Tag: අරවින්ද රත්මල්ගම

  • විපක්ෂය කෙසේ විය යුතුද…?

    විපක්ෂය කෙසේ විය යුතුද…?

    1948 පසු ලක් ඉතිහාසයේ දේශපාලන බල පෙරළියේ උච්චතමය පසුගිය ජනපතිවරණය ලෙස අපට සැලකිය හැකි ය.
    එය රටේ ජනතාවගේ පැතුම් මල් ඵල ගැන්වීමක් ලෙස අපට නිර්වචනය කළ හැක. දැන් අප ඉතා තීරණාත්මක මැතිවරණයකට එනම් මහ මැතිවරණයකට මුහුණ දෙමින් සිටී.

    ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය විතැන්වීම පිළිබඳ අප යම් ආනන්දයකට පත් වූයේ මැතිවරණ වේදිකා කතා නිසාවෙනි. එහෙත් ඒවා එසේම සිදුවනාවාද යන්න උගන්ඩා කතාව වැනි කතා හරහා අපගේ එම ආනන්දයට යම් සෙලවීමකට පත්ව ඇත.

    රටේ ඉතිහාස දේශපාලය හැදැරීමේදී ජනපතිවරණයට පසු මහ මැතිවරණ ජය, බලය ලැබූ පක්ෂයට හිමිවන බව නිරීක්ෂණය කළ හැක.

    එසේනම් මෙවර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බව අපට නිගමනය කළ හැක. හොරු ඇල්ලීමට තුනෙන් දෙකක බලය ඉල්ලා සිටින රජය අප බලාපොරොත්තු සුන් කරමින් මේ අල්ලන්නේ පසුගිය රජයන් ඇල්ලූ අඩව්ව ම ද යන අනියත බියෙන් අප තැති ගන්වා ඇත.

    දේශපාලනය හෝ ඉතිහාසය නොදත් ඝෝඨාභය එපා වී, කර කියා ගත හැකි දෙයක් නොමැතිව අනුර සහෝදරයාට මනාපය දී අද උඩ පනින සමහරුන් සිතනුයේ තමන් නියම ජවිපෙ සහෝදරවරුන් ලෙස ය.

    එහෙත් අදටත් පක්ෂයට දරදිය අදින නියම සහෝදරවරුද පක්ෂය අද ගමන් කරනා ගමන් මඟ ගැන යම් නිහඬ විවේචනයක බව අප නොදන්නවා නොවේ.

    මෙහි අති භයානකම පැතිකඩ මේ අඩුපාඩු මතින් පැරණි හොරුන් නැවත පාර්ලිමේන්තු බලය සියතට ගැනීමේ කුමන්ත්‍රණයක නියැලවීම ද?

    ඔවුන් සියල්ල එකට සන්ධාන ගත වීමට ඇති ඉඩ කඩ බොහෝ විට වැඩි අතර එසේ නොවූවද ජාතික ජන බලවේග රජයක යම් වරදක් පෙන්වා දීමට තරම් බුද්ධිමත් කෂේරුකා ඇති උන් විපක්ෂයේ සිටිනවා ද යන්නයි.

    විපක්ෂයක් නැති රටක පාලකයා අයාලේ යන බව අප පැවසිය යුතු නැත. එසේනම් රටක විපක්ෂයේ කාර්ය භාරය අති විශාල ය.

    ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ සහෝදරවරු පවා අද පිළිගන්නා කාරණය, පක්ෂය දකුණට බරව ගමන් ගන්නා බවයි.

    පසුගිය දිනක සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පැවසූයේ, අතීතයේ අප ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කරන සමයේ කියා ය. එසේනම් ඔවුන් දැන් දැන් වම අත හැර ඇත.

    ඒ කෙසේ වෙතත් පුරවැසියන් හැටියට අපට මූලික විය යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයෙකු නොව රටකි.
    යම් හෙයකින්, ජාතික ජන බලවේගය රටට අහිතකර තීන්දු තීරණ ගැනීමේදී පාර්ලිමේන්තුව තුළ ඊට එරෙහි වීමට හැකි, ශක්තිමත් මන්ත්‍රීවරු කිහිප පලක් හෝ සිටිය යුතු ම ය. එසේම ඔවුන් එයට සුදුසු විය ද යුතු ම ය.

    අද රටේ එවැනි සුදුසු පුද්ගලයන් සිටිනුයේ ජන අරගල සන්ධානයේ බව පුන පුනා කිව යුතු නොවේ.

    ඔවුන් කුඩා කණ්ඩායමකි. අප නිරීක්ෂණය කළ අන්දමට තවමත් ඔවුන්ගේ ප්‍රචාරණ ශක්තිය හා සංවිධාන ශක්තිය කුඩා ය. එයට හේතුව කිසිදු ප්‍රතිලාබයක් නොකතා තම දහඩිය කඳුළ මෙන්ම කාලය ද පක්ෂයට කැපකරන සහෝදරවරුන්ට රටේ බොහෝ ධනපතියන් මෙන්ම ඔවුගේ සුහච කීකරු මාධ්‍යය පවා ඉඩක් ලබා නොදෙන නිසා වෙනි.
    සමාජ මාධ්‍යය හරහා පවා ඔවුන්ට සහය වන්නන්ට මෙන්ම ඔවුන්ගේ ප්‍රචාරණ ක්‍රියාවලිය අවහිර කිරීමට බොහෝ බත් බැලයන් වලිකන හැටි අප දිගින් දිගට ම දුටුවෙමු.

    එය ම ඔවුන්ටද අවස්ථාවක් ලබා දිය යුතු බව අපට පෙනෙනා කාරණාවක් මැ යි. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට බහුතර විපක්ෂය වීමේ හැකියාවක් නැත. එහෙත් අප ඔවුන්ගේ පක්ෂයට ආසන දෙකක් හෝ තුනක් ලබා දී ඔවුන්ගේ හැකියාවන් සහ කැපකිරීම් කොපමණදැයි බලා ගත යුතු ය.

    අද රටේ බලය ලැබු NPP ය වටා පවා හොරුන්, පාදඩයන් එක්වෙමින් යම් යම් ප්‍රතිලාබ ලබා ගැනීමට වෙර දරණ සැටි අපට පෙනෙමින් ඇත.

    ඒ අනුව කිසිදු ප්‍රතිලාභයක් නොතකා ඉදිරිපත්ව ඇත් දේශපාලන පක්ෂය ජන අරගල සන්ධානය ලෙස පෙනී යන නිසා ඔවුන්ගේ ශක්තිය උරගා බැලීමට මෙය කදිම අවස්ථාවකි.

    මෙහිදි අප ජනඅඑගල සන්ධානයේ කිහිප දෙනෙකු විපක්ෂයට පත්කල යුතු බව අපගේ හැගිමයි.ඒ සදහා අන් සියල්ලන්ට වඩා
    පුබුදු ජාගොඩ (කොළඹ)
    ලහිරු වීරෙස්කර (ගාල්ල)
    වසන්ත මුදලිගේ (ගම්පහ )

    යන තිදෙනා සුදුසු බව අපේ හැගිමයි.එයට හේතුන් ලෙස රටේ දේශපාලනික අත්දැකීම් ඇති ශිෂ්‍ය ව්‍යාපාර අරගල අදියෙහි සක්‍රීය වෙමින් අත්දැකීම් බහුල සැබෑ ජවසම්පන්න තරුණයන් වීමයි.

    රජය පෙරලීමට නොව පවතින රජය රැකගෙන ඔවුන් යන ගමන් මඟ නිවැරදි දිශාවක් කරා ගෙන යාමට පැරණි පක්ෂ නායකත්වයට නොහැකි බව අප පැවසිය යුතු නැත.

    එසේනම් පාර්ලිමේන්තු යැවිය ම යුත්තේ ජාතික ජන අරගල සන්ධානයේ කිහිප දෙනෙකි. ඒ ඉහත සඳහන් තිදෙනා වුවහොත් ඔව් ඔබගේ මනාපය ගැන හෝ විපක්ෂ කාර්යය භාරය ගැන හෝ බිය විය යුතු නැත.

    එසේ නොවුණ හොත් අනාගතයේ ඔබේ කතිරය ගැන ඔබට ම පසුතැවිලි වීමට සිදුවනවා නිසැක ය.

    රටේ ජයග්‍රහණය සඳහා ඔබේ මනාපය මෙවර ජාතික ජන අරගල සන්ධානයට ලබා දීමයි මේ කිසිදු වරදක් නොමැති බවත්,පාර්ලිමෙන්තුව තුල ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවු කල ජාතික ජන අරගල සන්ධානයේ කිහිප දෙනෙකු විපක්ෂයට රිංගවා ගත හැකිනම් එය රටේ ජයග්‍රහණයක් ලෙස සඳහන් කරන්නේ එනිසාවෙනි.

    පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.

     

  • පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.

    පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.

    රටේ බල පෙරළියක් සිදුව ඇති බව අප දනිමු. රටේ ජනපතිවරණයකින් බලය ලැබූ පක්ෂයකට ඒ ආසන්නයේ ම ඇති මහ මැතිවරණයේදී ද බලය ලැබෙන බව දේශපාලනය ගැන දැනුමක් නොමැති අය පවා දන්නා කාරණාවකි.
    ඒ අනුව මෙවර ජාතික ජන බලවේගය රටේ වැඩි ආසන ගණනක් ලබා ගනු ඇත. ගැටලුව එය නොවේ. ඕනෑ ම රටක, ඕනෑ ම රජයක් නිවැරදි දිශාවකට ගමන් කරවීමට ශක්තිමත් නැතිනම් හොඳ විපක්ෂයක් අවැසි ය.
    මෙතෙක් බලය නොලබා සිටි ජාතික ජන බලවේගය සිදු කළේ, බලය ලබා සිටි අය විවේචනය කිරීම සහ වැරදි පෙන්වා දීමයි. එය පසුගිය පාර්ලිමේන්තුව දෙස බැලිමේදී අපට වැටහෙණු ඇත.
    අද ඔවුන් බලය ලැබූ පසු ඔවුන්ගේ වැරදි පෙන්වා දීමට පැරණි බලය ලබා සිටි එක්සත් ජාතික පක්ෂය, පොහොටිටු හෝ සමගි ජන බලවේගයට නොහැකි වන්නේ ඔවුන් කළ වැරදි නිසා මෙන්ම ජා.ජ.බලවේගය හා තර්ක කර සටන් වැදීමට ශක්තියක් නොමැති නිසාවෙනි.

    එමෙන්ම ජාතික ජන බලවේගයට ඔවුන් අභියෝගයක් ද නොවේ. එසේනම් අප ඔවුන් විවේචනය කළ හැකි කිහිපදෙනෙකුට හෝ අවස්ථාව ලබා දිය යුතුය.

    එයට හොඳ ම විකල්පය ලෙස අපට පෙරටුගාමීන් ( ජන අරගල සන්ධනය) හැඳින්විය හැක. ඔවුන් කුඩා බලයක් ඇති කණ්ඩායමක් වුවද ඔවුන් වම නියෝජනය කරන, පීඩිත පංතිය ගැන කතා කරන හොඳ සටන්කාමින් පිරිසකි.
    පැරණි ජනතා විමුක්ති පෙරමුණේ නියම ගුණාංග අද ඔවුන් උකහා ගෙන ඇත. ජාතික ජන බලවේගයේ වැඩ බැලීමට රටේ බලය ඔවුන්ට ලබා දුන්නා සේ ජන අරගල සන්ධානයේ වැඩ බැලීමට ආසන දෙකක් ලබා දීමේ කිසිදු වරදක් නැත.
    පොහොට්ටුවෙන්, එජාපයෙන්, සමගි ජන බලවේගයෙන් ඉවත් වූ, ඔවුන් ගැන කලකිරී සිටින ජනතාවට මෙවර ජාතික ජන බලවේගය හා ගැටීමට ජන අරගල සන්ධානය අත්හදා බැලිය හැකිය.
    වාමාංශික යැයි සිතා, ජ.වි.පෙ. යැයි සිතා ජාතික ජන බලවේගයට ජන්දය දී එම බලාපොරොත්තු බිඳී ගිය අයට ද ජන අරගල සන්ධානය අත්හදා බැලීමේ වරදක් නැත. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාර ශක්තිය දුර්වල බව අපට පෙනී ගොස් ඇත. එහෙත් ඔවුන් ද හොඳ තරගකරුවන් කිහිපදෙනෙකු සටන් බිමට බස්සවා ඇත.

    ඉන් ඉදිරියෙන් ම කොළඹින්, පුබුදු ජාගොඩ තරග කරමින් සිටී. අති දක්ෂයෙකු වන පුබුදු උගත්කම පමණක් නොව පෞද්ගලික ප්‍රතිලාබ නොතකා ජනතාව වෙනුවෙන් වාම අදහස් පෙර දැඩි කොට ගනිමින් කළ කැපවීම අප සඳහන් කළ යුතු නොවේ.

    එමෙන්ම ගාල්ලෙන්, ලහිරු තරග වදින අතර, ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙයවා අත්දැකීම් ලත් උගත් තරුණයෙක් වන අතර, ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තියක් ද ඇති බව නොරහසකි.
    ගම්පහින්, රටේ මෑත කාලීන ශිෂ්‍ය ව්‍යාපාරයේ රන් අකුරින් නම ලියවා ගත් අති දක්ෂයෙකු වන වසන්ත මුදලිගේ සටන් වදිමින් සිටී. පසුගිය අරගල සමයේ පාර්ලිමේන්තු වට රවුමේ සිද්ධිය ඔබට අමතක වීමට කිසිදු ඉඩකඩක් නැත. ප්‍රහාර හමුවේ තම සගයන් සමග ඒ කළ සටන, රටේ සමාජවාදි ශිෂ්‍ය සංගමයට විවේචන තිබූ අය පවා සහය දුන් සටනක් බව අප දනිමු. එවන් තරුණයන්ට අප අවස්ථාව ලබා දිය යුතු ම ය.
    ගම්පහ යනු පබාලා ආ ආසනයකි. රණතුංගලා වැනි හොරුන් පත් වූ ආසනයකි. එම පාදඩ, රටට අහිත කර උන් පත්කර හෙම්බත් වූ ජනතාවනි, මෙවර මෙම තාරුණ්‍යයට ඉඩක් ලබා දෙන්න.
    අප ආණ්ඩු පෙරලිය යුතු නැත. පැරණි සාම්ප්‍රදායික උන් එලවා නව රජයක් පත්වීමේ සතුට අපට ද ඇත. එහෙත් එය නිවැරදි මඟ ගමන් කරවීමට නිවැරදි, ශක්තිමත් විපක්ෂයක් අවැසි ය.
    පසුගිය සමයේ විපක්ෂයක් සිටිය ද විපක්ෂයේ කාර්යය භාරය ජ.වි.පෙ. මන්ත්‍රීන් තිදෙනෙකු මත පැවරුණේ කෙසේද එලෙසම අද ජාතික ජන බලවෙිගය හා ගැටී ඔවුන් නිවැරදි මඟ රැගෙන යාමට මෙවැනි ශක්තිමත්, උගත් ,දක්ෂ වාමාංශිකයින් කිහිපදෙනෙකු පත් කර යවමු.

    එසේ නොවුණ හොත් ඝෝඨාභය පත්කොට කැඹූරු හා තාප්ප පාටකල තාරුණ්‍යය පසුව කලකිරුණේ කෙසේද එසේම ජාතික ජන බලවේගය බලයට පත් කළ තාරුණ්‍යය ද කලකිරෙණු ඇත.
    මන්ද පත්වීමට නියමිත විපක්ෂය කිසිදු බලයක්, ශක්තියක් නැති දියාරු විපක්ෂයක් නිසා බලය ඇති උන් අයාලේ ගොස් රට අගාදය කරා රැගෙන යාමට ඉඩ ඇති බැවිනි.
    ජය!