Tag: sand mining

  • ඛණිජ සම්පත් මංකොල්ල කන දූෂිත නිලධාරීන් නව ආණ්ඩුව යටතේත් වැඩ

    ඛණිජ සම්පත් මංකොල්ල කන දූෂිත නිලධාරීන් නව ආණ්ඩුව යටතේත් වැඩ

    රනිල් – රාජපක්ෂ පාලන කාලය තුළ භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයට පත්කළ දුෂිත නිලධාරීන් තවමත් ඉවත් නොකිරීම නිසා දූෂණ සහ වංචා රැසක් තවදුරටත් සිදුවෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

    විශේෂයෙන් ඔහුට එල්ල වූ වංචා දූෂණ චෝදනා නිසා වැඩ තහනමට ලක්වූ සජ්ජන ද සිල්වා පසුගිය ආණ්ඩුව සමයේ ජේශ්ඨ අධ්‍යක්ෂක කැණීම් ලෙස නැවත සේවයේ පිහිටුවා තිබේ. වර්තමාන පරිසර නියෝජ්‍ය ඇමතිවරයා ඔහුගේ වංචා දූෂණවලට එරෙහිවීම නිසා වැඩ තහනමට ලක්වූ අයෙකු බවද වාර්තා වේ.

    එසේ තිබියදී සජ්ජනද සිල්වා තවමත් භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය තුළ තනතුරු දරමින් සිටීම හාස්‍ය ජනක කරුණකි.

    මේ කරුණු හෙළිකරන ලද්දේ අද YOUTH FOR ChENGE විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. එහි සංවිධායක ලේකම් ළහිරු වීරසේකර පැවසුවේ සජ්ජනද සිල්වා වැන්නන් ඉවත්කර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය තුළ සිදුවෙමින් පවතින වංචා හා දූෂණ මැඩලීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු බවයි.

    ළහිරු වීරසේකර පැවැසූ සම්පූර්ණ අදහස පහත දැක්වේ.

    ” අපි අද මාධ්‍ය හමුව කැඳෙව්වේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්‍යාංශය මගින් සිදුකරන බරපතළ දූෂණයක් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. මේ රටේ සමස්ත ජනතාවගේම ජීවතවලට සහ පරිසරියට බලපාන බරපතළ විදිහට බලපාන ප්‍රශ්නයක් මේක. අපි දන්නවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යයංශය මගින් තමයි ලංකාවේ ඛනිජ සම්පත් කැණීම් සහ ගවේෂණය කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන්නේ. අපි දන්න විදිහට පරිසර අමාත්‍යංශයේ වැඩිම ආදායමක් උපයන ආයතයනය වෙන්නේ මේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය. ඔවුන් බලපත්‍ර නිකුත් කිරීමෙන් විශාල ආදායමක් ලබනවා. මේ ඛනිජ සම්පත් කියන්නේ පුනර්ජනනීය බලශක්තියක් නෙවෙයි. ඒ නිධි යම් කිසි කාලෙකදි අවසන් වෙනවා. ඒ නිසාම ඛනිජ සම්පත් මිළ අධිකයි සහා ඉල්ලුම වැඩී.ඉල්මනයිට් රූටයිල් සර්කෝන් ගානට් මොනසයිට් මැග්නටයිට් සිලිමනයිට් වගේ වටිනා ඛනිජ ද්‍රව්‍ය තමයි ලංකාවේ තියෙන්නේ. ලංකාව සහ ලංකාවට අයත් සාගරය ආශ්‍රිතව තියෙන ඛනිජ කියන්නේ රටේ සමස්ත ජනතාවගේම සම්පතක්. නමුත් දැන් අපිට පේනවා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය කටයුතු කරන්නේ මේ ඛනිජ සම්පත් ඔවුන්ට අයත් බූදලයක් විදිහට සලකගෙන. පරිසරය හෝ ජන ජීවිත ගැන කිසිම වගකීමක් නැතුව තමයි දැන් මේ ආයතනය බලපත්‍ර නිකුත් කරමින් ඉන්නේ.

    ”ඛනිජ සම්පත් අපිට හමු වෙන්නේ ස්වාභාවික පරිසර පද්ධතියෙන්. ඒක නිසා ඛනිජ සම්පත් කැණීමේදී හෝ ගවේෂණය කිරීමේදී අනිවාරයෙන් ඊට අදාලව පරිසර තක්සේරු වාර්තාවක් ගැනීම අත්‍යාවශ්‍යයි. මොකද මේ කැණීම්වලින් ශාක පද්ධතියට, පාංශු පද්ධතියට සහ ජීවීන්ට කිසිඳු හානියක් වෙන්න බෑ. එහෙම උනොත් ඒක බලපාන්නේ සමස්ත ලෝකයටම. අනිත් එක තමයි මේ කැණීම් ක්‍රියාවලිය හරහා ජන ජීවිතයට යම් බලපෑමක් වෙනවද කියන කාරණයත් නිවැරදිව තක්සේරු කරන්න ඕන. හැබැයි දැන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය දැන් බලපත්‍ර නිකුත් කරන්නේ මේ කිසිඳු කරුණක් ගැන සැලකිල්ලක් නැතුව. අඩුමතරමින් බලපත්‍ර ලබා ගන්න සමාගමේ අතීත ක්‍රියා කලාපය ගැනවත් දැනුවත් භාවයක් නැතුව තමයි ඔවුන් බලපත්‍ර නිකුත් කරන්නේ.

    137 / 2017 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දුන්නා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය සම්බන්ධයෙන්. ඒ තීන්දුවේ පැහැදිලිව කියනවා මේ ආයතනය බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ විනිවිද භාවයකින් තොරව කියලා. මෙහි බරපතළම කාරණය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දොලොස්වෙනි වගන්තියට පටහැනිව තමයි බලපත්‍ර නිකුත් කිරීම වෙලා තියෙන්නේ. ඒ තීන්දුව අනුව නීතිපතිවරයා නිර්දේශ කරා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන්න කියලා. දැනටත් එයට අදාළව ක්‍රියාපටිපාටියක් තවමත් සකස් වෙමින් තියෙන්නේ. එතකොට අපිට අහන්න තියෙන්නේ දැනටමත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දොලොස්වෙනි වගන්ති උල්ලංඝනය කරමින් නිකුත් කරපු බලපත්‍ර සම්බන්ධයෙන් ගන්න පියවර මොනව ද ? අනිත් එක තමයි දැනට නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න බලපත්‍රවලට මොකද කරන්නේ ? මෙන්න මේ ඍජු ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර දිය යුතුයි.

    දැටමත් තලෛමන්නාරමේ සහ මන්නාරමේ විශාල භූමි ප්‍රමාණයක ඛනිජ ගවේෂණය සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. ඊලඟට කෝකිලායි සහා නිලාවේලි වෙරළ සහ මුහුදු ප්‍රදේශවලත් මේ විදිහටම බලපත්‍ර නිකුත් කරල අවසන්. අපිට ආරංචි විදිහට මේ වෙද්දි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පරවි දූපත ආශ්‍රිත සංචාරක කලාපයේ කැණීම් බලපත්‍ර නිකුත් කරන්න අවසර දෙන්නත් මේ ආයතනය බලාපොරොත්තුවෙන් ඉන්නේ. අනිත් බරපතළම ප්‍රශ්නයක් තමයි ඇඹිලිපිටිය ශංඛපාල ගල්බොක්කයාය කඳුවැටිය. මේ කඳුවැටියේ ඛනිජ ගවේෂණය සඳහා පසුගිය කාලෙම ලංවා සමාගම අවසර ඉල්ලමින් හිටියා. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය ඒකට විරුද්ධ වුණා. ඒ වගේම ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වුණා. මොකද මේ ගල්බොක්ක යාය කඳුවැටිය කියන්නේ අතිශයින් සංවේදී පරිසර පද්ධතියක්. හැබැයි ඒ විරෝධතා කිසිවක් නොසලකා ලංවා ආයතනයට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය හොරෙන්ම බලපත්‍ර නිකුත් කරලා. මේ වෙද්දිත් අදාළ ප්‍රදේශයේ ලංවා ආයතනය බලහත්කාරයෙන් කැණීම් කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය මැදිහත් වීම් කරමින් යනවා.

    මේ දූෂිත සහ වංචා සහගත බලපත්‍ර නිකුත් කිරීම පිටිපස්සේ ඉන්නේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාලයේ දැනට ඉන්න සහ හිටපු ඉහළ පෙළේ නිළධාරීන්. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාලයේ හිටපු නීති උපදේශකවරිය තමයි අර ගල්බොක්ක යාය සිදුවීමට සම්බන්ධ ලංවා ආයතනයේ වර්තමාන නීති උපදේශකවරිය විදිහට කටයුතු කරන්නේ. එතකොට අපිට හිතාගන්න පුලුවන් ලංවා ආයතනය අදාල බලපත්‍රය ලබාගත්ත විදිහ. ඊලගට අලුත් ගම ප්‍රදේශය ආශ්‍රිතව තියනවා ඉතාම වටිනා මොනසයිට් නිධියක්. තෝරියම්, සිලියම් සහ ලැන්තනම් කියන මූලද්‍රව්‍යයන් මොනසයිට්වල තියනවා. න්‍යෂ්ටික බලශක්තිය නිශ්පාදනයේදී යුරේනියම් සඳහා ආදේශකයක් විදිහට භාවිතා කරනවා තෝරියම් කියන විකිරණ ශීලී ද්‍රවයය. එතකොට මේ මොනසයිට් නිධිය අපේ රටට සම්පතක්. දැන් ඒ නිධිය දෙන්න සූදානම් වෙන්නේ කාටද ? අපි දන්නවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ සාෆි නගර් ආශ්‍රිතව මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු වුනා පහුගිය කාලේ. අදටත් මේ නිසා ඒ ප්‍රදේශයට බරපතළ පරිසර හානියක් වෙලා ඉවරයි. ඒ වැලි ජාවාරමට සම්බන්ධ ආයතනයට තමයි අලුත්ගම ඛනිජ නිධිය ගවේෂණය කරන්න බලපත්‍ර නිකුත් කරන්න සූදානමින් ඉන්නේ. සෙනරත් හේවගේ කියන හිටපු සභාපතිවරයට තමයි මේ සමාගම අයිති. අපි අහන්නේ මේ නිධිය ගවේෂණය සඳහා බලපත්‍ර නිකුත් කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මොකක් ද ? භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයට ඒ සඳහා තියෙන අයිතිය මොකක් ද ?

    මෙච්චර බරපතළ දූෂණයක් වංචාවක් මේ ආයතනය තුළ වෙන්න හේතුව තමයි මේ ආයතනයේ ඉහළ නිලධාරීන් විදිහට ඉන්න පිරිස. ඔවුන් කටයුතු කරන්නේ සමාගම්වලට අවශ්‍ය විදිහට. ඒ සමාගම්වලින් ලැබෙන කොමිස් එක සලකලා තමයි කැණීම් බලපත්‍ර නිකුත් කරන්නේ. භූ විද්‍යා හා පතල් කැණිම් කාර්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සජ්ජන ද සිල්වාගේ වැඩ තහනම් කලා 2022 අවුරුද්දෙදි. ඒ අධිකරණ තීන්දුවකින්. ඔහුට විරුද්ධව වංචා දූෂිණ ඡෝදනා එල්ල වෙලා තියෙන්නේ. එදා සජ්ජන ද සිල්වාගේ දූෂිණ වංචාවලට එරෙහිව ඒ ආයතනයේ අය පාරට බහිනකොට ඔහු තමන්ගේ බලය පාවිච්චි කරල ඒ අයගේ වැඩ තහනම් කලා. අද ඒ සජ්ජන ද සිල්වාව ජේශ්ඨ අධ්‍යක්ෂක කැණීම් විදිහට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයේ සේවයට අරගෙන. ඒ වැඩ තහනම් වුණු කාලයේ හිඟ වැටුප් සහිතව. මෙතන තියෙන හාස්‍යජනක කාරණය තමයි එදා සජ්ජනද සිල්වාගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහි වෙන්න ගිහිල්ලා රස්සාව අහිමි කරගත්ත අයගෙන් කෙනෙක් තමයි වර්තමාන ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි. සජ්ජනද සිල්වාව නැවත පත් කලේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව 2024දි. හැබැයි අපි අහන්නේ දැන් අලුත් ආණ්ඩුව පත් වෙලා මාස 3ක් 4ක් ගතවෙලා. ඇයි තාම සජ්ජන ද සිල්වා ඉවත් නොකර ඉන්නේ ?

    ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මෙන්න මේ කරුණු ගැන වහාම අවධානය යොමු කරන්න. පළවෙනි එක භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාලයේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කරන්න ඕන. ඊලඟට අදාළ දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාමාරග ගන්න ඕන. මීට අමතරව දැනට නීති විරෝධීව ලබාදුන් බලපත්‍ර වහාම අහෝසි කල යුතුයි. අපි කියන්නේ ආණ්ඩුවට දැන් මේ කටයුතු කරන්න පුලුවන්. මේවට කල් ගන්න ඕන නෑ. සහ අපි රටේ ජනතාවටත් කියනවා මේ වංචා දූෂණවලට එරෙහිව හඬ අවධි කරන්න. මොකද මේක ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. රටේ ස්වාභාවික සම්පතුත් පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා ජනතාවට බරපතළ වගකීමක් තියනවා මේ සම්බන්ධයෙන් අවධානාත්මකව කටයුතු කරන්න. ”

  • මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයක

    මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයක

    මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව හා කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් කම්කරුවන්ගේ ගිණුම්වලට නොදමා වංචා කරමින් හිඳින වැලි සමාගමට එරෙහිව අද(15) දහවල් කදුරුවෙලදී මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමය හා කම්කරු අරගල මධ්‍යස්ථානය එක්ව විරෝධතාවයක් සංවිධානය තිබුණි.

    කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන වැලි සමාගම මහවැලි ගඟේ වැලි සම්පත සූරාකමින් අධික ලෙස ලාභ උපයන බවත් එයින් වැලි ගොඩදමන කම්කරුවන්ට ගෙවනු ලබන්නේ සොච්චම් මුදලක් බවද සේවකයන් පෙන්වා දෙයි.

    මහවැලි ගඟේ දියයට කිමිදීවැලි ගොඩට ගෙන ඒම වැනි ඉතාමත් අවදානම් රැකියාවක යෙදෙන තමන්ට හිමි සේවක අයිතීන් ලබා දෙන ලෙසට වැලි සමාගමේ පාලන අධිකාරියට සේවක වෘත්තීය සමිති විසින් බල කරන විට වැලි සමාගම ඊට ප්‍රතික්‍රියා දක්වන්නේ මැරයන් ලවා අමානුෂික ප්‍රහාර එල්ලකර ශාරීරික පීඩාවන්ට ලක්කිරීමෙන් යැයිද එම සේවකයෝ පවසයි. අඩුම තරමින් සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය පවා තමන්ට නොමැති බවද වෙනත් පාරිතෝෂික දීමනා සමාගම මගින් තමන්ට නොගෙවන බවද වැඩිදුරටත් පවසා ඇත.

     

  • මනම්පිටිය වැලි මංකඩ පරිසර හානියට සහ ශ්‍රම සූරා කෑමට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්

    මනම්පිටිය වැලි මංකඩ පරිසර හානියට සහ ශ්‍රම සූරා කෑමට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්

    මනම්පිටිය වැලි මංකඩ පාරිසරික හානියට සහ එහි සේවකයන්ගේ ශ්‍රමය නරුම ලෙස සූරා කෑමට එරෙහිව මැදිහත් වූ පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
    මෙම සේවක විරෝධතාව අවස්තාවේ ඊට සහාය පළකරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පෙ.ස.ප. මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ඇතුළු කිහිප දෙනකු මෙම මැර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    පොලොන්නරුව මනම්පිට්ය වැලි තොටුපල අසල දිර්ඝ කාලයක් තිස්සේ වැලි ජාවාරම්කරුවන් විසින් පරිසරය වනසමින් සිටින බව ප්‍රසිද්ධ කාරණයකි. තනි තනි අයිතිකරුවන් යටතේ තිබියදීත්, සමාගමක් යටතේ තිබියදීත් මෙය සිදු විය. පරිසරය වැනසීම පමණක් නොව මෙහි සේවකයන්ගේ ශ්‍රමයද නරුම ලෙස සූරා කෑමට පසුගිය කාලය පුරා කටයුතු කර තිබුණේ ඔවුන්ට හිමි කිසිඳු සේවක අයිතිවාසිකමක් ලබා දීමකින් තොරවය. ඊට එරෙහිව සේවක සමිතියක් ආරම්භ කිරීමට සේවකයන් කටයුතු කල අතර පසුගිය දින එම සේවක සමිතියේ කටයුතු වල නිරත වෙමින් සිටියදී වැලිමංකඩ යලි පවරා ගැනීමට අගමැති කාර්යාලයේ ලිපියක් රැගෙන පැමිණි පිරිසක් උත්සාහ ගැනීම නිසා ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ. සේවක වෘත්තිය සමිතියේ මැදිහත්වීමෙන් මෙම හදිසි කඩාවැදීම සම්බන්ධව විරෝධය පළකර ඇත. එහිදී සේවකයන් විරෝධතා දක්වන විට මේ ප්‍රහාරය එල්ල කර ඇත.

    ඇමති රෝෂාන් රණසිංහගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව වැලිමංකඩ සේවකයෝ චෝදනා කරති.

    ප්‍රහාරයෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉන්ද්‍රානන්ද සිල්වා

     

     

  • පරිසර ගැටලු ගැන සාකච්ඡාවක් ඉල්ලා පරිසර ඇමතිට ලිපියක්

    පරිසර ගැටලු ගැන සාකච්ඡාවක් ඉල්ලා පරිසර ඇමතිට ලිපියක්

    පරිසර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා පරිසර සංවිධාන හා තරුණ සංගම් කිහිපයක් විසින් විසින් පරිසර අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

    එම ලිපියේ සඳහන් කර ඇති පරිදි මැතිවරණ කාල සීමාවන්වලදී පරිසරය ආරක්ෂා කිරීමට පොරොන්දු ලබාදිය යුතු තරමේ ගැටලුවක් තිබියදී සැබෑ ලෙස පරිසරය ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම සිදුවන්නේද යන්න බරපතල ගැටලුවකි. ඒ අනුව මේවනවිටත් පවතින පරිසර ගැටලු කිහිපයක් වන

    05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ යෝජනාව
    වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම සම්බන්ධ ගැටලුව
    සිංහරාජ රක්ෂිත වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරිම සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

    මෙම ඉල්ලීම සිදුකර ඇති සංවිධාන වන්නේ වෙනසක තාරුණ්‍ය සංවිධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම, තරුණ නීතිඥයන්ගේ සංගමය, පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පරිසර සංවිධාන එකමුතුවයි.