Tag: sunil hadunneththi

  • ලැජ්ජාවිය යුත්තේ අස්වැසුම ප්‍රතිලාභීන්ද?

    ලැජ්ජාවිය යුත්තේ අස්වැසුම ප්‍රතිලාභීන්ද?

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ පැවසුවේ අස්වේසුම ප්‍රතිලාභීන් ලැජ්ජා විය යුතු බවත් එය “නීත්‍යානුකූල හිඟමනක්” බවත්ය.

    අමාත්‍යවරයා අවධාරණය කළේ දරිද්‍රතාවය තුරන් කිරීම දිගුකාලීන සුභසාධන යෝජනා ක්‍රම මත නොව තිරසාර විසඳුම් සෙවීම මත රඳා පැවතිය යුතු බවයි.

    “අස්වේසුම ප්‍රතිලාභීන් ලැජ්ජා විය යුතුයි. එය නීත්‍යානුකූලව හිඟමනට වැටීමක් වගේ. අපට ජාතියක් ලෙස දියුණු වීමට අවශ්‍ය නම්, අපි මෙම යැපුම් මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි,” හඳුන්නෙත්ති පැවසීය.

    අස්වේසුම වැඩසටහන දිගටම කරගෙන යාමට හෝ එය දේශපාලන සටන් පාඨයක් ලෙස භාවිතා කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.

    අස්වැසුම ව්‍යාපෘතිය යනු ආර්ථික අර්බුදය විසින් දුප්පත්කමේ පතුලටම ඇද දමා ඇති පිරිසක් ඉල්ලක්ක කරගෙන ක්‍රියාත්මක සහනාධාර ව්‍යාපෘතියකි. එය ක්‍රියාත්මක වෙන්නේ මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා අනුවයි. මූල්‍ය අරමුදලේ අදහස වන්නේ ආර්ථික අර්බුදයෙන් බැටකන බහුතර ජනතාවකට සහන සලසන බදු අඩුකිරීම වැනි වැඩපිළිවෙලක් වෙනුවට දුප්පතුන් කොටසක් තෝරාගෙන ඔවුන්ට නොමැරී සිටිය හැකි පරිදි සොච්චමක් ලබාදීමයි. ආණ්ඩුව එය හිඟමනක් ලෙස සලකන්නේ මූල්‍ය අරමුදලට විරුද්ධව යමින් තමන් මැතිවරණයේ පොරොන්දු වූ පරිදි විදුලි බිල් අඩුකර, සමහර භාණ්ඩ සඳහා බදු බිංදුවේ අගයකට ගෙන එමින් කටයුතු කිරීමට තිබුණි. නමුත් ආණ්ඩුව තෝරාගත්තේ ජනතාවට බර පටවන සුළු පිරිසකට සහන සැලසෙන ක්‍රමයයි. දැන් නැවතත් ජනතාවගේ තෝරාගැනීමක් නොවන අස්වැසුම ලබාගැනීම සම්බන්ධයෙන් ජනතාවට දොස් ඇසීමට සිදුව ඇත.

    එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යනවිට දේශීයව ආර්ථිකය ගොඩනැංවීමට නොහැකි බව සහ තව තවත් දුප්පතුන් වැඩිවීම සිදුවන බව හඳුන්නෙත්ති නොදන්නවා විය නොහැක. එසේනම් ලැජ්ජාවිය යුත්තේ දුප්පත්කම පවත්වාගෙන යන වැඩපිළිවෙලක් අනුගමනය කරමින් බොරු පම්පෝරි ගසන හඳුන්නේත්තිලා නොවේද?

  • හඳුන්නෙත්ති ඇමතිවරයාට නොතේරෙන සත්‍ය

    හඳුන්නෙත්ති ඇමතිවරයාට නොතේරෙන සත්‍ය

    සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා උතුරේ මන්ත්‍රීවරුන්ට චෙම්මනි ගැන නොව උතුරේ කර්මාන්ත ගැනත් කතා කරන ලෙසත් ලංකාවේ සියලු ජනතාව ගැන සහ ‘ඊලාම්’ ගැන නොව ‘එල්ලාම්’ ගැන කතා කරන ලෙසත් උපදෙස් දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.

    ඒ සමඟම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වී ඇත්තේ චෙම්මනි සමූහ මිනී වලෙන් සොයාගෙන තිබෙන අත දරුවෙකුගේ ඇට සැකිල්ලකි.

    මෙය අලුත් කතාවක් නොවේ. යුද්ධයේදී සිය ගණනක් දෙමළ ජනතාව අතුරුදහන් වූ බව ද රහසක් නොවේ. චෙම්මනි හි භීෂණය දශක ගණනාවක් තිස්සේ අතහැර දමන ලද තුවාලයක් විය. 90 දශකයේදී මෙම ඝාතන සම්බන්ධයෙන් හමුදා සොල්දාදුවෙකු පාපොච්චාරණය කළ නමුත් එය නොතකා හරින ලදී . යුක්තිය ප්‍රතික්ෂේප කරන ලදී. සත්‍යය වළලනු ලැබීය.

    දැන් නැවත එම වළලනු ලබන සත්‍ය මතුවෙමින් තිබේ. චෙම්මනි ගැන සාක්ෂි දීමට ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනයේ චූදිතයන් කැමැත්ත පළකර තිබේ.

    නමුත් ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන්ට චෙම්මනි යනු විහිළුවකි. එතරම් ගණන් ගතයුතු දෙයක් නොවේ.

    මේ මතවාදය සමඟ ඉදිරියට යනතුරු උතුරේ සාමාන්‍ය ජනතාවද කර්මාන්ත ගැන හෝ ‘එල්ලාම්’ ගැන කතා නොකරනු ඇති බව හඳුන්නෙත්තිලාට නොතේරේ.

  • ”අනිද්දා” පුවත්පත ගැන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට මාධ්‍ය සංගම් විරෝධය

    ”අනිද්දා” පුවත්පත ගැන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට මාධ්‍ය සංගම් විරෝධය

    ”අනිද්දා” පුවත්පතට අදාළ ‘අනිද්දා’ වෙබ් අඩවියේ වාර්තා කර තිබූ පුවතක් පාදක කරගනිමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය

    යටතේ පාලනය වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් මෙතෙක් මිලදී ගනිමින් තිබූ ˝අනිද්දා˝ පුවත්පත, 2025 ජූලි 09 වන දින සිට මිලදී ගැනීමේ ඇණවුම හදිසියේ අත්හිටුවීමට ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත.

    එම තීරණය මාධ්‍ය නිදහසට – භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ආණ්ඩුවේ බලපෑම් එල්ල කළ තවත් අවස්ථාවක් ලෙස සලකන බව සඳහන් කරමින් ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

    ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායක ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයට අනුව ආණ්ඩුවේ මුග්ධභාවය ලංකාවේ කීර්තිමත් විකල්ප ධාරාවේ පුවත්පතක් වන ˝අනිද්දා˝ පුවත්පත කේන්ද්‍ර කර ගනිමින් මුදා හළ අවස්ථාවක් ලෙස මෙය සලකන බව ද එම සංගමය පවසයි.

    මෙම අත්හිටුවීම සඳහා බලපා ඇත්තේ ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති අශෝක පීරිස්ව සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා විසින් ඉවත් කිරීම ගැන අනිද්දා පුවත්පත වාර්තා කිරීම බව මාධ්‍ය සංගම් නිවේදනය සඳහන් කර සිටියි.

    මතු පළ වන්නේ ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

  • හදුන්නෙත්ති එලොන් මස්ක්ට කණගාටුව ප්‍රකාශ කරයි

    හදුන්නෙත්ති එලොන් මස්ක්ට කණගාටුව ප්‍රකාශ කරයි

    තමන් කිසිවිටෙකත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන එලොන් මස්ක් ආර්ථික ඝාතකයකු ලෙස හැඳින්වීමට අදහස් නොකළ බව පවසමින් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හදුන්නෙත්ති ඊයේ කියාසිටියේ එලොන් මස්ක් වෙත සිය කණගාටුව ප්‍රකාශ කරන බවයි.

    ව්‍යාපාරික සංසදයක් අමතමින් හදුන්නෙත්ති කියාසිටියේ ආර්ථික හිංසනයන් ගැන තමාගේ සඳහන පසුගිය රනිල් වික්‍රමසිංහ පාලනය සමයේ මෙරටට ගෙන ආ ජේම්ස් පැකර් සහ ජෝර්ජ් සෝරෝස් ගැන බවයි.

    “මම එලොන් මස්ක් ගැන කියපු දේ වැරදියට උපුටා ගත්තා. එලොන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියන්න මම අදහස් කළේ නැහැ. මම පැහැදිලි කළේ ලංකාවේ පවතින අස්ථාවරත්වය, ආර්ථිකයේ දේශපාලන මැදිහත්වීම් නිසා ලෝක ප්‍රකට ආයෝජකයන් කවදාවත් ලංකාවට එන්නේ නැති බවයි. විනය සහ අවනීතිය පිළිබඳ මගේ සඳහන වුණේ එලොන් මස්ක්ට නෙවෙයි. මම ආර්ථික ඝාතකයන් ලෙස අදහස් කලේ ජේම්ස් පැකර් සහ ජෝර්ජ් සෝරෝස්ව. අපි ඔවුන්ව අවංක ව්‍යවසායකයන් ලෙස හඳුන්වන්නේ නැහැ. මම එලොන් මස්ක්ට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. මම කවදාවත් ඔහුව ආර්ථික ඝාතකයෙක් ලෙස හඳුන්වන්න හිතුවේ නැහැ” හදුන්නෙත්ති පැවසීය.