංකාව වගේ රටවල ආර්ථික වර්ධනය පහල මට්ටමක තියෙද්දි තමයි ඒ ව්‍යාපාරිකයන්ට විශාල ලාභයක් උපයන්න පුලුවන්. එතකොට තමයි ඉන්දියාව ඇමරිකාව වගේ රටවලට ඔවුන්ගේ උපායමාර්ග අනුව අපේ රට පාලනය කරන්න පුලුවන් වෙන්නේ.

    කෝටි ගණං ණය අරගෙන මේ අනුරාධපුරේ යාන් ඔය ව්‍යාපෘතිය කලා. පවුල් දහස් ගාණක් අවතැන් වෙලා. ගෙවල්වලට අලි පනිනවා. ඒ ව්‍යාපෘතිය නිසා ජනතාවට වුණ සෙතේ ඒක. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ජනතාවට ලැබුණෙ මොනවද ? ණය බර සහ අවතැන් වීම විතරයි. මේ සිස්ටම් එකේ තීරණ ගන්නෙ එහෙම. ව්‍යාපාරිකයන්ට ලාභ ගන්න ඕනම විනාශකාරී ව්‍යාපෘතියක් කරනවා. අන්න ඒ විනාශය කරන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදත් ලංකාවට ඇවිත් ඉන්නේ.

    ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ උගුලේ වැටෙන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වුණ ගිවිසුම අවලංගු කරලා. වහාම ණය තිරසරකරණ විශ්ලේෂණයක් රට ඇතුලෙ කරන්න. ජනතාවට හිතකර ණය තිරසරකරණ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ.  ”

    ඉහත අදහස් දැක්වීම කළේ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, තරිඳු උඩුවරගෙදර. දෙසැම්බර් 28 වන දා අනුරාධපුර නගරයේදී ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ “IMF මර උගුලෙන් එළියට ද ? ඇතුලට ද ? ” සම්මන්ත්‍රණයේ දී ය .

  • ‘ගෝඨාභය එලවපු එළියේ ජනතා බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි’

    ‘ගෝඨාභය එලවපු එළියේ ජනතා බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුතුයි’

    අරගලය සමයේදී දියවන්නාවෙන් පිටත නිර්මාණය වූ මහජන බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා ජන අරගල සන්ධානය මෙවර මහ මැතිවරණයට තරග කරන බව, එම සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත මුදලිගේ BBC සිංහල සේවයට පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකාව ඉවත් විය යුතු බවත්, බුද්ධාගම හෝ වෙනත් කිසිදු ආගමක් ප්‍රමුඛ විය යුතු නැති බවත් ඔහු සඳහන් කළේ ය.

    එමෙන් ම, අරගලයේදී ගොඩනැගුණු ජනතා බලය රැක ගැනීමට සංවිධානාත්මක ව්‍යුහයක් නොපැවති බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනස් කිරීමෙන් ජනතා අපේක්ෂාවන් නියෝජනය කිරීමට උත්සහ කරන බවත් ඔහු BBC සිංහල සේවයේ ෂර්ලි උපුල් කුමාර සමග පැවති සංවාදයකදී ප්‍රකාශ කළේ ය.

  • පෙරටුගාමින්ගෙන් ජනාධිපති අනුර කුමාරට ලිපියක්

    පෙරටුගාමින්ගෙන් ජනාධිපති අනුර කුමාරට ලිපියක්

    2024. 10. 27
    ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා,
    ජනාධිපති ලේකම් කාර්යාලය,
    කොළඹ 01.

    ජනාධිපතිතුමනි,
    ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම
    පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය හරහා ලංකාවේ ජනතාව, මෙතෙක් පැවැති දූෂිත දේශපාලන බලවේග තීරණාත්මක ලෙස පරාජයකට ලක් කර, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හරහා නව දේශපාලන ගමනකට රට විවෘත කර ඇත. මෙය පසුගිය කාලය පුරාම දිගහැරුණු ජනතා අරගලයේත් ජනමතයට බලපෑම් කළ විශාල ප්‍රචාරක මැදිහත්වීමකත් ප්‍රතිඵලයකි. පරාජිත දේශපාලන බලවේගවල බලය පළමු කොටම බිඳහෙළන ලද්දේ අරගලය තුළිනි. මෙම දූෂිත දේශපාලන බලවේග සමග අඛණ්ඩව ගැටුණු දේශපාලන පක්ෂයක් ලෙස ලංකාවේ සමාජයේ සිදු වූ මෙම හැරවුම පිළිබඳ අප කල්පනා කරන්නේ ජනනාත්මක දේශපාලන ස්ථාවරයක සිටය. එම නිසා වත්මන් දේශපාලන ආර්ථික අර්බුදය පිළිබඳ වාම දේශපාලන ස්ථාවරයක සිටිමින් වත්මන් පාලනය සමග ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව අපි දකිමු. වත්මන් ආර්ථික දේශපාලන අර්බුදය ඉතාම තියුණු හා පැතිරුණු ස්වරූපයක් ඇති බවත් එයට ප්‍රතිචාර දැක්වීමට හා එය වෙනස් කිරීමට දිගුකාලීන හා ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන වෑයමක් අවශ්‍ය බවත් පෙනේ.

    2022න් පසු ඇරඹී ඇති නව දේශපාලන පරිච්ඡේදයේ මූලික දේශපාලන ගතිකයන් කිහිපයක් හඳුනාගත හැක.
    දිග්ගැස්සුණු ආර්ථික අර්බුදය, එම ආර්ථික අර්බුදය පදනම් කරගෙන සිදු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම (එක්සත් ජනපද උපායමාර්ගික නියෝජිතයෙක් ලෙස), ඉන්දියානු ආර්ථික බලහත්කාරය, ජනතාවගේ පෙර නොවූ විරූ දේශපාලන හැසිරීම් (අප්‍රේල් 9 නැගිටීම, ජුලි 9 නැගිටීම, මෙවර ජනාධිපතිවරණයේදී දූෂිත බලවේග පසුපසට ඇද දැමීම ආදිය) වශයෙන් එය දළ සිතියම්ගත කිරීමකට ලක් කළ හැක.

    2022 වසර ආශ්‍රිතව ලංකාව මුහුණ දුන් දේශපාලන අර්බුදයට හේතුව ආර්ථික අර්බුදයයි. එම ආර්ථික අර්බුදයේ හේතුව පිළිබඳ විවිධ ආර්ථික දේශපාලන දෘෂ්ටීන් මත සිට සිදු කෙරුණු එකිනෙකට පරස්පර විග්‍රහයන් ගණනාවක් පසුගිය කාලය පුරාම ප්‍රකාශයට පත් විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අප, පසුගිය ජනාධිපතිවරණය තුළ අප නියෝජනය කළ ජන අරගල සන්ධානය හරහා 2022දී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය පිළිබඳ ඉදිරිපත් කළ අදහස මෙසේ සාරාංශගත කළ හැක. එනම්, ලංකාව ඉතාම ධනවත් ව්‍යාපාරික පවුල් අතලොස්සක් විසින් ඔවුන් ලබා ගත් ලාභය රටින් පිටතට අනීතික ලෙස රැගෙන යාම (අපනයනයේදී හා ආනයනයේදී සිදු කරන සාවද්‍ය ඉන්වොයිස්කරණය) හරහා සිදු වූ ගැටලුවක් ලෙසත් සැලසුමකින් තොරව අධික ලෙස ණය ගැනීම, ණය අවභාවිතාව විසින් ඇති කර ඇති ණය උගුලක ප්‍රතිඵලයක් බවත් ආර්ථික අර්බුදයේ බර මුළුමනින්ම පහළ පාන්තික සහ පහළ මැද පාන්තික ජනයා මත පටවා මෙම අර්බුදයේ මැද පවා සිය ලාභය තර කර ගනිමින්, අධික ලෙස බදු පැහැර හැර සිටිනා ඉහත ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස ලබා ගන්නා අධික ලාභයේ ප්‍රතිඵලයක් බවත්, දිගුකාලින වශයෙන් කාර්මීකරණය වෙත යොමු නොවු ආර්ථික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් බවත් පසුගිය දශක කිපය තුළ නැගී ආ නව මැද පන්තියේ පරිභෝජනවාදයේ ප්‍රතිඵලයක් බවත් එමෙන්ම ගෝලිය දකුණේ රටවල් සිර කර තිබෙන ආර්ථික සංවර්ධනය අහුරන නව යටත් විජිත ණය අකෘතියේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව මෙම ආර්ථික අර්බුදයට ඇද දමනු ලැබූ බවය.

    ඉහත සඳහන් සාවද්‍ය ඉන්වොයිස්කරණය පිළිබඳ Global Ecconomic Intergrity වාර්තාව හරහා ඉදිරිපත් කොට තිබු‍ණේ ලංකාව 2009 – 2018 කාලය තුළ පමණක් ඩොලර් බිලියන 42ක අනීතික ප්‍රවාහ සිදු වී ඇති බව යි. මේ හරහා ප්‍රග්ධනය අහිමි වීම, රජයට අය විය යුතු බදු අහිමිවීම දිගින් දිගටම සිදු වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික වාර්තා තුළ මෙම කරුණ සඳහන් වුවද ඔවුන්ගේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ වට්ටෝරුව තුළ මේ පිළිබඳ කිසිදු බර තැබීමක් සිදු නොවීමද මවිතය දනවන කරුණකි. ලංකාවේ ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස මෙලෙස සිය ලාභය ඩොලර් බවට හරවමින් රටෙන් පිටතට ගෙනයාම හරහා වත්මන් ආර්ථික රාමුව තුළ සිදුවිය යුතු යැයි සලකන නැවත ආයෝජනය අහිමි වී යයි. එමගින් ආර්ථික වර්ධන වේගය අඩාල වන අතර, ඩොලර් හිගය, රුපියල අවප්‍රමාණ වීම, උද්ධමනය ආදී ලෙස වන චක්‍රයකට පසුගිය කාලය තුළ ආර්ථිකය ඇතුළු වී තිබුණි. අවසානයේ රුපියල අවප්‍රමාණ වූ විට නැවත රට තුළට මුදල් ගෙන ඒම හරහාද විශාල මුල්‍ය වාසියක් මෙම ව්‍යාපාරික ස්ථරය විසින් අත්කරගෙන ඇති බව සැක නැත.

    ලංකාවේ මෙම ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස විශාල ලාභයක් අත්පත් කර ගන්නේ සිය ආයතනය තුළ සිදුකරන විශාල ශ්‍රම සූරාකෑම, රජයෙන් පිරිනමන බදු සහන හා බදු පැහැර හැරීම, දේශපාලන තන්ත්‍රය තුළ ඇති සබඳතා හරහා ලබා ගන්නා වෙලඳපොළ ටෙන්ඩර් වාසිවල සිට ඒකාධිකාර බිහිකර ගැනීම දක්වා වන වාසි මගින් බව පැහැදිලිව දැකිය හැක.

    ටෙන්ඩර් ලබා ගැනීමේ සිට ඒකාධිකාර බිහි කර ගැනීම දක්වා වන වාසිදායක කොන්දේසි සඳහා ඔවුන් රාජ්‍ය නිලධාරී තන්ත්‍රය, දේශපාලන තන්ත්‍රය යොදා ගනු ලබයි. මෙම දූෂණ දාමය දෙස බැලූ විට එහි කෙළවරේ සිටින්නේ මෙරට ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස බව පෙනෙන අතර එයට සම්බන්ධ පූර්ව පුරුක් ලෙස දූෂිත රාජ්‍ය නිලධාරීන්, දූෂිත දේශපාලකයන් සිටින බව පැහැදිලිව පෙනේ.

    එනිසා දූෂණ විරෝධී ආඛ්‍යානය පවා ගැඹුරින් මෙම ක්‍රමය සමග බද්ධ වී ඇති බව මෙහිදී කිව යුතුය. කෙසේ වුවත් අප මෙහිදී අවධානය යොමු කරන්නේ ‘ලංකාවේ ආර්ථිකය මෙම උගුලෙන් ගලවා ගැනීමට ජනතාවගේ (සියලුම පහළ පාන්තික, පහළ මැද පාන්තික සමාජ ස්ථරවල) ආර්ථික අභිලාෂය වන ඔවුන්ගේ ආර්ථික ජීවිතයේ ආතතිය අවසන් කිරීම වංචා දූෂණ ප්‍රශ්නයට පමණක් ආමන්ත්‍රණය කිරීමෙන් සිදු කළ නොහැකිය’ යන කාරණයයි. එනිසා වංචා දූෂණ ප්‍රශ්නයට පවා අත ගැසීම ඉතාම සංකීර්ණ කාරණයක් බව යළි අවධාරණය කළ යුතුය.

    අප ඉහතින් සඳහන් කළ ආකාරයට, 2022න් පසු ඇරඹී ඇති නව දේශපාලන පරිච්ඡේදයේ ප්‍රධාන ගතිකයන් අතර ප්‍රමුඛතම එකක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු මැදිහත්වීම පිළිබඳ අවධානය යොමු කිරීමට මෙම ලිපිය තුළ බලාපොරොත්තු නොවන අතර ඔවුන්ගේ අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කරන දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ මෙහිදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කරමු.

    රට දිගුකාලීන අසාර්ථක රාජ්‍යයක අද්දර පවත්වාගෙන යාමේ එක්සත් ජනපද උපායමාර්ගයට අනුව පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කටයුතු කරන බව අපගේ ස්ථාවරයයි. පසුගිය ජනාධිපතිවරණ සමය තුළත් අප ඉතාම තදින් අවධාරණය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය උගුලක් බැවින් එයින් ඉවත් විය යුතු බවයි. කෙසේ වුවත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහී පාර්ශ්වය වන ජාතික ජන බලවේගය ඉදිරිපත් කළේ ‘විකල්ප ණය තිරසරකරන ඇගයීමකට යන බව’ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පසුගිය රනිල්-රාජපක්ෂ පාලනය විසින් අත්සන් කළ ගිවිසුම ජනතාවට වාසිදායක වන ලෙස සංශෝධනය කරන බවයි. අප ඉතා තදින් කල්පනා කරන්නේ රටටත් ජනතාවටත් සිදුවීමට යන විනාශය අවම කීරීමට, අඩුම තරමින් විකල්ප ණය තිරසරකරන සැලැස්මට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම ජනතාවට හිතකර අයුරින් සංශෝධනයකට ඔබ පාලනය යා යුතු බවයි.
    එම පදනමේ සිට ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ගැටලුව හා එහි අනාගත අභියෝග පිළිබඳ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. රටේ ණය ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශීය ණය ලෙස වෙන් කරන අතර දේශීය ණය සඳහා වන ප්‍රතිව්‍යූහගතකරණය මේ වන විට සිදු කර අවසන්ය. නමුත් එම දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පසුගිය රනිල්-රාජපක්ෂ ආණ්ඩුව සිදු කරනු ලැබුවේ විනිවිදභාවයකින් තොරව හිතුවක්කාරී පිළිවෙතක සිට බව පැහැදිළිව පෙණුනු කරුණකි. එම අවස්ථාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය හා විපක්ෂයේ දේශපාලන පක්ෂ පැහැදිලි විරෝධයක දක්වමින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධ ගැටලු දෙකක් මතු කරන ලදී. එම ගැටලු වූයේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක සුබ සාධන අරමුදල් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුළුමනින්ම බිලිදීමට ගත් තීරණය හා ණය ප්‍රතිව්‍යූහගතකරණය හරහා අසීමිත ලාභයක් මූල්‍ය වෙළෙඳපොළේ සිටින ප්‍රාථමික ගැණුම්කරුවන් ඇතුළු පෞද්ගලික ගැණුම්කරුවන්ට හිමි වන බවත්ය.

    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේ ගැටලු

    මෙම දේශිය ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කාරණය වූයේ 30%ක විදේශ ණය කප්පාදුවක් සඳහා දේශීය ණය 30%ක කප්පාදුවක් සිදු කළ යුතු බවයි. එහෙත් එම කප්පාදුව සිදු වූයේ ඉතාම අසාධාරණ පදනමක් මත බව ඒම කාලය තුළදීම වෘත්තීය සමිති ව්‍යාපාරය විශාල අරගලයක් කරමින් කියා සිටියේය. එමෙන්ම මේ වන විට සකසා ඇති විදේශී ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී එවැනි 30% ක විදේශිය ණය කප්පාදුවක් නොමැති බවද පෙනී යයි. මෙහිදී සිදු වූ තත්වය නැවත ඉස්මතු කළ යුත්තේ එම අවස්ථාවේ විපක්ෂයේ සිටි සියලු බලවේග ඊට එරෙහි වූ අතර තම පාලනයක තුළ අර්ථසාධක අරමුදල ඇතුළු සේවක අරමුදල්වලට සිදු වූ අසාධාරණය නිවැරදි කරන බවට ඔබ දුන් පොරොන්දුව නිසාය.

    කෙසේ වුවත් සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බැඳුම්කර හරහා රජයට ලබා දුන් ණයවලට (රුපියල් බිලියන 3500කට ආසන්න) ප්‍රතිලාභ අනුපාතිකය 2025 වන තුරු 12% ලෙසත් ඉන් අනතුරුව 9%ක් ලෙසත් වෙනස් කිරීම හරහා එම අරමුදල දීර්ඝ කාලීන ඛාදනයකට ලක් වනු ඇත. මෙම ගැටලුව පිළිබඳ ‘විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය’ විසින් ගොණු කළ නඩුවකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් අවධාරණය කර තිබුණේ වසර 2037වන විට අරමුදල 48% ක ඛාදනයකට ලක්වන බවයි. එම නිසා මෙම වැරැද්ද හා අසාධාරණ තත්වය නිවැරදි කිරීමට ලක්ෂ 22ක් වන මෙරට සක්‍රිය සේවක අර්ථසාධක ගිණුම් හිමි වැඩකරන පන්තිය බලාපොරොත්තු වනු ඇත.

    එමෙන්ම කාසියේ අනෙක් පැත්ත වන්නේ ඉතාම මතභේදකාරී අයුක්තිසහගත ලාභයක් ඉහත ප්‍රාථමික හා පෞද්ගලික ගැණුම්කරුවන්ට ලබාදීම පිළිබඳ ගැටලුවයි. එනම් සේවක අර්ථසාධක අරමුදලට හා අනෙක් සේවක සුබසාධන අරමුදල්වලට පිටින් පවතින ඉතිරි කිසිදු බැඳුම්කරයකට මෙම ප්‍රතිලාභ අනුපාත වෙනස් කිරීමක් මහබැංකුව එම මොහොතේ තීරණය නොකිරීමය. රජයට මෙලෙස ණය ලබා දෙන ප්‍රාථමික වෙළෙඳපොළ තුළ පිළිගත් මූල්‍ය ආයතන එවකට පැවතියේ 12ක් පමණි. සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක සුබ සාධන අරමුදල් කිහිපයකට හැරුණු කොට ඉතිරි මූල්‍ය ආයතන කිසිවක ප්‍රතිලාභ සඳහා බලපෑමක් ණය ප්‍රතිව්‍යුගතකරණයේදී සිදු නොවුණි.

    ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 අප්‍රේල් මස 01(ආර්ථික අර්බුදය සංකේතියව පුපුරා යාමේ ආරම්භය) දා සිට 2023 සැප්තැම්බර් 15(දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ කාල පරිච්ඡේදය) දක්වා කාල පරිච්ඡේදය තුළ රජය නිකුත් කළ බැඳුම්කර සඳහා ප්‍රතිලාභ අනුපාතිකය 20% ත් 33%ත් අතර විය. 2022 අප්‍රේල් 01 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා රජය නිකුත් කර ඇති බැඳුම්කරවල මුළු වටිනාකම රුපියල් බිලියන 1,825ක් පමණ වේ. ඒ සඳහා පමණක් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රතිලාභය පහත පරිදිය. මෙම ගණනය කිරිම සිදුකර ඇත්තේ මහබැංකු දත්ත පදනම් කරගනිමින් වසර කිහිපයක් ඉදිරියට පමණකි. මෙම ප්‍රතිලාභ ගෙවීම් 2025 න් අවසන් වන්නේ නැත.

    2023 වසරට – රු. බිලියන 394
    2024 වසරට – රු. බිලියන 453
    2025 වසරට – රු. බිලියන 453

    මේ සා විශාල ආර්ථික අර්බුදයක ගිලී පවතින රටක් මෙතරම් ඉහළ ප්‍රතිලාභයක් ඉහත මූල්‍ය ආයතන 12 කට (එවකට ප්‍රථමික වෙළඳපොළ තුළ පිළිගත් මූල්‍ය ආයතන- සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් හැර) ගෙවන්නේ කුමන උවමනාවකටද? අනෙක් අතට එම ප්‍රතිලාභය අර්ථසාධක අරමුදලට පමණක් අහිමි කළේ කුමන පදනමකින්ද ?

    මෙහි ප්‍රතිලාභ ගැන බැදුම්කර වෙළදපොළේ ප්‍රාථමික ගැනුම්කරුවන් වන මූල්‍ය සමාගම් දෙකක් නිකුත් කර ඇති නිල වාර්තා පහත වගුව හරහා දැක ගත හැක. එම වගුවට අනුව 2019 සිට 2023 දක්වා වසර පහක මුළු කාලය තුළ එම මූල්‍ය ආයතන ලබා ඇති ලාභයට වඩා දෙගුණයකටත් වැඩි ලාභයක් 2024(2024 මාර්තු 31 අවසන් වන) වසර තුළ පමණක් ලබා ගෙන ඇත. පැහැදිලිවම මෙම ලාභය ගලාගෙන ආවේ ඉහත තීරණයේ ප්‍රතිඵලයක් ලෙසය. එනිසා මෙය එක්තරා ආකාරයකට ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්සටම හිතාමතා වාසි සලසාදීමක් ලෙස පෙනී යයි.

    එම නිසා දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක අරමුදල්වල

    ට සිදු වූ අසාධාරණය නිවැරදි කිරීමත් ඉතිරි මූල්‍ය සමාගම් වෙත ලබා දුන් අනිසි ලාභය අවසන් කිරීමත් වත්මන් ආණ්ඩුව ඉදිරිපිට ඇති කර්තව්‍යයකි.

    විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය

    විදේශීය ණය ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. බහුපාර්ශ්වීය ණය (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි), ද්වි පාර්ශ්වීය ණය (චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් ලබා දුන් ණය), වාණිජ වෙළඳපොළෙන් ලබා ගත් ණය එම පාර්ශ්ව ත්‍රිත්වයයි. දැනට ණය පිළිබඳ එකඟතාවයේ සිදු වෙමින් ඇත්තේ වාණිජ ණය ඉලක්ක කර ගෙනය. ඉතිරි සියලු ණය සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ මට්ටමේ සාකච්ඡා සිදු වී ඇත. කෙසේ වුවත් දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව රනිල්-මහින්ද පාලනය පසුගිය සැප්තැම්බර් 19 වැනිදා වාණිජ ණය එනම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබවද ඇති කර ගෙන ඇති ඒකඟතාව රටේ අනාගතයට ඉතාම අවදානම්කාරී වේ. එමෙන්ම ඉතිරි ණය ප්‍රතිව්‍යූහගත කරණය සිදු වන්නේද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිවූහගතකරණය සඳහා ගනු ලබන පදනම මත සිටය. එම නිසා මෙය මේ මොහොතේ නිවැරදි නොකළහොත් එය දශක ගණනාවක ආර්ථික උගුලක රට සිර කිරීමක් වනු ඇත.

    ලංකාව විසින් 2022 සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා වන පොලිය සහ කල් පිරීමේ වාරික නොගෙවා සිටි අතර 2028 සිට එය නැවත ගෙවීම සඳහා මේ වන විට සැලැස්මක් ඉදිරිපත් කර ඇත. මෙම සැලැස්ම පිළිබඳ මතභේදාත්මක කරුණු රැසක් ඇති අතර ඒවා පහත පරිදි දැක්විය හැකිය.

    1. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම ලෙස ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සමග සම්බන්ධ කිරීම

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම ලෙස ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සමග සම්බන්ධ කිරීම ණය හිමියන් විසින් යෝජනා කරන ලදුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එකඟ වී ඇත. වාර්තා වී ඇති ආකාරයට මෙම ක්‍රියාමාර්ගය ලෝකයේ පළමු වතාවට අත්හදා බැලීමට යන්නේ ලංකාව තුළය. ඉහත සඳහන් ආකාරයට නාමික දළ දේශීය නිෂ්පාදිතය මත පදනම් වී ණය ප්‍රතිව්‍යූගතකරණය ඉතාම අවාසිසහගත වේ. නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ යන විට යම් අවස්ථාවක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කඩා වැටිය හැකිය. 2023 වසරේ ලංකාවේ මුර්ත දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 2.3 % ක් වුවද 2022 නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන74.4 ක සිට 2023 දී ඩොලර් බිලියන 84.4 දක්වා ඉහළ ගොස් ඇත.
    එනම්, රටේ ආර්ථිකය සැබෑ ලෙස කඩා වැටෙද්දී නාමික දළ දේශිය නිෂ්පාදිතය ඉහළ යාම මුළු ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා දර්ශකයක් ලෙස පාදක කරගනී. මෙය සැබෑ ආර්ථිකය බිඳ වැටෙද්දී ණය කප්පාදුව අහිමි කරන රුදුරු සමීකරණයකි. මෙහිදී ඔවුන් පාදක වසර ලෙස යොදාගනු ලබන්නේ 2025, 2026, 2027 යන ඉදිරි වසර තුනයි. එම වසරවල නාමික දළ දේශිය නිෂ්පාදිත අගයන්ගේ එකතුවේ සාමාන්‍යය පදනම් කරගනිමින් මෙම ණය ගෙවීමේ සැලසුම සකසා ඇත.

    යම් හෙයකින් 2025-2027 වසර තුන තුළ නාමික දළ දේශිය නිෂ්පාදිතය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කරන පුරෝකථන අගය වන අමෙරිකන් ඩොලර් බිලියන 88.6 ට වඩා ඉහළ ගිය හොත් එම ඉහළ යන අගයන්ට සාපේක්ෂව 27% ක් ලෙස දක්වා ඇති ණය කප්පාදුවේ ප්‍රමාණය 12% දක්වා පහළ යයි. ඉදිරි වසර තුන ඇතුලත නාමික දළ දේශිය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ සාමාන්‍යය ඩොලර් බිලියන 107 දක්වා ඉහළ ගියහොත් 12% දක්වා මෙම ණය කප්පාදුව අඩු වීමට නියමිතය. මෙය ඉතාම පැහැදිලිව ණය හිමියන්ට වාසි සහගත වන අයුරින් සකසන ලද්දකි. එම නිසා ඉහත ණය සාකච්ඡාවලදී රනිල්-රාජපක්ෂ පාලනය විසින් ඇටවු මෙම උගුලෙන් ඉවතට ආ යුතුව ඇත.

    2. දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ණය අනුපාතය 95% ක් වීම ප්‍රශස්ත අගයක් යැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පැවසීම

    මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ සලැස්මේ ඇති තවත් ගැටලුවක් වන්නේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව, රාජ්‍ය ණය 95%ක් ප්‍රතිශතයක තීබීම යෝග්‍ය යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇති නිර්ණායකයයි. ආර්ථික පරිවර්තන පනත සකසා ඇත්තේද මෙම ප්‍රමිතියෙන් පැන නගින දර්ශක පදනම් කරගෙනය. එහෙත් මෙම පදනමේ බරපතළ ගැටලු ඇත.

    1990 දශකය ආරම්භයේදී ගෝලීය ණය තිරසරකරණ ඇගයීම් වාර්තාවක් නිකුත් කළ ලෝක බැංකුව, යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් ණය ප්‍රතිශතය 50% ඉක්මවා යන්නේ නම් එය අධික ණය බරින් යුතු රටක් ලෙස නම් කළේය. මෙම වාර්තාව මත පදනම් වන එක්සත් ජාතින්ගේ සංවිධානයද වසර 2006 සැසිවාරයකදී යෝජනාවක් පවා සම්මත කර ඇත. ගෝලීය දකුණේ ණය අර්බුදය පිළිබඳ කටයුතු කරන ‘ජුබිලි ව්‍යාපාරය’ වැනි සංවිධාන පවා රටක ණය ප්‍රතිශතය දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 50% ක පැවතිය යුතු බව දක්වයි. එම නිසා රටක ණය බරතාව පිළිබඳ බටහිර බලවේග විසින් පිළිගත් ආයතන පවා මෙම (රටක ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට වඩා අඩු විය යුතු බවට වන) ස්ථාවරය විටින් විට ගෙන හැර දක්වා ඇත.

    එහෙත් මේ සියල්ල පසෙක දැමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අගය 95% ක් වීම ගැටළුවක් නොවන බව දක්වයි. මෙහි සැබෑ වාසිය සැලසෙන්නේ ණයකරුවන්ටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉහත අගය 95% යැයි කියන අගයට වඩා පහතට ගෙන ගියේ නම් ණය කප්පාදුව තවත් ඉහළ යැමෙන් ලංකාවට විශාල සහන ලබා ගැනීමට හැකිව තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි ලෙසම මෙහිදි ණයකරුවන්ට වාසි ඇතිවන ලෙස මෙම නිර්ණායකය සකසා ඇත.

    3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳියාවන් අතර ගැටුමක සිටී

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අතරමැදියකු ලෙස සම්බන්ධ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ලංකාවට ණය ලබාදුන් ණය පාර්ශ්වකරුවෙකි. එම නිසා එවැනි සාකච්ඡාවක මැදිහත්කරුවකු වීමට සැබෑ අර්ථයෙන් ඔවුන්ට නොහැකිය. පවතින ස්ථාපිතයට යටත් නොවී ප්‍රශ්නය දෙස බලන ඕනෑම අයකුට එය වැටහේ. එපමණක් නොව අර්බුදයෙන් පසු ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා වාරික හතරකින් ලැබෙනු ලැබෙන ඩොලර් බිලියන 2.9ක ණය මුදලට ඩොලර් බිලියන 1.9ක පොළියක් ලබාගැනීමේ එකඟතාවකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසු වෙයි. මෙහි පොලී අනුපාතයේ 7%ක් තරම් ඉහළ අගයකි. සාමාන්‍යයෙන් එවැනි පොලියකට ණය ලබාදීම සිදුවන්නේ විවෘත වෙළඳපළින් වාණිජ ණය ගන්නා අවස්ථාවලදීය. මෙවැනි අධික පොලියක් අය කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ඩොලර් බිලියන 2.9ක ණය සඳහා නැවත වසර දහයක් ඇතුළත ඩොලර් බිලියන 4.7 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත. බහුපාර්ශවීය ණයකරුවන් එනම් ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සිය ණය සඳහා කිසිදු කප්පාදුවක් ලාබ නොදෙන්නේ ඔවුන් ණය දෙන්නේ 1%-2% අතර පොලී අනුපාතවලටය’ යන තර්කය පාවිච්චි කරමිනි. එහෙත් අපට මේ වනවිටත් ලාබා දී ඇති විස්තීරණ ණය පහසුකමේ මුදල වන ඩොල්ර් බිලියන 2.9 ලබාදෙන්නේ ඉහත සඳහන් පරිදි 7% ක තරම් අධික පොලියකටය. එසේ නම් කප්පාදුව බැහැර කිරීමට යොදා ගන්න තර්කය ඉන් බැහැර නොවේද? මේ සියල්ල හරහා පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම තුළ පැහැදිලිවම බැඳියාවන් අතර ගැටුමක් ඇති බවයි.

    4. අධික පොලී ප්‍රතිශත රටකට දැරිය හැකිද?

    දැනට යෝජිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බෙදුම්කර ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මට අනුව එම බැඳුම්කර සඳහා 8.75% සිට 9.75% කූපන් අගයක් ගෙවීමට (2033 සිට 2038 දක්වා කල්පිරීමට නියමිත බැඳුම්කර සඳහා එම කාලයට අදාළව) යෝජිතව ඇත. එමෙන්ම දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සමග සම්බන්ධ කරමින් සකසා ඇති ණය සමීකරණවලට අනුව 2028-32 අතර කූපන් ප්‍රතිශතය 3.35 % සිට 5.1% කූපන් අගයක් ගෙවීමට යෝජිත වන අතර එය ඉහත නාමික දළ දේශිය නිෂ්පාදිතය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදනම් අගයට වඩා වැඩිවන ප්‍රමාණයට සාපේක්ෂව කූපන් අගය 0.25 % සිට 2% දක්වා තවදුරටත් වැඩි විය හැක. යෝජිත සැලැස්මට අනුව එහි බරිත පොලිය 5.5% සිට 8% පමණ දක්වා වෙනස් විය හැක.

    ඉදිරි වසර කිහිපය පිළිබඳ පුරෝකථනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම දක්වා සිටින්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3% අගයකට අඩු තත්වයක පවතිනු ඇති බවයි. ආර්ථික වර්ධන වේගයට සමාන්තර ප්‍රතිශතයක ණයවල පොලී අනුපාතික පැවතිය යුතු යැයි සාමාන්‍ය ආර්ථික විද්‍යාත්මක පිළිගැනීමක් ඇත. මෙම ණය සැලසුම තුළම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ ඇත්තේ 2024-27 වසර අතර ලංකාවේ සමස්ත මූර්ත දළ දේශීය නිෂ්පාදනය වර්ධනය 11.5% වනු ඇති බවයි. එසේනම් ඔවුන්ම පවසන ආකාරයට වසරකදී ළඟාවිය හැක්කේ 2.7%ක ආර්ථික වර්ධන වේගයකට ය.

    එහෙත් සිදුවනු ඇත්තේ, ආර්ථික වර්ධන වේගය 3% අගයක පවතින බවට පුරෝකථනය කළ තත්ත්වයක් යටතේ පවා බරිත පොලිය 6% ක සිට 8.5% දක්වා අති විශාල පොලී අනුපාතවලට එකඟවීම හරහා නැවත වටයකින් විශාල ණය උගුලක රට හිරවීමයි. මෙලෙස අධික කූපන් පොලී ප්‍රතිශතවලට එකඟවීම හරහා ලංකාව අනාගතයේ ලබාගන්නා ණයවල පොලී ප්‍රතිශතවලටද බලපෑමක් වනු ඇත. එම පොලී ප්‍රතිශත සැකසෙනු ඇත්තේ මෙම අගයන්ද පූර්වාදර්ශයට ගනිමින්ය.

    5. නොගෙවූ පොලියට නැවත පොලියක්

    දැනට යෝජිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මට අනුව 2022 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා නොගෙවූ කූපන් වාරික ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,678 (27% කප්පාදුවෙන් පසුව) ක මුදලක් දක්වා ඇත. එම යෝජනාවට අනුව එයද තවත් බැඳුම්කරයක් ලෙස නම් කර 4% කූපන් පොලියක් ලබාදෙමින් 2024 සිට 2028 දක්වා කොටස් වශයෙන් ගෙවී යාමට සැලැස්මක් ඉදිරිපත් කර ඇත. මෙහි හරය වන්නේ නොගෙවූ පොලී සඳහා නැවත පොලී අය කිරීමකි. මේ ඉතා අසාධාරණ තත්ත්වයක් වන අතර ‘දඬුවම් මුදලාලි’ පන්නයේ ගිනිපොලී පිළිවෙතකි. එම දඩ පොලිය වසරකට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 64කි. මෙහිදී දැක්විය යුත්තේ මීට සති කිහිපයකට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කළ ඝානා රාජ්‍යය මෙවැනි දඩ පොලියකින් තොරව එය සිදු කළ බවයි. රටේ දරුවන්ගෙන් හතරෙන් එකක් මන්දපොෂණයට ගොදුරුව ඇති තත්වයක සහ නිල වාර්තාවලට අනුව රටේ දුප්පතුන් 26% දක්වා වැඩි වි ඇති තත්වයක මෙවැනි දඩ පොලියකට අප එකඟ විය යුතු නැත.

    6. එකඟවීමේ ගාස්තු

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන සැලැස්මේ දක්වා ඇති පරිදි මෙම සැලැස්මට එකඟවීම යන කරුණ සඳහා 1.8% එකඟවීමේ ගාස්තුවක් එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 225ක ගාස්තු ගෙවිය යුතුය. දඩ පොළියට අමතරව තවත් එකඟවීමේ ගාස්තුවක් ගෙවීම සඳහාද බංකොලොත් වී ඇති රටක් නම්මා ගැනීමේ සධාරණත්වය කුමක්ද? මේ සියලු මුදල් බැර වනු ඇත්තේ මෙරට පොදු ජනයාගේ බදු ගොඩටය. පසුගිය පාලනය සකසා ඇති මෙවැනි එකඟතා නව පාලනයක් විසින් ප්‍රශ්න කළ යුතු නොවේද? ඉහතින් සඳහන් කළ අප වැනිම පහළ මැදි ආදායම් ලාභි රටක් වන ඝානාව ඩොලර් බිලියන 13ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙම එකඟ වීමේ ගාස්තුව ලෙස ගෙවා ඇත්තේ 1% ක අගයක් පමණක් බවද මෙහිදී අවධානයට ලක් කරමු . රනිල්-රාජපක්ෂ පාලනයේ දඩ පොලී සහ විශාල එකඟවීමේ ගාස්තු සහිත ණය ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මක් සකස් කර එයට ජාතික ජන බලවේග ආණ්ඩුවේ රබර් මුද්‍රාව යොදාගැනීමේ සැලැස්මක් මෙහි තිබෙන බව බැලු බැල්මට පෙනීයන කාරණයකි. එම නිසා බැඳුම්කරහිමියන්ම ඉදිරිපත් කළ ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මට එකඟ වූ විට අප එකඟවීමේ ගාස්තුවක් ගෙවිය යුතුද? අනෙක් අතට එම ගාස්තුව 1.8% තරම් ප්‍රතිශතයක් විය යුතුද යන ප්‍රශ්න මතු කළ යුතුය.

    7. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල පොලී ප්‍රතිශත ඉහළ යාමේ අනතුර

    මෙවැනි ඉතාම ආතතිකර ණය ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මකට රට එකඟ වුවහොත් ඒ හරහා අපගේ ණය තිරසරභාවය කුමන හෝ මොහොතක පහළ යනු ඇත. එලෙස ණය තිරසරභාවය පහත වැටීම විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මෙන්ම ද්වී පාර්ශවීය හා බහු පාර්ශවීය ණයවල පොලී ප්‍රතිශත ඉහළ යාමේ අවදානමක් අනාගතයෙහි නිර්මාණය විය හැක.

    8 .ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදීගත් ලංකාවේ බැංකු මූල්‍ය ආයතනවලට විශාල වාසියක්

    ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන ගණනාවක් ඩොලර් බිලියන 1.8 ක පමණ(2023 වසර අවසන් වන විට) ජාත්‍යන්තර ස්වෛරී බෙදුම්කර මිලදීගෙන තිබුණි. එහෙත් වාර්තා වන ආකාරයට එවකට රටේ පැවති ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ගෙවුණු කාලය තුළ (2020 මාර්තු සිට මේ දක්වා) ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අලෙවි වී ඇත්තේ එහි සැබෑ වටිනාකමින්(මුහුණත වටිනාකම) 24% සිට 60% (වෙළඳපල වටිනාකම) පමණ අඩු වටිනාකමකටය. එනම් රජය ඩොලර් බිලියන 1.8ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන වෙත 2023 වසර අවසන් වන විට නිකුත් කර තිබුණත් එම බැඳුම්කරවලින් කොටසකට හෝ ඔවුන් ගෙවා ඇත්තේ ඊට වඩා අඩු අගයක් බව අනුමාන කළ හැක.

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මේදී ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ඇති සැලැස්ම එම ආයතනවලට ඉතාම වාසිදායක වී ඇත. 2022 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදයත් සමග සාමාන්‍ය සාකච්ඡාවේ පැවතුණේ 55% පමණ කප්පාදුවක් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර වෙත ඇතිවිය හැකි බවයි.

    ජාත්‍යන්තර ගිණුම්කරන මූලධර්මවලට අනුව කටයුතු කරන ආයතනවලට මෙවැනි අර්බුදයකදී පූර්ව සූදානමක් ලෙස කල් ඇතුව සිය ලාභයෙන් පංගුවක් වෙන් කරමින් ණය හා අලාභ සදහා හානිකරණයට සුදානම් වීම සමාන්‍ය සම්ප්‍රදායයි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මෙලෙස මිලදීගත් ලංකාවේ මූල්‍ය ආයතනවල විගණන කටයුතුවලට සම්බන්ධ වූ ආයතන වලින්ද එම මූල්‍ය ආයතනවලට ලබා දී තිබූ උපදෙස වන්නේ 55% කප්පාදුවකට සූදානම් වන ලෙසයි. ඒ සඳහා 2022 වසරේ සිට මේ දක්වා එම බැංකු හා මූල්‍ය ආයතනවල වෙන් කිරීම් සිදුකර ඇති අතර යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළ එම ණය කප්පාදුව 35-39 % ක් වැනි අගයකට අඩු කර ඇතැයි කියැවේ. මේ හේතුවෙන් එම බැංකු හා මූල්‍ය ආයතනවලට විශාල ලාභයක් මෙම වසර තුළ ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනවල කොටස් මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස අතිවිශාල ලාභයක් බැංකු හා මූල්‍ය සමාගම් කීපයක් අත ගොඩ ගැසීම පොදු ජනතාවට දැරිය නොහැකි බදු පීඩනයක් ලෙස ඉදිරි කාලයේදී මුහුණ දීමට සිදුවනු ඇත. මෙහිදි බැංකු පද්ධතිය ආරක්ෂා කරමින් එහෙත් අනිසි ලාභායක් ඉපයීමට ඉඩ නොතබමින් ඔවුන් මේ වනවිටත් සුදානම්ව සිටින 55% ක කප්පාදුව වැනි ක්‍රියාමාර්ගයකට යා හැක.

    9 .ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ‘මුහුණත වටිනාකම’ හා ‘වෙළඳපොළ වටිනාකම’

    මහ බැංකුව මගින් නිකුත් කරන බැඳුම්කර හා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබඳ සාකච්ඡාවේදී මෙම මුහුණත අගය හා වෙළඳපළ අගය අතර පරතර යන කරුණ අතර පදනම් වී සාකච්ඡාවක් ගත හැක. යම්කිසි බැඳුම්කර නිකුතුවක් අවස්ථාවේදී ඒ මොහොතේ පවතින ආර්ථික ශ්‍රේණිගත කිරීම් හා තවත් කරුණු මත යම්කිසි රටක බැඳුම්කරයක් සඳහා ලබාගත හැකි මූල්‍යමය වටිනාකම තීරණය වන අතර එමගින් ස්වෛරී බැඳුම්කරයක මුහුණත වටිනාකම හා වෙළඳපොළ වටිනාකම අතර පරතරයක් නිර්මාණය වේ. 2020 වසර ආරම්භයේදී ලංකාවේ බැඳුම්කරයක් සඳහා වෙළඳපොළ වටිනාකම් පැවතියේ 97% වැනි අගය. එහෙත් ඒ කොවිඩ් අර්බුදයත් සමග ඇති වූ ආර්ථික අස්ථාවරභාවය විසින් 2020-21 වසර වන විට 24%-60% මට්ටමට පහත වැටුණි. රජය නිකුත් කළ තෝරාගත් එක් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරයක (ISIN- USY8137FAL23) වෙළඳපොළ තුළ කාලානුරූපීව හිමි වූ වෙළඳපොළ වටිනාකම් ප්‍රතිශත පහත වගුවේ දක්වා ඇත.

    ඒ අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර 2022 අවසානය වන විට ද්වීතීක වෙළඳපොළ තුළ හිමිව ඇති වෙළඳපොළ වටිනාකම 24% දක්වා පහත වැටී ඇති බවයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූල්‍ය ආයතනවල ඔවුන්ට අදාළ වන මූල්‍ය රෙගුලාසි ඇති බැවින් මෙවැනි ආර්ථික බිඳවැටීමකදී ඔවුන් සතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විවෘත වෙළඳපළ තුළ විකිණීමට ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල මගින් තීරණය කරනු ලබයි. මෙවැනි අවස්ථාවල සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගනු ලබන්නේ යම්කිසි අවදානමක් ගනිමින් අධික ලාභ ලැබීමේ උවමනාවෙන් කටයුතු කරන විවිධාකාර කුප්‍රකට සමාගම්ය. එනිසා මෙම බැඳුම්කරවල සැබෑ අයිතිය දැන් තිබෙන්නේ කාටද යන්න සොයා බැලිය යුතුය. ඔවුන් එවා මිලදීගත් වෙළඳපොළ වටිනාකම සසඳා බැලිය යුතුය. මුල් මිල දී ගත් සමාගම් සතුව තවමත් එහි අයිතිය නොපවතී නම් කූට ලෙස අධික ලාභයක් ඉපයීමට සුදානම් වන කුප්‍රකට පුද්ගලයන්ට එම ලාභය ලබාදිය යුතු නැත. මන්ද ඒ හරහා ඔවුන්ට කිසිදු පාඩුවක් සිදු නොවේ.

    10. වෝහාරික විගණනය

    ලෝකයේ ණය පිළිබඳ සංවාදයේ ප්‍රබල ලෙස මතුකරන කාරණයක් යවන්නේ විලෝපික ණය(Predatory Loans), එනම් රාජ්‍යයන් ගොදුරු කරගැනීම සඳහාම ලබා දෙන ණය පිළිබඳ සංවාදයයි. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට පෙර විශ්ෂයෙන්ම 2023 ජනවාරි මාසයේ ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානීස් වරුෆකීස් ප්‍රමුඛ ලෝකයේ විද්වතුන් 182 කගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින් ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේ පිලිකුල් සහගත ණය (Despicable Loans) නොගෙවා සිටින ලෙසයි. ලංකාව සමස්තයක් ලෙස ලබාගත් ද්විපාර්ශ්වීය ණය, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, බහුපාර්ශ්වීය ණය හරහා මෙම පිලිකුල් සහගත ණය අර්බුදයට අප ඇතුළු වී ඇත. මේ පිළිබඳ 2022 වසරේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2006 සිට 2021 දක්වා රුපියල් බිලියන 8,200 ණය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලින් සැබෑ වත්කම් ලෙස පවතින්නේ බිලියන 2,700කට ආසන්න වත්කම් පමණක් බවය. මෙම වාර්තාව පදනම් කර ගනිමින් ලංකාවේ ණය පිළිබඳ වෝහාරික විගණනයක් කළ යුතු බවට ප්‍රබල ඉල්ලීමක් ඇත. ණය අර්බුදයකට මුහුණ දී සිටි ඉක්වදෝරය කලකට ඉහතදී පිලිකුල් සහගත ණය පිළිබඳ කාරණය ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවට ඇතුළු කරමින් 80%ක ණය කපාහැරීමකට පදනම සකස් කර ගත් ආකාරය යථාර්ථමය අත්දැකීමක් ලෙස ඇත.

    එම නිසා මෙම පිලිකුල් සහගත ණය කපා හැරීමේ අවශ්‍යතාවක් ඇති අතර පසුගිය ‘ගෝඨා පලවා හැරීමේ අරගලය’ තුළද මෙම ඉල්ලීම ප්‍රබල ලෙස මතු විය. එමෙන්ම වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම තුළ ද දූෂණ විරෝධය පිළිබඳ මතයක් ඇති අතර එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වුවත් බැහැර කළ නොහැක. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාව නැවත සමාලෝචනය කරමින් ‘විකල්ප වැඩපිළිවෙළක්’ ඉදිරිපත් කරන බවට මැතිවරණ ව්‍යාපාරය තුළ ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇති නිසා ජනවරම තුළද ඊට අනුමැතියක් ඇති බව බැහැර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොහැකිය.

    11. ණ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයේ නීතිමය පදනම වෙනස් කිරීම

    දැනට ලංකාව ලබා ගෙන ඇති ණයවල නීතිමය ගැටලුවක් මතු වුවහොත් එයට අදාළ වන්නේ ‘නිව්යෝක් නිති රාමුව’යි. එහෙත් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙම නීතිමය රාමුව ‘ලන්ඩන් නීතිමය රාමුව’ දක්වා වෙනස් කිරීමේ ප්‍රවේශයක් ඇත. නිව්යෝක් නීතියට අනුව, රටක ණය අර්බුදයකදී ණය කපා හැරීමේ හැකියාවක් ඇති අතර එය ලන්ඩන් නීති රාමුවට මාරු කළහොත් එම අවස්ථාව ඇහිරී යනු ඇත. අනෙක් අතට මෙහිදී නැගෙන සාධාරණ පැනය වන්නේ අප තවමත් ණය උගුලේ සිරවී සිටින නිසා නැවත රට බංකොලොත්භාවයට පත්වුවහොත් ඒ සඳහා වන පූර්ව සූදානමක් ලෙස ණය හිමියන් විසින් මෙවැනි කරුණක් ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසිවලට ඇතුළු කළාද යන්නයි.

    12. විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය

    ජනාධිපතිවරණ වේදිකාව තුළ අප නියෝජනය කළ ජන අරගල සන්ධානය අවධාරණය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයෙන් ඉවත් විය යුතු බවය. එහෙත් ජාතික ජනබලවේගය කියා සිටියේ ජනතාවට හිතකර අයුරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලැස්ම සංශෝධනය කරන බවය. එමෙන්ම බලය ලබාගැනීමෙන් පසුව ‘විකල්ප ණය තිරසරකරණ සැලැස්මක්’ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන බවය. මෙම කටයුත්ත සඳහා සමහර විට වසරක එකහමාරක පමණ කාලයක් ගතවිය හැකි බවද විවිධ මාධ්‍ය සාකච්ඡාවල ඔබ ප්‍රකාශකර තිබුණි. ලංකාව ණය උගුලක සිර කිරීමට සියලු සැලසුම් සකස්කර ගිය රනිල්-මහින්ද පාලනය, තමන් ඇටවූ උගුලේ අභිනව ආණ්ඩුව සිරවන තුරු බලා සිටින බවක් පෙනේ.

    අප ඉතාමත් ඕනෑකමින් කියා සිටින්නේ ජාත්‍යන්තර හා ජාතික කුමන්ත්‍රණකාරී බලවේගයන්ගේ න්‍යායපත්‍ර කෙතරම් තදින් පෙළ ගැසී තිබුණද මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, අවම වශයෙන් ඔබ ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ ආකාරයට ‘විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය’ හරහා වෙනස් කිරීමක් නොකළහොත් 2027 අවසාන වනවිට තියුණු ණය උගුලක රටත් ජනතාවක් ඇද වැටෙනු ඇති බවයි.

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙම කරුණු දැක්වීම පිළිබද සාරාංශය පහත පරිදිය. දේශය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙදී පුද්ගලික අංශ සේවක අරමුදල වෙත සිදුවූ හානිය නැවත නිවැරිදි කිරීම හා ප්‍රාථමික ගැණුම්කරුවන් ලබමින් සිටින අනිසි ලාභය අවසන් කිරීම, ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම් දර්ශකය ලෙස සලකන ‘නාමික දළ දේශිය නිෂ්පාදිතයේ ඩොලර් අගය’ යන දර්ශකයෙන් මුලුමනින්ම බැහැරවීම, රටේ ණය ප්‍රමාණය 95% වීම ගැටලුවක් නොවන බව කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ස්ථාවරය වෙනත් බටහිර ආයතනවල වාර්තා පදනම් කරගනිමින් අභියෝගයට ලක් කිරීම, 2028 ණය හා පොලීවාරික ගෙවීම ආරම්භ කරනවා වෙනුවට තවත් සැලකිය යුතු කාලයක් ඒ සඳහා ගැනීම, වෝහාරික විගණනයක් හරහා පිළිකුල් සහගත ණය-විලෝපික ණය ගෙවීම බැහැර කිරිමේ ප්‍රවේශයකට අවතීර්ණ වීම, රටේ ආර්ථික වර්ධන වේගයට වඩා අධික ලෙස ඉහළ මට්ටමක පවතින කූපන් වාරික පහළට ගෙන ඒම, ණය පිළිබද නීතිමය රාමුව එක්සත් ජනපදයේ සිට එක්සත් රාජධානිය වෙත මාරු කිරීම නතර කිරීම, ඩොලර් මිලියන 223ක එකඟවීමේ ගාස්තුව පිළිබද විරෝධය පළ කිරීම (අවම වශයෙන් එය ඝානාවේ මට්මට පහත හෙළාගැනීම), 2022 සිට මේ දක්වා නොගෙවූ පොලියට, කූපන් වාරිකවලට දඩ ගැසීම නතර කිරීම හා එම හිග පොලිය(කූපන් වාරික කපා) හැරීම, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර වල වත්මන් හිමිකරුවන්ගේ තොරතුරු සලකා බලමින් ඔවුන් බැදුම්කර මිලදී ගත් වටිනාකම මත ප්‍රතිලාභ ගෙවීමේ මූලධර්මයකට අවතීර්ණ වීම, ලංකාවේ බැංකු සහ මුල්‍ය ආයතන ලබා ගැනීමට යන විශාල ලාභය වලකාලමින් ඔවුන් 2022 සිට සූදානම් වු 55% ණය කප්පාදුවක් සහිත ප්‍රතිකර්මයක් ඔවුන්ට ඉදිරිපත් කිරිම වශයෙන් සාරංශ කළ හැක.

    කෙසේවුවත් මේ සියල්ලට ඉඩ කඩ විවර වන්නේ ‘විකල්ප ණය තිරසර කරන සැලැස්මක්’ සාකච්ඡා මේසයට ඉදිරිපත් කිරීමත් සමගය.

    2028 ණය උගුල නැවත පුපුරා යාමේ අවදානම හා කල්පවතින ආර්ථික අස්ථාවරත්වයක අද්දර රට පවත්වාගෙන යාම
    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, ද්විපාර්ශික ණය හා බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව 2028 වසරේ සිට ඩොලර් බිලියන 4-5ක පමණ විශාල වාරිකයක් ගෙවීමට ලංකාවට සිදුවනු ඇත. එනම්, වත්මන් මුල්‍ය අනුපාතවලට අනුව ගතහොත් රුපියල් බිලියන 1200-1500ක පමණ අමතර ඉපයීමක් මේ සඳහා රජයට තිබිය යුතුය. එමෙන්ම ඩොලර් සංචිතයද මේ සඳහා ප්‍රමාණවත් මට්ටමට ප්‍රසාරණය විය යුතුය. එහෙත් පෙනී යන ආකාරයට මෙය ඉතාමත් තියුණු අභියෝගයක් වනු ඇත. අවම වශයෙන් ණය ප්‍රතිවූහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යළි සකස් කර නොගතහොත් ණය ප්‍රතිව්‍යුහතකරණය පිළිබඳ සමහර රටවල අත්දැකීම් අනුව යළි යළිත් බංකොලොත්භාවයට පත්වීමේ අත්දැකීමට ලංකාවට මුහුණදීමට සිදුවනු ඇත. එමෙන්ම එවැනි අසාර්ථක රාජ්‍යයක අත්දැකීම හා කලාපීය බලවතුන්ගේ න්‍යායපත්‍රය ලංකාව වෙත තියුණු ලෙස පතිත වීමේ අනතුර ඇත. එම නිසා මෙම ගැටලුව පිළිබඳ ඉතාම ගැඹුරු අධ්‍යයනයකින් හා විශ්ලේෂණයකින් පසුව අවම වශයෙන් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව වූ ‘විකල්ප ණය තිරසරකරණයකට’ හා ජනතාවයට අවාසිදායක වන කොන්දේසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයෙන් ඉවත්කර ගැනීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව සතුව ඇති අතර, එය දිගුකාලීන අසාර්ථක රාජ්‍යයක අද්දර පවත්වාගෙන යාමේ එක්සත් ජනපද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් න්‍යාය පත්‍රයෙන් ජනතාව ගලවාගැනීමේ ප්‍රගතිශීලි – ඓතිහාසික ප්‍රවේශයක් වනු ඇත.
    ස්තූතියි
    මධ්‍යම කාරක සභාව
    පෙරටුගාමී සමාජවාදී පක්ෂය

  • පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.

    පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.

    රටේ බල පෙරළියක් සිදුව ඇති බව අප දනිමු. රටේ ජනපතිවරණයකින් බලය ලැබූ පක්ෂයකට ඒ ආසන්නයේ ම ඇති මහ මැතිවරණයේදී ද බලය ලැබෙන බව දේශපාලනය ගැන දැනුමක් නොමැති අය පවා දන්නා කාරණාවකි.
    ඒ අනුව මෙවර ජාතික ජන බලවේගය රටේ වැඩි ආසන ගණනක් ලබා ගනු ඇත. ගැටලුව එය නොවේ. ඕනෑ ම රටක, ඕනෑ ම රජයක් නිවැරදි දිශාවකට ගමන් කරවීමට ශක්තිමත් නැතිනම් හොඳ විපක්ෂයක් අවැසි ය.
    මෙතෙක් බලය නොලබා සිටි ජාතික ජන බලවේගය සිදු කළේ, බලය ලබා සිටි අය විවේචනය කිරීම සහ වැරදි පෙන්වා දීමයි. එය පසුගිය පාර්ලිමේන්තුව දෙස බැලිමේදී අපට වැටහෙණු ඇත.
    අද ඔවුන් බලය ලැබූ පසු ඔවුන්ගේ වැරදි පෙන්වා දීමට පැරණි බලය ලබා සිටි එක්සත් ජාතික පක්ෂය, පොහොටිටු හෝ සමගි ජන බලවේගයට නොහැකි වන්නේ ඔවුන් කළ වැරදි නිසා මෙන්ම ජා.ජ.බලවේගය හා තර්ක කර සටන් වැදීමට ශක්තියක් නොමැති නිසාවෙනි.

    එමෙන්ම ජාතික ජන බලවේගයට ඔවුන් අභියෝගයක් ද නොවේ. එසේනම් අප ඔවුන් විවේචනය කළ හැකි කිහිපදෙනෙකුට හෝ අවස්ථාව ලබා දිය යුතුය.

    එයට හොඳ ම විකල්පය ලෙස අපට පෙරටුගාමීන් ( ජන අරගල සන්ධනය) හැඳින්විය හැක. ඔවුන් කුඩා බලයක් ඇති කණ්ඩායමක් වුවද ඔවුන් වම නියෝජනය කරන, පීඩිත පංතිය ගැන කතා කරන හොඳ සටන්කාමින් පිරිසකි.
    පැරණි ජනතා විමුක්ති පෙරමුණේ නියම ගුණාංග අද ඔවුන් උකහා ගෙන ඇත. ජාතික ජන බලවේගයේ වැඩ බැලීමට රටේ බලය ඔවුන්ට ලබා දුන්නා සේ ජන අරගල සන්ධානයේ වැඩ බැලීමට ආසන දෙකක් ලබා දීමේ කිසිදු වරදක් නැත.
    පොහොට්ටුවෙන්, එජාපයෙන්, සමගි ජන බලවේගයෙන් ඉවත් වූ, ඔවුන් ගැන කලකිරී සිටින ජනතාවට මෙවර ජාතික ජන බලවේගය හා ගැටීමට ජන අරගල සන්ධානය අත්හදා බැලිය හැකිය.
    වාමාංශික යැයි සිතා, ජ.වි.පෙ. යැයි සිතා ජාතික ජන බලවේගයට ජන්දය දී එම බලාපොරොත්තු බිඳී ගිය අයට ද ජන අරගල සන්ධානය අත්හදා බැලීමේ වරදක් නැත. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාර ශක්තිය දුර්වල බව අපට පෙනී ගොස් ඇත. එහෙත් ඔවුන් ද හොඳ තරගකරුවන් කිහිපදෙනෙකු සටන් බිමට බස්සවා ඇත.

    ඉන් ඉදිරියෙන් ම කොළඹින්, පුබුදු ජාගොඩ තරග කරමින් සිටී. අති දක්ෂයෙකු වන පුබුදු උගත්කම පමණක් නොව පෞද්ගලික ප්‍රතිලාබ නොතකා ජනතාව වෙනුවෙන් වාම අදහස් පෙර දැඩි කොට ගනිමින් කළ කැපවීම අප සඳහන් කළ යුතු නොවේ.

    එමෙන්ම ගාල්ලෙන්, ලහිරු තරග වදින අතර, ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙයවා අත්දැකීම් ලත් උගත් තරුණයෙක් වන අතර, ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තියක් ද ඇති බව නොරහසකි.
    ගම්පහින්, රටේ මෑත කාලීන ශිෂ්‍ය ව්‍යාපාරයේ රන් අකුරින් නම ලියවා ගත් අති දක්ෂයෙකු වන වසන්ත මුදලිගේ සටන් වදිමින් සිටී. පසුගිය අරගල සමයේ පාර්ලිමේන්තු වට රවුමේ සිද්ධිය ඔබට අමතක වීමට කිසිදු ඉඩකඩක් නැත. ප්‍රහාර හමුවේ තම සගයන් සමග ඒ කළ සටන, රටේ සමාජවාදි ශිෂ්‍ය සංගමයට විවේචන තිබූ අය පවා සහය දුන් සටනක් බව අප දනිමු. එවන් තරුණයන්ට අප අවස්ථාව ලබා දිය යුතු ම ය.
    ගම්පහ යනු පබාලා ආ ආසනයකි. රණතුංගලා වැනි හොරුන් පත් වූ ආසනයකි. එම පාදඩ, රටට අහිත කර උන් පත්කර හෙම්බත් වූ ජනතාවනි, මෙවර මෙම තාරුණ්‍යයට ඉඩක් ලබා දෙන්න.
    අප ආණ්ඩු පෙරලිය යුතු නැත. පැරණි සාම්ප්‍රදායික උන් එලවා නව රජයක් පත්වීමේ සතුට අපට ද ඇත. එහෙත් එය නිවැරදි මඟ ගමන් කරවීමට නිවැරදි, ශක්තිමත් විපක්ෂයක් අවැසි ය.
    පසුගිය සමයේ විපක්ෂයක් සිටිය ද විපක්ෂයේ කාර්යය භාරය ජ.වි.පෙ. මන්ත්‍රීන් තිදෙනෙකු මත පැවරුණේ කෙසේද එලෙසම අද ජාතික ජන බලවෙිගය හා ගැටී ඔවුන් නිවැරදි මඟ රැගෙන යාමට මෙවැනි ශක්තිමත්, උගත් ,දක්ෂ වාමාංශිකයින් කිහිපදෙනෙකු පත් කර යවමු.

    එසේ නොවුණ හොත් ඝෝඨාභය පත්කොට කැඹූරු හා තාප්ප පාටකල තාරුණ්‍යය පසුව කලකිරුණේ කෙසේද එසේම ජාතික ජන බලවේගය බලයට පත් කළ තාරුණ්‍යය ද කලකිරෙණු ඇත.
    මන්ද පත්වීමට නියමිත විපක්ෂය කිසිදු බලයක්, ශක්තියක් නැති දියාරු විපක්ෂයක් නිසා බලය ඇති උන් අයාලේ ගොස් රට අගාදය කරා රැගෙන යාමට ඉඩ ඇති බැවිනි.
    ජය!