Tag: susil premajayanth

  • ලංකාවේ පාසල් 48ට වතුර නැහැ

    ලංකාවේ පාසල් 48ට වතුර නැහැ

    රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

    ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

    විදුලිය පහසුකම් නැති පාසල් බොහොමයක් දරුවන් හතළිහ පනහ සිටින ඒවා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

  • පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියන්ට කුනුහරපයෙන් බනින අධ්‍යාපන ඇමති

    පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියන්ට කුනුහරපයෙන් බනින අධ්‍යාපන ඇමති

    පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති සැසියේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි කවිරත්න අතර පැවති උණුසුම් වාදයේදී අධ්‍යාපන ඇමතිවරයා අසැබි වචන පාවිච්චි කිරීම ගැන මන්ත්‍රීවරිය කතානායකවරායට පැමිණිලි කර ඇත.

    ඊයේ(23) අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු පිළිබඳ කටයුතු කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු බීමත් පොලිස් නිලධාරීන් විසින් පහරදී අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගත් පියවර පිළිබදව මන්ත්‍රීවරිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එයට අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරෙන් සෑහීමකට පත්නොවූ ඇය තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී කෝපවූ අධ්‍යාපන ඇමතිවරයා අසැබි වදන් පාවිච්චි කරනු දැකිය හැකිවිය.

    ඇමතිවරයා සභාව අමතද්දී පාසල් සිසුන්ද ගැලරියේ සිට ඇති බව වාර්තා වේ.

    අවස්ථා දෙකකදී සුසිල් ප්‍රේමජයන්ත අසැබි වදන් පාවිච්චි කර ඇති බව රෝහිනී මන්ත්‍රීවරිය පැමිණිලි කොට ඇත.

  • මට දෙල්කඳ පොළේදී ගත්ත ස්වීප් එක ඇදුනා – සුසිල් ප්‍රේමජයන්ත

    මට දෙල්කඳ පොළේදී ගත්ත ස්වීප් එක ඇදුනා – සුසිල් ප්‍රේමජයන්ත

    තමාට “දෙල්කඳ පොළේදී ගත් ස්වීප් එක” ඇදුනු බව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

    රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව හෙට සිට නැවතත් වෘත්තීය කටයුතු ආරම්භ කරන බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් පවසා තිබේ.

    සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා දෙල්කදපොළ භූමියේදී පැවසුවේ.ආණ්ඩුව කරන්න බැරි දේවල් කිරීමට ගොස් රට අමාරුවේ දැමූ බවයි.

    අද (04) උදෑසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ,

    ප්‍රශ්නය – ඇමතිතුමා මොකද වුණේ?

    “මොකක්වත් නෑ මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්. ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.”

    ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් ඔබ තුමාව දැනුවත් කරලා තියෙනවා ද?

    “නෑ. සාමාන්‍යයෙන් දැනුවත් කරන්නේ නෑනේ. මාධ්‍යයෙන් තමයි දැන ගන්නේ ඉවත් කළා කියලා.”

    ප්‍රශ්නය – හේතු දක්වලා තියෙන්නේ මොනවාද ඔබතුමාව ඉවත් කරන්න?

    “එහෙම හේතු දක්වන්න ඕනේ නෑනේ. විධායක ජනාධිපතිතුමාට තියෙනවා ඕනේ කෙනෙක්ව පත්කරන්න ඕන කෙනෙක්ව අයින් කරන්න.”

    ප්‍රශ්නය – මොකද්ද වෙලා තියෙන්නේ ?

    “පෙරේදා පොළේ ගියාම ඔබ තුමන්ලාගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් කිලෝවක් 1,200යි කියලා. මම කිව්වා සම්පූර්ණයෙන් මේ කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමා අපි කතා කළේය.”

    ප්‍රශ්නය – මීට කලිනුත් අමාත්‍යවරු රජය විවේචනය කරනවා.

    “මං හිතන්නේ අමාත්‍ය මණ්ඩලයේ දීත් මොනවා හරි කතා වෙන්න ඇති. වගකීම් භාරදීලා තියෙනවා නේ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ අයට අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නෑ.”

    ප්‍රශ්නය – ඔබ තුමා ආණ්ඩුවෙන් ඉවත් වෙලා මොකද්ද කරන්න හදන්නේ ?

    “ආණ්ඩුවේ හැටියට මම ජ්‍යෙෂ්ඨ නැතුව ඇති. දේශපාලනය හැටියට මම යුතුකම් ඉටුකරලා තියෙනවා. වෙච්ච දේ මගේ දේශපාලන අනාගතයට ආශිර්වාදයක්.”

    ප්‍රශ්නය – ජනාධිපතිතුමා මෙහෙම තීන්දුවක් ගනී කියලා බලාපොරොත්තුව හිටිය ද?

    “මෙහෙම නොගත්තා නම් තමා ප්‍රශ්නේ. රටේ ආර්ථික කටයුතු මෙහෙයවන හැටියට පෙනවා කොහාටද අපි යන්නේ කියලා. ඒවා ගැන කතා කිරීම, ජනතාව වෙනුවෙන් කතා කිරීමක්. ජනතාව වෙනුවෙන් කතා කළේ නැතිනම් ආණ්ඩුවකට නිවැරදි වෙන්න බෑනේ. ආණ්ඩුව ඇතුළේ ගැටලු තියෙනවා ද නැද්ද කියලා මම දන්නේ නෑ. ජනතාව අපිව පත්කරලා තියෙනවා ඒ වෙනුවෙන් අපි අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.”

    ප්‍රශ්නය – කැබිනට් මණ්ඩලයේ දී හොඳ පොහොර ටිකක් දාලා තියෙනවා ඔබතුමාව ඉවත්කරන්න ?

    “ඔව් එහෙම ආරංචියකුත් තියෙනවා.”

    ප්‍රශ්නය – කාගේ උවමනාව මත ද එහෙම වෙලා තියෙන්නේ ?

    “කාගේවත් උවමනාව මත නෙවෙයිනේ එක විධායක තීන්දුවක්. කාටවත් ඒ ක ප්‍රශ්න කරන්න බෑ. 20 නොතිබ්බත් ඒ බලතල තිබුණා. 20 අනුව අගමැතිතුමාව වුණත් අයින් කරන්න ජනාධිපතිට බලතල තියෙනවා.”

    ප්‍රශ්නය – ඉදිරි දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් ද?

    “අනිවාර්යෙන් ම. මම දේශපාලනයෙන් අතපල්ලේ වැටිලා නෑනේ. කොට්ටේ නගරසභාවෙන් මම පටන්ගත්තේ 91 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. සන්ධානේ ලේකම් හැටියට අවුරුදු 11ක් ඉඳලා තියෙනවා. ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම සන්ධානය මෙහෙයවලා තියෙනවා. මැතිවරණ කිහිපයක්ම දිනවලා දිලා තියෙනවා. දේශපාලන ඉතිහාසයක් තියෙනවා.”

    ප්‍රශ්නය – ආණ්ඩුවට පසුතැවෙන්න වෙයිද මේ තීන්දුව ගැන ?

    “මං සම්බන්ධයෙන් ගන්නා තීන්දුවට වඩා ආණ්ඩුව ගත්ත වෙනත් තීන්දු සම්බන්ධයෙන් තමා සලකා බලන්න වෙන්නේ. රටේ ජනතාවට අවුරුදු 5කට සැරයක් ජනතාවට අවස්ථාව ලැබෙනවා මේ සියලු දේවල් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. එතකොට අපි බලමු ගන්න තීන්දුව මොකක්ද කියලා”